Wednesday, July 9, 2014

ජාතික උත්සව

අවුරුදු, වෙසක් සහ පොසොන් උත්සවද දළදා පෙරහැරද හැරුනුවිට ජාතික උත්සව ලෙස සැලකිය හැකි වෙන උත්සවයක් සිංහළුන්ට ඉතිරි වී නැත. මේ අතරිනුත් වෙසක් උත්සවය බුදු දහම හා සෘජුවම බැඳී ඇති ලොව සියලු බෞද්ධයින්ට වැදගත් වන උත්සවයකි. නමුත් පොසොන් උත්සවය එසේ නොවේ එය විශේෂයෙන් වැදගත් වන්නේ සිංහල බෞද්ධයින්ටය. ඒ මිහිඳු රහතන් වහන්සේ හා සිංහල බෞද්ධ සංස්කෘතිය අතර ඇති සම්බන්ධය නිසාය. මහින්දාගමනය සිංහල බෞද්ධ සංස්කෘතියට අනන්‍යතාවක් ලබාදුන් විශේෂතම සිදුවීම ලෙස සැලකිය හැකිය. සංස්කෘතියක ආරම්භක අවස්ථාවක් ලෙස පැහැදිලිවම දැක්විය හැකි කරුණක් වසර දෙදහසකටත් වඩා වැඩි කාලයකට පසුවත් ජාතික උත්සවයක් ලෙස සමරන අන් ජාතියක්වේ දැයි සැක සහිතය. පොසොන් උත්සවය සිංහල බෞද්ධ සංස්කෘතියේත් සිංහලුන්ගේත් අඛන්ඩ පැවැත්ම විදහාපාන උත්සවයක් ලෙස හැඳින්විය හැකිය. නමුත් අද කුමන හේතුවක් නිසා හෝ සිංහළුන්ට අනන්‍යවූ සංස්කෘතිකාංග පොසොන් උත්සවය තුල එතරම් දකින්නට නැත. (ඒ හෙළයින් ඒ ගැන තැකීමක් නොකල නිසාද?)

ඒ අතින් ගත්විට අවුරුදු උත්සවය ස්වභාවිකවම සිංහල සංස්කෘතිකාංග වලින් පිරුනකි. නමුත් අළුත් අවුරුද්ද දිවයින පුරා එක විට සැමරුවත් ප්‍රායෝගිකව එහි ක්‍රියාකාරකම් වෙසක් පොසොන් උත්සවවල තරම් සාමූහික බවක් ගන්නේ නැත. ඒ උත්සව හා සසඳන විට අවුරුදු උත්සවයේ වැඩි අවධානයක් ලැබෙන්නේ පවුල නැත්නම් ලඟම නෑදෑ හිත මිතුරන් අතර කෙරෙන ක්‍රියාකාරකම් වලටය. වැඩිම වුනොත් ඒ කටයුතු ගම් ප්‍රදේශයට හෝ සීමා වේ. එහි වරදක් නැත. එය එසේ විය යුතුය. නමුත් සමූහයක් වශයෙන් සහභාගීවෙන සංස්කෘතිකාංග වලින් පිරි ජාතික උත්සවද සිංහළුන්ට අවශ්‍යයය. මා සිතන අන්දමට මේ කරුණු දෙකම සඵල වන්නේ දළදා පෙරහැරෙහිය. නමුත් අවාසනාවකට දළදා පෙරහැරට අද ජාතික උත්සවයක් වශයෙන් හිමිවිය යුතු ගෞරවය හා වැදගත් තැන හිමි නොවන්නේ මහනුවර රේස් පැදීම නිසා පමණක් නොවේ. මහනුවර හා ඒ අවට වැසියන් හැරුනුකොට මෙරට සෙසු ජනයා දළදා පෙරහැරට ලබා දෙන්නේ විදෙස් සංචාරකයින් ඊට ලබා දෙන වැදගත්කමමය. එය සුදුසු නොවේ. ප්‍රමාණවත්ද නොවේ.

සමූහයක් වශයෙන් සහභාගීවෙන සංස්කෘතිකාංග වලින් පිරි උත්සව ජාතිකානුරාගය ඇති කරවයි. එවැනි ජාතික උත්සව ජාතියක් සතුවිය යුතුය. එහි ගොඩනැඟෙන මිනිස් සම්බන්ධතා නිසාත් එහි නිර්මාණශීලීත්වයට ඇති අවකාශය නිසාත් ජාතික උත්සව ඉතිහාසය උගන්වනවාටත් වඩා ජාතියේ පැවැත්මට උදව් වේ යැයි සිතිය හැකිය. ඒ නිසා  නිතර නිතර බෞද්ධයින් පන්සිල්හි පිහිටුවන්නාක් මෙන් ජාතික උත්සවද නිතර පැවැත්වීම ජාතියට ගුණය. නමුත් ජාතික නිවාඩු දින කෙතරම් තිබුනත් සිංහළුන්ට එතරම් ජාතික උත්සව නැත. සිංහළුන්ට සාපේක්‍ෂව ඉතා කෙටි ඉතිහාසයක් ඇති ඇමරිකානුවන්ට සිංහළුන්ට වඩා ජාතික උත්සව ඇත.

ඇමරිකානුවෝ ජූලි හතර වෙනිදා ඔවුන්ගේ නිදහස සැමරූහ. ඒ වෙනුවෙන් රට පුරා ලොකු කුඩා නගරවල උත්සව පැවැත්වුනු අතර ඇමරිකානුවෝ ඉතා උද්යෝගයකින් ඊට සහභාගීවූහ. ඒ හැම උත්සවයකම පාහේ පෙරහැරද විය. මේ පෙරහැර සිංහළුන්ගේ පංසල් දේවාල වල කෙරෙන පෙරහැර හා සමාන නොවුනත් අපේ පෙරහැරවල මෙන්ම ඒ පෙරහැරවලද උපහාර දැක්වෙන්නේ ගෞරවපුද කෙරන්නේ වෙන කිසිවකටත් නොව එරට සංස්කෘතියටය. ඇමරිකානු නිදහස් උත්සවය එහි වැසියන් සමූහයක් වශයෙන් සහභාගීවෙන ජාතික සංස්කෘතික උත්සවයකි. උගතුන් කෙතරම් විරුද්ධව හඬ නැඟුවත් ඇමරිකානුවන් තම නිදහස් දිනට දෙන වැදගත්කම සිංහළුන් ජාතියක් වශයෙන් රණවිරුවන් සිහිකිරීමට හිමි කරනොදෙන බව මහේ හැඟීමය.

පොදුවේ බටහිරුන්ගේ ක්‍රීඩා උත්සවද ජාතික සංස්කෘතික උත්සව ලෙස හැඳින්විය හැකිය. අද ලොව පුරා ජනප්‍රිය වී ඇත්තේ බටහිර ක්‍රීඩා නිසා පාපන්දු ක්‍රිකට් වැනි ක්‍රීඩා තරඟ සංස්කෘතික උත්සව ලෙස හැඳින්වූයේ නැති වුනද අපේ ඇසින් බලනවිට මේ ක්‍රීඩා උත්සව බටහිර සංස්කෘතික උත්සවම වේ. බටහිරුන්ද එසේ නොසලකන්නේ යැයි කිව නොහැකිය. ඇමෙරිකානුවෝ විශේෂයෙන් බේස් බෝල් ක්‍රීඩාවට ජාතික ක්‍රීඩාවක් වශයෙන් සලකමින් මහත් ගෞරවයක් දක්වති. වසරේ ආරම්භක බේස් බෝල් තරඟය වීදි පුරා පෙරහැර ගොස් උත්සවාකාරයෙන් පැවැත්වේ. බොහෝවිට රාජ්‍ය නායකයින්ද ඊට සහභාගීවේ. සියලු තරඟ ආරම්භයේදී ජාතික ගීය ගැයේ. මෙහි සිදුකෙරෙන්නේ ඔවුනගේ සංස්කෘතිය ගැන ආඩම්බරවීම ඊට ගෞරවපුද කිරීම නොවේ නම් වෙන කුමක්ද? එංගලන්තයේ ලෝඩ් පිටියේ ගාම්භීර ලෙස ටෙස්ට් තරඟ නරඹන ඉංග්‍රීසී ජාතිකයින් කරන්නේ තමන්ගේ සංස්කෘතිය සංදර්ශනය කිරීමක් නොවේද? ක්‍රීඩා තරඟ නිතර පවත්වන බැවින් බටහිරුන්ට සිය සංස්කෘතිය ඔසවා තැබීමට නොමඳව අවස්ථා ලැබේ. නමුත් සිංහළුන්ට ක්‍රීඩා හරහා එය කල නොහැකිය. අපිට ක්‍රිකට් තරඟ හුදු තරඟ පමනි.

ජාතියක් වශයෙන් සමරන සංස්කෘතිකාංග වලින් පිරි ජාතික උත්සව සිංහළුන්ට අවශ්‍යයය. දළදා පෙරහැර හුදු සංචාරකයින්ගේ විනෝදාස්වාදයට සින්නවෙන්නට ඉඩ නොහැර ජාතික සංස්කෘතික උත්සවයක් බවට පත් කරගත යුතුය.

2 comments:

  1. එතොකට ටෙස්ට් මැච් එකක් පරාද වුනාම ඔවුනට තම සංස්කෘතියම පරාද වුනා වගේ හැගීමක් එනව ඇති...

    ඒක උන්ගෙ සංස්කෘතිය විදහා දැක්වීමක් කියල මට හිතෙන්නෙ නැත්තෙ, දැන් ටෙස්ට් මැච් අභාවයට යන නිසා. උන් ඒක රැක ගන්න දඟලනවා ඇති.. ඒත් ගොඩ ඒමක් නැහැ. කාලය කා දැමීමක් විතරයි...

    ඒත් දළඳා පෙරහැර බලන්න සුද්දෝ පොරකාගෙන එන්නේ.. ඒක අපිට ආඩම්බරයක් වගේම ඔබ කියන ආකාරයට සංස්කෘතික උත්සවයක් බවට පත් කළ යුතුමයි !

    ReplyDelete
  2. ජාතික උතත්සව තනමින් පිටුවක් සැකසීමට නොහැකි බවිකිපීඩියා අනවශ්‍ය කතා හා වෙනත් ආගම පිලිබද පිටු සැකසීමට යන්නේ ඇයි.

    ReplyDelete