Wednesday, July 30, 2014

ප්‍රශ්ණ අවුල් කිරීම

කලකට ඉහතදී අරාබියේදී හිස ගසා දැමුනු රිසානා දැරිය වෙනුවෙන් සාමාන්‍ය සිංහලයෝ දුකට පත් වෙමින් එළිපිට හඬ නගද්දී මෙරට බොහෝ මුස්ලිම් ලේඛකයින්ට හා දේශපාලකයින්ට ඈ වෙනුවෙන් පෙනී සිටින්නට තරම් කොන්ද පණ තිබුනේ නැත. ඔවුහු එක්කෝ කුරාණයේ ඇති යමක් පෙන්වමින් හෝ අරාබියේ හැටි එහෙම තමා යැයි කියමින් හෝ නිවට ලෙස ඇඟ බේරා ගත්හ. නමුත් සාමාන්‍ය සිංහලයින්ට ඒ ගැන දෙගිඩියාවක් තිබුනේ නැත. මෙරට සාමාන්‍ය මිනිස්සු ප්‍රශ්ණ දෙස බලන්නේ සංයුක්තවය, ඔවුහු හැඟීම් නොසලකා නොහරිති, උවමණාවට වඩා තර්කයේ එල්බ නොගනිති. සාධාරන වශයෙන් ගත්විට ඔවුන් අවසානයේ සිංහල බෞද්ධ සංස්කෘතියේ පිහිටා නිවැරදි තීරණ ගැනීමට සමත් වෙන අතර උගත්තු උගත්කම නිසාම නිකරුනේ ප්‍රශ්ණ අවුල් කර ගනිති.

සමහර උගත් මුස්ලිම් ලේඛකයින් සිතන්නේ මුස්ලිම් ප්‍රශ්ණය ජාත්‍යාන්තරකරණය කිරීමෙන් ඔවුන්ට යම් සහණයක් අත්විය හැකි බවය. ඔවුන්ගේ ජාත්‍යන්තරයේ ආසියාව නැත. මාලදිවයිනේ, ඉංදියාවේ, පකිස්ථානයේ මැලේසියාවේ හෝ ඉන්දුනීසියාවේ ජීවත්වන මුස්ලිම්වරුන්ට නැති ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් ගැන දුකක් අරාබිකාරයන්ට හෝ බටහිරුන්ට ඇතැයි ඔවුන් සිතනවාද? අඩුතරමින් තෙවරප්පෙරුම මහතා මුස්ලිම්වරුන් වෙනුවෙන් පෙනීසිටියේ බොක්කෙන්ම ඔහුට ඔහුගේ සමීපතයන් පිළිබඳව සිත් උණුවුනු නිසා යැයි සිතිය හැකිය. සිංහල බෞද්ධයින්ව අවඥ්ඥාවට ලක්කරන බටහිර තානාපතිවරුන්ටත් මෙරට මුස්ලිම් ජනයා ගැන එලෙසම සිත් උණුවෙනවා යැයි සිතිය හැකිද? මුස්ලිම් විරෝධී උගත් සිංහලයන්ද තෙවරප්පෙරුමත් බටහිර තානාපතිවරුනුත් එක ගොඩට දමන්නේ නම් ඔවුන්ද කරන්නේ ප්‍රශ්ණය අවුල් කර ගැනීමක් පමණි.

ලොව සියලු මුස්ලිම්වරුන් අතර සහෝදරත්වයක් ඇතැයි කීම බොරුවක් බව ඒ රටවල මුස්ලිම් කල්ලි අතර සිදුවෙන ගැටුම් වලින් පෙනී යා යුතුය. ඒක දේව වාදී සංස්කෘතීන් අතරින් මුස්ලිම් සංස්කෘතිය ක්‍රිස්තියානි සහ යුදෙව් සංස්කෘතීන්ට වඩා කේන්ද්‍රීය බල වටා රංචු ගැසීමට ප්‍රවණතාවක් ඇතැයි සිතිය හැකිය. නමුත් ඒ රංචු ගැසීම සිදුවන්නේ සාමූහිකත්වයක් පදනම් කරගෙන නොවේ. කුරාණයේ උගැන්වීම් පිලිගැනීම පමණක් පදනම්ව විවිධ රටවල වෙසෙන මුස්ලිම් මිනිසුන් අතර ආධ්‍යාත්මික බැඳීම් ඇතිවේයැයි සිතිය නොහැකිය. ආසියාතික රටවල සිට අරාබි කරයේ රැකියාව සඳහා යන මුස්ලිම්වරුන් එහිදී වැඩිපුර සෙට් වෙන්නේ මුස්ලිම් හෝ මුස්ලිම් නොවන ආසියාතිකයින්ටම මිස එරට අරාබිකාරයන්ට නොවේ නේද? මෙරට සිංහල බෞද්ධයින් නොසලකා හරිමින් ලොව සියලු මුස්ලිම්වරුන් තමුන් පසුපස සිටිතැයි ශ්‍රී ලාංකික මුස්ලිම් උගතුන් සිතන්නේ නම් එය බරපතල වැරදීමකි. එලෙස සිතන මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධයින්ද කරන්නේ අනවරත මුස්ලිම් බියක් ඇති කිරීම පමණි. මේ දෙගොල්ලන්ම කරන්නේ ප්‍රශ්ණය අවුල් කිරීමය. මෙරට ක්‍රියාත්මකවේ යැයි සැලකෙන මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ක්‍රියාකරන්නේ යම් කේන්ද්‍රීය බලපෑමක් උඩ මිස ඊනියා මුස්ලිම් සාමූහිකත්වයක් පදනම් කර ගෙන නොවේ. එවැනි සංවිධාන නැතිකර දැමීමට පොදු මුස්ලිම් බියක් පදනම් කරගත යුතු නැත.

තවත් සමහර සිංහල බෞද්ධ උගත්තු තමන් ඊශ්‍රායලයේ යුදෙව්වන්ට සමාන කර ගනිති. එසේ කරමින් මෙරට මුස්ලිම් ප්‍රශ්ණයට පිළිතුරු සොයති. ඊශ්‍රායලය කලකට ඉහතදී ශ්‍රී ලංකා රජයට ආයුධ විකුණු බව ඇත්තකි. එමෙන්ම එරට ඔත්තු සේවාව මුල් කාලයේදී කොටි ත්‍රස්තවාදීන් පුහුණු කල බවටද කථා තිබුනු බව අමතක කල නොහැකිය. ඒ කෙසේ චෙතත් සිංහල බෞද්ධ සංස්කෘතියත් යුදෙව් සංස්කෘතියත් අහසට පොලව මෙන් වෙනස්ය. අපිට වැදගත් වන්නේ මෙරට වාසය කරන මුස්ලිම්වරුන් සිංහල බෞද්ධ සංස්කෘතියට යලි අවශෝෂණය කර ගන්නේ (සිංහල කිරීමවත් බෞද්ධ කිරීමවත් නොවේ) කෙලෙසද යන්නය. ඒ කථාවට ඊශ්‍රායලය හෝ පලස්තීනය හෝ සිරියාව ඈඳා ගැනීම ප්‍රශ්ණය අවුල් කර ගැනීමක් පමණි.

වාසනාවකට මෙරට සාමාන්‍ය මිනිසුන්ට උගතුන්ට වඩා හොඳින් ප්‍රශ්ණ තේරුම් ගැනීමට හැකියාවක් ඇත. ඔවුහු ප්‍රශ්න දෙස සංයුක්තව බලන්ට දනිති. ඔවුහු හැඟීම් නොසලකා නොහරිති, උවමණාවට වඩා තර්කයේ එල්බ නොගනිති. මුස්ලිම් මෙන්ම සිංහල උගතුන්ද කල යුත්තේ සාමාන්‍ය මිනිසුන්, විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්, රිසානා දැරිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ආකාරය තේරුම්ගෙන ඊට අනුකූලව හැඩ ගැසීමය. එහිදී මුස්ලිම්වරුන් මෑතක සිට සිතා මතා කරන ක්‍රියාකාරකම් නිසා මෙරට සංස්කෘතික සමබරතාව කෙලසෙන බව මුස්ලිම් නායකයින් දැනගත යුතුය. පිලිගත යුතුය. ඒ ගැන ප්‍රසිද්ධියේ කථා කරමින් එය නිවැරදි කිරීමට කටයුතු කල යුතුය. සිංහල නායකයින්ද කල්ලිවාදී නොවී එලෙස කටයුතු කරන මුස්ලිම් නායකයින් තමන්ට එක් කර ගත යුතුය. එලෙස කටයුතු නොකරනවුන් පන්නා දැමිය යුතුය.

Friday, July 25, 2014

රංචු ගැසීම: අලි සහ අපි

අලි ජීවත් වන්නේ රැළක් හැටියටය නැත්නම් රංචු ගැසීය. අලි මෙන් වෙනත් සතුන්ද රංචු ගැසී ජීවත් වෙති. මිනිස්සුද රංචු ගැසෙති. රැකියාවේ පඩි වැඩි කරගැනීමේ සිට ඊනියා මූලධර්මවාදයක් වෙනුවෙන් සටන් කරන්නන් දක්වා කරන්නේ යම්කිසි අනන්‍යතාවක් මත රංචුවක් තනා ගැනීමය. නමුත් බටහිර උගත්තු පොදුවේ රංචු ගැසීම් තමන්ට තරම් නොවේ යැයි අඟවති. ඒ රංචු ගැසීම කැළෑ ගතියක් යැයි ඔවුන් සිතන නිසා විය හැකිය. හර්ඩ් මෙන්ටැලිටි නැත්නම් රංචු මානසිකත්වය වැනි පද බටහිර සමාජය විසින් නිර්මාණය කරගෙන ඇත්තේ ඒ ආකල්ප මතය. විශේෂයෙන්ම වාර්ගික අනන්‍යතාව මත පදනම් වුනු ප්‍රාථමික මට්ටමේ රංචු ගැසීම් කොහොමටත් පහත් යැයි බටහිරුන් අපට කියා දෙති. නමුත් ඇත්තටම ගතහොත් මෙලොව සියලු ජන වර්ගයා සලකන විට යුදෙව් ක්‍රිස්තියානි සමාජ තරම් රංචු ගැසීමට ප්‍රවණතාවක් දක්වන වෙනත් සමාජ ඇත්දැයි සැක සහිතය.

බටහිර සමාජම සංස්කෘතික අනන්‍යතාව මත පදනම් කරගෙන තැනුනු මහා පරිමාන රංචු ලෙස හැඳින්විය හැකිය. මූලික රංචු ගැසීමට මතු පිටින් ආර්ථික දේශපාලන හා සමාජීය හේතු සලකාද ඔවුහු රංචු ගැසෙති. මිනිසුන් නගරවලට භෞතික වශයෙන් රොක්වීම එක් ආකාරයකට ආර්ථික රංචු ගැසීමකි. විවිධ රෝග නිසා දුක් විඳින මිනිස්සු තම තමන්ගේ දුක බෙදා ගැනීම සඳහා ඒ ඒ රෝග මුල් කරගෙන සපෝට් ගෲප්ස් යනුවෙන් හදාගන්නේද රංචුවකි. එහිද අනන්‍යතාව වැදගත්ය. බොහෝවිට එහි සාමාජිකයෝ එකී රෝගයෙන් පෙලෙනවුන් හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මිස වෙනත් අය නොවේ. සමාන්‍යයෙන් යම් රංචුවකින් ඉටු වෙන්නේ පුද්ගලයෙකුගේ යම් විශේෂිත අවශ්‍යතාවක් පමණි. වෙනත් අවශ්‍යතාවන් සඳහා ඔහුට වෙනත් රංචුවල සාමාජිකත්වය ලබා ගැනීමට සිදුවේ.

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල රංචු ගැසීමට ඇති ප්‍රවණතාවට මූලික හේතුව එහි පුද්ගලයා සමාජය තුල තනිවීමත් මේ තනි කෙරුනු පුද්ගලයින්ගේ පැවැත්මට සමාජයකින් ඉටුවිය යුතු අවශ්‍යතා රංචු ගැසීමකින් තොරව ඉටූ කර ගත නොහැකිවීම නිසාත් යැයි මම සිතමි. ඒනිසා බටහිරුන් කරන්නේ ඒ ඒ අවශ්‍යතා සඳහා ඒ ඒ රංචු නිර්මාණය කර ගැනීමය. ඒ නිසා උගතුන් මොනවා කීවත් බටහිරුන්ගේ පැවැත්මට රංචු ගැසීම අනිවාර්යය. නමුත් බටහිර මිනිසුන්ගේ රංචු ගැසීමත් අලින්ගේ රංචු ගැසීමත් එකම නොවේ. අලි රංචු ගැසෙන්නේ පුද්ගල අවශ්‍යතාවට වඩා උන් අතර ඇති යම් ආධ්‍යාත්මික බැඳීමක් නිසා යැයි මම සිතමි. උන්ට තම රැළෙන් ඈත්වීම දරා ගත නොහැකිය. කුඩා පැටවුන්ට පමණක් නොවේ මහ අලින්ටද රැළෙන් වෙන්වීම සමහරවිට උන්ගේ මරණයට පවා හේතු විය හැකි යැයි කියවේ. එසේ වෙන්නේ උන්ට වෙන්වීම දුකක් ලෙස දැනෙන නිසා විය යුතුය. දුක දැනෙන්නේ බැඳීම නිසාය. මගේ අත්දැකීම අනුව නම් බටහිර මිනිසුන්ගේ රංචු තුල ආධ්‍යාත්මික බැඳීම් ඇත්තේ නැති තරම්ය. පැහැදිලිවම බටහිර මිනිසුන්ගේ රංචු ගැසීමටත් අලින්ගේ රංචු ගැසීමටත් පදනම් හාත්පසින්ම එකිනෙකට වෙනස් ඒවාය.

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ පුද්ගලයින්ට ඇත්තේ නිරපේක්‍ෂ පැවැත්මකි. ඔවුන්ට අනුව ලෝකය ඇතත් නැතත් පුද්ගලයා පවතී. ඒ හා සසඳනවිට පොදුවේ අලින්ට ඇත්තේ සාපේක්‍ෂ පැවැත්මක් යැයි කිව හැකිය. එනම් උන්ට පැවැත්මක් ඇත්තේ රංචුව පවතින තෙක් පමණි. නිරපේක්‍ෂව පවතින්නන්ගේ රංචු ගැසීමට පදනම පුද්ගලිකත්වය නම් සාපේක්‍ෂව පවතින්නන්ගේ රංචු ගැසීමට පදනම සාමූහිකත්වයය. මූලික පදනම සලකා බලන විට අලි රංචුත් බටහිර සංස්කෘතියේ මිනිස් රංචුත් සිටින්නේ අන්ත දෙකකය.

කෙසේ වෙතත් සිංහල බෞද්ධයින්ටද රංචුවක් ලෙස සිටීමට අවශ්‍යය. එසේ නම් ඔවුන් රංචු ගැසෙන්නේ මොන පදනමින්ද?

ථෙරවාදී බෞද්ධයෝ පැවැත්ම යන සංකල්පයම මුලාවක් යැයි විශ්වාස කරති. නමුත් ඒ බව ප්‍රත්‍යක්‍ෂයෙන් නොදන්නා, මානානුෂය වැනසූ නැති බෞද්ධයින්ට යම් ආකාරයක පැවැත්මක් අවශ්‍යය. පැවැත්ම බොරුවක් බැවින් ඔවුන්ට කල හැක්කේ ඊනියා පැවැත්මක් ගැන යම් සම්මුතියක් ගොඩනඟා ගැනීම පමණි. එහිදී ඔවුහු පැවැත්ම පිළිබඳ අන්තවාදී ස්ථාවර ප්‍රතික්‍ෂේප කරති. සාපේක්‍ෂ පැවැත්ම සහ නිරපේක්‍ෂ පැවැත්ම ඒ අන්තය. ඒ අන්ත දෙක ප්‍රතික්‍ෂේප කර චතුස්කෝටික න්‍යායට අනුව ගත හැකි එක් ස්ථාවරයක් නම් සාපේක්‍ෂවත් නිරපේක්‍ෂවත් පවතී යන්නය. අපි එය බැඳී වෙන්වී පැවතීම ලෙස හඳන්වමු. පැවැත්ම ඒ ආකාර නම් රංචු ගැසෙන්නේ සාමූහිකත්වයත් පුද්ගලිකත්වයත් දෙකම පදනම් කරගෙනය.

නමුත් ථෙරවාදී බෞද්ධයින්ට බැඳී වෙන්වී පැවැත්ම තබා මොන පැවැත්මක්වත් සම්මුතියක් මිස යථාර්තයක් නොවේ. ඒ නිසා බැඳී වෙන්වී පැවැත්ම පදනම් කරගෙන ගැසෙන රංචුවේ සාමාජිකත්වයට දැඩි නිර්ණායක තිබිය නොහැකිය. පැවැත්ම බොරුවක් නම් එය එසේ විය යුතු නේද? නමුත් ඉන් කියවෙන්නේ පවුල, ගෝත්‍රය, ආගම, වර්ගය වැනි අනන්‍යතා වැදගත් නොවෙන බව නොවේ රංචු ගැසීම සඳහා ඒ අනන්‍යතා අත්හල යුතුද නොවේ නමුත් වඩාත් වැදගත් වන්නේ රංචුවේ සාමාජිකයෝ පැවැත්ම පිළිබඳ සිංහල බෞද්ධයින්ගේ සම්මුතිය එනම් පුද්ගලිකත්වය මෙන්ම සාමුහිකත්වයද එක ලෙස වැදගත්ය යන්න පිළිගැනීමය. රංචුවේ නිර්ණායකය සම්මුතිය පිළිගැනීමය.

මෙරට බහුතරයක් සාමාන්‍ය දෙමළ මුස්ලිම් ජනයාට එය ගැටළුවක් විය නොහැකිය. නමුත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට එය ප්‍රශ්ණයකි. මන්ද පුද්ගලිකත්වය මත ගැසෙන රංචු ගැසීම් හැර අන් සියළු ආකාර රංචු ගැසීම් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අභියෝගයක් වන බැවිනි. බටහිර උගතුන් කුහක ලෙස රංචු ගැසීම් පිළිබඳව අවඥ්ඥාවෙන් කථා කරන්නේ ඒ නිසාය.

Thursday, July 17, 2014

උගතුන්ගේ බුද්ධාගම

බටහිර උගත්තු ඊනියා බුද්ධාගමක් මුරුංගා අත්තේ තබන ගමන් බෞද්ධයින්ට පහර දෙති. වරද පොදුවේ බෞද්ධයින්ගේ මිස ඔවුන් අදහන බුදුදහමේ නොවේ යැයි මේ උගත්තු පවසති. ඇත්තටම මේ සමහර අයට දහමේ හොඳ නරකක් වැඩක් නැත. ඔවුන්ට අවශ්‍යය බෞද්ධයින්ට පහර ගැසීමටය. ඔවුන් ආගම මුරුංගා අත්තේ තබන්නේ තමන් ම්ලේච්ඡයින් නොවන බව පෙන්වමින් ම්ලේච්ඡ වැඩ කිරීම සඳහාය. බටහිර දේශපාලකයින් හා වෘතිකයින් මේ ආකාරයට වංචා සහගත නැත්නම් පොලිටිකලි කරෙක්ට් කථා කීම බටහිර සභ්‍යත්වයේ පිළිගත් අංගයකි. නමුත් බටහිර උගතුන්ගේ පොදු බෞද්ධ විරෝධය තුල දැකිය හැක්කේ හුදෙක් දේශපාලනික වංචාවක් පමණක් නොවේ ඔවුන්ට සාමාන්‍ය බෞද්ධයින් කරන කියන දේ තේරුම් ගැනීමටද නොහැකිය. ඊට හේතුව බටහිර උගතුන් බුද්ධාගම ලෙස හඳුනා ගන්නේ සාමාන්‍ය ථේරවාදී බෞද්ධයින් අදහන ආගමම නොවෙන නිසාය.

කුඩා කාලයේ මා අභාෂය ලැබූ මගේ වැඩිහිටි ඥාතීන් අතර බටහිර උගත්තු නොවූහ. නමුත් මා සිතන ආකාරයට ඔවුහු හොඳ බෞද්ධයින් වූ අතර සමහරු හොඳ උපාසිකාවන්ද වුහ. නමුත් මේ කිසි කෙනෙක් සිල් ගත්දිනක භාවනා කලා නම් මිසක නිතර භාවනාවේ යෙදෙනු මා දැක නැත. නමුත් බටහිර උගතුන් බෞද්ධයෝ යැයි කියන්නේ භාවනාවෙහි යෙදෙන්නන්ටය. උදාහරණයක් ලෙසට බටහිර රටවල බුද්ධාගම වැලඳගත් සුද්දෝ කරන්නේ භාවනා කිරීමය. නමුත් ථේරවාදී රටවල සාමාන්‍යයෙන් නිතර භාවනාවේ යෙදෙන්නේ වනගත ආරණ්‍ය වල වැඩ වසන භික්‍ෂූන් වහන්සේලා මිස ගිහියන් නොවේ. පැහැදිලිවම ථේරවාදී බෞද්ධයිනුත් උගත් බෞද්ධයිනුත් කරන කියන දෙයින් වෙනස් වෙති.

සරලව ගත්විට බටහිර උගතුන්ට ප්‍රශ්ණය ථෙරවාදී රටවල වෙසෙන බෞද්ධයින් තමන් මෙන් ක්‍රියා නොකරන්නේ ඇයිදැයි කියාය. ඔවුන් සිතන්නේ තමන් බුදු හාමුදුරුවන් කියාදී ඇති ආකාරයට සසරෙන් එතෙරවීමට කටයුතු කරන අතර ථේරවාදී බෞද්ධයින් අනං මනං කරමින් සිටිනවා කියාය. මේ කථාව සාධාරණද?

උගත් බෞද්ධයින් මෙන්ම ථේරවාදී බෞද්ධයින්ද පෘතග්ජනයෝම වෙති. හැම පෘතග්ජනයින්ටම තම පැවැත්ම වැදගත්ය.

උගත් බෞද්ධයින් ජීවත්වන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුලය. ඔවුන්ගේ පෘතග්ජන පැවැත්ම රැක දෙන්නේ ඔවුන් බෞද්ධයින් වශයෙන් කරන කියන දේ නොව ඔවුන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල කරන කියන දේය. නමුත් ඒ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ථේරවාදී බෞද්ධයින්ගේ පෘතග්ජන පැවැත්ම කිසි දිනක රැක දෙන්නේ නැත. ථේරවාදීන්ගේ පෘතග්ජන පැවැත්ම රැක දෙන්නේ ථේරවාදී රටවල ඇති බෞද්ධ සංස්කෘතීන්ය. එනම් ථේරවාදී බෞද්ධ රටවල ඔවුන් බෞද්ධයින් වශයෙන් කරන කියන දේය.  පැහැදිලිවම ථේරවාදී බෞද්ධයින් හා උගත් බෞද්ධයින් සමුහයක් ලෙස තම පැවැත්ම අරභයා කරන කියන දේ එකිනෙකට වෙනස්ය. ථේරවාදීන්ගේ බුද්ධාගම උගතුන්ගේ බුද්ධාගමින් වෙනස් වන්නේ මේ නිසාය.

මේ වෙනස බටහිර උගත්තු තේරුම් නොගන්නේ අවසානයේ සියලු පෘතග්ජනයින්ට තම පැවැත්ම වැදගත් වන බව ඔවුන් කුහක ලෙස නොසලකා හැර දමන නිසාය. එසේ නොසලකා හරිමින් ඔවුන් සිය පැවැත්ම අරභයා කරන කියන දේවල් සඟවමින් ථේරවාදී බෞද්ධයින් ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන කියනදේට ඇඟිල්ල දිගු කරමින් ඔවුන් බුදුන් වහන්සේ පෙන්වාදුන් මගේ නොයන්නේ යැයි කුහක ලෙස අවලාද නගති. අවසානයේ ඒ අවලාදය හුදු බෞද්ධ විරෝධයකට පදනම් කර ගනිති.

පැවැත්මක් ඇත පැවැත්මක් නැත යන අන්ත දෙකම නොගත යුතු බව බුදුන් වහන්සේ දේශනා කර ඇත. ඉන් තේරුම් ගත යුත්තේ පැවැත්ම යන සංකල්පයම බොරුවක් බවය. එය බොරුවක් බව ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නේ මමත්වය නැති කරගත් සම්‍යග්දෘෂ්ඨිකයින්ය. පෘතග්ජන බෞද්ධයින්ට ඇත්තේ ඒ ගැන විශ්වාසයක් පමණි. පෘතග්ජන බෞද්ධයෝ ඒ විශ්වාසය මත පදනම්ව ඊනියා පවතින ආකාරයක් පිළිබඳව යම් සම්මුතියක් ඇති කරගෙන ජීවත්වෙති. ජාතිය වෙනුවෙන් සටන් කිරීමත් ආර්යාශ්ටාංගික මාර්ගය පිලිපැදීමත් යන දෙකම එකලෙස වැදගත් වන්නේ සිංහල බෞද්ධයින්ට පැවැත්ම බොරුවක් බව විශ්වාස කරමින් පවතින්නට ගැටළුවක් නැති නිසාය.

නමුත් උගත් බෞද්ධයින්ගේ තර්කයට ඒ පැවතීම හසුවන්නේ නැත. ඔවුන්ගේ මූලික ප්‍රශ්ණය එයයි. ඔවුන්ට අනුව එක්කෝ පැවැත්ම බොරුවක් ලෙස දැක ඒ විදිහට සිටිය යුතුය නැත්නම් පැවැත්ම ඇත්තක් ලෙස දැක ඒ විදිහට සිටිය යුතුය. උගත් බෞද්ධයින් සිතන්නේ තමන් පැවැත්ම බොරුවක් ලෙස දකින බවත් (හෝ ඒ ආසන්නයේ සිටින බවත්) තමන් කරන කියන දේට පදනම ඒ දැකීම බවත්ය. නමුත් පැවැත්ම බොරුවක් ලෙස දැකිය හැක්කේ මමත්වය නැති කර ගත් සම්‍යග්දෘෂ්ඨිකයින්ට පමණි. මමත්වය නැතිකරගත්තා යැයි සිතන නමුත් මමත්වයක් ඇති පෘතග්ජනයින් තරම් දැරුණු පිරිසක් තවත් සිටිය නොහැකිය. සරලව සැලකුවිට ඔවුන්ට තම පැවැත්ම සඳහා අනුන්ගේ ජීවිත විනාශකර එහි වගකීමෙන් මිදී සිටිය හැකිය. (මා යැයි කෙනෙකු නැත්නම් වගකීම් දරන්නේ කවුද?) උගතුන් සිංහල බෞද්ධයින්ට කෙතරම් අවලාද නැඟුවත් අවසානයේ ඇත්තෙන්ම හිංසාකාරී වන්නේ උගතුන්ගේ බුද්ධාගමය.

Wednesday, July 9, 2014

ජාතික උත්සව

අවුරුදු, වෙසක් සහ පොසොන් උත්සවද දළදා පෙරහැරද හැරුනුවිට ජාතික උත්සව ලෙස සැලකිය හැකි වෙන උත්සවයක් සිංහළුන්ට ඉතිරි වී නැත. මේ අතරිනුත් වෙසක් උත්සවය බුදු දහම හා සෘජුවම බැඳී ඇති ලොව සියලු බෞද්ධයින්ට වැදගත් වන උත්සවයකි. නමුත් පොසොන් උත්සවය එසේ නොවේ එය විශේෂයෙන් වැදගත් වන්නේ සිංහල බෞද්ධයින්ටය. ඒ මිහිඳු රහතන් වහන්සේ හා සිංහල බෞද්ධ සංස්කෘතිය අතර ඇති සම්බන්ධය නිසාය. මහින්දාගමනය සිංහල බෞද්ධ සංස්කෘතියට අනන්‍යතාවක් ලබාදුන් විශේෂතම සිදුවීම ලෙස සැලකිය හැකිය. සංස්කෘතියක ආරම්භක අවස්ථාවක් ලෙස පැහැදිලිවම දැක්විය හැකි කරුණක් වසර දෙදහසකටත් වඩා වැඩි කාලයකට පසුවත් ජාතික උත්සවයක් ලෙස සමරන අන් ජාතියක්වේ දැයි සැක සහිතය. පොසොන් උත්සවය සිංහල බෞද්ධ සංස්කෘතියේත් සිංහලුන්ගේත් අඛන්ඩ පැවැත්ම විදහාපාන උත්සවයක් ලෙස හැඳින්විය හැකිය. නමුත් අද කුමන හේතුවක් නිසා හෝ සිංහළුන්ට අනන්‍යවූ සංස්කෘතිකාංග පොසොන් උත්සවය තුල එතරම් දකින්නට නැත. (ඒ හෙළයින් ඒ ගැන තැකීමක් නොකල නිසාද?)

ඒ අතින් ගත්විට අවුරුදු උත්සවය ස්වභාවිකවම සිංහල සංස්කෘතිකාංග වලින් පිරුනකි. නමුත් අළුත් අවුරුද්ද දිවයින පුරා එක විට සැමරුවත් ප්‍රායෝගිකව එහි ක්‍රියාකාරකම් වෙසක් පොසොන් උත්සවවල තරම් සාමූහික බවක් ගන්නේ නැත. ඒ උත්සව හා සසඳන විට අවුරුදු උත්සවයේ වැඩි අවධානයක් ලැබෙන්නේ පවුල නැත්නම් ලඟම නෑදෑ හිත මිතුරන් අතර කෙරෙන ක්‍රියාකාරකම් වලටය. වැඩිම වුනොත් ඒ කටයුතු ගම් ප්‍රදේශයට හෝ සීමා වේ. එහි වරදක් නැත. එය එසේ විය යුතුය. නමුත් සමූහයක් වශයෙන් සහභාගීවෙන සංස්කෘතිකාංග වලින් පිරි ජාතික උත්සවද සිංහළුන්ට අවශ්‍යයය. මා සිතන අන්දමට මේ කරුණු දෙකම සඵල වන්නේ දළදා පෙරහැරෙහිය. නමුත් අවාසනාවකට දළදා පෙරහැරට අද ජාතික උත්සවයක් වශයෙන් හිමිවිය යුතු ගෞරවය හා වැදගත් තැන හිමි නොවන්නේ මහනුවර රේස් පැදීම නිසා පමණක් නොවේ. මහනුවර හා ඒ අවට වැසියන් හැරුනුකොට මෙරට සෙසු ජනයා දළදා පෙරහැරට ලබා දෙන්නේ විදෙස් සංචාරකයින් ඊට ලබා දෙන වැදගත්කමමය. එය සුදුසු නොවේ. ප්‍රමාණවත්ද නොවේ.

සමූහයක් වශයෙන් සහභාගීවෙන සංස්කෘතිකාංග වලින් පිරි උත්සව ජාතිකානුරාගය ඇති කරවයි. එවැනි ජාතික උත්සව ජාතියක් සතුවිය යුතුය. එහි ගොඩනැඟෙන මිනිස් සම්බන්ධතා නිසාත් එහි නිර්මාණශීලීත්වයට ඇති අවකාශය නිසාත් ජාතික උත්සව ඉතිහාසය උගන්වනවාටත් වඩා ජාතියේ පැවැත්මට උදව් වේ යැයි සිතිය හැකිය. ඒ නිසා  නිතර නිතර බෞද්ධයින් පන්සිල්හි පිහිටුවන්නාක් මෙන් ජාතික උත්සවද නිතර පැවැත්වීම ජාතියට ගුණය. නමුත් ජාතික නිවාඩු දින කෙතරම් තිබුනත් සිංහළුන්ට එතරම් ජාතික උත්සව නැත. සිංහළුන්ට සාපේක්‍ෂව ඉතා කෙටි ඉතිහාසයක් ඇති ඇමරිකානුවන්ට සිංහළුන්ට වඩා ජාතික උත්සව ඇත.

ඇමරිකානුවෝ ජූලි හතර වෙනිදා ඔවුන්ගේ නිදහස සැමරූහ. ඒ වෙනුවෙන් රට පුරා ලොකු කුඩා නගරවල උත්සව පැවැත්වුනු අතර ඇමරිකානුවෝ ඉතා උද්යෝගයකින් ඊට සහභාගීවූහ. ඒ හැම උත්සවයකම පාහේ පෙරහැරද විය. මේ පෙරහැර සිංහළුන්ගේ පංසල් දේවාල වල කෙරෙන පෙරහැර හා සමාන නොවුනත් අපේ පෙරහැරවල මෙන්ම ඒ පෙරහැරවලද උපහාර දැක්වෙන්නේ ගෞරවපුද කෙරන්නේ වෙන කිසිවකටත් නොව එරට සංස්කෘතියටය. ඇමරිකානු නිදහස් උත්සවය එහි වැසියන් සමූහයක් වශයෙන් සහභාගීවෙන ජාතික සංස්කෘතික උත්සවයකි. උගතුන් කෙතරම් විරුද්ධව හඬ නැඟුවත් ඇමරිකානුවන් තම නිදහස් දිනට දෙන වැදගත්කම සිංහළුන් ජාතියක් වශයෙන් රණවිරුවන් සිහිකිරීමට හිමි කරනොදෙන බව මහේ හැඟීමය.

පොදුවේ බටහිරුන්ගේ ක්‍රීඩා උත්සවද ජාතික සංස්කෘතික උත්සව ලෙස හැඳින්විය හැකිය. අද ලොව පුරා ජනප්‍රිය වී ඇත්තේ බටහිර ක්‍රීඩා නිසා පාපන්දු ක්‍රිකට් වැනි ක්‍රීඩා තරඟ සංස්කෘතික උත්සව ලෙස හැඳින්වූයේ නැති වුනද අපේ ඇසින් බලනවිට මේ ක්‍රීඩා උත්සව බටහිර සංස්කෘතික උත්සවම වේ. බටහිරුන්ද එසේ නොසලකන්නේ යැයි කිව නොහැකිය. ඇමෙරිකානුවෝ විශේෂයෙන් බේස් බෝල් ක්‍රීඩාවට ජාතික ක්‍රීඩාවක් වශයෙන් සලකමින් මහත් ගෞරවයක් දක්වති. වසරේ ආරම්භක බේස් බෝල් තරඟය වීදි පුරා පෙරහැර ගොස් උත්සවාකාරයෙන් පැවැත්වේ. බොහෝවිට රාජ්‍ය නායකයින්ද ඊට සහභාගීවේ. සියලු තරඟ ආරම්භයේදී ජාතික ගීය ගැයේ. මෙහි සිදුකෙරෙන්නේ ඔවුනගේ සංස්කෘතිය ගැන ආඩම්බරවීම ඊට ගෞරවපුද කිරීම නොවේ නම් වෙන කුමක්ද? එංගලන්තයේ ලෝඩ් පිටියේ ගාම්භීර ලෙස ටෙස්ට් තරඟ නරඹන ඉංග්‍රීසී ජාතිකයින් කරන්නේ තමන්ගේ සංස්කෘතිය සංදර්ශනය කිරීමක් නොවේද? ක්‍රීඩා තරඟ නිතර පවත්වන බැවින් බටහිරුන්ට සිය සංස්කෘතිය ඔසවා තැබීමට නොමඳව අවස්ථා ලැබේ. නමුත් සිංහළුන්ට ක්‍රීඩා හරහා එය කල නොහැකිය. අපිට ක්‍රිකට් තරඟ හුදු තරඟ පමනි.

ජාතියක් වශයෙන් සමරන සංස්කෘතිකාංග වලින් පිරි ජාතික උත්සව සිංහළුන්ට අවශ්‍යයය. දළදා පෙරහැර හුදු සංචාරකයින්ගේ විනෝදාස්වාදයට සින්නවෙන්නට ඉඩ නොහැර ජාතික සංස්කෘතික උත්සවයක් බවට පත් කරගත යුතුය.

Thursday, July 3, 2014

දේශපාලනයේ ටෙස්ට් මැච්

බේරුවල අලුත්ගම ප්‍රදේශවල ඇතිවුනු ගැටුම රට පුරා පැතිරෙන්නට නොදී එපමණින් බේරා ගැනීමට කටයුතු කිරීම ගැන රජයට ප්‍රශංසා හිමි විය යුතුය. ප්‍රමාදවී හෝ ජන මාධ්‍යද ඒ පිළිබඳව ස්වයංවාරණයක් ඇති කරගත් බව පෙනේ. ඒ පිළිබඳව මාධ්‍ය ආයතනද පැසසුමට ලක්විය යුතුය. ගැටුම විශ්ලේෂණයේදී ඊට ආසන්නතම හේතුවක් ලෙස භික්‍ෂූන් වහන්සේ නමක් සහ මුස්ලිම් ජාතිකයෙක් අතර වූ බහින් බස්වීම දැක්විය හැකි වුනද ඒ සිදුවීම හරහා පමණක් ඉන් පසු ඇතිවුනු වර්ගවාදී ගැටුම තේරුම් ගත නොහැක්කේ ඊට ලඟින් යන සිදුවීම් මීට පෙරත් එම ප්‍රදේශයේ සිදුවී ඇති බැවිනි. අවාසනාවකට අපි බලාපොරොත්තු විය යුතු ආකාරයටම බටහිර උගතුන් හා බටහිර ජනමාධ්‍ය සියල්ල තේරුම් ගැනීමට උත්සාහ කරනුයේ විශ්ලේෂණයෙන් පමණි.

ඒ අහඹු සිදුවීමෙන් පසුව නිර්මාණය වුනු ගැටුම පිළිබිඹු කරන්නේ සමස්ථයක් වශයෙන් සිංහල බෞද්ධයින් දේශීය මුස්ලිම්වරුන්ගේ ආක්‍රමණයටත් පොදුවේ බටහිර සංස්කෘතික ආක්‍රමණයටත් මුහුණදීමට දරන උත්සාහයය. පැහැදිලිවම සිංහල බෞද්ධයින්ට ඒ සඳහා ප්‍රමාණවත් පිළිතුරු නැත. ගැටුමට හේතුව එයය.


මෙරට සිංහලයෝත් මුසල්මානුවොත් සිටින්නේ කර වටක් බටහිර සංස්කෘතියේ ගිලී බව අපි අවබෝධ කරගත යුතුවෙමු. අපේ ආර්ථික ක්‍රමයත් දේශපාලන ව්‍යුහයත් අධ්‍යාපන ක්‍රමයත් සැකසී ඇත්තේ මුස්ලිම් සංස්කෘතියේවත් බෞද්ධ සංස්කෘතියේවත් නොව බටහිර සංස්කෘතියේය. නමුත් සිංහල බෞද්ධයින්ට සාපේක්‍ෂව මුස්ලිම් වරුන්ට බටහිර සංස්කෘතිය තුල ඉහලට යෑමට බාධාවක් හෝ අපහසු කමක් නැත. විශේෂයෙන්ම බටහිරුන් දකින ඊනියා ආර්ථික සංවර්ධනය එලෙසම දැකීමට මුස්ලිම් සංස්කෘතියට ප්‍රශ්ණයක් ඇතැයි සිතිය නොහැකිය. 


මේ හේතුව නිසා  බටහිර සංස්කෘතියට පිටුපාමින් තම සංස්කෘතිය තුල ජීවත්වීමට වෙර දරන මෙරට අහිංසක සිංහල බෞද්ධයින්ට
මුස්ලිම්වරුන්ට සාපේක්‍ෂව හිමිවන්නේ සමාජයේ අඩි පතුලය. මෙසේ අඩි පතුලේ සිටින සිංහල බෞද්ධයින්ට දේශීය මුස්ලිම් වරුන් ගෙන යන ආක්‍රමණය ගහෙන් වැටුනු මිනිසාට ගොනා ඇනීමක් හා සමානය. නමුත් බෞද්ධයින් කල යුත්තේ බටහිර සංස්කෘතිය තුල මුස්ලිම් වරුන් අභිබවා යාම නොව මෙරට මුල් පුටුවෙන් බටහිර සංස්කෘතිය නෙරපා දමා ඒමත සිංහල බෞද්ධ සංස්කෘතිය හිඳ වීමය. සිංහල බෞද්ධ සංස්කෘතියට මුල් පුටුව හිමිවිට සිංහල බෞද්ධයින්ට මුස්ලිම් වරුන්ගෙන් තරඟයක් නැති වෙනු ඇත. මුස්ලිම් වරුන්ටද සිංහල බෞද්ධයින්ගෙන් තරඟයක් නැතිවෙනු ඇත.

නමුත් එය අපේ ජීවිත කාලය තුලදී සිදුවේ යැයි බලාපොරොත්තු විය නොහැකිය. ඒ ගමන දිගය. ක්‍රිකට් ක්‍රීඩාවේ ටෙස්ට් ක්‍රිකට් ගැසීම බඳුය. කාලයකට පසු නායකයෙකු වශයෙන්ද පිති කරුවෙකු වශයෙන්ද ඇන්ජිලෝ මැතිව් විසින් අපිට ටෙස්ට් ක්‍රිකට් වලින් දිනන හැටි පෙන්වාදී ඇත. ඔහු කල්යල් බලා පිති හරඹ කලේය. තරඟය මැදදී ජෝ රූට්ට සත්තමක් දැම්මත් තරඟය දිනීම මිස ජෝ රූට් වැදගත් කර ගත්තේ නැත. නමුත්  අවාසනාවකට අපිට හුරු අපි කැමති සීමිත පංදුවාර තරඟවලටය. නමුත් දේශපාලනයේ පංදුවාර ගණන සීමා කර නැත. උතුරේ යුද්ධය අවසන් වී වසර පහක් ගතවීත් බටහිරුන් සටන නොනවත්වා රැගෙන යාම ඊට හොඳම නිදසුනය. සිංහල බෞද්ධයෝ දේශපාලනයේද ටෙස්ට් ක්‍රිකට් ගැසීමට හුරු වෙන්නේනම් හොඳය.