Friday, August 8, 2014

යකඩ මනස්

ලෝකයේ සැරිසරමින් සිටි නාථ වරක් දියුණු යැයි සැලකුනු මිනිසුන් සිටි රටකට සේන්දු විය. එරට මිනිස්සු නාථ සාදරයෙන් පිළිගත්හ. ඔවුන්ගේ ආගන්තුක සත්කාරවලට පැහැදුනු නාථ එහි කෙටි කාලයක් රැඳී සිටීමට ඉටා ගත්තේය. එසේ සිටින අතර නාථට වැඩි කලක් නොගොසින් එරට තාක්‍ෂණයෙන් අග තැන්පත්වූ රටක් බව පෙනී ගියේය. දියුණු රටේ එදිනෙදා ජීවන කටයුතු බොහොමයක් සිදු කෙරුනේ ස්වයංක්‍රීය යන්ත්‍ර සූත්‍ර මඟිනි. තාක්‍ෂණ ශිල්ප ආධාරයෙන් ඔවුහු ඉතා සුඛෝපභෝගී ජීවිත ගත කලහ. කෑම බීම සහ නිදා ගැනීම හැරෙන්නට මිනිසුන්ට ජීවත් වෙන්නට යැයි කියා කරන්නට දෙයක් තිබුනේ නැති තරම්ය.

කරන්නට දෙයක් නැත්නම් ඔවුන් සාමාන්‍යයෙන් දවස ගතකරන්නේ කෙසේදැයි සොයා බලන විට නාථට දැන ගන්නට ලැබුනේ දියුණු රටේ මිනිසුන් දවසින් වැඩි කාලයක් ගත කලේ තමන්ගේ කායික සහ මානසික වර්ධනය සඳහා බවය. එහි ප්‍රතිඵලද පෙනෙන්නට තිබිනි. ඇඟ වෙහෙසා වැඩ කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබුනත් දියුණු රටේ මිනිස්සුන්ට හොඳ කාය ශක්තියක් තිබුනි. ඔවුහු බුද්ධිමත්ද වූහ. කථා බහ කරනවිට ඉතා තර්කානුකූලව අදහස් ප්‍රකාශ කලහ. ඔවුන්ට තියුණු ධාරන ශක්තියක්ද තිබිනි. මුලදි මුං නම් මාර පොරවල් ටිකක් යැයි සිතුනද කලක් අවෑමෙන් දියුණු රටේ මිනිසුන්ගේ යම් යම් අඩුපාඩු නාථට පෙනේනට පටන් ගත්තේය. තම රටේ සාමාන්‍ය මිනිසෙකුට පවා තේරෙන (උදාහරණයක් වශයෙන් තව කෙනෙකු දුකට පත්වී සිටීම) දේවල් මේ දියුණු මනසක් ඇත්තන්ට නොතේරෙන බව නාථට වැටහිනි.

මේ වෙනසට හේතුව සොයා ගන්නා අටියෙන් දියුණු රටේ තම මිතුරෙක්ගෙන් ඔවුන් මානසික වර්ධනය සඳහා කටයුතු කරණාකාරය විමසා සිටියේය. "අපි අපේ මනස වර්ධනය කරගන්නේ තාක්‍ෂණය භාවිතා කරගෙනය. අපි නොයෙකුත් ඖෂධ වර්ග යොදාගෙන මොළයේ ස්නායු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරගෙන සිටින්නෙමු. ඊට අමතරව නොයෙකුත් තාක්‍ෂණික උපකරණ මොළයට බද්ධ කරගෙන සිටින්නෙමු. ඒ හරහා ස්නායු සම්බන්ධන හැකියාව සහ වේගය දහස් ගුණයකින් වැඩි කර ගැනීමට අපට හැකිය. මේ නිසා ඔබේ මනසින් කල නොහැකිදේ බොහොමයක් අපට ඉතා සුළු කාලයකින් කර ගත හැකියැයි" ඔහු කියා සිටියේය.

නාථට කාරණය තේරුනි. ඔහු දියුණු රටේ තම මිතුරා අමතමින් මෙසේ කීවේය. "මිත්‍රයා ඔබලාට ඔබේ මනසේ ධාරිතාව වැඩි කර ගැනීමට හැකිවී තිබුනත් අපේ රටේ සාමාන්‍ය මිනිසුන්ට ඇති ඉව ඔබලාට නැත. ඔබලා තාක්‍ෂණයෙහි සරණ යෑමෙන් සිදුව ඇත්තේ මිනිස් මනසක් දියුණු කර ගැනීමට වඩා මිනිස් බවින් ඈත්වී යන්ත්‍රවලට කිට්ටු වීමය. අපේ රටේ සාමාන්‍ය මිනිහෙකුට අවබෝධ වෙන සමහර දෑ ඔබලාට දැන ගන්නට විදිහක් නැත. ඔබලා දැනුම ලබා ගන්නේ යන්ත්‍රාණුකුලවය". එසේ කියා මට නම් ඔබලාගේ මානසික වර්ධනය එතරම් මැජික් නොවේ යැයි නාථ පැවසීය.

මෙය ඇසූ මිතුරාට මළ පැන්නේය. ඔහු වහා ගොස් එරට විද්වත් සමුළුවට නාථ ගැන කේලම් කීවේය. විද්වත් සමුළුව ජන මාධ්‍ය අමොරාගෙන පැමිණ නාථට තමන් කී දේ ඔප්පු කරන මෙන් බල කර සිටියේය. වඳින්ට ගිය දේවාලය ඉහ කඩා පාත්වුනා වැනිය. ඉවක් නැති මිනිසුන්ට ඉවක් ගැන කියා දෙන්නේ කෙසේදැයි දැන් නාථ කල්පනා කරන්නට විය. එසේ කල්පනා කරමින් සිටින අතර නාථටත් නොකියා විද්වත් සමුළුව නාථ වැරදියැයි ඔප්පු කරන්නට ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණයක් සූදානම් කලහ. නාථ බලාපොරොත්තුවුනු පරිදිම විද්වතුන් ඉව ගැන කිසි දෙයක් ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණයට අයත් කර තිබුනේ නැත. නමුත් වෙන දෙයක් වෙද්දෙන් කියා නාථද පරීක්‍ෂණයට පෙනී සිටියේය.

පරීක්‍ෂණයට තිබුනේ ගණිත ගැටලු විසඳීමය. අහඹු ලෙස තෝරා ගැනුනු දියුණු රටේ මිනිසෙකුටත් නාථටත් එකම ගණිත ගැටළුව දී මුලින්ම විසඳන්නේ කවුදැයි බැලිනි. මුලින්ම ලැබුනේ ආචාර්ය උපාධියට ලැබෙන තරමේ ගැටළුවකි. එය වරක් කියවූ නාථ එය විසඳීමට තරම් දැනුමක් තමන්ට නැතැයි පැවසීය. ඊලඟට ලැබුනේ ඒ ලෙවල් තරමේ ගණනකි.  එයද ඉවත දැමුනේ නාථ උසස් පෙළ සඳහා ගණිතය හදාරා නොතිබුනු බැවිනි. ඊලඟට ලැබුනු ඕ ලෙවල් තරමේ ගැටලුව නාථ පැය භාගයකින් නිම කරද්දී අර මිනිහා එය මිනිත්තුවකින් විසඳා තිබිනි. එහෙනම් පහේ පංතියේ ගණනක් දෙන්නැයි නාථ කල ඉල්ලීමට අනුව එයද ලැබිනි. ඊට නාථ විනාඩි දෙකක් ගත් අතර අර මිනිහා ගත් කාලය බිංදුව යැයි සඳහන්ව තිබුනේ ඒ කුඩා කාලය මැන ගැනීමට තරම්වත් කාල ගණකය සංවේදී නොවුනු බැවිනි. පැහැදිලිවම නාථ පරීක්‍ෂණයෙන් පැරදිනි. පස්වනක් පිනා ගිය විද්වත්හු ජය ප්‍රකාශ කර සිටියහ. මාධ්‍ය සම්මන්ත්‍රනයක් කැඳවා ඊනියා ඉවක් ගැන කියන නාථ කථා බොරු බවත් තාක්‍ෂණයේ පිහිටෙන් තම මනස් ඉතා දියුණු තත්වයකට පැමිණි ඇති බවත් ඔවුහු කියා සිටියහ. මාධ්‍ය සම්මන්ත්‍රනය අස්සේ හදිසියේම නාථට අදහසක් පැන නැගිනි. පොඩ්ඩක් හෝව් කියා සම්මන්ත්‍රනය නවතා ගත් නාථ තව එකම එක ගණිත ගැටළුවක් සඳහා අවසර දෙන මෙන් ඉල්ලා සිටියේය. විද්වත්හු ඊට ඉඩ දුන්හ.

ගැටළුව මෙයයි. මේසයක් මත ඇති හිස් වැසුමකින් ගල් කැට කිහිපයක් වසා ඇත. හිස් වැසුම ඉවත් කල සැණින් එහි සැඟවී තිබුනු ගල් කැට ගණන ගනන් කල යුතුය. නමුත් එහි තිබිය හැක්කේ එක්කෝ ගල් කැට දෙකකි නැත්නම් තුනකි. ඊට වඩා අඩු හෝ වැඩි විය නොහැකිය. මේ ගණනය සඳහා යන කාලය ඉතා කුඩාවූවක් බැවින් හිස් වැසුම ඉවත් කිරීමත් ගල් කැට ගණන මොළයේ සටහන්වීමත් අතර කාලය ස්වයංක්‍රීයව මැන ගැනීම සඳහා නාථගේත් අනිත් තරඟ කරුවාගේත් මොළයට ඉතා සූක්‍ෂම ලෙස විවිධ උපකරණ සවි කෙරිනි. දැන් තරඟය ආරම්භවිනි. පුදුමයෙනුත් පුදුමයකි තප්පරයෙනුත් දාහෙනුත් පංගුවකින් පමණ සුළු කලයකින් නාථ ජය ගත්තේය. තරඟය කිහිප වාරයක් පැවැත්වුනු අතර වාරයක් වාරයක් පාසා නාථ නූලෙන් දිනුවේය.

දියුණු රටේ විද්වතුනට දැන් බරපතල ප්‍රශ්ණයකි. ඔවුහු තම මොළ වල සවි කරගෙන ඇති උපකරණ නවීකරණය කර ගත යුතුයැයි කල්පනා කලහ. ඒ අතර නාථගේ (ව්‍යාජ) මිතුරා පැමිණ තරඟයෙන් දිනුවේ කෙසේදැයි හෙමින් නාථගෙන් විමසා සිටියේය. "ඔබලා ගල් කැට කීයක් ඇත්දැයි දැන ගන්නේ එක දෙක තුන යැයි ගණන් කරලාය..හරියට පරිගණකයක් ගණනය කරන ලෙසටය....ඒ ඔබේ මනස් ක්‍රියා කරන්නේ යන්ත්‍රයක් මෙන් නිසාය...නමුත් මම එහෙම නොවේ මට දුටු විටම එහි ගල් කැට  කීයක් (දෙක හෝ තුන) ඇත්දැයි තේරෙනවා...එය අපේ රටේ ඕනෑම කුඩා දරුවකුට වුනත් පිළිවනි...මට ගණන් කරන්ට අවශ්‍ය නැති බැවින් මට ඔබලාට වඩා ඉක්මණින් දැන ගත හැකිය" යැයි කියා සිටියේය.

දියුණු රටේ මිනිසුන් තාක්‍ෂනයෙන් යන්ත්‍ර දියුණු කරනු වෙනුවට ඔවුන්ගේ මනස් තව තවත් යන්ත්‍ර බවට පත් කරමින් සිටින බවත් ඒ නිසා සාමාන්‍යයෙන් මිනිසුන්ට හිමි චිත්ත හැකියාවන් ඔවුන්ට නැති බවත් පවසා නාථ වහා එරටින් පිටවී ගියේය.

 තව නාථ කථා
අද-ලොව සහ හෙට-ලොව

ගැලීලියෝ සහ නාථ

2 comments:

  1. පට්ට ඈ...
    සාරාවටම මරු කතාව හිතන්න බොහෝ දේ ඉතිරි කළ අපුරු කතාවක්...
    අදයි ආවෙ
    ආයෙත් එන්නංකො...
    ජයවේවා

    ReplyDelete
  2. මහේෂ් රත්නායකට මගේත් සම්පූර්ණ එකඟත්වය

    ReplyDelete