Friday, October 17, 2014

බටහිර අධ්‍යාපනය සමාජ විශමතාවට හේතුවකි

සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ අධ්‍යාපනය හරහා සමාජයේ උස් පහත් බේද සමනය වන බවය. නමුත් මේ කථාව සම්පූර්ණයෙන් නිවැරදි නොවේ. අපි ඒ බව තේරුම් නොගන්නා එක හේතුවක් නම් ඉංග්‍රීසීන් විසින් පාසල් හා විශ්ව විද්‍යාල මෙරට පිහිටවූදා පටන් ඒවායේ ඉගෙනගත් පිරිසකට සමාජයේ ඉහලට යන්නට හැකිවුනු බව අප දැක ඇති බැවිනි. නමුත් බටහිර අධ්‍යාපනය නිසා සමාජ විශමතාවක් ඇති නොවේ යැයි ඉන් කියවෙන්නේ නැත. අනිත් හේතුව අපි කවදත් කොතැනත් තිබුනේ එකම දැනුම් පද්ධතිය යැයි සිතීමට පුරුදුවී සිටීමය. ඒ නිසා සිංහල බෞද්ධ අධ්‍යාපනයත් බටහිර අධ්‍යාපනයත් අතර වෙනසක් ඇති බව අප අතින් ගිලිහෙයි.

මෙරට පැවති පිරිවෙන් අධ්‍යාපනය සැලකුවහොත් අතීතයේ පවා ඉන් සමාජ විශමතාවන්ට සැලකිය යුතු බලපෑමක් ඇති කලැයි සිතිය නොහැකිය. පිරිවෙන් අධ්‍යාපනයේ කෙරෙන්නේ ශාස්ත්‍රීය අධ්‍යයනයකි එහි ශිල්ප හෝ ජීවනෝපායන් පිළිබඳ ඉගැන්වීමක් නොකෙරිනි. ඒ නිසා ලෞකික සැප සම්පත් සහ අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවක් පිරිවෙන් අධ්‍යාපනය හරහා ගොඩනැඟුනේ නැත. සමාජයේ උසස් තැන ලැබුනේ විඤ්ඤූන්ටය උගත්කම ඊට අනිවාර්ය සාධකයක් වුනද ප්‍රමාණවත් නොවිනි. පිරිවෙන්හි උගත් භික්‍ෂූන් වහන්සේට සමාජයේ ඉහලම තැන ලැබුණු බැවින් ඊට පිටින් ගොස් උගත්කම මත පදනම්ව සමාජ ධුරාවලියක් තනා ගැනීමට ගිහියන්ට ඉඩක් නොලැබිනි. ඒ නිසා සිංහල බෞද්ධ අධ්‍යාපනය ගිහි සමාජයේ විශමතාවන්ට සැලකිය යුතු බලපෑමක් ඇති කලැයි කිව නොහැකිය. ඒ මඟින් සමාජ ධූරා වලියක් නිර්මාණය වුනේද නැත. සිංහල බෞද්ධ අධ්‍යාපනයක් ලැබූ පමණින් කෙනෙකු සමාජයේ ඉහලට ගියේද නැත.

නමුත් බටහිර අධ්‍යාපනය සමාජ විශමතාවන්ට සෘජු බලපෑමක් ඇති කරයි. අවශ්‍යනම් කෙනෙකුට බටහිර අධ්‍යාපනය ලබා කුලය, ආර්ථික තත්වය, දේශපාලන ශක්තිය වැනි සාධක වලින් නිර්මාණය කෙරෙන සමාජ විශමතා අභිබවා සමාජයේ ඉහලට යා හැකිය. නමුත් එසේ කරන්නට ඉඩ සලසා බටහිර අධ්‍යාපනය නිකන් සිටින්නේ නැත. තෝරා ගත් තනි පුද්ගලයින්ට සමාජයේ ඉහල යන්නට ඉඩ සලසන අතරම බටහිර අධ්‍යාපනයද ඊට ආවේනිකවූ ධූරාවලියක් සමාජ ගත කරයි. එහි උගත්තු ඒ ධූරාවලිය පවත්වාගෙන යයි.

ඒ ධූරාවලියට අනුව සමාන්‍ය පෙළ අසමත්, සමාජය සමාන්‍ය පෙළ සමත්, උසස් පෙළ සමත්, විශ්ව විද්‍යාල උපාධිය හිමි ආදී වශයෙන් සමාජය වර්ග කෙරෙයි. පුද්ගලයෙකුට ලෞකික සැප සම්පත් මෙන්ම සමාජයේ පිළිගැනීමද අඩු වැඩි වශයෙන් හිමිවෙන්නේ ඒ වර්ග කිරීමට අනුවය. ඒ අනුව කලින් නොතිබුනු සමාජ විශමතාවක් බටහිර අධ්‍යාපනය හරහා නිර්මාණය කෙරෙයි. යම් පුද්ගලයෙකුට අධ්‍යාපනයක් ලබා සමාජයේ ඉහලට යන්නට ලැබීම ඒ පුද්ගලයාට සාපේක්‍ෂව යහපත් දෙයක් වුනද සමස්ථ සමාජය සැලකුවිට සමාජ විශමතා ඇති කරන නිර්ණායකයක් සමාජගතවීම කිසිසේත් යහපත් නැත. මා දකින ආකාරයට අද අප සමාජයේ උස් පහත් බේදය ඇති කරන ප්‍රධානම සාධකය බටහිර අධ්‍යාපනයයි. ඒ වර්ග කෙරීම අභිබවා යන්නට සමාජය පිළිගත් විකල්ප සමාජ-හිණි මඟක් නැති බැවින් එහි දරුණුකම තවත් වැඩිය.

බටහිර අධ්‍යාපනය නිර්මාණය කරන සමාජ ධූරාවලිය පවත්වාගෙන යන්නේ එහි උගතුන් විසින්ය. බලාපොරොත්තුවිය යුතු අයුරින්ම අද ඒ උගතුන් බහුතරයක් සිංහල බෞද්ධයෝ වෙති. බටහිර අධ්‍යාපනය ලබා සමාජයේ  ඉහලට යන සියළු දෙනාම පාහේ තමන් අත් කරගත් තරාතිරම රැක ගනුවස් බටහිර අධ්‍යාපනයේ ධූරාවලියට ගරු කරති, ඒ සඳහා පෙනී සිටිති, සටන් කරති, ඒ ධූරා වලියට පිටින් සමාජයේ ඉහලට ඒම ඊරිසියා සහගතව වලක්වති. රැකියා වලට බඳවා ගැනීමේදී උසස්වීම ලබා දීමේදී පමණක් නොවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලවල පවා බටහිර අධ්‍යාපනයේ ධූරාවලිය රැක ගැනීමට උගතුන් ගන්නා උත්සාහයන් පිළිබිඹු වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදීව සමාජ ධූරාවලියක් පවත්වාගෙන යාමට නොහැකිය. බටහිර උගත්තු බටහිර අධ්‍යාපනයෙන් නිර්මාණය කෙරෙන සමාජ-ධූරාවලිය පවත්වාගන්නේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙසටය. එහි මූලික උපක්‍රමය සැමට එක සමාන උසස් අධ්‍යාපනයක් ලැබීමට ඇති පුද්ගලික අයිතිය ඇහිරීමය නැත්නම් අධ්‍යාපන ක්‍රමය තුලද විශමතාවක් ඇති කෙරීමය. යම් පාඨමාලාවක් හැදෑරීමට ඕනෑම කෙනෙකුට ඇති අයිතිය විවිධ හේතු දක්වා සීමා කල හැකිය නැත්නම් ප්‍රමිතියට ලක් කර හෝ නොකර හෝ එකම පාඨමාලාව උගන්වන වෙනස් ආයතන අතර උස් පහත් බේදයක් ඇති කල හැකිය. එපමණක් නොවේ, බොහෝවිට විභාග සමත්වීම සඳහා අවශ්‍ය දැනුමත් රැකියාව කරගෙන යාමට අවශ්‍ය දැනුමත් අතර ගැලපීමක් නැත. ඒ නිසා සමහරවිට නියමිත විශයන් හැර වෙනත් විශයයන් හැදෑරූ අයටත් අදාල විභාග අසමත් අයටත් අවශ්‍යනම් කෙටි පුහුණුවකින් පසුව යම් රැකියාවක් කරගෙන යාමට අවස්ථාවක් සලසා දීමට පුළුවන. නමුත් උගතුන් බොහෝවිට මෙවැනි දේට හරස් කපති. 

මතුපිටින් මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා සාධාරනය කෙරුනද එහි මූලික අරමුණ පොදු සමාජයේ යහපතට වඩා බටහිර අධ්‍යාපනයේ සමාජ-ධූරාවලිය රැක ගැනීමය. නිලධාරීවාදය ලෙස හැඳින්වෙන්නේද පොදුවේ එම ධූරාවලිය රැක ගැනීම සඳහා කෙරෙන කුහක කම්ය. අද අප රටේ බටහිර අධ්‍යාපනයක් නොලබන කෙනෙකු නැත. ඒ නිසා මේ සමාජ විශමතාව ඇතිකරන්නේද ඉන් පීඩාවිඳින්නේද අපමය.

බටහිර අධ්‍යාපනය නිසා බටහිර රටවලද සමාජ විශමතාවක් ඇති කෙරෙයි. නමුත් ඔවුහු එය අපට වඩා හොඳින් කළමණාකරනය කර ගනිති. ඔවුන්ට එසේ එය කරගත හැකිවී ඇත්තේ බටහිර සංස්කෘතිය පුද්ගලික අයිතීන් වැදගත් කොට සලකන නිසාය. ඒ නිසා බටහිර රටවල අධ්‍යාපන පද්ධති අපේ පද්ධතියට වඩා ප්‍රජාතන්ත්‍රවාදීය.

අප රටේ පවතින අධ්‍යාපන අර්බුද වලට මූලික හේතුව අධ්‍යාපන පද්ධතිය ප්‍රජාතන්ත්‍රවාදී බවෙන් හීනවීමය. අධ්‍යාපන පද්ධතිය ප්‍රජාතන්ත්‍රවාදී කරගැනීමට නොහැකි වී ඇත්තේ අපි බටහිර අධ්‍යාපනයක් ලබා ගත්තද බටහිර සංස්කෘතියට අනුගතවීමට නොහැකිවී ඇති නිසා විය යුතුය. අපි බටහිර සංස්කෘතියට අනුගත විය යුතු නොවේ නමුත් කෙටි කාලීන වශයෙන් හෝ අධ්‍යාපන පද්ධතිය මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී කරගත හැකිනම් අපට අධ්‍යාපනය නිසා ඇති කෙරෙන සමාජ පීඩනය හීන කර ගැනීමට හැකි වෙනු ඇත. එසේ ප්‍රජාතන්ත්‍රවාදී කරගැනීම තුලින් රටේ අධ්‍යාපන පද්ධතිය සමාජය වර්ග කිරීම සඳහා පවතින්නක් නොව දැනුම ලබා ගැනීම හා දැනුම නිර්මාණය කිරීම සඳහා පවතින්නක් බවට පෙරලා ගත හැකිය.

8 comments:

  1. බටහිර අජ්ජාපනේට පින් සිද්ද වෙන්න නේද අද ජානකලා නිවන් ගිහින් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මම බටහිර අධ්‍යාපනයේ වරප්‍රසාද භුක්ති විඳිනබව අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි. නමුත් බටහිර අධ්‍යාපනයෙන් සමාජ විශමතාවක් නිර්මාණය කෙරෙන බව පෙනෙන්ටම තියෙන දෙයක්. ඒ හරහා සමාජ අසාධාරනයක් වෙනවා. එහෙම එකක් නැහැ කියල තමන්ට ලැබුණු වරප්‍රසාද ආරක්‍ෂා කරන එක කුහක කමක්.

      Delete
  2. මේ වගේ දේ, සිප් සතර ඉගෙන ගන්නා කාලයේ පවා මතුකිරීමට දැරූ හෑම අවස්ථාවකම එන පළමු චෝදනාවම මෙතනත් එල්ල වෙලා තියනව. ඒක ස්වාභාවිකද අස්වාභාවිකද කියන්න මට තේරෙන්නේනෑ. ඒත් ඒක පිටුපසින් ඇත්තේ "ඌ ගොඩ ගිහින් අපේ උන්ව පාගන්න හදනව" කියන මානසිකත්වය කියා හිතෙනව. ජනප්‍රිය පුවත් වලින් කථාකරන මාතෘකා ඔස්සේ ගොඩනැගෙන මනස / පිළිගැනීම් සමස්ථයේ තියන නොගැලපීම ගැන හිතන්න ඉඩක් සලසන්නේ නෑ. සීරුවට බිහිකල, හොඳින් නඩත්තු කරන, ජානක පෙන්වාදෙන අධ්‍යාපනය හරහා ගොඩ නැගෙන අසමතුළිත තාවයන්ම සියලු දෙනාම පෙලෙන බවක් සැකයක් එක්ක හෝ හිතාගන්න කැමැත්තක් නෑ - වෙනස් ගුරුත්වයකට හොඳින් හුරු කල කෙනෙකුට පෘථිවියේ ගුරුත්වයට අමාරු විය හැකියි. උපන්දා සිට අහන්න දකින්න විඳින්න ලැබෙන අගැයීම් එක්ක මේ පුද්ගල කේන්ද්‍රීය රටාවන් අවසානයේ පුද්ගලයාම පීඩාවට පත්කරනව. විසඳුමක් ගැන හිතන්නවත් මා නොපෙලඹෙන්නේ තැනින් තැන සිදුවන කථාබහක් මිසක එයින් ඔබ්බට යමක් සිදුවන බව නොපෙනීම නිසාමය. ඒ වෙනුවට ප්‍රස්නය නගන පුද්ගලයාම අභියෝගයට ලක්වීමම සිදුවේ.

    ReplyDelete
    Replies
    1. සමහර අය මාතෘකාවෙන් එහාට ලිපියක් කියවන්නෙත් නෑනෙ තිස්ස.

      Delete
  3. //අධ්‍යාපනය මානසිකත්වය හා බටහිර රටවල්// යන මැයෙන් යුතුව ඊයේ දිවයින පුවත් පතේ පළ වූ විශේෂාංගයෙන් ගෙන එන දැනුම මේ ලිපිය සමගම එක් කර කියවිය හැකිනම් පාඨකයා තවත් ප්‍රයෝජන ලබාවි. බොහෝ දෙනකු තවමත් අවධානය යොමු නොකරන ඉසව්වකින් //අධ්‍යාපනය// යන්න සොයා යන්නට මේ ලිපි දෙකම මහඟු අත්වැලක්.
    ඈත අතීතයේ බිහිකර ඇති තවමත් සිතා ගැනීමට අපහසු තරම් විශ්මය ජනක, භෞතික මෙන්ම භෞතික නොවූ නිර්මාණයන් කළ ශිල්පීන්, විද්‍යා විශාරදයන් ඉංජිනේරුවන් වෛද්‍යවරුන් විද්වතුන් බිහි කළ //අධ්‍යාපනය/ ලැබුණේ කෙසේද ? කොතැනින්ද ? කවුරුන් මගින්ද ?කුමණ ක්‍රමයන් මගින්ද ? යන්න බටහිර ග්‍රීසියෙන් මිස පෙරදිග රටකින් සොයා බලන්නට උත්සාහ කරන විද්වතුන් තවම හිඟ නිසා වංශපුර දේවගේ ඔබතුමාට පින්.

    ReplyDelete
    Replies
    1. ඔබටත් පිං දිරි ගැන්වීමට

      Delete
  4. ඔව් පැරණි සිංහල සමාජයේ අධ්‍යාපනය ලැබීම සමාජයේ උසස් තල වලට යෑමට පිටුයවහලක් වුනේ නෑ. ඒ ඇයි? මම දකින විදිහට පියාගෙන් පුතාට උරුමවුනු කුළ ක්‍රමයක් පැවතුනු ඒ සමයේ අධ්‍යාපනය ලැබුවා කියා තමන්ට පරම්පරාවෙන් උරුමවුනු රැකියාවෙන් හෝ සමාජ තත්වයෙන් මිදෙන්න පුද්ගලයාට අවකාශ ලැබුනේ නෑ නේද? එහෙම බලද්දී උප්පත්තියෙන්ම තීරණය කෙරෙන සමාජ විශමතාවයට වඩා පුද්ගලයා‍ගේ දක්ෂතාවයට හා උත්සායට අනුරූපව සමාජයේ ඉහළට යෑමට ඉඩ සලස්වන බටහිර ක්‍රමය වඩා හොද නැද්ද?
    අධ්‍යාපන අවස්ථා මීට වඩා පුළුල් කිරීම හා මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී කිරීම ගැන සම්පූර්ණයෙන් එකඟ වන අතර අපේ රට වලට වඩා බටහිර රටවල අධ්‍යාපනයට අවස්ථා පුළුල් කර ඇතිබවයි මගේ හැගීම.

    ReplyDelete
    Replies
    1. යම් කෙනෙකුට බටහිර අධ්‍යාපනය ලබා සමාජයේ ඉහලට යන්නට පුළුවන්වීම ප්‍රශ්ණයක් නොවෙයි. නමුත් එහෙම යන උගත්තු බටහිර අධ්‍යාපනය පදනම් කරගෙන සමාජ-ධූරාවලියක් පවත්වාගෙන යාම සමාජයට කරන අසාධාරනයක්. විභාග අසමත් අය සමාජයේ පහලට තල්ලු කෙරීම සාධාරනද? විභාග වලින් මණින හැකියාවට සිංහල බෞද්ධ සංස්කෘතිය තුල උසස් බවක් පිදිය යුතුද?

      අපිට කල හැක්කේ සමාජ විශමතාව අවම කිරීමට උත්සාහ කිරීමයි. සමාජ විශමතාවක් නිසා මිනිසුන්ට ඇතිකරන පීඩාව උස්-පහත් බව අතර වෙනසට සමානුපාතයි. ඒ වෙනස වැඩිවෙන විට ඇති කරන පීඩාවත් වැඩියි. වෙනස අඩුවෙනවිට පීඩාව අඩුයි. මම හිතන විදිහට (මෙය අද මැණ ගන්න විදිහක් නැහැ) එදා කුල ක්‍රමය නිසා සමාජ විශමතාවක් තිබුණානම් එහි තිබුණු උස්-පහත් බව අතර වෙනස අද සමාජයේ උස්-පහත් අතර වෙනසට වඩා අඩුයි.

      ඒ කොහොම වෙතත් අද බටහිර අධ්‍යාපනයෙන් ඇති කරන විශමතාව නැති කිරීම හරහා නැවතත් කුල ක්‍රමයක් හෝ ඊට සමාන වෙන දෙයක් බිහිවෙයි කියා හිතන්න බැහැ. ඒ නිසා බටහිර අධ්‍යාපනයෙන් ඇති කරන විශමතාව පවත්වාගෙන යාමට සාධාරන හේතුවක් නැහැ.

      Delete