Friday, May 9, 2014

බුදු දහම වෙනස්වීම

සිංහල බුදු දහම කවදා හෝ නැති වෙනු ඇත. ඒ නැති නොවෙන දෙයක් නැති නිසාය. අද අපි ගෙවමින් සිටින කාලය සිංහල බුදු දහම නැති වෙමින් පවතින කාලයක් මිස සිංහල බුදු දහම ඇතිවෙමින් පවතින කාලයක් නොවේ යැයි සිතේ. සිංහල බුදු දහමේ එක් ප්‍රධාන සංකේතයක් ගමේ පංසලය නැත්නම් ගමේ පංසලේ ලොකු හාමුදුරුවෝය. අනුරාධපුර සමයේ සිට සංස්කෘතිකව හා විශේෂයෙන් දේශපාලනිකව ශක්තිමත් වෙමින් පැමිණි ගමේ පංසල අද දුර්වල වෙමින් පවතින බව එතරම් අපහැදිලි නැත. ගමේ පංසලේ දේශපාලනික වැදගත්කම වියැකී යනවාත් සමඟම සිංහල බුදු දහමද මෙරටින් තුරන් වෙනු ඇත. සියලු සංස්කාර ධර්මයන් නැසෙන බව දන්නා බෞද්ධයින් වශයෙන් ඒ ගැන දුක් වීමද පලක් නැති බව අපි දනිමු.

බුදු දහමද කවදා හෝ මෙරටින් තුරන් වෙනු ඇත. නමුත් සිංහලුන් ඒ ගැන වගබලා ගත්තොත් සිංහල බුදු දහම මෙරටින් තුරන්වී බොහෝ කලකට පසුවත් යම් කිසි බුදු දහමක් මෙරට රැක ගන්නට ඔවුන්ට හැකි වෙනු ඇත.  පෘතග්ජන අපට පැවැත්මක් ගැන නොසිතා සිටිය නොහැකිය. පවතින දෙයක් නැත. නමුත් අපි නාගසේන හිමියන් අනුව යමින් මොහොතින් මොහොත එසේත් නැත්නම් භවයෙන් භවයට පවතින්නේ මමත් නොවේ මම නොවන්නේද නොවේ යැයි විශ්වාස කරන්නෙමු. තනි පුද්ගලයෙකුට සත්‍ය මේ කථාව මිනිස් සමූහයකටද දල වශයෙන් සත්‍යයැයි සිතිය හැකිය. ඒ අනුව අනාගතයේදී සිංහලුන් කිසි යම් බුදු දහමක් මෙරට රැක ගතහොත් ඒ කිසියම් බුදු දහම සිංහල බුදු දහම නොවේ එය නොවන්නේද නොවේ යැයි කිව හැකිය. ඒ රැක ගන්නා සිංහල බෞද්ධයින් ගැනද කිව හැක්කේ ඔවුන් සිංහල බෞද්ධයින් නොවේ එසේ නොවන්නේද නොවේ කියාය. ජාතියක පරිණාමය එබඳුය. අග්ගඥ්ඥ සූත්‍රයේ එන මිනිසාගේ පරිණාමයද ඊට වඩා දීර්ඝ කාල පරායාසයක සිදුවෙන එැවනිම වෙනසකි.

සිංහල බුදු දහමේ අව පස ගෙවමින් සිටින මේ කාලයේ අපි අනාගතයේ බුදු දහම රැක ගන්නේ කෙසේදැයි කල්පණා කල යුතු වෙමු. නමුත් රැක ගන්නේ යැයි කියා අපට කල හැක්කේ සිංහල බුදු දහමේ වෙනස් වීම දීර්ඝ කාලයක් තුල ඉතා සෙමින් සිංහල බෞද්ධයින්ගේ නියාමනයට අනුව කර ගැනීමට උත්සාහ කිරීම පමණි. ඉන් එහාට කල හැකි දෙයක් නැත. නොරැකියහොත් මෙරටින් බුදු දහම නැතිවී යනු ඇති. නමුත් රැක ගැනීමට කියා එය තදින් බදා ගතහොත් අවසානයේ අපට ලැබෙනු ඇත්තේ බදා ගැනීමේ හේතුව නිසා වෙනස් වුනු බුදු දහමකි. පාළි බසින් ලියැවුනු බෞද්ධ සාහිත්‍යයක් සිංහළුන්ට උරුමවූයේ එවැනි බදා ගැනීමක ප්‍රතිථලයක් ලෙසැයි සිතිය හැකිය. බහුතරයක් සිංහල බෞද්ධයින්ට පාළි බස තේරෙන්නේ නැත. නමුත් අපි කට පාඩමින් පාළි ගාථා කීමට දන්නෙමු. මේ ගාථා සිංහලෙන් දැනගෙන සිටියේ නම් සමහරවිට අපිට එහි කියැවෙනදෑ ගැන මීට වඩා අවබෝධයක් ලබා ගන්නට තිබිනි. එපමණක් නොවේ ආරම්භයේ සිටම සිංහල බුදු දහමට පාළි වෙනුවට සිංහල ආදේශ වී තිබිනි නම් සිංහල බසද අදට වඩා බුදු දහමින් පෝෂණය වන්නට ඉඩ තිබිනි. අනිත් අතට බුදු දහම පාළියෙන් ලියා නොතිබිනි නම් එය සිංහල දත් බහුතරයක් අත විකෘති වන්නට ඉඩ තිබිනැයි සිතිය හැකිය. කෙසේ වෙතත් අද අපි දන්නා බුදු දහම මෙතෙක් කල මෙරට රැකුනේ පාළි දත් සුළුතරයක් එය බදාගෙන රැක ගැනීමට ගත් උත්සාහය නිසා යැයි කිව හැකිය. බදාගෙන රැක ගත්තද එය වෙනස් නොවී තබා ගැනීමට හැකිවී නැත. නමුත් බුදු දහමක් මෙරට රැකී ඇත.

බදාගෙන රැක ගැනීමට ප්‍රතිවිරුද්ධ රැක ගැනීම බදා නොගෙන රැක ගැනීමය. අද පවතින බටහිර සංස්කෘතික ආධිපත්‍යය යටතේ බදා නොගෙන බුදු දහම රැක ගන්නට ගියහොත් අනාගතයේදී අපට ලැබෙනු ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ලිබරල් බුදු දහමකි. බටහිර රටවල සුද්දන් මෙන්ම බටහිර සංස්කෘතියට අනුගතව එහි ජීවත්වෙන සිංහලුන්ද අදහන්නේ ලිබරල් බුදු දහමකි. ඇමරිකාවේ බෝධි හිමියෝ මෙන්ම ඔස්ටේ‍ර්ලියාවේ බ්‍රහ්මවංසෝ හිමියෝත් දේශණා කරන්නේ ලිබරල් බුදු දහමක් යැයි සිතිය හැකිය. අපි ත්‍රිපිටකයේ කරුණු අවබෝධ කරගන්නා ආකාරයත් ඔවුන් අවබෝධ කරගන්නා ආකාරයත් අතර වෙනසක් තිබිය හැකිය. ඒ නිසා ඔවුන්ගේ දහම සිංහල බුදු දහමින් යම් තරමකට වෙනස් වෙනවා යැයි අනුමාණ කල හැකිය. බටහිර දැනුම උගත් එයට ගැතිකම් කරන සිංහල බෞද්ධයෝද සිංහල බුදු දහම ලිබරල් බුදු දහමක් කිරීමට පාර කපති. බුදු දහමත් බුදු දහම රකින සංස්කෘතියත් අතර පෑහීමක් තිබිය යුතුය. නැතිව බුදු දහම රුකෙන්නේ නැත. ඒ නිසා බුදු දහම ලිබරල් බුදු දහමක් ලෙස රැක ගැනීම යනු සිංහල බෞද්ධයින් යුදෙව් ක්‍රිස්තියානි ලිබරල් සංස්කෘතිය වැලඳ ගැනීමය.

සිංහල බුදු දහම නැතිවීම වැලකිය නොහැකිය. නමුත් යම් කිසි බුදු දහමක් මෙරට රැක ගැනීමට උත්සාහ කල යුතුවෙමු. කල හැක්කේ සිංහල බුදු දහමේ වෙනස් වීම දීර්ඝ කාලයක් තුල ඉතා සෙමින් සිංහල බෞද්ධයින්ගේ නියාමනයට අනුව කර ගැනීමට උත්සාහ කිරීමය. බදාගෙන රැක ගැනීමට උත්සාහ කලහොත් වෙනස් වීමට අපෙන් සවිඥ්ඥානිකව ලැබෙන දායකත්වය අවමය මන්ද අපි උත්සාහ කරන්නේ වෙනස් නොකර තබා ගැනීමට බැවිනි. බදා නොගෙන රැක ගැනීමට උත්සාහ කලහොත් වෙනස් වීමට දායකත්වයක් කොහොමවත් නැත. වෙනස්වීමට අපේ දායකත්වයක් නැති නම් ඒ වෙනස්වීම අපේ නියාමනයට අනුව සිදුවේ යැයි සැලකිය නොහැකිය. එසේ නම් අපි බුදු දහම රැක ගත යුත්තේ බදාත් නොගෙන බදා නොගන්නේත් නැතිවය.

5 comments:

  1. ලිබරල් පන්නයේ බුදු දහමක් සහ බෝධි සහ අජාන් බ්‍රහ්මවංසෝ හාමුදුරුවරු අතර ඔබ දකින සම්බන්ධය ප්‍රශංසනීයයි. එය ඇත්තවශයෙන්ම විය හැකි තත්ත්වයක්. මමත් ඔතන දෙවනියට නම සඳහන් ස්වාමීන්වහන්සේගේ බණ කිහිපවරක් අහල තියෙනව. උන් වහන්සෙත් ඇතැම් අවස්ථාවල ලාංකික බෞද්ධයන්ගෙ පිරිත් නූල් බැඳීම වගේ දේ ගැන උපහාසයෙන් කතා කල අවස්ථා තිබුණ. කන්ටේනර් එක නෙමේ කන්ටෙන්ට් එක ආරක්ෂා කරන්න යනුවෙන් උන්වහන්සෙ කියූ දෙය එහි උච්ඡ අවස්ථාවක් (මොනව උනත් උන් වහන්සෙගෙ පසු කාලීන දේශනා වල එම ගතිය අඩු බවක් පෙනෙනව. දුප්පතුන්ට කන්න දෙනවට වඩා විහාරාරාම හදන්න දන් දීම හොඳයි කියලත් උන් වහන්සෙ මෑතකදි කිව්ව. නමුත් අවාසනාවට වගේ බොහොමයක් නූතන බෞද්ධයො අහන්න කැමති අර මුලින් කියපු මානව හිතවාදී බුද්ධ දර්ශණය).

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ජීවත්වෙන උගත් ඈයොත් ඒ රටාවටම තමයි ඇදෙන්නෙ

      Delete
  2. ඔය ගැන නම් දීර්ග සාවාද කල හැක. සැබෑ බුදුදහමයි රැක ගත යුත්තේ. නැතුව නිකාය බුදු දහම නෙමේ. නිකාය බුදු දහමක් රැක ගන්න ගියොත් තව තවත් මේ බුදු දහම පිරිහෙනවා. අපි සුහදව ආරාදනා කරනවා නෙතින් එහා එක්ක එකතු වෙලා මේ වගෙ ප්‍රශ්න ගැන ඇති තරම් සාකච්චා කරන්න කියලා.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  3. අෙප් ෙබෟද්ධයන්ට තිෙයන පුරුද්දක් තමයි ජනප්‍රිය බටහිර මත වලට ඒෙරහි යමක් බුද්ධාගෙම් තිබුෙනාත් කිසි ෙහවිල්ලක් නෑ ඒ්ක බමුනු මතයක් කියල හංවඩු ගැසීම
    උදාහරනයක් ෙලස බුද්ධාගෙම් ඉතා පැහැදිලිව පුරුෂ අාධිපත්‍යය තිෙයනවා නමුත් ඒ් ගැන හැදෑරීමක් නැතුව ඒම කරුණු බමුනු මත කියලා හංවඩු ගහනවා
    ඒ් විතරක් ෙනෙම් පුනුරුප්පත්තිය බමුනු මතයක් කියන අය ඉන්නවා
    කර්මය බමුනු මතයක් කියන අය ඉන්නවා
    නිවන බමුනු මතයක් කියන අයත් ටිකක් ඉන්නවා
    ඔය විදියට බමුනු මත හැලුවාම බුද්ධාගෙම් ඉතිරි ෙවන්ෙන් ධනාත්මක චින්තනය වෙග් ඒකක්

    ReplyDelete
  4. ලිපිය වගේම ලැබෙමින් ඇති ප්‍රතිචාරත් පාඨකයාට විවිධ කෝණ ඔස්සේ සිතන්නට යොමු කරනවා.

    ReplyDelete