Friday, October 31, 2014

පාසල් යන්නේ කුමටද?

අප රටේ පාසල් හා විශ්ව විද්‍යාල මඟින් මූලික වශයෙන් කෙරෙන්නේ යම් විධිමත් ක්‍රමයකට අනුව සමාජය තුල දැනුම බෙදා හැරීමය. දැනුම බෙදා හැරීම තුලින් පොදුවේ සමාජයට කිසියම් සෙතක් වේයැයි අපි සිතන්නෙමු. නමුත් එසේ සෙතක් සලසන්නට නම් මේ ආයතන බෙදාහරින දැනුම් කෙබඳු විය යුතුද ඒ ඒ දැනුම් බෙදා හැරිය යුත්තේ කා අතරද ඒ ඒ දැනුම් බෙදා හරින විධික්‍රමය කුමක්ද වැනි ප්‍රශ්ණවලට පිළිතුරු අපි දැන ගෙන සිටිය යුතුය. නමුත් අපි කවදාවත් මේ ප්‍රශ්ණ අපෙන් විමසාවත් නැත. ඇත්තෙන්ම මෙරට දරුවන් පාසල් හා විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබිය යුත්තේ කුමක් අරභයාද?

සමහර දැනුම් පොදුවේ ගත්විට පතවතින්නේම දැනුම සඳහාය. සමහර දැනුම් ලෞකික ජීවිතය සුඛිත මුදිත කිරීමෙහි යොදා ගත හැකි දැනුම්ය. සමහර දැනුම් වැදගත් වන්නේ සමාජයක් යම් සදාචාරයක බැඳ තබා ගැනීමටය. අධ්‍යාපන ක්‍රමයකින් බලාපොරොත්තුව විය යුත්තේ මේ විවිධ වර්ගයේ දැනුම් සමාජයට උපරිම ලෙස වැඩදායක වන පරිදි ඒ ඒ දැනුමට සරිලන ක්‍රමයකට අනුව සුදුසු පුද්ගලයින් අතර බෙදා හැරීමය.


නමුත් අද අප රටේ පවතින අධ්‍යාපන ක්‍රමය ඉංග්‍රීසීන් විසින් ඇති කලේ මේ කිසිවක් සලකා බලා නොවේ. ඉංග්‍රීසීන්ට අවශ්‍ය වූයේ පාසල් හා විශ්ව විද්‍යාල හරහා ඉංග්‍රීසි සමාජයට ගැලපෙන උගතුන් පිරිසක් මෙරට ඇති කිරීමටය. නිදහසින් පසුද අප කලේ ඒ අධ්‍යාපන ක්‍රමයම කිසිදු වෙනසක් නැතිව තව දුරටත් රට පුරා ව්‍යාප්ත කිරීම පමණි. මේතාක් කල් එහි වෙනසක් සිදු කෙරුනේ නම් ඒ විශයමාලාවේ සහ විභාග ක්‍රමයේ යම් වෙනස් කිරීම් පමණි. නමුත් මේ කිසි වෙනසක් මෙරට සමාජයේ යහපත උදෙසා දැනුම බෙදා හැරිය යුත්තේ කෙසේද යන්න සලකා බලා කල වෙනස්කම් බව නොපෙනේ. අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම්ද මෙරට අනිකුත් ක්‍ෂේත්‍රවල සිදුකෙරෙන වෙනස්කම් මෙන් සුද්දා දැක්කොත් මොනව හිතාවිදැයි හීන මානයෙන් බටහිරුන්ගේ ඇගයීමට ලක්වෙනු පිණිස සිදුකෙරෙන ඒවාය.


විද්‍යා උපාධිය සමත්වීමට නම් අවකලණ සමීකරණ විසඳීමට දැන ගෙන සිටිය යුතුය. නමුත් මා හොඳින් දන්නා පරිදි විද්‍යා උපාධිදාරීන් අති බහුතරයකට මේ දැනුමෙන් ඇති එකම ප්‍රයෝජනය උපාධිය ලබා ගැනීම පමණි. ඒ දැනුමින් ප්‍රයෝජනයක් ඇත්නම් ඒ ඇත්තේ ආචාර්ය උපාධිය හදාරන අතලොස්සකට පමණි. උපාධිය සඳහා අවකලණ සමීකරණ විසඳීමට නම් උසස් පෙළට අවකලණය හදාරා තිබිය යුතුය. නමුත් උසස් පෙළට අවකලණය හැදෑරූ අයෙක් උසස් පෙළින් පසුව අධ්‍යාපනය නවතන්නේ නම් ඔහුටවත් ඔහුගෙන් සමාජයටවත් ඔහු දන්නා අවකලණය පිළිබඳ දැනුමෙන් සෙතක් වන්නේ නැත. සිදු වන්නේ ඉතා සුළු පිරිසකට පමණක් ප්‍රයෝජනයට ගත හැකි දැනුමක් බහුතරයක් විසින් විවිධ මට්ටම් වල විභාග සමත්වීමට පමණක් යොදා ගැනීමය. මෙය ප්‍රශ්ණයක් නොවේද? අවශ්‍ය කෙනෙකුට අචාර්ය උපාධියක් දක්වා ඕනෑම දැනුමක් ලබා ගැනීම සඳහා අයිතියක් මෙන්ම පහසුකමක්ද තිබිය යුතු බව අවිවාදයෙන් පිලිගනිමි. නමුත් සුළු පිරිසකට පමණක් ප්‍රයෝජනයට ගත හැකි දැනුමක් විශාල පිරිසක් අතර බෙදා හැරීමටත් ඔවුන් විසින් එය ලබා ගැනීමටත් කාලය ශ්‍රමය සහ ධනය යෙදවීම රටේ යහපත සඳහා කෙරන කාර්යක්‍ෂම ආයෝජනයක් විය නොහැකිය.


දළ වශයෙන් සැලකූ විට දැනුම සඳහාම පවතින බොහෝ දැනුම් පද්ධති (විශේෂයෙන්ම කලා හා විද්‍යා විශයන්) සම්බන්ධයෙන් මේ කථාව සත්‍යය යැයි මම සිතමි. බොහෝ කලා හා විද්‍යා උපාධිදාරීන් ලබන අධ්‍යාපනයත් ඔවුන් කරන රැකියාත් අතර පැහැදිලි ගැලපීමක් නැති බව රහසක් නොවේ. ඒ නිසා දැනුම සඳහාම පවතින දැනුම් බෙදා හැරිය යුත්තේ කෙසේද කා අතරද මොන ක්‍රමයටද යන්න ගැන අපි විසින් විමසා බැලිය යුතුය. එවැනි ප්‍රතිපත්තිමය විමසුමක් මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ කෙරී නැත.


දැනුම සඳහාම පවතින දැනුම් වලට සාපේක්‍ෂව ලෞකික සුඛවිහරණය සඳහාවූ දැනුම් (උදාඃ තාක්‍ෂණය, වෙදකම, ගොවිකම) වඩාත් පළුුල් ලෙස සමාජය තුල බෙදා හැරිය යුතුයැයි සිතිය හැකිය. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමය තුල එවැනි ප්‍රවණාතාවක් නැත. එය ප්‍රශ්ණයකි. බොහෝවිට ඉන්ජීනේරු විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව හදාරන්නට ලැබෙන්නේ තෝරා ගත් සුලු පිරිසකට පමණි. එසේ සීමා කිරීම එහි උගතුන්ගේ උන්නතියට හේතු විය හැකි වුවද පොදු සමාජයට ඉන් යහපතක් වේ යැයි සිතිය නොහැකිය. 


රටක සදාචාරය යනු දැනුම් පද්ධතියකි. සමාජයක් එක්ව ජීවත්වීමට නම් ඒ දැනුම පොදුවේ සැමට තිබිය යුතු අතර එය ක්‍රියාවේ යෙදවීමට පුරුද්දක් එහි මිනිසුන්ට තිබිය යුතුය. මේ දැනුම් පද්ධතිය බෙදා හැරීම පාසල් හා විශ්ව විද්‍යාලවල වගකීම විය යුතුය. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමය තුල අපේ සදාචාරාත්මක දැනුම් පද්ධතිය කියා නොදෙයි. එය ප්‍රශ්ණයකි.


දැනුම බෙදා හැරීම තුලින් උපරිම වශයෙන් සමාජයට සෙතක් සලසා ගන්නට නම් විවිධ දැනුම් ඒ ඒ දැනුමට සරිලන ක්‍රමයකට අනුව සුදුසු පුද්ගලයින් අතර බෙදා හරින්නේ කෙසේද යන්න විමසිය යුතුය. දැනුමට බය පක්‍ෂපාත විය යුතු නැත. දැනුමට දේවත්වයෙන් සැලකිය යුතු නොවේ. මිනිසුන් දැනුම් නිර්මාණය කරන්නේ අවිද්‍යාව නිසාය.  

Monday, October 27, 2014

අධ්‍යාපනය සහ රැකියාව

මීට වසර පණහකට හැටකට ඉහතදී වසර දහයක පමණ පාසල් අධ්‍යාපනයක් ලද අයෙකුට ආණ්ඩුවේ ලිපිකරු සේවයේ රැකියාවක් ලබා ඒ වරමින් එකල සමාජයේ මධ්‍යම පංතියට උසස්වීමක් ලබා ගැනීමට හැකිවිනි. නමුත් අද විශ්ව විද්‍යාල උපාධියක් ලබාවත් ඊනියා මධ්‍යම පංතියේ පා පුවරුවටවත් පය ගසා ගැනීමට නොහැකි අය සිටිති. ඊට හේතු බොහොමයක් තිබිය හැකිය. නමුත් මේ නොහැකියාවට හේතුව විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ යම් අඩුවක් යැයි පැවසීම නොමඟ යැවීමකි.

අද සමාජ හිනිමඟේ ඉහල යාමට ඇති තරඟය එදාට වඩා උග්‍රය. මීට වසර පණහකට හැටකට ඉහත ජීවත්වුනු බහුතරයක් ගැමියන්ට අපට මෙහෙම හොඳා යැයි සිතමින් උගතුන් විසින් පවත්වාගෙන ගිය සමාජ-හිනිමඟ ප්‍රතික්‍ෂේප කරන්නට තරම් ශක්තියක් තිබුනද අද ඒ ශක්තිය කාහටවත් නැත. අද මුළු රටම උත්සාහ කරන්නේ ඒ හිනිමඟේ ඉහලට යන්නටය. ඒ ගැන තනි පුද්ගලයින් මත වරදක් පැවරිය නොහැකිය. උගතුන්ගේ හිනිමඟෙහි දිගද ආනතියද එන්න එන්නම වැඩිවෙයි. අද රස්සාවක් සොයා ගැනීම සඳහා සමත් විය යුතු විභාග ගණන හැදෑරිය යුතු පාඨමාලා ගණන එදාට වඩා වැඩිය. හිනිමඟේ ආනතිය වැඩි නිසා පහල සිටිනවුන්ට දැනෙන ආතතියද වැඩිය. මේ ප්‍රශ්ණය විශ්ව විද්‍යාලවල කෙරෙන වෙනස්කම් තුලින් විසඳිය නොහැකිය. එය විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අවුලක් ලෙස සලකා ඊට විසඳුම් සෙවීම විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලබන සියයට අනූවකටත් වඩා වැඩි බහුතරයක් ශිෂ්‍යයන්ගේ සහ ඔවුන්ගේ දෙමව්පියන්ගේ ප්‍රශ්ණ අමතක කිරීමකිි.


ඔවුන් පිලිගැනීමට අකමැති වුනද අද රටේ සමාජ හිනිමඟ පවත්වාගෙන යන්නේ උසස් අධ්‍යාපනයක් ලද උගතුන් විසිනි. ඔවුන් සමහරක් සිතන පරිදි බටහිර අධ්‍යාපනය මඟින් ඇති කෙරෙන සමාජ විශමතාව අද නැති කලහොත් හෙට ඊට විකල්පයක් වශයෙන් කුලවාදයක් බිහිවේ යැයි පැවසීම තාර්කික නොවේ. සමාජයක් පවත්වාගෙන යෑමට ස්වභාවයෙන්ම එහි උස් පහත් බවක් තිබිය යුතුය යන්නද පිලිගත නොහැකිය. සමාජය විසින් උසස් යයි සැලකෙන පිරිසක් රටක සිටිය යුතු බව සත්‍යය. නමුත් ඔවුන් උගතුන් මෙන්ම ගුණවතුන්ද විය යුතුය. බටහිර ලිබරල් අධ්‍යාපන ක්‍රමය ගුණවත් මිනිසුන් බිහි කිරීම එහි වගකීම ලෙස සලකන්නේ නැත. නමුත් ගුණවත් මිනිසුන් බිහි කිරීම දෙමව්පියන්ගේ හෝ පංසලේ හෝ පල්ලියේ හෝ කෝවිලේ හෝ කාරියක් පමණක් නොව අධ්‍යාපන ක්‍රමයේම වගකීම විය යුතුය. එවැනි අධ්‍යාපන ක්‍රමයකින් බිහිවෙන නැණ ගුණවත් මිනිස්සු සමාජ හිනිමඟක් පවත්වාගෙන යාමට උනන්දු නොවෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. සමාජ විශමතාවට තුඩු නොදෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනඟා ගැනීම අපේ දීර්ඝ කාලීන අරමුණ විය යුතුය.


කෙටි කාලීනව අපට කල හැක්කේ සමාජ-හිනිමඟේ ඉහල යෑමට ඇති තරඟය සාධාරන තරඟයක් බවට පත් කෙරීමය. එය දෙආකාරයකින් සිදු කල යුතුය. එක් ආකාරයක් නම් අධ්‍යාපන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී කෙරීමය අනික රැකියාවලට බඳවා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී කෙරීමය.


අධ්‍යාපන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී කෙරීම යනු රටේ වැඩිපුර ඉල්ලුමක් ඇති, එනම් සමාජයේ ඉහලට යා හැකි යැයි සැලකෙන රැකියා දිනා ගත හැකි අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීමට සැමට සමාන අවස්ථාවක් ලබා දීමය. එය කල හැකි එක් ආකාරයක් නම් රජයේ සහ සාධාරන මුදලක් අය කරන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන බහුල කිරීමය. අනිත් ආකාරය කැමති විශයකින් ඉහල අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇති බාධක අවම කිරීමය. උදාහරණයක් වශයෙන් බොහෝ විශයන් ඉහලට හැදෑරීමට ගණිතයෙහි සමත්කම එතරම් වැදගත් නොවේ. එබැවින් සාමාන්‍ය පෙළ ගණිතය අසමත්වීම ඉන් ඉහලට අධ්‍යාපනයක් ලැබීම වැලැක්වීමට සාධාරන හේතුවක් නොවේ. උසස් පෙළ මට්ටමේදීම සිසුන් ඒ ඒ විශයධාරා තුලට කොටු කෙරීමද සාධාරන නොවේ. උසස් පෙළට පමණක් නොව විශ්ව විද්‍යාල මට්ටමේ මුල් දෙවසර පමණ දක්වා සිසුන්ට විවිධ විශයධාරා තෝරා ගැනීමට නිදහසක් දිය යුතුය.


රැකියාවලට බඳවා ගැනීමද මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුය. අද බහුතරයක් උපාධිදාරීන් සොයන්නේ විවිධ ක්‍ෂේත්‍රවල කලමණාකාර රස්සාය. එවැනි රස්සාවලට බඳවා ගැනීමේදී බලන්නේ ඔවුන්ගේ සොෆ්ට් ස්කිල්ස්ය. මේ සොෆ්ට් ස්කිල්ස් මොනවාත් නොව බටහිර සංස්කෘතිය අනුකරණය කිරීමට දක්වන සමත්කම්ය. ගැමි පරිසරයක වැඩුනු දෙමව්පියන්ගේ දරුවන්ට මේ සොෆ්ට් ස්කිල්ස් පිහිටන්නේ අඩුවෙන්ය. විශ්ව විද්‍යාලයේ කලා විශයන් හදාරන බහුතරයක් ගැමි දමව්පියන්ගේ දරුවෝය. සාපේක්‍ෂ වශයෙන් ඔවුන් රැකියා ලබා ගැනීමේදී අඩු සමත් දක්වන්නේ ඔවුන්ගේ සංස්කෘතිය නිසා මිස උපාධියට හදාරන විශය දැනුමේ අඩුවක් නිසා නොවේ. අපි කල යුත්තේ මේ දරුවන්ගේ මුදු ගති මකා ඔවුන්ට සොෆ්ට් ස්කිල්ස් පෙවීම නොවේ. සොෆ්ට් ස්කිල්ස් නැති ඉංග්‍රීසි භාශාව චතුර ලෙස කථා කල නොහැකි ප්රසන්ටේශන් කල නොහැකි ලංකාවේ උපාධි දාරීන්ට බටහිර රටක අචාර්ය උපාධියක් ලබා ගැනීමට හැකිනම් ඊනියා සොෆ්ට් ස්කිල්ස් ඔය කියන තරම් වැදගත් විය නොහැකිය.


බටහිර සංස්කෘතියේ සොෆ්ට් ස්කිල්ස් නැතිව ලංකාවේ කල නොහැකි කලමණාකාර රස්සාවක් තිබිය නොහැකිය. මේ ආයතන සේවය කරන්නේ ලංකාවේ මිනිසුන්ටය, ගණුදෙනු කරන්නේ ලංකාවේ මිනිසුන් සමඟය භාණ්ඩ අලෙවි කරන්නේ ලංකාවේ මිනිසුන්ටය. ඒ නිසා කළමණාකාර රස්සා වලට බඳවා ගත යුත්තේ ලංකාවේ සංස්කෘතියට අනුකුල නායකත්ව හැකියාවක් ඇතිවුන්ය. අතීතයේ නම් බෞද්ධ භික්‍ෂූන් විසින් ලබාදුන් නායකත්ව පුහුණුව කළමණාකරුවන් කෙසේ වෙතත් රජ වරු බිහි කිරීමට පවා ප්‍රමාණවත් විය. සිදුවිය යුත්තේ උපාධි දාරීන්ට ඊනියා සොෆ්ට් ස්කිල්ස් පෙවීම නොව රැකියා අයතන තුල පරිපාලන සංස්කෘතිය රටේ සංස්කෘතියට ගැලපෙන පරිදි යාවත් කාලීන වීමය.


සමාජ විශමතාව නිසා ඇති කෙරෙන පීඩනය මර්ධනය කර ගැනීමට නම් අධ්‍යාපන ක්‍රමයත් රැකියාවලට බඳවා ගැනීමත් මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී කර ගත යුතුය.

Friday, October 17, 2014

බටහිර අධ්‍යාපනය සමාජ විශමතාවට හේතුවකි

සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ අධ්‍යාපනය හරහා සමාජයේ උස් පහත් බේද සමනය වන බවය. නමුත් මේ කථාව සම්පූර්ණයෙන් නිවැරදි නොවේ. අපි ඒ බව තේරුම් නොගන්නා එක හේතුවක් නම් ඉංග්‍රීසීන් විසින් පාසල් හා විශ්ව විද්‍යාල මෙරට පිහිටවූදා පටන් ඒවායේ ඉගෙනගත් පිරිසකට සමාජයේ ඉහලට යන්නට හැකිවුනු බව අප දැක ඇති බැවිනි. නමුත් බටහිර අධ්‍යාපනය නිසා සමාජ විශමතාවක් ඇති නොවේ යැයි ඉන් කියවෙන්නේ නැත. අනිත් හේතුව අපි කවදත් කොතැනත් තිබුනේ එකම දැනුම් පද්ධතිය යැයි සිතීමට පුරුදුවී සිටීමය. ඒ නිසා සිංහල බෞද්ධ අධ්‍යාපනයත් බටහිර අධ්‍යාපනයත් අතර වෙනසක් ඇති බව අප අතින් ගිලිහෙයි.

මෙරට පැවති පිරිවෙන් අධ්‍යාපනය සැලකුවහොත් අතීතයේ පවා ඉන් සමාජ විශමතාවන්ට සැලකිය යුතු බලපෑමක් ඇති කලැයි සිතිය නොහැකිය. පිරිවෙන් අධ්‍යාපනයේ කෙරෙන්නේ ශාස්ත්‍රීය අධ්‍යයනයකි එහි ශිල්ප හෝ ජීවනෝපායන් පිළිබඳ ඉගැන්වීමක් නොකෙරිනි. ඒ නිසා ලෞකික සැප සම්පත් සහ අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවක් පිරිවෙන් අධ්‍යාපනය හරහා ගොඩනැඟුනේ නැත. සමාජයේ උසස් තැන ලැබුනේ විඤ්ඤූන්ටය උගත්කම ඊට අනිවාර්ය සාධකයක් වුනද ප්‍රමාණවත් නොවිනි. පිරිවෙන්හි උගත් භික්‍ෂූන් වහන්සේට සමාජයේ ඉහලම තැන ලැබුණු බැවින් ඊට පිටින් ගොස් උගත්කම මත පදනම්ව සමාජ ධුරාවලියක් තනා ගැනීමට ගිහියන්ට ඉඩක් නොලැබිනි. ඒ නිසා සිංහල බෞද්ධ අධ්‍යාපනය ගිහි සමාජයේ විශමතාවන්ට සැලකිය යුතු බලපෑමක් ඇති කලැයි කිව නොහැකිය. ඒ මඟින් සමාජ ධූරා වලියක් නිර්මාණය වුනේද නැත. සිංහල බෞද්ධ අධ්‍යාපනයක් ලැබූ පමණින් කෙනෙකු සමාජයේ ඉහලට ගියේද නැත.

නමුත් බටහිර අධ්‍යාපනය සමාජ විශමතාවන්ට සෘජු බලපෑමක් ඇති කරයි. අවශ්‍යනම් කෙනෙකුට බටහිර අධ්‍යාපනය ලබා කුලය, ආර්ථික තත්වය, දේශපාලන ශක්තිය වැනි සාධක වලින් නිර්මාණය කෙරෙන සමාජ විශමතා අභිබවා සමාජයේ ඉහලට යා හැකිය. නමුත් එසේ කරන්නට ඉඩ සලසා බටහිර අධ්‍යාපනය නිකන් සිටින්නේ නැත. තෝරා ගත් තනි පුද්ගලයින්ට සමාජයේ ඉහල යන්නට ඉඩ සලසන අතරම බටහිර අධ්‍යාපනයද ඊට ආවේනිකවූ ධූරාවලියක් සමාජ ගත කරයි. එහි උගත්තු ඒ ධූරාවලිය පවත්වාගෙන යයි.

ඒ ධූරාවලියට අනුව සමාන්‍ය පෙළ අසමත්, සමාජය සමාන්‍ය පෙළ සමත්, උසස් පෙළ සමත්, විශ්ව විද්‍යාල උපාධිය හිමි ආදී වශයෙන් සමාජය වර්ග කෙරෙයි. පුද්ගලයෙකුට ලෞකික සැප සම්පත් මෙන්ම සමාජයේ පිළිගැනීමද අඩු වැඩි වශයෙන් හිමිවෙන්නේ ඒ වර්ග කිරීමට අනුවය. ඒ අනුව කලින් නොතිබුනු සමාජ විශමතාවක් බටහිර අධ්‍යාපනය හරහා නිර්මාණය කෙරෙයි. යම් පුද්ගලයෙකුට අධ්‍යාපනයක් ලබා සමාජයේ ඉහලට යන්නට ලැබීම ඒ පුද්ගලයාට සාපේක්‍ෂව යහපත් දෙයක් වුනද සමස්ථ සමාජය සැලකුවිට සමාජ විශමතා ඇති කරන නිර්ණායකයක් සමාජගතවීම කිසිසේත් යහපත් නැත. මා දකින ආකාරයට අද අප සමාජයේ උස් පහත් බේදය ඇති කරන ප්‍රධානම සාධකය බටහිර අධ්‍යාපනයයි. ඒ වර්ග කෙරීම අභිබවා යන්නට සමාජය පිළිගත් විකල්ප සමාජ-හිණි මඟක් නැති බැවින් එහි දරුණුකම තවත් වැඩිය.

බටහිර අධ්‍යාපනය නිර්මාණය කරන සමාජ ධූරාවලිය පවත්වාගෙන යන්නේ එහි උගතුන් විසින්ය. බලාපොරොත්තුවිය යුතු අයුරින්ම අද ඒ උගතුන් බහුතරයක් සිංහල බෞද්ධයෝ වෙති. බටහිර අධ්‍යාපනය ලබා සමාජයේ  ඉහලට යන සියළු දෙනාම පාහේ තමන් අත් කරගත් තරාතිරම රැක ගනුවස් බටහිර අධ්‍යාපනයේ ධූරාවලියට ගරු කරති, ඒ සඳහා පෙනී සිටිති, සටන් කරති, ඒ ධූරා වලියට පිටින් සමාජයේ ඉහලට ඒම ඊරිසියා සහගතව වලක්වති. රැකියා වලට බඳවා ගැනීමේදී උසස්වීම ලබා දීමේදී පමණක් නොවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලවල පවා බටහිර අධ්‍යාපනයේ ධූරාවලිය රැක ගැනීමට උගතුන් ගන්නා උත්සාහයන් පිළිබිඹු වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදීව සමාජ ධූරාවලියක් පවත්වාගෙන යාමට නොහැකිය. බටහිර උගත්තු බටහිර අධ්‍යාපනයෙන් නිර්මාණය කෙරෙන සමාජ-ධූරාවලිය පවත්වාගන්නේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙසටය. එහි මූලික උපක්‍රමය සැමට එක සමාන උසස් අධ්‍යාපනයක් ලැබීමට ඇති පුද්ගලික අයිතිය ඇහිරීමය නැත්නම් අධ්‍යාපන ක්‍රමය තුලද විශමතාවක් ඇති කෙරීමය. යම් පාඨමාලාවක් හැදෑරීමට ඕනෑම කෙනෙකුට ඇති අයිතිය විවිධ හේතු දක්වා සීමා කල හැකිය නැත්නම් ප්‍රමිතියට ලක් කර හෝ නොකර හෝ එකම පාඨමාලාව උගන්වන වෙනස් ආයතන අතර උස් පහත් බේදයක් ඇති කල හැකිය. එපමණක් නොවේ, බොහෝවිට විභාග සමත්වීම සඳහා අවශ්‍ය දැනුමත් රැකියාව කරගෙන යාමට අවශ්‍ය දැනුමත් අතර ගැලපීමක් නැත. ඒ නිසා සමහරවිට නියමිත විශයන් හැර වෙනත් විශයයන් හැදෑරූ අයටත් අදාල විභාග අසමත් අයටත් අවශ්‍යනම් කෙටි පුහුණුවකින් පසුව යම් රැකියාවක් කරගෙන යාමට අවස්ථාවක් සලසා දීමට පුළුවන. නමුත් උගතුන් බොහෝවිට මෙවැනි දේට හරස් කපති. 

මතුපිටින් මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා සාධාරනය කෙරුනද එහි මූලික අරමුණ පොදු සමාජයේ යහපතට වඩා බටහිර අධ්‍යාපනයේ සමාජ-ධූරාවලිය රැක ගැනීමය. නිලධාරීවාදය ලෙස හැඳින්වෙන්නේද පොදුවේ එම ධූරාවලිය රැක ගැනීම සඳහා කෙරෙන කුහක කම්ය. අද අප රටේ බටහිර අධ්‍යාපනයක් නොලබන කෙනෙකු නැත. ඒ නිසා මේ සමාජ විශමතාව ඇතිකරන්නේද ඉන් පීඩාවිඳින්නේද අපමය.

බටහිර අධ්‍යාපනය නිසා බටහිර රටවලද සමාජ විශමතාවක් ඇති කෙරෙයි. නමුත් ඔවුහු එය අපට වඩා හොඳින් කළමණාකරනය කර ගනිති. ඔවුන්ට එසේ එය කරගත හැකිවී ඇත්තේ බටහිර සංස්කෘතිය පුද්ගලික අයිතීන් වැදගත් කොට සලකන නිසාය. ඒ නිසා බටහිර රටවල අධ්‍යාපන පද්ධති අපේ පද්ධතියට වඩා ප්‍රජාතන්ත්‍රවාදීය.

අප රටේ පවතින අධ්‍යාපන අර්බුද වලට මූලික හේතුව අධ්‍යාපන පද්ධතිය ප්‍රජාතන්ත්‍රවාදී බවෙන් හීනවීමය. අධ්‍යාපන පද්ධතිය ප්‍රජාතන්ත්‍රවාදී කරගැනීමට නොහැකි වී ඇත්තේ අපි බටහිර අධ්‍යාපනයක් ලබා ගත්තද බටහිර සංස්කෘතියට අනුගතවීමට නොහැකිවී ඇති නිසා විය යුතුය. අපි බටහිර සංස්කෘතියට අනුගත විය යුතු නොවේ නමුත් කෙටි කාලීන වශයෙන් හෝ අධ්‍යාපන පද්ධතිය මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී කරගත හැකිනම් අපට අධ්‍යාපනය නිසා ඇති කෙරෙන සමාජ පීඩනය හීන කර ගැනීමට හැකි වෙනු ඇත. එසේ ප්‍රජාතන්ත්‍රවාදී කරගැනීම තුලින් රටේ අධ්‍යාපන පද්ධතිය සමාජය වර්ග කිරීම සඳහා පවතින්නක් නොව දැනුම ලබා ගැනීම හා දැනුම නිර්මාණය කිරීම සඳහා පවතින්නක් බවට පෙරලා ගත හැකිය.

Friday, October 10, 2014

ජාතියක මතක : සිංහළුන් වඳ වී යයිද?

කාලයේ දිගින් දිගට යමක් පවතින්ට නම් අතීතය පිළිබඳ මතකයක් තිබිය යුතුය. මතකයක් නැත්නම් අපට හමුවන්නේ කාලය නමැති රේඛාවේ තැන තැන ඇති එකට හා නොවූ ලක්‍ෂ සමූහයක් පමණි. ඒ ලක්‍ෂ එකතු කර ජාතියකට ගලා යෑමක් ලබා දෙන්නේ ජාතියට ඇති මතකයයි. ඉර හඳ පවතින තුරුම සිංහල ජාතිය පවතින්නට නම් අපි ආරක්‍ෂා කරගත යුත්තේ සිංහල ජාතිය සතු මතකය.

ජාතියක මතක නොයෙක් ස්වරූපයෙන් තිබිය හැකිය. තමන් එම ජාතියට අයිති යැයි හඳුනාගන්නා පිරිසක් පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ඒම ඕනෑම ජාතියක පැවැත්මට අනිවාර්ය සාධකයක් බවකිව යුතු නැත. ජාතිය ඒ අකාරයට ජෛවීයව ගලා යන්නේ ජාතියේ ජෛවීය මතකය නිසා යැයි කිව හැකිය. බටහිර ජීව විද්‍යාවට අනුව සතුන්ගේ ජෛවීය මතකය ජානය. නමුත් ගැහැණියක හා පිරිමියකුගේ එක්වීමත් ඉන් ඇතිවෙන දරුවන්ට ජාන සම්ප්‍රේශණය වීමත් සලකා පමණක් ජාතියක් ජෛවීයව පවත්වාගෙන යන ආකාරය තේරුම්ගත නොහැකිය. ජාතියක ජෛවීය පැවැත්මට එහි සංස්කෘතිය ගැහැණුන්, විශේෂයෙන් මව්වරුන් පිළිබඳව දරන ආකල්ප වැදගත්ය. විවාහය හා දරුවන් හදා වඩා ගැනීම වැනි දේ පිළිබඳව දරන ආකල්ප වැදගත්ය. එහි මිනිසුන්ගේ ජීවන ක්‍රමය, කන බොන දෑ, මෙන්ම ඔවුන්ගේ කර්ම ශක්තිද වැදගත්ය.  සිංහල ජාතියේ ජෛවීය මතකය වන්නේ තම වර්ගයා බෝ කිරීම පිළිබඳව සිංහළුන්ට අනන්‍යවූ ඓතිහාසික සමාජීය අත්දැකීම් වලින් උරා ගත් සාරයකි. පරපුරෙන් පරපුරට සිංහල ජාතිය ගෙන යන්නේ ඒ ජෛවීය මතකයයි.

ජාතියක් පවතින්නට නම් එහි අනන්‍යතාව රැකිය යුතුය. ජාතියකට අනන්‍යතාව ලබාදෙන්නේ එහි සංස්කෘතියයි. සංස්කෘතිය වෙනස් නොවන දෙයක් නොවේ නමුත් එහි ගලා යෑමක් තිබිය යුතුය. සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ගලා යන්න නම් ජාතියකට සංස්කෘතික මතකයක්  (ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ වචනයෙන් ජීවමාන ඉතිහාසයක්) තිබිය යුතුය.

සංස්කෘතික මතකය යනු ඉතිහාසය පුරා වර්ධනය කරමින්, රැක ගනිමින් ගෙන ආ යම් යම් සක්‍රීය සංස්කෘතික ලක්‍ෂණය. උදාහරණයක් වශයෙන් සිංහලයාගේ බත් කෑම සංස්කෘතික මතකයක් ලෙස සැලකිය හැකිය. අපි වී ගොවිතැනේ සිට බත් කෑම දක්වා පිළිපදින සිරිත් විරිත් භාවිතා කරන විදික්‍රම ආදී බොහොමයක් අපට ලැබෙන්නේ අපේ දෙමව්පියන්ගෙන් බව සෑබෑය. නමුත් ඒ සියලු දෑ අපේ දෙමව්පියන්ගේ නිර්මාණ නොවේ. ඉතිහාසය පුරා සිංහළුන් විසින් බත් කෑමේ සංස්කෘතියට එකතු කරන ලද දේය. ඒ නිසා බත් කෑමෙහි ඓතිහාසික ක්‍රියාවලියක එකතුවක් නැත්නම් මතකයක් ගැබ්වී ඇත. සිංහල භාෂාවද එවැනි සංස්කෘතික මතකයකි. ජාතියේ අනන්‍යතාව ගලා යාමට නම් ජාතියකට එවැනි සංස්කෘතික මතක තිබිය යුතුය. ජාතියක් ඉතිහාසය දැන සිටි පමණින් සංස්කෘතික මතක පිහිටන්නේ නැත. උදාහරණයක් වශයෙන් ඊජිප්තු ජාතිකයින්ට පේරෝවරුන් දක්වා දිවෙන ඉතිහාසයක් තිබුනද අද වෙසෙන ඊජිප්තු ජාතිකයින්ට ඒ පිළිබඳ සංස්කෘතික මතක නැත. සංස්කෘතික මතක නැතිව සංස්කෘතියේත් ඒ නිසා ජාතියේවත් ගලා යෑමක් පවත්වාගත නොහැකිය.

ජෛවීය මතකයටත් සංස්කෘතික මතකයටත් අමතරව සිංහළුන්ට වැදගත් වන තවත් මතකයක් ඇත.  එය සංසාරික මතකය ලෙස හැඳින්විය හැකිය.

පෘතග්ජනයින් වශයෙන් අපි පුණර්භවය විශ්වාස කරන්නෙමු. ආත්මයෙන් ආත්මයට මැරි මැරී ඉපදෙන බව බුදු දහමින් අපට ලැබුනක් නොව ඉන් පෙර සිටම අප තුල පැවැති විශ්වාසයකි. ආත්මයෙන් ආත්මයට මිනිස් බව ලබා හෝ නොලබා හෝ සිංහල ජාතියටම බැඳී ඉපදීම ජාතියේ සංසාරික ගලා යෑමක් ලෙස හැඳින්විය හැකිය. (ආත්මයෙන් ආත්මයට යන සංසාරික ගලා යෑමත් පරම්පරාවෙන් පරම්පරාවට යන ජෛවීය ගලා යෑමත් එක මත එක සමපාත වන ගලා යෑම් නොවේ. ඒ සමාන්තර තල දෙක අතර සම්බන්ධයක් ඇතිවේ යැයි සැලකිය හැක්කේ මිනිස් උපතකදී පමණි). සංසාරික වශයෙන් ගලා යන්නේ සංසාරික මතකයක් නිසා යැයි කිව හැකිය. සිංහළුන්ගේ දේව ඇදැහිලි තුල ජාතියේ සංසාරික මතකයක් ගැබ්වී ඇත.

අතීතයේ සිටම සිංහලයෝ දෙවියන් සහ දේවතාවන් වන්දනා කරති. දෙවි දේවතාවන්ට ඇතැම් විට ගම් කොටු වශයෙන් හැඳින්වෙන නියමිත බල ප්‍රදේශ තිබිනි. ඒ නිසා සිංහල දෙවිවරු වියුක්ත සංකල්ප නොව යම් ප්‍රදේශයක ජීවත්වුනු මිනිසුන් හා යම් බැඳීමක් ඇති කරගත් අයවුහ. බොහෝවිට දේවත්වයට පත් වන්නේ මියගිය ප්‍රභුවරයෙකි. ඒ නිසා දෙවි දේවතාවන් සහ මිනිසුන් අතර ඇති බැඳීම තවත් ඇඟට දැනුනැයි කිව හැකිය. යම් කාලවලදී රජවරුන් බෝසතුන් ලෙස හැඳින්වුනද ඒ බෝසතුන්ද නැවත දෙවිවරුන් බවට පත් කර ගැනීමෙන් පෙනී යන්නේ විවිධ සංස්කෘතික බලපෑම් මත වුවද දේච ඇදහිල්ල ගිලිහෙන්නට නොදී රැක ගැනීමට සිංහළුන් තුලවූ බලවත් කැමැත්තය. ඊට කෘතගුණ සලකමින් තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ බැල්ම සිංහළුන්ට ලැබුනි.

කාලයෙන් කාලයට එකම දෙව් අසුනේ වැඩ සිටින්නේ එකම ආත්මය නොවේ යැයි පැවසේ. එය එසේ වීම තාර්කිකය. ඒ අනුව මනුස්ස නොවන ප්‍රාණීන්ද සිංහල ජාතියත් සමඟ සංසාරිකව බැඳී සිටින්නේ යැයි සිතිය හැකිය. දෙවිවරුන් පමණක්ද? ජාතියක් ජාතියක් පාසා මේ රටේම ඉපදෙන්නට පතන මිනිසුන්ද සිටිති. ඒ නිසා අපට ජාතියේ ජෛවීය ගලා යාමට සමාන්තරව සංසාරික ගලා යෑමක් ගැනද සිතිය හැකිය. සංසාරික ගලා යෑමට හේතුවන්නේ සංසාරික මතකයයි. සිංහළුන්ගේ දේව ඇදහිල්ල තුල සිංහල ජාතියේ සංසාරික මතකයක් සංකේතවත් වේ.

අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක මත රඳා පවතින ජෛවීය ගලායාමත් සංසාරික ගලායාමත් සංස්කෘතික ගලායාමත් සිංහල ජාතියේ පැවැත්ම ලෙස හැඳින්විය හැකිය. ඒ ගලා යාම් වලට පදනම් වන්නේ ජාතියේ මතකය. සිංහල ජාතියේ පැවැත්මට සෘජු බලපෑමක් කරනුයේ යම් සුළු ජනවර්ගයක ජනගහණ වර්ධනයක් නොව සිංහළුන් අතින් ජාතියේ මතක ගිලිහීමය. මතක අළුත් කර නොගත්තොත් යම් දිනක සිංහල ජාතියද වඳවීම වැලැක්විය නොහැකිය.

Tuesday, October 7, 2014

සිල්ලර වෙදකම

හැටේ දශකයේ ගාල්ල පැත්තේ ග්‍රාමීය රෝහලක කලක් සේවය කර දැන් විශ්‍රාම ගොස් සිටින බටහිර වෛද්‍යවරයෙකු වරක් මා සමඟ පැවසූයේ ඒ සමයේ එම රෝහලේ තිබුනේ ඖෂධ වර්ග දෙකක් පමණක් බවත් ඔහුට කල හැකිවූයේ එක් රෝගීන් ඝනයකට එක් ඖෂධයකුත් තවත් රෝගීන් ඝනයකට අනිත්  ඖෂධය දීමත් බවය. ඒ රෝග දෙකටම අයත් නොවුනු රෝගීන්ට කුමණ ඖෂධය දුන්නාදැයි මට අසාගන්නට බැරිවිනි. කෙසේ නමුත් එම රෝහලින් ඵලදායී සේවාවක් ඉටුවුනායැයි කිව නොහැකිය. එසේ වුනද ඒ ගමේ රෝගීන් ඒ රෝහලට ඇදී ආහ.

නිසැකයෙන්ම  එම බටහිර රෝහලෙන් කෙරුනු වෙදකමට වඩා වැඩි යමක් රෝගීන් වෙනුවෙන් කරන්නට එදා ගාල්ල ප්‍රදේශයේ සිටි දේශීය වෛද්‍යවරුන්ට පුළුවන් කමක් තියෙන්නට ඇති. එසේ තිබියදීත් දේශීය වෙදකම ගැන ගැමියන්ගේ තිබුණු විශ්වාසය ඉතා පහසුවෙන් සාධාරන හේතුවක් නොමැතිව බිඳ දමන්නට බටහිර වෛද්‍ය විද්‍යාවට හැකිවුනේ ඊට තිබුණු දේශපාලන ආධිපත්‍යය නිසා විය යුතුය.


එදාට සාපේක්‍ෂව අද වෙනවිට බටහිර වෛද්‍ය විද්‍යාව මෙරට තුල අත්පත් කරගෙන ඇති දේශපාලන බලය අතිමහත්ය.  අද බොහෝවිට රෝගීන් දේශීය වෛද්‍යවරු සොයා යන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් යම් ලෙඩක් සුව නොවෙන බව පෙනී යන විට පමණි. නමුත් මිනිසුන්, විශේෂයෙන්ම බටහිර සංස්කෘතියේ නොවෙන මිනිසුන්, ඒ කෙරෙහි තබන විශ්වාසයට බටහිර වෙදකමට සාධාරනයක් ඉටු කල හැකිද?


මා කථා කරන්නේ බටහිර වෛද්‍ය විද්‍යා දැනුමට යම් යම් රෝග සුව කිරීමට ඇති හැකියාව හෝ නොහැකියාව හෝ ගැන නොවේ. ඒ බව වැදගත්ය. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව සායනයේදී රෝගයත් රෝගීයාත් පිළිබඳ පිළිපදින ආචාර් ධර්ම හා ප්‍රතිපත්තිද වැදගත් කොට සැලකිය යුතුය (මේවා බටහිර දැනුමෙන් ස්වායත්ත යැයි ඉන් ඇඟවෙන්නේ නැත). වෛද්‍ය විද්‍යාවේ දැනුමටත් වඩා මේ ආචාර් ධර්ම හා ප්‍රතිපත්ති බටහිර සංස්කෘතිය සමඟ සමීපව සිටමින් සංස්කෘතිය වෙනස්වීමත් සමඟ වෙනස් වේ. ඒ නිසා සංස්කෘතියෙන් බටහිර නොවන මිනිසුන් බලාපොරොත්තු වෙන අන්දමේ සේවයක් බටහිර වෙදකමට ඉටු කල හැකිදැයි යන්න ප්‍රශ්ණයකි.


බටහිර වෛද්‍ය විද්‍යාව බටහිර භෞතික විද්‍යාව අනුගමනය කරමින් වියුක්ත මිනිසෙකු දකියි. ඒ වියුක්ත මිනිසාගේ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනෙන්නේ සංඝටක වලට බෙදා ගෙනය. ඒ අනුව මිනිසාගේ ක්‍රියාකාරිත්වය සංඝටක වල ක්‍රියාකාරකම්හි එකතුවක් ලෙස දකියි. එපමණක් නොවේ ඒ දකින මිනිසා සමාජයෙන්ද වෙන් කෙරේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ ආචාර් ධර්ම හා ප්‍රතිපත්ති වලට මේ විවිධ වෙන් කෙරීම් සෘජුවම බලපායි.


උදාහරණයක් වශයෙන් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව කෙනෙකුගේ මරණය සිදුවන්නේ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අත්හිට වුනු විටය. එය සම්මුතියක් මිස යම් මූල ධර්මයකින් පැන නඟින දැනුමක් නොවේ. මරණය එසේ වෙන් කර හඳුනාගත් කල බටහිර වෙදකමට අවසාන වශයෙන් වැදගත් වන්නේ මොනයම් ක්‍රමයකින් හෝ මොළයේ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමය. ඒ නිසා එහි සායනයේ ආචාර් ධර්ම හා ප්‍රතිපත්ති හැඩ ගැහෙන්නේ ඒ සඳහාය. නමුත් කෙනෙකුගේ නිරෝගී සම්පත මොළයේ ක්‍රියාකාරිත්වයට ලඝු කල හැකිනොවේ. කෙනෙකුගේ නිරෝගී සම්පත ඒ පුද්ගලයාට පමණක් අදාල ඔහුට පමණක් අයිති ප්‍රශ්ණයකුද නොවේ. නමුත් බටහිර වෙදකමේ අචාර ධර්මවලට ඒ සංකීර්ණකම් දරා ගත නොහැකිය.


සිරුරේ ක්‍රියාකාරිත්වය සංඝටක වලට වෙන් කෙරීම නිසා ඒ ඒ සංඝටක වල රෝගාබාධ පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති බටහිර වෛද්‍යවරු වෙති. නමුත් බොහෝවිට විවිධ විශේෂඥයින් දෙන උපදෙස් ගොනු කරගැනීමට තරම් සාමාන්‍ය මිනිසුන්ට හැකියාවක් නැත. රෝගීන්ට අවශ්‍ය තමන්ට ඇති සියලු ආබාධ ගැන සොයාබලා කටයුතු කරන විශේෂයෙන්ම ඒ ගැන වගකීම ගත හැකි යම් වෛද්‍ය වරයෙකි. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ අචාර ධර්ම සහ ප්‍රතිපත්ති වැදගත්කමක් දෙන්නේ විශේෂඥ දැනුමට මිස සමස්ථ දැනුමට නොවේ.
අනුව අවසානයේ රෝගියා තමාගේම වෛද්‍යවරයාද වන්නට සිදුවේ.

බටහිර වෛද්‍ය ප්‍රතිකර්ම වලින් බොහෝවිට රෝග නිට්ඨාවටම සුව වේ යැයි සැලකෙන්නේ නැත. එහි කෙරෙන්නේ රෝග තත්ව කළමණාකරනයකි. ඒ නිසා එකම ආබාධය වුවද විවිධ තත්ව යටතේ විවිධ ආකාරවලට කළමණාකරගැනීමට පුළුවන. යම් ප්‍රතිකර්මයකින් යම් රෝගයක් නිට්ඨාවටම සුවවේ නම් කල යුත්තේ ඒ ප්‍රතිකර්මය බවට විවාදයක් නැත. නමුත් රෝගය විවිධ ආකාරවලට කළමණාකර ගැනීමට හැකිවන විට පිලිපැදිය යුත්තේ ඉන් කුමණ ආකාරයද යන්න ප්‍රශ්ණයක් බවට පත්වේ. බටහිර අචාර ධර්මවලට අනුව ඒ තෝරා ගැනීම කල යුත්තේ රෝගියා මිස වෛද්‍යවරයා නොවේ. බටහිර සංස්කෘතියට එය ප්‍රශ්ණයක් නොවන්නේ එහි මිනිසුන් සමාජයෙන් ස්වායත්තව වැඩ කරන බැවිනි. නමුත් වෛද්‍යවරයාත් රෝගියාත් ඔහුගේ නෑ හිත මිතුරනුත් බැඳුනු සමාජයකට ඒ ආචාර ධර්ම ගැලපෙන්නේ නැත.


බටහිර වෙදකමේ අචාර ධර්ම හා ප්‍රතිපත්ති සිංහල බෞද්ධ සංස්කෘතිය හා සමපාත නොවෙන බව පැහැදිලිය. බටහිර සංස්කෘතියත් සමඟ වෙනස් වෙමින් පැමිණ අද වෙන විට බටහිර වෙදකම කඩේ සබන් විකුණනවා හා සමාන සිල්ලර වෙළඳාමක් බවට පත්වී ඇත.  රෝගීන්
එහි සබන් තෝරන පාරිභෝගිකයින් මෙනි. මෙරට බටහිර වෛද්‍යවරුන් කෙතරම් සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව හැඩ ගැහුනද ඔවුන්ට බටහිර වෙදකමේ ආචාර ධර්ම වලින් සම්පුර්ණයෙන්ම ගැලවිය නොහැක්කේ ඒවා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ස්වායත්ත නොවන නිසාය. අපිද බටහිර සංස්කෘතියට අනුව හැඩ නොගැසුනොත්  බටහිර වෙදකම මෙහි පවත්වාගත හැකිවන්නේ දේශපාලන බලයෙන් පමණි.

Friday, October 3, 2014

විරාතු හිමි සහ අපි

බුරුමය, ලාඕසය, කාම්බෝජය සහ තායිලන්තය යන රටවල අති බහුතරයක් ජනතාව ථෙරවාදී බෞද්ධයෝ වෙති. වියට්නාමයේද මුලින් මහායාන බුදු දහම මුල් බැස තිබුනද විසිවන ශත වර්ශයේ සිට ථෙරවාදී බුදු දහමේ පුණුරුදයක් දකින්නට ඇත. මේ රටවල ජනගහණ එකතුව මිලියන 230 කට වැඩිය. මේ බෞද්ධයින් අතීතයේ සිය වස් ගණනාවක් තිස්සේ නොකඩවා අප සමඟ සම්බන්ධව සිටියත් අද අපි ඔවුන් ගැන දන්නේ බීබීසිය හෝ වෙනයම් බටහිර මාධ්‍යයක්  අපට කියා දෙන දේ මිස අපේ ඇසින් දැක ගන්නා දෙයක් නොවීම අභාග්‍යයකි.

මේ හැම රටක්ම දහඅට සහ දහනව වන සියවස් තුල බටහිර (ලංදේසි, ප්‍රංශ, ඉංග්‍රීසි) අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහනයට හසුවී තිබී අප මෙන් සීමා සහිත නිදහස ලැබුවෝ වෙති. අද බටහිරුන් මෙන්ම ආසියාතික දැවැන්තයෝද නැවතත් ඔවුන්ගේ සම්පත් සූරා කෑමට බැල්ම හෙලති.


ඓතිහාසිකව මේ රටවල අධිරාජ්‍ය විරෝධී සටන් නොමඟ ගියේ බුදු දහමට නොගැලපෙන සමාජවාදයක් කර පින්නා ගැනීමට යෑමෙනි. ඒ නිසා මේ කිසි රටක කල් පවතින ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟුනේ නැත. නමුත් අද වනවිට බුරුම බෞද්ධයින් විසින් ජාතික ව්‍යාපාරයක් ගෙඩනඟමින් සිටිති. විරාතු හිමියන් නියෝජනය කරන්නේ ඒ දණගාන අවදියේ පවතින බුරුමයේ ජාතික ව්‍යාපාරයයි. විරාතු හිමියන්ගේ ව්‍යාපාරය බටහිරුන්ගේ ආදරයට පාත්‍රවූ බුරුම විපක්‍ෂය නොවේ. අපි ථෙරවාදී බෞද්ධයින් වශයෙන් විරාතු හිමියන්ගේ බුරුමය සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගත යුතුවෙමු.


බුරුමය සමඟ පමණක් නොවේ ලාඕසය, කාම්බෝජය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් සමඟද අදට වඩා කිට්ටු මිතු දම් ඇති කර ගත යුතුවෙමු. ඒ සඳහා අපි විකල්ප මාධ්‍ය ජාලයක් නිර්මාණය කර ගත යුතු වෙමු. මේ රටවල මිනිසුන් ඉංදියානුවන්ටත් වඩා, විශේෂයෙන්ම උතුරු ඉංදියානුවන්ට වඩා සංස්කෘතියෙන් අපට ලඟය. ඒ බව බටහිර රටවල ඇති අපේ පංසල් වලට කිට්ටුවෙන ඒ වැසියන්ගෙන් පෙනේ. අපි ඔවුන් සමඟ සම්බන්ධකම් තර කර ගත යුත්තේ අපේ සහ ඔවුන්ගේ සදාචාරයට අනුවය. එදා අනගාරික ධර්මපාලතුමා හෙන්රි ඔල්කට් මහතාට රැවටී ඉංදියාවට නොගොස් බුරුමයට ගියේ නම් අද වෙන විට අපි බුරුමය සමඟ මීට වඩා හොඳ සම්බන්ධ කමක් ඇති කර ගන්නට ඉඩ තිබිනි. කෙසේ වෙතත් බොදු බල සේනාව විසින් විරාතු හිමියන් මෙහි වඩැම්මවීම බුරුමය සමඟ ඓතිහාසික සම්බන්ධකම් අළුත් කර ගැනීමට මුල පිරීමක් කර ගත යුතුය. එවැනි සම්බන්ධකම් තනාපති සම්බන්ධකම් වලට වඩා වටී. කොක්ටේල් ඩිනර් පාටි තුලින් කෙරෙන තනාපති සේවය අවශ්‍යමනම් එය බටහිර රටවලට පමණක් සීමා කිරීම සුදුසුය.


බුරුම ජාතික ව්‍යාපාරයට වඩා සිංහළුන්ගේ ජාතික ව්‍යාපාරය මුහුකුරා ගොස් තිබුනද 2009 පසු අපි නැවතත් මං මුලාවී සිටින්නෙමු. එල්ටීටී ත්‍රස්තවාදය පැරදවීමෙන් පසු ගත යුතු මඟ පිළිබඳව නිසි අවබෝධයක් හෝ සම්මුතියක් අපට තිබුනේ නැත. 2009 දී රජයට කරන්නට තිබුනේ 13 වෙනි සංශෝධනය කුණු කූඩයට දමා රටේ ඉතිහාසයට සහ සංස්කෘතියට ගැලපෙන විමධ්‍යගත දේශපාලන ව්‍යුහයක් නිර්මාණය කර එය පදනම් කරගෙන ප්‍රබල ඒකීය රාජ්‍යයක් ගොඩනඟා ගැනීම සඳහා අත්තිවාරම් දැමීමය. අදටත් අප විසින් කල යුතු මූලික කාර්යය එයය. නමුත් මේ වෙනවිට අපි තවත් ප්‍රශ්ණ ඇති කරගෙන සිටින්නෙමු. වසර තිහක් තිස්සේ නිදා සිටි යම් දුෂ්ඨ බලවේගයක් හදිසියේ නැගිටවිත් රටම වෙලා ගත්තා සේ 2009 න් පසු අපි සදාචාරාත්මකව වේගයෙන් පරිහාණියට පත් වෙමින් සිටින්නෙමු. මේ වැටීම 77දී වැටුන වැටීමටත් වැඩි යැයි මම සිතමි. අචාර ධර්ම පිරිහීම නිසා රට තුල සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණයක් නිර්මාණයවී ඇත. ඉදිරියේදී ඒකීය රාජ්‍යයට ඇති තර්ජන ජය ගත යුත්තේ ඒ සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණද විසඳා ගනිමින්ය.


මේ ජාතික ප්‍රශ්නවලට පිළිතුර තෙවෙනි දේශපාලන බලවේගයක් තැනීම නොවේ. මෙරට සාමාන්‍ය මිනිස්සු ජාතික වුවද තුන්වෙනි බලවේගයකට මෙරට පාර්ලිමේන්තු බලය ලබා දෙන්නේ නැත. එහෙව් එකේ තමන් මූලික කරගෙන දේශපාලන බලයක් ගොඩනැඟීමට උත්සාහ කරන්නේ නම් බොදු බල සේනාව ඉන් කරන්නේ ජාතික ව්‍යාපාරය අඩපන කිරීමකි. අනගාරික ධර්මපාල තුමා සිංහළුන් මත තම මතවාදය වපුරවමින් සුද්දන්ට පහර දුන්නා මිස තමන් වෙත දේශපාලන බලයක් රැස් කර ගැනීමට උත්සාහ නොකලේය. රටේ දැවෙන ප්‍රශ්ණ සඳහා විසඳුම් සමාජ සම්මත කරගන්නට හැකි වෙනවිට නිරායාසයෙන්ම එය ක්‍රියාත්මක කල හැකි ජාතික නායකයින් කල එලි බසිනු ඇත. තවමත් අපි තරම් සංකර නොවුනු බුරුම ජාතිකයින්ගෙන් අපට ඒ සඳහා පාඩම් ලබා ගත හැකිය.


ජාතික බලවේග අද කල යුත්තේ විකල්ප දේශපාලන කේන්ද්‍ර නිර්මාණය කිරීම නොව පිරිහෙමින් පවතින සංස්කෘතිය ගොඩ ගැනීමට මඟක් සෙවීමය, ඒ හරහා ඉන්ද්‍රිය තවමින් ආර්ථික වර්ධනයක් ඇති කරගන්නා ආකාරය සෙවීමය, වෙන් වෙමින් යන සුළු ජාතීන් හා අන්‍යාගමිකයින් නැවත ජාතියට එක් කරන මඟක් සෙවීමය. කුරාණයේ ඇති නැති දේ මුස්ලිම් සංස්කෘතියට අදාල ප්‍රශ්ණ මිස සිංහල බෞද්ධයින්ගේ ප්‍රශ්ණයක් නොවේ. යාපනයේ ජනතාවට බෙදුම්වාදී දේශපාලනයට විකල්පයක් ලබා දෙන තාක් කල් රටේ ඒකීය බවට තර්ජයක් ඇත. ඒ දෙමළ ජනයා ජාතියට එක් කර ගැනීමද ජාතික ව්‍යාපාරයේ වගකීමය. අද මැදිවිය පසු කරමින් සිටින ජාතිකවාදී දේශපාලන නායකයින් ඒ සඳහා ඉදිරිපත් වෙයිද? අනුවණකමට හෝ තම සිරුරට ගිණි තබා ගෙන දිවි පුදමින් රටට ඇති ආදරය ප්‍රකාශ කරන ඔවුන්ගේ වයෝවෘද පියවරු ඉල්ලා සිටින්නේ තමන් නොව රට පෙරට තබනු කියා විය යුතුය.