Friday, October 10, 2014

ජාතියක මතක : සිංහළුන් වඳ වී යයිද?

කාලයේ දිගින් දිගට යමක් පවතින්ට නම් අතීතය පිළිබඳ මතකයක් තිබිය යුතුය. මතකයක් නැත්නම් අපට හමුවන්නේ කාලය නමැති රේඛාවේ තැන තැන ඇති එකට හා නොවූ ලක්‍ෂ සමූහයක් පමණි. ඒ ලක්‍ෂ එකතු කර ජාතියකට ගලා යෑමක් ලබා දෙන්නේ ජාතියට ඇති මතකයයි. ඉර හඳ පවතින තුරුම සිංහල ජාතිය පවතින්නට නම් අපි ආරක්‍ෂා කරගත යුත්තේ සිංහල ජාතිය සතු මතකය.

ජාතියක මතක නොයෙක් ස්වරූපයෙන් තිබිය හැකිය. තමන් එම ජාතියට අයිති යැයි හඳුනාගන්නා පිරිසක් පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ඒම ඕනෑම ජාතියක පැවැත්මට අනිවාර්ය සාධකයක් බවකිව යුතු නැත. ජාතිය ඒ අකාරයට ජෛවීයව ගලා යන්නේ ජාතියේ ජෛවීය මතකය නිසා යැයි කිව හැකිය. බටහිර ජීව විද්‍යාවට අනුව සතුන්ගේ ජෛවීය මතකය ජානය. නමුත් ගැහැණියක හා පිරිමියකුගේ එක්වීමත් ඉන් ඇතිවෙන දරුවන්ට ජාන සම්ප්‍රේශණය වීමත් සලකා පමණක් ජාතියක් ජෛවීයව පවත්වාගෙන යන ආකාරය තේරුම්ගත නොහැකිය. ජාතියක ජෛවීය පැවැත්මට එහි සංස්කෘතිය ගැහැණුන්, විශේෂයෙන් මව්වරුන් පිළිබඳව දරන ආකල්ප වැදගත්ය. විවාහය හා දරුවන් හදා වඩා ගැනීම වැනි දේ පිළිබඳව දරන ආකල්ප වැදගත්ය. එහි මිනිසුන්ගේ ජීවන ක්‍රමය, කන බොන දෑ, මෙන්ම ඔවුන්ගේ කර්ම ශක්තිද වැදගත්ය.  සිංහල ජාතියේ ජෛවීය මතකය වන්නේ තම වර්ගයා බෝ කිරීම පිළිබඳව සිංහළුන්ට අනන්‍යවූ ඓතිහාසික සමාජීය අත්දැකීම් වලින් උරා ගත් සාරයකි. පරපුරෙන් පරපුරට සිංහල ජාතිය ගෙන යන්නේ ඒ ජෛවීය මතකයයි.

ජාතියක් පවතින්නට නම් එහි අනන්‍යතාව රැකිය යුතුය. ජාතියකට අනන්‍යතාව ලබාදෙන්නේ එහි සංස්කෘතියයි. සංස්කෘතිය වෙනස් නොවන දෙයක් නොවේ නමුත් එහි ගලා යෑමක් තිබිය යුතුය. සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ගලා යන්න නම් ජාතියකට සංස්කෘතික මතකයක්  (ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ වචනයෙන් ජීවමාන ඉතිහාසයක්) තිබිය යුතුය.

සංස්කෘතික මතකය යනු ඉතිහාසය පුරා වර්ධනය කරමින්, රැක ගනිමින් ගෙන ආ යම් යම් සක්‍රීය සංස්කෘතික ලක්‍ෂණය. උදාහරණයක් වශයෙන් සිංහලයාගේ බත් කෑම සංස්කෘතික මතකයක් ලෙස සැලකිය හැකිය. අපි වී ගොවිතැනේ සිට බත් කෑම දක්වා පිළිපදින සිරිත් විරිත් භාවිතා කරන විදික්‍රම ආදී බොහොමයක් අපට ලැබෙන්නේ අපේ දෙමව්පියන්ගෙන් බව සෑබෑය. නමුත් ඒ සියලු දෑ අපේ දෙමව්පියන්ගේ නිර්මාණ නොවේ. ඉතිහාසය පුරා සිංහළුන් විසින් බත් කෑමේ සංස්කෘතියට එකතු කරන ලද දේය. ඒ නිසා බත් කෑමෙහි ඓතිහාසික ක්‍රියාවලියක එකතුවක් නැත්නම් මතකයක් ගැබ්වී ඇත. සිංහල භාෂාවද එවැනි සංස්කෘතික මතකයකි. ජාතියේ අනන්‍යතාව ගලා යාමට නම් ජාතියකට එවැනි සංස්කෘතික මතක තිබිය යුතුය. ජාතියක් ඉතිහාසය දැන සිටි පමණින් සංස්කෘතික මතක පිහිටන්නේ නැත. උදාහරණයක් වශයෙන් ඊජිප්තු ජාතිකයින්ට පේරෝවරුන් දක්වා දිවෙන ඉතිහාසයක් තිබුනද අද වෙසෙන ඊජිප්තු ජාතිකයින්ට ඒ පිළිබඳ සංස්කෘතික මතක නැත. සංස්කෘතික මතක නැතිව සංස්කෘතියේත් ඒ නිසා ජාතියේවත් ගලා යෑමක් පවත්වාගත නොහැකිය.

ජෛවීය මතකයටත් සංස්කෘතික මතකයටත් අමතරව සිංහළුන්ට වැදගත් වන තවත් මතකයක් ඇත.  එය සංසාරික මතකය ලෙස හැඳින්විය හැකිය.

පෘතග්ජනයින් වශයෙන් අපි පුණර්භවය විශ්වාස කරන්නෙමු. ආත්මයෙන් ආත්මයට මැරි මැරී ඉපදෙන බව බුදු දහමින් අපට ලැබුනක් නොව ඉන් පෙර සිටම අප තුල පැවැති විශ්වාසයකි. ආත්මයෙන් ආත්මයට මිනිස් බව ලබා හෝ නොලබා හෝ සිංහල ජාතියටම බැඳී ඉපදීම ජාතියේ සංසාරික ගලා යෑමක් ලෙස හැඳින්විය හැකිය. (ආත්මයෙන් ආත්මයට යන සංසාරික ගලා යෑමත් පරම්පරාවෙන් පරම්පරාවට යන ජෛවීය ගලා යෑමත් එක මත එක සමපාත වන ගලා යෑම් නොවේ. ඒ සමාන්තර තල දෙක අතර සම්බන්ධයක් ඇතිවේ යැයි සැලකිය හැක්කේ මිනිස් උපතකදී පමණි). සංසාරික වශයෙන් ගලා යන්නේ සංසාරික මතකයක් නිසා යැයි කිව හැකිය. සිංහළුන්ගේ දේව ඇදැහිලි තුල ජාතියේ සංසාරික මතකයක් ගැබ්වී ඇත.

අතීතයේ සිටම සිංහලයෝ දෙවියන් සහ දේවතාවන් වන්දනා කරති. දෙවි දේවතාවන්ට ඇතැම් විට ගම් කොටු වශයෙන් හැඳින්වෙන නියමිත බල ප්‍රදේශ තිබිනි. ඒ නිසා සිංහල දෙවිවරු වියුක්ත සංකල්ප නොව යම් ප්‍රදේශයක ජීවත්වුනු මිනිසුන් හා යම් බැඳීමක් ඇති කරගත් අයවුහ. බොහෝවිට දේවත්වයට පත් වන්නේ මියගිය ප්‍රභුවරයෙකි. ඒ නිසා දෙවි දේවතාවන් සහ මිනිසුන් අතර ඇති බැඳීම තවත් ඇඟට දැනුනැයි කිව හැකිය. යම් කාලවලදී රජවරුන් බෝසතුන් ලෙස හැඳින්වුනද ඒ බෝසතුන්ද නැවත දෙවිවරුන් බවට පත් කර ගැනීමෙන් පෙනී යන්නේ විවිධ සංස්කෘතික බලපෑම් මත වුවද දේච ඇදහිල්ල ගිලිහෙන්නට නොදී රැක ගැනීමට සිංහළුන් තුලවූ බලවත් කැමැත්තය. ඊට කෘතගුණ සලකමින් තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ බැල්ම සිංහළුන්ට ලැබුනි.

කාලයෙන් කාලයට එකම දෙව් අසුනේ වැඩ සිටින්නේ එකම ආත්මය නොවේ යැයි පැවසේ. එය එසේ වීම තාර්කිකය. ඒ අනුව මනුස්ස නොවන ප්‍රාණීන්ද සිංහල ජාතියත් සමඟ සංසාරිකව බැඳී සිටින්නේ යැයි සිතිය හැකිය. දෙවිවරුන් පමණක්ද? ජාතියක් ජාතියක් පාසා මේ රටේම ඉපදෙන්නට පතන මිනිසුන්ද සිටිති. ඒ නිසා අපට ජාතියේ ජෛවීය ගලා යාමට සමාන්තරව සංසාරික ගලා යෑමක් ගැනද සිතිය හැකිය. සංසාරික ගලා යෑමට හේතුවන්නේ සංසාරික මතකයයි. සිංහළුන්ගේ දේව ඇදහිල්ල තුල සිංහල ජාතියේ සංසාරික මතකයක් සංකේතවත් වේ.

අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක මත රඳා පවතින ජෛවීය ගලායාමත් සංසාරික ගලායාමත් සංස්කෘතික ගලායාමත් සිංහල ජාතියේ පැවැත්ම ලෙස හැඳින්විය හැකිය. ඒ ගලා යාම් වලට පදනම් වන්නේ ජාතියේ මතකය. සිංහල ජාතියේ පැවැත්මට සෘජු බලපෑමක් කරනුයේ යම් සුළු ජනවර්ගයක ජනගහණ වර්ධනයක් නොව සිංහළුන් අතින් ජාතියේ මතක ගිලිහීමය. මතක අළුත් කර නොගත්තොත් යම් දිනක සිංහල ජාතියද වඳවීම වැලැක්විය නොහැකිය.

10 comments:

  1. භෞතිකව මිනිසුන් වෙන් කිරීමට දරන උත්සාහය තුල සංස්කෘතික මතකයන් නැතිවෙනවා නේද?
    අතත්‍ය සමාජ ජාල හරහා ඊට අනන්‍ය සංස්කෘතියක් තුල අද දවසේ අප සොයායන්නේද එබඳු යම් සංස්කෘතියක් - ඒ පාලනය කරන්නා නොදැකම - කියා සිතේ.
    දේව ඇදහිල්ල බඳු සිතිවිලි, සිල්ප ශාස්ත්‍ර, සිට කෑම බීම දක්වාම මේ මතකයන් ක්‍රමක්‍රමයෙන් ගිලිහී යයි. ඒ හිඩැස් පිරවෙන්නේ අපට වුවමනා / ගැලපෙන දේවලින් නොවීම මා දකින අබග්ගයයි.

    ReplyDelete
    Replies
    1. ඔව් පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීම සංස්කෘතික මතකය ගිලිහෙන්ට බලපාන මූලිකම කාරණය කියා මමත් පිළිගන්නවා.

      Delete
  2. මේ ටික තේරුම් කරවන්නට අද වනවිට කී දෙනෙක් කී ආකාරයකින් උත්සාහ දරා තිබේද? එහෙත් බොහෝ දෙනා තුළට කවා ඇති බටහිර සංකල්ප නිසා, මෙවැනි අදහස් දරන්නවුන් ජාතිවාදීන් ලෙස කොන් කිරීමේ අවලම් ගතියක් තිබෙනවා. සංස්කෘතිය හා අනන්‍යතාව බේරා ගැනීමේ දේශපාලන විප්ලවයක් මෙරට තුළ බිහිවෙයි හිතන්නට අමාරුයි. ඉතිරිවී ඇති අනන්‍යතාව බේරා ගැනීමට අප කලයුත්තේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. අපි බලන්න ඕනෙ පොඩි වෙනස්කම් කරන්න

      Delete
  3. මේ ගැන අපූරූ ලිපියක් චානුක වත්තේගම මගේ අඩවියේ ලියුවා.. මම හිතන්නේ ජානක ඒක දකින්නේ නැතිව ඇති..

    ReplyDelete
    Replies
    1. නෑනේ..ලින්ක් එක දෙන්න කියවන්න

      Delete
    2. http://maathalan.blogspot.com/2014/09/is-sinhalese-becoming-minority.html

      Delete
  4. ප්‍රබප සිංහල පීචං සංස්කෘතියක් ගොඩනඟා ගැනීම කලයුතුයි

    ReplyDelete
  5. "සිංහල ජාතියේ පැවැත්මට සෘජු බලපෑමක් කරනුයේ යම් සුළු ජනවර්ගයක ජනගහණ වර්ධනයක් නොව සිංහළුන් අතින් ජාතියේ මතක ගිලිහීමය."
    ඉහත වැකිය ඉතාම වැදගත් එකක්. මා ලිවීමට අදහස් කරගෙන සිටි සම්පූර්ණ ලිපියක සාරාංශය එහි දක්වා තිබෙනවා. එකම වෙනස: මා ලිවීමට සිතා සිටියේ ලංකාවේ අලි වඳ වීම ගැනයි.

    ReplyDelete