Wednesday, April 2, 2014

මිනිසුන්ට දැනෙන සංවර්ධනය

පෘතග්ජන අපි බොහෝවිට තැවෙන්නේ ලතවෙන්නේ අනුන්ගේ ඇති හැකි කම අපට නැතැයි සිතන නිසා මිස අපේවූ යම් නැති බැරි කමක් නිසා නොවේ.  නැති බැරි කම සාපේක්‍ෂය. අපව දුකට පත් කරන්නේ අනුන්ට සාපේක්‍ෂව අපට නැතිවෙන විටය නැත්තම් අනුන්ට සාපේක්‍ෂව අපට බැරි වෙනවිටය. ඒ මිස දුක නැති කරන යම් වාස්තවිකවූ ඇති හැකි මට්ටමක් සොයා ගත් කෙනෙකු නැත. පොදුවේ නැති බැරි නිසා ඇතිවෙන දුක සමනය කිරීමට නම් කාරණා දෙකක් ඉටු විය යුතුය. එකක් නම් මුලු සමාජය පුරා මිනිසුන්ගේ ඇති හැකිකම හැකිතාක් දුරට සමජාතීය කර ගත යුතුය. ඒ වගේම වැදගත් ලෙසට සමාජයක් වශයෙන් තමන්ට ඇති ඇති හැකිකමින් සෑහීමට පත්වීමට අප පුරුදු විය යුතුය. සෑහීමට පත්වීමට පුරුදු නොවෙන සමාජයක විශමතා අවම කල නොහැකිය. එමෙන්ම විශමතා වැඩි සමාජයක් තුල මිනිස්සු සෑහීමට පත් නොවෙති. සමාජ විශමතා අවම කිරීමත් සෑහීමට පත්වීමත් චක්‍රීය වශයෙන් එකිනෙකට බලපායි. එක් කරුණක් අනික නැතිව ඉටු කර ගත නොහැකිය.

රටක් සංවර්ධනය කිරීම යනු නැති බැරි කම නිසා මිනිසුන්ට ඇතිවෙන දුක සමනය කිරීම විය යුතුය. එසේ නොවන සංවර්ධනයක් කුමටද? එසේ නම් සංවර්ධනය කිරීම යනු සමාජ විශමතා අවම කිරීමත් මිනිසුන්ට සෑහීමට පත්වීමට පුරුදු කිරීමත් එසේ සෑහීමට පත්වීමට වීමට ඇති බාධා ඉවත් කිරීමත් විය යුතුය. ඒ නිසා සංවර්ධනය යනු හුදෙක් ආර්ථික ක්‍රියාවලියක් පමණක් නොව සමාජ දේශපාලන හා ආර්ථික ක්‍රියාවලියකි. ඒ ක්‍රියාවලිය තුලින් අප බලාපොරොත්තු විය යුත්තේ විශමතා අඩුවීම සහ සෑහීමට පත්වීම යන චක්‍රය පවත්වාගෙන යාමය.

නමුත් අද ආර්ථික විශේෂඥයින් උපදෙස් දෙන්නේ මේ දේ කරන්නට නොවේ. ඔවුන් වැඩ කරන්නේ ඔවුන් මැන ගන්නා යම් ඊනියා ආර්ථික දර්ශකයක් ඉහල හෝ පහල දමා ගැනීමටය. නැති බැරි කම නිසා මිනිසුන්ට දැනෙන දුකත් මේ දර්ශකත් අතර ඇත්තේ අහසට පොලව මෙන් නොගැලපීමක් බව නොපිලිගන්නා කෙනෙක් වෙත් නම් ඔහු හෝ ඇය ආර්ථික විශේෂඥයෙකුම විය යුතුය. නමුත් මේ ආණ්ඩුවත් ලොකේ අන් රටවල ආණ්ඩු මෙන්ම ආර්ථික විශේෂඥයින් පසු පස යන්නේ අන්ඳයින්ටත් අන්ත විදිහටය. ජනතාව ඇසුරු කරන දේශපාලකයෝද තමන්ට ඉවෙන් දැනෙන දේ නොතකා ආර්ථික විශේෂඥයින්ට ඇහුන්කම් දීමට යෑම අභාග්‍යයකි. අඩු තරමින් ඇමරිකානු ආර්ථික විශේෂඥයකෙුවූද කලක් එරට මහ බැංකුවේ අධිපතිවූද ඇලන් ග්‍රීන්ස්පෑන් නම් තමන්ගේ නොදන්නාකම සමහර අවස්ථාවලදී හෝ පිළිගෙන ඇත. ඔහු දෙදහස් පහ හය වසර තුලදී ඇමෙරිකානු ආර්ථිකයේ කඩා වැටීම ගැන ඇමරිකානු කොන්ග්‍රසයට කට උත්තර දෙමින් පැවසුවේ ලෝක ආර්ථිකය පිළිබඳව තමන්ට නිවැරදි අවබෝධයක් නොතිබුනු බවය. හාස්‍ය ජනක වුවද තවත් වරක ඔහු මෙසේද පවසා ඇති බව කිව යුත්තේ අපටද මේ බව වැදගත් විය හැකි බැවිනි “Since becoming a central banker, I have learned to mumble with great incoherence. If I seem unduly clear to you, you must have misunderstood what I said" (මම මහ බැංකුවේ වැඩ කරන්ට ගත්තාට පසු කිසිවෙකුට නොතේරෙන ලෙස මුමුණන්ට පුරුදු වුනෙමි. ඔබට මා කියන දේ තේරෙනවා යැයි සිතෙනවා නම් ඔබ මා වැරදි ලෙස වටහාගෙන යුතුය.)

මට වැටෙහෙන ආකාරයට නම් ආර්ථික විශේෂඥයින් මේ දර්ශක සමඟ කරන සෙල්ලමෙන් කෙරෙන්නේ මා පෙර සඳහන් කල විශමතා අඩුවීම සහ සෑහීමට පත්වීම යන චක්‍රය අනිත් අතට කැරකවීමය.  එනම් සෑහීමට පත්නොකරමින් විශමතා වැඩි කරවීමය. නමුත් චක්‍රය ඒ අතට කරකැවීමෙන් සිදුවෙන්නේ මිනිසුන්ට නැති බැරි නිසා ඇති වෙන දුක වැඩි වීමය. මීට දශක තුන හතරකට පෙර නොතිබුනු ඊනියා ආර්ථික සංවර්ධනයක් තිබියදීත් මිනිසුන්ගේ අසහනකාරී බව අඩු නොවී තිබීම වෙන ආකාරයකට තේරුම් ගත හැකිද?

පැහැදිලිවම අද අප සමාජයේ නැති බැරි උදවියත් ඇති හැකි උදවියත් අතර පරතරය පෙරට වඩා දුරස්ය. සමාජ විශමතාව ඉහලය. ඊට සාපේක්‍ෂව සෑහීමට පත්වීමට ඇති හැකියාවද අපෙන් ගිලිහී ගොස්ය. අපේ රටේ පමණක් නොවේ ඊනියා දියුණු රටවල පවා ඇති නැති පරතරය වැඩිවෙමින් පවතී. බටහිර සමාජවලට මේ පරතරය තවමත් දරාගත හැක්කේ එහි මිනිසුන් සමාජයෙන් වෙන්වී ජීවත් වෙන නිසාවෙනි. ඔවුන්ට අනුන්ගේ ඇති හැකි කම අපට තරම් රිදවන්නේ නැත්තේ ඔවුන් හුදෙකලාව ජීවත් වන නිසාය. නමුත් එහිද සීමාවක් ඇත. මේ ලඟදී ඇමෙරිකාවේ නගර පුරා තරුණයින් උද්ඝෝශණ පැවැත්වූයේ එරට තුල ඒ සීමාව ඉක්මවා යමින් පවතින බව හඟවමිනි. ඉදිරියේදී බටහිර රටවලද චීනයේද ආර්ථික ඒ පිළිවෙලට කඩා වැටෙනු ඇත. කඩා වැටෙන්නේ බොහෝ දෙනා සිතන පරිදි සම්පත් හිඟවීම නිසා නොව (උදා: තෙල්) ඇති නැති පරතරය වැඩි වීමත් සෑහීමකට පත් නොවීමත් නිසාය. බටහිර ආර්ථික විද්‍යාවට ඊට පිළිතුරක් නැත. දැනට සියවස් දෙකක පමණ තිස්සේ බටහිරුන් අනුගමනය කරන ධනවාදී අර්ථික ක්‍රමය (මොන නමින් හැඳින්වුවද මූල ධර්ම වශයෙන් එය වෙනස්වී නැත) ප්‍රශ්ණය උග්‍ර කිරීමක් මිස එය විසඳීමක් නොවේ.

ධනවාදීන්ට මෙන්ම රතු පාට මෙන්ම රෝස පාට සමාජවාදීන්ටද නැති බැරිකම නිසා ඇතිවෙන දුක නැති කරන්නේ කෙලෙසද යැයි දැනුමක් නැත. නමුත් ඊනියා සමාජවාදීන් තමන්ට එය කල හැකි යැයි බොරුවට පෙන්වනු ඇත. එසේ පෙන්වා ඉදිරයේදී ජනතාවගේ ඡන්ද දිනීමට හෝ ආණ්ඩුව බලෙන් පහ කිරීමට ක්‍රියා කරුනු ඇත. බටහිරුන්ගේ සහය ඔවුන්ට ලැබෙනු ඇත.

ඉදිරියේත් මේ ආණ්ඩුව ඡන්ද දිනීමට නම් මිනිසුන්ට දැනෙන සංවර්ධනයක් කල යුතුය. එසේ කරන්නට නම් ප්‍රථමයෙන් සංවර්ධනය යනු කුමක්දැයි අවබෝධ කර ගත යුතුය. සංවර්ධනය කිරීම යනු සමාජ විශමතා අවම කිරීමත් මිනිසුන්ට සෑහීමට පත්වීමට පුරුදු කිරීමත් එසේ සෑහීමට පත්වීමට වීමට ඇති බාධා ඉවත් කිරීමත් යන සමස්ථ ක්‍රියාවලියමය.

4 comments:

  1. අනේ පුළුවන් නම් සමාජ විෂමතා (මොන විෂමතාද කියලා කියනව නම් වඩා පැහැදිලි වෙයි) අවම කරන්න ඔයාගේ යෝජනා(හරියටම ) කියන්නකෝ.මොකද නැත්නම් ඔයා ඔක්කොම කියලා අන්තිමට අර ඩඩ්ලි සියර්ස්ගේ සංවර්ධන නිර්වචනවලට ගියා වගේ වෙනවා.
    අනික ආණ්ඩුව කොහොමද සෑහීමට පත්වීමට පුරුදු කරන්නේ?

    ReplyDelete
    Replies
    1. විශමතා අඩු කිරීම පමණක් නොවේ සෑහීමට පත්වීමත් සමස්ථ සමාජ-දේශපාලන-ආර්ථික ක්‍රියාවලියක් හරහා ඉටුකරගන්නා ආකාරයක් යෝජනා කරන්න පුලුවන් නමුත් ඊට කලින් එහි පදනම පිළිබඳ එකඟතාවක් තිබිය යුතුයි. එනම් අපට ඇති ප්‍රශ්ණයට හේතුව මෙහි පෙන්වාදෙන විශමතා වැඩිවීම සහ සෑහීමට පත්නොවීම අතර ඇති චක්‍රීය බව පිළිගෙන සිටිය යුතුයි. ඔබ එය පිළිගන්නවාද?

      Delete
  2. භද්‍ර ඝටය,සුරබි දෙන,කප් රුක හෝ වෙනත් සිතූ පැතූ දේ දෙන යෂ්ටියක් නැති තැන හිඟ කම තියෙනවා.ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ.දැන් කියමුකෝ නිශ්චිත යෝජනා.

    ReplyDelete
    Replies
    1. යම් ප්‍රශ්ණයක් විසඳන්න කලින් ප්‍රශ්ණය කුමක්දැයි අවබෝධ කරගත යුතුයි. අපි ඊනියා ආර්ථික ප්‍රශ්ණ ලෙස දකින දේ ඇති නැති පරතරයත් සෑහීමට පත් නොවීමත් අතර ඇති චක්‍රීය සම්බන්ධයක් නිසා ඇති වෙන්නක් බවයි මම මෙහි පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ. එක්කෝ එය ඔබට තේරී නැහැ නැත්නම් ඊට විරුද්ධ මතවාදයක් ඔබට නැහැ. ඔබ ප්‍රශ්ණය අවබෝධ කරගන්නේ කප්රුක වැනිදෑ නැති නැතිවෙනවට කොහොමත් දුප්පත්කම ඇති වේය කියායි. ඔබට අනුව ඒකකෝ අපි කප්රුකවල් සොයා ගත යුතුයි නැත්නම් දුප්පත්කමට විසඳුමක් නැහැයි කියා කිසිවක් නොකර සිටිය යුතුයි.

      මම ප්‍රශ්ණය අවබෝධ කරගත් ආකාරයට නම් විසඳුම් ඒවා නොවේ. විසඳුම ඇති නැති පරතරය නැත්නම් සමාජ විශමතා අවම කිරීමට උත්සාහ කරන අතරේම ලදු දෙයින් සෑහීමට පත්වීම සඳහා සංස්කෘතික පරිසරයක් නිර්මාණය කර ගත යුතුයි. සමාජ විශමතා අවම කිරීමට නම් අපි කේන්ද්‍රීය අර්ථිකයෙන් ඈත්වී විමධ්‍යගත ආර්ථික රටාවක් බිහි කර ගත යුතුයි. ඊට සමගාමීමව විමධ්‍යගත පාලන ක්‍රමයක් නිර්මාණය කර ගත යුතුයි. විමධ්‍යගත ආර්ථික ඒකක තුල ස්වයංපෝශණය ඇති කර ගත යුතුයි. කුඩාම ඒකක තුල එය නොහැකි වෙන විට ඒ ඒකක සමූහයක් තුලත් එය නොහැකි අවස්ථාවලදී සමූහ වල එකතුවක් තුලත් යන ආකාරයට එනම් පහල සිට ඉහලට ස්වයංපෝශණය ඇති කර ගැනීමට උත්සාහ කරගත යුතුයි. මහා පරිමාණ නිශ්පාදන ක්‍රමයෙන් ඈත්වී සුලු පරිමාණ නිශ්පාදනයට හුරු විය යුතුයි. බැංකු ණය අධාර ලබා දිය යුත්තේ සුලු පරිමාණ ව්‍යාපාරිකයින්ට මිස ජ්‍යාත්‍යන්තර සමාගම් වලට නොවේ. නගර වලට වෙනුවට ගම් වලට පහසුකම් ලබා දිය යුතුය. නගර බද සුපිරි පාසල් නොව පහසුකම් ඇති පාසල් රට පුරා ප්‍රදේශීය මට්ටමින් බිහි විය යුතුය. අපට සෑහීමට පත්වීමට උගන්වන්නේ බුදු දහමයි. බුදු දහම පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අවශෝෂණය කර ගත යුතුය. අධි පරිභෝජනයට පොලඹවන මහා පරිමාණ වෙලඳ ව්‍යාපෘති මෙන්ම එහි ප්‍රවර්ධන කටයුතු වලටද වාරණ පැනවිය යුතුය.

      Delete