Monday, August 4, 2014

සිවුරු පොටේ එල්ලෙන කපටි ආරක්‍ෂකයෝ

විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම යන තනි කාරණය සඳහා පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීම පහත් මට්ටමේ දේශපාලන උපායක් මිස ඇතමෙක් අර්ථ දැක්වීමට ඉඩ ඇති ආකාරයට ඊනියා දේශපාලන ප්‍රවාදයක් නොවේ. එහි නිර්මාතෘවරයා තමන් යැයි කුමාර් ඩේවිඩ් මහතා දි අයිලන්ඩ් පත්‍රයට ලියමින් අපට නොකියා කියයි. අපි ඔහුට ඒ ගෞරවය අඩු නැතිව හිමි කර දෙමු. කොටි ත්‍රස්තවාදීන් පරාජය කල සමයේ සිටන්ම ඒ මහතා මේ රජය පෙරලීම සඳහා අනුන්ට උපදෙස් දී ඇති නමුත් මෙතෙක් ඔහුගේ පැතුම් ඉටුවී නැත.

පොදු ජනාධිපති අපේක්‍ෂකයෙකු වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමිගේ මූලිකත්වයෙන් සංවිධාණයක් පිහිටුවාගෙන ඇත. නමුත් විධායක ජනාධිපති පදවියට හිමි බලතල තමන්ට හිමිවනවෙනවා නම් මේ සෙට් එකේ කිසි කෙනෙකු පුද්ගලිකව ඊට අකමැති වෙතැයි සිතිය නොහැකිය. පොදුවේ ඔවුන්ට අවශ්‍ය කිසියම් ආකාරයකට හෝ බලයට පත්වීමට මිස ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නොවේ. නමුත් ඔවුන්ට තනි තනිව මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට තරම් ශක්තියක් නැත. එසේ කිරීමට නම් ඔවුන්ට දේශපාලන වශයෙන් සංධානගත විය යුතුය. එහි වරදක් නැත. නමුත් ඔවුන්ගේ විවිධ දේශපාලන ස්ථාවර ජනතාව හොඳින් දන්නා නිසා ඔවුන්ට ලැජ්ජාවක් නැතිව එකම වේදිකාවක හිඳ ගැනීමට නොහැකිය. විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම යන රෙද්ද නිර්මාණය කරදී ඇත්තේ ඒ ලැජ්ජාව වසා ගැනීමටය. සෝභිත හාමුදුරුවෝ තාවකාලිකව හෝ එම සෙට් එකේ මුලසුනෙහි තැබෙන්නේ ඉහත කී රෙද්ද සිවුරක් බවට පත්කර ඊට සද්බවක් ලබා දෙන්නටය. අවශ්‍යවී තිබුනේ සෙට් එකේ සියල්ලටම එකඟවිය හැකි කිසියම් කරුණක් පමණි. විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීම තෝරා ගැනෙන්නේ ඒ අනුවය. පොදු අපේක්‍ෂකයා තනි කාරණයක් වෙනුවෙන් පමණක් පෙනී සිටිය යුතු බව ඩේවිඩුත් සෝභිත හමුදුරුවෝත් පුණ පණා කියන්නේ එසේ නොවුනොත් මේ කපටි සෙට් එක නොකැඩී තබා ගැනීමට අපහසු වෙන බැවිනි. සාමාන්‍ය ජනතාවට කෙසේ වෙතත් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම මේ සෙට් එකට කොතරම් වැදගත්දැයි පෙනේ.

බුද්ධාගම පාවාදෙයි යන මැයින් ස්ටැන්ලි තම්බයියා ලියු කුප්‍රකට පොතේ මුල් පිටුවේ තිබුනේ සෝභිත හාමුදුරුවන්ගේ රූපයකි. ලිබරල්වාදීන් වන මේ කපටි සෙට් එකේ බොහෝ දෙනෙකු එකල ඒ පොත තලුමරමින් රස විඳින්නට ඇතැයි සිතිය හැකිය. නමුත් මොවුන් අද කියනු ඇත්තේ ඒ රූපයෙන් පිලිඹිබු වෙන්නේ පොදුවේ සිංහල බෞද්ධ ඊනියා ස්වෝත්තමවාදීන් මිස පුද්ගලිකව සෝභිත හාමුදුරුවන් නොවන බවය. සිංහල බෞද්ධයෝ වත්මන් සෝභිත හාමුදුරුවෝ කෙසේ වෙතත් එදා සිටි සෝභිත හාමුදුරුවන්ව නම් ජාතික ව්‍යාපාරයෙන් වෙන්කර හඳුනා ගත්තේ නැත. මේ කපටි ආරක්‍ෂකයින් කියන්නේ ඔවුන් එසේ වෙන් කරගත් බවක්ද? එදා ඔවුන්ට සෝභිත හාමුදුරුවන්ට සෘජුවම පහර ගැසීමට උවමණාවක් නොතිබුනු බවක් කියයි නම් එය පිළිගත නොහැකිය. මේ ආකාරයටම මොවුන් මහින්ද රාජපක්‍ෂ මහතාත් විධායක ජනාධිපති පදවියත් වෙන් කර හඳුනාගන්නා ලෙස සිංහල බෞද්ධයින්ගෙන් ඉල්ලා සිටිනු ඇත. එසේ වෙන් කර ගන්නේ නැතිව පොදු අපේක්‍ෂකයාට ඡන්දෙන් දිනිය නොහැකිය. නමුත් ඒ වෙන්කිරීම සිදුවෙන දෙයක් නොවේ. කෙසේ වෙතත් විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමට ජේ ආර් සමයේ තිබුනු අවශ්‍යතාව අද ජනතාවට නැත. එය දේශපාලන තේමාවක් වෙන්නේ ජනතාව එක් කර ගැනීමට නොව කපටි ආරක්‍ෂකයින් එකට තබා ගැනීමට පමනි.

සාර්ථක වුනොත් මොවුන්ගේ ව්‍යාපාරය ජනාධිපතිවරණය දිනීමෙන් නතර නොවනු ඇත. එසේ දිනූවොත් ජනාධිපති පදවිය ඉවත් කිරීම උදෙසා ව්‍යවස්ථාව වෙනස් කෙරෙනු ඇතැයි විශ්වාස කල හැකිද? ඒ සඳහා ජනතාවට ඔවුන් ලබා දෙන සහතිකය කුමක්ද? ව්‍යවස්ථාව වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍යය. පවතින පාර්ලිමේන්තුව ඊට අවශ්‍ය ඡන්දය ලබා නොදුනහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියවේ. ඊලඟට පත්වන පාර්ලිමේන්තුවෙන් ඒ සඳහා ඡන්දය ලැබෙයිද? එසේ නොවුනොත් පොදු අපේක්‍ෂකයා ජනාධිපති කමෙන් ඉල්ලා අස්වෙන්නේද? ඒ සඳහා ඇති සහතිකය කුමක්ද? මෙවැනි ප්‍රශ්ණ ගැන කපටි ආරක්‍ෂකයින් උනන්දු නොවන්නේ ඔවුන්ට වැදගත් වන්නේ විධායක ජනාධිපති කමක් නැති කිරීම නොව කෙසේ හෝ ලබන වර විධායක ජනාධිපති තනතුරට පත්වීමට පමණක් බැවිනි. කවුරු හෝ පොදු අපේක්‍ෂකයා වෙන තැනැත්තා ඊලඟ ජනාධිපතිවරණයෙන් දිනුවොත් ජනාධිපති පදවිය ඉවත් කිරීම කෙසේ වෙතත් සිංහල බෞද්ධයින් මර්ධනය කිරීම සඳහා දැඩි දේශපාලන පියවර ගෙන එනු නිසැකය. එක් කාරණයක් පමණක් සඳහා යැයි කීවද මොවුන්ගේ විවිධවූ සිංහල බෞද්ධ විරෝධී මතවාද වලින් ඔවුන්ට වෙන්වී සිටිය නොහැකිය. දැන්ම බළලා මල්ලෙන් එලියට නොදැමීමට සෝභිත හාමුදුරුවෝත් කුමාර් ඩේවිඩුත් බොහෝ වෙර දමනු බව පෙනේ.

5 comments:

  1. 2005 දි අපි හැමෝම කියන දේ අහන හැමෝගෙම අදහස් වලට කන්දෙන කොටින්ට සාමෙට කතා කරන්නෙ නැති මහින්ද කියලා බෞද්ධ උපාසක මහත්මයෙක් පත්කරගත්තා. ඒ පත්කරගන්න අවස්ථාවෙදි කොයි තරම් එයා උපාසක ගති පෙන්නුවාද කොයිතරම් ප්‍රජාතාන්ත්‍රික පෙනුමක් තිබුනාද? දැන් අපි 2014 දි ඒ විදියටම සෝබිත කියලා හාමුදුරුනමක්ව පත්කරගන්න යනවා. මම හිතන්නෙ උපාසකවරයෙක්ටත් වඩා හාමුදරුනමක් පිරිසකට ගැති වීමේ නැඹුරුව වැඩියි. මේක උදේ 6ට වැටුන වලේ දවල් 10ට වැටෙන්න උත්සාහ කරනවා වගේ වැඩක් විදියට තමයි මට පේනනෙ..

    ReplyDelete
  2. මහාචාර්ය තම්බයියගෙ පොත ගැන කියද්දි පරණ සිද්දියක් මතක් උනා. ඔය පොත නිකුත් වෙච්ච අලුත එකල ජාතික ව්‍යාපාරෙ ඉදිරියෙන් හිටි කිහිප දෙනෙක් එකතුවෙලා ඔය පොත ගැන සම්මන්ත්‍රණයක් කැඳවල තිබුණ. සම්මන්ත්‍රණය තිබුණෙ බො‍රැල්ලෙ තරුණ බෞද්ධ සමිති ශාලාවෙ. ඒ කාලෙ චන්ද්‍රිකා අර වමට සිග්නල් දාමින් හටපු කාලෙ (මට මතක හැටියට බස්නාහිර මහ ඇමති වෙන්නත් කළිං). සම්මන්ත්‍රණයෙදි පොත ගැන කියවුණාට අමතරව බණ්ඩාරනායකගෙ දුවගෙ ගුණ ගැනත් කියවුණා. හතරවෙනියට වගේ සභාව ඇමතුවෙ නලීන් ද සිල්ව. එතුමගෙ දේශනයෙදි එතුම චන්ද්‍රිකා කියන්නෙ බටහිර පිල්ලියක් බවත් බණ්ඩාරනායක්ගෙ දුව කියල අපි බලයට පත් කරගන්න හදන්නෙ විජයගෙ ගෑණි බවත් බලයට පත් විය යුතු වන්නේ චන්ද්‍රිකා නොව මැතිණි බවත් කිවුව. මට මතක හැටියට එතුමට ඊට වඩා දෙයක් කියන්න ලැබුණෙ නැහැ. මිනිස්සු හූ කියාගෙන ස්ටේජ් එක පැත්තට යන්න පටං ගත්ත. පස්සෙ සංවිධායකයොයි ගුණදාස අමරසේකර මහත්තයයි (මට මතක හැටියට නාලක හාමුදුරුවො ඇතුළු ස්වාමීන්වහන්සෙල කිහිප නමකුයි එකතු වෙලා) එතුමව ස්ටේජ් එක පිටිපස්සට එක්කං ගියා. සම්මන්ත්‍රණෙත් එතනින්ම ඉවර උනා.

    - සුධාරක

    ReplyDelete
    Replies
    1. සෝභිත හාමුුදුරුවෝ මෙතන මුලට දාගෙන හිටියට මට හිතෙන්නේ පස්සේ උන්වහන්සේව අයින් කරලා බටහිර පිල්ලිය නැවතත් රනිල්ගේ වේශයෙන් එයි වගේ.

      Delete
  3. නොදන්න දේවදුතය සමහරවිට යකෙක් වෙන්නත් පුලුවන්,ඒක තීරනය වෙන්නෙ,ඉන්න යකා එලෙව්වට පස්සෙනෙ.

    ReplyDelete
    Replies
    1. මේ සෙට් එකේ නොදන්න කවුරුවත් නැහැ. දේව දූතයො නම් නැහැ කියල ෂුවර්

      Delete