Wednesday, July 30, 2014

ප්‍රශ්ණ අවුල් කිරීම

කලකට ඉහතදී අරාබියේදී හිස ගසා දැමුනු රිසානා දැරිය වෙනුවෙන් සාමාන්‍ය සිංහලයෝ දුකට පත් වෙමින් එළිපිට හඬ නගද්දී මෙරට බොහෝ මුස්ලිම් ලේඛකයින්ට හා දේශපාලකයින්ට ඈ වෙනුවෙන් පෙනී සිටින්නට තරම් කොන්ද පණ තිබුනේ නැත. ඔවුහු එක්කෝ කුරාණයේ ඇති යමක් පෙන්වමින් හෝ අරාබියේ හැටි එහෙම තමා යැයි කියමින් හෝ නිවට ලෙස ඇඟ බේරා ගත්හ. නමුත් සාමාන්‍ය සිංහලයින්ට ඒ ගැන දෙගිඩියාවක් තිබුනේ නැත. මෙරට සාමාන්‍ය මිනිස්සු ප්‍රශ්ණ දෙස බලන්නේ සංයුක්තවය, ඔවුහු හැඟීම් නොසලකා නොහරිති, උවමණාවට වඩා තර්කයේ එල්බ නොගනිති. සාධාරන වශයෙන් ගත්විට ඔවුන් අවසානයේ සිංහල බෞද්ධ සංස්කෘතියේ පිහිටා නිවැරදි තීරණ ගැනීමට සමත් වෙන අතර උගත්තු උගත්කම නිසාම නිකරුනේ ප්‍රශ්ණ අවුල් කර ගනිති.

සමහර උගත් මුස්ලිම් ලේඛකයින් සිතන්නේ මුස්ලිම් ප්‍රශ්ණය ජාත්‍යාන්තරකරණය කිරීමෙන් ඔවුන්ට යම් සහණයක් අත්විය හැකි බවය. ඔවුන්ගේ ජාත්‍යන්තරයේ ආසියාව නැත. මාලදිවයිනේ, ඉංදියාවේ, පකිස්ථානයේ මැලේසියාවේ හෝ ඉන්දුනීසියාවේ ජීවත්වන මුස්ලිම්වරුන්ට නැති ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් ගැන දුකක් අරාබිකාරයන්ට හෝ බටහිරුන්ට ඇතැයි ඔවුන් සිතනවාද? අඩුතරමින් තෙවරප්පෙරුම මහතා මුස්ලිම්වරුන් වෙනුවෙන් පෙනීසිටියේ බොක්කෙන්ම ඔහුට ඔහුගේ සමීපතයන් පිළිබඳව සිත් උණුවුනු නිසා යැයි සිතිය හැකිය. සිංහල බෞද්ධයින්ව අවඥ්ඥාවට ලක්කරන බටහිර තානාපතිවරුන්ටත් මෙරට මුස්ලිම් ජනයා ගැන එලෙසම සිත් උණුවෙනවා යැයි සිතිය හැකිද? මුස්ලිම් විරෝධී උගත් සිංහලයන්ද තෙවරප්පෙරුමත් බටහිර තානාපතිවරුනුත් එක ගොඩට දමන්නේ නම් ඔවුන්ද කරන්නේ ප්‍රශ්ණය අවුල් කර ගැනීමක් පමණි.

ලොව සියලු මුස්ලිම්වරුන් අතර සහෝදරත්වයක් ඇතැයි කීම බොරුවක් බව ඒ රටවල මුස්ලිම් කල්ලි අතර සිදුවෙන ගැටුම් වලින් පෙනී යා යුතුය. ඒක දේව වාදී සංස්කෘතීන් අතරින් මුස්ලිම් සංස්කෘතිය ක්‍රිස්තියානි සහ යුදෙව් සංස්කෘතීන්ට වඩා කේන්ද්‍රීය බල වටා රංචු ගැසීමට ප්‍රවණතාවක් ඇතැයි සිතිය හැකිය. නමුත් ඒ රංචු ගැසීම සිදුවන්නේ සාමූහිකත්වයක් පදනම් කරගෙන නොවේ. කුරාණයේ උගැන්වීම් පිලිගැනීම පමණක් පදනම්ව විවිධ රටවල වෙසෙන මුස්ලිම් මිනිසුන් අතර ආධ්‍යාත්මික බැඳීම් ඇතිවේයැයි සිතිය නොහැකිය. ආසියාතික රටවල සිට අරාබි කරයේ රැකියාව සඳහා යන මුස්ලිම්වරුන් එහිදී වැඩිපුර සෙට් වෙන්නේ මුස්ලිම් හෝ මුස්ලිම් නොවන ආසියාතිකයින්ටම මිස එරට අරාබිකාරයන්ට නොවේ නේද? මෙරට සිංහල බෞද්ධයින් නොසලකා හරිමින් ලොව සියලු මුස්ලිම්වරුන් තමුන් පසුපස සිටිතැයි ශ්‍රී ලාංකික මුස්ලිම් උගතුන් සිතන්නේ නම් එය බරපතල වැරදීමකි. එලෙස සිතන මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධයින්ද කරන්නේ අනවරත මුස්ලිම් බියක් ඇති කිරීම පමණි. මේ දෙගොල්ලන්ම කරන්නේ ප්‍රශ්ණය අවුල් කිරීමය. මෙරට ක්‍රියාත්මකවේ යැයි සැලකෙන මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ක්‍රියාකරන්නේ යම් කේන්ද්‍රීය බලපෑමක් උඩ මිස ඊනියා මුස්ලිම් සාමූහිකත්වයක් පදනම් කර ගෙන නොවේ. එවැනි සංවිධාන නැතිකර දැමීමට පොදු මුස්ලිම් බියක් පදනම් කරගත යුතු නැත.

තවත් සමහර සිංහල බෞද්ධ උගත්තු තමන් ඊශ්‍රායලයේ යුදෙව්වන්ට සමාන කර ගනිති. එසේ කරමින් මෙරට මුස්ලිම් ප්‍රශ්ණයට පිළිතුරු සොයති. ඊශ්‍රායලය කලකට ඉහතදී ශ්‍රී ලංකා රජයට ආයුධ විකුණු බව ඇත්තකි. එමෙන්ම එරට ඔත්තු සේවාව මුල් කාලයේදී කොටි ත්‍රස්තවාදීන් පුහුණු කල බවටද කථා තිබුනු බව අමතක කල නොහැකිය. ඒ කෙසේ චෙතත් සිංහල බෞද්ධ සංස්කෘතියත් යුදෙව් සංස්කෘතියත් අහසට පොලව මෙන් වෙනස්ය. අපිට වැදගත් වන්නේ මෙරට වාසය කරන මුස්ලිම්වරුන් සිංහල බෞද්ධ සංස්කෘතියට යලි අවශෝෂණය කර ගන්නේ (සිංහල කිරීමවත් බෞද්ධ කිරීමවත් නොවේ) කෙලෙසද යන්නය. ඒ කථාවට ඊශ්‍රායලය හෝ පලස්තීනය හෝ සිරියාව ඈඳා ගැනීම ප්‍රශ්ණය අවුල් කර ගැනීමක් පමණි.

වාසනාවකට මෙරට සාමාන්‍ය මිනිසුන්ට උගතුන්ට වඩා හොඳින් ප්‍රශ්ණ තේරුම් ගැනීමට හැකියාවක් ඇත. ඔවුහු ප්‍රශ්න දෙස සංයුක්තව බලන්ට දනිති. ඔවුහු හැඟීම් නොසලකා නොහරිති, උවමණාවට වඩා තර්කයේ එල්බ නොගනිති. මුස්ලිම් මෙන්ම සිංහල උගතුන්ද කල යුත්තේ සාමාන්‍ය මිනිසුන්, විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්, රිසානා දැරිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ආකාරය තේරුම්ගෙන ඊට අනුකූලව හැඩ ගැසීමය. එහිදී මුස්ලිම්වරුන් මෑතක සිට සිතා මතා කරන ක්‍රියාකාරකම් නිසා මෙරට සංස්කෘතික සමබරතාව කෙලසෙන බව මුස්ලිම් නායකයින් දැනගත යුතුය. පිලිගත යුතුය. ඒ ගැන ප්‍රසිද්ධියේ කථා කරමින් එය නිවැරදි කිරීමට කටයුතු කල යුතුය. සිංහල නායකයින්ද කල්ලිවාදී නොවී එලෙස කටයුතු කරන මුස්ලිම් නායකයින් තමන්ට එක් කර ගත යුතුය. එලෙස කටයුතු නොකරනවුන් පන්නා දැමිය යුතුය.

2 comments:

  1. පලස්තීනෙයි ඊශ්‍රායලයෙයි තියෙන්නෙ වෙනමම සිද්ධියක්. 'මොකා උනත් කමක් නැහැ තම්බින්ට නෙලනවනම්' කියන පදනමින් 'අසිරිමත් ඊශ්‍රායලය්ක්' ගැන ලියපු එක නම් අන්තිම ගොං පාට් එකක්.

    -ප්‍රභංග

    ReplyDelete
  2. ඊස්‍රායලය මඟින් අපට ගතහැකි වැදගත් ආදර්ශයක් තියෙනවා ඒ ඉංග්‍රීසීන්ගේ හැසිරීම පිළිබඳව
    මුලින් පලස්තීනය අයිති වෙලා තිබුනේ තුර්කීන්ට තුර්කි අධිරාජ්‍යය බිඳවැටුනාට පස්සේ මෙම ප්‍රදේශය ඉංග්‍රීසීන්ට අයිති වුනා
    ඊට පස්සේ යුදෙව් සංවිධාන ඊස්‍රායලය බිහිකිරීමට ක්‍රියා කලා එතකොට ලස්සන වැඩක් වුනා ඉංග්‍රීසීන් ඒකට විරුද්ධ වුනා එයාලට ඕන වුනේ බහු වාර්ගික බහු සංස්කෘතික කොලනියක් හදලා ඉංග්‍රීසි තානාපතිට ඕන විදියට පාලනය කරවන්න
    මෙතනදී යුදෙව්වෝ මේ ලනුව ගිල්ලේ නෑ එයාල අරාබින්ට වගේම ඉංග්‍රීසින්ටත් පහර දුන්නා ඉංග්‍රීසීන්ගේ විරෝධය මැද යුදෙව් රාජ්‍යක් බිහිවුනාට පස්සේ තමා ඉංග්‍රීසීන් එයට සහයෝගය දුන්නේ
    මේ සිද්ධිය අපිට හොඳ පාඩමක්

    ReplyDelete