Thursday, July 17, 2014

උගතුන්ගේ බුද්ධාගම

බටහිර උගත්තු ඊනියා බුද්ධාගමක් මුරුංගා අත්තේ තබන ගමන් බෞද්ධයින්ට පහර දෙති. වරද පොදුවේ බෞද්ධයින්ගේ මිස ඔවුන් අදහන බුදුදහමේ නොවේ යැයි මේ උගත්තු පවසති. ඇත්තටම මේ සමහර අයට දහමේ හොඳ නරකක් වැඩක් නැත. ඔවුන්ට අවශ්‍යය බෞද්ධයින්ට පහර ගැසීමටය. ඔවුන් ආගම මුරුංගා අත්තේ තබන්නේ තමන් ම්ලේච්ඡයින් නොවන බව පෙන්වමින් ම්ලේච්ඡ වැඩ කිරීම සඳහාය. බටහිර දේශපාලකයින් හා වෘතිකයින් මේ ආකාරයට වංචා සහගත නැත්නම් පොලිටිකලි කරෙක්ට් කථා කීම බටහිර සභ්‍යත්වයේ පිළිගත් අංගයකි. නමුත් බටහිර උගතුන්ගේ පොදු බෞද්ධ විරෝධය තුල දැකිය හැක්කේ හුදෙක් දේශපාලනික වංචාවක් පමණක් නොවේ ඔවුන්ට සාමාන්‍ය බෞද්ධයින් කරන කියන දේ තේරුම් ගැනීමටද නොහැකිය. ඊට හේතුව බටහිර උගතුන් බුද්ධාගම ලෙස හඳුනා ගන්නේ සාමාන්‍ය ථේරවාදී බෞද්ධයින් අදහන ආගමම නොවෙන නිසාය.

කුඩා කාලයේ මා අභාෂය ලැබූ මගේ වැඩිහිටි ඥාතීන් අතර බටහිර උගත්තු නොවූහ. නමුත් මා සිතන ආකාරයට ඔවුහු හොඳ බෞද්ධයින් වූ අතර සමහරු හොඳ උපාසිකාවන්ද වුහ. නමුත් මේ කිසි කෙනෙක් සිල් ගත්දිනක භාවනා කලා නම් මිසක නිතර භාවනාවේ යෙදෙනු මා දැක නැත. නමුත් බටහිර උගතුන් බෞද්ධයෝ යැයි කියන්නේ භාවනාවෙහි යෙදෙන්නන්ටය. උදාහරණයක් ලෙසට බටහිර රටවල බුද්ධාගම වැලඳගත් සුද්දෝ කරන්නේ භාවනා කිරීමය. නමුත් ථේරවාදී රටවල සාමාන්‍යයෙන් නිතර භාවනාවේ යෙදෙන්නේ වනගත ආරණ්‍ය වල වැඩ වසන භික්‍ෂූන් වහන්සේලා මිස ගිහියන් නොවේ. පැහැදිලිවම ථේරවාදී බෞද්ධයිනුත් උගත් බෞද්ධයිනුත් කරන කියන දෙයින් වෙනස් වෙති.

සරලව ගත්විට බටහිර උගතුන්ට ප්‍රශ්ණය ථෙරවාදී රටවල වෙසෙන බෞද්ධයින් තමන් මෙන් ක්‍රියා නොකරන්නේ ඇයිදැයි කියාය. ඔවුන් සිතන්නේ තමන් බුදු හාමුදුරුවන් කියාදී ඇති ආකාරයට සසරෙන් එතෙරවීමට කටයුතු කරන අතර ථේරවාදී බෞද්ධයින් අනං මනං කරමින් සිටිනවා කියාය. මේ කථාව සාධාරණද?

උගත් බෞද්ධයින් මෙන්ම ථේරවාදී බෞද්ධයින්ද පෘතග්ජනයෝම වෙති. හැම පෘතග්ජනයින්ටම තම පැවැත්ම වැදගත්ය.

උගත් බෞද්ධයින් ජීවත්වන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුලය. ඔවුන්ගේ පෘතග්ජන පැවැත්ම රැක දෙන්නේ ඔවුන් බෞද්ධයින් වශයෙන් කරන කියන දේ නොව ඔවුන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල කරන කියන දේය. නමුත් ඒ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ථේරවාදී බෞද්ධයින්ගේ පෘතග්ජන පැවැත්ම කිසි දිනක රැක දෙන්නේ නැත. ථේරවාදීන්ගේ පෘතග්ජන පැවැත්ම රැක දෙන්නේ ථේරවාදී රටවල ඇති බෞද්ධ සංස්කෘතීන්ය. එනම් ථේරවාදී බෞද්ධ රටවල ඔවුන් බෞද්ධයින් වශයෙන් කරන කියන දේය.  පැහැදිලිවම ථේරවාදී බෞද්ධයින් හා උගත් බෞද්ධයින් සමුහයක් ලෙස තම පැවැත්ම අරභයා කරන කියන දේ එකිනෙකට වෙනස්ය. ථේරවාදීන්ගේ බුද්ධාගම උගතුන්ගේ බුද්ධාගමින් වෙනස් වන්නේ මේ නිසාය.

මේ වෙනස බටහිර උගත්තු තේරුම් නොගන්නේ අවසානයේ සියලු පෘතග්ජනයින්ට තම පැවැත්ම වැදගත් වන බව ඔවුන් කුහක ලෙස නොසලකා හැර දමන නිසාය. එසේ නොසලකා හරිමින් ඔවුන් සිය පැවැත්ම අරභයා කරන කියන දේවල් සඟවමින් ථේරවාදී බෞද්ධයින් ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන කියනදේට ඇඟිල්ල දිගු කරමින් ඔවුන් බුදුන් වහන්සේ පෙන්වාදුන් මගේ නොයන්නේ යැයි කුහක ලෙස අවලාද නගති. අවසානයේ ඒ අවලාදය හුදු බෞද්ධ විරෝධයකට පදනම් කර ගනිති.

පැවැත්මක් ඇත පැවැත්මක් නැත යන අන්ත දෙකම නොගත යුතු බව බුදුන් වහන්සේ දේශනා කර ඇත. ඉන් තේරුම් ගත යුත්තේ පැවැත්ම යන සංකල්පයම බොරුවක් බවය. එය බොරුවක් බව ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නේ මමත්වය නැති කරගත් සම්‍යග්දෘෂ්ඨිකයින්ය. පෘතග්ජන බෞද්ධයින්ට ඇත්තේ ඒ ගැන විශ්වාසයක් පමණි. පෘතග්ජන බෞද්ධයෝ ඒ විශ්වාසය මත පදනම්ව ඊනියා පවතින ආකාරයක් පිළිබඳව යම් සම්මුතියක් ඇති කරගෙන ජීවත්වෙති. ජාතිය වෙනුවෙන් සටන් කිරීමත් ආර්යාශ්ටාංගික මාර්ගය පිලිපැදීමත් යන දෙකම එකලෙස වැදගත් වන්නේ සිංහල බෞද්ධයින්ට පැවැත්ම බොරුවක් බව විශ්වාස කරමින් පවතින්නට ගැටළුවක් නැති නිසාය.

නමුත් උගත් බෞද්ධයින්ගේ තර්කයට ඒ පැවතීම හසුවන්නේ නැත. ඔවුන්ගේ මූලික ප්‍රශ්ණය එයයි. ඔවුන්ට අනුව එක්කෝ පැවැත්ම බොරුවක් ලෙස දැක ඒ විදිහට සිටිය යුතුය නැත්නම් පැවැත්ම ඇත්තක් ලෙස දැක ඒ විදිහට සිටිය යුතුය. උගත් බෞද්ධයින් සිතන්නේ තමන් පැවැත්ම බොරුවක් ලෙස දකින බවත් (හෝ ඒ ආසන්නයේ සිටින බවත්) තමන් කරන කියන දේට පදනම ඒ දැකීම බවත්ය. නමුත් පැවැත්ම බොරුවක් ලෙස දැකිය හැක්කේ මමත්වය නැති කර ගත් සම්‍යග්දෘෂ්ඨිකයින්ට පමණි. මමත්වය නැතිකරගත්තා යැයි සිතන නමුත් මමත්වයක් ඇති පෘතග්ජනයින් තරම් දැරුණු පිරිසක් තවත් සිටිය නොහැකිය. සරලව සැලකුවිට ඔවුන්ට තම පැවැත්ම සඳහා අනුන්ගේ ජීවිත විනාශකර එහි වගකීමෙන් මිදී සිටිය හැකිය. (මා යැයි කෙනෙකු නැත්නම් වගකීම් දරන්නේ කවුද?) උගතුන් සිංහල බෞද්ධයින්ට කෙතරම් අවලාද නැඟුවත් අවසානයේ ඇත්තෙන්ම හිංසාකාරී වන්නේ උගතුන්ගේ බුද්ධාගමය.

7 comments:

  1. ඉස්මතු කරන්නට හොඳම කාරණයකි
    භාවනාව උගන්වන්නට, කමටහන් දෙන්නට හෝ හැකි භික්ෂූණට දානාමානාදියෙන් සංග්‍රහ කිරීමටත් ඔවුනගේ පැවැත්ම යම්තාක් හෝ තහවුරු කිරීමටත් උපාසක උපාසිකාවන්ගේ පැවැත්මක් අවශ්‍යයි.
    ගිහියන් ලෙස ධාර්මිකව යමක් උපයා එයින් ඒ සංග්‍රහයන් ඔවුන් කරයි.
    එයින් ඔවුන් ධර්ම මාර්ගයෙන් ඈත් කර තැබීමක් අදහස් නොවේ.
    ඔවුනටද ඊලඟ පරම්පරාවට ඒ ඇවතුම් පැවතුම් හුරුකරළීමෙන් පසු තම මාර්ගයට එකහෙලා යෑමට කුමන බාධාවක්ද?
    සෙමින් සිදුවන සංස්කෘතික ක්‍රියාවලියකට විභාග සමත්වන්නාසේ මාර්ග ඵල ලැබීම එබ්බවීමට නොහැක
    අවශ්‍ය ටිටෙක ජීවිත පරිත්‍යාගයෙන් වුවද ශාසනය රැකදීමට පෙළඹුනේද මේ නිසාමය
    බුදු දහම රැකදෙන එයට පිටින් ඇති "සංස්කෘතික" පොත්ත ඉවත් කිරීමට මාන බලන්නේ පහසුවෙන්ම අරටුවට හානි කිරීමේ අභිලාෂයෙන්මය!
    මේ මට හිතෙන හැටිය!
    ඔබට තුති!

    ReplyDelete
  2. ඉතිහාසය පුරා බුදුදහම ලෝකය පුරා පැතිර යන විට එය ඒ ඒ සංස්කෘතීන් වලට ගැලපෙන පරිදි ඒ ඒ සමාජයන් තුල පැතිර ගිහින් තියෙනවා... එය සාමාන්‍ය තත්වයක්..උදාරනයක් ලෙස ලංකාවට බුද්ධාගම ගෙන එද්දී ලංකාවේ තිබූ ගස් ගල් වන්දනාවට බෝ ගස ආදේශ වීමත් එය වර්තමායේදීත් ඉතා ප්‍රචලිතව සීදු වීමත් මට කරුණක් ලෙස දැක්විය හැකියි....

    වර්තමානයේ එය බටහිර රටව තුල ව්‍යාප්ත වනවිට එය මේ ස්වරූපයෙන්ම සිදු වෙනවා....ලංකාවේ සංස්කෘතිය හා බැදුනු බුදුදහම වෙනත් සංස්කෘතියක ඒ අකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතුයි කියලා මට හිතෙන්නේ නෑ....වඩා වැදගත් වන්නේ බුදුදහමේ හරය සමාජයටත්, පුද්ගල දියුනුවත් උදෙසා අවශෝශනය කර ගැනීමයි....

    තිස්ස,.....දැනුම ව්‍යප්ත වීමට නූතන ලෝකයේ ඇති පහසුකම් හා සසදන කල සංස්කෘතික පොතු හැර දමා අර‍ටුව එලියට ගැනීම තරම් හොදක් මා නරකක් ලෙස දකින්නේ නෑ.....බුදුදහමේ හරය වනා හී කපන්න කපන්න් දිදුලා මෑනකක් මෙනි...එහි අර‍ටුච යම් තරමකට හෝ සසල කිරීමට සමත් වෙන්නේ නාගර්ජුන හිමියන් පමනකි...ඒයින්ද බුද්ධ දර්ශනයට යහපත්ක් මිස අයහපතක් වී නොමැත......

    ReplyDelete
    Replies
    1. සුද්දො බෞද්ධයෝ වෙන්නෙ බුදු දහම ඔවුන්ගේ සංස්කෘතියට අවශෝෂනය කරගෙන තමයි. ඒක එහෙම නොවී වෙන විදිහකට වෙන්නෙ බැහැනෙ. නමුත් සිංහළුන් බුදු දහම රැකගෙන පවත්වාගෙන යා යුත්තේ ඔවුන්ගේ සංස්කෘතිය තුලයි. ඉන් කියවෙන්නෙ නෑ සිංහල බෞද්ධ සංස්කෘතිය නොවෙනස් වෙන එකක් කියා. රැකෙන්නේ වෙනස් කරමින් (නැවත නැවත නිර්මාණය කරමින්) පවත්වා ගත්තොත් පමණයි. නමුත් මේ වෙනස් කිරීමේ නියමුවෝ විය යුත්තේ සාමාන්‍ය සිංහළුන් මිස බටහිර උගත්තු නොවේ.

      Delete
    2. ඔය තර්කයම වෙනත් ස්වරූපයකින් මහාවිහාරය එකල අභයගිරියට එල්ල කලා...එහෙත් අවසාන ප්‍රතිපලය උනේ ලෝම මට්ටමේ විශ්ව විද්‍යාලයක් උන අභයගිරිය එහි දැනුමත් සමගම අතු ගෑවී යෑමත්, මහවිහාරය තව දුරටත් ඉබි කට්ටක් ඇතුලට රිංගා ගැනීමත් පමනකි...

      Delete
    3. මහා විහාරය දැනුම පද්ධතිය තුලින් ජය ගත්තා වගේම දේශපාලන ජයක්ද අත් කර ගත්තා. නමුත් ඒ ජය ගැනීම තුලින් මහා විහාරය ඉබි කට්ටක් ඇතුලට ගියේ නැහැ. ඒ දැනුම මත පදනම් වුනු අනුරාධපුර රාජධානිය වසර දහසක් පවත්වාගෙන යන්නට හැකි වුනා. අද රජ කරන බටහිර අධිරාජ්‍යයත් තවම එතරම් කලක් පැවතිලා නැහැ. ඒ නිසා අද වෙනවිට මහා විහාර සම්ප්‍රදාය පරාජය ලැබ සිටියත් එහි ගමන් මඟ ගැන වරදක් කිව නොහැකියි.

      Delete
  3. බටහිරයන් බුදු දහමෙහි හරය උනත් සංස්කෘතියෙන් වෙන් කර ගන්නේ ඔව්න්ගේ සංස්කෘතිය,ඊටත් පලල් පාරිභාෂික වචනයක් යොදන්නේ නම් "චින්තනය",තුල හිදිමින්.ඔවුන් සිංහල බුද්ධාගමේ ගූඨත්වයක් දකින්නේත්,බුදුදහමට බටහිර විද්‍යාවේ "තත්ව සහතිකය" දීමට වලිකන්නේත් එබැවිනි.
    අනුකරණය මිස වෙනකක් නොදත් මෙරට ඊනියා උගත් මහතුන් අපට නිවන් දැක්කවීමට දගලන්නේ එනිසා මිසක අප කෙරේ පතල මහා කරුණාව නිසා නම් නොවේ.මේ ඊනියා උගතුන්ගේ අරමුණ අපව නිවනට කෙසේ වෙතත් ගොනාට අන්දවා සිංහල බුද්ධාගමත්,සිංහල බෞද්ධ චින්තනයත් මෙරටින් තුරන් කිරීමයි.

    ReplyDelete