Friday, August 29, 2014

සිංහල බෞද්ධයාගේ සමාජවාදය

අන් කෙනෙකු සැප සම්පත් ගොඩ ගහනවිට නැත්තම් තමන් වෙනුවෙන්ම යම් යම් දේ කර කියා ගන්නාවිට කෙටියෙන් කිවහොත් පොර වෙන්නට තනනවිට, බොහෝ සිංහළුන්ට, විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ට රුස්සන්නේ නැත. වයසක උපාසක අම්මලා නම් නිකටේ අත ගසා අනේ අනිච්චං යැයි කියා අනුකම්පා සහගත වන මුත් බොහෝ බෞද්ධයෝ ඒ පිළිබඳව අඩු තරමින් උපහාසයෙන් හා අපහාසයෙන්වත් කථා කරති. තවත් සමහරු ඉනුත් එහාට ගොස් එසේ පොර වෙන්නට හදනවුන් පිළිබඳව ද්වේශ සහගත වෙති. ඔවුන්ට ඊරිසියා කරති. දියුණු වෙන්ට හදන මිනිහාගේ කකුලෙන් අදිනවා යැයි සමහරු හඳුන්වන්නේ මෙවැනි ක්‍රියාවන්ය.

නමුත් බටහිරුන් නම් මෙවැනි ආකල්ප දරන්නේ නැත. අප සංස්කෘතියේ හැදුනු වැඩුනු අයෙකුට එය එසේ විය හැකියැයි සිතා ගැනීමට පවා නොහැකි වුනද පොදුවේ ඇමෙරිකාවේ මිනිසුන් නම් පොර වෙන්නට තනන අන්අය පිළිබඳව සෘණාත්මක ආකල්ප දරන්නේ නැති බව මම අත්දැකීමෙන්ම දනිමි. ඉතා පැහැදිලිවම පොර වීම පිළිබඳව බටහිර සහ සිංහල බෞද්ධ සංස්කෘතිය දරන ආකල්ප අහසට පොළව මෙන් වෙනස්ය.

මෙහිදී පොර වීමට අකුල් හෙලීම බෞද්ධයින්ගේ අශීලාචාර ගතියක් බවත් බටහිරුන් එහිදී ශීලාචාර වන බවත් යමෙකු පවසන්නේ නම් එය කරුණු මතු පිටින් පමණක් දැකීමකි. මන්ද ඊරිසියාව හා වෛරය සම්බන්ධයෙන් ඒ නිගමණය නිවැරදි විය හැකි වුනද අනේ අනිච්චං යැයි කියා අනුකම්පා සහගතවීම කිසිසේත් අශීලාචාර නොවන බැවිනි. පොරවීම යන සන්දර්භය තුල අනුකම්පාවත් ඊරිසියාවත් යන ආකල්ප දෙකෙහිම යම් පොදු බවක් ඇත. ඒ පොදුබව වෙන කිසිවක් නොව මමත්වය පහත් කොට සැලකීමය. මමත්වය පහත් කොට සලකමින් සිංහල බෞද්ධයෝ තම තමන්ගේ නැණ පමණින් පොර වෙන්නාට ප්‍රතිචාර දක්වති. පොර වෙන්නාට අනුකම්පා කරන්නේ උගත් උපාසක අම්මලාය ඊරිසියා කරන්නේ නූගතුන්ය. මෙහිදී අනුකම්පාවත් ඊරිසියාවත් මමත්වය පහත් යැයි පදනම් කරගත් ආකල්පීය ආවලියක අන්ත දෙකක් සැලකිය හැකිය. නමුත් බටහිරු මමත්වය පහත් කොට සලකන්නේ නැත. ඒ නිසා ඔවුහු පොරවෙන්නාට ඊරිසියා කරන්නේ නැත. අනුකම්පා කරන්නේද නැත. ඔවුහු ඊට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ තැනක හිඳිමින් පොරවීම පිළිබඳව ධනාත්මක ආකල්පයක් දරති. එය සිංහල බෞද්ධ ආකල්ප වලට සම්පූර්ණයෙන්ම වෙනස්ය.

බටහිරුන් පොරවීම පිළිබඳව දරන ධනාත්මක ආකල්පය ඔවුන්ගේ ආර්ථික දියුණුවට සෘජුවම බලපායි. පොරවීම හොඳ නැතැයි සිතමින් ඇමෙරිකාව වගේ දියුණුවිය නොහැකිය. එමෙන්ම පොරවීම හොඳ නම් අපට ලැබිය හැක්කේ ඇමෙරිකාව ලබා ඇති වැනි  දියුණුවක් මිස වෙන ආකාරයක දියුණුවක් නොවේ. කැඳත් රැවුලත් දෙකම බේරා ගත නොහැකිය. නමුත් අපේ සමහර තරුණ උගතුන්, විශේෂයෙන්ම හැත්තෑ හතේ දරුවන් ලෙස හැඳින්විය හැකි තරුණයින් බටහිර ආරේ ආර්ථික සංවර්ධනයක් පතන්නේ අප සමාජයේ පොර වෙන්නට හදන්නන්ටද ගරහමිනි. පැහැදිලිවම එහි විසංවාදයක් ඇත.

අපට කල හැක්කේ එක්කෝ පොරවීම හොඳ යැයි සිතමින් බටහිර ආරේ ආර්ථික සංවර්ධනයක් ලබා ගැනීමය නැත්නම් පොරවීම හොඳ නැතැයි සිතමින් ඊට ගැලපෙන ආර්ථික සංවර්ධනයක් පිළිබඳව සංකල්පයක් නිර්මාණය කර ගැනීමය. පැහැදිලිවම අප ගත යුත්තේ දෙවනි මඟය. දැන් ප්‍රශ්ණය මමත්වය පහත් කොට සලකමින් පොරවීමට අකුල් හෙලමින් ලැබිය හැකි සංවර්ධනය බටහිරුන්ගේ සංවර්ධනයෙන් වෙනස් වන්නේ කෙලෙසද යන්නය.

සංවර්ධනයේ මුලික අරමුණ වන්නේ සමාජයේ ආර්ථික විශමතා අවම කර ගැනීමය. සමාජවාදී ක්‍රමයට අනුව එය ඉටු කෙරෙන්නේ රජය මැදිහත්වීමෙන් සම්පත් බෙදාහැරීම මඟිනි. ධනවාදී ක්‍රමයට අනුව එය වෙළඳ පොලේ ස්වාභාවික හැසිරීම තුලින් සිදුවේයැයි සැලකේ. මේ ක්‍රම දෙකටම අනුව වැදගත් වන්නේ ආර්ථික අතින් සමානාත්මතාවක් අත් කර දීමය. ගණිතමය වශයෙන් එය සියලු පුද්ගලයින් යම් එක් අගයක් ගැනීමක් ලෙස සැලකිය හැකිය. සියලු පුද්ගලයින්ගේ ආර්ථික අගය දහයට සමාන නම් එහි සමානාත්මතාවක් ඇත. සියලු පුද්ගලයින්ගේ අගය සියය නම් එහිද සමානාත්මතාවක් ඇත.

මේ ආර්ථික ක්‍රම දෙකටම අනුව සමානාත්මතාවක් ඇති විටෙක යම් පුද්ගලයෙකුගේ ආර්ථික අගය දහයද නැත්නම් සියයද යැයි නිර්ණය වෙන්නේ ඒ පද්ධතියට බාහිරෙන් ඇති සාධක වලට අනුවය. බාහිර බලපෑමක් නැත්නම් ඒ ආර්ථික අගය නොනවත්වා වැඩි නොවීමට හේතුවක් නැත. බටහිර සංවර්ධනය සිදුවන්නේ මේ ආකාරයටය. නමුත් සංවර්ධනය බාහිර බල මත පමණක් සීමාවෙන පද්ධතියක් තුල සමානාත්මතාවක් ඇති කර ගන්නේ කෙසේද? අභ්‍යන්තර බල නොමැති නම් එවැනි සමානාත්මතාවක් ඇති කර ගත හැකි නොවේ. එවිට පද්ධතිය තුල විශමතාවක් ඇතිවීම වැලැක්විය නොහැකිය. අද ලොව පුරා බලපැවැත්වෙන ලිබරල් ධනවාදී ආර්ථික රටාව තුල ආර්ථික විශමතා සීඝ්‍රයෙන් වර්ධනය වීමෙන් පිළිබිඹු වන්නේ එයයි. සිංහල බෞද්ධ ආර්ථික ක්‍රමයේ ඇති වෙනස නම් පුද්ගලයෙකුගේ ආර්ථික අගය සීමා කිරීම සඳහා සමාජයේ අභ්‍යන්තරයෙන්ද බලපෑමක් ඇතිවීමය. ඒ අභ්‍යන්තර බලය සංස්කෘතික වශයෙන් නිර්මාණය වන්නේ මමත්වය පහත් කොට සැලකීම පදනම්වය.

සංවර්ධනයේදී අපට වැදගත් වන්නේ සමාජ විශමතා අවම කිරීමය. එය කල හැක්කේ රජයේ මැදිහත්වීම මඟින්වත් ඊනියා වෙළඳ පොලේ ක්‍රියාකාරිත්වයෙන්වත් නොව පොදු සමාජයේ අභ්‍යන්තර සමාජ-සංස්කෘතික බලපෑම මතය. මමත්වය පිටු දකින සිංහල බෞද්ධ ආර්ථික ක්‍රමයකට අනුව සමානත්වයක්  අත් කර ගත හැකිය. ධනවාදයටවත් සමාජවාදයටවත් එය ප්‍රායෝගිකව අත්කර ගත නොහැකිය.

Monday, August 25, 2014

ජේ ආර් ගෙ ආර්ථිකය

සමගි පෙරමුණ ආණ්ඩුව 77 දී අන්ත පරාජයක් ලැබූවේ සිරිමාවෝ ආණ්ඩුවේ දැඩි ආර්ථික ප්‍රතිපත්ති නිසා බව සාමාන්‍යය පිලිගත් මතයයි. ඒ වනවිට මා වයසින් මුහුකුරා නොගිය දරුවකුව සිටි බැවින් ඒ පිළිබඳව අත්දැකීමෙන් මා දරන මතය නිවැරදි නොවිය හැකිය. කෙසේ වෙතත් මට එකල හැඟුනු පරිදි සිරිමාවෝ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වලින් වැඩි හරියක් පීඩා වින්දේ කොළඹ සහ අනිකුත් ප්‍රධාන නගරවල ජීවත්වුනු මධ්‍යම පංතියේ මිනිසුන් මිස ගැමි ජනතාව නොවේ. පාං නැතිවම බැරි උනේ කොළඹ මිනිසුන්ටය. හාල් පොලු වලින් පීඩා වින්දේත් ඔවුන්ය. ගැමියන්ද යම් තරමකට අපහසුතාවකට පත් වෙන්නට ඇති නමුත් සාපේක්‍ෂව ගත් කල මා හිතන ආකාරයට ආර්ථික ප්‍රතිපත්ති වලින් ඔවුන්ට ඇතිවූ බලපෑම නගරවල ජීවත්වුනු මිනිසුන්ට ඇතිවූ බලපෑමට වඩා බෙහෙවින් අඩුවිය. නමුත් පොදුවේ ගැමි ජනතාව සිරිමාවෝ ආණ්ඩුව පිළිබඳව වෛරයකින් පසුවුනැයි මම සිතමි. ඒ 71 කැරැල්ල මර්ධනය කිරීමේදී ආණ්ඩුව ගත් දැඩි ක්‍රියාමාර්ග නිසාය. 89 තරම් නොවුනද එදාද තරණයින් විශාල සංඛ්‍යාවක් ආණ්ඩුව විසින් ඝාතනය කෙරිනි. ඊටත් වඩා විශාල සංඛ්‍යාවක් සිර ගත කෙරිනි. ඉන් බොහෝ දෙනෙකුට ජවිපෙ හා සම්බන්ධකම් තිබෙන්නට ඇතැයි සිතිය නොහැකිය. 89 ජවිපෙ මෙන් නොව 71 ජවිපෙ සාමාන්‍ය ජනතාව භීතියට පත් නොකලහ. ඒ නිසා භීශණය මුලු මනින්ම පාහේ වැටුනේ රජයේ ගිණුමටය. රාජ්‍ය මරධනයක් පිළිබඳව ඓතිහාසික මතකයක් නොතිබුනු ගැමි තරුණයින් සහ ඔවුනගේ දෙමව්පියන් රජයේ භීෂණයෙන් මහත් කම්පනයට පත් වුහ. 77 දී ගම් පිටින් යූ එන් පියට ඡන්දය ප්‍රකාශ කරමින් ඔවුහු සිරිමාවෝගෙන් ඒ වාඩුව ගත්හ. ජේ ආර් විසින් ගෙනගිය ඒ කාලේ හැටියට සාර්ථක මාර්කටින් මෙහෙයුමක් ලෙස සැලකිය හැකි වංචාකාරී මඩ ඡන්ද ව්‍යාපාරයද ඊට උර දෙන්නට ඇතැයි සිතිය හැකිය. නමුත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සාමාන්‍ය ගැමි ජනතාව කෙරෙහි එතරම් වැදගත් බලපෑමක් නොකල බව මගේ මතයයි.

ඉන් කියවෙන්නේ සමගි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිවැරදිවූ බව නොවේ. ඉන් කියැවෙන්නේ යම් ආකාරයක සංවෘත ආර්ථිකයක් සඳහා වෙනසක් ඇති කිරීමට මෙරට ගැමි ජනතාව තුල බලවත් අකමැත්තක් නැති බවත් එය දරා ගැනීමට ඔවුන්ට ශක්තියක් තිබෙන බවත්ය. එය වැදගත්ය. එය එසේ නම් සිරිමාවෝ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ගෝනි බිල්ලෙක් ලෙස හුවා දක්වා ඊට සහමුලින්ම විරුද්ධ ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමණය කිරීම එතරම් සාධාරන නොවේ.

මෙරට ජනතාව ජේ ආර්ගෙන් යම් ආර්ථික සහණයක් බලාපොරොත්තුවුහ. නමුත් ඔවුන් බලාපොරොත්තු වුනේ ජේ ආර්ගේ විවෘත ආර්ථිකයද? ජේ ආර් ආරථිකය විවෘත කලේ ඒ සඳහාම මෙරට ජනතාවගේ දැඩි ඉල්ලුමක් තිබුණ නිසාද? රජයේ දේපල පුද්ගලිකකරණය කිරීම වැනිදෑ ඔවුන් බලාපොරොත්තු වුන දේද? ඒ පිළිබඳව මතවාදයක් ගොඩනැඟී තිබුනිද? මේ ප්‍රතිපත්ති අභ්‍යන්තරයෙන් මතුවූ ඒවාට වඩා බටහිර බලපෑම මත සිදුවුයේ යැයි ගැනීම සාධාරනය. ඒ වනවිට එංගලන්තය සහ ඇමෙරිකාව තැචර් සහ රේගන් නායකත්ව යටතේ නව ලෝක ආර්ථික ප්‍රතිපත්ති සකසා තිබිනි. ඔවුන්ගේ එකම අරමුණවුයේ තම රටවල් වැටී තිබුනු ආර්ථික අවපාත වලින් ගොඩ ගැනීමය. නමුත් එය කල හැකිවූයේ අන් රටවල ආර්ථික සූරා කෑම සඳහා ඒ රටවල් විවෘත කර ගැනීම තුලිනි. ඒ සඳහා ඔවුහු විවිධ ලෝක සංවිධාන සහ දේශපාලන බල පුළුවන් කාරකම් යොදාගත්හ. බටහිරුන්ගේ කීකරු දාසයෙකුව සිටි ජේ ආර් ඒ සඳහා නම්මවා ගැනීම අපහසු නොවිනි.

ඊනියා විවෘත ආර්ථික ප්‍රතිපත්ති වල පිහිටෙන් ඇමරිකාවත් එංගලන්තයත් ගොඩ ගියහ. නමුත් අසූවේ මැද භාගය පමණ වෙනවිට මෙරට නැවතත් ආර්ථික අමාරුවක වැටී සිටියේය. ඊට හේතුව වෙන එකක් නොව සන්තකව තිබුනු දේ විකුනා කෑමෙන් පසුව විකුනන්නට දෙයක් ඉතිරි නොවීමය. ඉතාම කෙටි කලකින් ආර්ථිකය වැටුනේ නම් ජේ ආර්ට ඉදිරි දැක්මක් තිබුනා යැයි කිසිසේත් කිව නොහැකිය. නමුත් අවාසනාවකට අපි අදත් යන්නේ ජේ ආර් ගිය තැවර්-රේගන් පාරේමය. වෙනසක් ඇත්නම් ඒ රජය එදාටත් වඩා අද ආර්ථික සංවර්ධනයට යැයි කියා මහා පරිමාණ ව්‍යාපෘති වලට වැය කිරීමය. අද ආර්ථිකය වර්ධනය සඳහා වැඩියෙන් දායකවන්නේ පෞද්ගලික ව්‍යාපාර නොව රජය බව කියවේ. අපි හැත්තෑ හතේ සිට මේ මඟ ඇවිත් සිටිනමුත් අපිට තවමත් සිංගප්පුරුව අහලකටවත් ලංවීමට නොහැකි වීී ඇත. ඒ ඇයි? මේ ප්‍රශ්ණයට පිළිතුරක් නොදැන ආර්ථික ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ කිරීම නුවණට හුරු නොවේ.

මේ ප්‍රශ්ණයට නිවැරදි පිළිතුර දූන්නේ කලකට ඉහත වතිකානුවේ මුලසුනව හුන් පාප් තුමෙකි. එතුමා පැවසුවේ ලංකාව සංවර්ධනය කල නොහැක්කේ බෞද්ධයින් නිසා බවය. දකුණු කොරියාව බෞද්ධ රටක්ව පවතින කල් එරට දියුණු නොවුනු බව එතුමා සැලකිල්ලට ගත්තේ දැයි නොදනිමි කෙසේ වෙතත් එතුමාගේ කථාව නිවැරදි යැයි මම සිතමි. බෞද්ධ සංස්කෘතියක් මෙරට පවතිනතාක්කල් මෙරට ධනවාදී ආර්ථික ක්‍රමයකට අනුව සංවර්ධනය කල නොහැකිය. එමෙන්ම ධනවාදී ආර්ථික ක්‍රමයකට අනුව මෙරට සංවර්ධනය කලහොත් මෙරටින් සිංහල බෞද්ධ සංස්කෘතිය අතු ගා දැමෙනු ඇත.

අද වෙනවිට සංස්කෘතික වශයෙන් බලවත් පිරිහීමකට ලක්වී සිටියද මෙරට වැසියෝ තවමත් බොක්කෙන්ම සමානාත්මතාව අගය කරති. නමුත් සිංහල බෞද්ධයින්ගේ සමානාත්මතාව ලිබරල්වාදීන්ගේ සමානාත්මතාව නොවේ. ඒ බව වැදගත්ය. ලිබරල්වාදීන්ට සමානාත්මතාව පුද්ගල අයිතියක් පිළිබඳ ප්‍රශ්ණයකි. නමුත් සිංහල බෞද්ධයින්ට සමානාත්මතාව පුද්ගල මෙන්ම සමාජීය අයිතියකි. ඔවුන් පොදුවේ අසංවර පරිභෝජනය පිළිකුල් කරන්නේ ඒ පදනම මතය. විශ්ව විද්‍යාලවල දරුවන් සමාජ අසාධාරන පිළිබඳව මෙතරම් සංවේදී වන්නේ ඔවුන් සමානාත්මතාව පුද්ගල මෙන්ම සමාජීය අයිතියක් ලෙස සලකන බැවිනි. අවසානාවකට ඒ සංවේදී බව ඇතමුන් විසින් වෛරයක් බවට පත් කර ගන්නේද ඒ පදනම උඩය. විශ්ව විද්‍යාල හැරගිය පසු ඔවුන්ට බලෙන් පෙවූ ලිබරල්වාදී සමාජවාදී අදහස් ඔවුන් විසින් හලා දමන්නේද ඔවුන්ට පුද්ගලික සමානාත්මතාවක් වැදගත් නොවන නිසාය.

සිංහල බෞද්ධයෝ බොක්කෙන්ම සමානාත්මතාව අගය කරනතාක් කල් ධනවාදී ආර්ථික ක්‍රමයකට මෙරට පසුබිමක් ගොඩනැඟෙන්නේ නැත. අදටත් පෞද්ගලික ව්‍යාපාර රජය තරමටම සංවර්ධනයට දායක නොවීමෙන් පිළිබිඹු වන්නේ එයයි. කෙසේ වෙතත් ධනවාදී ආර්ථිකය සමාජ අසමානතාව පියවන්නක් නොව ඉන් ජවයක් ලබන්නකි. අපි කල යුත්තේ හැත්තාවේ දශකයේ ගෝනි බිල්ලන් දකිමින් තව තවත් ධනවාදී ආර්ථික මඟක් ගැනීම නොව මෙරටට සුදුසු, ගම මුල් වුනු, විමධ්‍යගතවූ, සමානාත්මතාව අගයන, ඉඳුරන් තවන ආර්ථික රටාවක් අරභයා ක්‍රමයෙන් වෙනස්කම් කිරීමය.

තවත් සංවර්ධන කථා

ගම මුල්වුනු ආර්ථිකයක්
මිනිසුන්ට දැනෙන සංවර්ධනය
වක්කඩේ හකුරු හැංගීම
අපරාධ ↔ සංවර්ධණය
කාර්මික විප්ලවයක් නොකල කොණ්ඩෙ බැඳපු චීන්නු
අසංවර පරිභෝජනය
අපේ සංවර්ධන මඟ
සංවර්ධනයේ මුලාව

Friday, August 22, 2014

ප්‍රාණගාතයෙන් තොර ගොවිතැනේ දේශපාලනය

දැන් මාතලේ ළුණු ගොවීන් අතරද කෘෂි රසායනික වකුගඩු රෝගය පවතින බව කියැවේ. වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමත් මෙරටින් කෘෂිරසායනික වකුගඩු රෝගය සදහටම තුරන් කිරීමට කටයුතු කිරීමත් රජයේ වගකීමය.  නමුත් උවමණාවක් තිබුනත් නැතත් මේ රජයටවත් වෙන කිසි රජයකටවත් පවතින තත්ව යටතේ එය සාර්ථකව ඉටු කර ගැනීමට නොහැකි වනු ඇත. රජයේ ආයතනයකට වකුගඩු රෝග මර්ධනය සඳහා ලබාදී තිබුනු මුදල් පාවිච්චි නොකර පසුගිය දිනක නැවත භාණ්ඩාගාරයට යැවීමට සිදුවීමෙන් සනිටුහන් වෙන්නේ එයයි. මේ ප්‍රශ්ණයට දීර්ඝ කාලීන විසඳුමක් දිය හැක්කේ සෞඛ්‍ය, අධ්‍යාපන හා කෘෂිකර්ම වැනි විවිධ ක්‍ෂේත්‍ර අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් පවත්වා ගැනීම තුලිනි. නමුත් බටහිර දේශපාලන ව්‍යුහය ඒ සඳහා සුදුසු නොවේ. රජයේ නොහැකියාවට එක් හේතුවක් එයය.

අනිත් හේතුව කෘෂිරසායනික වකුගඩු රෝගයට පිළිතුරු ඇති හෙළ වෙදකමටත් හෙළ ගොවිතැනටත් රජයේ අනුග්‍රහය නොලැබීමය. ඒ සඳහා නායකත්වය ලබා දෙන අමාත්‍යංශයක් රජයේ දෙපාර්තමේන්තුවක් හෝ ප්‍රතිපාදන ලබා දෙන විධිමත් ක්‍රමයක් හෝ නැති වීමය.

කෘෂිරසායනික වකුගඩු රෝගයට සුදුසුම පිළිතුර කෘෂි රසායන භාවිතයෙන් තොරව වී ගොවිතැන් කිරීම බව කිව යුතු නැත. කෘෂි රසායන භාවිතයෙන් තොරව වී ගොවිතැන් කල හැකි බව කැලණි විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් කෙරුනු කුඹුරක් (කිරි කඹුර) මඟින් මීට වසර හතරකට පහකට ඉහතදී ප්‍රදර්ශනය කෙරිනි.

 පාරම්පරික දේශීය දැනුම මත පදනම්ව ගොවිතැන් කිරීමට දන්නා ගොවි මහතුන් අප අතර තවම ජීවත්ව සිටිති. නමුත් ඒ ගොවීන්ගේ කැමත්ත හා හැකියාව මත පමණක් පදනම්වී හෙළ ගොවිතැන මෙරට යලි ස්ථාපිත කල නොහැකිය. හෙළ ගොවිතැන හාල් වෙළඳ පොලේ ඇති යම් ඉල්ලුමක් මත ස්වභාවිකව ඉස්මතු වන්නේ යැයි සිතන්නේනම් එය හීනයක් පමණි. කොහොමටත් වෙළඳ පොලේ සාධාරණ තරඟයක් නැත. කෘෂිරසායනික ගොවිතැන හෙළ ගොවිතැන සමඟ තරඟ වදින්නේ රජයේ සහණාධාරද ඇතිවය. එපමණක් නොවේ, අද අපි වවන වී සහ වී වගාවේ භාවිතා කරන ක්‍රම විධි කිසිවක් ස්වාභාවිකව අප විසින් තෝරාගත් ඒවාද නොවේ. ඊනියා හරිත විප්ලවයකින් නිර්මාණය වන වී වර්ගත් කෘෂි රසායන භාවිතයත් මෙරට ගොවීන්ට පුරුදු කරන්නේ බටහිරුන් විසින් නොයෙකුත් ජිල් මාට් දමාය. මේ ක්‍රම විධි ප්‍රවර්ධනය කෙරෙන්නේ ඒවා පාරම්පරික වී ගොවිතැනෙහි ප්‍රතිඵල හා ඊනියා විද්‍යාත්මක ක්‍රමයකට අනුව සසඳා බලා යැයි බටහිර උගතුන් කියන්නේද?

කෘෂිරසායනික ගොවිතැනත් ඊට අනුබද්ධිත වකුගඩූ රෝගයත් අපට උරුම වෙන්නේ වෙන කිසිවක් නිසා නොව එය රාජ්‍ය අනුග්‍රහයෙන් අප මත බලෙන් පැටවීමේ ප්‍රතිඵලයක් නිසා බව පැහැදිලිය. ඒ නිසා හෙළ ගොවිතැන මෙරට යලි ස්ථාපිතවීම ස්වභාවිකව සිදුවේ යැයි සිතීම සාධාරන නොවේ. එය හුදෙක් සංස්කෘතික ව්‍යායාමයකින්ද ඉටු කල නොහැකිය. ඒ සඳහා පක්‍ෂ දේශපාලනයෙන් එහාට යන දේශපාලනමය අරගලයකින් හෙළ ගොවිතැනට රාජ්‍ය අනුග්‍රහය හිමි කරදිය යුතුය. ඒ හරහා කෘෂි රසායනික ගොවිතැන පරයමින් හෙළ ගොවිතැනට ආර්ථික සහනාධාර ලබා දිය යුතුය. බීජ, ජලය, ඉඩම්, වෙළඳපොල ආදිය තම වාසිය තකා කළමණාකරණය කිරීමට අවශ්‍යය දේශපාලන බලය හෙළ ගොවිතැනට ලබාදිය යුතුය. එසේ නැතිව හෙළ ගොවිතැනක් මෙරට ඉබේටම ස්ථාපිත වන්නේ නැත.

නමුත් හෙළ ගොවිතැන ස්ථාපිත කිරීමට ආර්ථික හා හුදු දේශපාලන ශක්තිය පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා හෙළ ගොවිතැනේ දැනුම බටහිර කෘෂිරසායනික ගොවිතැනේ දැනුමට වඩා උසස් බවට සම්මුතියක් ඇති කල යුතුය. ඒ සම්මුතිය ඇතිකර ගැනීමට දේශපාලන බලයද අවශ්‍යවේ.

අද බටහිර ලෝකයේ මහා පරිමාණයෙන් පරිභෝජනය කෙරෙන බඩ ඉරිඟු ආහාරයට ගත හැකි ධාන්‍ය වර්ගයක් ලෙස වසර දහස් ගණනකට ඉහත වර්ධනය කලෝ ඇමෙරිකානු ස්වදේශිකයෝය. ඔවුහු කෘෂිරසායන භාවිතා නොකලහ, අවම ලෙස පස පෙරලූහ, වගා බිමේ භෝග විවිධත්වයක් තබා ගත්හ එසේ නමුදු යුරෝපීය තිරිඟු ගොවියන්ට වඩා හතර පස් ගුණයක අස්වන්නක් ලබා ගත්හ. නමුත් බටහිර උගත්තු ස්වදේශිකයින්ගේ කෘෂිකාර්මික දැනුමට නිර්ධය ලෙස පහර දුන්නේ එය පස විනාශ කරන ක්‍රමයක් (slash-and-burn) ලෙස වැරදි ලෙස හඳුන්වමිනි (අපේ හේන් ගොවිතැනටද සිදුවූයේ එයයි). යුරෝපීය ඇමෙරිකානුවෝ ස්වදේශිකයින්ගේ දැනුම දේශපාලනිකව පරාජය කර ඔවුන්ට ඉඩම් කැබලි ලබා දී එහි යුරෝපීය ක්‍රමයට වගා කරන්නට සැලස්වූහ. බලාපොරොත්තු විය යුතු ආකාරයටම ස්වදේශිකයෝ නැත්තටම නැතිවී ගියහ.

අද නැවතත් ස්වදේශිකයින්ගේ කෘෂිකාර්මික දැනුමේ යම් ලක්‍ෂණ ප්‍රතිජනන කෘෂිකර්මය (regenerative farming) යන නමින් කරලියට පැමිණ තිබේ. උතුරු ඩැකෝටාවේ ගේබ් බ්‍රවුන් පවසන්නේ මේ ක්‍රමයට අනුව, එනම් කෘෂි රසායන භාවියෙන් හා පස පෙරලීමකින් තොරව විවිධ භෝග වර්ග එකට වැවීමෙන් තමන් අඩු වියදමකින් වැඩි ඵලදාවක් ලබන බවය.

බටහිර උගතුන්ද දැන් මේ ක්‍රමය තම දැනුමට අවශෝෂණය කර ගැනීම සඳහා කථාවක් හදා ගෙන සිටිති: "කෘෂි රසායන පාවිච්චි නොවන නිසා පසේ ක්‍ෂුද්‍ර ජීවීන් විනාශ නොවෙති; ඒනිසා ක්‍ෂුද්‍ර ජීවීන් ශාක මුල් වලින් ලැබෙන කාබන් මත යැපෙමින් ශාක සමඟ සහජීවනයක් ගොඩනාඟා ගනිති; ඒනිසා පස සාරවත්ව තබා ගත හැකිය; ඵලදාව වැඩි කර ගත හැකිය."

ඊනියා ප්‍රතිජනන කෘෂිකර්මය යනු ඇමෙරිකානු ස්වදේශිකයින් සතුවූ දැනුම නොව එහි කෑලි එල්ලූ වෙනත් යමකි. එය කොහෙත්ම හෙළ ගොවිතැනද නොවේ. ඊටත් වඩා වැදගත් වන්නේ එය සෘජුවම බටහිර විද්‍යාවේ නිර්මාණයක් නොවීමය. බටහිර විද්‍යාවේ නිර්මාණ දැකිය හැක්කේ මොන්සැන්ටෝ වැනි සමාගම් වල කෙරුවාවන් තුලය. බටහිර විද්‍යාවේ නිර්මාණයක් නොවීම නිසා ඊනියා ප්‍රතිජනන කෘෂිකර්මය කොපමණ උසස් දැනුමක් වුවත් එය බටහිර රටවල ස්ථාපිත කරවීමට තරම් දේශපාලන ශක්තියක් ඊට ලැබෙන්නේ නැත.

හෙළ ගොවිතැන අප රටේ ස්ථාපිත කිරීමට නම් ඊට ආර්ථික හා හුදු දේශපාලන බලය ලබා දෙනවාත් සමඟම එහි දැනුම උසස් කර තැබීමට දේශපාලන බලයද ලබාදිය යුතුය.  ඒ දැනුම පාසල් වල ඉගැන්විය යුතුය. එසේ උගන්වන අතර හෙළ ගොවිතැන බටහිර දැනුමට අවශෝෂණය කරදී විනාශ කර නොගැනීමට වග බලා ගත යුතුවෙමු. හෙළ ගොවිතැනෙහි දැනුම බටහිර කෘෂිරසායනික ගොවිතැනේ දැනුමට වඩා උසස් යැයි සම්මත කර නොගත්තොත් ඒ දැනුම සදහටම අපට නැතිවෙනවා පමණක් නොවේ ඇමෙරිකාවේ ස්වදේශිකයින්ට සිදුවූ පරිදි අවසානයේ පාරම්පරික ගොවීන්ට තම ගොවි බිම්වල අයිතියද අහිමි වනු ඇත.



ආශ්‍රිත ලිපි
  1. Mt Pleasant, J. (2011). The Paradox of Plows and Productivity: An Agronomic Comparison of Cereal Grain Production under Iroquois Hoe Culture and European Plow Culture in the Seventeenth and Eighteenth Centuries. Agricultural History . 85:460-492.
  2. Mt Pleasant, J. (2010). Estimating Productivity of Traditional Iroquois Cropping Systems Using Field Research and Historical Literature . Journal of Ethnobiology. 30:52-79.

Friday, August 15, 2014

රහත්බව අත්කර දෙන ඖෂධයක්!

"හාලෝ නාථ පොඩ්ඩකට මෙහෙ ඇවිල්ල යන්න පුළුවන්ද?" දියුණු රටෙන් නාථට හදිසි දුරකථන ඇමතුමක් ලැබිනි.

"ඇයි මොකද හදිස්සියෙන්?" නාථ විමසීය. "අපේ විද්‍යාඥයෝ කට්ටියක් තණ්හාව නැති කරල ඉක්මනින් රහත්බව අත් කරදෙන ඖෂධ ක්‍රමයක් හොයාගෙන. ඉන් හොඳ ප්‍රතිඵල තිබෙනවා වගේ පේනවා නමුත් අපි රහත් වුනු අයෙක් මීට කලින් දැක නැති නිසා අපිට නිශ්චිතව ඒ බව කියන්න බැහැ. ඔබතුමා බෞද්ධයෙක් නිසා අපි කල්පණා කලා ඔබතුමාට ඒ ගැන පරීක්‍ෂා කරලා නිගමණය කරන්න පුළුවන් වෙයි කියල" දියුණු රටේ තැනැත්තා පැවසීය.

කුතුහලය නිසාම නාථ ඒ ආරාධනය පිලිගෙන දියුණු රටට ගියේය. එහිදී ඔහුට මුලින්ම මුණ ගැහුනේ රහත්-ඖෂධය නිර්මාණය කල විද්වත් මංඩලයේ න්‍යායාචාර්යවරයාය. එවැනි ඖෂධයක් නිර්මාණය කිරීම සඳහා මහන්සි ගත්තේ ඇයිදැයි ලොක්කා නාථට පැහැදිලි කර සිටියේය. "අපි ඔබලා මෙන් බුදු දහම ආගමක් ලෙස සැලකුවේ නැතත් අපි සසර සහ නිවන පිළිබඳව සිදුහත් ගෞතමගේ දර්ශණය පිළිගන්නවා. නමුත් නිවන අරමුණු කරගෙන ඔබලා ආගමිකයින් වශයෙන් එදිනෙදා කරන කියන දේ, උදාහරණයක් වශයෙන් පන්සිල් ගැනීම,බණ භාවනා කිරීම, දන් දීම, මල් පහන් පූජා කිරීම, පැවිද්දන්ට වන්ඳනාමාන කිරීම ආදී වත් පිළිවෙත් අනවශ්‍ය අකාර්යක්‍ෂම කටයුතු ලෙසයි අපි සලකන්නේ. එහි යම් සාමාජීය හා සංස්කෘතික වටිනාකමක් ඔබලාට තිබෙන්නට පුලුවන් නමුත් රහත්වීම සඳහා අවසානයේ වැදගත් වන්නේ තමන්ගේ මොළයෙ ක්‍රියාකාරිත්වයයි. ඒ නිසා අපි කල්පනා කරා සෘජුවම රහත්ඵල ලැබෙන ක්‍රමයක් සොයා ගන්ට. එහිදී අපේ මූලික අරමුණවුනේ තන්හාව මොළයේ හට ගන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීමටයි. පර්යේශණ වලින් අපි හඳුනාගත්තා තණ්හාව සම්බන්ධයෙන් ඒ ඒ පුද්ගලයාට ආවේනිකවූ මොළයේ ස්නායු පද්ධතියට අනුබද්ධිත යම් සංකීර්ණ භෞතික-රසායනික ක්‍රියාවලියක්. ඒ අනුව අපි නිර්මාණය කරා ඒ ක්‍රියාවලිය අත්හිටුවන ක්‍රමවේදයක්. රහත්-ඖෂධය නිර්මාණය වෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනුයි. අපි හිතනවා තන්හාව නැති කිරීම සඳහා මේ ක්‍රමවේදය පාවිච්චි කිරීම ප්‍රමාණවත් කියා"

තමන් බෞද්ධයෙක් වශයෙන් සද්ධාවෙන් කර කියනදේ හෑල්ලුවට ලක්කිරීම ගැන නාථට ඇතිවුනේ කනගාටුවක් නමුත් ඔහු කට පියාගෙන සිටියේය. ඊලඟට දියුණු රටේ විද්වත්හු රහත්-ඖෂධය භාවිතා කර රහත් ඵලයට පැමිණියැයි සැලකෙන කිහිප දෙනෙකු නාථට මුණ ගැස්සවූහ. අපි මේ අයගේ ඉල්ලීම මත ඔවුන්ට රහත්-ඖෂධය ලබා දුන්නා. දැන් ඔවුන් සියලු තණ්හා දුරුකොට රහත් බවට පත්වී ඇතැයි ඔවුන් විශ්වාස කරනවා යැයි විද්වත් මංඩලයේ න්‍යායාචාර්යවරයාය පැවසීය. නාථ තමන්ට හුරු ආකාරයට වැඳ නමස්කාර කරමින් එකත්පස්ව සිටියේය. රහත්වු ඇත්තන්ගෙන් කෙනෙකු දේශණයක් පැවැත්වීය. දේශණය අසා සිටි නාථට ඔවුන් ගැන මහත් පැහැදීමක් ඇතිවිනි. ඉන් අනතුරුව ඔහු සති දෙක තුනක්ම ඒ ඇත්තන් ඇසුරේ කල් ගත කලේය. එසේ ඉන්නා අතර න්‍යායාචාර්යවරයා තමන් මුන ගැසෙන ලෙස නාථට පණිවිඩයක් එවීය.

"නාථ මොකද හිතන්නේ? ඔවුන් රහත් වෙලාද?" න්‍යායාචාර්යවරයාය ඇසීය. "නැහැ" නාථ කියා සිටියේය. "හා!! මම හිතුවේ තමුසේ ඔවුන් ගැන ඉතා ඉහලින් සිතා ගෙන සිටියැයි කියායි." "මෙහෙමයි… නාථ කරුණු පැහැදිලි කරන්නට විනි..."මේ ඇත්තන් ඉතා යහපත් ගති ගුණ ඇති හොඳ උපාසකවරු බවට කිසිම සැකයක් නැහැ. ඒ කෙසේ වෙතත් ඔවුන් තණ්හා දුරුකොට රහත්වී සිටීදැයි සොයා බලන්නට තරම් මට හැකියාවක් නැහැ. හැබැයි ඔවුන් රහත්වී නැති බවනම් මට විශ්වාසයි". "හැකියාවක් නැත්නම් තමුසේ කොහොමද එහෙම කියන්නෙ?" න්‍යායාචාර්යවරයාය තවත් තද වී ඇසුවේය. "මට ඔබලාගේ මූලික පදනමම ප්‍රශ්ණයක්" නාථ පැවසීය. "හරි හරි මම දන්නවා තමුසෙට ප්‍රශ්නෙ අපි මනස මොළයේ භෞතික ක්‍රියාවලියක් ලෙස සැලකීම නේද?" න්‍යායාචාර්යවරයාය මැදට පනිමින් අසා සිටියේය.

"නැහැ මට ඊට වඩා මූලධර්මවූ ප්‍රශ්ණයක් තියෙනවා" කියමින් නාථ පැහැදිලි කර සිටියේය. "ඔබතුමන්ලා හිතන විදිහට ස්නායු පද්ධතිය, තණ්හාව, පෘතග්ජන පැවැත්ම යනාදිය අතර ඇත්තේ රේඛීය සම්බන්ධයක්. එනම් එකක් නිසා අනික ඒක නිසා ඊලඟ එක ආදී වශයෙන්. මම හිතන්නේ එය වැරදි බවයි. මා විශ්වාස කරන විදිහට අපේ පෘතග්ජන පැවැත්ම චක්‍රීය ක්‍රියාවලියක්. එහි තණ්හාව කියල යමක් වෙන්කර ගත්තොත් ඒ තණ්හාව (ඉතිරි)පැවැත්මට හේතුවක් වෙනවා වගේම (ඉතිරි)පැවැත්මද තණ්හාවට හේතුවක් වෙනවා. ඒ නිසා මේ චක්‍රීය ක්‍රියාවලියම සැලකුවහම තණ්හාව ඇතිවෙන්නේ අහවල් හේතුව කියා යම් මූලික හේතුවක් වෙන් කරල හඳුනාගන්න බැරි වෙන්න ඕනෙ. යමක් හේතුවක් ලෙස ගත්තොත් ඒකට හේතුවෙන තව හේතුවක් තියෙනවා ඒ හේතුවට තව හේතුවක් තියෙනවා මොකද චක්‍රයක මූලක් කියා එකක් තිබිය නොහැකියි. ඒ නිසා ඔබතුමන්ලා හිතන විදිහට තණ්හාවට මුලික හේතුවක් කියා යම් එක් ක්‍රියාවලියක් හඳුනා ගන්න බැහැ. එසේ යමක් හඳුනා ගන්නවානම් එය නිවැරදි විය නොහැකියි. ඒ නිසා මේ ඖෂධයෙන් කුමක් සිදුවුනත් ඉන් තණ්හාව දුරු කිරීමක්වත් ඒ නිසා රහත් බව අත්කර දීමක්වත් සිදුවේයැයි මම විශ්වාස කරන්නේ නැහැ."

න්‍යායාචාර්යවරයාය නාථගේ පැහැදිලි කිරීම හා එකඟ නොවිනි. වැඩේ අල වෙනු දුටු නාථ එලවන්නට පෙර වහා දියුණු රටින් පිටවී තම රටට පැමිණියේය.  වසර දහයක් දොලහක් ගතවිනි. එසේ සිටින අතරතුර දියුණු රටේ පුවත් පතක පලුවුනු ප්‍රවෘතියක් අහම්බෙන් මෙන් නාථට කියවන්නට ලැබිනි. එහි මෙසේ සඳහන් විය.

රහත්-ඖෂධයේ අතුරු විපාක වලට ප්‍රතිකර්මයක් සොයා ගැනේ

රහත්-ඖෂධයේ අනර්ථකර අතුරු ඵල සුව කිරීම සඳහා ප්‍රතිකර්මයක් විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබේ. රහත්-ඖෂධය පාවිච්චි කල බොහෝ දෙනෙකුට ඉන් වසර දහයකට පමණ පසු නොයෙකුත් මොළයේ ආබාධ හට ගැනුනු බව වාර්තාවිනි. මේ රෝගීන් අතර අධික හිසරුදාවෙන් පෙළෙනුවන්ගේ සිට ඩිමෙන්ශියා වැනි දරුණු රෝගාබාධ ඇතිවුන්ද විය. මේ අතර කිහිප දෙනෙකු සිය දිවි නසා ගත් බවද සඳහන්වේ. කෙසේ වුවත් නව ප්‍රතිකර්මයෙන් මේ අනර්ථකර අතුරු පල සියයට සියයක්ම සුව වෙන බව වෛද්‍යවරු පවසයි. අවාසනාවකට නව ප්‍රතිකර්මයේ අතුරු පලයක් වශයෙන් ඔවුන්ගේ රහත් භාවයද නැතිවෙන බව වෛද්‍යවරු කියා සිටිති. මේ අතර රහත්-ඖෂධය නිර්මාතෘ න්‍යායාචාර්ය ජී-කොස් මහතා තමන්ට වංචා කරැයි රහත්වූවන්ගේ සංගමය විසින් නඩු පවරා ඇත.

Monday, August 11, 2014

සුදු වැද්දෝ

ලෝක ආදි වාසීන්ගේ දිනය නිමිතිකොට ගෙන ඊයේ පෙරේදා උත්සවයක් පැවතිනි. ඊට කිසිම දේශපාලනඥයෙකු සහභාගී කරනොගත් බව දිවයින පුවත් පතේ සඳහන් විනි. කිසිම ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු සහභාගී නොකර ගැනීමට එහි සංවිධායකවරු තීරණය කර තිබුනේ නම් එය පැහැදිලිවම දේශපාලන තීරණයකි. ඒ නිසා ඒ උත්සවය දේශපාලනයෙන් මුක්තවූ ඊනියා සුජාත බවක් ගත් එකක් නොවේ. ප්‍රශ්ණය ඒ තීරණය පිටුපස තිබුනු දේශපාලනය ශ්‍රී ලාංකික දේශපාලනඥයින්ගේ නොවේ නම් වෙන කාගේද යන්නය.

බටහිරුන් ආදි වාසීන් යැයි හඳුන්වන්නේ යුරෝපීන් විසින් විවිධ රටවල යටත් විජිත පිහිටුවාගත් පසු ඒ රටවල නොමැරී අදටත් ජීවත්වෙන ස්වදේශීකයින්ය. ආදි වාසින් යන නාම පදය බටහිර උගතුන් අතින් නිර්මාණය කෙරෙන්නේ ඒ නිශ්චිත සංදර්භය තුලය. පසුව ඒ පදය සාධාරනීකරනයට ලක් කර බටහිර සංස්කෘතියට අනුගත නොවී ජීවත්වීමට උත්සාහ කරන ඕනෑම ජන කොටසක් හැඳින්වීම සඳහා ආදි වාසී යන නාම පදය ඔවුන් විසින් යොදා ගනු ලැබේ. දැන් ඔවුන්ට අවශ්‍ය ඔවුන් විසින් හඳුනාගත් මේ ආදි වාසීන්ගේ මානව අයිතීන් ආරක්‍ෂා කිරීමටය.

නමුත් ඇමරිකාවේ කැනඩාවේ සහ ඕස්ටේ‍ර්ලියාවේ වෙසෙන ආදි වාසීන්ගේ බටහිරුන් දකින මානව අයිතීන්වත් රැකෙන්නේ නැත. එය රැක දෙන්නේ කෙසේද යැයිවත් ඔවුහු නොදනිති. ඔවුන්ට උවමණාවක්ද නැත. වෙනසකට ඇත්තේ ඒ රටවල වෙසෙන ආදි වාසීන් ගැන කථා කිරීමට ලංකාවේ විදේශ අමාත්‍යංශයට බලයක් නැතිවීම පමණි. බටහිර අර්ථ දැක්වීමට අනුව ආදි වාසීන් යනු බටහිර සංස්කෘතියට අනුගත නොවී ජීවත්වීමට උත්සාහ කරන ජන කොටසකි. නමුත් ස්වභාවයෙන් බටහිර සංස්කෘතිය තුල ආරක්‍ෂාවිය හැක්කේ ඊට අනුගත වීම තුලින් පමණි. ඒ නිසා ආදි වාසීන් රකින බටහිරුන් යනු විරෝධෝක්තියකි (oxymoron). සිදුවිය නොහැක්කකි. බටහිර සංස්කෘතියට අනුගත නොවී ජීවත්වීමට උත්සාහ කරන කිසිම ජන කොටසකට බටහිර සංස්කෘතියෙන් සමාවක් නැත.

වැද්දන්ට පැවතිය හැක්කේ සිංහලුන් පැවතුනොත් පමණි. මෙතෙක් කල් වැද්දන්ට සිංහල ජාතියත් සමග ජීවත් වීමට හැකිවුනේ ඔවුන් සංස්කෘතියෙන් සිංහලත් නොවී සිංහල නොවෙන්නේත් නොවී ජීවත් වීමට දැන ගෙන සිටිය නිසාය. එමෙන්ම සිංහළුන්ද ඔවුන්ට එසේ ජීවත්වීමට ඉඩ දුන් නිසාය. නුවර පෙරහැරේ වැද්දන්ට තැනක් ලැබුනේ ඒ බැඳීම් උඩය. වැද්දෝද සිංහල බෞද්ධයින් දළදා වහන්සේට පුද සත්කාර කරන ආකාරයටම පෙරහැරේ ගමන් කරමින් දළදා වහන්සේට පුද සත්කාර කරති. එහිදී බැඳීමක් ඇතිවන්නේ එක්ව දළදා වන්ඳනාව කිරීම තුලිනි. ජාතික උත්සවයක්වූ නුවර පෙරහැර විවිධ ජන වර්ග එකට බැඳ තබා ගැනීමට භාවිතා කල හැකිය. නමුත් ඒ බැඳීම් ඇතිවිය යුත්තේ දළදා වන්ඳනාව තුලිනි. නුවර පෙරහැර දළදා වන්ඳනාව පසෙක තබා නරඹන්නන්ගේ ආතල් ගැනීම සඳහාවූ බහු සංස්කෘතික පෙරහැරක් වුවහොත් ඉන් ජාතියේ බැඳීමක් ඇතිවෙන්නේ නැත. ඉන් රැකෙනු ඇත්තේ බටහිර සංස්කෘතිය පමණි.

අවාසනාවට බටහිර සංස්කෘතිය ඉදිරියේ පරාජයට පත්වෙමින් පවතින සිංහල සංස්කෘතියට වැදි සංස්කෘතිය රැක දීමට තරම් ශක්තියක් නැත. යම් අහේතුවක් නිසා වනගත වුනු ස්පිට්ල් නම් බර්ගර් ජාතික වෛද්‍යවරයා විසින් රචිත සුදු වැද්දා නම් කථාවේ හිටි වැද්දා කොතෙකුත් උත්සාහ කලේ වනෙන් පිටවීමටය නැත්නම් වැදි බව නැති කර ගැනීමටය. අද බටහිරුන්ගේ ග්‍රහනයට හසුවී සිටින ආදි වාසීන් ලෙස හැඳින්වෙන අපේ වැද්දන්ටද සුදු වැද්දන් වෙනවා හැරෙන්නට වෙන කල හැකි දෙයක් නැත.

ආදි වාසී දින උත්සව සංවිධානය කරමින් වැද්දන් අන්ඳන්ට උත්සාහ කරන, ඔවුන් නොමඟ යවන, බටහිරුන්ට කල හැක්කේ වැද්දන්ට යම් වැදි කෑලි ටිකක් එල්ලා බටහිර සංස්කෘතියට ඇද දැමීමට පමණි. ඒ මුවාවෙන් එන් ජී ඕ බඩගෝස්තරවාදීන්ද සාක්කු පුරවා ගන්නවාට සැකයක් නැත. වැදි නායකයින්ට ඒ බව ඒත්තු ගොස් ඇත්නම් හොඳය. නමුත් මෙහි ප්‍රශ්ණය බඩගෝස්තරවාදීන්ගේ ආර්ථික සූරා කෑම පමණක් නොවේ. වඩා භයානක බටහිරුන් විසින් වැදි ජනයාව දේශපාලනිකව මෙහෙයවීමය. උප්පැන්නේ හා හැඳිනුම්පතේ වැදි අනන්‍යතාවක් සඳහන් කිරීමට ඉල්ලීම තුල දකින්නට හැක්කේ වැදි ජනයාගේ ආසාවකට වඩා ජාතිය කොටස් කිරීම සඳහා කටයුතු කරන දේශද්‍රෝහී බලවේග වල සෙවනැලිය. ඒ නිසා ඊනියා ආදි වාසී උත්සව ශ්‍රී ලාංකික දේශපාලනඥයින්ගෙන් තොරව පැවැත්වීමට දත කන දේශපාලන බලවේග වලින් වැද්දන් මෙන්ම සිංහළුන්ද පරිස්සම් විය යුතුය.

Friday, August 8, 2014

යකඩ මනස්

ලෝකයේ සැරිසරමින් සිටි නාථ වරක් දියුණු යැයි සැලකුනු මිනිසුන් සිටි රටකට සේන්දු විය. එරට මිනිස්සු නාථ සාදරයෙන් පිළිගත්හ. ඔවුන්ගේ ආගන්තුක සත්කාරවලට පැහැදුනු නාථ එහි කෙටි කාලයක් රැඳී සිටීමට ඉටා ගත්තේය. එසේ සිටින අතර නාථට වැඩි කලක් නොගොසින් එරට තාක්‍ෂණයෙන් අග තැන්පත්වූ රටක් බව පෙනී ගියේය. දියුණු රටේ එදිනෙදා ජීවන කටයුතු බොහොමයක් සිදු කෙරුනේ ස්වයංක්‍රීය යන්ත්‍ර සූත්‍ර මඟිනි. තාක්‍ෂණ ශිල්ප ආධාරයෙන් ඔවුහු ඉතා සුඛෝපභෝගී ජීවිත ගත කලහ. කෑම බීම සහ නිදා ගැනීම හැරෙන්නට මිනිසුන්ට ජීවත් වෙන්නට යැයි කියා කරන්නට දෙයක් තිබුනේ නැති තරම්ය.

කරන්නට දෙයක් නැත්නම් ඔවුන් සාමාන්‍යයෙන් දවස ගතකරන්නේ කෙසේදැයි සොයා බලන විට නාථට දැන ගන්නට ලැබුනේ දියුණු රටේ මිනිසුන් දවසින් වැඩි කාලයක් ගත කලේ තමන්ගේ කායික සහ මානසික වර්ධනය සඳහා බවය. එහි ප්‍රතිඵලද පෙනෙන්නට තිබිනි. ඇඟ වෙහෙසා වැඩ කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබුනත් දියුණු රටේ මිනිස්සුන්ට හොඳ කාය ශක්තියක් තිබුනි. ඔවුහු බුද්ධිමත්ද වූහ. කථා බහ කරනවිට ඉතා තර්කානුකූලව අදහස් ප්‍රකාශ කලහ. ඔවුන්ට තියුණු ධාරන ශක්තියක්ද තිබිනි. මුලදි මුං නම් මාර පොරවල් ටිකක් යැයි සිතුනද කලක් අවෑමෙන් දියුණු රටේ මිනිසුන්ගේ යම් යම් අඩුපාඩු නාථට පෙනේනට පටන් ගත්තේය. තම රටේ සාමාන්‍ය මිනිසෙකුට පවා තේරෙන (උදාහරණයක් වශයෙන් තව කෙනෙකු දුකට පත්වී සිටීම) දේවල් මේ දියුණු මනසක් ඇත්තන්ට නොතේරෙන බව නාථට වැටහිනි.

මේ වෙනසට හේතුව සොයා ගන්නා අටියෙන් දියුණු රටේ තම මිතුරෙක්ගෙන් ඔවුන් මානසික වර්ධනය සඳහා කටයුතු කරණාකාරය විමසා සිටියේය. "අපි අපේ මනස වර්ධනය කරගන්නේ තාක්‍ෂණය භාවිතා කරගෙනය. අපි නොයෙකුත් ඖෂධ වර්ග යොදාගෙන මොළයේ ස්නායු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරගෙන සිටින්නෙමු. ඊට අමතරව නොයෙකුත් තාක්‍ෂණික උපකරණ මොළයට බද්ධ කරගෙන සිටින්නෙමු. ඒ හරහා ස්නායු සම්බන්ධන හැකියාව සහ වේගය දහස් ගුණයකින් වැඩි කර ගැනීමට අපට හැකිය. මේ නිසා ඔබේ මනසින් කල නොහැකිදේ බොහොමයක් අපට ඉතා සුළු කාලයකින් කර ගත හැකියැයි" ඔහු කියා සිටියේය.

නාථට කාරණය තේරුනි. ඔහු දියුණු රටේ තම මිතුරා අමතමින් මෙසේ කීවේය. "මිත්‍රයා ඔබලාට ඔබේ මනසේ ධාරිතාව වැඩි කර ගැනීමට හැකිවී තිබුනත් අපේ රටේ සාමාන්‍ය මිනිසුන්ට ඇති ඉව ඔබලාට නැත. ඔබලා තාක්‍ෂණයෙහි සරණ යෑමෙන් සිදුව ඇත්තේ මිනිස් මනසක් දියුණු කර ගැනීමට වඩා මිනිස් බවින් ඈත්වී යන්ත්‍රවලට කිට්ටු වීමය. අපේ රටේ සාමාන්‍ය මිනිහෙකුට අවබෝධ වෙන සමහර දෑ ඔබලාට දැන ගන්නට විදිහක් නැත. ඔබලා දැනුම ලබා ගන්නේ යන්ත්‍රාණුකුලවය". එසේ කියා මට නම් ඔබලාගේ මානසික වර්ධනය එතරම් මැජික් නොවේ යැයි නාථ පැවසීය.

මෙය ඇසූ මිතුරාට මළ පැන්නේය. ඔහු වහා ගොස් එරට විද්වත් සමුළුවට නාථ ගැන කේලම් කීවේය. විද්වත් සමුළුව ජන මාධ්‍ය අමොරාගෙන පැමිණ නාථට තමන් කී දේ ඔප්පු කරන මෙන් බල කර සිටියේය. වඳින්ට ගිය දේවාලය ඉහ කඩා පාත්වුනා වැනිය. ඉවක් නැති මිනිසුන්ට ඉවක් ගැන කියා දෙන්නේ කෙසේදැයි දැන් නාථ කල්පනා කරන්නට විය. එසේ කල්පනා කරමින් සිටින අතර නාථටත් නොකියා විද්වත් සමුළුව නාථ වැරදියැයි ඔප්පු කරන්නට ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණයක් සූදානම් කලහ. නාථ බලාපොරොත්තුවුනු පරිදිම විද්වතුන් ඉව ගැන කිසි දෙයක් ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණයට අයත් කර තිබුනේ නැත. නමුත් වෙන දෙයක් වෙද්දෙන් කියා නාථද පරීක්‍ෂණයට පෙනී සිටියේය.

පරීක්‍ෂණයට තිබුනේ ගණිත ගැටලු විසඳීමය. අහඹු ලෙස තෝරා ගැනුනු දියුණු රටේ මිනිසෙකුටත් නාථටත් එකම ගණිත ගැටළුව දී මුලින්ම විසඳන්නේ කවුදැයි බැලිනි. මුලින්ම ලැබුනේ ආචාර්ය උපාධියට ලැබෙන තරමේ ගැටළුවකි. එය වරක් කියවූ නාථ එය විසඳීමට තරම් දැනුමක් තමන්ට නැතැයි පැවසීය. ඊලඟට ලැබුනේ ඒ ලෙවල් තරමේ ගණනකි.  එයද ඉවත දැමුනේ නාථ උසස් පෙළ සඳහා ගණිතය හදාරා නොතිබුනු බැවිනි. ඊලඟට ලැබුනු ඕ ලෙවල් තරමේ ගැටලුව නාථ පැය භාගයකින් නිම කරද්දී අර මිනිහා එය මිනිත්තුවකින් විසඳා තිබිනි. එහෙනම් පහේ පංතියේ ගණනක් දෙන්නැයි නාථ කල ඉල්ලීමට අනුව එයද ලැබිනි. ඊට නාථ විනාඩි දෙකක් ගත් අතර අර මිනිහා ගත් කාලය බිංදුව යැයි සඳහන්ව තිබුනේ ඒ කුඩා කාලය මැන ගැනීමට තරම්වත් කාල ගණකය සංවේදී නොවුනු බැවිනි. පැහැදිලිවම නාථ පරීක්‍ෂණයෙන් පැරදිනි. පස්වනක් පිනා ගිය විද්වත්හු ජය ප්‍රකාශ කර සිටියහ. මාධ්‍ය සම්මන්ත්‍රනයක් කැඳවා ඊනියා ඉවක් ගැන කියන නාථ කථා බොරු බවත් තාක්‍ෂණයේ පිහිටෙන් තම මනස් ඉතා දියුණු තත්වයකට පැමිණි ඇති බවත් ඔවුහු කියා සිටියහ. මාධ්‍ය සම්මන්ත්‍රනය අස්සේ හදිසියේම නාථට අදහසක් පැන නැගිනි. පොඩ්ඩක් හෝව් කියා සම්මන්ත්‍රනය නවතා ගත් නාථ තව එකම එක ගණිත ගැටළුවක් සඳහා අවසර දෙන මෙන් ඉල්ලා සිටියේය. විද්වත්හු ඊට ඉඩ දුන්හ.

ගැටළුව මෙයයි. මේසයක් මත ඇති හිස් වැසුමකින් ගල් කැට කිහිපයක් වසා ඇත. හිස් වැසුම ඉවත් කල සැණින් එහි සැඟවී තිබුනු ගල් කැට ගණන ගනන් කල යුතුය. නමුත් එහි තිබිය හැක්කේ එක්කෝ ගල් කැට දෙකකි නැත්නම් තුනකි. ඊට වඩා අඩු හෝ වැඩි විය නොහැකිය. මේ ගණනය සඳහා යන කාලය ඉතා කුඩාවූවක් බැවින් හිස් වැසුම ඉවත් කිරීමත් ගල් කැට ගණන මොළයේ සටහන්වීමත් අතර කාලය ස්වයංක්‍රීයව මැන ගැනීම සඳහා නාථගේත් අනිත් තරඟ කරුවාගේත් මොළයට ඉතා සූක්‍ෂම ලෙස විවිධ උපකරණ සවි කෙරිනි. දැන් තරඟය ආරම්භවිනි. පුදුමයෙනුත් පුදුමයකි තප්පරයෙනුත් දාහෙනුත් පංගුවකින් පමණ සුළු කලයකින් නාථ ජය ගත්තේය. තරඟය කිහිප වාරයක් පැවැත්වුනු අතර වාරයක් වාරයක් පාසා නාථ නූලෙන් දිනුවේය.

දියුණු රටේ විද්වතුනට දැන් බරපතල ප්‍රශ්ණයකි. ඔවුහු තම මොළ වල සවි කරගෙන ඇති උපකරණ නවීකරණය කර ගත යුතුයැයි කල්පනා කලහ. ඒ අතර නාථගේ (ව්‍යාජ) මිතුරා පැමිණ තරඟයෙන් දිනුවේ කෙසේදැයි හෙමින් නාථගෙන් විමසා සිටියේය. "ඔබලා ගල් කැට කීයක් ඇත්දැයි දැන ගන්නේ එක දෙක තුන යැයි ගණන් කරලාය..හරියට පරිගණකයක් ගණනය කරන ලෙසටය....ඒ ඔබේ මනස් ක්‍රියා කරන්නේ යන්ත්‍රයක් මෙන් නිසාය...නමුත් මම එහෙම නොවේ මට දුටු විටම එහි ගල් කැට  කීයක් (දෙක හෝ තුන) ඇත්දැයි තේරෙනවා...එය අපේ රටේ ඕනෑම කුඩා දරුවකුට වුනත් පිළිවනි...මට ගණන් කරන්ට අවශ්‍ය නැති බැවින් මට ඔබලාට වඩා ඉක්මණින් දැන ගත හැකිය" යැයි කියා සිටියේය.

දියුණු රටේ මිනිසුන් තාක්‍ෂනයෙන් යන්ත්‍ර දියුණු කරනු වෙනුවට ඔවුන්ගේ මනස් තව තවත් යන්ත්‍ර බවට පත් කරමින් සිටින බවත් ඒ නිසා සාමාන්‍යයෙන් මිනිසුන්ට හිමි චිත්ත හැකියාවන් ඔවුන්ට නැති බවත් පවසා නාථ වහා එරටින් පිටවී ගියේය.

 තව නාථ කථා
අද-ලොව සහ හෙට-ලොව

ගැලීලියෝ සහ නාථ

Monday, August 4, 2014

සිවුරු පොටේ එල්ලෙන කපටි ආරක්‍ෂකයෝ

විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම යන තනි කාරණය සඳහා පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීම පහත් මට්ටමේ දේශපාලන උපායක් මිස ඇතමෙක් අර්ථ දැක්වීමට ඉඩ ඇති ආකාරයට ඊනියා දේශපාලන ප්‍රවාදයක් නොවේ. එහි නිර්මාතෘවරයා තමන් යැයි කුමාර් ඩේවිඩ් මහතා දි අයිලන්ඩ් පත්‍රයට ලියමින් අපට නොකියා කියයි. අපි ඔහුට ඒ ගෞරවය අඩු නැතිව හිමි කර දෙමු. කොටි ත්‍රස්තවාදීන් පරාජය කල සමයේ සිටන්ම ඒ මහතා මේ රජය පෙරලීම සඳහා අනුන්ට උපදෙස් දී ඇති නමුත් මෙතෙක් ඔහුගේ පැතුම් ඉටුවී නැත.

පොදු ජනාධිපති අපේක්‍ෂකයෙකු වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමිගේ මූලිකත්වයෙන් සංවිධාණයක් පිහිටුවාගෙන ඇත. නමුත් විධායක ජනාධිපති පදවියට හිමි බලතල තමන්ට හිමිවනවෙනවා නම් මේ සෙට් එකේ කිසි කෙනෙකු පුද්ගලිකව ඊට අකමැති වෙතැයි සිතිය නොහැකිය. පොදුවේ ඔවුන්ට අවශ්‍ය කිසියම් ආකාරයකට හෝ බලයට පත්වීමට මිස ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නොවේ. නමුත් ඔවුන්ට තනි තනිව මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට තරම් ශක්තියක් නැත. එසේ කිරීමට නම් ඔවුන්ට දේශපාලන වශයෙන් සංධානගත විය යුතුය. එහි වරදක් නැත. නමුත් ඔවුන්ගේ විවිධ දේශපාලන ස්ථාවර ජනතාව හොඳින් දන්නා නිසා ඔවුන්ට ලැජ්ජාවක් නැතිව එකම වේදිකාවක හිඳ ගැනීමට නොහැකිය. විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම යන රෙද්ද නිර්මාණය කරදී ඇත්තේ ඒ ලැජ්ජාව වසා ගැනීමටය. සෝභිත හාමුදුරුවෝ තාවකාලිකව හෝ එම සෙට් එකේ මුලසුනෙහි තැබෙන්නේ ඉහත කී රෙද්ද සිවුරක් බවට පත්කර ඊට සද්බවක් ලබා දෙන්නටය. අවශ්‍යවී තිබුනේ සෙට් එකේ සියල්ලටම එකඟවිය හැකි කිසියම් කරුණක් පමණි. විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීම තෝරා ගැනෙන්නේ ඒ අනුවය. පොදු අපේක්‍ෂකයා තනි කාරණයක් වෙනුවෙන් පමණක් පෙනී සිටිය යුතු බව ඩේවිඩුත් සෝභිත හමුදුරුවෝත් පුණ පණා කියන්නේ එසේ නොවුනොත් මේ කපටි සෙට් එක නොකැඩී තබා ගැනීමට අපහසු වෙන බැවිනි. සාමාන්‍ය ජනතාවට කෙසේ වෙතත් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම මේ සෙට් එකට කොතරම් වැදගත්දැයි පෙනේ.

බුද්ධාගම පාවාදෙයි යන මැයින් ස්ටැන්ලි තම්බයියා ලියු කුප්‍රකට පොතේ මුල් පිටුවේ තිබුනේ සෝභිත හාමුදුරුවන්ගේ රූපයකි. ලිබරල්වාදීන් වන මේ කපටි සෙට් එකේ බොහෝ දෙනෙකු එකල ඒ පොත තලුමරමින් රස විඳින්නට ඇතැයි සිතිය හැකිය. නමුත් මොවුන් අද කියනු ඇත්තේ ඒ රූපයෙන් පිලිඹිබු වෙන්නේ පොදුවේ සිංහල බෞද්ධ ඊනියා ස්වෝත්තමවාදීන් මිස පුද්ගලිකව සෝභිත හාමුදුරුවන් නොවන බවය. සිංහල බෞද්ධයෝ වත්මන් සෝභිත හාමුදුරුවෝ කෙසේ වෙතත් එදා සිටි සෝභිත හාමුදුරුවන්ව නම් ජාතික ව්‍යාපාරයෙන් වෙන්කර හඳුනා ගත්තේ නැත. මේ කපටි ආරක්‍ෂකයින් කියන්නේ ඔවුන් එසේ වෙන් කරගත් බවක්ද? එදා ඔවුන්ට සෝභිත හාමුදුරුවන්ට සෘජුවම පහර ගැසීමට උවමණාවක් නොතිබුනු බවක් කියයි නම් එය පිළිගත නොහැකිය. මේ ආකාරයටම මොවුන් මහින්ද රාජපක්‍ෂ මහතාත් විධායක ජනාධිපති පදවියත් වෙන් කර හඳුනාගන්නා ලෙස සිංහල බෞද්ධයින්ගෙන් ඉල්ලා සිටිනු ඇත. එසේ වෙන් කර ගන්නේ නැතිව පොදු අපේක්‍ෂකයාට ඡන්දෙන් දිනිය නොහැකිය. නමුත් ඒ වෙන්කිරීම සිදුවෙන දෙයක් නොවේ. කෙසේ වෙතත් විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමට ජේ ආර් සමයේ තිබුනු අවශ්‍යතාව අද ජනතාවට නැත. එය දේශපාලන තේමාවක් වෙන්නේ ජනතාව එක් කර ගැනීමට නොව කපටි ආරක්‍ෂකයින් එකට තබා ගැනීමට පමනි.

සාර්ථක වුනොත් මොවුන්ගේ ව්‍යාපාරය ජනාධිපතිවරණය දිනීමෙන් නතර නොවනු ඇත. එසේ දිනූවොත් ජනාධිපති පදවිය ඉවත් කිරීම උදෙසා ව්‍යවස්ථාව වෙනස් කෙරෙනු ඇතැයි විශ්වාස කල හැකිද? ඒ සඳහා ජනතාවට ඔවුන් ලබා දෙන සහතිකය කුමක්ද? ව්‍යවස්ථාව වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍යය. පවතින පාර්ලිමේන්තුව ඊට අවශ්‍ය ඡන්දය ලබා නොදුනහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියවේ. ඊලඟට පත්වන පාර්ලිමේන්තුවෙන් ඒ සඳහා ඡන්දය ලැබෙයිද? එසේ නොවුනොත් පොදු අපේක්‍ෂකයා ජනාධිපති කමෙන් ඉල්ලා අස්වෙන්නේද? ඒ සඳහා ඇති සහතිකය කුමක්ද? මෙවැනි ප්‍රශ්ණ ගැන කපටි ආරක්‍ෂකයින් උනන්දු නොවන්නේ ඔවුන්ට වැදගත් වන්නේ විධායක ජනාධිපති කමක් නැති කිරීම නොව කෙසේ හෝ ලබන වර විධායක ජනාධිපති තනතුරට පත්වීමට පමණක් බැවිනි. කවුරු හෝ පොදු අපේක්‍ෂකයා වෙන තැනැත්තා ඊලඟ ජනාධිපතිවරණයෙන් දිනුවොත් ජනාධිපති පදවිය ඉවත් කිරීම කෙසේ වෙතත් සිංහල බෞද්ධයින් මර්ධනය කිරීම සඳහා දැඩි දේශපාලන පියවර ගෙන එනු නිසැකය. එක් කාරණයක් පමණක් සඳහා යැයි කීවද මොවුන්ගේ විවිධවූ සිංහල බෞද්ධ විරෝධී මතවාද වලින් ඔවුන්ට වෙන්වී සිටිය නොහැකිය. දැන්ම බළලා මල්ලෙන් එලියට නොදැමීමට සෝභිත හාමුදුරුවෝත් කුමාර් ඩේවිඩුත් බොහෝ වෙර දමනු බව පෙනේ.