Monday, August 25, 2014

ජේ ආර් ගෙ ආර්ථිකය

සමගි පෙරමුණ ආණ්ඩුව 77 දී අන්ත පරාජයක් ලැබූවේ සිරිමාවෝ ආණ්ඩුවේ දැඩි ආර්ථික ප්‍රතිපත්ති නිසා බව සාමාන්‍යය පිලිගත් මතයයි. ඒ වනවිට මා වයසින් මුහුකුරා නොගිය දරුවකුව සිටි බැවින් ඒ පිළිබඳව අත්දැකීමෙන් මා දරන මතය නිවැරදි නොවිය හැකිය. කෙසේ වෙතත් මට එකල හැඟුනු පරිදි සිරිමාවෝ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වලින් වැඩි හරියක් පීඩා වින්දේ කොළඹ සහ අනිකුත් ප්‍රධාන නගරවල ජීවත්වුනු මධ්‍යම පංතියේ මිනිසුන් මිස ගැමි ජනතාව නොවේ. පාං නැතිවම බැරි උනේ කොළඹ මිනිසුන්ටය. හාල් පොලු වලින් පීඩා වින්දේත් ඔවුන්ය. ගැමියන්ද යම් තරමකට අපහසුතාවකට පත් වෙන්නට ඇති නමුත් සාපේක්‍ෂව ගත් කල මා හිතන ආකාරයට ආර්ථික ප්‍රතිපත්ති වලින් ඔවුන්ට ඇතිවූ බලපෑම නගරවල ජීවත්වුනු මිනිසුන්ට ඇතිවූ බලපෑමට වඩා බෙහෙවින් අඩුවිය. නමුත් පොදුවේ ගැමි ජනතාව සිරිමාවෝ ආණ්ඩුව පිළිබඳව වෛරයකින් පසුවුනැයි මම සිතමි. ඒ 71 කැරැල්ල මර්ධනය කිරීමේදී ආණ්ඩුව ගත් දැඩි ක්‍රියාමාර්ග නිසාය. 89 තරම් නොවුනද එදාද තරණයින් විශාල සංඛ්‍යාවක් ආණ්ඩුව විසින් ඝාතනය කෙරිනි. ඊටත් වඩා විශාල සංඛ්‍යාවක් සිර ගත කෙරිනි. ඉන් බොහෝ දෙනෙකුට ජවිපෙ හා සම්බන්ධකම් තිබෙන්නට ඇතැයි සිතිය නොහැකිය. 89 ජවිපෙ මෙන් නොව 71 ජවිපෙ සාමාන්‍ය ජනතාව භීතියට පත් නොකලහ. ඒ නිසා භීශණය මුලු මනින්ම පාහේ වැටුනේ රජයේ ගිණුමටය. රාජ්‍ය මරධනයක් පිළිබඳව ඓතිහාසික මතකයක් නොතිබුනු ගැමි තරුණයින් සහ ඔවුනගේ දෙමව්පියන් රජයේ භීෂණයෙන් මහත් කම්පනයට පත් වුහ. 77 දී ගම් පිටින් යූ එන් පියට ඡන්දය ප්‍රකාශ කරමින් ඔවුහු සිරිමාවෝගෙන් ඒ වාඩුව ගත්හ. ජේ ආර් විසින් ගෙනගිය ඒ කාලේ හැටියට සාර්ථක මාර්කටින් මෙහෙයුමක් ලෙස සැලකිය හැකි වංචාකාරී මඩ ඡන්ද ව්‍යාපාරයද ඊට උර දෙන්නට ඇතැයි සිතිය හැකිය. නමුත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සාමාන්‍ය ගැමි ජනතාව කෙරෙහි එතරම් වැදගත් බලපෑමක් නොකල බව මගේ මතයයි.

ඉන් කියවෙන්නේ සමගි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිවැරදිවූ බව නොවේ. ඉන් කියැවෙන්නේ යම් ආකාරයක සංවෘත ආර්ථිකයක් සඳහා වෙනසක් ඇති කිරීමට මෙරට ගැමි ජනතාව තුල බලවත් අකමැත්තක් නැති බවත් එය දරා ගැනීමට ඔවුන්ට ශක්තියක් තිබෙන බවත්ය. එය වැදගත්ය. එය එසේ නම් සිරිමාවෝ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ගෝනි බිල්ලෙක් ලෙස හුවා දක්වා ඊට සහමුලින්ම විරුද්ධ ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමණය කිරීම එතරම් සාධාරන නොවේ.

මෙරට ජනතාව ජේ ආර්ගෙන් යම් ආර්ථික සහණයක් බලාපොරොත්තුවුහ. නමුත් ඔවුන් බලාපොරොත්තු වුනේ ජේ ආර්ගේ විවෘත ආර්ථිකයද? ජේ ආර් ආරථිකය විවෘත කලේ ඒ සඳහාම මෙරට ජනතාවගේ දැඩි ඉල්ලුමක් තිබුණ නිසාද? රජයේ දේපල පුද්ගලිකකරණය කිරීම වැනිදෑ ඔවුන් බලාපොරොත්තු වුන දේද? ඒ පිළිබඳව මතවාදයක් ගොඩනැඟී තිබුනිද? මේ ප්‍රතිපත්ති අභ්‍යන්තරයෙන් මතුවූ ඒවාට වඩා බටහිර බලපෑම මත සිදුවුයේ යැයි ගැනීම සාධාරනය. ඒ වනවිට එංගලන්තය සහ ඇමෙරිකාව තැචර් සහ රේගන් නායකත්ව යටතේ නව ලෝක ආර්ථික ප්‍රතිපත්ති සකසා තිබිනි. ඔවුන්ගේ එකම අරමුණවුයේ තම රටවල් වැටී තිබුනු ආර්ථික අවපාත වලින් ගොඩ ගැනීමය. නමුත් එය කල හැකිවූයේ අන් රටවල ආර්ථික සූරා කෑම සඳහා ඒ රටවල් විවෘත කර ගැනීම තුලිනි. ඒ සඳහා ඔවුහු විවිධ ලෝක සංවිධාන සහ දේශපාලන බල පුළුවන් කාරකම් යොදාගත්හ. බටහිරුන්ගේ කීකරු දාසයෙකුව සිටි ජේ ආර් ඒ සඳහා නම්මවා ගැනීම අපහසු නොවිනි.

ඊනියා විවෘත ආර්ථික ප්‍රතිපත්ති වල පිහිටෙන් ඇමරිකාවත් එංගලන්තයත් ගොඩ ගියහ. නමුත් අසූවේ මැද භාගය පමණ වෙනවිට මෙරට නැවතත් ආර්ථික අමාරුවක වැටී සිටියේය. ඊට හේතුව වෙන එකක් නොව සන්තකව තිබුනු දේ විකුනා කෑමෙන් පසුව විකුනන්නට දෙයක් ඉතිරි නොවීමය. ඉතාම කෙටි කලකින් ආර්ථිකය වැටුනේ නම් ජේ ආර්ට ඉදිරි දැක්මක් තිබුනා යැයි කිසිසේත් කිව නොහැකිය. නමුත් අවාසනාවකට අපි අදත් යන්නේ ජේ ආර් ගිය තැවර්-රේගන් පාරේමය. වෙනසක් ඇත්නම් ඒ රජය එදාටත් වඩා අද ආර්ථික සංවර්ධනයට යැයි කියා මහා පරිමාණ ව්‍යාපෘති වලට වැය කිරීමය. අද ආර්ථිකය වර්ධනය සඳහා වැඩියෙන් දායකවන්නේ පෞද්ගලික ව්‍යාපාර නොව රජය බව කියවේ. අපි හැත්තෑ හතේ සිට මේ මඟ ඇවිත් සිටිනමුත් අපිට තවමත් සිංගප්පුරුව අහලකටවත් ලංවීමට නොහැකි වීී ඇත. ඒ ඇයි? මේ ප්‍රශ්ණයට පිළිතුරක් නොදැන ආර්ථික ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ කිරීම නුවණට හුරු නොවේ.

මේ ප්‍රශ්ණයට නිවැරදි පිළිතුර දූන්නේ කලකට ඉහත වතිකානුවේ මුලසුනව හුන් පාප් තුමෙකි. එතුමා පැවසුවේ ලංකාව සංවර්ධනය කල නොහැක්කේ බෞද්ධයින් නිසා බවය. දකුණු කොරියාව බෞද්ධ රටක්ව පවතින කල් එරට දියුණු නොවුනු බව එතුමා සැලකිල්ලට ගත්තේ දැයි නොදනිමි කෙසේ වෙතත් එතුමාගේ කථාව නිවැරදි යැයි මම සිතමි. බෞද්ධ සංස්කෘතියක් මෙරට පවතිනතාක්කල් මෙරට ධනවාදී ආර්ථික ක්‍රමයකට අනුව සංවර්ධනය කල නොහැකිය. එමෙන්ම ධනවාදී ආර්ථික ක්‍රමයකට අනුව මෙරට සංවර්ධනය කලහොත් මෙරටින් සිංහල බෞද්ධ සංස්කෘතිය අතු ගා දැමෙනු ඇත.

අද වෙනවිට සංස්කෘතික වශයෙන් බලවත් පිරිහීමකට ලක්වී සිටියද මෙරට වැසියෝ තවමත් බොක්කෙන්ම සමානාත්මතාව අගය කරති. නමුත් සිංහල බෞද්ධයින්ගේ සමානාත්මතාව ලිබරල්වාදීන්ගේ සමානාත්මතාව නොවේ. ඒ බව වැදගත්ය. ලිබරල්වාදීන්ට සමානාත්මතාව පුද්ගල අයිතියක් පිළිබඳ ප්‍රශ්ණයකි. නමුත් සිංහල බෞද්ධයින්ට සමානාත්මතාව පුද්ගල මෙන්ම සමාජීය අයිතියකි. ඔවුන් පොදුවේ අසංවර පරිභෝජනය පිළිකුල් කරන්නේ ඒ පදනම මතය. විශ්ව විද්‍යාලවල දරුවන් සමාජ අසාධාරන පිළිබඳව මෙතරම් සංවේදී වන්නේ ඔවුන් සමානාත්මතාව පුද්ගල මෙන්ම සමාජීය අයිතියක් ලෙස සලකන බැවිනි. අවසානාවකට ඒ සංවේදී බව ඇතමුන් විසින් වෛරයක් බවට පත් කර ගන්නේද ඒ පදනම උඩය. විශ්ව විද්‍යාල හැරගිය පසු ඔවුන්ට බලෙන් පෙවූ ලිබරල්වාදී සමාජවාදී අදහස් ඔවුන් විසින් හලා දමන්නේද ඔවුන්ට පුද්ගලික සමානාත්මතාවක් වැදගත් නොවන නිසාය.

සිංහල බෞද්ධයෝ බොක්කෙන්ම සමානාත්මතාව අගය කරනතාක් කල් ධනවාදී ආර්ථික ක්‍රමයකට මෙරට පසුබිමක් ගොඩනැඟෙන්නේ නැත. අදටත් පෞද්ගලික ව්‍යාපාර රජය තරමටම සංවර්ධනයට දායක නොවීමෙන් පිළිබිඹු වන්නේ එයයි. කෙසේ වෙතත් ධනවාදී ආර්ථිකය සමාජ අසමානතාව පියවන්නක් නොව ඉන් ජවයක් ලබන්නකි. අපි කල යුත්තේ හැත්තාවේ දශකයේ ගෝනි බිල්ලන් දකිමින් තව තවත් ධනවාදී ආර්ථික මඟක් ගැනීම නොව මෙරටට සුදුසු, ගම මුල් වුනු, විමධ්‍යගතවූ, සමානාත්මතාව අගයන, ඉඳුරන් තවන ආර්ථික රටාවක් අරභයා ක්‍රමයෙන් වෙනස්කම් කිරීමය.

තවත් සංවර්ධන කථා

ගම මුල්වුනු ආර්ථිකයක්
මිනිසුන්ට දැනෙන සංවර්ධනය
වක්කඩේ හකුරු හැංගීම
අපරාධ ↔ සංවර්ධණය
කාර්මික විප්ලවයක් නොකල කොණ්ඩෙ බැඳපු චීන්නු
අසංවර පරිභෝජනය
අපේ සංවර්ධන මඟ
සංවර්ධනයේ මුලාව

10 comments:

  1. SEENI NETHIWA TEA BEEWA, MIRIS NETHIWA HODI HADUWA, HAAL NETHIWA BATH KEWA, MATHINI KIYANA KOTA PIDURU UNATH API KEWA, MIRIS POLU, HAAL POLU UDIN PANALA GIYA, PARANA TORCH CELL/BICYCLE TYRE ARAN C.W.E. GIYA, WEDDIN SUIT MAHANNA REDI GANNA MARRIAGE CERTIFICATE DUNNA, THAWA........SIKURADA BATHALA KEWA.

    ReplyDelete
    Replies
    1. dan fried rice kala cholesterol blood pressure nathi karaganna pethith gilinawa neda?

      Delete
  2. අනේ මංද ජානක...
    පාප් තුමාගෙ පොරකාසෙ කියවපුවාම මටත් පිස්සු වගේ...
    77 ගැන කතා කරන්න ඊට පස්සෙ ඉපදුන අපට අයිතියක් නැතත්
    මට එක දෙයක් තාම හිතෙනව...
    සිරිමා ආණ්ඩුව ආර්ථිකය යම් පමණකට හෝ විවෘත කරල තිබුණ නම් අඩුම ගානෙ අත්‍යාවශ්‍ය භාණ්ඩ වත් ගෙන්නන්න පුලුවං විදියට හොල්ලන්න හම්බෙන්නෙ නැ...
    ඒත් 71 කේස් එක ගැන ඒ තරං නොහිත කියපු දෙයක් මේ...

    ReplyDelete
    Replies
    1. සිරිමාවෝ ගේ ආර්ථික ප්‍රතිපත්ති නිවැරදියි කියල මෙහි කියලා නෑ

      Delete
  3. Mahathmaya obage lipiya ithamath kalochithayi karunu niwaradiwa liya thibenawa.
    apita methanin godaweemak na mahathmaya. me loke inna api okkoma mehema thama

    ReplyDelete
  4. දීර්ඝ comment එකකට කලින් හිස්තැන් පුරවමු.

    ඊනියා යන වචනය පහත වරහන් අතරින් සුදුසු තැනකට/තැන්වලට යොදමු .

    එමෙන්ම ( _1_ ) ධනවාදී ආර්ථික ක්‍රමයකට අනුව මෙරට (_2_)සංවර්ධනය කලහොත් මෙරටින් (_3_)සිංහල බෞද්ධ සංස්කෘතිය අතු ගා දැමෙනු ඇත.

    රටේ බහුතරයක් අමෙරිකාවක්,ඔස්ට්‍රේලිය්වක්, වීම ගැන විවිද හේතු නිසා සිහින මවයි. සුළුතරයක් අප මේ ඊනියා සංවර්ධනයක් කල නොහැකි කියන සිරි ලංකාවේ සිට බටහිර රටවල් මෙන් අසාධාරණ භෞතික සම්පත් ප්‍රමාණයක් භුක්ති (පරිභෝජනය)විදිමින් සිටියි. මෙම සුළුතරය, රට කරවන්නන් බිහිකිරීමටත්, ආර්ථික මොඩලය තීරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම කරවයි.නමුත් මේ බව ඔබ සගවයි.

    සුදු සරම ඇදගෙන එන පුද්ගලයන් ඇති නමුත් ඔවුන්ගේ ඇති සිංහල බෞද්ධ කමක් නැත. ඔවුන් එකතුව ගන්නා තීරණ වලද ඇති සිංහල බෞද්ධ නැත. ඊනියා සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන ඔබ කතා නොකරයි. නමුත් අවසානයේ ඇත්තේ එවැන්නකි යි මම සිතමි. රට පාලනය කරවන්නවුන්, ආර්ථික ක්‍රියාපටිපාටි ගැන තීරණ ගන්නවුන්, සියල්ලෝම ඊනියා සිංහල බෞද්ධයින් නොවේද? අලි / බුලත්කොළ / සීනු සියල්ලෝම ඊනියා සිංහල බෞද්ධයින් නොවෙයි ද ? ඉතිරිය ඊනියා දමිල හින්දුන් සහ මුදලලියා ය.

    ගම මුල් කරගත් සංවර්ධන ක්‍රියා පටිපාටියක් ඇති වේවා යයි ප්‍රාර්ථනා කරාට වැඩක් නැත. ගමේ කොල්ලෝ ගමේ ඉන්න කැමති නැත. කොහොම හරි කර ගොස් කොරියාව ට පනින්න ට ඔවුන්ට අවශ්‍ය ය. පළමුව සාර්ථක වන ගොවියා ගේ පුතා ගොවියකු නොවෙයි, ලාභ නොලබන ගොවීන්ගේ ළමයින් ගොවින්ම වෙති. නැවතත් බහුතරය මොන ආර්ථික ක්‍රමය ගෙනාවත් අතෘප්තිමත්ය . තෘප්තිමත් කිරීමට නම් එතින් බටහිර තෘප්තියම ආරෝපණය කල යුතුයි ඉන් පසුව එතින් එම රෝදය දිගටම කරකවන්නද සිදුවෙයි. J .R ටද අමාරුව වුනේ මෙය නොවද?.

    ඇත්ත ඇති සැටියෙන් පිලි නොගැනීම ලොකුම ප්‍රශ්නය යි. සියල්ලෝම පන්චේන්ද්‍රයන් පිනවීමට කැමැත්තෙන් ඒ පසු පස්සේ ලුහු බඳිති. පාරිශුද්ධ (Genuine) සිංහල බෞද්ධ සංස්කෘතියක් තිබිය හැක්කේ මනංකල්පිතවය. අප සමාජය එම මනංකල්පිත රාජ්‍ය ගැන කතා කිරීමට කැමතිය, ඒ ගැන ආඩම්බර වීමට ද කැමතිය. නමුත් ක්‍රියාත්මක වෙන විට පුද්ගලයා ක්‍රියාත්මක වෙන්නේ ඊනියා සිංහල බෞද්ධයකුය.
    මොන ආර්ථික ක්‍රමය ගෙනාවත් ලාභ ලබන්නෙකු සිටියි. මේ ලාභ ලබන්නා නියම සිංහල බෞද්ධ කෙනෙක් වීම සිහිනයකි.

    ආර්ථික ප්‍රශ්න කෙසේ වෙතත්. අද විශේෂයෙන් "දැනෙන" ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නය නොව නීතිය සාධාරණය පිරිහිමය. සමාජය පිරිහෙන්නේ දේශපාලකයින්, තමන්ට අවනත කරගත හැකි කිල්ල්ලොට වල හුණු හොදට ඇති පුද්ගලයින්ට තාන්න මාන්න දී නාස් ලනුවක් දැමීමත් , එය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාපටිපාටියක් ගෙන යාම නොවේද? ආර්ථික ප්‍රශ්න ගැන ඔබ තුමා සහ මහාචාර්ය නලින් ද සිල්වා ගේ මත පිලිගන්නා නමුත් අද සමාජයට දැනෙන සහ කලකිරෙන විශේෂ ප්‍රශ්නය වන්නේ ආර්ථික අපහසු කම යයි මම නොසිතමි.

    නමුත් J R ගේ විජ්ජා පන්තියේ ගෝලයෝ ටික දැන් වැඩ කරන්නේ ගුරා ටත් හපන් විදියකට බව කවුරුත් හොද හැටි දනී. ලොවම පටලවන උත්තර අපට දෙමින් කලින් වුනු දේම නැවත සිදු වෙයි.

    ඔබ සහ ජාතික ආර්ථික කඳවුර අදට සංවේදී ප්‍රශ්නය ගැන කතා නොකිරිම 80න පසු ඉපදුන අපට ප්‍රශ්නයක් සහ කලකිරීමක් ඇති කරවන්නකි. ආර්ථික ප්‍රශ්නය සහ මෙම අවනීතිය ප්‍රවර්දනය එකට ගැට ගැසී ඇති බව මා පිලිගනිමි. එය එකකින් එකක් විසන්ධි කොට විසදිය නොහැකි නමුත්, මීට වඩා නීතිය යහපාලනය සමාජ සාධාරණය ක්‍රියාත්මක කිරීමට හොද හැටි පුළුවන්ය. ඒ සදහා දරුණු මතයක් නැගීමට කිසිවකු නැත. යුද්ධයට අවශ්‍ය මතවාදය ගොඩ නැගීම "දෙමළා" යන සිංහල සමාජයේ සංකල්පය පාවිචිචි කල ගොඩ නගා සමාජ ගත කලත් අද ප්‍රශ්නයට විසදුම් සදහා මත ගොඩ නගන්න කෙනෙක් නැත.

    උගත් හෝ නුගත් යමක් කමක් තේරෙන අයට අප රට ඇමරිකාවක් වීම අවශ්‍යද නොවේ. අවනීතිය ගැන 80ට කලින් ඉපදුන , රටේ මතවාද බිහි කරන ය කතා නොකලොත් කලකිරීමෙන් රට හැර ගිය පිරිසක් සහ, ආත්මාර්ථකාමය ඔඩු දුවපු සමාජයක් ඉතිරි විය හැක.

    ඔබ මේ ගැන ලියු අපරාධ <--->සංවර්දනය ලිපියද කියෙව්වෙමි. නමුත් එහිද ඔබ ලිපිය අවසන් කරන්නේ "රජය" සහ මහජනතාව මතට බෝලය බාර දීමෙනි. නමුත් සිදු විය යුත්තේ විධායකය සහ එයට අවනත රජය, සහ මහජනතාවට බෝලය බාර දීම නොවේද? විධායක ක්‍රමය මෙම ප්‍රශ්නයට ඇති කරන බලපෑම ඔබගේ ලිපි වලින් ඉවත් වීම පුදුමයක් ගෙන දෙයි. :). එංගලන්තයේ මෙන් ආණ්ඩුක්‍රමයක් තිබුන නම් ඔබ කියන රජය සහ මහජනතාව යන දෙගොල්ල වග කිව යුතුය. නමුත් අද ඇත්තේ, විධායකයකි, එහි සිටින පුද්ගලයාට වඩා වැදගත් ඔහුව ගොඩ නැගු මෙම ප්‍රශ්නයට ගෙනෙන මතවාදමය විසදුමය.

    නමුත් ඔවුන් මේ පිළිබද නිශ්ශබ්දය , පාඨක අප වික්ෂිප්තය. බලන් ගියාම ඔක්කොම දේවල් ඊනියා ය. :) වෙලාවට internet ලාභය.

    "දැනෙන" ප්‍රශ්නය කිවේ, තරුණ,බහුතරය 88/89 ගණන් වල පොඩි එවුන් වුන අපට මෙය අලුත් වීම නිසයි.

    ReplyDelete
    Replies
    1. ඔබට අනුව මම එක්කෝ ඇත්ත ඇති සැටියෙන් නොදැකියි නැත්නම් දැක එය සඟවන්නට තැත් කරයි. මම ඔබේ චෝදනාව බාර නොගනිමි. අද අප රටේ පොඩි එකාගේ සිට ලොකු එකා දක්වා තමන්ගේ කුට්ටිය වැඩි කර ගැනීමට නැත්නම් පොරක් වීමට කොටින්ම කීවොත් මමත්වය වැඩි කර ගැනීමට වලි කන බව සෑබෑය. නමුත් “ඇත්ත” එය පමණක් නම් අපි වසර තිහකටත් වැඩි කාලයක් තිස්සේ ධනවාදී ක්‍රමයක් අනුකරනය කිරීමෙන් අනතුරුව මීට වඩා බටහිර ක්‍රමයේ දියුණුවක් ලබාගෙන සිටිය යුතුය. නමුත් තවම අපි ඊට සමානුපාතිකව දියුණුවක් ලබා නැත්තේ ඇයි? ඊට මූලික හේතුව දේශපාලන අක්‍රමිකතා නොවේ මූලික හේතුව මෙරට බහුතරයක් සාමාන්‍ය මිනිසුන්ගේ බොක්කේ තවමත් යම්තමින් හෝ රැඳී තිබෙන ථේරවාදී බෞද්ධ ගතියයි. ඒ ගතිය කුහක ලෙස සඟවා තබා ගැනීමෙන් අපි කරන්නේ බටහිර ආර්ථික ක්‍රමයක් පස්සේ හඹා යමින් නිරන්තරයෙන්ම අතෘප්තිමත්වී සිටීමයි.

      Delete
  5. මට මේ උම්මග්ග ජාතකය ගැන හිතපුවාම ආපු අදහසක්
    උම්ග්ග ජාතකයේ මියුලු නුවර අපිට වැඩවසම් සමාජයක් ගැටියට ගතහැකි
    උත්තර පංචාල නගරය ලිබරල් සමාජයක් හැටියට සලකන්න පුලුවන්
    මියුලු නුවර පුරුෂාධිපත්‍යයක් සහ කුල බේදය දැඩිව තිබුනා
    මෙතනදි ඔය ක්‍රම දෙකේම වාසි අවාසි සියුම්ව කතාව තුල කියවෙනවා
    උදාහරණයක් හැටියට මියුලු නුවර වැසියෝ රජුට ගොඩක් පක්ෂපාතියි
    උත්තර පංචාලයේදී සල්ලි දීලා ඕන වංචාවක් කරගන්න පුලුවන්
    කොහොම හරි අවසානයේදී උත්තර පංචාලය දිනුවා
    උත්තර පංචාලයට මහෟෂධ පඬිතුමාව අවශෝෂණය කරගන්න හැකිවුනා
    ඒ වගේම කතාවේ අන්තිමට දියරකුසු පැනයේදී උත්තර පංචාල රාජ්‍යයේ ගැටලුත් කියවෙනවා

    මේකෙදෙන පනිවිඩය තමා පුරුෂ ආධිපත්‍ය සහිත ලිබරල් සමාජයක් වඩා සාර්ථක බව

    ReplyDelete
    Replies
    1. ජාතක කථා හුදෙක් සාහිත්‍ය රසයට පමණක් නොගෙන ඒ කථාවලින් පාඩම් ඉගෙනගැනීමට පෙලඹෙනවා නම් හොඳ තමයි.

      Delete