Friday, April 18, 2014

දළ ජාතික බුද්ධිමත්බව

බුද්ධිමත් බව සංස්කෘතියට සාපේක්‍ෂය. බුද්ධිමතුන් ලෙස හැඳින්විය හැක්කේ රටක සංස්කෘතිය තුල දැනුම නිර්මාණ කිරීමට හැකි පුද්ගලයින්ටය. නමුත් රටක බුද්ධිමත්බව ලෙස මම හඳුනාගන්නේ එහි සංස්කෘතිය තුල පොදු සමාජයක් වශයෙන් එරට මිනිසුන්ට නිර්මාණශීලීවීමට ඇති හැකියාවය. මේ අර්ථයෙන් රටක මිනිසුන්ගේ පොදු බුද්ධිමත්බව එරට දළ ජාතික බුද්ධිමත්බව ලෙස හැඳින්විය හැකිය. එය මැණීමට ක්‍රමයක් ඇත්දැයි මම නොදනිමි. අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇති විභාග ප්‍රතිඵල වලින් නම් රටේ බුද්ධිමත්බව තියා තනි පුද්ගලයින්ගේ බුද්ධිමත්බවවත් මැන ගත නොහැකි බව මම තරයේ විශ්වාස කරමි. විභාග ප්‍රතිඵල තුලින් යම් සාමාන්‍ය අගයක් ගණනය කලහොත් ඉන් පෙන්නුම් කරන්නේ පුද්ගලයින්ට විභාග පාස්වීමට ඇති හැකියාව පමණය.

නමුත් රටක ජීවත්වීමෙන් ලබන අත්දැකීම තුලින් එරටේ දළ ජාතික බුද්ධිමත්බව පිළිබඳව සාපේක්‍ෂ වශයෙන් යම් අවබෝධයක් ලබා ගත හැකිය. මට හැඟෙන අයුරින් නම් ජනගහණ අනුපාතයට අනුව සැලකුවොත් ඇමෙරිකාවේ බුද්ධිමතුන් ගණන ලංකාවේ බුද්ධිමතුන්ගේ ගණනට වඩා වැඩිය නමුත් එහි දළ ජාතික බුද්ධිමත්බව ලංකාවේ දළ ජාතික බුද්ධිමත්බවට වඩා අඩුය.

අපේ සමාජය තුල කෙරෙන බුද්ධිමය සංවාදයක් ගත්විට ඊට සහභාගිවෙන සම තත්වයේලා සැලකිය හැකි බුද්ධිමතුන් ගණන ඇමෙරිකාවේ එවැනි බුද්ධිමය සංවාදයකදී සහභාගීවෙන එරට බුද්ධිමතුන් ගණනට වඩා ජනගහණ අනුපාතයට අනුව සැලකුවද අඩු යැයි මම සිතමි. ඉන් පෙන්නුම් කෙරෙන්නේ අපි බුද්ධිමතුන් ගණනින් ලබා ඇති දුප්පත් කමය. එය අවාසනාවන්ත තත්වයකි. නමුත් රටක දළ ජාතික බුද්ධිමත්බව එහි බුද්ධිමතුන්ගේ ගණනට වඩා වැදගත්ය. බුද්ධිමතුන්ගේ ගණන වැඩිවූ පමණින්ම දළ ජාතික බුද්ධිමත්බව වැඩි නොවේ.

පෘතුවියේ සිට වෙන ග්‍රහ ලෝකයකට යානාවක් යැවීමට උසස් නිර්මාණශීලීත්වයක් තිබිය යුතුය. නමුත් එය ඉහල බුද්ධියක් ඇති ඉතා සුලු පිරිසකගේ දායකත්වයෙන් ඉෂ්ඨකට ගත හැකිය. සාමාන්‍යයෙන් මෙවැනි ව්‍යාපෘතියක් සඳහා අචාර්ය උපාදිධාරීන් සිය ගණනක් සහභාගී වුනද ඔවුන් බොහොමයකගේ නිර්මාණශීලී දායකත්වය නිවසක් ගොඩනැඟීමේදී ලොකු බාස් උන්නැහේට අත් උදව්කාරයින්ගෙන් ලබෙන දායකත්වය හා සමාන කල හැකිය. ඒ නිසා සමාජය කෙරෙහි විශාල බලපෑමක් ඇතිකලද තාක්‍ෂණික විද්‍යා මෙන්ම සමාජ හා දේශපාලන ක්‍ෂේත්‍ර තුල බොහෝ උසස් නිර්මාණවල සැබෑ කතුවරුන් වන්නේ ඉතා සුලු බුද්ධිමතුන් පිරිසක් පමණි. ඒ නිසා බුද්ධිමතුන්ගේ ගණනින් රටේ දළ ජාතික බුද්ධිමත්බව ගැන අනාවැකි කීමට නොහැකිය.


රටක දළ ජාතික බුද්ධිමත්බව මනාවට පිළිඹිබු වෙන්නේ සමාජයක් වශයෙන් රටවැසියන් යම් යම් අභියෝගවලට මුහුණ දෙන ආකාරයෙනි. ඉතිහාසයේ අසාමාන්‍ය අවස්ථාවලට ඔවුන් හැඩ ගැසෙන්නේ කෙසේද නැත්නම් ඒ දෑ මැඩපවත්වා ගන්නේ කෙසේද යන්නෙනි. එහිදී වැදගත් වන්නේ සමාජය සතු නිර්මාණශීලි බවය. මේ කියන නිර්මාණශීලීබව කලා විශයෙහි නිර්මාණශීලීබව හෝ නැත්නම් විද්‍යා විශයේ නිර්මාණශීලීබව කියා වෙන්කල නොහැකිය. එය යම් සංස්කෘතියක් සතු සියලු දැනුම් සඳහා පොදුවූ නිර්මාණශීලි බවකි. ඒ නිසයි රටක දළ ජාතික බුද්ධිමත්බව විභාග ප්‍රතිඵලවලින් කිව නොහැක්කේ.
කෙසේ වෙතත් ලංකාවේ දළ ජාතික බුද්ධිමත්බව ඇමෙරිකාවේ දළ ජාතික බුද්ධිමත්බවට වඩා තවමත් ඉහලින් ඇතැයි මම සිතමි. අපි සමාජයක් වශයෙන් යම් යම් පීඩන මෙන්ම වෙනස්වීම් වලට මුහුණ දී ඇති ආකාරය ඒ හා සමාන අවස්ථාවලට ඇමරිකානු සමාජය දක්වා ඇති ප්‍රතිචාර හා සසඳන විට අපි සමාජයක වශයෙන් ඉතා ඉක්මනින් ඒ වෙනස්වීම් වලට හැඩ ගැසී ක්‍රියාත්මකවුනැයි මම සිතමි. ඊට සාපේක්‍ෂව ඒ ඒ අවස්ථාවලදී ඇමෙරිකානු සමාජය තුශ්ණිභූතව අකර්මන්‍ය වුනු බවක් මම දකිිමි. වෙනස්වීමට ඇති හැකියාවෙන් පිළිඹිබු වන්නේ නිර්මාණශීලී බවය එනම් දළ ජාතික බුද්ධිමත්බවය.

අපි වසර තිහක කාලයක් තිස්සේ ත්‍රස්තවාදයක් විඳ දරාගත්තෙමු නමුත් දෙදහස් එකේ නිව්යෝක් නගරයට එල්ලවුනු ප්‍රහාරයෙන් ඇමරිකානු සමාජය මහත්සේ කම්පාවට පත්විනි තුශ්ණිභූත විනි.(ඊට පිළිතුරක් ලෙස ඉරාකය ආක්‍රමණය කිරීම සමාජයක් ලෙස ඇමෙරිකානුවන් දැක්වූ ප්‍රතිචාරය නොව බුෂ් ඇතුලු කිහිප දෙනෙකුගේ නිර්මාණයක් විනි). කැතරිනා කුණාටුවේදී සහ සුනාමියේදී දෙරට වැසියන් ක්‍රියාකල ආකාරයේ ඇති වෙනසද මීට සාධකයකි. එමණක් නොවේ ජංගම දුරකථන වැනි නව තාක්‍ෂණික මෙවලම් හඳුන්වාදීමේදී ලාංකිකයින් එය අවශෝෂණය කර ගන්නා වේගයටම ඇමරිකානුවන් හැඩ ගැසෙන්නේ නැතැයි මම සිතමි. අපි මෙට්‍රික් ක්‍රමය භාවිතා කරන්නට පටන්ගෙන දැන් වසර තිහකුත් ඉක්මවා ගොස් සිටියද ඇමරිකාවේ තවම භාවිතා වෙන්නේ ඉංග්‍රීසි මිනුම් ක්‍රමයය. දේශපාලන වෙනස්කම් කම්වලටද ඇමරිකානු සමාජය දක්වන්නේ බලවත් කුසීත බවකි. උදාහරණයක් ලෙසට මහා පාරිමාණයෙන් සිදුවුනු මිනිස් ඝාතන වලට සෘජුවම බලපෑවද ගිණිඅවි දැරීමට ඇති පුද්ගලික අයිතිය පිළිබඳ නීති වෙනස් කර ගැනීමට ඔවුන්ට නොහැකිය.  සෞඛ්‍ය ආරක්‍ෂණ පද්ධතිය කඩා වැටෙමින් පවැතුනද එය වෙනස් කර ගැනීමට ඔවුන් දක්වන්නේ බලවත් අකමැත්තකි, ඒ ඒ සඳහා දේශපාලන නායකත්වයක් ලැබෙන අතරතුරය. ඒ අතින්ගත් විට හැත්තෑවේ දශකයේ සමගි පෙරමුණ ආණ්ඩුව විසින් ඉතා කටුක ආර්ථික ප්‍රතිපත්ති අනුගමණය කරන විටදී පවා ඊට අකමැත්තෙන් වුවද ලාංකිකයින් ඊට යම් තරමකට හැඩගැසුනැයි මම සිතමි. ඒ ප්‍රතිපත්ති වැඩියෙන්ම දරාගත නොහැකිවුනේ නාගරිකයින්ට මිස ගම්මුන්ට නොවේ යැයි මම සිතමි. අද වුවද පාන් නොකෑමට හෝ වස විස නැති ගොවිතැනට දේශපාලන නායකත්වයක් ලැබේනම් ලාංකික සමාජය වැඩි ප්‍රතිරෝධයක් නොදක්වා ඊට හැඩ ගැසෙනු ඇතැයි මම සිතමි. ඇමෙරිකාවේ ඒ හා සමාන සමාජ පෙරලියක් කරනු තබා හිතීමටවත් නොහැකිය. ඔවුන්ට එවැනි වෙනස්කම්වලට හැඩ ගැසීමට තරම් නිර්මාණශීලීත්වයක් නැත. ඔවුන්ගේ දළ ජාතික බුද්ධිමත්බව අඩුය.

නමුත් ඇමරිකානු සමාජයද මීට වසර හැට හැත්තෑවකට ඉහතදී අදට වඩා නිර්මාණශීලී බවක් දැක්වුවේයැයි මම සිතමි. උදාහරණයක් වශයෙන් දෙවන “ලෝක” යුද්ධයට සහ තිස්ගණන්වල ආර්ථික අවපාතයට ඒ සමාජය මුහුණදුන් අයුර සැලකිය හැකිය. ඊටත් කලින් උතුරු-දකුණු සිවිල් යුද්ධය හා බටහිර ප්‍රදේශ අල්ලා ගැනීමේදීද අදට වඩා ඒ සමාජය නිර්මාණශීලී බවක් දැක්වුවේයැයි සිතිය හැකිය. පැහැදිලිවම එරට ජාතික බුද්ධිමත්බව ක්‍රමයෙන් මොටවෙමින් පවතී. ඊට මුලික හේතුව සරල දැනුම පගා දමමින් ශාස්ත්‍රීය දැනුම ඔසවා තබන ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමයයි. පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කර නොගත්තොත් අපිද නුදුරු අනාගතයේ සමාජයක් වශයෙන් මන්ද බුද්ධික වනු ඇත.

4 comments:

  1. වෙන්න දෙයක් නෑ... වෙලා ඉවරයි... ගොඩාක් කල්...

    ReplyDelete
    Replies
    1. තමන් බුද්ධිමතුන් කියල හිතන සමහරු ඔහොම කියනවා

      Delete
    2. ලංකාවේ වාසය කරන කේවට්ටයන් සම හරක් හිස් ගෙම්බන් මෙන් පිම්බි මමයි උගතා ජගතා , අනිත් උන් ගෝත්‍රිකයෝ , මෝඩයෝ යයි කීම විලාසිතාවකට ගොස් ඇත. උන්ට තමන්ගේ පටු දේශපාලන මතයට එකඟ නොවෙන සියල්ලන්ම මෝඩයන්ය. ඒ ගැන සිත කලබල කර ගත යුතු නැත. ලාංකිකයන් තවමත් ඉතාමත් බුද්ධිමත් ජන කොටසකි. එමෙන්ම ඒ බුද්ධිමතුන් බොහොමයක් කාලයක් තිස්සේ රට හැර යමින්ද පවතී. එය නම් අවාසනාවන්ත තත්වයකි

      Delete
    3. ඒ බුද්ධිමතුන් නෙමෙයි බන් උගත්තු.. එහෙම නැත්නම් ගිරවු.. බුද්ධිමතුන් අතේ ඇඟිලි ගානටවත් ඉඳලා නෑ..

      Delete