Monday, October 27, 2014

අධ්‍යාපනය සහ රැකියාව

මීට වසර පණහකට හැටකට ඉහතදී වසර දහයක පමණ පාසල් අධ්‍යාපනයක් ලද අයෙකුට ආණ්ඩුවේ ලිපිකරු සේවයේ රැකියාවක් ලබා ඒ වරමින් එකල සමාජයේ මධ්‍යම පංතියට උසස්වීමක් ලබා ගැනීමට හැකිවිනි. නමුත් අද විශ්ව විද්‍යාල උපාධියක් ලබාවත් ඊනියා මධ්‍යම පංතියේ පා පුවරුවටවත් පය ගසා ගැනීමට නොහැකි අය සිටිති. ඊට හේතු බොහොමයක් තිබිය හැකිය. නමුත් මේ නොහැකියාවට හේතුව විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ යම් අඩුවක් යැයි පැවසීම නොමඟ යැවීමකි.

අද සමාජ හිනිමඟේ ඉහල යාමට ඇති තරඟය එදාට වඩා උග්‍රය. මීට වසර පණහකට හැටකට ඉහත ජීවත්වුනු බහුතරයක් ගැමියන්ට අපට මෙහෙම හොඳා යැයි සිතමින් උගතුන් විසින් පවත්වාගෙන ගිය සමාජ-හිනිමඟ ප්‍රතික්‍ෂේප කරන්නට තරම් ශක්තියක් තිබුනද අද ඒ ශක්තිය කාහටවත් නැත. අද මුළු රටම උත්සාහ කරන්නේ ඒ හිනිමඟේ ඉහලට යන්නටය. ඒ ගැන තනි පුද්ගලයින් මත වරදක් පැවරිය නොහැකිය. උගතුන්ගේ හිනිමඟෙහි දිගද ආනතියද එන්න එන්නම වැඩිවෙයි. අද රස්සාවක් සොයා ගැනීම සඳහා සමත් විය යුතු විභාග ගණන හැදෑරිය යුතු පාඨමාලා ගණන එදාට වඩා වැඩිය. හිනිමඟේ ආනතිය වැඩි නිසා පහල සිටිනවුන්ට දැනෙන ආතතියද වැඩිය. මේ ප්‍රශ්ණය විශ්ව විද්‍යාලවල කෙරෙන වෙනස්කම් තුලින් විසඳිය නොහැකිය. එය විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අවුලක් ලෙස සලකා ඊට විසඳුම් සෙවීම විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලබන සියයට අනූවකටත් වඩා වැඩි බහුතරයක් ශිෂ්‍යයන්ගේ සහ ඔවුන්ගේ දෙමව්පියන්ගේ ප්‍රශ්ණ අමතක කිරීමකිි.


ඔවුන් පිලිගැනීමට අකමැති වුනද අද රටේ සමාජ හිනිමඟ පවත්වාගෙන යන්නේ උසස් අධ්‍යාපනයක් ලද උගතුන් විසිනි. ඔවුන් සමහරක් සිතන පරිදි බටහිර අධ්‍යාපනය මඟින් ඇති කෙරෙන සමාජ විශමතාව අද නැති කලහොත් හෙට ඊට විකල්පයක් වශයෙන් කුලවාදයක් බිහිවේ යැයි පැවසීම තාර්කික නොවේ. සමාජයක් පවත්වාගෙන යෑමට ස්වභාවයෙන්ම එහි උස් පහත් බවක් තිබිය යුතුය යන්නද පිලිගත නොහැකිය. සමාජය විසින් උසස් යයි සැලකෙන පිරිසක් රටක සිටිය යුතු බව සත්‍යය. නමුත් ඔවුන් උගතුන් මෙන්ම ගුණවතුන්ද විය යුතුය. බටහිර ලිබරල් අධ්‍යාපන ක්‍රමය ගුණවත් මිනිසුන් බිහි කිරීම එහි වගකීම ලෙස සලකන්නේ නැත. නමුත් ගුණවත් මිනිසුන් බිහි කිරීම දෙමව්පියන්ගේ හෝ පංසලේ හෝ පල්ලියේ හෝ කෝවිලේ හෝ කාරියක් පමණක් නොව අධ්‍යාපන ක්‍රමයේම වගකීම විය යුතුය. එවැනි අධ්‍යාපන ක්‍රමයකින් බිහිවෙන නැණ ගුණවත් මිනිස්සු සමාජ හිනිමඟක් පවත්වාගෙන යාමට උනන්දු නොවෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. සමාජ විශමතාවට තුඩු නොදෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනඟා ගැනීම අපේ දීර්ඝ කාලීන අරමුණ විය යුතුය.


කෙටි කාලීනව අපට කල හැක්කේ සමාජ-හිනිමඟේ ඉහල යෑමට ඇති තරඟය සාධාරන තරඟයක් බවට පත් කෙරීමය. එය දෙආකාරයකින් සිදු කල යුතුය. එක් ආකාරයක් නම් අධ්‍යාපන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී කෙරීමය අනික රැකියාවලට බඳවා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී කෙරීමය.


අධ්‍යාපන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී කෙරීම යනු රටේ වැඩිපුර ඉල්ලුමක් ඇති, එනම් සමාජයේ ඉහලට යා හැකි යැයි සැලකෙන රැකියා දිනා ගත හැකි අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීමට සැමට සමාන අවස්ථාවක් ලබා දීමය. එය කල හැකි එක් ආකාරයක් නම් රජයේ සහ සාධාරන මුදලක් අය කරන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන බහුල කිරීමය. අනිත් ආකාරය කැමති විශයකින් ඉහල අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇති බාධක අවම කිරීමය. උදාහරණයක් වශයෙන් බොහෝ විශයන් ඉහලට හැදෑරීමට ගණිතයෙහි සමත්කම එතරම් වැදගත් නොවේ. එබැවින් සාමාන්‍ය පෙළ ගණිතය අසමත්වීම ඉන් ඉහලට අධ්‍යාපනයක් ලැබීම වැලැක්වීමට සාධාරන හේතුවක් නොවේ. උසස් පෙළ මට්ටමේදීම සිසුන් ඒ ඒ විශයධාරා තුලට කොටු කෙරීමද සාධාරන නොවේ. උසස් පෙළට පමණක් නොව විශ්ව විද්‍යාල මට්ටමේ මුල් දෙවසර පමණ දක්වා සිසුන්ට විවිධ විශයධාරා තෝරා ගැනීමට නිදහසක් දිය යුතුය.


රැකියාවලට බඳවා ගැනීමද මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුය. අද බහුතරයක් උපාධිදාරීන් සොයන්නේ විවිධ ක්‍ෂේත්‍රවල කලමණාකාර රස්සාය. එවැනි රස්සාවලට බඳවා ගැනීමේදී බලන්නේ ඔවුන්ගේ සොෆ්ට් ස්කිල්ස්ය. මේ සොෆ්ට් ස්කිල්ස් මොනවාත් නොව බටහිර සංස්කෘතිය අනුකරණය කිරීමට දක්වන සමත්කම්ය. ගැමි පරිසරයක වැඩුනු දෙමව්පියන්ගේ දරුවන්ට මේ සොෆ්ට් ස්කිල්ස් පිහිටන්නේ අඩුවෙන්ය. විශ්ව විද්‍යාලයේ කලා විශයන් හදාරන බහුතරයක් ගැමි දමව්පියන්ගේ දරුවෝය. සාපේක්‍ෂ වශයෙන් ඔවුන් රැකියා ලබා ගැනීමේදී අඩු සමත් දක්වන්නේ ඔවුන්ගේ සංස්කෘතිය නිසා මිස උපාධියට හදාරන විශය දැනුමේ අඩුවක් නිසා නොවේ. අපි කල යුත්තේ මේ දරුවන්ගේ මුදු ගති මකා ඔවුන්ට සොෆ්ට් ස්කිල්ස් පෙවීම නොවේ. සොෆ්ට් ස්කිල්ස් නැති ඉංග්‍රීසි භාශාව චතුර ලෙස කථා කල නොහැකි ප්රසන්ටේශන් කල නොහැකි ලංකාවේ උපාධි දාරීන්ට බටහිර රටක අචාර්ය උපාධියක් ලබා ගැනීමට හැකිනම් ඊනියා සොෆ්ට් ස්කිල්ස් ඔය කියන තරම් වැදගත් විය නොහැකිය.


බටහිර සංස්කෘතියේ සොෆ්ට් ස්කිල්ස් නැතිව ලංකාවේ කල නොහැකි කලමණාකාර රස්සාවක් තිබිය නොහැකිය. මේ ආයතන සේවය කරන්නේ ලංකාවේ මිනිසුන්ටය, ගණුදෙනු කරන්නේ ලංකාවේ මිනිසුන් සමඟය භාණ්ඩ අලෙවි කරන්නේ ලංකාවේ මිනිසුන්ටය. ඒ නිසා කළමණාකාර රස්සා වලට බඳවා ගත යුත්තේ ලංකාවේ සංස්කෘතියට අනුකුල නායකත්ව හැකියාවක් ඇතිවුන්ය. අතීතයේ නම් බෞද්ධ භික්‍ෂූන් විසින් ලබාදුන් නායකත්ව පුහුණුව කළමණාකරුවන් කෙසේ වෙතත් රජ වරු බිහි කිරීමට පවා ප්‍රමාණවත් විය. සිදුවිය යුත්තේ උපාධි දාරීන්ට ඊනියා සොෆ්ට් ස්කිල්ස් පෙවීම නොව රැකියා අයතන තුල පරිපාලන සංස්කෘතිය රටේ සංස්කෘතියට ගැලපෙන පරිදි යාවත් කාලීන වීමය.


සමාජ විශමතාව නිසා ඇති කෙරෙන පීඩනය මර්ධනය කර ගැනීමට නම් අධ්‍යාපන ක්‍රමයත් රැකියාවලට බඳවා ගැනීමත් මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී කර ගත යුතුය.

No comments:

Post a Comment