Friday, August 22, 2014

ප්‍රාණගාතයෙන් තොර ගොවිතැනේ දේශපාලනය

දැන් මාතලේ ළුණු ගොවීන් අතරද කෘෂි රසායනික වකුගඩු රෝගය පවතින බව කියැවේ. වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමත් මෙරටින් කෘෂිරසායනික වකුගඩු රෝගය සදහටම තුරන් කිරීමට කටයුතු කිරීමත් රජයේ වගකීමය.  නමුත් උවමණාවක් තිබුනත් නැතත් මේ රජයටවත් වෙන කිසි රජයකටවත් පවතින තත්ව යටතේ එය සාර්ථකව ඉටු කර ගැනීමට නොහැකි වනු ඇත. රජයේ ආයතනයකට වකුගඩු රෝග මර්ධනය සඳහා ලබාදී තිබුනු මුදල් පාවිච්චි නොකර පසුගිය දිනක නැවත භාණ්ඩාගාරයට යැවීමට සිදුවීමෙන් සනිටුහන් වෙන්නේ එයයි. මේ ප්‍රශ්ණයට දීර්ඝ කාලීන විසඳුමක් දිය හැක්කේ සෞඛ්‍ය, අධ්‍යාපන හා කෘෂිකර්ම වැනි විවිධ ක්‍ෂේත්‍ර අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් පවත්වා ගැනීම තුලිනි. නමුත් බටහිර දේශපාලන ව්‍යුහය ඒ සඳහා සුදුසු නොවේ. රජයේ නොහැකියාවට එක් හේතුවක් එයය.

අනිත් හේතුව කෘෂිරසායනික වකුගඩු රෝගයට පිළිතුරු ඇති හෙළ වෙදකමටත් හෙළ ගොවිතැනටත් රජයේ අනුග්‍රහය නොලැබීමය. ඒ සඳහා නායකත්වය ලබා දෙන අමාත්‍යංශයක් රජයේ දෙපාර්තමේන්තුවක් හෝ ප්‍රතිපාදන ලබා දෙන විධිමත් ක්‍රමයක් හෝ නැති වීමය.

කෘෂිරසායනික වකුගඩු රෝගයට සුදුසුම පිළිතුර කෘෂි රසායන භාවිතයෙන් තොරව වී ගොවිතැන් කිරීම බව කිව යුතු නැත. කෘෂි රසායන භාවිතයෙන් තොරව වී ගොවිතැන් කල හැකි බව කැලණි විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් කෙරුනු කුඹුරක් (කිරි කඹුර) මඟින් මීට වසර හතරකට පහකට ඉහතදී ප්‍රදර්ශනය කෙරිනි.

 පාරම්පරික දේශීය දැනුම මත පදනම්ව ගොවිතැන් කිරීමට දන්නා ගොවි මහතුන් අප අතර තවම ජීවත්ව සිටිති. නමුත් ඒ ගොවීන්ගේ කැමත්ත හා හැකියාව මත පමණක් පදනම්වී හෙළ ගොවිතැන මෙරට යලි ස්ථාපිත කල නොහැකිය. හෙළ ගොවිතැන හාල් වෙළඳ පොලේ ඇති යම් ඉල්ලුමක් මත ස්වභාවිකව ඉස්මතු වන්නේ යැයි සිතන්නේනම් එය හීනයක් පමණි. කොහොමටත් වෙළඳ පොලේ සාධාරණ තරඟයක් නැත. කෘෂිරසායනික ගොවිතැන හෙළ ගොවිතැන සමඟ තරඟ වදින්නේ රජයේ සහණාධාරද ඇතිවය. එපමණක් නොවේ, අද අපි වවන වී සහ වී වගාවේ භාවිතා කරන ක්‍රම විධි කිසිවක් ස්වාභාවිකව අප විසින් තෝරාගත් ඒවාද නොවේ. ඊනියා හරිත විප්ලවයකින් නිර්මාණය වන වී වර්ගත් කෘෂි රසායන භාවිතයත් මෙරට ගොවීන්ට පුරුදු කරන්නේ බටහිරුන් විසින් නොයෙකුත් ජිල් මාට් දමාය. මේ ක්‍රම විධි ප්‍රවර්ධනය කෙරෙන්නේ ඒවා පාරම්පරික වී ගොවිතැනෙහි ප්‍රතිඵල හා ඊනියා විද්‍යාත්මක ක්‍රමයකට අනුව සසඳා බලා යැයි බටහිර උගතුන් කියන්නේද?

කෘෂිරසායනික ගොවිතැනත් ඊට අනුබද්ධිත වකුගඩූ රෝගයත් අපට උරුම වෙන්නේ වෙන කිසිවක් නිසා නොව එය රාජ්‍ය අනුග්‍රහයෙන් අප මත බලෙන් පැටවීමේ ප්‍රතිඵලයක් නිසා බව පැහැදිලිය. ඒ නිසා හෙළ ගොවිතැන මෙරට යලි ස්ථාපිතවීම ස්වභාවිකව සිදුවේ යැයි සිතීම සාධාරන නොවේ. එය හුදෙක් සංස්කෘතික ව්‍යායාමයකින්ද ඉටු කල නොහැකිය. ඒ සඳහා පක්‍ෂ දේශපාලනයෙන් එහාට යන දේශපාලනමය අරගලයකින් හෙළ ගොවිතැනට රාජ්‍ය අනුග්‍රහය හිමි කරදිය යුතුය. ඒ හරහා කෘෂි රසායනික ගොවිතැන පරයමින් හෙළ ගොවිතැනට ආර්ථික සහනාධාර ලබා දිය යුතුය. බීජ, ජලය, ඉඩම්, වෙළඳපොල ආදිය තම වාසිය තකා කළමණාකරණය කිරීමට අවශ්‍යය දේශපාලන බලය හෙළ ගොවිතැනට ලබාදිය යුතුය. එසේ නැතිව හෙළ ගොවිතැනක් මෙරට ඉබේටම ස්ථාපිත වන්නේ නැත.

නමුත් හෙළ ගොවිතැන ස්ථාපිත කිරීමට ආර්ථික හා හුදු දේශපාලන ශක්තිය පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා හෙළ ගොවිතැනේ දැනුම බටහිර කෘෂිරසායනික ගොවිතැනේ දැනුමට වඩා උසස් බවට සම්මුතියක් ඇති කල යුතුය. ඒ සම්මුතිය ඇතිකර ගැනීමට දේශපාලන බලයද අවශ්‍යවේ.

අද බටහිර ලෝකයේ මහා පරිමාණයෙන් පරිභෝජනය කෙරෙන බඩ ඉරිඟු ආහාරයට ගත හැකි ධාන්‍ය වර්ගයක් ලෙස වසර දහස් ගණනකට ඉහත වර්ධනය කලෝ ඇමෙරිකානු ස්වදේශිකයෝය. ඔවුහු කෘෂිරසායන භාවිතා නොකලහ, අවම ලෙස පස පෙරලූහ, වගා බිමේ භෝග විවිධත්වයක් තබා ගත්හ එසේ නමුදු යුරෝපීය තිරිඟු ගොවියන්ට වඩා හතර පස් ගුණයක අස්වන්නක් ලබා ගත්හ. නමුත් බටහිර උගත්තු ස්වදේශිකයින්ගේ කෘෂිකාර්මික දැනුමට නිර්ධය ලෙස පහර දුන්නේ එය පස විනාශ කරන ක්‍රමයක් (slash-and-burn) ලෙස වැරදි ලෙස හඳුන්වමිනි (අපේ හේන් ගොවිතැනටද සිදුවූයේ එයයි). යුරෝපීය ඇමෙරිකානුවෝ ස්වදේශිකයින්ගේ දැනුම දේශපාලනිකව පරාජය කර ඔවුන්ට ඉඩම් කැබලි ලබා දී එහි යුරෝපීය ක්‍රමයට වගා කරන්නට සැලස්වූහ. බලාපොරොත්තු විය යුතු ආකාරයටම ස්වදේශිකයෝ නැත්තටම නැතිවී ගියහ.

අද නැවතත් ස්වදේශිකයින්ගේ කෘෂිකාර්මික දැනුමේ යම් ලක්‍ෂණ ප්‍රතිජනන කෘෂිකර්මය (regenerative farming) යන නමින් කරලියට පැමිණ තිබේ. උතුරු ඩැකෝටාවේ ගේබ් බ්‍රවුන් පවසන්නේ මේ ක්‍රමයට අනුව, එනම් කෘෂි රසායන භාවියෙන් හා පස පෙරලීමකින් තොරව විවිධ භෝග වර්ග එකට වැවීමෙන් තමන් අඩු වියදමකින් වැඩි ඵලදාවක් ලබන බවය.

බටහිර උගතුන්ද දැන් මේ ක්‍රමය තම දැනුමට අවශෝෂණය කර ගැනීම සඳහා කථාවක් හදා ගෙන සිටිති: "කෘෂි රසායන පාවිච්චි නොවන නිසා පසේ ක්‍ෂුද්‍ර ජීවීන් විනාශ නොවෙති; ඒනිසා ක්‍ෂුද්‍ර ජීවීන් ශාක මුල් වලින් ලැබෙන කාබන් මත යැපෙමින් ශාක සමඟ සහජීවනයක් ගොඩනාඟා ගනිති; ඒනිසා පස සාරවත්ව තබා ගත හැකිය; ඵලදාව වැඩි කර ගත හැකිය."

ඊනියා ප්‍රතිජනන කෘෂිකර්මය යනු ඇමෙරිකානු ස්වදේශිකයින් සතුවූ දැනුම නොව එහි කෑලි එල්ලූ වෙනත් යමකි. එය කොහෙත්ම හෙළ ගොවිතැනද නොවේ. ඊටත් වඩා වැදගත් වන්නේ එය සෘජුවම බටහිර විද්‍යාවේ නිර්මාණයක් නොවීමය. බටහිර විද්‍යාවේ නිර්මාණ දැකිය හැක්කේ මොන්සැන්ටෝ වැනි සමාගම් වල කෙරුවාවන් තුලය. බටහිර විද්‍යාවේ නිර්මාණයක් නොවීම නිසා ඊනියා ප්‍රතිජනන කෘෂිකර්මය කොපමණ උසස් දැනුමක් වුවත් එය බටහිර රටවල ස්ථාපිත කරවීමට තරම් දේශපාලන ශක්තියක් ඊට ලැබෙන්නේ නැත.

හෙළ ගොවිතැන අප රටේ ස්ථාපිත කිරීමට නම් ඊට ආර්ථික හා හුදු දේශපාලන බලය ලබා දෙනවාත් සමඟම එහි දැනුම උසස් කර තැබීමට දේශපාලන බලයද ලබාදිය යුතුය.  ඒ දැනුම පාසල් වල ඉගැන්විය යුතුය. එසේ උගන්වන අතර හෙළ ගොවිතැන බටහිර දැනුමට අවශෝෂණය කරදී විනාශ කර නොගැනීමට වග බලා ගත යුතුවෙමු. හෙළ ගොවිතැනෙහි දැනුම බටහිර කෘෂිරසායනික ගොවිතැනේ දැනුමට වඩා උසස් යැයි සම්මත කර නොගත්තොත් ඒ දැනුම සදහටම අපට නැතිවෙනවා පමණක් නොවේ ඇමෙරිකාවේ ස්වදේශිකයින්ට සිදුවූ පරිදි අවසානයේ පාරම්පරික ගොවීන්ට තම ගොවි බිම්වල අයිතියද අහිමි වනු ඇත.



ආශ්‍රිත ලිපි
  1. Mt Pleasant, J. (2011). The Paradox of Plows and Productivity: An Agronomic Comparison of Cereal Grain Production under Iroquois Hoe Culture and European Plow Culture in the Seventeenth and Eighteenth Centuries. Agricultural History . 85:460-492.
  2. Mt Pleasant, J. (2010). Estimating Productivity of Traditional Iroquois Cropping Systems Using Field Research and Historical Literature . Journal of Ethnobiology. 30:52-79.

1 comment:

  1. http://raigamahandiya.wordpress.com/category/agriculture/
    ඕකෙ තියෙන ඇග්‍රිකල්චර් කැටගරි එකේ ඔක්කම ෙපා්ස්ට් යන්නෙ මේ වගේ මාතෘකා වලට

    ReplyDelete