Friday, August 15, 2014

රහත්බව අත්කර දෙන ඖෂධයක්!

"හාලෝ නාථ පොඩ්ඩකට මෙහෙ ඇවිල්ල යන්න පුළුවන්ද?" දියුණු රටෙන් නාථට හදිසි දුරකථන ඇමතුමක් ලැබිනි.

"ඇයි මොකද හදිස්සියෙන්?" නාථ විමසීය. "අපේ විද්‍යාඥයෝ කට්ටියක් තණ්හාව නැති කරල ඉක්මනින් රහත්බව අත් කරදෙන ඖෂධ ක්‍රමයක් හොයාගෙන. ඉන් හොඳ ප්‍රතිඵල තිබෙනවා වගේ පේනවා නමුත් අපි රහත් වුනු අයෙක් මීට කලින් දැක නැති නිසා අපිට නිශ්චිතව ඒ බව කියන්න බැහැ. ඔබතුමා බෞද්ධයෙක් නිසා අපි කල්පණා කලා ඔබතුමාට ඒ ගැන පරීක්‍ෂා කරලා නිගමණය කරන්න පුළුවන් වෙයි කියල" දියුණු රටේ තැනැත්තා පැවසීය.

කුතුහලය නිසාම නාථ ඒ ආරාධනය පිලිගෙන දියුණු රටට ගියේය. එහිදී ඔහුට මුලින්ම මුණ ගැහුනේ රහත්-ඖෂධය නිර්මාණය කල විද්වත් මංඩලයේ න්‍යායාචාර්යවරයාය. එවැනි ඖෂධයක් නිර්මාණය කිරීම සඳහා මහන්සි ගත්තේ ඇයිදැයි ලොක්කා නාථට පැහැදිලි කර සිටියේය. "අපි ඔබලා මෙන් බුදු දහම ආගමක් ලෙස සැලකුවේ නැතත් අපි සසර සහ නිවන පිළිබඳව සිදුහත් ගෞතමගේ දර්ශණය පිළිගන්නවා. නමුත් නිවන අරමුණු කරගෙන ඔබලා ආගමිකයින් වශයෙන් එදිනෙදා කරන කියන දේ, උදාහරණයක් වශයෙන් පන්සිල් ගැනීම,බණ භාවනා කිරීම, දන් දීම, මල් පහන් පූජා කිරීම, පැවිද්දන්ට වන්ඳනාමාන කිරීම ආදී වත් පිළිවෙත් අනවශ්‍ය අකාර්යක්‍ෂම කටයුතු ලෙසයි අපි සලකන්නේ. එහි යම් සාමාජීය හා සංස්කෘතික වටිනාකමක් ඔබලාට තිබෙන්නට පුලුවන් නමුත් රහත්වීම සඳහා අවසානයේ වැදගත් වන්නේ තමන්ගේ මොළයෙ ක්‍රියාකාරිත්වයයි. ඒ නිසා අපි කල්පනා කරා සෘජුවම රහත්ඵල ලැබෙන ක්‍රමයක් සොයා ගන්ට. එහිදී අපේ මූලික අරමුණවුනේ තන්හාව මොළයේ හට ගන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීමටයි. පර්යේශණ වලින් අපි හඳුනාගත්තා තණ්හාව සම්බන්ධයෙන් ඒ ඒ පුද්ගලයාට ආවේනිකවූ මොළයේ ස්නායු පද්ධතියට අනුබද්ධිත යම් සංකීර්ණ භෞතික-රසායනික ක්‍රියාවලියක්. ඒ අනුව අපි නිර්මාණය කරා ඒ ක්‍රියාවලිය අත්හිටුවන ක්‍රමවේදයක්. රහත්-ඖෂධය නිර්මාණය වෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනුයි. අපි හිතනවා තන්හාව නැති කිරීම සඳහා මේ ක්‍රමවේදය පාවිච්චි කිරීම ප්‍රමාණවත් කියා"

තමන් බෞද්ධයෙක් වශයෙන් සද්ධාවෙන් කර කියනදේ හෑල්ලුවට ලක්කිරීම ගැන නාථට ඇතිවුනේ කනගාටුවක් නමුත් ඔහු කට පියාගෙන සිටියේය. ඊලඟට දියුණු රටේ විද්වත්හු රහත්-ඖෂධය භාවිතා කර රහත් ඵලයට පැමිණියැයි සැලකෙන කිහිප දෙනෙකු නාථට මුණ ගැස්සවූහ. අපි මේ අයගේ ඉල්ලීම මත ඔවුන්ට රහත්-ඖෂධය ලබා දුන්නා. දැන් ඔවුන් සියලු තණ්හා දුරුකොට රහත් බවට පත්වී ඇතැයි ඔවුන් විශ්වාස කරනවා යැයි විද්වත් මංඩලයේ න්‍යායාචාර්යවරයාය පැවසීය. නාථ තමන්ට හුරු ආකාරයට වැඳ නමස්කාර කරමින් එකත්පස්ව සිටියේය. රහත්වු ඇත්තන්ගෙන් කෙනෙකු දේශණයක් පැවැත්වීය. දේශණය අසා සිටි නාථට ඔවුන් ගැන මහත් පැහැදීමක් ඇතිවිනි. ඉන් අනතුරුව ඔහු සති දෙක තුනක්ම ඒ ඇත්තන් ඇසුරේ කල් ගත කලේය. එසේ ඉන්නා අතර න්‍යායාචාර්යවරයා තමන් මුන ගැසෙන ලෙස නාථට පණිවිඩයක් එවීය.

"නාථ මොකද හිතන්නේ? ඔවුන් රහත් වෙලාද?" න්‍යායාචාර්යවරයාය ඇසීය. "නැහැ" නාථ කියා සිටියේය. "හා!! මම හිතුවේ තමුසේ ඔවුන් ගැන ඉතා ඉහලින් සිතා ගෙන සිටියැයි කියායි." "මෙහෙමයි… නාථ කරුණු පැහැදිලි කරන්නට විනි..."මේ ඇත්තන් ඉතා යහපත් ගති ගුණ ඇති හොඳ උපාසකවරු බවට කිසිම සැකයක් නැහැ. ඒ කෙසේ වෙතත් ඔවුන් තණ්හා දුරුකොට රහත්වී සිටීදැයි සොයා බලන්නට තරම් මට හැකියාවක් නැහැ. හැබැයි ඔවුන් රහත්වී නැති බවනම් මට විශ්වාසයි". "හැකියාවක් නැත්නම් තමුසේ කොහොමද එහෙම කියන්නෙ?" න්‍යායාචාර්යවරයාය තවත් තද වී ඇසුවේය. "මට ඔබලාගේ මූලික පදනමම ප්‍රශ්ණයක්" නාථ පැවසීය. "හරි හරි මම දන්නවා තමුසෙට ප්‍රශ්නෙ අපි මනස මොළයේ භෞතික ක්‍රියාවලියක් ලෙස සැලකීම නේද?" න්‍යායාචාර්යවරයාය මැදට පනිමින් අසා සිටියේය.

"නැහැ මට ඊට වඩා මූලධර්මවූ ප්‍රශ්ණයක් තියෙනවා" කියමින් නාථ පැහැදිලි කර සිටියේය. "ඔබතුමන්ලා හිතන විදිහට ස්නායු පද්ධතිය, තණ්හාව, පෘතග්ජන පැවැත්ම යනාදිය අතර ඇත්තේ රේඛීය සම්බන්ධයක්. එනම් එකක් නිසා අනික ඒක නිසා ඊලඟ එක ආදී වශයෙන්. මම හිතන්නේ එය වැරදි බවයි. මා විශ්වාස කරන විදිහට අපේ පෘතග්ජන පැවැත්ම චක්‍රීය ක්‍රියාවලියක්. එහි තණ්හාව කියල යමක් වෙන්කර ගත්තොත් ඒ තණ්හාව (ඉතිරි)පැවැත්මට හේතුවක් වෙනවා වගේම (ඉතිරි)පැවැත්මද තණ්හාවට හේතුවක් වෙනවා. ඒ නිසා මේ චක්‍රීය ක්‍රියාවලියම සැලකුවහම තණ්හාව ඇතිවෙන්නේ අහවල් හේතුව කියා යම් මූලික හේතුවක් වෙන් කරල හඳුනාගන්න බැරි වෙන්න ඕනෙ. යමක් හේතුවක් ලෙස ගත්තොත් ඒකට හේතුවෙන තව හේතුවක් තියෙනවා ඒ හේතුවට තව හේතුවක් තියෙනවා මොකද චක්‍රයක මූලක් කියා එකක් තිබිය නොහැකියි. ඒ නිසා ඔබතුමන්ලා හිතන විදිහට තණ්හාවට මුලික හේතුවක් කියා යම් එක් ක්‍රියාවලියක් හඳුනා ගන්න බැහැ. එසේ යමක් හඳුනා ගන්නවානම් එය නිවැරදි විය නොහැකියි. ඒ නිසා මේ ඖෂධයෙන් කුමක් සිදුවුනත් ඉන් තණ්හාව දුරු කිරීමක්වත් ඒ නිසා රහත් බව අත්කර දීමක්වත් සිදුවේයැයි මම විශ්වාස කරන්නේ නැහැ."

න්‍යායාචාර්යවරයාය නාථගේ පැහැදිලි කිරීම හා එකඟ නොවිනි. වැඩේ අල වෙනු දුටු නාථ එලවන්නට පෙර වහා දියුණු රටින් පිටවී තම රටට පැමිණියේය.  වසර දහයක් දොලහක් ගතවිනි. එසේ සිටින අතරතුර දියුණු රටේ පුවත් පතක පලුවුනු ප්‍රවෘතියක් අහම්බෙන් මෙන් නාථට කියවන්නට ලැබිනි. එහි මෙසේ සඳහන් විය.

රහත්-ඖෂධයේ අතුරු විපාක වලට ප්‍රතිකර්මයක් සොයා ගැනේ

රහත්-ඖෂධයේ අනර්ථකර අතුරු ඵල සුව කිරීම සඳහා ප්‍රතිකර්මයක් විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබේ. රහත්-ඖෂධය පාවිච්චි කල බොහෝ දෙනෙකුට ඉන් වසර දහයකට පමණ පසු නොයෙකුත් මොළයේ ආබාධ හට ගැනුනු බව වාර්තාවිනි. මේ රෝගීන් අතර අධික හිසරුදාවෙන් පෙළෙනුවන්ගේ සිට ඩිමෙන්ශියා වැනි දරුණු රෝගාබාධ ඇතිවුන්ද විය. මේ අතර කිහිප දෙනෙකු සිය දිවි නසා ගත් බවද සඳහන්වේ. කෙසේ වුවත් නව ප්‍රතිකර්මයෙන් මේ අනර්ථකර අතුරු පල සියයට සියයක්ම සුව වෙන බව වෛද්‍යවරු පවසයි. අවාසනාවකට නව ප්‍රතිකර්මයේ අතුරු පලයක් වශයෙන් ඔවුන්ගේ රහත් භාවයද නැතිවෙන බව වෛද්‍යවරු කියා සිටිති. මේ අතර රහත්-ඖෂධය නිර්මාතෘ න්‍යායාචාර්ය ජී-කොස් මහතා තමන්ට වංචා කරැයි රහත්වූවන්ගේ සංගමය විසින් නඩු පවරා ඇත.

6 comments:

  1. "මේ අතර රහත්-ඖෂධය නිර්මාතෘ න්‍යායාචාර්ය ජී-කොස් මහතා තමන්ට වංචා කරැයි රහත්වූවන්ගේ සංගමය විසින් නඩු පවරා ඇත."

    :D

    ReplyDelete
  2. මාරකතන්දරයක්නේ මේක

    ReplyDelete
  3. පට්ට පට පට...
    හිහ් හී....
    ඒකත් මාර කේස් එක .තමා...
    අපේ බොබසෙ ටකීව නං සමහර විට ඔය රහත් ඖෂද ටික යූස් කරල බල්නත් ත්බ්බ

    ReplyDelete
  4. මේ ලිපිය කියවන කෙනෙකුට ඒහි රසය අංග සම්පූර්ණ වෙන්නෙ //දියුණු රටට// කියෙව්වාමයි. ටී.ජී. ඩබ්. සිල්වා ඒකාලයේඋපහාසකතා රචකයෙක් . ඊට පස්සෙ කවදාවත් පරණ නොවන වනකතා ලියපු අපේ යක්කඩුවෙ හාමුදුරුවො. වංශපුර දේවගේ ජානක දෙවෙනි වෙන්නෙ හෙම නෑ.

    ReplyDelete
  5. රහත් අවුසදේම ඕනි නැහැ ඊට පොඩ්ඩක් පල්ලහයින් ධ්‍යානයක් වඩාගන්න තිබුනොත් ඇති. මොකද එතකොට ට්‍රැෆික් නැතුව කන්තෝරු යත හැකි අහසින්..

    ReplyDelete
  6. ගමනාගමනය පහසු කරගන්න පොඩි ධ්‍යාන අවුසදයක් දෙන්න බැරි වෙයිද?? මරු...

    ReplyDelete