Friday, April 25, 2014

මහා පරිමාණ අධ්‍යාපනය සහ ජාතියක බුද්ධිමත්බව

කුඩා කාලයේ කෙනෙකු අපෙන් පාසල් යන්නේ කුමටදැයි විමසුවේ නම් දිය යුතු නියම පිළිතුර වූයේ දැනුම ලබා උගතෙකු වීමට බවය. නොදිය යුතු පිළිතුර වූයේ හොඳ පඩියක් ලැබෙන රස්සාවක් ලබා ගැනීමට බවය. ඒ එකල පාසලටත් ගුරුවරුන්ටත් පාසලේ ඉගෙනගත් දෑටත් යම් ගරුත්වයක් තිබුනු නිසාවෙනි. නමුත් එකලත් මෙකලත් ඒ ප්‍රශ්ණයට දියයුතු නිවැරදි පිළිතුර පාසල් යන්නේ හොඳ පඩියක් ලැබෙන රස්සාවක් ලබා ඒ හරහා සමාජයේ ඉහලට යෑමට බවය. අද පාසල්, ගුරුවරුන් මෙන්ම විභාග සහතික පවා මිලයට ගත හැකි නිසා අධ්‍යාපනය ලැබීමේ මූලික අරමුණ මේ බව පාසල් යන කුඩා දරුවන් කෙසේ වෙතත් දෙමව්පියන් නම් හංගන්නට උත්සාහ කරන්නේ නැතැයි මම සිතමි. එහි වරදක් කිව නොහැකිය.

අද අපි අනුගමණය කරන බටහිර ජීවන ක්‍රමය තුල අධ්‍යාපනය රස්සාවටත් රස්සාව සමාජ තත්වයටත් සමානුපාතිකය. මීට වසර පණහකට හැටකට ඉහතදී වසර දහයක පමණ පාසල් අධ්‍යාපනයෙන් ලබාගත් සමාජ තත්වය ලබාගැනීමට අද මූලික පාසල් අධ්‍යාපනයෙන් පසුවද වසර දෙක තුනක, නැත්තම් මුලු එකතුවෙන් වසර පහලොවක පමණ අධ්‍යාපනයක් අවශ්‍යය. ඊට හේතුව එදාට වඩා අද වැඩි පිරිසක් විධිමත් අධ්‍යාපනය ලබන නිසාත් ඔවුන් අතර තරඟයක් ඇති නිසාත්ය.

මහා පරිමාණ අධ්‍යාපනය බටහිර නූතනත්වයට අවේනික වුවකි. මින් පෙර පැවති කිසිම දැනුම් පද්ධතියක් තුල මෙතරම් අධ්‍යාපනලාභීන් ගණනක් විසින් මෙතරම් කාලයක් අධ්‍යාපනය සඳහා වැය කරන්නට යෙදුනාදැයි සැක සහිතය. කෙසේ නමුත් බටහිර ජීවන ක්‍රමය තුල රටක අධ්‍යාපනලාභීන්ගේ ගණන හා ඔවුන් අධ්‍යාපනයට වැය කරන කාලය වැඩිවීමට සාපේක්‍ෂව එහි මධ්‍යම පංතියේ වර්ධනයක් සිදුවේ යැයි සිතිය හැකිය. මධ්‍යම පංතිය වර්ධනය වීම සමාජය ආර්ථික වශයෙන් සමජාතීය කෙරීමක් ලෙස හැඳින්විය හැකිය. නමුත් මහා පරිමාණ අධ්‍යාපනයෙන් සමාජයක් සමජාතීය වන්නේ ආර්ථික වශයෙන් පමණක් නොවේ.


විධිමත් අධ්‍යාපන ක්‍රමයක් මඟින් දැනුම ශාස්ත්‍රීයකරණය වීමක් සිදුවේ. දැනුම ශාස්ත්‍රීයකරණය වීමේදී දැනුම් පද්ධතියක තිබිය හැකි විවිධ දැකීම් නැතිවී යයි. එය ක්‍රිකට් සම්බන්ධයෙන් ගතහොත් මුරලිලා මාලිංගලා බිහිවුනු, පාරේ තොටේ ගැහෙන සරල ක්‍රිකට් වෙනුවට ක්‍රිකට් ප්‍රැක්ටිස් ආදේශ වීම වැනිය. ප්‍රැක්ටිස් කරන ක්‍රිකට් හැම තැනම එක වගේය නමුත් පාරේ තොටේ ගහන සරල ක්‍රිකට් වල විවිධත්වයක් ඇත. එසේම දැනුම ශාස්ත්‍රීයකරණයෙන් දැනුම සමජාතීයකරණයක්ද සිදුවේ. බටහිර නූතනත්වයේ අධ්‍යාපනය ක්‍රමය තුල දැනුම සමජාතීයකරණය තවත් උග්‍රවේ. එහි පෙරදිග අධ්‍යාපන ක්‍රමය තුලමෙන් විවිධ ගුරු කුල වලට පැවැත්මක් නැත. එකම විශය වුවද විවිධ ගුරුකුල තුල උගැන්වුනේ ඒ ඒ ගුරාගේ දැනුමය. දැක්මය. උදාහරණයක් වශයෙන් සිංහල හා ආයුර්වේද වෛද්‍යවරුන් එකම රෝගයට වුනද නියම කරන බෙහෙත් ඒ ඒ වෛද්‍යවරයාට හා ඒ ඒ පළාතට අනුව සුලුවෙන් හෝ වෙනස්ය. නමුත් බටහිර අධ්‍යාපන ක්‍රමය තුල ලොවපුරා සියලු සිසුන් අඩු වැඩි වශයෙන් එකම දෘශ්ඨියකින් එකම දැනුමක් ලබති. ඒ නිසා සමාජයක් මහා පරිමාණයෙන් විධිමත් අධ්‍යාපන යාන්ත්‍රනය හරහා යැවීම තුලින් ඒ සමාජය ලෝකය දෙස බලන ආකාරය අතින් සමජාතීය වීමක් සිදුවේ. එය අගතියකි.

අපි පවතින්නේ දැනුම නිර්මාණය කිරීම නිසාය යන්න දාර්ශණිකව මෙන්ම ප්‍රායෝගිකවද සත්‍යයකි. දැනුම නිර්මාණය කිරීමට ඇති හැකියාව දළ ජාතික බුද්ධිමත්බව ලෙස අපි කලින් හඳුන්වා ගත්තෙමු. විවිධ අදහස් ඇති තැන ඒ අදහස් ඝට්ටනයවීම තුලින් පෙර නොතිබුනු නව අදහසක් බිහිවීමට වැඩි ප්‍රවණතාවක් ඇතැයි සිතිය හැකිය. සියලු අදහස් එක හා සමාන විට එවැනි ඝට්ටන ඇතිනොවේ. ඒ නිසා සමාජයක් තුල නව දැනුම් නිර්මාණය වීම සඳහා යම් පාදක රෙඛාවක් අවට දැනුමේ විචලතාවක් තිබීම උපකාරීවේ යැයි සිතිය හැකිය. නව දැනුම් නිර්මාණය කිරීම සඳහා වැඩි කුසලතාවක් දක්වනු ඇත්තේ එසේ දැනුම අතින් විශමජාතීය වූ සමාජයකි. දැනුම් නිර්මාණය කිරීමට කුසලතාවක් ඇති සමාජයක් බුද්ධිමත් සමාජයක් ලෙස හැඳින්විය හැකිය. දැනුමෙන් සමජාතීය කරවන බටහිර මහාපරිමාණ අධ්‍යාපනයෙන් කෙරෙන්නේ සමාජයක බුද්ධිමත්බව සෝදා හැරීමය.

සමාජයක් දැනුමෙන් සමජාතීය කෙරවීමේදී වැදගත් වන්නේ යම් එක් පුද්ගලයෙකු ලබන අධ්‍යාපන අත්දැකීම නොව සමාජයක් ඉතිහාසය පුරා ලබන අත්දැකීමය. පොදුවේ බටහිර සමාජ වසර දෙසීයක් පමණ කාලයක් තිස්සේ මහාපරිමාණ අධ්‍යාපන යාන්ත්‍රණයට හසුවී සිටිති. ලංකාව ඊට හසුවුනේ නිදහස් අධ්‍යාපනය ලැබීමෙන් පසුවය. සිංහල බෞද්ධ සංස්කෘතියේත් බටහිර දැනුමේත් ඇති නොගැලපීම නිසා අපි ඊට යම් ප්‍රතිරෝධයක් දක්වමු. ඒ නිසා බටහිර රටවල් තරමටම තවම අපේ සමාජය දැනුමෙන් සමජාතීය බවට පත්වී නැත. ඒ නිසා අපේ සමාජයේ බුද්ධිමත්බව බටහිර රටවල තරමටම පිරිහී නැත.

සමාජයක බුද්ධිමත්බව යනු මිනිසුන් සමූහයක් එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීම තුලින් නව දැනුම් නිර්මාණය කර ගැනීමට ඇති හැකියාවය. හෙට දිනයේ ඇමරිකාවේ ඇපල් සමාගම නව තාක්‍ෂණික මෙවලමක් හඳුන්වාදුන්නොත් ඉන් පිළිඹිබු වන්නේ ඇමරිකානු සමාජයේ බුද්ධිමත්බවක් නොව ඇපල් සමාගමේ කිහිප දෙනෙකුගේ නිර්මාණශීලත්වයක් පමණි. ලාංකික සමාජයේ බුද්ධිමත් බව දැකිය හැක්කේ යම් දේශපාලන කණ්ඩායමක් රඟදක්වන මාධ්‍ය සංදර්ශණයක් තුල නොව සාමාන්‍ය මිනිසුන් ඒ පිළිබඳව ගොඩනඟන විවිධ මතවාද තුලය. ඇමෙරිකානුවන් ලාංකිකයින් තරම් ඡන්දෙට නොයන්නේ ඔවුන්ට සමාජයක් ලෙස මතවාද ගොඩනැඟීමට තරම් ගැම්මක් නැති බැවිනි. ඔවුන්ට ගැම්මක් එන්නේ කෙසේද? ඔවුන් මතවාද අතින්, අදහස් අතින්, කොටින්ම දැනුමෙන් සමජාතීය වී හමාරය. ඊට ප්‍රධාන වශයෙන් දායකවී ඇත්තේ ඔවුන්ගේ මහා පරිමාණ අධ්‍යාපන ක්‍රමයය.

අපිදු බටහිරුන්ගේ අධ්‍යාපන ක්‍රමයට විකල්පයක් සොයාගත යුතුවෙමු. අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුත්තේ ආර්ථික විශමතා අවම කිරීම නොව. ආර්ථික විශමතා අවම කිරීමට විකල්ප දේශපාලණික හා ආර්ථික ක්‍රමයෝග යොදාගත යුතුය.

4 comments:

  1. ඕනෑ එපාකමකට 'නිමැවුමක්' බිහිකිරීම මිස 'නිමැවුමක්' බිහිකොට ඕනෑ එපාකමක් තැනීම නිසා සියලු දෙනාම ඕගයකට වැටී ඇතැයි සිතේ
    අධ්‍යාපනය, රක්සාව, කුසලතා , සේවා සියල්ල මේ මාර්ගය හරහා වැටී ඇත නේද?
    විකල්ප අධ්‍යාපනය මුල් පියවර කරගත හැක - මාර්ගය බෙහෙවින් කටුකය
    සියල්ලන්ම 'ලාභය' සොයයි - ඒ 'ලාභය' ජනිත වන්නේ අවසානයේ කොහේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්. අධ්‍යාපනය, ආර්ථිකය දේශපාලනය මේ හැම එකක්ම ඊට අනුකුලව වෙනස් විය යුතුයි.

      Delete
  2. අපේ කිරිඅම්මට අංශභාගෙ හැදුන වෙලාවෙ බටහිර වෙදදුරන් සියල්ලම පාහේ පැවසුවේ මේක ඉතින් physiotherapy කරල තමයි ගොඩ දාන්න වෙන්නේ කියල. එත් අපේ මාම කිව්ව ඔව්වට ඔය ඉංග්‍රීසි බේත් හරි යන්නේ නෑ ඕකට හරියන්නේ සිංහල වෙදකම කියල. කිව්වත් වගේ අපෙ කිරිඅම්ම මාස තුනෙන් විතර ඔන්න ඇවිදින්න පටන් ගත්ත සිංහල වෙදකමෙන් පස්සේ. ඉතිං මටත් හිතෙනව බහුතරය විසින් අනුගමනය කරන දේවල් තියෙද්දි(බලෙන් පටවන ලද හෝ අන්ධානුකරනයෙන් අනුගමනය කරන) මෙ වගේ විකල්ප ක්‍රම පවත්වාගෙන යන එක කොයි තරම් දෙයක්ද කියල.

    ReplyDelete
  3. හොඳ අදහසක්

    ReplyDelete