Friday, July 25, 2014

රංචු ගැසීම: අලි සහ අපි

අලි ජීවත් වන්නේ රැළක් හැටියටය නැත්නම් රංචු ගැසීය. අලි මෙන් වෙනත් සතුන්ද රංචු ගැසී ජීවත් වෙති. මිනිස්සුද රංචු ගැසෙති. රැකියාවේ පඩි වැඩි කරගැනීමේ සිට ඊනියා මූලධර්මවාදයක් වෙනුවෙන් සටන් කරන්නන් දක්වා කරන්නේ යම්කිසි අනන්‍යතාවක් මත රංචුවක් තනා ගැනීමය. නමුත් බටහිර උගත්තු පොදුවේ රංචු ගැසීම් තමන්ට තරම් නොවේ යැයි අඟවති. ඒ රංචු ගැසීම කැළෑ ගතියක් යැයි ඔවුන් සිතන නිසා විය හැකිය. හර්ඩ් මෙන්ටැලිටි නැත්නම් රංචු මානසිකත්වය වැනි පද බටහිර සමාජය විසින් නිර්මාණය කරගෙන ඇත්තේ ඒ ආකල්ප මතය. විශේෂයෙන්ම වාර්ගික අනන්‍යතාව මත පදනම් වුනු ප්‍රාථමික මට්ටමේ රංචු ගැසීම් කොහොමටත් පහත් යැයි බටහිරුන් අපට කියා දෙති. නමුත් ඇත්තටම ගතහොත් මෙලොව සියලු ජන වර්ගයා සලකන විට යුදෙව් ක්‍රිස්තියානි සමාජ තරම් රංචු ගැසීමට ප්‍රවණතාවක් දක්වන වෙනත් සමාජ ඇත්දැයි සැක සහිතය.

බටහිර සමාජම සංස්කෘතික අනන්‍යතාව මත පදනම් කරගෙන තැනුනු මහා පරිමාන රංචු ලෙස හැඳින්විය හැකිය. මූලික රංචු ගැසීමට මතු පිටින් ආර්ථික දේශපාලන හා සමාජීය හේතු සලකාද ඔවුහු රංචු ගැසෙති. මිනිසුන් නගරවලට භෞතික වශයෙන් රොක්වීම එක් ආකාරයකට ආර්ථික රංචු ගැසීමකි. විවිධ රෝග නිසා දුක් විඳින මිනිස්සු තම තමන්ගේ දුක බෙදා ගැනීම සඳහා ඒ ඒ රෝග මුල් කරගෙන සපෝට් ගෲප්ස් යනුවෙන් හදාගන්නේද රංචුවකි. එහිද අනන්‍යතාව වැදගත්ය. බොහෝවිට එහි සාමාජිකයෝ එකී රෝගයෙන් පෙලෙනවුන් හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මිස වෙනත් අය නොවේ. සමාන්‍යයෙන් යම් රංචුවකින් ඉටු වෙන්නේ පුද්ගලයෙකුගේ යම් විශේෂිත අවශ්‍යතාවක් පමණි. වෙනත් අවශ්‍යතාවන් සඳහා ඔහුට වෙනත් රංචුවල සාමාජිකත්වය ලබා ගැනීමට සිදුවේ.

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල රංචු ගැසීමට ඇති ප්‍රවණතාවට මූලික හේතුව එහි පුද්ගලයා සමාජය තුල තනිවීමත් මේ තනි කෙරුනු පුද්ගලයින්ගේ පැවැත්මට සමාජයකින් ඉටුවිය යුතු අවශ්‍යතා රංචු ගැසීමකින් තොරව ඉටූ කර ගත නොහැකිවීම නිසාත් යැයි මම සිතමි. ඒනිසා බටහිරුන් කරන්නේ ඒ ඒ අවශ්‍යතා සඳහා ඒ ඒ රංචු නිර්මාණය කර ගැනීමය. ඒ නිසා උගතුන් මොනවා කීවත් බටහිරුන්ගේ පැවැත්මට රංචු ගැසීම අනිවාර්යය. නමුත් බටහිර මිනිසුන්ගේ රංචු ගැසීමත් අලින්ගේ රංචු ගැසීමත් එකම නොවේ. අලි රංචු ගැසෙන්නේ පුද්ගල අවශ්‍යතාවට වඩා උන් අතර ඇති යම් ආධ්‍යාත්මික බැඳීමක් නිසා යැයි මම සිතමි. උන්ට තම රැළෙන් ඈත්වීම දරා ගත නොහැකිය. කුඩා පැටවුන්ට පමණක් නොවේ මහ අලින්ටද රැළෙන් වෙන්වීම සමහරවිට උන්ගේ මරණයට පවා හේතු විය හැකි යැයි කියවේ. එසේ වෙන්නේ උන්ට වෙන්වීම දුකක් ලෙස දැනෙන නිසා විය යුතුය. දුක දැනෙන්නේ බැඳීම නිසාය. මගේ අත්දැකීම අනුව නම් බටහිර මිනිසුන්ගේ රංචු තුල ආධ්‍යාත්මික බැඳීම් ඇත්තේ නැති තරම්ය. පැහැදිලිවම බටහිර මිනිසුන්ගේ රංචු ගැසීමටත් අලින්ගේ රංචු ගැසීමටත් පදනම් හාත්පසින්ම එකිනෙකට වෙනස් ඒවාය.

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ පුද්ගලයින්ට ඇත්තේ නිරපේක්‍ෂ පැවැත්මකි. ඔවුන්ට අනුව ලෝකය ඇතත් නැතත් පුද්ගලයා පවතී. ඒ හා සසඳනවිට පොදුවේ අලින්ට ඇත්තේ සාපේක්‍ෂ පැවැත්මක් යැයි කිව හැකිය. එනම් උන්ට පැවැත්මක් ඇත්තේ රංචුව පවතින තෙක් පමණි. නිරපේක්‍ෂව පවතින්නන්ගේ රංචු ගැසීමට පදනම පුද්ගලිකත්වය නම් සාපේක්‍ෂව පවතින්නන්ගේ රංචු ගැසීමට පදනම සාමූහිකත්වයය. මූලික පදනම සලකා බලන විට අලි රංචුත් බටහිර සංස්කෘතියේ මිනිස් රංචුත් සිටින්නේ අන්ත දෙකකය.

කෙසේ වෙතත් සිංහල බෞද්ධයින්ටද රංචුවක් ලෙස සිටීමට අවශ්‍යය. එසේ නම් ඔවුන් රංචු ගැසෙන්නේ මොන පදනමින්ද?

ථෙරවාදී බෞද්ධයෝ පැවැත්ම යන සංකල්පයම මුලාවක් යැයි විශ්වාස කරති. නමුත් ඒ බව ප්‍රත්‍යක්‍ෂයෙන් නොදන්නා, මානානුෂය වැනසූ නැති බෞද්ධයින්ට යම් ආකාරයක පැවැත්මක් අවශ්‍යය. පැවැත්ම බොරුවක් බැවින් ඔවුන්ට කල හැක්කේ ඊනියා පැවැත්මක් ගැන යම් සම්මුතියක් ගොඩනඟා ගැනීම පමණි. එහිදී ඔවුහු පැවැත්ම පිළිබඳ අන්තවාදී ස්ථාවර ප්‍රතික්‍ෂේප කරති. සාපේක්‍ෂ පැවැත්ම සහ නිරපේක්‍ෂ පැවැත්ම ඒ අන්තය. ඒ අන්ත දෙක ප්‍රතික්‍ෂේප කර චතුස්කෝටික න්‍යායට අනුව ගත හැකි එක් ස්ථාවරයක් නම් සාපේක්‍ෂවත් නිරපේක්‍ෂවත් පවතී යන්නය. අපි එය බැඳී වෙන්වී පැවතීම ලෙස හඳන්වමු. පැවැත්ම ඒ ආකාර නම් රංචු ගැසෙන්නේ සාමූහිකත්වයත් පුද්ගලිකත්වයත් දෙකම පදනම් කරගෙනය.

නමුත් ථෙරවාදී බෞද්ධයින්ට බැඳී වෙන්වී පැවැත්ම තබා මොන පැවැත්මක්වත් සම්මුතියක් මිස යථාර්තයක් නොවේ. ඒ නිසා බැඳී වෙන්වී පැවැත්ම පදනම් කරගෙන ගැසෙන රංචුවේ සාමාජිකත්වයට දැඩි නිර්ණායක තිබිය නොහැකිය. පැවැත්ම බොරුවක් නම් එය එසේ විය යුතු නේද? නමුත් ඉන් කියවෙන්නේ පවුල, ගෝත්‍රය, ආගම, වර්ගය වැනි අනන්‍යතා වැදගත් නොවෙන බව නොවේ රංචු ගැසීම සඳහා ඒ අනන්‍යතා අත්හල යුතුද නොවේ නමුත් වඩාත් වැදගත් වන්නේ රංචුවේ සාමාජිකයෝ පැවැත්ම පිළිබඳ සිංහල බෞද්ධයින්ගේ සම්මුතිය එනම් පුද්ගලිකත්වය මෙන්ම සාමුහිකත්වයද එක ලෙස වැදගත්ය යන්න පිළිගැනීමය. රංචුවේ නිර්ණායකය සම්මුතිය පිළිගැනීමය.

මෙරට බහුතරයක් සාමාන්‍ය දෙමළ මුස්ලිම් ජනයාට එය ගැටළුවක් විය නොහැකිය. නමුත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට එය ප්‍රශ්ණයකි. මන්ද පුද්ගලිකත්වය මත ගැසෙන රංචු ගැසීම් හැර අන් සියළු ආකාර රංචු ගැසීම් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අභියෝගයක් වන බැවිනි. බටහිර උගතුන් කුහක ලෙස රංචු ගැසීම් පිළිබඳව අවඥ්ඥාවෙන් කථා කරන්නේ ඒ නිසාය.

No comments:

Post a Comment