Monday, August 11, 2014

සුදු වැද්දෝ

ලෝක ආදි වාසීන්ගේ දිනය නිමිතිකොට ගෙන ඊයේ පෙරේදා උත්සවයක් පැවතිනි. ඊට කිසිම දේශපාලනඥයෙකු සහභාගී කරනොගත් බව දිවයින පුවත් පතේ සඳහන් විනි. කිසිම ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු සහභාගී නොකර ගැනීමට එහි සංවිධායකවරු තීරණය කර තිබුනේ නම් එය පැහැදිලිවම දේශපාලන තීරණයකි. ඒ නිසා ඒ උත්සවය දේශපාලනයෙන් මුක්තවූ ඊනියා සුජාත බවක් ගත් එකක් නොවේ. ප්‍රශ්ණය ඒ තීරණය පිටුපස තිබුනු දේශපාලනය ශ්‍රී ලාංකික දේශපාලනඥයින්ගේ නොවේ නම් වෙන කාගේද යන්නය.

බටහිරුන් ආදි වාසීන් යැයි හඳුන්වන්නේ යුරෝපීන් විසින් විවිධ රටවල යටත් විජිත පිහිටුවාගත් පසු ඒ රටවල නොමැරී අදටත් ජීවත්වෙන ස්වදේශීකයින්ය. ආදි වාසින් යන නාම පදය බටහිර උගතුන් අතින් නිර්මාණය කෙරෙන්නේ ඒ නිශ්චිත සංදර්භය තුලය. පසුව ඒ පදය සාධාරනීකරනයට ලක් කර බටහිර සංස්කෘතියට අනුගත නොවී ජීවත්වීමට උත්සාහ කරන ඕනෑම ජන කොටසක් හැඳින්වීම සඳහා ආදි වාසී යන නාම පදය ඔවුන් විසින් යොදා ගනු ලැබේ. දැන් ඔවුන්ට අවශ්‍ය ඔවුන් විසින් හඳුනාගත් මේ ආදි වාසීන්ගේ මානව අයිතීන් ආරක්‍ෂා කිරීමටය.

නමුත් ඇමරිකාවේ කැනඩාවේ සහ ඕස්ටේ‍ර්ලියාවේ වෙසෙන ආදි වාසීන්ගේ බටහිරුන් දකින මානව අයිතීන්වත් රැකෙන්නේ නැත. එය රැක දෙන්නේ කෙසේද යැයිවත් ඔවුහු නොදනිති. ඔවුන්ට උවමණාවක්ද නැත. වෙනසකට ඇත්තේ ඒ රටවල වෙසෙන ආදි වාසීන් ගැන කථා කිරීමට ලංකාවේ විදේශ අමාත්‍යංශයට බලයක් නැතිවීම පමණි. බටහිර අර්ථ දැක්වීමට අනුව ආදි වාසීන් යනු බටහිර සංස්කෘතියට අනුගත නොවී ජීවත්වීමට උත්සාහ කරන ජන කොටසකි. නමුත් ස්වභාවයෙන් බටහිර සංස්කෘතිය තුල ආරක්‍ෂාවිය හැක්කේ ඊට අනුගත වීම තුලින් පමණි. ඒ නිසා ආදි වාසීන් රකින බටහිරුන් යනු විරෝධෝක්තියකි (oxymoron). සිදුවිය නොහැක්කකි. බටහිර සංස්කෘතියට අනුගත නොවී ජීවත්වීමට උත්සාහ කරන කිසිම ජන කොටසකට බටහිර සංස්කෘතියෙන් සමාවක් නැත.

වැද්දන්ට පැවතිය හැක්කේ සිංහලුන් පැවතුනොත් පමණි. මෙතෙක් කල් වැද්දන්ට සිංහල ජාතියත් සමග ජීවත් වීමට හැකිවුනේ ඔවුන් සංස්කෘතියෙන් සිංහලත් නොවී සිංහල නොවෙන්නේත් නොවී ජීවත් වීමට දැන ගෙන සිටිය නිසාය. එමෙන්ම සිංහළුන්ද ඔවුන්ට එසේ ජීවත්වීමට ඉඩ දුන් නිසාය. නුවර පෙරහැරේ වැද්දන්ට තැනක් ලැබුනේ ඒ බැඳීම් උඩය. වැද්දෝද සිංහල බෞද්ධයින් දළදා වහන්සේට පුද සත්කාර කරන ආකාරයටම පෙරහැරේ ගමන් කරමින් දළදා වහන්සේට පුද සත්කාර කරති. එහිදී බැඳීමක් ඇතිවන්නේ එක්ව දළදා වන්ඳනාව කිරීම තුලිනි. ජාතික උත්සවයක්වූ නුවර පෙරහැර විවිධ ජන වර්ග එකට බැඳ තබා ගැනීමට භාවිතා කල හැකිය. නමුත් ඒ බැඳීම් ඇතිවිය යුත්තේ දළදා වන්ඳනාව තුලිනි. නුවර පෙරහැර දළදා වන්ඳනාව පසෙක තබා නරඹන්නන්ගේ ආතල් ගැනීම සඳහාවූ බහු සංස්කෘතික පෙරහැරක් වුවහොත් ඉන් ජාතියේ බැඳීමක් ඇතිවෙන්නේ නැත. ඉන් රැකෙනු ඇත්තේ බටහිර සංස්කෘතිය පමණි.

අවාසනාවට බටහිර සංස්කෘතිය ඉදිරියේ පරාජයට පත්වෙමින් පවතින සිංහල සංස්කෘතියට වැදි සංස්කෘතිය රැක දීමට තරම් ශක්තියක් නැත. යම් අහේතුවක් නිසා වනගත වුනු ස්පිට්ල් නම් බර්ගර් ජාතික වෛද්‍යවරයා විසින් රචිත සුදු වැද්දා නම් කථාවේ හිටි වැද්දා කොතෙකුත් උත්සාහ කලේ වනෙන් පිටවීමටය නැත්නම් වැදි බව නැති කර ගැනීමටය. අද බටහිරුන්ගේ ග්‍රහනයට හසුවී සිටින ආදි වාසීන් ලෙස හැඳින්වෙන අපේ වැද්දන්ටද සුදු වැද්දන් වෙනවා හැරෙන්නට වෙන කල හැකි දෙයක් නැත.

ආදි වාසී දින උත්සව සංවිධානය කරමින් වැද්දන් අන්ඳන්ට උත්සාහ කරන, ඔවුන් නොමඟ යවන, බටහිරුන්ට කල හැක්කේ වැද්දන්ට යම් වැදි කෑලි ටිකක් එල්ලා බටහිර සංස්කෘතියට ඇද දැමීමට පමණි. ඒ මුවාවෙන් එන් ජී ඕ බඩගෝස්තරවාදීන්ද සාක්කු පුරවා ගන්නවාට සැකයක් නැත. වැදි නායකයින්ට ඒ බව ඒත්තු ගොස් ඇත්නම් හොඳය. නමුත් මෙහි ප්‍රශ්ණය බඩගෝස්තරවාදීන්ගේ ආර්ථික සූරා කෑම පමණක් නොවේ. වඩා භයානක බටහිරුන් විසින් වැදි ජනයාව දේශපාලනිකව මෙහෙයවීමය. උප්පැන්නේ හා හැඳිනුම්පතේ වැදි අනන්‍යතාවක් සඳහන් කිරීමට ඉල්ලීම තුල දකින්නට හැක්කේ වැදි ජනයාගේ ආසාවකට වඩා ජාතිය කොටස් කිරීම සඳහා කටයුතු කරන දේශද්‍රෝහී බලවේග වල සෙවනැලිය. ඒ නිසා ඊනියා ආදි වාසී උත්සව ශ්‍රී ලාංකික දේශපාලනඥයින්ගෙන් තොරව පැවැත්වීමට දත කන දේශපාලන බලවේග වලින් වැද්දන් මෙන්ම සිංහළුන්ද පරිස්සම් විය යුතුය.

6 comments:

  1. එළ ලිපිය. තව ටිකක් කල් ගියහම ඉති ඔක්කොටම ඕයේ ඔජායේ තමයි.

    ReplyDelete
  2. අර උඩ ඇනෝ කියල තියෙනව වගේ ඉතුරු වෙන්නෙ ඕයේ ඔයායේ තමා...
    ඇත්තට හැම දේම ප්‍රදර්ශනයක් කරගත්තු දේසපාලුවො ඉන්න රටක වෙන මොනා බලාපොරොත්තු වෙන්නද ජානක

    ReplyDelete
  3. තමන්ට සිදුවෙමින් ඇති දේ කුමක්දැයි තමන් ගැනම විමසිලිමත් වීමේ වැදගත් කම නැවතද පෙන්වා දෙන වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ ලිපි වලින් අපි වැදගත් දේ ඉගෙන ගන්නවා
      http://sugv.wordpress.com/

      Delete
  4. සිංහල අපෙනුත් වැරැද්දක් වුනා අපි දෙමල බාශාව රාජ්‍ය භාශාවක් කලත් වැදි බාශාව රාජ්‍ය භාෂාවක් කලේ නෑ මගේ මතය රටකට එක රාජ්‍ය භාශාවක් තිබීම වඩා හොඳයි නැත්නම් බාශා දෙදකට වඩා රාජ්‍ය බාශා වියයුතුයි
    බාශා දෙකක් රාජ්‍ය බාශා වීම ඉතාම හානිකර තත්වයක් මෙය නිවැරදි කල යුතුයි

    ReplyDelete
    Replies
    1. යම් දිනක වැද්දන් සිංහළුන්ට එරෙහිවුවොත් එසේ වෙන්නේ සිංහළුන් වැද්දන්ට කල යම් අසාධාරනයක් නිසා නොවෙයි බටහිරුන් වැද්දන්ව සිංහළුන්ට විරුද්ධව මෙහෙයවීම නිසයි.

      Delete