Friday, September 19, 2014

ඇමෙරිකාවේ සංස්කෘතිය

සංස්කෘතියක් වෙනස් නොවී රැකගත නොහැකිය. රැකෙන්නේ වෙනස්වීම තුලිනි. නමුත් ඕනෑම සංස්කෘතියක මිනිසුන්ට තමන්ගේ සංස්කෘතිය තමන්ට අවැසි ආකාරයට වෙනස් කර ගැනීමට හැකියාවක් තිබිය යුතුය. සංස්කෘතික පරිහාණියක් ලෙස හැඳින්විය හැක්කේ සංස්කෘතියේ වෙනස්වීම නොව එය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට එහි මිනිසුන්ට ඇති හැකියාව නැතිවීයාමය. යටත් විජිත සමයේ සිටම සිංහල බෞද්ධ සංස්කෘතිය පරිහාණියට ලක්වෙමින් පවතී. පෘතුගීසීන් එලවා ලංදේසීන් කැඳවා ගැනීම ඉඟුරු දී මිරිස් ගැනීමක් විය හැක්කේ ලංදේසීන් පෘතුගීසීන් තරම් කෲර නොවුනද ලංදේසි පාලණ සමයේ සිංහළුන්ට තමන්ගේ සංස්කෘතිය පාලණය කර ගැනීමට ඇති හැකියාව තවත් ක්‍ෂය වී ගිය නිසා විය හැකිය. මෑත ඉතිහාසය දෙස බැලුවොත් හැත්තෑ හතෙන් පසුව සිංහල බෞද්ධ සංස්කෘතිය පරිහාණී වන වේගයේ ක්‍ෂණික වැඩි වීමක් සිදුවිය. දෙදහස් නවයේදී ඒ වේගය තවත් වැඩි විනි. 

රටේ ඉතිහාසය හා සසඳනවිට මේ ගෙවී ගිය කාලය නොගිනිය හැකි තරම්ය. නමුත් ඒ කෙටි කාලය ඇතුලත සිංහල බෞද්ධ සංස්කෘතිය රිසි පරිදි හසුරවා ගැනීමට අපට ඇති ශක්තිය අප අතින් මුලු මනින්ම ගිලිහී ගොස් ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි අද අනුන් විසින් මෙහෙයවනු ලබන සංස්කෘතික ප්‍රවාහයක පරඬැල් සේ පාවෙමින් සිටින්නෙමු.

අද ලොව බලවත්ම සංස්කෘතිය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියයි. එහිද බලවත්ම වාහකය එහි අනු සංස්කෘතියක්වන ඇමෙරිකානු සංස්කෘතියයි. අද වෙනවිට සිංහල බෞද්ධ සංස්කෘතියට වැඩිම බලපෑමක් එල්ල වන්නේ ඇමෙරිකානු සංස්කෘතියෙනි. ඒ නිසා ඇමෙරිකානු සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව හඳුනාගැනීම අපට වැදගත්ය. නමුත් ඇමෙරිකානු තාක්‍ෂණය සිනමාව, සංගීතය වැනි ජනප්‍රිය අංග වලින් මෙපිට ඇමෙරිකානු සංස්කෘතියක් ගැන අවබෝධයක් අපට තියේද?

මම වසර විස්සක් පමණ කාලයක් එහි සිසුවෙකුව, වෘතිකයෙකුව සැමියෙකුව සහ පියෙකුව ජීවත් වෙමින් ඇමෙරිකානු සංස්කෘතිය අත්දුටුවෙමි. විවිධ අයගේ අත්දැකීම් එකිනෙකට වෙනස් විය හැකි බැවින් ඇමෙරිකානු සංස්කෘතිය ගැන මා ගොතන කථාවේද යම් ගත යුත්තක් ඇතැයි සිතමි. එය කිසි සේත්ම වාස්තවික අර්ථයෙන් කියවෙන කථාවක් නොවේ. මා දකින ඇමෙරිකානු සංස්කෘතිය මා දායාද ලද සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂය. මට සිංහල බෞද්ධ සංස්කෘතියක් යන්තමින් හෝ විඳින්නට හැකිවුනේ කුරුණෑගල ඉඳුල්ගොඩ කන්දේ සිට කොළඹට සංක්‍රමණය වුනු මගේ දෙමවිපියන්ගේ ඇඟේ එය තිබුනු බැවිනි. ඔවුන් තුල එය නොමැකී ඉතිරි වුනේ ඔවුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නොලද නිසා විය යුතුය. නමුත් සිංහල බෞද්ධ සංස්කෘතියක් මගේ ඇඟේ ඇතැයි මම නොසිතමි. එය එසේ වෙතත් මට ඒ මත පිහිටා කථා ගෙතීමට හැකිය. එහිදී මා සුසමාදර්ශයක් කරගන්නේ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයයි.

කථාව කෙටියෙන් ගොනු කරන්නේ නම් එය මෙසේයි. ඇමෙරිකාවේ සමාජ-ආර්ථික හා දේශපාලන හැඩය ගලා එන්නේ් එහි ප්‍රධාන සංස්කෘතික ලක්‍ෂණ දෙකකිනි. එකක් පුද්ගලිකත්වය උසස් කොට සැලකීමය අනික එහි සංස්කෘතිය පීචංවීමය. මේ කථාවේ ගත හැකි දෙයක් ඇත්නම් ඒ එපමණය.

ඇමෙරිකාව තුලත් පොදුවේ බටහිර සමාජය තුලත් පුද්ගලයා සමාජයෙන් වෙන්කෙරෙන්නේ පුද්ගලයාට සමාජයෙන් තොර පැවැත්මක් ඇත යන මූලධර්මයේ පිහිටා ගෙනය. එය යෙහෝවා දෙවියන් මත ඔවුන් තුල ඇති විශ්වාසය මතින් ගලා එන්නකි. ස්වාධීන පැවැත්මක් ඇතැයි සිතුවද මිනිසුන්ට සමාජයක ජීවත්වීමට අවශ්‍යය. ඇමෙරිකාව යනු එසේ වෙන් කරන ලද මිනිසුන්ගේ සමූහයකි නැත්නම් තනි-මිනිස් රංචුවකි. 

ඇමෙරිකාව තුල පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීම කුඩා කල සිටම කෙරෙන්නෙකි. කුඩා කාලයේදීම ඔවුන් මව් තුරුලෙන් ඈත් කෙරෙයි. තමන්ගේ වැඩ පමණක් නොවේ තමන්ගේ හැඟීම්ද තමන්ට සීමා කර ගැනීමට සහ තමන් විසින් කලමණාකරණය කරගැනීමට පුරුදු කෙරෙයි. පුද්ගලික අවකාශයක් යැයි යමක් අර්ථ දක්වා අනෙකා ගේ ඒ අවකාශය ආක්‍රමණය නොකල යුතුයැයි ළදරු පාසලේදීම ඔවුන්ට උපදෙස් ලැබේ. මේ පහුණු කෙරීම් දරුවන්ගේ මනසට ගන්නේ කෙසේ දැයි වැඩිහිටියෙකු වශයෙන් මට සිතා ගැනීමට නොහැකිය. නමුත් දරුවන්ගේ හැසිරීම තුල එය මනාවට පැහැදිලිය. සමූහයක් ලෙස එකතු වෙන අවස්ථාවලදී පවා වයස අවුරුදු පහක් හයක් පමණවූ දරුවන් බොහෝවිට තෝරා ගන්නේ එකට සෙල්ලම් කිරීමට වඩා තනියෙන් විනෝද වීමටය. සාමාන්‍ය වචනයෙන් කිවහොත් එකට සෙට් නොවී තනියෙන් ආතල් ගැනීමටය. මෙය මට මතක මගේ කුඩා කාලයට හාත්පසින් වෙනස්වූ හැසිරීමකි.  එය වෙන් කිරීමේ ප්‍රතිඵලයක් යැයි මම සිතමි.

පුද්ගලයා සමාජයෙන් වෙන්කෙරීමට විශේෂයෙන්ම බලපාන්නේ අධ්‍යාපනයයි. ඇමෙරිකාවේ වැඩිදුර අධ්‍යාපනය ලැබූවන් තුල ඒ ගතිය අන් අයට වඩා වැඩියෙන් ඇත. දෙදහස් එකේ සැප්තැමබර් මාසයේ ත්‍රස්තවාදීන් විසින් නිව්යෝක් නගරයට පහර එල්ල කරන අවස්ථාවේදී මා සිටියේ එවකට මා සේවය කල විශ්ව විද්‍යාලයේ මගේ අංශයේ විද්වතුන් තිහක් හතලිහක් පමණ සහභාගීවූ එකමුතුවකය. කාලාන්තරයක් තිස්සේ එකට වැඩ කර සිටි මොවුහු එකිනෙකා හොඳින් දැන හැඳිනගෙන සිටියහ. ත්‍රස්ත ප්‍රහාරය රූපවාහිනියෙන් දුටු සැනින් බලාපොරොත්තු විය හැකි අයුරින්ම ඔවුහු මහත් සේ කම්පාවට පත්වූහ. නමුත් ඒ අවස්ථාවේදී මේ විද්වතුන්ගේ ක්‍ෂණික ප්‍රතිචාරය වුයේ එකිනෙකාගෙන් හුදෙකලාවීමට ක්‍රියා කිරීමය. ලංකාවේ නම් බෝම්බයක් ගැන අසන්නට ලැබුනවිට බස් නැවතුම් පොලක සිටින නන්නාඳුනන අය පවා ගොනුවී ඒ ගැන කථාබස් කරන්නට ගනිති. නමුත් මේ ඇමෙරිකානු උගතුන්ගේ ක්‍ෂණික ප්‍රතිචාරය වුයේ එකිනෙකාගෙන් ඈත්වීමය. මේ හැසිරීමේ පැහැදිලි වෙනසක් ඇත. ඊට මතුපිටින් ඇති හේතු ලෙස තමන්ගේ හැඟීම් අනුන්ට කරදරයක් වීමට ඉඩ නොතැබීම, අනුන්ගේ පුද්ගලික අවකාශය ආක්‍රමණය වේ යැයි යන බිය, තමන්ගේ හැඟීම් අනාවරණයවීමෙන් තමන් දුර්වලයෙකු යැයි පෙනීමට ඇති බිය ආදිය දැක්විය හැකිය. නමුත් මේ සියල්ලටම පදනම ඇමෙරිකානු සංස්කෘතිය තුල පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීම යැයි මම සිතමි.

පැහැදිලිවම එදා නිව්යෝක් නගරයේ සාමාන්‍ය මිනිසුන්ගේ හැසිරීමෙහි මීට වඩා සාමුහිකත්වයක් දකින්නට ලැබිනි. නමුත් සම්පුර්ණයෙන්ම උගතුන්ගෙන් සැදි ඉහත සඳහන් රංචුව තුල ඉස්මතුවූයේ පුද්ගලිකත්වයය. වෙනසට හේතුව බටහිර අධ්‍යාපනයේ බලපෑම යැයි සිතිය හැකිය. බටහිර විද්‍යාවේ යම් පද්ධතියක් පිළිබඳව හදාරන්නේ එය සංඝටක වලට වෙන් කරගෙනය. බටහිර විද්‍යාව ප්‍රගුණ කල මිනිසුන්ට මේ වෙන්කිරීමේ හැකියාව හොඳින් පිහිටා ඇත. ඔවුන් අන් අයට වඩා සුපැහැදිලිව තමන්ව සමාජයෙන් වෙන් කරගන්නේ ඒ අනුව විය හැකිය. සමාජයෙන් වෙන්වුනු පුද්ගලයින්ට සාපේක්‍ෂව එසේ නොවුනු මිනිස්සු අන් අයගේ හැඟීම් වලට අවංකවම සංවේදී වෙති. මිනිස් ගති යැයි සාමාන්‍යයෙන් අපි හඳුන්වන මේ සාමාජීය ලක්‍ෂණ උගතුන් යැයි සැලකෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ මිනිසුන්ට වඩා නුගතුන් යැයි සැලකෙන මිසිසිපි ප්‍රාන්තයේ මිනිසුන් අතර තිබෙන බව මගේ අත්දැකීමයි. නමුත් පොදුවේ සැලකුවිට ඇමෙරිකාවේ නුගතුන් යැයි සැලකිය හැකි මිනිස්සු පවා ජීවත් වන්නේ සාමාන්‍ය සිංහළුන්ට වඩා සමාජයෙන් වෙන්වීය.

වෙන් කෙරුනු මිනිස්සුද විවිධ අවශ්‍යතාවන් උදෙසා රංචු ගැසෙති. ඔවුන්තුල රංචුවට ඇති බැඳීමට පදනම තමන්ගේ පුද්ගලික පැවැත්මය. ඒ නිසා ඔවුහු සාමූහිකත්වයට වඩා පුද්ගලිකත්වය උසස් කොට සලකති. ඇමෙරිකානුවන් ගිනි අවි භාවිතය පිළිබඳ දරන ආකල්ප ඊට උදාහරණයකි.

ගිනි අවි වලින් පාසල් තුල සිදුකෙරෙන සමූහ ඝාතන පිළිබඳව ඇමෙරිකාවේ සුලබව අසන්නට ලැබේ. මිය යන්නේත් ගිනි තබන්නේත් බොහෝවිට දරුවන්ම වෙන බැවින් මෙවැනි සිද්ධි මුලු සමාජයම කම්පාවට පත් කෙරෙයි. ඒ හැම අවස්ථාවකම ගිනි අවි භාවිතය පිළිබඳ නව නීති රීති ගෙන ඒමට පාලකයින් උත්සාහ දැරුවද ඇමෙරිකානු සමාජයෙන් ඊට දැඩි ප්‍රතිරෝධයක් එල්ල වෙයි. අවසානයේ මූණ ඉච්චාවට යම් සුලු නීතිමය වෙනසක් කෙරෙන නමුත් වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ පාසල් වල ආරක්‍ෂාව ගිනි අවි අධාරයෙන්ම තවත් තර කර ගැනීමටය.

ඇමෙරිකානුවන්ට පුද්ගලිකව ගිනි අවි දැරීමට අයිතියක් ඇත. ඒ අයිතිය සුරැකීම සඳහා දේශපාලන බලයක් හිමිි සංවිධානද ඇත. ඊට ගිනි අවි නිශ්පාදන සමාගම්ද අනුග්‍රහය ලැබෙන බව කිව යුතු නැත. නමුත් ගිනි අවි අයිති වුනත් නැතත් ඒ සංවිධාන වල සාමාජිකත්වයක් තිබුනත් නැතත් බහුතරයක් සාමාන්‍ය ඇමෙරිකානුවන් තමන්ට ගිනි අවි දැරීමට අයිතියක් තිබිය යුතුය යන ස්ථාවරයේ සිටිති. මට අවබෝධවී ඇති ආකාරයට ඊට පදනම ආණ්ඩුව යම් දිනෙක තමන්ගේ අයිතීන් පැහැර ගැනීමට පැමිණියහොත් ඊට විරුද්ධවීමට තමන්ට හැකියාවක් තිබිය යුතුය යන ආකල්පයයි.  එය ඓතිහාසිකව ඔවුන්ගේ සංස්කෘතියෙන්  ගලා එන්නකි. මෙහිදී තමන්ගේ අයිතීන් යනු වෙන කිසිවක් නොව තමන්ගේ පුද්ගලික අයිතීන්ය. එනම් තමන්ගේ දේපල වැනි දේය. ඒ අතින් ගත් කල අපේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණයින් ආණ්ඩුවට විරුද්ධව අවි ගත්තේ ඔවුන්ගේ පුද්ගලික අයිතීන් රැකීමට නොවේ ඔවුන් විශ්වාස කරන ලද යම් පොදු සමාජ අසාධාරණයක් වෙනුවෙනි. නමුත් ඇමෙරිකානුවෝ ගිනි අවි දැරීමේ අයිතිය සුරකින්නේ කවදා හෝ ආණ්ඩුවට විරුද්ධව යම් පොදු අරමුණක් සඳහා කැරලි ගැසීමට නොව ආණ්ඩුවට එරෙහිව තම පුද්ගලික අයිතීන් රැක ගැනීම සඳහාය. මේ වෙනසේ වැදගත්කම කියා නිම කල නොහැකිය. සිංහලයෝත් ඇමෙරිකානුවෝත් සංස්කෘතියෙන් කෙතරම් ඈත් දැයි ඉන් පිළිඹිබු වෙයි. 

ඇමෙරිකානුවන් පුද්ගලික අයිතීන් උතුම් කොට සලකති.  ආණ්ඩුවේ දූෂණ වලටත් වඩා ආණ්ඩුව පුද්ගලික අයිතීන් උදුරා ගැනීම සඳහා ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව ඔවුහු ලතවෙති. අද ඇමෙරිකාවේ ආරක්‍ෂාව සඳහා එහි වැසියන්ගේ පුද්ගලික අයිතීන් සීමා කරන්නට සිදුවී ඇති බැවින් වෙනදාටත් වඩා පොදු-පුද්ගලික අයිතීන් අතර ගැටුම උත්සන්න වී ඇත. පොදුවේ ඇමෙරිකානුවෝ ආණ්ඩුව දෙස (වපර ඇසින්) බලන්නේ තමන්ගේ පුද්ගලික අයිතීන් පැහැර ගැනීමට පැමිණෙන පොදු සමාජයේ ඒජන්තවරයා ලෙසය. මේ නුරුස්සන ගතිය ආණ්ඩුවට ආදායම් බදු ගෙවන්නට යාමේදී මනාව පිළිබිඹු වෙයි. පොදුවේ ඇමෙරිකානුවන් ආණ්ඩුවට බදු ගෙවීමට අකමැතිය. එය තමන්ට දරන්ට සිදුවෙන වියදමද ඉක්මවා යන අකමැත්තකි. තමන් උපයන දේ පොදු සමාජය වෙනුවෙන් වැය කල යුත්තේ කුමටදැයි ඔවුහු කල්පණා කරති. එසේ කරන්නේ නම් එයද තමන්ගේ පුද්ගලික කැමැත්ත මත සිදුවිය යුතුයැයි ඔවුහු සිතති. මෙහිදී ඇමෙරිකානුවෝ දරන්නේ තම අසල්වාසීන් වන කැණේඩියානුවන්ටත් පොදුවේ යුරෝපීයන්ටත් වඩා වෙනස් ආකල්පයක් බව වැදගත්ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අන් බටහිර රටවල බදු බරට සාපේක්‍ෂව ඇමෙරිකාවේ බදු බර ඉතා අඩුය. ඉන් පෙන්නුම් කෙරන්නේ ඇමෙරිකානුවන්  සාමුහිකත්වයට කෙතරම් අඩු සැලකීමක් දක්වනවාද යන්නය.

පුද්ගලයා සමාජයෙන් වෙන්කෙරීම සහ පුද්ගලිකත්වයට උසස් තැනක් ලබාදීම ඇමෙරිකානු සංස්කෘතිය තුල කිඳා බැස ඇති එහි වැදගත් ලක්‍ෂණයකි. විසි වසරක් එහි දිවි ගෙවුවද ඒ ගතිය ඒ ආකාරයෙන්ම අවබෝධ කර ගැනීමට මට නොහැකිවී ඇතැයි මට සිතේ. මා ඒ කෙරෙහි දක්වන ප්‍රතිරෝධයද ඊට හේතුවක් විය හැකිය. නමුත් ඇමෙරිකාවේ සංස්කෘතිය ප්‍රබුද්ධ නොවන බව අවබෝධ කරගැනීමට එතරම් අපහසු නැත. නිවැරදිව ගතහොත් එහි සංස්කෘතික ලක්‍ෂණය ලෙස හැඳින්විය යුත්තේ ප්‍රබුද්ධ නොවන බව නොව සංස්කෘතිය ප්‍රබුද්ධ නොකෙරීමට සංස්කෘතියෙන් තිබෙන බලපෑමය නැත්නම් සිතා මතාම ප්‍රබුද්ධ නොකර තබාගැනීමට දැරෙන උත්සාහයය.

මේ ගතිය ඔවුන්ට ලැබෙන්නේ එහි මුල් යුරෝපීය පදිංචි කරුවන් යුරෝපීය සරණාගතයින් වූ නිසා විය හැකිය. එදා යුරෝපයේ පැවති සංස්කෘතියට අනුව ඔවුන් ප්‍රබුද්ධයෝ නොවූහ. එදා මෙදා තුර යුරෝපයෙන් ඇමෙරිකාවට සංක්‍රමණයවූ බහුතරයක් ප්‍රබුද්ධ නොව පීචං සංස්කෘතිය නියෝජනය කලෝ වූහ. නමුත් ඇමෙරිකානු සංස්කෘතිය පීචං වන්නේ එහි මිනිසුන් බහුතරයකට පීචං සම්භවයක් ඇති නිසාම නොවේ. වඩා වැදගත් වන්නේ සංස්කෘතිය පීචංව තබා ගැනීමට සංස්කෘතිය තුලින්ම එන බලපෑමය. එවැනි බලපෑමක් නොතිබුනි නම් කාලයේ අවෑමෙන් ඇමෙරිකාවේ ප්‍රබුද්ධ සංස්කෘතියක් බිහි වෙන්නට ඉඩ තිබුනි. නමුත් එය එසේ වී නැත. ඒ නිසා සංස්කෘතිය ප්‍රබුද්ධ නොකෙරීමට ඇමෙරිකානු සංස්කෘතියෙන් තිබෙන බලපෑම වැදගත් කොට සැලකිය යුතුය. එහි ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපයෙන් එහි සංක්‍රමණයවූ රජ පවුල්වල උදවිය පවා ඇමෙරිකාවේ පීචං සංස්කෘතිය කැමැත්තෙන්ම වැලඳ ගත්හ.

ඇමෙරිකානුවෝ යුරෝපීයයන්ගේ, විශේෂයෙන්ම ඉංගී්‍රසින්ගේ ප්‍රබුද්ධ දේ පීචං කර තම සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට දක්‍ෂයෝ වෙති. ඉංග්‍රීසීන්ගේ මුල්ම යටත් විජිතය වුනද ක්‍රිකට් ක්‍රීඩාව ඇමෙරිකාව තුල පැල පදියම් වුනේ නැත. ඒ වෙනුවට ඇමෙරිකානුවන් තෝරා ගත්තේ ඉංග්‍රීසි සම්භවයක් ඇතැයි සිතිය හැකි (ඇමෙරිකානුවෝ ඒ බව ප්‍රතික්‍ෂේප කරති) බේස් බෝල් ක්‍රීඩාවය. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයකුත් ඇමෙරිකාවේ ඕනෑම නගරයක පැවැත්වෙන ඕනෑම මට්ටමේ බේස් බෝල් තරඟයකත් අතර පැහැදිලිව ප්‍රබුද්ධ-පීචං ගති නිරූපණය වේ. බේස් බෝල් පේ්‍රක්‍ෂකයෝ හැසිරීමෙන් සහ අඳුමෙන් පැලඳුමෙන් සරලය අවිධිමත්ය පීචංය ලෝඩ්ස් පිටියේ ක්‍රිකට් ප්‍රේක්‍ෂකයෝ හැසිරීමෙන් ගාම්භීරය සංකීර්ණය ප්‍රබුද්ධය. (එසේ වුනද අද 20-20 ක්‍රිකට් තරඟ විනිවිද ගොස් ඇත්තේ ඉංග්‍රීසීන්ගේ ප්‍රබුද්ධ ක්‍රිකට් සංස්කෘතිය නොව ඇමෙරිකානුවන්ගේ පීචං බේස් බෝල් සංස්කෘතියය)

ඉංග්‍රීසීන්ගේ ප්‍රබුද්ධවූ තේ බීමේ සංස්කෘතිය ගැන කිසිම තැකීමක් නොකරන ඇමෙරිකානුවෝ සිසිල් කල තේ බෝතල් කර පානය කරති. ඔවුහු යුරෝපීයයන්ගේ වයින් බීමේ සංස්කෘතිය පීචං කරමින් ප්ලාස්ටික් කොප්පවලද වයින් බොති. යුරෝපයේ රජ පවුල් සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර ගැන තැකීමක් නොකරති. වරක් ඔබාමා ඉංග්‍රීසි රැජින හමුවේ පිචං ලෙස හැසිරුනු බව කියවේ. නමුත් ඒ ගැන ඇමෙරිකානුවෝ ඔබාමාට දොස් නොකියති. ශ්‍රී ලංකාවේද ඉතා ගාම්භීර ලෙස පැවැත්වෙන උපාධි ප්‍රධානෝත්සව වලට සමහර ඇමෙරිකානු උපාධි දාරීන් කොට කලිසම් හැඳගෙන සෙරප්පු දාගෙන යාම ලොකු අවුලක් නොවේ.

ඇමෙරිකානු සංස්කෘතිය ප්‍රබුද්ධ නොකර තබා ගැනීමට එම සංස්කෘතියෙන් විශාල බලපෑමක් ඇත. එහි ප්‍රබුද්ධ යැයි සැලකෙන යුරෝපයෙන් සහ එංගලන්තයෙන් ආනයනය කරන ලද සංස්කෘතියක් නැතිවා නොවේ නමුත් ඊට සමාජීය වශයෙන් වැදගත් කමක් හෝ දේශපාලන බලයක් නැත. ඇමෙරිකානු සංස්කෘතිය සහමුලින්ම පීචංය. යම් හෙයකින් එහි බලවත් ප්‍රබුද්ධ සංස්කෘතියක් තිබුනේ නම් ප්‍රබුද්ධයේ සිට පීචමය දක්වා විවිධ සංස්කෘතික ස්ථර බිහිවීමට ඉඩ තිබුනි. නමුත් එය එසේ වි නැත.

ඇමෙරිකානු සංස්කෘතිය සහමුලින් පීචං වීමෙන් ඉටුවෙන වැදගත්ම කාරිය නම් ඇමෙරිකානු සමාජය සංස්කෘතියෙන් සමජාතීය වීමය. උගතුන් විසින් ඇමෙරිකාවේ බහු සංස්කෘති ලෙස වරදවා හඳුන්වාදෙන්නේ එහි විවිධ මෝස්තර වලට අනුව ජීවත්වන මිනිස්සු රංචු පිළිබඳවය. පුද්ගලිකව විවිධ මෝසතරවලට දිවි ගෙවුවත් ඔවුන් අයිති එකම සංස්කෘතියටය. ඇමෙරිකානු සංස්කෘතිය සමජාතීයව තබා ගැනීමට එම සංස්කෘතියෙන් විශාල බලපෑමක් එල්ලවේ. ඒ අනුව බලන කල ඇමෙරිකානු සංස්කෘතිය පීචංවීමත් එය සමජාතීය වීමත් අතර ඇත්තේ චක්‍රීය සම්බන්ධයකි.

ඇමෙරිකානු සංස්කෘතියේ ප්‍රධාන ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකි එහි පීචං බවත් පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීමත් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයටත් ධනවාදී ආර්ථික ක්‍රමයටත් සෘජුවම බලපායි.

ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ ඡන්දයෙනි. එහිදී එක් මිනිසෙකුට එක් ඡන්දයක් හිමි වෙන අතර සියලු ඡන්දවලට ඇත්තේ එකම වටිනාකමකි. පොදු සමාජයේ කැමැත්ත තීරණය වෙන්නේ ඒ තනි කැමතිවල නැත්නම් ඡන්දවල එකතුවෙනි. පොදු කැමැත්ත තනි කැමතිවල එකතුවක් ලෙස සැලකීමට නම් වැදගත් උපකල්පනයක් කල යුතුය. එනම් ඒ ඒ ඡන්ද එකිනෙකින් ස්වායත්ත බවය. එක් ඡන්දයකට අනිත් ඡන්දවලින් බලපෑමක් ඇතිවේනම් පොදු සමාජයේ කැමැත්තත් තනි මිනිසුන්ගේ කැමැත්තත් අතර සම්බන්ධය බලාපොරොත්තු වෙන ආකාරයේ රෙඛීය සම්බන්ධයක් නොවිය හැකිය. ඒ නිසා ඡන්දෙන් පොදු සමාජයේ කැමැත්ත තීරණය කරන්නට නම් ඡන්ද දායකයින් එකිනෙකාගේ ස්වායත්ත විය යුතුය නැතිනම් වෙන්වී සිටිය යුතුය. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට පුද්ගලයා සමාජයෙන් වෙන්කෙරීම වැදගත්ය. නමුත් එය මූලික අවශ්‍යතාවක් පමණි. වෙන් කෙරුනු පුද්ගලයින් විවිධ දේශපාලන මත දැරුවොත් කුමක් සිදුවේද? පොදු කැමැත්ත තීරණය වෙන්නේ තනි කැමතිවල එකතුවෙන් බැවින් එහිදී පොදු කැමැත්ත වනුයේ බහුතරයේ කැමැත්ත මිස වෙකක් නොවේ. එහිදී සුළුතරයට සමාජ අසාධාරණයක් වීම වැලකිය නොහැකිය. ඊට විසඳුමක් ප්‍රජාතන්ත්‍රවාදයට නැත. ඇමෙරිකානු සංස්කෘතිය ඊට දෙන පිළිතුර නම් සමාජය සංස්කෘතික වශයෙන් සමජාතීය කෙරීමය. එය සිදුවෙන්නේ සංස්කෘතිය පීචං කෙරීම තුලය. සංස්කෘතියෙන් සමජාතීයවූ සමාජයක දේශපාලන වෙනස් කම් ඇත්තේ මතු පිටිනි. දේශපාලනයෙන් සමජාතීය වූවිට බහුතරයේ කැමැත්ත පිළිගැනීම ප්‍රශ්ණයක් නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදයෙන් සාධාරනයක් ඉටු කල හැක්කේ ඡන්ද එකිනෙකින් ස්වායත්ත වනවිට හා දේශපාලනීය වශයෙන් සමජාතීය වූ විටය. මේ ලක්‍ෂණ නොමැති සමාජයක ප්‍රජාතන්ත්‍රවාදයෙන් සාධාරනයක් ඉටු කල නොහැකිය. අඩු තරමින් එසේ කල නොහැකිබව ෙසෙද්ධාන්තිකව පිළිගත යුතුය. ඇමෙරිකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ (අඩු පාඩු ඇතිව හෝ) එහි සංස්කෘතිය විසින් ඊට ඔබින වටපිටාව සකසා දී ඇති නිසා පමණය. එනම් පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීම සහ සංස්කෘතිය පිචං කෙරීම තුලින්ය.

ඇමෙරිකානු ආර්ථික රටාවට ඔබින පරිසරය නිර්මාණය කරදී ඇත්තේද එහි සංස්කෘතිය විසිනි. එහි ආර්ථික රටාව ධනවාදීය. ඒ බව සෙසු බටහිර රටවල් වලට වඩා උග්‍රය. එහි තනි පුද්ගලයින්ට මෙන්ම ආයතනවලටද ධනය රැස් කිරීමට ඇති නීතිමය බාධක අවමය. සංස්කෘතික වශයෙන්ද ඊට ඇත්තේ ධනාත්මක බලපෑමක් මිස සෘණාත්මක බලපෑමක් නොවේ. ලංකාවේ මෙන් නොව ආත්මාර්ථකාමීව සැප සම්පත් ගොඩ ගසන පුද්ගලයින් පිළිබඳව ඇමෙරිකානුවන් වපර ඇසින් බලන්නේ නැත. ඔවුන්ට එහි අවුලක් නැත. ඊට හේතුව කෙතරම් ධනය රැස් කලද ඔවුන් පොදුවේ සංස්කෘතියෙන් පීචං වන බැවිනි. සංස්කෘතියෙන් පීචංව සිටින බැවින් කෙනෙකුගේ පොහොසත් බවින් තව කෙනෙකුට බලපෑමක් නැත. ඇමෙරිකානුවන්ට ඒ ඒ අයගේ දුප්පත් පොහොසත් බව ඒ ඒ අයගේ පුද්ගලිකත්වයක් ලෙස සැලකීමට බාධාවක් නැත.

ඇමරිකානු සංස්කෘතියේ ප්‍රධාන ලක්‍ෂණ ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට සහ ධනවාදයට පරිසරය සකස් කරන බව පැහැදිලිය. එනම් ඇමෙරිකානු සංස්කෘතියෙන් තොරව ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට සහ ධනවාදයට පැවැත්මක් නැත.

නමුත් පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීම පුද්ගලයා සමාජයට බැඳ තැබීම හා සසඳන විට එක් අන්තයකි. පිචං බව ප්‍රබුද්ධ බව හා සසඳන විට එක අන්තයකි. එබැවින් ඇමෙරිකානු සංස්කෘතියේ ලක්‍ෂණ සීමාන්තික ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකිය. සීමාන්තික ලක්‍ෂණ වල ස්ථාවර බව අවමය. මා සිතන ආකාරයට අද ඇමෙරිකානු සමාජය එළඹ ඇත්තේ එහි සංස්කෘතියේ සීමාන්තික අවධියකටය. ඉදිරි වසර පනහ හැට තුල ඇමෙරිකානු සංස්කෘතිය මේ එක් එක් ලක්‍ෂණයේ අනිත් අන්තය කරා ගමන් අරඹනු ඇතැයි මම විශ්වාස කරමි. ඒ අනුව ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයත් ධනවාදයත් ඉදිරියේදී ඔවුන් විසින් වෙනස් කර ගනු ඇත. සිංහළුන් ඇමෙරිකානු සංස්කෘතිය පසු පස යෑම අර්ථ විරහිතය.

10 comments:

  1. //"තමන් උපයන දේ පොදු සමාජය වෙනුවෙන් වැය කල යුත්තේ කුමටදැයි ඔවුහු කල්පණා කරති. එසේ කරන්නේ නම් එයද තමන්ගේ පුද්ගලික කැමැත්ත මත සිදුවිය යුතුයැයි ඔවුහු සිතති. ""// නමුත් ලෝකයේ සමාජසේවා සහ සමාජ සුභසාධන වැඩ පිළිවෙලවල් වල බොහෝ විට මූලිකත්වය ගන්නේ ඇමරිකානුවන් නේද? එයට හේතුවක් තිබේද?

    පොදුවේ ඇමෙරිකානුවන් මෙසේ සිතයි නම් ඒ නීතිය අභියෝගයට ලක්කිරීමට ඔවුන්ට හැකියාවක් නැතිද ?

    ReplyDelete
  2. සරළ ජීවන රටාව පීචං ලෙස නම් කිරීම ගැන කනගාටුවෙමි...

    මෙම ළිපිය මගින් පෙන්වන් කරුණු රාශියක් තිබේ.
    ලාංකිකයා සතු වැඩවසම් මානසිකත්වය.
    පුහු සෝභන ජීවන රටාව
    පරිසරය අනුව හැඩගැසීමට ඇති නොහැකියාව
    වෙනස්වීමට ඇති අකමැත්ත

    ඒවා කෙසේ වෙතත් අප කතා කල යුතුව ඇත්තේ අප රට ඇමරිකාවටත් වඩා අන්ත රටක් බවට පත් වී ඇත්තේ කෙසේද යන බවයි...

    ReplyDelete
    Replies
    1. මම පීචං ලෙස දක්වන්නේ උපහාසාත්මකව නොවේ. සරල-සංකීර්ණ යන යුගලයට වඩා ප්‍රබුද්ධ-පීචං යුගලය මෙහි ගැලපෙනවා.

      Delete
  3. ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද ? ශ්‍රී ලංකාව සංස්කෘතික කාන්තාරයක් බව බොහෝ කාලයකට පෙර පේරාදෙණියේ සිටි අයිවෝ ජෙනින්ග්ස් නමැති සුද්දා කිව්වේය. ශ්‍රී ලාංකිකයා සතු උසස් සංස්කෘතියක් නොමැති බව අයිවෝ ජෙනින්ග්ස් හොඳටම දැන සිටියේය. ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද ? සංස්කෘතියක් තිබුනේ නම් ලංකාව නීතියක් විනයක් නොමැති තවත් සෝමාලියාවක් බවට පත් වෙමින් තිබෙන්නේ මන්ද ? කාලාන්තරයක් පුරා සිංහල, දෙමල මුස්ලිම් යන සියලුම ජනතාව අයත් වන ශ්‍රී ලංකික ප්‍රජාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්න දෙස බලන විට පෙනී යන්නේ එකී ගැටළු බොහොමයක් පැන නැගී තිබෙන්නේ මේ රටේ ඇති සංස්කෘතික දරිද්‍රතාවය නිසාය. අතීතය ගැන සලකා බැලීමේදී ශ්‍රී ලංකාව යනු කිසි දිනෙක උසස් සංස්කෘතියක් තිබු ජාතියක් නොවිය. මේ රටේ වාරි ශිෂ්ඨාචාරය බිහි කලේ, ගොඩනැගිලි ඉදි කලේ ඉන්දීය ශිල්පිය දැනුමෙනි. අතීත රජවරු මුදල් ගෙවා ඉන්දීය ශිල්පින් ලංකාවට ගෙන්වාගෙන ඉදිකිරීම් කළහ. අද වුවද මත්තල ගුවන් තොටුපොල, හම්බන්තොට වරාය ඉදි කරන්නේ චීන ශිල්පිය දැනුම යොදාගනිමින්ය. තව වසර දහසක් පමණ ගිය විට මත්තල ගුවන් තොටුපොල, හම්බන්තොට වරාය ඉදි කලේ දකුණේ සිංහලයන් බව අනාගත දේශප්‍රේමීහු පවසනු ඒකාන්තය. අතීතයේ රජවරු බොහෝ දෙනෙකු ක්‍රියා කලේ අන්තනෝමතික අන්දමිනි. දසරාජ ධර්මයෙන් රජකම් කල රජෙකු ලංකාවේ රාජාවලියේ නැත. බුදු දහමට පවා ලාංකිකයා සංස්කෘතික වශයෙන් ශිෂ්ඨ පුද්ගලයෙකු බවට පත් කිරීමට නොහැකි විය. අතීතයේ උසස් සංස්කෘතියක් තාක්ෂණයක් නොතිබූ අඩුව ලාංකිකයා අද දිනයේ වසා ගන්නේ රවණා ගැන මිත්‍යා කතා කීමෙනි. බටහිර ජාතින් ලංකාවට පැමිණෙන විට ලංකාව තාක්ෂණික වශයෙන් නොදියුණු ප්‍රාථමික රටක් විය. රට වටේ මුහුදක් තිබුනද නාවික හමුදාවක් පවා නොවිය. ඒ නිසා නැව් තුන හතරකින් පැමිණි පිටරට හේවායන් සුළු පිරිසකට ලංකාවේ රජුන් තැති ගන්වන මට්ටමට යුද්ද කිරීමට හැකි විය. (1)

    ReplyDelete
  4. තමන් ගැන හීනමානයෙන් පෙලෙන බොහෝ සිංහල උගතුන්ට මෙන්ම ඔබටත් පොදුවේ සිංහල ජාතිය සහ ඔවුන්ගේ සංස්කෘතිය ගැන සංගත අවබෝධයක් නැත. ඔබේ අදහස් වලින් ඔබට මිස රට ජාතියට ප්‍රයෝජනයක් ගත නොහැකියි. මා ඔබට පිළිතුරු නොදෙන්නේ මෙහි ඇති ලිපි සියය ගණනකින් ඊට පිළිතුරු දී ඇති නිසාත් ඉදිරියේද එසේ කිරීමට බලාපොරොත්තු වෙන නිසාත්ය.

    ReplyDelete
  5. අනගි ලිපියක් වන්නේ සාර්ථක විශ්ලේෂණයක් බැවිනි.කලක් මා නිරීක්ෂණය කල කරුණු කිහිපයක්ම හොඳට කියවා තිබුණි !

    ReplyDelete
  6. මේ වෙනස මේ බටහිර රටවල හුරතලේට ඇතිකරන බල්ලො බලලුන්ගෙනුත් පෙන්නුම් කෙරෙනවා කියල මට හිතෙන්නෙ. මේ රටවල බල්ලොත් මිනිස්සුන්ට වැඩිය "ස්මාර්ට්" විදියට ඉන්නෙ. අපේ රටේ නං බල්ලො බලු විදියට ඉන්නවා. ඒ කියන්නෙ බලු නිදහසේ ඉන්නවා නේ. දැන් දැන් ඒ ක්‍රමෙත් වෙනස් වෙමින් යනවා.
    හොඳ විශ්ලේෂණයක්! ගෝලීය සංස්කෘතියේ පෙරගමන්කාරයා ඇමරිකානු සංස්කෘතිය තමයි. ඊට පිටුපසින් විවිධ වේග වලින් සහ විවිධ කාල වකවානුවලින් පිටුපසින් සිටයි අනෙක් සෑම සංස්කෘතියකටම තියෙන්නෙ. උදාහරණෙකට යුරෝපීයයන් ඇමෙරිකානු සංස්කෘතියට බොහෝ කිට්ටුවෙන් වසර කිහිපයක් පිටුපසින් දුවන අතර ලංකාව වගේ දැඩි ප්‍රතිරෝධයක් දක්වන රටවල් අවුරුදු 40-50 ක් විතර ඇමරිකානු සංස්කෘතිය පිටුපසින් ගමන් කරමින් සිටින්නෙ. මේ පරතරය හැබැයි කවදාවත් නැතිකරන්න නම් බැරිවෙයි.

    ReplyDelete
  7. Mr Janaka, Your country is America and you belongs to America. You copy-cat Prof Nalin's Idea's and try to become a pora.

    ReplyDelete
    Replies
    1. You may be right to some extent although I do try to come up with original ideas (within the same paradigm) and try not to pretend to be a pora.

      Delete