Wednesday, April 9, 2014

අද-ලොව සහ හෙට-ලොව

අද-ලොව සහ හෙට-ලොව යැයි ලෝක දෙකකි. මේ දෙලොවම බොහෝ දුරට එක සමානය. දෙලොවටම ඇත්තේ එකම ඉතිහාසයකි. එකම වෙනස හෙට-ලොව වැසියන් ජීවත්වන්නේ අද-ලොව වැසියන්ට වසර පණහක් පමණ ඉදිරියෙනි. නමුත් අද-ලොව වැසියෝත් හෙට-ලොව වැසියෝත් එකිනෙකා මුණ ගැසී නැත. මුණ ගැසෙන්නට හැකියාවක්ද නැත. මේ වෙනතෙක් තවත් එවැනි ලොවක් ඇත්දැයි වත් දෙලොවම වැසියන් දැන සිටියේද නැත.

මෑතකදී අද-ලොවේ විද්‍යාඥයින් පිරිසක් විසින් විශිෂ්ට උපකරණයක් නිර්මාණය කරන්නට යෙදිනි. ඒ උපකරණයෙන් අද-ලොවේ ඕනෑම වැසියෙකු සතුටින් සිටිනවාද නැද්ද යන්න නිර්ණය කිරීමට හැකිය. උපකරණය කුටියක් වැනිය. ඒ තුලට යමෙක් ඇතුල්වූ පසු එහි යන්ත්‍ර ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවී පුද්ගලයා පිළිබඳ නොයෙකුත් මිනුම් ලබාගෙන තත්පර කිහිපයකින් පසු ඒ පුද්ගලයා ඉන්නේ සතුටින්ද නැද්ද යැයි වාර්තාවක් නිකුත් කරයි. උපකරණය හැඳින්වුනේ සතුට v.1 යනුවෙනි. සතුට v.1 හි නිරවද්‍යතාව පිළිබඳ අද-ලොවපුරා පිළිගැනීමක් ලැබුනු අතර ඒ හේතුවෙන් ඒ විද්‍යාඥයින්ට නොයෙකුත් තෑගි බෝග, සම්මාන, නම්බු නාමද හිමිවිනි.

ඉන්පසු මේ උපකරණය යොදාගෙන අද-ලොව පුරා එහි වැසියන්ගේ සතුටුබව පිළිබඳව සමීක්‍ෂණයක් සිදුකෙරිනි. එහි ප්‍රතිඵල වලින් පෙන්නුම් කෙරුනේ, ඔවුන් සැක කල පරිදිම, අද-ලොව බහුතරයක් වැසියන් ජීවත්වන්නේ අසතුටින් බවය. සමීක්‍ෂණයෙන් දැනගත් අනිකුත් කරුණුද අනුව අද-ලොව වැසියන් අසතුටින් සිටින්නේ මන්දැයි අනුමාණ කිරීමට ඒ විද්‍යාඥයින්ට හැකිවිනි. ඒ අනුව වසර පණහක් තුලදී අද-ලොව සියලු වැසියන් සතුටුබවට පත්කිරීම සඳහා මහා පරිමාණ සමාජ-දේශපාලන වැඩ පිළිවෙලක් සකස් කෙරින. පුළුල් සාකච්ඡා වකින් අනතුරුව මේ පනස් වස් සංවර්ධන සැලස්ම පිළිබඳව පොදු එකඟතාවකට පැමිණීමට අද-ලොව විද්වතුන්ට හැකිවිනි.

නාථ යනු අපේ ලොවේ ජීවත්වෙන අපි වැනි මනුස්සයෙකි. නාථ අද-ලොවට සම්ප්‍රාප්ත වුනේ මේ පනස් වස් සංවර්ධන සැලස්මට එ ලොව ජන මාධ්‍යවලින් මහා ප්‍රචාරයක් දෙමින් සිටින අතරතුරය. පනස් වස් සංවර්ධන සැලස්මේ තිබුනේ අද-ලොව වැසියන් විසින් ඉදිරියේදී අත් කරගත යුතු සම්පත් සහ ආශාවන් ගැනය. අත් හැරිය යුතු දෙයක් ගැන එහි සඳහනක්වත් නොවිනි. ආශාවන් වෙනස් වෙනවිට සතුටේ පදනමද වෙනස් වන බැවින් අද දකින ආශාවන් සඵල කරගැනීමට ක්‍රියා කිරීම තුලින් අනාගතයේ සතුටක් අත් කර ගත නොහැකි බව නාථට සක්සුදක් සේ වැටහිනිි. පනස් වස් සංවර්ධන සැලස්ම අසමත් වන බව නාථ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය. නාථගේ ප්‍රකාශය මහා ආන්දෝලනයකට තුඩු දිනි. අද-ලොව විද්වත්හු නාථට එරෙහිවූහ.

අද-ලොව වැසියන්ට නොහැකිවුනද නාථට ඕනෑම ලොවක සංචාරය කල හැකිය. ඔහු හෙට-ලොව ගැනද දැන සිටියේය. අද-ලොවේ පනස් වස් සංවර්ධන සැලස්ම දුටු නාථට මතක්වූයේ හෙට-ලොවේ වැසියන් නම් එහි සඳහන් සියලු සම්පත් සහ ආශාවන් අත් කරගෙන තිබෙන බවය. (අද-ලොව සහ හෙට-ලොව අතර වසර පනහක් වෙනසක් ඇත). නාථ මේ බව අද-ලොව විද්වතුන්ට දැන්වා සිටියේය. පස්වණක් පිනාගිය අද-ලොව විද්වතුන් සතුට v.1 උපකරණයක් නාථට දී හෙට-ලොවට ගොස් එහි වැසියන්ගේ සතුට පිළිබඳව සමීක්‍ෂණයක් කර එහි ප්‍රතිඵල ඔවුන්ට දන්වා සිටින මෙන් ඉල්ලා සිටියහ. අනුමාණයක් නැතිව හෙට-ලොව වැසියෝ බහුතරයක් සතුටින් සිටිනබව ඉන් පෙන්වාදෙනු ඇතැයි ඔවුහු සිතූහ.

ඉල්ලීම පරිදි නාථ සතුට v.1 ද රැගෙන හෙට-ලොවට ගියේය. නමුත් ඒ යනවිට බලාපොරොත්තුවිය යුතු පරිදිම හෙට-ලොව වැසියන්ට ඒ වනවිටද සතුට මණින උපකරණයක් තිබිනි. එය සතුට v.5 නම් විනි. කලකට ඉහතදී හෙට-ලොව වැසියන් සතුට v.5 පාවිච්චි කරමින් හෙට-ලොව පුරා සමීක්‍ෂණයක් කර තිබිනි. එහි ප්‍රතිපල වලට අනුව හෙට-ලොව වැසියෝද බහුතරයක් සිටියේ අසතුටිනි. කෙසේ නමුත් නාථ එහි ගෙනා සතුට v.1 යොදා ගෙන නැවත ඒ සමීක්‍ෂණය කිරීමට හෙට-ලොවෙහි විද්වතුන් එකඟ විය. මාස කීපයකින් එහි ප්‍රතිඵල නිකුත් විනි. පුදුමයකි! සතුට v.1 ට අනුව නම් හෙට-ලොව වැසියෝ බහුතරයක් සිටියේ සතුටිනි.


හෙට-ලොව වැසියන්ගේ සතුට v.1 ප්‍රතිපලද රැගෙන නාථ නැවතත් අද-ලොවට පැමිණියේය. සතුට v.1 ට අනුව හෙට-ලොව වැසියන් සතුටින් සිටිනබව දැනගත් අද-ලොව විද්වත්හු තමන්ගේ පනස් වස් සංවර්ධන සැලස්ම නිවැරදිබව ප්‍රායෝගිකව ඔප්පුවී ඇතැයි ප්‍රකාශ කලහ. එසේ කර මහා විද්වත් සමුලුවක් කැඳවා එකිනෙකාට සුභ පතාගත්හ. ජය පැන් බීවෝය. මේ සමුලුවට ආරාධනයක් ලැබ නාථද එහි ගියේය. නාථ ඔවුන්ගේ මතයට විරුද්ධ වෙමින් සමුලුව අමතා හෙට-ලොවෙහි සතුට ගැන වැදගත් වන්නේ ඔවුන් සතු සතුට v.5 කියන කථාව මිස ඔවුන්ට අනුව යල් පැන ගිය සතුට v.1 කියන කථාව නොවන බවත්, සතුට v.5 ට අනුව නැත්නම් ඔවුන් දැන් සතුට මණින ආකාරයට අනුව හෙට-ලොව වැසියෝ සිටින්නේ අසතුටින් බවත් පැවසුවේය. ඒ නිසා අද-ලොව වැසියන්ගේ පනස් වස් සංවර්ධන සැලස්මෙන් ඔවුන් බලාපොරොත්තුවෙන සතුට අනාගතයේදී අත්කර ගත නොහැකි බවත් පැවසුවේය. නමුත් ඔවුන් නොදන්නා උපකරණයක ප්‍රතිපල පිලිගැනීමට නොහැකියැයි කියමින් කුහක ලෙස අද-ලොව විද්වතුන් නාථගේ කථාව ප්‍රතික්‍ෂේප කලහ. ඔවුන්ගේ ජය ඝෝෂා මැද නාථ නිහඬවිය. නොබෝ දිනකින් අද-ලොව තුල පනස් වස් සංවර්ධන සැලස්ම ක්‍රියාත්මකවිනි.  බලාපොරොත්තු විය යුතු අයුරින්ම ඉන් වසර පනහකට පසුත් අද-ලොව වැසියෝ සිටියේ අසතුටිනි.

6 comments:

  1. ඉතාම නවමු අදහසක්. ඉහලින්ම අගය කරනවා. මේ ලිපිය එක වරක් කියවා එහි පූර්ණ අරුත ලබාගත නොහැකියි. නැවත නැවතත් සිතන්නට අපිව පොළඹවන, මම කවුද කියා මා විසින්ම සොයා බැලිය යුතු කාලය මේ යයි නැවතත් මතක් කරන ලිපියක්.

    ReplyDelete
  2. මොනව කළත් ආතල් නම් කඩන්න ලෑස්ති වෙන්න එපා!!!! :)

    - ප්‍රභංග

    ReplyDelete
  3. 'සබ්බේ සංඛාරා අනිච්චා' කියන දෙය ප්‍රත්‍යක්ෂ කිරීම කෙසේ වෙතත් සංකල්පයක් ලෙසට හෝ සංස්කෘතියක් තුල තිබීම වැදගත්. එවැනි සංස්කෘතියක ජීවත් වන්නෙකු කොමියුනිස්ට් , යුටෝපියාව හෝ ඉතිහාසය අවසන් කෙරෙන ආදිය ගැන කියවෙන ප්‍රගමනවාද වලට යටනොවෙනු ඇත. නමුත් අද සමාජය එවැන්නන් පිලිගන්නා සමාජයක් නොවේ. අද ඇත්තේ අතහැරීමෙන් ජීවිතය සැහැල්ලු කලහැකිය කියන සමාජයක් නොව මොනවා හෝ ගොඩගසා ගැනීමෙන් දුක දුරු කලහැකිය යන මතය දරන පුද්ගලයන්ගේ සමාජයකි. දුක,සතුට හඹායෑමේ වේගයට අනුලෝමව සමානුපාතික බවයි මගේ අදහස. මටනම් සතුට හඹායන මිනිසුන් හෝ ගැහැනුන් සිහි ගන්වන්නේ කැරට් අලය ඩැහැ ගැනීමට කකුල් කඩාගෙන දුවන අශ්වයෙකි.

    ReplyDelete
  4. මේ සංස්කෘති හැඩය දකින්න ලැබිල ඇත්තෙ නවිකරණය යයි අදහාගෙන බටහරකරණයට ගොදුරු වී ඇති සමාජයක් බවට පත්වී තිබීම නිසාද මන්ද. ලිපිය වගේම ලිපියට පැමිණ ඇති අදහස් තුළිනුත් අප වගේ අය අමුතු තැනකට ගෙනයනවා. දුක් විධිනවා කියල කණස්සල්ලට පතවෙමින් සැප විදින මිනිස්සුයි සැප කියල හිතාගෙන දුක් විඳින මිනිස්සුයි කියල දෙකොටසක් අපේ රටේ වගේම සෙසු ලෝකයේත් දකින්න ලැබෙන බවක් පෙනෙනවා. මේ ලිපියේ වටිනාකම ඉතාම ඉහළ ඇගයීමකට ලක් විය යුතු බව මගේද මතයයි.ජනක වංශපුරයෙනි ඔබට හිස නැමිය යුත්තේ ඒ නිසයි

    ReplyDelete
  5. මෙම ලිපියටත්, "ගැලීලියෝ සහ නාථ" ලිපියටත් ඇති ප්‍රතිචාර වලින් සිංහල මිනිසුන් තවමත් සංයුක්ත සංකල්ප / ප්‍රවාද / කතන්දර වලින් ලෝකය තේරුම් ගන්න බවත්, වියුක්ත සංකල්ප ඔවුන්ට ආගන්තුක බවත් සිතාගත හැකිය.
    වියුක්ත ප්‍රවාද වලින් සංයුක්ත කතන්දර ගෙතීමේ ඔබේ උත්සහය අගය කරමි.

    ReplyDelete