Friday, August 29, 2014

සිංහල බෞද්ධයාගේ සමාජවාදය

අන් කෙනෙකු සැප සම්පත් ගොඩ ගහනවිට නැත්තම් තමන් වෙනුවෙන්ම යම් යම් දේ කර කියා ගන්නාවිට කෙටියෙන් කිවහොත් පොර වෙන්නට තනනවිට, බොහෝ සිංහළුන්ට, විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ට රුස්සන්නේ නැත. වයසක උපාසක අම්මලා නම් නිකටේ අත ගසා අනේ අනිච්චං යැයි කියා අනුකම්පා සහගත වන මුත් බොහෝ බෞද්ධයෝ ඒ පිළිබඳව අඩු තරමින් උපහාසයෙන් හා අපහාසයෙන්වත් කථා කරති. තවත් සමහරු ඉනුත් එහාට ගොස් එසේ පොර වෙන්නට හදනවුන් පිළිබඳව ද්වේශ සහගත වෙති. ඔවුන්ට ඊරිසියා කරති. දියුණු වෙන්ට හදන මිනිහාගේ කකුලෙන් අදිනවා යැයි සමහරු හඳුන්වන්නේ මෙවැනි ක්‍රියාවන්ය.

නමුත් බටහිරුන් නම් මෙවැනි ආකල්ප දරන්නේ නැත. අප සංස්කෘතියේ හැදුනු වැඩුනු අයෙකුට එය එසේ විය හැකියැයි සිතා ගැනීමට පවා නොහැකි වුනද පොදුවේ ඇමෙරිකාවේ මිනිසුන් නම් පොර වෙන්නට තනන අන්අය පිළිබඳව සෘණාත්මක ආකල්ප දරන්නේ නැති බව මම අත්දැකීමෙන්ම දනිමි. ඉතා පැහැදිලිවම පොර වීම පිළිබඳව බටහිර සහ සිංහල බෞද්ධ සංස්කෘතිය දරන ආකල්ප අහසට පොළව මෙන් වෙනස්ය.

මෙහිදී පොර වීමට අකුල් හෙලීම බෞද්ධයින්ගේ අශීලාචාර ගතියක් බවත් බටහිරුන් එහිදී ශීලාචාර වන බවත් යමෙකු පවසන්නේ නම් එය කරුණු මතු පිටින් පමණක් දැකීමකි. මන්ද ඊරිසියාව හා වෛරය සම්බන්ධයෙන් ඒ නිගමණය නිවැරදි විය හැකි වුනද අනේ අනිච්චං යැයි කියා අනුකම්පා සහගතවීම කිසිසේත් අශීලාචාර නොවන බැවිනි. පොරවීම යන සන්දර්භය තුල අනුකම්පාවත් ඊරිසියාවත් යන ආකල්ප දෙකෙහිම යම් පොදු බවක් ඇත. ඒ පොදුබව වෙන කිසිවක් නොව මමත්වය පහත් කොට සැලකීමය. මමත්වය පහත් කොට සලකමින් සිංහල බෞද්ධයෝ තම තමන්ගේ නැණ පමණින් පොර වෙන්නාට ප්‍රතිචාර දක්වති. පොර වෙන්නාට අනුකම්පා කරන්නේ උගත් උපාසක අම්මලාය ඊරිසියා කරන්නේ නූගතුන්ය. මෙහිදී අනුකම්පාවත් ඊරිසියාවත් මමත්වය පහත් යැයි පදනම් කරගත් ආකල්පීය ආවලියක අන්ත දෙකක් සැලකිය හැකිය. නමුත් බටහිරු මමත්වය පහත් කොට සලකන්නේ නැත. ඒ නිසා ඔවුහු පොරවෙන්නාට ඊරිසියා කරන්නේ නැත. අනුකම්පා කරන්නේද නැත. ඔවුහු ඊට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ තැනක හිඳිමින් පොරවීම පිළිබඳව ධනාත්මක ආකල්පයක් දරති. එය සිංහල බෞද්ධ ආකල්ප වලට සම්පූර්ණයෙන්ම වෙනස්ය.

බටහිරුන් පොරවීම පිළිබඳව දරන ධනාත්මක ආකල්පය ඔවුන්ගේ ආර්ථික දියුණුවට සෘජුවම බලපායි. පොරවීම හොඳ නැතැයි සිතමින් ඇමෙරිකාව වගේ දියුණුවිය නොහැකිය. එමෙන්ම පොරවීම හොඳ නම් අපට ලැබිය හැක්කේ ඇමෙරිකාව ලබා ඇති වැනි  දියුණුවක් මිස වෙන ආකාරයක දියුණුවක් නොවේ. කැඳත් රැවුලත් දෙකම බේරා ගත නොහැකිය. නමුත් අපේ සමහර තරුණ උගතුන්, විශේෂයෙන්ම හැත්තෑ හතේ දරුවන් ලෙස හැඳින්විය හැකි තරුණයින් බටහිර ආරේ ආර්ථික සංවර්ධනයක් පතන්නේ අප සමාජයේ පොර වෙන්නට හදන්නන්ටද ගරහමිනි. පැහැදිලිවම එහි විසංවාදයක් ඇත.

අපට කල හැක්කේ එක්කෝ පොරවීම හොඳ යැයි සිතමින් බටහිර ආරේ ආර්ථික සංවර්ධනයක් ලබා ගැනීමය නැත්නම් පොරවීම හොඳ නැතැයි සිතමින් ඊට ගැලපෙන ආර්ථික සංවර්ධනයක් පිළිබඳව සංකල්පයක් නිර්මාණය කර ගැනීමය. පැහැදිලිවම අප ගත යුත්තේ දෙවනි මඟය. දැන් ප්‍රශ්ණය මමත්වය පහත් කොට සලකමින් පොරවීමට අකුල් හෙලමින් ලැබිය හැකි සංවර්ධනය බටහිරුන්ගේ සංවර්ධනයෙන් වෙනස් වන්නේ කෙලෙසද යන්නය.

සංවර්ධනයේ මුලික අරමුණ වන්නේ සමාජයේ ආර්ථික විශමතා අවම කර ගැනීමය. සමාජවාදී ක්‍රමයට අනුව එය ඉටු කෙරෙන්නේ රජය මැදිහත්වීමෙන් සම්පත් බෙදාහැරීම මඟිනි. ධනවාදී ක්‍රමයට අනුව එය වෙළඳ පොලේ ස්වාභාවික හැසිරීම තුලින් සිදුවේයැයි සැලකේ. මේ ක්‍රම දෙකටම අනුව වැදගත් වන්නේ ආර්ථික අතින් සමානාත්මතාවක් අත් කර දීමය. ගණිතමය වශයෙන් එය සියලු පුද්ගලයින් යම් එක් අගයක් ගැනීමක් ලෙස සැලකිය හැකිය. සියලු පුද්ගලයින්ගේ ආර්ථික අගය දහයට සමාන නම් එහි සමානාත්මතාවක් ඇත. සියලු පුද්ගලයින්ගේ අගය සියය නම් එහිද සමානාත්මතාවක් ඇත.

මේ ආර්ථික ක්‍රම දෙකටම අනුව සමානාත්මතාවක් ඇති විටෙක යම් පුද්ගලයෙකුගේ ආර්ථික අගය දහයද නැත්නම් සියයද යැයි නිර්ණය වෙන්නේ ඒ පද්ධතියට බාහිරෙන් ඇති සාධක වලට අනුවය. බාහිර බලපෑමක් නැත්නම් ඒ ආර්ථික අගය නොනවත්වා වැඩි නොවීමට හේතුවක් නැත. බටහිර සංවර්ධනය සිදුවන්නේ මේ ආකාරයටය. නමුත් සංවර්ධනය බාහිර බල මත පමණක් සීමාවෙන පද්ධතියක් තුල සමානාත්මතාවක් ඇති කර ගන්නේ කෙසේද? අභ්‍යන්තර බල නොමැති නම් එවැනි සමානාත්මතාවක් ඇති කර ගත හැකි නොවේ. එවිට පද්ධතිය තුල විශමතාවක් ඇතිවීම වැලැක්විය නොහැකිය. අද ලොව පුරා බලපැවැත්වෙන ලිබරල් ධනවාදී ආර්ථික රටාව තුල ආර්ථික විශමතා සීඝ්‍රයෙන් වර්ධනය වීමෙන් පිළිබිඹු වන්නේ එයයි. සිංහල බෞද්ධ ආර්ථික ක්‍රමයේ ඇති වෙනස නම් පුද්ගලයෙකුගේ ආර්ථික අගය සීමා කිරීම සඳහා සමාජයේ අභ්‍යන්තරයෙන්ද බලපෑමක් ඇතිවීමය. ඒ අභ්‍යන්තර බලය සංස්කෘතික වශයෙන් නිර්මාණය වන්නේ මමත්වය පහත් කොට සැලකීම පදනම්වය.

සංවර්ධනයේදී අපට වැදගත් වන්නේ සමාජ විශමතා අවම කිරීමය. එය කල හැක්කේ රජයේ මැදිහත්වීම මඟින්වත් ඊනියා වෙළඳ පොලේ ක්‍රියාකාරිත්වයෙන්වත් නොව පොදු සමාජයේ අභ්‍යන්තර සමාජ-සංස්කෘතික බලපෑම මතය. මමත්වය පිටු දකින සිංහල බෞද්ධ ආර්ථික ක්‍රමයකට අනුව සමානත්වයක්  අත් කර ගත හැකිය. ධනවාදයටවත් සමාජවාදයටවත් එය ප්‍රායෝගිකව අත්කර ගත නොහැකිය.

4 comments:

  1. මිනිස්සු දියුනු වීමත් එක්ක මිනිසුන්ට සාමූහික වශයෙන් තීරණ ගැනීමේ හැකියාවක් ලැබෙන්න ඕනි. ඒ විදියට සාමූහික ඉලක්ක කරා කැපවීමේන වැඩකරන සමාජ පද්ධති ඉක්මනින් සමාජ විශමතාවයන් නැතිවෙල දියුනු මට්ටමට එනවා. නමුත් ලංකාව තුල තවමත් පවතින්නේ පුද්ගලික ඉලක්ක සහිත සමාජයක් පමණයි.. කිසිවෙකුට පුද්ගලිකව කිසියම් ඉලක්ක සමුදායක් තිබුනත් පොදු වශයෙන් ඔවුන්ට ඇති ආකල්ප වල ඉදිරිගමනක් නැහැ.

    ReplyDelete
  2. ඕකනම් හොඳ පුරුද්දක් නෙමෙයි ඕකෙ වෙන පැත්තකුත් තියෙනවා බලන්න ධර්මපාල තුමා කියලා තියෙනවා සිංහලයන්ට හොඳක් කලත් බනිනවා නරකක් කලත් බනිනවා හොඳ කලාම වැඩියෙන් බනිනවා නරක කලාම අඩුවෙන් බනිනවා කියලා ඒවිතරක් නෙමෙයි අපේ අය දෙමල මුස්ලිම් නෙනෙක් පොඩි හොඳක් කලාම එවුන්ගේ වර්ගයම හොඳයි කියලා නිගමනය කරන ගතියකුත් තියෙනවා මමනම් ඕකට කියන්නේ දූපත්වාදී මානසිකත්වය කියලා

    ReplyDelete
    Replies
    1. හොඳ නැත්තේ උගත් උපාසක අම්මලාගේ අනුකම්පාවද නැත්නම් නූගත් මිනිසුන්ගේ ඊරිසියාවද නැත්තම් ඒ දෙකමද? මම නම් කියන්නේ ඒ දෙකටම පදනම්වුනු මානානුශය පහත් යැයි සලකන සිංහල බෞද්ධ ආකල්පය හොඳ බවයි.

      Delete
  3. මම නම් දූපත්වාදී මානසිකත්වය කියල හඳුන්වන්නේ පිටරටක ඇති සංස්කෘතියක් දැනුම් පද්ධතියක් ගැන හරි අවබෝධයක් නැතුව තමන්ගේ දේ ගැන හීනමානයක් ඇති කර ගැනීමයි.

    ReplyDelete