Wednesday, April 30, 2014

සිංහල මුස්ලිම් සහජීවනය

මුස්ලිම්වරුන් සහජයෙන්ම අන් කිසි ජාතියක් සමඟ සහජීවනයෙන් ජීවත්වීමට අකමැති යැයි සමහරු සිතති. මේ ආකල්පය පදනම් කරගෙන මුස්ලිම් ප්‍රශ්ණයට දිය හැකි පිළිතුර කුමක්ද?

එක්කෝ මුස්ලිම්වරුන්ට රටෙන් කොටසක් දී සිංහළුන් ඔවුන්ගෙන් වෙන්විය යුතුය. එක්කෝ ඔවුන් වෙන රටකට පන්නා දැමිය යුතුය. උගත් බෞද්ධ පිංවතුන් යෝජනා කරන්නේ ඉහත කුමණ විසඳුමද? සිංහල මුස්ලිම් සහජීවනයක් නොපතන මුස්ලිම්වරුද වෙත්. ඔවුන් සිංහළුන් සම්බන්ධයෙන් දරන අවිචාරවත් ආකල්පද මේ හා සමානය. මේ මුස්ලිම්වරුන්ද යෝජනා කරන්නේත් ඉහත විසඳුම් නම් ඔවුන්ටද දෙයියන්ගේ පිහිටය.

මේ තරුණයෝ එතැනින් නොනැවතී තවත් ආකල්ප ඊට එකතු කර ගනිති. තම ජාතිය ආගම බේරා ගැනීම සඳහා සුදුසුකමක් ඇත්තේ තමන්ට යැයි සිතා ඔවුහු ඒ සඳහා තමන්වම පත් කරගනිති. තමන් උගතුන්ය බුද්ධිමතුන්ය යැයි සිතන නිසා ඔවුහු හුදී ජනයා තමන් දරන මතය අනුමත කරයිද නොකරයිද යන්න ගැන විචාරවත් නොවෙති. එතැනිනුත් නොනැවතී ඊලඟට ඔවුහු සමාජ දේශපාලන ප්‍රශ්ණ ඉක්මණින්ම විසඳිය යුතුයැයිද එසේ විසඳිය හැකියැයිද කල්පණා කරති. මීට වසර විසි පහක පමණ කෙටි කලකට ඉහතදී ජනතා විමුක්ති පෙරමුණ වටා එකතුවුනු තරුණයින්ද මෙවැනි ආකල්ප දැරූහ. එය කෙලවර වුනේ කෙසේදැයි දැන් අපි දනිමු.

මෙරට විවිධ ජනවර්ගවලට සහජීවනයෙන් ජීවත්විය හැකිය. එයට අපේ ඉතිහාසය සාක්‍ෂි දරයි. නමුත් සහජීවනයක් ඇතිවන්නේ සියලු ජන-ආගම් වර්ග යම් එක් පවතින විදිහකට අනුගතවීම තුලිනි. මෙය අප රටට විශේෂත්වයක් නොවේ. අරාබි රටවලට යන විදේශිකයෝත් යුරෝපීය රටකට යන විදේශිකයෝත් ඒ ඒ රටවල මිනිසුන් සමඟ එකට ජීවත්වන්නේ ඒ ඒ රටවල පවතින විදිහට අනුගතවීම තුලිනි. මීට වසර විස්සකට තිහකට ඉහතදී මෙරට සියලු ජන-ආගම් වර්ග අදට වඩා එකිනෙකා අතර සුහදත්වයෙන් ජීවත්වූයේ ඔවුන් අදට වඩා මෙරට පවතින විදිහට ගරු කරමින් ඊට අනුගතව ජීවත්වූ බැවිනි. නමුත් පසුගිය වසර විස්ස තිහ ඇතුලත සිදුවුනු සමාජ විපර්යාසය නිසා ඒ පවතින විදිහ පිළිබඳ අවබෝධය අපෙන් ගිලිහී ඇත. ඒ සමාජ විපර්යාසය හුදෙක් මුස්ලිම් අන්තවාදීන් විසින් ඇති කල එකක් නොව බටහිර සංස්කෘතියේ බලපෑමද ඊට හේතුවිනි.



පැවැත්ම පිළිබඳ දැනුම අපට ලබාදෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය විසිනි. සිංහල බෞද්ධයෝ පැවැත්ම මුලාවක් යැයි විශ්වාස කරමින් පවතිති. ඒ නිසා පැවැත්ම පිළිබඳ සිංහල බෞද්ධ සංස්කෘතිය දරන ආකල්පය අන් කිසි සංස්කෘතියකටත් වඩා විශේෂත්වයක් ගනී. (මේ පිළිබඳ වැඩි විස්තරයක් සිංහල බෞද්ධයාගේ පැවැත්ම යන ලිපියෙහි අඩංගුවේ.) සම්මුති වශයෙන් සිංහල බෞද්ධයෝ ලෝකය සමඟ බැඳීත් වෙන්වීත් ජීවත් වෙති. එනම් ඔවුහු තමන්ගේ පැවැත්මට ස්වාධීනත්වයක් අපේක්‍ෂා කරන අතර තමන් පවතින්නේ අනුන් නිසා බවද අමතක නොකරති. ඒ නිසා ඔවුන් තම අනන්‍යතාව පිළිබඳව දරන්නේ ලිහිල් ආකල්පයකි. තමන් බෞද්ධයැයි ලේබල් ගසා ගැනීමට ඔවුන් අකමැතිය. නමුත් තමන්ගේ අනන්‍යතාවට නැත්නම් බෞද්ධකමට අන් අය විසින් ගරු කරතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. අනුන් සංස්කෘතියෙන් වෙනස්වීම ඔවුන්ට ප්‍රශ්ණයක් නොවේ. ඒ වෙනස්කම් වලට ගරු කරන්ට ඔවහු දනිති. නමුත් තමන් ලේබල් නොගසන නිසා අනුන්ද ලේබල් ගසා නොගනිතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. මෙහි ඇත්තේ ඉතා සරල සුනම්‍ය බවකි. බැඳී වෙන්වී පැවතීම එලෙසය. එය ඊනියා පුද්ගල අයිතීන් සුරැකීමට ලඝු කල නොහැකිය. ආගම් පොලිසියකින් ඒ පැවැත්ම තහවුරු කල නොහැකිය. එය ගොඩනැඟිය හැක්කේ සමාජ සම්බන්ධතා මතය.

කලකට ඉහතදී මෙරට බෞද්ධයෝ පමණක් නොවේ කිතුණුවන් මුසල්මානුවන් හිංදුන්ද අනුගතවී සිටියේ මේ පවතින විදිහටය. නමුත් අද නොයෙකුත් බලපෑම් මත මුස්ලිම්වරු මේ පවතින විදිහෙන් මිදෙමින් සිටිති. ඔවුන් අන් ජාතීන්ට දරාගත නොහැකි තරමට තමන්ගේ ලේබලය උස් මහත් කරගනිමින් සිටිති. එය බැඳී වෙන්වී පැවත්මට පටහැණිය. එය ආපසු හැරවිය හැක. නමුත් එය ආපසු හැරවිය හැක්කේ පොදු සමාජයටම බලපාන සමාජ දේශපාලන ක්‍රියාවලියකින් මිස මුස්ලිම් වරුන්ට පමණක් එල්ලවුනු දේශපාලන ප්‍රවාහයකින් නොවේ. බැඳී වෙන්වී පවතින සමාජයක සිදුවෙන වෙනස්කම් සමස්ථ සමාජයටම දැනීම වැලකිය නොහැකිය.

වාසනාවකට මේ සමාජ විපර්යාසයට ගොදුරු නොවුනු සහජීවනයක් පතන එලෙස ජීවත්වීමට දන්නා, සාමාන්‍ය ජනතාවක් තවම අප අතර ජීවත්වෙති. ඔවුන් බුද්ධිමත්ය. ඔවුන්ගේ දේශපාලන හදවත ජන මාධ්‍ය තුලින් දැක ගත නොහැකිය. ඔවුන්ගේ මතය වෙනස් කල හැකිය නමුත් ඔවුන් ගොන්නුන් මෙන් දක්කවන්නට නොහැකිය. මුස්ලිම් ප්‍රශ්ණයට පිළිතුර බැඳී වෙන්වී පැවැතීම යලි තහවුරු කරගැනීමය. එය ඉටු කර ගත හැක්කේ මෙරට සාමාන්‍ය ජනයා කේන්ද්‍ර කරගත් සමාජ ආර්ථික දේශපාලන පෙරළියක් තුලින් පමණි. මන්ද බැඳී වෙන්වී ජීවත්වන හැටි දන්නේ ඔවුන් නිසා වෙනි. අවිචාරවත් ආකල්ප මත පදනම්ව ඊනියා ප්‍රායෝගික, ඉක්මන් විසඳුම් සොයන, ජන මාධ්‍ය සමඟ දේශපාලනය කරන බෞද්ධ, මුස්ලිම් මෙන්ම අන් සැම දෙනාම තමන් ක්‍රියාකරන්නේ මෙරට දේශපාලන පරිධියේ සිට බව අවබෝධ කරගත යුතුය. පරිධියේ සිට කරන වැඩවලින් කල් පවතින දේශපාලන වෙනසක් අත් කරගත නොහැකිය. මීට වසර විසි පහකට පමණ ජවිපෙය අපට ඉගැන්වුයේ ඒ පාඩමය.

1 comment:

  1. කොටි ප්‍රශ්නය නැතුවට තවත් කාල බෝම්බයක්වත්ද?

    ReplyDelete