Friday, September 5, 2014

තනි මිනිස්සු

රංචුවෙන් මිදුනු තනි අලියා දරුණු බව අපි අසා ඇත්තෙමු. තනිවුනු ඇතැම් මිනිසුන්ද එසේ දරුණු විය හැකිය. නමුත් රංචු ගැසී සිටින තනි මිනිස්සු ඊටත් වඩා දරුණු විය හැකිය. තනිවීම යැයි මෙහි ගැනෙන්නේ හුදකලාව ජීවත්වීමම නොව පුද්ගලයාට සමාජයෙන් තොරව පැවැත්මක් ඇත යන ආකල්පය මත පදනම්ව ජීවත්වීමය. එය සමාජ සම්මුතියකි. සංස්කෘතියෙන් ලැබෙන්නෙකි. නමුත් මිනිසුන්ට තනියෙන් ජීවත් විය නොහැකිය. ඒ නිසා තනි කෙරුනු මිනිස්සුද විවිධ අවශ්‍යතාවන් උදෙසා රංචු ගැසෙති. තනි-මිනිස් රංචුවක් යනු සමාජයෙන් වෙන් කෙරුනු පුද්ගලයින්ගේ එකතුවකි. ඔවුන්තුල රංචුවට ඇති බැඳීමට පදනම තමන්ගේ පුද්ගලික පැවැත්මය.

සමාජයත් සමඟ බැඳී ජීවත්වන මිනිසුන්ගෙන් සැදි සමාජත් තනි-මිනිස් සමාජත් වෙනස් වන්නේ සංස්කෘතියෙන් පමණක් නොවේ. ඒ සමාජ අතර වැදගත් දේශපාලන සහ ආර්ථික වෙනස්කම්ද ඇත. ඒ වෙනස්කම් හඳුනා ගැනීමට නම් තනි කෙරුනු මිනිස්සු සෙසු සමාජයත් සමඟ සම්බන්ධකම් පවත්වන්නේ කෙසේද යැයි විමසා බැලිය යුතුය. මා දකින ආකාරයට සමාජයත් සමඟ බැඳී ජීවත්වන මිනිස් රංචු සම්බෝලයක් ලෙස සැලකුවහොත් තනි-මිනිස් රංචු සලාද ලෙස සැලකිය හැකිය. බටහිර කෑමක් වන සලාදයේ විවිධ කොල ජාති එකට එක් කෙරෙන්නේ රස කාරක දියර මඟිනි. ඒ අනුව සම්බෝලයට සාපේක්‍ෂව සලාදයේ එකතුවීමට බලපාන්නේ බාහිර සාධකයකි. ජංගම දුරකතන සහ අන්තර් ජාලයද මේ ආකාරයටම මිනිස් රංචු නිර්මාණය කරන බාහිර බලවේ. ඒ අනුව හැදෙන රංචුද බොහෝවිට තනි-මිනිස් රංචුය.

අනිකුත් සංස්කෘතීන්ට සාපේක්‍ෂව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ සමාජ පොදුවේ තනි-මිනිස් රංචු ලෙස හැඳින්විය හැකිය. බටහිර සමාජ විද්‍යාඥයෝ පුද්ගලයෙකු අවට සමාජය වළලු තුනකට බෙදති. ඇතුලතම වළල්ලේ සිටින්නේ සිය පවුලය. ඊට පිටින් ඇති දෙවැනි වළල්ලේ සිටින්නේ අසල්වාසීන්ය. ඊටත් පිටින් ඇති තුන්වෙනි වළල්ලේ සිටින්නේ ඔහු විවිධ ක්‍රියාකාරකම් සඳහා එකතුවෙන පිරිස්ය (උදාඃ ක්‍රීඩා සමාජ, සහ අනිකුත් සමාජ සංවිධාන ආදිය). බටහිර සමාජ විද්‍යාඥයින්ට අනුව බටහිරුන් පසුගිය දශක ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් දෙවෙනි වළල්ලේ සම්බන්ධකම් පහත හෙලමින් පළමු සහ තුන්වෙනි වළල්ලේ සම්බන්ධකම් වලට වැඩි වැදගත් කමක් ලබා දෙමින් සිටිති. බටහිර විද්‍යාඥයෝ ඊට හේතු වශයෙන් විවිධ ආර්ථික සාධක පෙන්වා දෙන නමුත් මා දකින ආකාරයට ඊට බලපාන ප්‍රධානම හේතුව බටහිර සමාජ වඩ වඩාත් තනි-මිනිස් රංචු බවට පෙරලීමය.

සමාජයෙන් තනි කෙරුනු මිනිසාට වෙන කිසිවකටත් වඩා වැදගත් වන්නේ තම පැවැත්මය. ඔහුගේ ඊනියා පැවැත්ම පදනම් වන්නේ මමත්වය මතය. මමත්වය වැඩි වන්නේ දැඩිව අල්ලා ගැනීම මතය. දැඩිව අල්ලා ගත හැක්කේ එසේ අල්ලා ගැනීමට කැමතිවන උදවියය. ඒ නිසා ඔහුට වැඩියෙන්ම වැදගත් වන්නේ තම අඹු දරුවන්ය. ඒ පළමු වළල්ලය. ඊළඟට ඔහුට වැදගත් වන්නේ ඔහු සමාජිකත්වය දරන යම් සමාජ සංවිධානයකි. ඔහු මෙන්ම එහි සිටින අන් අයද එහි එකතුවී සිටින්නේ යම් එක් නිශ්චිත පොදු අවශ්‍යතාවකටය. ඒ නිසා ඔවුහු කැමැත්තෙන්ම එකිනෙකා අල්ලා ගනිති. ඒ තුන්වෙනි වළල්ලය. නමුත් දෙවෙනි වළල්ලේ සිටින අසල්වැසියෝ ඔහුට එතරම් සමාන කමක් නොදක්වති. ඒ අසල්වැසියන්ටද වැදගත් ඔවුනොවුන්ගේ පළමු සහ තෙවැනි වළලු බැවින් අසල්වැසියන් අතර අල්ලා ගැනීමකට ඉඩක් නැත. දෙවනි වළල්ලට වැදගත් කමක් නොලැබෙන්නේ ඒ නිසාය.

බටහිර මිනිසුන්ට වැදගත් පවුල හෝ එසේ තදින් අල්ලා ගත හැකි මිනිසුන්ගෙන් සැදි කිසියම් රංචුවක් පමණි. ඒ රංචු ගැසීමට පදනම මමත්වයය. බටහිර සමාජ මෙසේ වී ඇත්තේ මිනිසුන් සමාජයෙන් වෙන් කිරීම නිසාය. අපිදු ඉතා සීඝ්‍රයෙන් තනි-මිනිස් සමාජයක් බවට පත්වෙමින් හිඳින්නෙමු. විශේෂයෙන් නාගරිකව ජීවත්වන උගත් මධ්‍යම පංතිකයෝ මේ ආකාරයට රංචු ගැසෙමින් සිටිති. මීට පරම්පරා කිහිපයකට උඩදී ජීවත්වුනු මිනිසුන්ට සාපේක්‍ෂව අද ඔවුන් තම අසල්වැසියන් සමඟ සම්බන්ධකම් පවත්වන්නේ අතේ දුරිනි. නමුත් ඔවුහු වඩ වඩාත් තම අඹු දරුවන්ට බැඳී සිටිති.

නමුත් අද මධ්‍යම පංතික දෙමව්පියෝ තම දරුවන් හා බැඳෙන්නේ මීට ඉහත පරම්පරාවල දෙමව්පියන් බැඳුනු ආකාරයටම නොවේ. බොහෝ දෙනා මීට එකඟ නොවීමට ඉඩ ඇති වුනද මා සිතන ආකාරයට අද අපට දරුවන් හා ඇති බැඳීම අපේ මමත්වය ඉහ වහා යෑම මත නැත්නම් කෑදරකම පදනම්ව ඇතිවූවකි. එය දරුවන්ටවත් දෙමව්පියන්ටවත් එතරම් වැඩදායි නොවේ. බටහිරුන්ටද තම දරුවන් කෙරෙහි ඇත්තේ එවැනි බැඳීමකි. කුඩා දරුවන්ගේ පරිභෝජනය සඳහා කැප වුනු ඩොලර බිලියන ගණනක වෙළඳ පොලක් ඇමරිකාවේ නිර්මාණය වී ඇත්තේ දරුවන්ගේ අවශ්‍යතාව සඳහාවත් ඔවුන්ගේ ආර්ථික හැකියාව නිසාවත් නොව දෙමව්පියන්ගේ අවශ්‍යතාව අනුව බව පැහැදිලිය. මෙහි ඇත්තේ දරු පෙම යැයි මතු පිටින් පෙනුනද යටින් ඇත්තේ මමත්වය මත පදනම්වුනු දරුවන් පිළිබඳ කෑදරකමක් පමණි. බටහිරුන් තරමටම නොවුනද අපද වඩ වඩා මමත්වය මත පදනම්ව දරුවන්ට ඇලෙමින් සිටින්නෙමු. අද රටේ පවතින අධ්‍යාපන අර්බුදයට එක් හේතුවක් එයය.

අවාසනාවකට අපි බොහෝ දෙනෙකුට පුද්ගලයා සමාජයෙන් වෙන් කිරීම ගැන ප්‍රත්‍යක්‍ෂ අවබෝධයක් නැත. සාමාන්‍යයෙන් අපි වෙන්වීම දකින්නේ ආත්මාර්ථකාමී වීමක් ලෙසටය. ආත්මාර්ථකාමී බව වෙන්වීමේ ප්‍රතිඵලයක් විය හැකි වුනද වෙන්වීම ආත්මාර්ථකාමී වීමම නොවේ. වෙන්කෙරීමේදී පුද්ගලයාත් සමාජයත් අතර ඇති චක්‍රීය සම්බන්ධය බිඳ දැමීමක් සිදුවේ. එසේ වෙන් කරන ලද මිනිසුන්ගෙන් සැදි තනි-මිනිස් රංචු ආර්ථිකව සමාජීයව හා දේශපාලනිකව හැසිරෙන්නේ සමාජය සමඟ බැඳුනු මිනිසුන් හැසිරෙන ආකාරයට හාත්පසින්ම වෙනස් ආකාරයටය.

බටහිර ආර්ථික රටාව සමපාත වන්නේ තනි-මිනිස් සමාජයකට පමණි. අද ජීවත්වන වැඩිහිටියන් වශයෙන් අපි තීරණය කල යුත්තේ අපි තනි-මිනිස් සමාජයක් බවට පත්වෙමින් බටහිර ආර්ථිකය ක්‍රමයටම හැඩ ගැසෙනවාද නැද්ද යන්නය. 2009 දරුවන්ට විකල්පයක් ඉතිරි නොවෙනු ඇත.

8 comments:

  1. මා හිතන පතනායුරු ඔබ එළෙසම සටහන් කර ඇත
    මහැදුරු ගුණපාල ධර්මසිරි 'පෘතග්ජන' යන්නෙහි 'පෘතග්(ක්)' යන්න සංස්කෘතයෙන් 'වෙන්' ලෙස ගැනේයයි කියයි
    එනයින් බැලූකල දරුණුලෙස පෘතග්ජනයින් පැටවු ගසන කාලයකි
    බස් රියේත්, විදුලි සෝපානයෙත්, එස්කැලේටරයෙත්, කුලී රථයේත්, මහ මගදීත් මා දකින්නේ ජංගම උපකරණයට සමවැදී ඉන්නා මිනිසුන්ය. අහල පහල ඉන්නේද මිනිසුන් බව ඔවුනට අමතකය
    'ගෝලීයකරණය' නමින් යවන්නට හදන්නේ භූ-පරිසර-දේශගුණික විෂමතාවයන් අමතක කොට එක් කලාපයක බිහිවූ සංස්කෘතියකට අප කැන්දාගෙන යාමටය
    උඩුගං බලා යෑමට අපේ දෙයින් සන්නද්ධ වීම වහ වහා කල යුතු කාරිය යැයි සිතේ
    ඔබට ස්තූති බොහොම මේ අදහස් කුළුගන්වනවාට!

    ReplyDelete
  2. ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මෙවැනි හරවත් , සංවාදාත්මක ලිපියක් ඉදිරිපත් කිරීම පිළිබඳව. අවාසනාවකට මෙන් සිංහල බ්ලොග් ලෝකයත් කිසියම් රංචුවක් බවට පත්ව තිබෙනවා. බොහෝ දෙනා, පුළුල් මාතෘකා පිලිබඳ සංවාදයන්ට එක් නොවී සිටින අතරම, එවැනි මාතෘකා රැගත් ලිපි කියවීමට ඇති උනන්දුවද ඉතා පහළයි. බහුතරයක් පිළිගන්නා පරිදි, බ්ලොග් ලිවීම හා කියවීම යනු හුදු සරල වින්දනය පමණක් පදනම් කරගත්තක්. සමහරු ලියන්නේ කියවන්නේ ඕනෑම අශ්ලීල කරුණකට වුවද ඉඩකඩ සහ ප්‍රතිචාර ලබාදෙමින්.

    අද අපි මමත්වයෙන් ගෙන ඇත්තේ, පුහු බව අර්ථ ශූන්‍ය බව සහ මවාගත් මහන්තත්වයක් බව, ඇත්තටම සමහර අය නොදන්නවා නොවේ. එහෙත් ඔවුන්ට සිදුවී තිබෙන්නේ රැල්ල සමග යාමටයි. කෙසේ වෙතත් 10% ක් පමණ පවුල්, තවමත්, හරවත් දර්ශනයක සිටිමින් ක්‍රියා කරනවා. වාණිජ බලවේග, අපේ ජීවිත පාලනය කරන බව අවබෝධ කරගෙන තිබෙන්නේ, අල්පයක් දෙනා විසින් පමණයි.

    සෑම ආගමකම පූජ්‍ය පක්ෂය, ජනතාව වෙත මේ යථාර්ථය පැහැදිලි කරදීම, අද්‍යතන යුගයේ සියල්ලටම වඩා ඉහළ ප්‍රමුඛත්වයක් ලැබිය යුතු කරුණක්.

    ReplyDelete
    Replies
    1. මමත් ඔබ කියන 10% හසු වෙන්නේ නෑ. අවාසනාවකට අපි කුඩා හෝ සංස්කෘතික වෙනසක් ඇති කර නොගත්තොත් ඔය 10%ට හිමිවෙන්නේ සමාජයේ පහලම තට්ටුවයි. එය සමාජ අසාධාරනයක් ලෙස සැලකිය යුතුයි.

      Delete
  3. මේ කථා ඔබේ වචනයෙන්ම කිව හැකිනම් මීට වඩා මිනිස්සු එය කියවාවි

    ReplyDelete
  4. මට හිතෙන්නේ නම් වර්තමාන ලාංකීය සමාජයේ ,වඩා වැඩි වැදගත් කමක් ලබාදී ඇත්තේ තුන්වන වළල්ලට බවයි , මන්ද අද වනවිට බොහෝ අප්වුල් ඒකක වල බලාපොරොත්තු වන බැඳීම නැත, නමුත් තමන්ගේ ක්ලබ් එකේ, පූල් එකේ සගයන් සමග පවුලට වඩා වැඩි සමීපතාවක් ගොඩනගා ගැනීමට උත්සාහ දරන අයුරක් පෙනී යනවා .

    ReplyDelete
  5. ලංකාවට නවීන සංස්කෘතිය සහ තාක්ෂණ දැනුම ලැබෙන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ගෙනි. උඩුකය නොවසමින්, එක ගෙයි කමින්, රුකුලේ පැදීම, බුලත් හිරය වැනි හිරිකිත ලිංගික චර්යාවල යෙදෙමින් සිටි ලාංකිකයා නවීන ශිෂ්ඨාචාරයට සහ විනයකට යටත් කරන්නේ බටහිර සුද්දා විසිනි. සුද්දා සතු හොඳ කළමනාකරණ හැකියාව තිබුනේය. ඒ නිසා ඉතා කෙටි කලකින් සංවර්ධනය අතින් පසුගාමීව සිටි ලංකාවට මහා මාර්ග, දුම්රිය මාර්ග, තැපැල් සේවා, අධ්‍යාපනය, සුව සේවා ලැබෙන්නේය. එසේම විශාල කෘෂි ආර්ථිකයක් ද මෙරට ඇති කළේය. නමුත් සුද්දා සංවර්ධනය සහ සංස්කෘතිය ලබා දෙන ගමන් එක වරදක් කළේය. සංවර්ධනය සහ සංස්කෘතිය සමග ක්‍රිස්තියානිය ප්‍රචලිත කිරීමට යාම ඔහු කල වරද විය. එකල ක්‍රිස්තියානි ආගම සහ පල්ලිය යනු අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ ජන ඝාතන කිරීම සඳහා යොදාගත් දේශපාලන මතවාදය විය. ලතින් ඇමරිකාවේ මහා පරිමාණයේ ජන ඝාතන කිරීම සඳහා වතිකානුව අනුමැතිය දුන්නේය. මේ නිසා සුද්දා ලබා දුන් සංවර්ධනය සහ සංස්කෘතිය දේශීය ජනයා දෑතින්ම වැළඳගෙන බාර ගත්තේ නැත. එම නිසා සුද්දා විසින් දුන් සංස්කෘතිය මුළු රටටම බලපෑමක් නොකළේය. සුද්දා මෙරටින් යාමෙන් පසු කලක් දේශීය ප්‍රභූවරුද පසු කාලයක ගංජා කසිප්පු විකුණා මුදල් හම්බ කල මැරයන්ද රටේ පාලනය භාරගත්හ. වර්තමානයේදී අසංස්කෘතික දේශීය ගං කබරයන් විසින් ලංකාව පාලනය කරනු ලැබේ. සුද්දා වෙනුවට මෙරට ජනතාව තමන්ව පාලනය කිරීම සඳහා තෝරා ගත්තේ මිනි මරණ, පොදු දේපල හොරකම් කරන, කුඩු කසිප්පු විකුණන, දේශීය ගං කබරයන් පිරිසකි. මේ පාලකයන්ට මෙන්ම පාළිතයාටද සංස්කෘතියක් නැත. ඒ නිසා සෑම මැතිවරණයකදීම රටේ පාලනය භාර දීම සඳහා ජනතාව පත් කරන්නේ නුගත් මැරයන් පිරිසකි. ලාංකික ජනතාවට උසස් සංස්කෘතියක් තිබුනේ නම් තමන් පාලනය කිරීම සඳහා ගං කබරයන් පත් කර ගන්නේ නැත.

    ReplyDelete
  6. අසංස්කෘතිය මේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර තිබේ. මේ රටේ කසල ඉවත් කිරීමේ සංස්කෘතියක් නැත. මානව ගනුදෙනු වලදී සංස්කෘතියක් නැත. එසේම මේ රටේ මහා මාර්ගයේ වාහන ධාවනයේ දී කිසිම සංස්කෘතියක් නැත. ලංකාවේ සිදුවන වාහන අනතුරු දෙස බැලීමේදී පෙනී යන්නේ එම අනතුරු සිදු වීමට මුලික හේතුව නම් ලංකාවේ ජනයා තුල සංස්කෘතියක් නොමැති නිසා අවිනය මත සිදු වන ඉතා පහසුවෙන් වුවද වලක්වා ගත හැකි අනතුරු බවයි. වාහන එළවීමට තාක්ෂණ දැනුම ලාංකිකයාට තිබුනද ඒ තාක්ෂනය සමග බැඳුනු විනය ඉවසීම, හික්මීම සහ සංස්කෘතිය ලාංකිකයාට නොමැත. එයට හේතුව ලාංකිකයා තවමත් ශිෂ්ඨත්වයට පත් වී නොමැති නිසා වේ. මේ නිසා වාහන අනතුරක් සිදු වූ විගස ටයර් පුළුස්සා මහාමාර්ග අවහිර කොට ජනයා උද්ඝෝෂණය කරති. දියුණු සංස්කෘතියක් ඇති රටක ජනයා ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරෙන අන්දම සහ ලංකාවේ ජනයා හැසිරෙන අන්දම ගැන බලන්න. අනෙකාට කරදරයක් හිරිහැරයක් නොවන අන්දමට හැසිරීමට ලාංකිකයා දන්නේ නැත. මෙය නුගත් අසංස්කෘතික ගෝත්‍රික ලක්ෂණයකි. අසල්වැසි නිවසකට කරදරයක් නොවන අන්දමට ගුවන් විදුලිය, රූපවාහිනිය පවා ක්‍රියාත්මක කිරීමට මිනිසුන් නොදනිති. නුගත් අසංස්කෘතික ගෝත්‍රික ලක්ෂණයෙන් ලාංකිකයා අනුනය. පොදු ප්‍රවාහනයේදී ලාංකිකයාගේ අශිෂ්ඨබව කෙසේද යත් කාන්තාවකට ලිංගික හිංසනයක ලක් නොවී ලංකාවේ බස් රථයක යා නොහැක. ලංකාවේ අධ්‍යාපනික ආයතන වල පවා මේ නුගත් අසංස්කෘතික බව තිබේ. කායික හෝ වාචික හිංසනයකට ලක් නොවී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබීමට නොහැක. ලංකාවේ උගත් මිනිසුන් තුල පවා අශිෂ්ඨත්වය තිබේ. එම නිසා ලාංකිකයාට සාක්ෂරතාවය තිබුනද ශිෂ්ඨත්වය නොමැත. ලංකාවේ බොදු ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු ආගමික සංස්ථා වලින්ද මේ අසංස්කෘතික බව ඉවත් කිරීමට වැඩ පිළිවෙලක් දියත් වෙන්නේ නැත. මේ ආගමික සංස්ථා වලින් වැඩිපුරම ලාංකික සමාජයට පිට කරන්නේ ආගමික අන්තවාදීන්, මුලධර්මවාදින් සහ ලිංගික විකෘතියෙන් පෙලෙනවුන්ය. ප්‍රජාව උසස් සංස්කෘතියක් කරා ගෙන යාමට අධ්‍යාත්මික නායකත්වයක් දීමට මේ ආගමික සංස්ථා අසමත් වී තිබේ. මේ නිසා ප්‍රජාවන් තුල තිබෙන්නේ අශිෂ්ඨ බවකි. එබැවින් ඕනෑම අන්තවාදයක්, මුලධර්ම වාදයක් ලංකාවේ මිනිසුන් තුල පහසුවෙන් වගා කල හැක. ලාංකිකයන් අන්තවාදයට මුලධර්මවාදයට පහසුවෙන් යටවේ. ආර්ථික මට්ටම සහ සමාජ පන්තිය කුමක් වුවද උස් පහත් භේදයකින් තොරව ලාංකිකයා අසංස්කෘතික අර්ධ වනචාරියෙකි. මේ සඳහා නිදර්ශන දෙකක් දිය හැක. හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර පාසල් ගුරුවරියක් බලෙන් දණ ගැස්සුවේය. ආනන්ද සරත් කුමාර යනු පිටිසර ගමක දුගී පවුලක ඉපදුන පුද්ගලයෙකි. ඔහු පාසල් ගියේ ටකරං මඩුවක් වැනි ගමේ පාසලටය. ඉංග්‍රීසි වචනයක්වත් බැරිය. එසේම ගුණධර්ම අතින් ඔහු තිරිසනෙකුද විය. මේ මදාවි දේශපාලකයාට යළි නාමයෝජනා ලැබීමට නියමිතව තිබුණි. එසේම ඔහු තරඟ කලේ නම් අප රටේ නුගත් අසස්කෘතික වනචාරී චන්දායක ජනතාව මොහුව වාර්තාගත මනාපයක් සමග පත් කර ගැනීමේ සම්භාවිතාවක්ද තිබුණි. ශිෂ්ඨ රටක මෙවැනි ක්‍රියාවක් කල දේශපාලකයාගේ දේශපාලන ජීවිතය ඉන් හමාරය. නමුත් ලංකාව වැනි දියුණු සංස්කෘතියක් නොමැති පසුගාමී රටක මේ ක්‍රියාව ඔහුගේ දේශපාලන ජනප්‍රියතාව ඉහල දමයි. ජනතාව එවැනි චරිත වලට පෝලිමේ ගොස් චන්දය දෙති. (3)

    ReplyDelete
  7. දෙවන සිදුවීම දෙස බලන්න. රමිත රඹුක්වැල්ල යනු කෙහෙළිය ඇමතිවරයාගේ පුතාය. දේශපාලනයෙන් සහ වෙනත් ක්‍රම වලින් හරි හම්බ කරගත් නිසා ඔවුනට මුදල් යහමින් තිබේ. රමිත පාසල් ගියේ කොළඹ ලොකු ඉස්කෝලයකටය. කතා බහ ඉංග්‍රීසියෙනි, යන්නේ තඩි කාර් වලය. සමාජ මට්ටම අතින් වෙනස් වුවද සංස්කෘතික වශයෙන් ආනන්ද සරත් කුමාර සහ රමිත රඹුක්වැල්ල අතර ලොකු වෙනසක් නැත. රමිත රඹුක්වැල්ල බීමතින් බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක දොර උඩු ගුවනේදී ඇරීමට තැත් කළේය. මේ ක්‍රියාව උසස් සංස්කෘතියකින් සහ ශිෂ්ඨාචාරයකින් පැමිණි වෙනත් රට වල මගීන්ට භීතිය ගෙන ආවද රමිත රඹුක්වැල්ල වැනි අසංස්කෘතික ලාංකිකයෙකුට එය ආතල් එකකි. යම් ලෙසකින් ලාංකිකයාට උසස් සංස්කෘතියක් තිබුනේ නම් මර්වින් සිල්වා වැනි දේශපාලකයන්ට වරින් වර මුග්ධ හැසිරීම් පෙන්වන්නටත් ඒ හැසිරීම් හිරිකිතයකින් තොරව රස කාරක යොදා මාධ්‍ය මගින් පෙන්විමටත් හැකි වේද? උසස් සංස්කෘතියක් පවතින රටක මර්වින් සිල්වා යනු සිර ගෙදරක හෝ මානසික රෝහලක සිටිය යුතු චරිතයකි. නමුත් මේ චරිතය පහත් සංස්කෘතික මට්ටමක් ඇති ලංකාව වැනි පසුගාමී රටක ප්‍රධාන පෙලේ දේශපාලකයෙකි. ලංකාවේ මාධ්‍ය පවා පාලනය වන්නේ අශිෂ්ඨ නුගත් ගෝත්‍රික හැඟීම් අනුවය. සංස්කෘතියක ප්‍රවර්ධනය වෙනුවට ජනමාධ්‍ය තව තවත් අශිෂ්ඨත්වය සමාජයේ වර්ධනය කිරීමට දායක වෙති. මේ රට එක් ආකරයක දැරණියගල නූරීය වත්තට සමාන කල හැක. මැරයෝ කැමති ලෙස හැසිරෙති. ධනය කොල්ල කති. කාන්තාවෝ ළමයින් දුෂණය කරති. දුෂණය කල සන්කියාව සමරන්නට පාටි දමති. පිටරටින් සුද්දෙකු හා සුද්දියක පැමිණි විට සුද්දාට වෙඩි තියා සුද්දිය දුෂණය කිරීමට ලංකාව නමැති නූරිය වත්තේ ප්‍රාදේශීය දේශපාලකයෝ ක්‍රියා කරති. මේ අසාධාරණයන්ට කිසිවෙකු විරෝධතාවක් දක්වන්නේ නැත. හේතුව මේ රටේ ජනතාවක් කියා කෙනෙකු නැත. සිටින්නේ අසංස්කෘතික අර්ධ වනචාරී ගෝත්‍රිකයන් පිරිසකි. ඒ නිසා මේ රට කවදාවත් ශිෂ්ඨත්වයට පත් වන්නේ නැත. එම නිසා මේ රටට අවශ්‍ය අධිවේගී මාර්ගද ගුවන් තොටුපොළවල් ද කියා යලි සලකා බැලීමේ කාලය එළඹ තිබේ. අධිවේගී මාර්ග හා ගුවන් තොටුපොළවල් වලට වියදම් කරන මුදලට ලාංකිකයාට නවීන සංස්කෘතිය ශිෂ්ඨත්වය ඉගැන්වීම සඳහා සංවර්ධිත ශිෂ්ඨ රට වලින් උපදේශකයන් ගෙන්වන්නේ නම් අඩුම ගන්නේ අපගේ අනාගත පරපුරවත් මේ කාලකන්නි සාපයෙන් මිදෙනු ඇත. (4)

    ReplyDelete