Sunday, May 25, 2014

ගම මුල්වුනු ආර්ථිකයක්

දැන්නම් බොහෝ නිවෙස්වල රූපවාහිනිය නැතිව සවස් කාලය ගෙවා දමන්නේ කෙසේද යන්න ප්‍රශ්ණයකි. නමුත් අපි කුඩා කාලයේ ලංකාවේ රූපවාහිනී තිබුනේ නැත. එකල සතියකට වරක් ප්‍රචාරය වුනු ගුවන් විදුලි නාට්‍යයකට සවන් දීමෙන් අපි සෑහීමකට පත්වුනෙමු. ඒ නිසා අද රූපවාහිනිය ඔස්සේ සපුරා ලන්නේ එදා අපට තිබුනු නමුත් ඉටු නොවුනු අපේ යම් අවශ්‍යතාවක් යැයි කිව නොහැකිය. එය අනාගතයේදී නිර්මාණය කරන්නට යෙදෙන යම් භාණ්ඩයක් අපට අද නැතිවීම නිසා අද අපේ යම් හඳුනානොගත් අවශ්‍යතාවක් ඉටුවෙන්නේ නැතැයි කීම හා සමානය. ඒ නිසා රූපවාහිනියෙන් කෙරන්නේ ඊනියා අවශ්‍යතාවක් සැපිරීම නොව ඉන්ද්‍රිය පිනවීම සඳහා නව මඟක් පාදා දීම යැයි කිවහොත් එය වඩා නිවැරදිය.

මේ ආකාරයට මීට වසර තිහ හතලිහකට ඉහත නොතිබුනු පාරිභෝගික භාණ්ඩ හා සේවා රැසක් දැන් අපට නැතිවම බැරිවී ඇත. ඒවා ඊනියා අවශ්‍යතා ලෙස සැලකීමට අද අපි පුරුදුවී සිටියද කලකට ඉහතදී මේ බොහෝ දේ නැතිව ජීවත්වීමට හැකිවුනු බව අඩුතරමින් වැඩිහිටියන්ටවත් මතක තිබිය යුතුය. පාරිභෝගික භාණ්ඩ හා සේවාවන්හි වර්ධනයට හේතුව අපි සමාජයක් වශයෙන් වඩා වඩා ඉඳුරන් පිනවීමට ඇබ්බැහිවීමය.

රූපවාහිනී, මෝටර් රථ, ජංගම දුරකතන වැනි සුඛෝපභෝගී භාණ්ඩ සම්බන්ධයෙන් පමණක් නොවේ සෞඛ්‍ය සේවය වැනි සේවාවන්හි ඇතිවී ඇති වර්ධනයද වක්‍රාකාරයෙන් හෝ ඉඳුරන් පිනවීමේ ප්‍රතිඵලයකි. සෞඛ්‍යය සේවයේ වර්ධනයට එක් හේතුවක් රෝගීන් ගහණවීමය. නමුත් අද අප සමාජය තුල රෝගීන්ගේ වර්ධනයක් ඇතිවී ඇත්තේ සෘජුව හෝ වක්‍රව හෝ අපි ඉඳුරන් පිනවීමට ඇල්මක් දක්වන නිසා නොවේද? අපි ආහාර පරිභෝජනයේදී දිව පිනවීම අරමුණු කරගන්නෙමු. ඇඟ නොවෙහෙසා ජීවත් වෙන්නට බලන්නෙමු. අපව රෝගාතුර කරන විස සහිත පරිසරය කන බොන දෑ මෙන්ම තරඟකාරී ජීවතයද වක්‍රාකාරයෙන් ඉඳුරන් පිනවීමේ ජීවන රටාවක ප්‍රතිඵලයක් නොවේද? අනිත් අතට අද මහා පරිමාණයෙන් රට පුරා පුද්ගලික රෝහල් බිහිවෙන්නේ, ඒවාහි අධික මිලකට සේවා සැපයෙන්නේ, නොයෙකුත් උපක්‍රම යොදාගෙන රෝගීන් තමන් වෙත ආකර්ශනය කරන්නට උත්සාහ කරන්නේ යම් සේවාවක් සැපයීමේ මූලික අරමුණින් නොවන බව පැහැදිලිය. එහි නීත්‍යානුකූල බව කෙසේ වෙතත් ඊනියා සේවයක් සපයමින් සමාජයේ යම් පිරිසක් වඩ වඩා ඉඳුරන් පිනවා ගන්නා බව සත්‍යයකි.

මේ ආකාරයට විමසූවිට ගෙවී ගිය කාලය තුල පාරිභෝගික භාණ්ඩ හා සේවා සැපයීමේ වර්ධනයක් ඇතිවී ඇත්තේ අපි වඩ වඩා ඉඳුරන් පිනවීමට ඇබ්බැහිවීම හේතුකොටගෙනය. එසේ නොවේනම් මේ කාලය තුල සිදුවී ඇති ඊනියා අවශ්‍යතා වර්ධනය තේරුම් ගත හැක්කේ මොන ආකාරයකටද? එය ජනගහනය වර්ධනය වැනි වෙන යම් ස්වාභාවික සංසිද්ධියක් මඟින් පැහැදිලි කර ගත හැකිද?

අද බටහිර ආධිපත්‍යයට යටත්ව ඇති සියලු රටවල් හැකි පමණින් අනුකරනය කරන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ආර්ථික රටාවය. ධනවාදී, ලිබරල්, වෙලඳ, විවෘත ආදී අනොයෙකුත් නම් වලින් හැඳින්වුවද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ආර්ථික රටාව ඉඳුරන් පිනවීම, එසේත් නැත්නම් අවශ්‍යතාවන් වර්ධනය කිරීම පදනම් කරගත් ආර්ථික රටාවකි. නමුත් බෞද්ධයින් වශයෙන් අපි ඉඳුරන් පිනවීමට ඇබ්බැහිවීම සසර තව තවත් දික් කර ගැනීමක් බව දන්නෙමු. බෞද්ධයින්ට අවශ්‍ය ඉඳුරන් සංවර කරගැනීමටය. නමුත් පෘතග්ජනයින් වශයෙන් අපිට නිවීම සොයා ගොස් නිවෙන්නට හැකිවෙන්නේ අවසන ඉන් සැනසීමක් ලැබෙනොත්ය. සැනසීම සොයා ගොස් සැනසෙන්නේ අවසන නිවෙන නිසාය. ඒ නිසා පෘතග්ජනයින් වශයෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ නිවී සැනසීමටය. නිවී සැනසෙන්නටනම් අවශ්‍යතා සපුරා ගන්නා අතරම අවශ්‍යතා ස්වයං වාරණයට ලක් කර ගැනීමටද හැකිවිය යුතුය.

අද අපි පිළිපදින ඉඳුරන් පිනවන ආර්ථික ක්‍රමය නීවී සැනසෙන ආර්ථික ක්‍රමයක් බවට වෙනස් කර ගැනීමට නම් අප උත්සාහ කල යුත්තේ අවශ්‍යතා සපුරා ගැනීම හා වාරණය අතර යම් සමතුලිතතාවක් ඇති කර ගැනීමය. නමුත් ඉඳුරන් පිනවීම පදනම් කරගත් ආර්ථික ක්‍රමයක් තුල ඊනියා සංවර්ධනයක් කරා යන අතරේ ඉන්ද්‍රිය සංවර කර ගැනීමට උනන්දු කරවන සංස්කෘතික ව්‍යාපාරයක් සාර්ථකවේ යැයි සිතිය නොහැකිය. බෞද්ධයින් බලාපොරොත්තු වෙන සමතුලිතතාව ඇති කර ගැනීමටනම් ආර්ථික ක්‍රමවේදයේම වෙනසක් සිදුවිය යුතුය.

බටහිර ආර්ථික ක්‍රමයේ වැදගත්ම දැනුම මහා පරිමාණයෙන් නිශ්පාදනය සිදුකෙරෙනවිට නිශ්පාදන “වියදම” අවම කර ගත හැකිය යන්නය. නමුත් ඇත්තටම මේ කථාව වංචාවකි. මෙහි නිෂ්පාදකයා දරන වියදම අඩු යැයි සැලකෙන්නේ මහා පරිමාණ නිශ්පාදනයේදී පොදුවේ සමාජයටත් පරිසරයටත් සිදුවෙන හානිය නොසලකා හැරීමෙනි. ඒ කෙසේ වෙතත් බටහිර ආර්ථික ක්‍රමය තුල මහා පරිමාණයෙන් නිශ්පාදනය වන්නේ පාරිභෝගික භාණ්ඩ පමණක් නොවේ සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි සේවාවන් සැපයෙන්නේද මහා පරිමාණයෙනි. නිශ්පාදනය මධ්‍යගතව සිදුවීම, භාණ්ඩ බහුලවීම, නිශ්පාදනය වෙළඳාම අරමුණු කොටගෙන සිදු කෙරීම, වෙළඳ මිල අඩුවීම ආදී කරුණූ මහා පරිමාණ නිශ්පාදනයේ ලක්‍ෂණය.  මේ සියලු කරුණු අඩු වැඩි වශයෙන් දායක වෙන්නේ ඉඳුරන් පිනවීම වඩා කාර්යක්‍ෂමව සිදුකෙරීමටය. මහා පරිමාණයෙන් කෙරෙනවිට නිශ්පාදකයා දරන "වියදම" අඩුවන නිසා ඒ භාණ්ඩ ඉතා අඩු මිලකට පාරිභෝගිකයින්ට විකිනිය හැකිය. භාණ්ඩ බහුලවීමත් මිල අඩුවීමත් හේතුවෙන් මහා පරිමාණ නිෂ්පාදන ක්‍රමය තුල ඉඳුරන් පිනවීම වඩා කාර්යක්‍ෂමව සිදු කල හැකිය. මහා පරිමාණ නිශ්පාදනය පාලනය වෙන්නේ මධ්‍යගතවය. මධ්‍යගතව සිදුවෙන නිසා පාරිභෝජිකයා ජීවත් වන්නේ නිශ්පාදන ක්‍රියාවලියෙන් ස්වායත්තවය. ඒ නිසා වෙලඳපොල මඟින් ආර්ථිකය හැසිරවේයැයි බටහිර ආර්ථික විද්‍යාවේ කොතෙක් කියවුනද ඉන්ද්‍රිය සංවර කර ගැනීම අරභයා පාරිභෝජිකයාට නිශ්පාදන ක්‍රියාවලියට කල හැකි බලපෑමක් නැත. ඔහුට ඇත්තේ දෙන දෙයක් කා තව වැඩිපුර ලැබෙන තෙක් බලා හිඳීමටය. ඉඳුරන් පිනවීම කාර්යක්‍ෂමව සිදුවීමත් ඉන් මිදීමට ඇති හැකියාව අවම වීමත් නිසා සුවිශේෂ පුද්ගලයින්ට හැර බෞද්ධයින්ට සමාජයක් වශයෙන් ඔවුන් පතන සමතුලිතතාව මේ ක්‍රමය තුල අත් කර ගත නොහැකිය.

ඒ නිසා ඉඳුරන් සංවර කරන ආර්ථික ක්‍රමයක් ගොඩනඟා ගැනීමට නම් අපි මධ්‍යගත මහා පරිමාණ නිශ්පාදනයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අතක් ගත යුතුය. එනම් අපේ ආර්ථිකය අදට සාපේක්‍ෂව සුලු පරිමාණ නිශ්පාදනය මත පදනම්වුනු විමධ්‍යගත ආර්ථිකයක් බවට පත් කර ගත යුතුය. ගම මුල්වුනු ආර්ථික ක්‍රමයක ගැමියන්ට රිසි පරිදි තම අවශ්‍යතා පිරිමසා ගැනීමටත් අවශ්‍යතා වාරණයට ලක් කර ගැනීමටත් මධ්‍යගත ආර්ථිකයකදීට වඩා ඉඩක් ඇත. වර්ධනය හා වාරණය අතර සමතුලිතතාවක් ඇති කර ගත හැක්කේ ආර්ථික වපසරිය කුඩාවූ පමණටය.

Friday, May 9, 2014

බුදු දහම වෙනස්වීම

සිංහල බුදු දහම කවදා හෝ නැති වෙනු ඇත. ඒ නැති නොවෙන දෙයක් නැති නිසාය. අද අපි ගෙවමින් සිටින කාලය සිංහල බුදු දහම නැති වෙමින් පවතින කාලයක් මිස සිංහල බුදු දහම ඇතිවෙමින් පවතින කාලයක් නොවේ යැයි සිතේ. සිංහල බුදු දහමේ එක් ප්‍රධාන සංකේතයක් ගමේ පංසලය නැත්නම් ගමේ පංසලේ ලොකු හාමුදුරුවෝය. අනුරාධපුර සමයේ සිට සංස්කෘතිකව හා විශේෂයෙන් දේශපාලනිකව ශක්තිමත් වෙමින් පැමිණි ගමේ පංසල අද දුර්වල වෙමින් පවතින බව එතරම් අපහැදිලි නැත. ගමේ පංසලේ දේශපාලනික වැදගත්කම වියැකී යනවාත් සමඟම සිංහල බුදු දහමද මෙරටින් තුරන් වෙනු ඇත. සියලු සංස්කාර ධර්මයන් නැසෙන බව දන්නා බෞද්ධයින් වශයෙන් ඒ ගැන දුක් වීමද පලක් නැති බව අපි දනිමු.

බුදු දහමද කවදා හෝ මෙරටින් තුරන් වෙනු ඇත. නමුත් සිංහලුන් ඒ ගැන වගබලා ගත්තොත් සිංහල බුදු දහම මෙරටින් තුරන්වී බොහෝ කලකට පසුවත් යම් කිසි බුදු දහමක් මෙරට රැක ගන්නට ඔවුන්ට හැකි වෙනු ඇත.  පෘතග්ජන අපට පැවැත්මක් ගැන නොසිතා සිටිය නොහැකිය. පවතින දෙයක් නැත. නමුත් අපි නාගසේන හිමියන් අනුව යමින් මොහොතින් මොහොත එසේත් නැත්නම් භවයෙන් භවයට පවතින්නේ මමත් නොවේ මම නොවන්නේද නොවේ යැයි විශ්වාස කරන්නෙමු. තනි පුද්ගලයෙකුට සත්‍ය මේ කථාව මිනිස් සමූහයකටද දල වශයෙන් සත්‍යයැයි සිතිය හැකිය. ඒ අනුව අනාගතයේදී සිංහලුන් කිසි යම් බුදු දහමක් මෙරට රැක ගතහොත් ඒ කිසියම් බුදු දහම සිංහල බුදු දහම නොවේ එය නොවන්නේද නොවේ යැයි කිව හැකිය. ඒ රැක ගන්නා සිංහල බෞද්ධයින් ගැනද කිව හැක්කේ ඔවුන් සිංහල බෞද්ධයින් නොවේ එසේ නොවන්නේද නොවේ කියාය. ජාතියක පරිණාමය එබඳුය. අග්ගඥ්ඥ සූත්‍රයේ එන මිනිසාගේ පරිණාමයද ඊට වඩා දීර්ඝ කාල පරායාසයක සිදුවෙන එැවනිම වෙනසකි.

සිංහල බුදු දහමේ අව පස ගෙවමින් සිටින මේ කාලයේ අපි අනාගතයේ බුදු දහම රැක ගන්නේ කෙසේදැයි කල්පණා කල යුතු වෙමු. නමුත් රැක ගන්නේ යැයි කියා අපට කල හැක්කේ සිංහල බුදු දහමේ වෙනස් වීම දීර්ඝ කාලයක් තුල ඉතා සෙමින් සිංහල බෞද්ධයින්ගේ නියාමනයට අනුව කර ගැනීමට උත්සාහ කිරීම පමණි. ඉන් එහාට කල හැකි දෙයක් නැත. නොරැකියහොත් මෙරටින් බුදු දහම නැතිවී යනු ඇති. නමුත් රැක ගැනීමට කියා එය තදින් බදා ගතහොත් අවසානයේ අපට ලැබෙනු ඇත්තේ බදා ගැනීමේ හේතුව නිසා වෙනස් වුනු බුදු දහමකි. පාළි බසින් ලියැවුනු බෞද්ධ සාහිත්‍යයක් සිංහළුන්ට උරුමවූයේ එවැනි බදා ගැනීමක ප්‍රතිථලයක් ලෙසැයි සිතිය හැකිය. බහුතරයක් සිංහල බෞද්ධයින්ට පාළි බස තේරෙන්නේ නැත. නමුත් අපි කට පාඩමින් පාළි ගාථා කීමට දන්නෙමු. මේ ගාථා සිංහලෙන් දැනගෙන සිටියේ නම් සමහරවිට අපිට එහි කියැවෙනදෑ ගැන මීට වඩා අවබෝධයක් ලබා ගන්නට තිබිනි. එපමණක් නොවේ ආරම්භයේ සිටම සිංහල බුදු දහමට පාළි වෙනුවට සිංහල ආදේශ වී තිබිනි නම් සිංහල බසද අදට වඩා බුදු දහමින් පෝෂණය වන්නට ඉඩ තිබිනි. අනිත් අතට බුදු දහම පාළියෙන් ලියා නොතිබිනි නම් එය සිංහල දත් බහුතරයක් අත විකෘති වන්නට ඉඩ තිබිනැයි සිතිය හැකිය. කෙසේ වෙතත් අද අපි දන්නා බුදු දහම මෙතෙක් කල මෙරට රැකුනේ පාළි දත් සුළුතරයක් එය බදාගෙන රැක ගැනීමට ගත් උත්සාහය නිසා යැයි කිව හැකිය. බදාගෙන රැක ගත්තද එය වෙනස් නොවී තබා ගැනීමට හැකිවී නැත. නමුත් බුදු දහමක් මෙරට රැකී ඇත.

බදාගෙන රැක ගැනීමට ප්‍රතිවිරුද්ධ රැක ගැනීම බදා නොගෙන රැක ගැනීමය. අද පවතින බටහිර සංස්කෘතික ආධිපත්‍යය යටතේ බදා නොගෙන බුදු දහම රැක ගන්නට ගියහොත් අනාගතයේදී අපට ලැබෙනු ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ලිබරල් බුදු දහමකි. බටහිර රටවල සුද්දන් මෙන්ම බටහිර සංස්කෘතියට අනුගතව එහි ජීවත්වෙන සිංහලුන්ද අදහන්නේ ලිබරල් බුදු දහමකි. ඇමරිකාවේ බෝධි හිමියෝ මෙන්ම ඔස්ටේ‍ර්ලියාවේ බ්‍රහ්මවංසෝ හිමියෝත් දේශණා කරන්නේ ලිබරල් බුදු දහමක් යැයි සිතිය හැකිය. අපි ත්‍රිපිටකයේ කරුණු අවබෝධ කරගන්නා ආකාරයත් ඔවුන් අවබෝධ කරගන්නා ආකාරයත් අතර වෙනසක් තිබිය හැකිය. ඒ නිසා ඔවුන්ගේ දහම සිංහල බුදු දහමින් යම් තරමකට වෙනස් වෙනවා යැයි අනුමාණ කල හැකිය. බටහිර දැනුම උගත් එයට ගැතිකම් කරන සිංහල බෞද්ධයෝද සිංහල බුදු දහම ලිබරල් බුදු දහමක් කිරීමට පාර කපති. බුදු දහමත් බුදු දහම රකින සංස්කෘතියත් අතර පෑහීමක් තිබිය යුතුය. නැතිව බුදු දහම රුකෙන්නේ නැත. ඒ නිසා බුදු දහම ලිබරල් බුදු දහමක් ලෙස රැක ගැනීම යනු සිංහල බෞද්ධයින් යුදෙව් ක්‍රිස්තියානි ලිබරල් සංස්කෘතිය වැලඳ ගැනීමය.

සිංහල බුදු දහම නැතිවීම වැලකිය නොහැකිය. නමුත් යම් කිසි බුදු දහමක් මෙරට රැක ගැනීමට උත්සාහ කල යුතුවෙමු. කල හැක්කේ සිංහල බුදු දහමේ වෙනස් වීම දීර්ඝ කාලයක් තුල ඉතා සෙමින් සිංහල බෞද්ධයින්ගේ නියාමනයට අනුව කර ගැනීමට උත්සාහ කිරීමය. බදාගෙන රැක ගැනීමට උත්සාහ කලහොත් වෙනස් වීමට අපෙන් සවිඥ්ඥානිකව ලැබෙන දායකත්වය අවමය මන්ද අපි උත්සාහ කරන්නේ වෙනස් නොකර තබා ගැනීමට බැවිනි. බදා නොගෙන රැක ගැනීමට උත්සාහ කලහොත් වෙනස් වීමට දායකත්වයක් කොහොමවත් නැත. වෙනස්වීමට අපේ දායකත්වයක් නැති නම් ඒ වෙනස්වීම අපේ නියාමනයට අනුව සිදුවේ යැයි සැලකිය නොහැකිය. එසේ නම් අපි බුදු දහම රැක ගත යුත්තේ බදාත් නොගෙන බදා නොගන්නේත් නැතිවය.