Monday, September 8, 2014

පීචං සහ ප්‍රබුද්ධ

කලකට ඉහත රජයේ ශෝක දිනවලදී ගුවන් විදුලිය ඔස්සේ දවස පුරා වාදනය වුනේ උතුරු ඉංදීය ශාස්ත්‍රීය සංගීතයයි. පොදුවේ සිංහළුන්ට ඒ වාදන තුල එක්තරා දුක් බර ගතියක් දැනෙන බැවින් එය අවස්ථාවට උචිත යැයි සැලකෙන්නට ඇති. දුක් බර ගතියක් නොවුනත් බොහෝ ශ්‍රී ලාංකිකයින්ට අඩු තරමින් එහි නිදිමත ගතියක් හෝ දැනෙන බව රහසක් නොවේ. නමුත් එය සිංහළුන්ට දැනෙන ආකාරයක් මිස උතුරු ඉංදියානුවන් ඒ ගැන එසේ සිතතැයි සිතිය නොහැකිය. රස විඳීම සංස්කෘතියට සාපේක්‍ෂ නැතැයි කිව හැකිද? කෙසේ නමුත් ඊනියා නිදහසින් පසු අධ්‍යාපන ක්‍රමය හරහා ප්‍රබුද්ධ බවක් අත්කර දුන්නේ පොදුවේ සිංහළුන් දුක්බර යැයි සලකන මේ උතුරු ඉංදීය ශාස්ත්‍රීය සංගීතයටය.  එකල ඒ සංගීතය ප්‍රබුද්ධ කරවීමට වැඩිපුරම දායක වුනේ එහි ශිල්පීන්ටත් වඩා බටහිර අධ්‍යාපනයෙන් හිස උදුම්මාගත් නමුත් හීන මානයෙන් පෙළුණ විශ්ව විද්‍යාල උපාධිදාරීන්ය. ප්‍රතිභාපූර්ණ සංගීතඥයෙකුවූ පණ්ඩිත් අමරදේව මහතා ඉටු කලේ මේ උගතුන්ගේ සංගීත හීන මානය සංහිඳවීම යැයි කිව හැකිය.

නමුත් රටේ බහුතරයකට නිදිමත සංගීතය නිදිමත සංගීතයක් හැටියට දකින්නට අධ්‍යාපනයෙන් ලබාදුන් කුහක කමක් නොතිබිනි. ඔවුන් ස්වභාවයෙන්ම තෝරාගත් සංගීතය නියෝජනය කලේ එච් ආර් ජෝතිපාල මහතා වැන්නවුන්ය. සාපේක්‍ෂ වශයෙන් ජෝතිපාල මහතාගේ සිංදුවල නිදිමත ගතියක් නොතිබිනි. ගයන ගමන් නටන ගතිය සිංහළුන්ට අකැප නොවේ. නමුත් එකල උගතුන් විසින් ජෝතිපාල මහතා නියෝජනය කල සංගීත රුචිකත්වය පීචං ලෙස හැඳින්වූහ. පීචං සංගීතය ප්‍රබුද්ධ සංගීතයට ප්‍රතිපක්‍ෂය. නමුත් පීචං බව හෝ ප්‍රබුද්ධ බව හෝ හුදෙක් සංගීත ආරක් පිළිබඳ වර්ග කිරීමකට වඩා සංගීත රුචිකත්වයක් පිළිබඳ වර්ග කිරීමක් විය. වැදගත් වන්නේ රුචිකත්වයට පදනම් වෙන සංස්කෘතිකමය වෙනසය. ඒ වෙනස අතීතයේ මෙරට යක්‍ෂ ගොත්‍රිකයින් සහ බමුණන් අතරවූ සංස්කෘතික වෙනස හා සමාන්තර යැයි සිතිය හැකිය.

පීචං-ප්‍රබුද්ධ සංස්කෘති වෙනස දේශපාලනයේද ඇත. පොදුවේ ගත්විට ඊනියා නිදහස ලැබුණු අවධියේ මෙරට දේශපාලනය ප්‍රබුද්ධ විය. ඩී.  එස් සේනානයක මහතා එය පීචං කිරීමට යම් දායකත්වයක් ලබා දුන්නැයි සිතිය හැකි වුනද කැපී පෙනන ලෙස එය ඉටු කලේ ජේ ආර් ජයවර්ධන මහතාය. ඒ මහතා සංස්කෘතියෙන් එංගලන්තයට වඩා ඇමෙරිකාවට ගැතිවීම ඊට හේතුවක් විය හැකිය. ආර් ප්‍රේමදාස මහතා පීචං සංස්කෘතිය නියෝජනය කලද ඒ මහතා මෙරට දේශපාලන සංස්කෘතියේ එතරම් වෙනසක් කලේ යැයි කිව නොහැකිය. චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රනිල් වික්‍රමසිංහ යන දෙපලම දේශපාලනය නැවතත් ප්‍රබුද්ධ කිරීමට උත්සාහ ගත්තද එය සාර්ථක නොවිනි. ඊට ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැක්කේ ප්‍රාදේශීය සහ පළාත් සභාවල දේශපාලනය පීචං වී ඇති බැවිනි.

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉටු කල වැදගත්ම සංස්කෘතික කාර්ය භාරය නම් මෙරට දේශපාලනයේ මුලත් මැදත් අගත් පීචං සංස්කෘතියට අවශෝෂණය කර දීමය. බමුණන් කෙතරම් ක්‍රමණ්ත්‍රනය කලද මෙරට දේශපාලනය යලි ප්‍රබුද්ධ කරවීමට බහුතරයක් සිංහළුන් ඉඩ දේ යැයි සිතිය නොහැකිය. යන යකා යන්නේ කොරහත් බිඳගෙනය.

පීචං සංස්කෘතිය විසින් මෙරට රාජ්‍ය පරිපාලනය අත් පත් කරගෙන සිටියද ප්‍රබුද්ධ සංස්කෘතියට, එනම් බමුණන්ට, අධ්‍යාපනය හරහා ලැබෙන විශාල දේශපාලන බලයක් තවමත් ඇත. ඒ නිසා පීචං-ප්‍රබුද්ධ සංස්කෘතික අරගලය තව කාලයක් තිස්සේ කෙරෙනු ඇත. එහිදී ජාතික ව්‍යාපාරය පෙනී සිටිය යූත්තේ පීචං සංස්කෘතිය වෙනුවෙනි. බමුණන් පලවා හැර අවැසි බටහිර සංස්කෘතිකාංග හැකි පරිදි අවශෝෂණය කර ගනිමින් පීචං සංස්කෘතියට දේශපාලන බලය හිමි කරදීම ජාතික ව්‍යාපාරයේ කාර්ය භාරයයි.

ලංකාවේ ඒ සංස්කෘති හා සමාන නොවුනද පීචං සහ ප්‍රබුද්ධ සංස්කෘති ඇමෙරිකාවේද දකින්නට ඇත. ඇමෙරිකාව ප්‍රබුද්ධ යැයි සලකන්නේ යුරෝපීය විශේෂයෙන්ම ඉංග්‍රීසි සංස්කෘතියෙන් ලබාගත් ශාස්ත්‍රීය සංගීතය, සාහිත්‍යය (උදා: ශේක්ස්පියර්) , කෑම බීම (උදා: වයින්) ආදියය. නමුත් ඇමෙරිකාවේ ප්‍රබුද්ධ සංස්කෘතිය පීචංය(අවැදගත් යන අර්ථයෙන්). එනම් ලංකාව හා සසඳනවිට ඇමෙරිකානු ප්‍රබුද්ධ සංස්කෘතියට සැලකිය යුතු දේශපාලන බලයක් නැත. ඇමෙරිකානු රාජ්‍ය ගොඩනැඟුවේ යුරෝපීය සරණාගතයින්වීම ඊට හේතුවක් විය හැකිය. 

ඇමෙරිකානුවෝ ලංකාවේ උගතුන් තරම් ඉංග්‍රීසි රජ පවුලට භය පක්‍ෂපාතකම් දක්වන්නේ නැත. කළු ජාතිකයින්ගේ නිර්මාණයක් වන ජෑස් සංගීතයට එරට පිලිගැනීමක් ඇත්තේ පීචං සංස්කෘතිය විසින් ප්‍රබුද්ධ සංස්කෘතිය දේශපාලනිකව පරාජය කිරීමට හැකිවීම නිසාය. ප්‍රබුද්ධයෙකු වූ ඔබාමාට පළමු ජනාධිපතිවරණ සටනේ මැද හරියේදී පමණ පීචමෙකු වන්නට සිදුවූයේ එසේ නොවී දිනිය නොහැකි බව අවබෝධවුනු නිසාය.

අද ලෝකය ඇමෙරිකානු සංස්කෘතිය ලෙස හඳුනා ගන්නේ එහි පීචං සංස්කෘතියයි. බමුණු කුලය සතේකට ගණන් නොගැනීම එහි ලක්‍ෂණයකි. කෙසේ වෙතත් ඇමෙරිකාවට එහි පීචං සංස්කෘතිය අන් සංස්කෘතීන් මත පැටවීමට හැකිවීමෙන් එක හොඳක් සිදුවී ඇත. එනම් ඒ හරහා ලංකාවේ පීචං සංස්කෘතියටද යම් ශක්තියක් ලැබීමය. ඊනියා නිදහස ලැබූ අවධියේ සිට මෙරට බලවත්ව තිබුනු ප්‍රබුද්ධ සංස්කෘතියට යම් තරමකට පහර ගැසීමට ලංකාවේ පීචං සංස්කෘතියට හැකීවී ඇත්තේ ඒ නිසා යැයි මම සිතමි. නමුත් වරදද එය ඇමෙරිකානු පීචං සංස්කෘතියේ පිහිටෙන් සිදුවීමය.

12 comments:

  1. සුපිරි ලිපියක්.. මම ප්‍රබුද්ධ නොවුනත්.. මම ප්‍රබුද්ධ දේශපාළණයට කැමතියි.. නමුත් ජෝතිගේ ගීත පීචං ලෙස නම් කිරීම නම් එක හෙලාම හෙලා දකිමි. මන්ද පුබුද්ධ ගයකයන්ද පීචං උන්ම බැවිනි..

    ReplyDelete
  2. මාතලන්ගේ අදහසට මාත් එකඟයි. නමුත් මේ ලිපියේ ජෝතිපාලට පහර ගසන බවක් පේන්නෙ නෑ නේද ? එකල සිටි ඇතැමුන් ජෝතිපාලට පහර ගසද්දී ඔහුව වැළඳගත් පොදු ජනතා පිරිසක් එකලත් හිටියා නේ ද?

    ReplyDelete
  3. ජෝතිපාල ජීවතුන් අතර සිටියදී ඔහුට විශාල රසික පිරිසක් හිටියා නමුත් අද ඉන්න රසිකයින් වැඩි දෙනෙක් එතන ඉන්නේ ඔවුන් බටහිර අනුකාරකයින් වෙන නිසයි කියලයි මම හිතන්නේ

    ReplyDelete
  4. ජෝතිපාල ගැන, මිල්ටන් පෙරේරා ගැන, මොහිදීන් බෙග් ගැන, මා දකින යථාර්ථය මෙයයි. ඔවුන්ට හොඳ කටහඬක් තිබුණා. ගායන හැකියාව තිබුණා. හින්දි තනු අනුකරණය කර ඔවුන් ගී ගැයුවේ, ගායන ලෝකයේ ඉහලට එන්න/ජීවත්වීමට යමක් හොයාගන්න/තම ජනප්‍රියත්වය රඳවාගන්න/ නමුත්, ස්වතන්ත්‍ර තනු වලට මේ තිදෙනාම ගැයූ ගීත වල පමණයි, යම් ශාස්ත්‍රීය වටිනාකමක් ඇත්තේ.

    ජෝතිපාල - අමරදේවයන් යටතේ, කන්දෙන් කන්දට ගීතය

    මිල්ටන් පෙරේරා - කොමල ලියා බොළඳ ලියා (සිකුරුලියා) ක්ලැරන්ස් ගේ සංගීතය.

    මොහිදීන් බෙග් - සරවනභව කඳ සුරිඳුගෙ තෙදබලේ (මහ රෑ හමුවූ ස්ත්‍රිය චිත්‍රපටිය, පදමාලාව කරුණාරත්න අබේසේකර, සංගීතය එම්.කේ.රොක්සාමි)

    තව ටිකක් පීචන් කතාව තද කළා නම්, මේ තිදෙනාම ඒ කාලයේදීම ශාස්ත්‍රීය පැත්තට වඩාත් බරවෙනවා. ඒ කාලයේ මේ සංවාදය පත්තර පිටු පිරෙන්න පළවුනා, රසිකයන්ගේ සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන්.

    ReplyDelete
    Replies
    1. ඒ සංවාදය නැවත ඇති කරන්න මගේ උවමණාවක් නැහැ. මේ කථාව සංගීත ආරක් ගැන නම් නොවේ. ඊට ඇතුලතින් ඇති සංස්කෘතික බෙදීමක් ගැනයි මට පෙන්වා දෙන්න අවශ්‍යවුනේ. සංගීත රුචිකත්වයේ ඒ වෙනස පෙනෙනවා. නමුත් එය උදාහරණයක් පමණයි. ඒ බෙදීම දේශපාලනයේත් තියෙනවා එයත් උදාහරණයක් පමණයි. අප රටේ ඇති පීචං-ප්‍රබුද්ධ සංස්කෘතික බෙදීමට සමාන්තරව ඇමෙරිකාවේත් පීචං-ප්‍රබුද්ධ බෙදීමක් තියෙනවා. මේ දෙක සංසන්දනය කිරීමටයි මම උත්සාහ කරන්නේ.

      Delete
    2. හොඳම උදාහරණය තමයි මැගී හා ඇස් බීන් ගෙන්, ඇස් බීන් හැලී යාම.. තෝරු මෝරු අස්සේ හාල්මැස්සෝ රිංගන්න ගියාම එහෙම වෙනවා...

      Delete
  5. පීචං කතාව කරලියට ගෙන ආවේ ජෝතිපාලයන් විසින්මය.
    පුවත් පත් සාකච්චාවකට ජෝතිපාලයන් විසින් (මගේ මතකයේ හැටියට සිළුමිණ) " ඔවුන් ප්‍රබුද්ධ නම් අපි පීචංද" යනුවෙන් කළ ප්‍රකාශයක් ශීර්ෂ කොට දමා තිබිණ. අනතුරුව සති කිහිපයක් ඒ ඔස්සේ විවාදයක්/ සාකච්චාවක් පැවතින.

    ReplyDelete
  6. එතකොට ක්ලැරන්ස්, සීටී ප්‍රනාන්දු, නෙවිල් ප්‍රනාන්දු ස්ටැන්ලි පීරිස් වගේ අය ප්‍රබුද්ධ පීචං ගොඩවල් වලින් කෝකට දාන්න පුලුවන්ද එහෙම නැත්නම් ඒ අය වෙනම කාන්ඩවලට දැමිය යුතුද?

    ReplyDelete
  7. වංශපුර මහතා විසින් ඇමරිකාවේ සහ ලංකාවේ ප්ර බුද්ධ සහ පීචං සංස්කෘතික බෙදීම් සංගීතය ඇසුරින් මතුකර දැක්වීම ඉතා සියුම්ව කල්පනාකර බැලීමට වටිනා සුළුය. පීචං යැයි ලේබල් කළ ජෝතිට එදාට වඩා අද රසිකයින් සිටින්නේ හෝ එදාට වඩා අද එම රසිකත්වය උත්කර්ශයට නැගෙන්නේ, මෙරට පෙර සිට මිනිසුන් තුළ පැවති (මෙරට සංස්කෘතිය තුළ පැවති) චූන් රිද්මයේ (චූන් රිද්මය යනු දැනෙන රිද්මය ලෙස මෙහිලා වටහා ගත්තාට වරදක් නැත )දිගුවක් ලෙස හෝ යලි මතුවීමක් ලෙස නොව බටහිර සංකෘතියේ වූ චූන් ඌරුවේ අනුකාරකත්වකක් ලෙසය.
    එය හරියටම අද බහුතර තරුණයින් කොන්ඩය වවන්නේ මෙරට සංස්කෘතික ඌරුවේ අභාෂයෙන් නොව බටහිර විලාසිතාවක් ලෙස වීම වැනිය.
    අප සංස්කෘතිය තුළවූ චූන් රිද්මය මත පිහිටමින් ඊනියා ප්රතබුද්ධත්වය පරාජය කරනු වෙනුවට අප කරමින් සිටින්නේ බටහිර චූන් රිද්මයේ අනුකරකයින් වීමය. එය සංගීත විදික්රටමයක් ලෙස සැළකූවිට, එවැන්නක් සිදුවීමේ වරදක් නොමැත. නමුත් මෙය සමස්ත බටහිර සංස්කෘතික ආධිපත්යවයෙන් ස්වාධීන නොවූ ක්රි්යාවලියක් නොවීම නිසා එය බරපතලය. Cultural Politics ලෙසින් ඊනියා උගතුන් විසින් කරමින් පවතිනේද මෙම අධිපතිවාදී පීචං ක්ර මයට හුරුකරවීම විනා අනුකාරකත්වයට අභියෝග කරන ස්වාධීන පීචං ක්රඅමයක් නිර්මාණය කිරීමද නොවන බව අප වටහා ගත යුතුය. ( වංශපුර මහතා අදහස් දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙමි )

    ReplyDelete
    Replies
    1. තරිඳු ඔබේ අදහසට සම්පූර්ණයෙන් එකඟයි. අපි අපේ පීචං සංස්කෘතිය (ප්‍රබුද්ධ සංස්කෘතියට ප්‍රතිපක්‍ෂය) නිවැරදිව අවබෝධ කරගෙන එය වර්ධනය කර ගත යුතුයි. ඒ අනෙකක් නොවේ හෙළ සංස්කෘතියයි.

      Delete
    2. කිසිවකු ජෝතිපාල පීචං යයි ලේබල් කලේ නැත..එය ඔහු විසින් ඇසූ ප්‍රශ්නයක් පමණි.."ඔවුන් ප්‍රබුද්ධ නම් අපි පීචං ද?" අප වලිග පාගා ගත යුතු නැත..

      Delete
    3. ජෝතිපාල ප්‍රබුද්ධ නොවේ යැයි මතයක් එදා උගතුන් අතර තිබුණා පමණක් නොවේ ජෝතිපාලත් උගතුන් ඔහු ගැන එසේ සිතු බව දැන සිටියා. එසේ නොවුනේ නම් ඔහු ඒ ප්‍රශ්ණය් අහන්නෙවත් නැහැ.

      Delete