Thursday, July 3, 2014

දේශපාලනයේ ටෙස්ට් මැච්

බේරුවල අලුත්ගම ප්‍රදේශවල ඇතිවුනු ගැටුම රට පුරා පැතිරෙන්නට නොදී එපමණින් බේරා ගැනීමට කටයුතු කිරීම ගැන රජයට ප්‍රශංසා හිමි විය යුතුය. ප්‍රමාදවී හෝ ජන මාධ්‍යද ඒ පිළිබඳව ස්වයංවාරණයක් ඇති කරගත් බව පෙනේ. ඒ පිළිබඳව මාධ්‍ය ආයතනද පැසසුමට ලක්විය යුතුය. ගැටුම විශ්ලේෂණයේදී ඊට ආසන්නතම හේතුවක් ලෙස භික්‍ෂූන් වහන්සේ නමක් සහ මුස්ලිම් ජාතිකයෙක් අතර වූ බහින් බස්වීම දැක්විය හැකි වුනද ඒ සිදුවීම හරහා පමණක් ඉන් පසු ඇතිවුනු වර්ගවාදී ගැටුම තේරුම් ගත නොහැක්කේ ඊට ලඟින් යන සිදුවීම් මීට පෙරත් එම ප්‍රදේශයේ සිදුවී ඇති බැවිනි. අවාසනාවකට අපි බලාපොරොත්තු විය යුතු ආකාරයටම බටහිර උගතුන් හා බටහිර ජනමාධ්‍ය සියල්ල තේරුම් ගැනීමට උත්සාහ කරනුයේ විශ්ලේෂණයෙන් පමණි.

ඒ අහඹු සිදුවීමෙන් පසුව නිර්මාණය වුනු ගැටුම පිළිබිඹු කරන්නේ සමස්ථයක් වශයෙන් සිංහල බෞද්ධයින් දේශීය මුස්ලිම්වරුන්ගේ ආක්‍රමණයටත් පොදුවේ බටහිර සංස්කෘතික ආක්‍රමණයටත් මුහුණදීමට දරන උත්සාහයය. පැහැදිලිවම සිංහල බෞද්ධයින්ට ඒ සඳහා ප්‍රමාණවත් පිළිතුරු නැත. ගැටුමට හේතුව එයය.


මෙරට සිංහලයෝත් මුසල්මානුවොත් සිටින්නේ කර වටක් බටහිර සංස්කෘතියේ ගිලී බව අපි අවබෝධ කරගත යුතුවෙමු. අපේ ආර්ථික ක්‍රමයත් දේශපාලන ව්‍යුහයත් අධ්‍යාපන ක්‍රමයත් සැකසී ඇත්තේ මුස්ලිම් සංස්කෘතියේවත් බෞද්ධ සංස්කෘතියේවත් නොව බටහිර සංස්කෘතියේය. නමුත් සිංහල බෞද්ධයින්ට සාපේක්‍ෂව මුස්ලිම් වරුන්ට බටහිර සංස්කෘතිය තුල ඉහලට යෑමට බාධාවක් හෝ අපහසු කමක් නැත. විශේෂයෙන්ම බටහිරුන් දකින ඊනියා ආර්ථික සංවර්ධනය එලෙසම දැකීමට මුස්ලිම් සංස්කෘතියට ප්‍රශ්ණයක් ඇතැයි සිතිය නොහැකිය. 


මේ හේතුව නිසා  බටහිර සංස්කෘතියට පිටුපාමින් තම සංස්කෘතිය තුල ජීවත්වීමට වෙර දරන මෙරට අහිංසක සිංහල බෞද්ධයින්ට
මුස්ලිම්වරුන්ට සාපේක්‍ෂව හිමිවන්නේ සමාජයේ අඩි පතුලය. මෙසේ අඩි පතුලේ සිටින සිංහල බෞද්ධයින්ට දේශීය මුස්ලිම් වරුන් ගෙන යන ආක්‍රමණය ගහෙන් වැටුනු මිනිසාට ගොනා ඇනීමක් හා සමානය. නමුත් බෞද්ධයින් කල යුත්තේ බටහිර සංස්කෘතිය තුල මුස්ලිම් වරුන් අභිබවා යාම නොව මෙරට මුල් පුටුවෙන් බටහිර සංස්කෘතිය නෙරපා දමා ඒමත සිංහල බෞද්ධ සංස්කෘතිය හිඳ වීමය. සිංහල බෞද්ධ සංස්කෘතියට මුල් පුටුව හිමිවිට සිංහල බෞද්ධයින්ට මුස්ලිම් වරුන්ගෙන් තරඟයක් නැති වෙනු ඇත. මුස්ලිම් වරුන්ටද සිංහල බෞද්ධයින්ගෙන් තරඟයක් නැතිවෙනු ඇත.

නමුත් එය අපේ ජීවිත කාලය තුලදී සිදුවේ යැයි බලාපොරොත්තු විය නොහැකිය. ඒ ගමන දිගය. ක්‍රිකට් ක්‍රීඩාවේ ටෙස්ට් ක්‍රිකට් ගැසීම බඳුය. කාලයකට පසු නායකයෙකු වශයෙන්ද පිති කරුවෙකු වශයෙන්ද ඇන්ජිලෝ මැතිව් විසින් අපිට ටෙස්ට් ක්‍රිකට් වලින් දිනන හැටි පෙන්වාදී ඇත. ඔහු කල්යල් බලා පිති හරඹ කලේය. තරඟය මැදදී ජෝ රූට්ට සත්තමක් දැම්මත් තරඟය දිනීම මිස ජෝ රූට් වැදගත් කර ගත්තේ නැත. නමුත්  අවාසනාවකට අපිට හුරු අපි කැමති සීමිත පංදුවාර තරඟවලටය. නමුත් දේශපාලනයේ පංදුවාර ගණන සීමා කර නැත. උතුරේ යුද්ධය අවසන් වී වසර පහක් ගතවීත් බටහිරුන් සටන නොනවත්වා රැගෙන යාම ඊට හොඳම නිදසුනය. සිංහල බෞද්ධයෝ දේශපාලනයේද ටෙස්ට් ක්‍රිකට් ගැසීමට හුරු වෙන්නේනම් හොඳය.

2 comments:

  1. දේශපාලන විනය අපතුළ ඇති කරගැනීම හෝ ඇති කරවීම අද දවසේ ඇති ලොකුම අභියෝගය ලෙස මම දකිනවා. බලන්න එංගලන්තයේ/ඕස්ට්‍රේලියාවේ/දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩා පිටියක වටේට ලොකු යකඩ වැටක් නැහැ. ඒ කවුරුවත් පිට්ටනියට පනින්නේ නැති නිසා. ඉඳහිට එකෙක් හෙළුවෙන් පිට්ටනිය හරහා දිවීමත් දැන් ඒ රටවල බොහොම කලාතුරකින් වෙන දෙයක්. ඉන්දියාව/ලංකාව/පාකිස්ථානය වැනි රටවල පිට්ටනිය වටේ අඩි 10 ක් විතර යකඩ වැටක් ගහන්න වෙන්නේ නොමේරූ මොළවලට, මේ පැවැත්වෙන්නේ ක්‍රීඩාවක් කියන එක තේරුම්ගන්න බැරි නිසයි. එංගලන්තයයේටෙස්ට් තරගයක් බලන එහි වැසියන්, දෙපිලේම දක්ෂතා වලට අප්පුඩි ගහනවා. නමුත් අපි විනිසුරු තීන්දුවටත් හූ කියනවා. මෙන්න මේ තත්වය නේද දේශපාලනය තුලත් ඉන්දියාව/ලංකාව/පාකිස්ථානය තුළ තියෙන්නේ. ඉතා අවාසනාවකට මෙන් අපේ බහුතරය තවමත් කැමති, දරු ප්‍රසූතියට පවා දැඩි නීති පනවන තරම් නීති සමුදායක් යටතේ ජීවත්වීමට විනා, දුරදිග සිතා තම වගකීම් සහ යුතුකම් ඉටු කිරීමට නොවෙයි. පුස්සන්, හොරුන්, තක්කඩින්, දේශපාලනඥයන් බවට පත්කරන චින්තනය අපෙන් ඈත්ව යනතුරු, මේ තත්වය දිගටම පවතිනු ඇති. නමුත් එය එසේ ඈත්ව යනු ඇතැයි සිතා බලාසිටීමද මෝඩකමකි. අපි අපේ මිනිසුන්ව හදාගත යුතුයි.

    ReplyDelete
  2. **නමුත් සිංහල බෞද්ධයින්ට සාපේක්‍ෂව මුස්ලිම් වරුන්ට බටහිර සංස්කෘතිය තුල ඉහලට යෑමට බාධාවක් හෝ අපහසු කමක් නැත. විශේෂයෙන්ම බටහිරුන් දකින ඊනියා ආර්ථික සංවර්ධනය එලෙසම දැකීමට මුස්ලිම් සංස්කෘතියට ප්‍රශ්ණයක් ඇතැයි සිතිය නොහැකිය....මේ හේතුව නිසා බටහිර සංස්කෘතියට පිටුපාමින් තම සංස්කෘතිය තුල ජීවත්වීමට වෙර දරන මෙරට අහිංසක සිංහල බෞද්ධයින්ට මුස්ලිම්වරුන්ට සාපේක්‍ෂව හිමිවන්නේ සමාජයේ අඩි පතුලය. මෙසේ අඩි පතුලේ සිටින සිංහල බෞද්ධයින්ට දේශීය මුස්ලිම් වරුන් ගෙන යන ආක්‍රමණය ගහෙන් වැටුනු මිනිසාට ගොනා ඇනීමක් හා සමානය.**

    ලිපියේ හරය සමග මූලිකව එකඟ වෙතත් ඉහත කරුණෙහි යම් අසම්පූර්ණ බවක් පෙනෙයි.

    බටහිර සංස්කෘතිය තුළ ඉහළට යාමට මුස්ලිමුන්ට සංස්කෘතියෙන් බාධාවක් නැතත් එවැන්නක් ආගමෙන් සහ පවත්නා වට පිටාවෙන් පැණවෙයි. අනෙක් අතට බටහිර සංස්කෘතිය තුළ ඉහළට යෑමට බෞද්ධයින්ට සංස්කෘතියෙන් බාධාවක් ඇතත් ආගමෙන් හෝ පවත්නා වටපිටාවෙන් එවන්නක් බල නොකෙරෙයි. ඒ හේතුවෙන් අනෙක් රටවල තත්ත්වය් කෙසේ වෙතත් අවම වශයෙන් ලංකාව තුළ සිදුව ඇත්තේ එකතරා සමාජ ස්ථරයක් තුළ මුස්ලිමුන්ට සාපෙක්ෂව බෞද්ධයින් බටහිරකරණය වීමයි.

    ඔබට මගහැරී ඇති ඉහත කරුණ නිසා සිදුව ඇත්තේ බෞද්ධයින්ගේ මුස්ලිම් විරෝධය සංකීර්ණ ස්වරූපයක් ගැනීමයි. එක් අතකින් තම අනන්‍යතාවය තුළ සිටීමට වෙර දරන අහිංසක බෞද්ධයින් ට මුස්ලිමුන්ගේ බටහිර පන්නයේ ආර්ථික හැකියාව (සහ ඒ ඔස්සේ ඔවුන් කරන බලපේම) ගැටළුවක්ව පවතී. අනෙක් පසින් මුස්ලිමුන්ට සාපේක්ෂව බටහිර වැළඳගත් වෙනත් ස්ථරයක බෞද්ධයින්ට මුස්ලිමුන් ඔවුන් පමණට බටහිරකරණය නොවීම ගැටළුවක්ව පවතී. මගේ තක්සේරුව නම් බොදු බල සේනාව තුළ ප්‍රමුඛව නියෝජනය් වන්නෙ ඉහත දෙවන ස්ථරයේ බෞද්ධයින් බවයි. මුස්ලිමුන් වර්ගයා බෝ කිරීමට එරෙහිව සහ මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය කිරීම ගැන කලබල වී ඇත්තේ එම ස්ථරයයි (අද අප (එනම් බෞද්ධයන්) වැඩි වැඩියෙන් ළමුන් නොහදන්නෙ ඔවුන් සියල්ලන්ටම හොඳ බටහිර අධ්‍යාපනයක් දීමට හැකියාවක් නැති බැවිනුයි. මුස්ලිමුන් එවන් වාරණයකින් සිමා නොවී ඇත්තේ ඔවුන් තම දරුවන්ට බටහිර පන්නයේ අධ්‍යාපනයක් දීම අප තරම් වැදගත් කොට නොසලකන නිසයි).

    - ප්‍රභංග

    ReplyDelete