Thursday, April 10, 2014

සරල ක්‍රිකට් සහ ශාස්ත්‍රීය ක්‍රිකට්

එතරම් වාහන ගියේ නැති බැවින් කුඩා කාලේ අපිට ගෙදර ඉස්සරහ පාරේ ක්‍රිකට් ගැසීම ප්‍රශ්ණයක් නොවිනි. වාහනයක් එනු දුරතියා දුටුවිට විකට්ටුවට තිබි ලෑලි කෑල්ල අයින් කර ගැනීම පමණි අපිට කරන්නට තිබුනේ. අහල පහල ගෙවල් වලට පංදුව ගිය විට තාප්පය හෝ වැට උඩින් පැන එය ඇහිඳගෙන ඒම කාටවත් ප්‍රශ්ණයක් නොවිනි. එකල පාසල් ඇරී ඉර බසිනතුරු පාරේ ක්‍රිකට් ගැසූ බොහෝ දෙනෙකු පාසලේ ක්‍රිකට් ගැසීමට සුදුසුකමක් නොතිබුනු අය විය. පාරේ තොටේ ගැසූ ක්‍රිකට් සරලය. පංදු යවන විදි පංදුවට පහර දෙන විදි පිති විකට්ටු පමණක් නොවේ එහි නීති පවා අපි හදා ගත් දේ විනි.

සරල ක්‍රිකට් තවමත් රටේ ඇත. නමුත් සරල ක්‍රිකට් වලට පදනම්වුනු සමාජ හා සංස්කෘතික වටපිටාව අපෙන් ගිලිහෙමින් පවතී. වාහන වැඩි නිසා පාරේ ක්‍රිකට් ගැසීමට නොහැකිය. දෙපැත්තේ ගෙවල්වල තාප්ප උස වැඩිය. එක්කෝ නිවස ඉදිරියේ පාරේ ක්‍රිකට් ගසනවාට මිනිස්සු කැමති නැත. ළමයින්ට ක්‍රිකට් ගැසීමට වෙලාවක්ද නැත. පාසල් ඇරී ගෙදර ආවිට ඔවුන්ට කරන්ට ගෙදර වැඩ ඇත නැත්නම් අමතර පංතියාමට උවමණාය. නමුත් අවශ්‍ය නම් ළමයින්ට පාසලේ ක්‍රිකට් පුහුණුවිය හැකිය. පුහුණුවීමත්
ක්‍රිකට් ගැසීමත් දෙකක් බව කිව යුතු නැත. එදාට වඩා අද පාසල්වල ක්‍රිකට් සරුය. පිළිගැනීමද එදාට වඩා අද වැඩිය. පහසුකම් වැඩිය. පුහුණු කරුවෝද  සිටිති. පාරේ ක්‍රිකට් වලට මෙන් නොව පාසල් ක්‍රිකට් වලට ව්‍යුහයක් ඇත. විධි ක්‍රමයක් ඇත. එය ශාස්ත්‍රීයය. 

අප සමාජය තුල සරල ක්‍රිකට් පරදවා ශාස්ත්‍රීය ක්‍රිකට් ජය ගන්නේ අපි වඩ වඩාත් බටහිර සංස්කෘතියට අනුගතවීමත් සමගය. ක්‍රිකට් පමණක් නොවේ අනිත් ක්‍රීඩා වලටත් කලා වැඩටත් පාසලෙන් පිට සරල ආකාරයට සම්බන්ධ වීමට ළමයින්ට තිබුනු අවස්ථා අවම කරමින් අද ඒ ක්‍රියාකාරකම් අතිරේක වැඩ ලෙස පාසලට අවශෝෂනය වී ඇත. ඉන් වෙන්නේ ගමේ ගොඩේදී මේ ක්‍රියාකාරකම්වල නිතැතින්ම තිබුනු සරල බව වියැකී ශාස්ත්‍රීයබවක් ඊට ආදේශවීමය. එවැනි ශාස්ත්‍රීය පහුණුවක් ලැබීම පුද්ගලිකව ළමයෙකුගේ උන්නතියට හේතුවෙනවා විය හැකිය. එවැනි ශාස්ත්‍රීය පුහුණවක් ලැබූ අයෙකුට ඒ ක්‍ෂේත්‍රයේ ඉහලට යෑමට හැකි ආකාරයට විදි ක්‍රම සැකසී ඇති නිසා උන්නතිය ස්වභාවිකව ඇතිවන්නක් යැයිද කිව නොහැකිය. නමුත් පොදුවේ ගත්විට පාසල් ළමයින්ගේ ක්‍රීඩා හා කලා වැඩ ශාස්ත්‍රීය කර නොගෙන පාසලෙන් පිට සරලව තබා ගැනීමට හැකි නම් පොදු සමාජයට වඩා හොඳයැයි මම සිතමි.


සරල ක්‍රිකට්හි වැදගත් කමක් ඇත. සරල ක්‍රිකට් නිර්මාණශීලත්වයට තෝතැන්නකි. ශාස්ත්‍රීය ක්‍රිකට්හි ඇති දෘඪ බව එහි නැත. බටහිර විද්‍යාව ශාස්ත්‍රීයය. ඒ නිසා එය දෘඪය. එහි සුසමාදර්ශීය වෙනසක් වන්නේ වසර සියයකට දෙසීයකට පමන සැරයකටය. එසේ වෙනවිටද එය සිදුවෙන්නේ එතෙක් කල් එහි තිබුනු ශාස්ත්‍රීය දැනුම පදනම් කොට ගෙන නොවේ. ඊට පිටින් ගොස්ය. ක්‍රීඩාවටත් කලාවටත් එය සත්‍යනොවේ යැයි කිව හැකිද? ක්‍රිකට් ක්‍රීඩාවේද සුසමාදර්ශීය වෙනස් කල හැක්කේ ශාස්ත්‍රීය ක්‍රිකට් වලට නොව සරල ක්‍රිකට් වලටය. වඩා වැදගත් ලෙසට සුසමාදර්ශීය වෙනසක් කලවිට ක්‍රිකට් වලින් ජය ගනී. අනූහයෙත් මෙදා පාරත් අපි ජය ගත්තේ මෙසේ ක්‍රිකට් ක්‍රීඩාවේම වෙනසක් කරමිනි. ඒ අවස්ථා දෙකේදීම ඒ වෙනසට පාදක වුනේ අපේ සරල ක්‍රිකට්ය. ඒ අවස්ථා දෙක අතර තුලදී අපට ජය ගන්නට නොහැකිවූ එක් හේතුවක්ද අපි ශාස්ත්‍රීය ක්‍රිකට්වල එල්බගෙන සිටීමය. මා ක්‍රිකට් ගසා නැතිනිසා මේ කථාව සම්පුර්ණ බොරුවක් විය හැකිය. නමුත් එසේ නොවැතැයි මම හඟිමි.



මුරලි, මාලිංග, සනත් වැනි දක්‍ෂ ක්‍රීඩකයින් සරල ක්‍රිකට් වල ප්‍රතිථලයක් බව විවාදයක් නැත. ඔවුහු ක්‍රීඩාවේ නව නිර්මාණ කලහ. නමුත් කණ්ඩායමක් වශයෙන් අපි මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කලේ අර්ජුන යටතේය. ඒ කවුරුත් දන්නා පරිදි ඉනිම ආරම්භයේදීම වේගවත් පිති ප්‍රහාරයකට යෑමෙනි. ඉන් ක්‍රිකට් දැනුමෙහි වෙනසක් සිදුවුනි. ඒ නිසා ඒ වෙනස ක්‍රිකට්හි සුසමාදර්ශීය වෙනසක් ලෙස හැඳින්විය හැකිය. වඩා වැදගත් ලෙසට ඒ වෙනස අපට ජය අත් කර දිනි. මෙදාද අවසන් පංදුවාර තුනේදී තණ තීරුවේ සීමාව අසල යෝකර් පංදු දමමින් කලේ ක්‍රිකට් ක්‍රීඩාවේ නැත්නම් අඩුම තරමින් 20-20 තරඟයේ වෙනසකි. මේ වෙනස නිසා ක්‍රිකට් වෙනස්වන බව ඉංදියානු නායක දෝනිද පවසා ඇත. සමහරවිට ඉන් 20-20 ක්‍රිකට් නැතිවෙනුද ඇත. කෙසේ නමුත් ඒ සුසමාදර්ශීය වෙනස අපට ජය අත් කර දිනි. ඔහුට ඒ ගෞරවය හිමි වුනත් නැතත් මෙවර වෙනස කලේ කංඩායමේ නායකත්වය දැරූ මාලිංග විය යුතුය. කෙසේ වෙතත් අවස්ථා දෙකේදීම සුසමාදර්ශීය වෙනසට පදනම ශාස්ත්‍රීය ක්‍රිකට් නොව සම්මතයට පිටින් ගිය සරල ක්‍රිකට් යැයි අපට කිව හැකිය.


ශාස්ත්‍රීය ක්‍රිකට් වලින් සරල ක්‍රිකට් ගිල ගැනීමට ඉඩ නොදිය යුතුය. ක්‍රිකට්හි පමණක් නොවේ අනිකුත් ක්‍රීඩා හා කලාවන්හිත් ඇති සාමාජීය සරල බව අපි ආරක්‍ෂා කර ගත යුතු වෙමු. එය ක්‍රිකට් පාලක මංඩලයේ වැඩක් නොව සමාජ-දේශපාලනික ක්‍රියාදාමයකින් ඉටුවිය යුතුය. 


මෙවර ජයග්‍රහණයෙන් පසු කල්මුණේ සිංහයින් ප්‍රීති වෙන හැටි අපි දුටුවෙමු. ක්‍රිකට් හරහා ජාතීන් එක් කල හැක්කේ සරල ක්‍රිකට් පවැතුනොත් පමණි. ශාස්ත්‍රීය ක්‍රිකට් වලට කල්මුණේ දෙමළ හෝ මුස්ලිම් තරුණයෙක් ජාතික කණ්ඩායමට ලබාදිය හැකිය. නමුත් කල්මුණේ සරල ක්‍රිකට් නැතිවුනොත් එය ඒ තරුණයාගේ පුද්ගලික හපන්කමක් පමණක් වීම වැලකිය නොහැකිය.

6 comments:

  1. ඇත්තෙන්ම රටක් ජාතියක් එකට බැඳ තබාගත හැකි මන්තර බලයක් වගේ තමයි ක්‍රීඩාව. අපේ රටේ අනෙක් ක්‍රීඩා වලට වඩා ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂ තැනක් තියන නිසා ඒ ක්‍රීඩාව පදනම් කරගනිමින් ජාතික සමගිය ගොඩ නැගීමට (දේශපාලන ලකුණු දමාගැනීම් වලින් තොර) කිසියම් වැඩපිළිවෙලක් දියත් කළහැකි නම් හරියට වටිනවා.

    ReplyDelete
  2. කාටවත් කල්පනා උනේ නැති වැදගත් අදහසක්. එහෙම දෙයකුත් තියනව නේන්නං......

    ReplyDelete
  3. ඉතාම හාස්‍යජනක ලිපියක්. ක්‍රිකට් හදුන්වල දෙන්නෙ බටහිර මිනිස්සු. ඒකෙ තවත් බටහිර කරණය වෙලා විනාසවෙන්න දෙයක් නැහැ. දැන් දැන් ක්‍රිකට් බටහිරින් ගැලවිලා දකුනු ආසියානුකරණය වෙමින් පවතිනවා.. ඒ දකුනු ආසියානුකරනයේ අයහපත් පැත්තට බනින්නත් අපි පරණ බටහිර කියන නමම යොදාගන්නවා ඒක වැරදියි.

    ReplyDelete
    Replies
    1. අපි අද වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාව අපේ සංස්කෘතියට යම්තාක් අවශෝෂණය කරගෙන තියෙනවා. මම ඒකෙ කිසි වරදක් දකින්නේ නැහැ. ඒ විතරක් නොවෙයි බටහිර තාක්‍ෂණය විද්‍යාව ආදියත් අපිට අවශ්‍ය පරිදි අපි අවශෝෂණය කරගත යුතුයි. වරද එසේ තෝරා බේරා නොගෙන ගෙඩි පිටින් බටහිර සංස්කෘතිය අනුකරණය කිරීමයි ශාස්ත්‍රීය ක්‍රිකට්, පාසල් අධ්‍යාපනය, පමණක් නොවේ අපේ ආර්ථික ක්‍රමයත් බටහිර සංස්කෘතියේ අනුකරණ.

      Delete
  4. ජනක මෙතන මතු කරන ශාස්ත්‍රීය ක්‍රිකට් සහ සරල ක්‍රිකට් ගැටළුව 96 ලෝක කුසලානෙ දිනාගත් වටපිටාවෙත් එක්තරා දුරකට මතුවුණා මතකයි. ඒ කාලෙත් ජයසූරිය සහ කළුවිතාරණගෙ පොල් අඩි නෙලීම ඇතැමුන්ට ප්‍රශ්ණයක් වුණා. ඔවුන්ගෙ තර්කය වුණේ එහෙම ක්‍රිකට් ගහන එක ක්‍රීඩාවටත් හානිකර බවයි. ඒකට විරුද්ධව තර්ක කරපු අයත් උත්සාහ කළේ ජයසූරියගෙ සහ කළුවිතාරණගෙ පිති හරඹය පොල් අඩි නෙමේ කියන එක පෙන්වන්න මිසක් 'ඒව පොල් අඩි තමයි, ඉතින් මොකෝ' කියල අහන්න නෙමේ.

    - ප්‍රභංග

    ReplyDelete
  5. අපට තේරෙන්නෙ නැති දෙයක් තමයි අමිලගෙ අදහසට ප්‍රතිචාර දක්වමින් වංශපුර පවසන්නෙ. පිටින් එන දේවල් අපේ කරගන්න නොදන්නා කම නිසා(අනුකරණය කරන්න යන්නැතුව අවශෝෂණය කරන්න නොදන්න කම නිසා) තවමත් අපි බොහෝ අංශවලින් මං මුලා වෙලා ඉන්න බව ක්‍රිකට් ගහද්දි අපේ කොල්ලො අපිට ඒ පාඩම උගන්වන්න මහත් සේ උත්සාහ කළා. වංශපුර මේ සෘජුවම කියා දෙන්නෙත් ඒ දේමයි. ඒත් කෙතෙක් දෙනෙක් තෙරුම් ගනීද මන්දා. මේ මට හිතෙන විදිහ.

    ReplyDelete