Wednesday, April 30, 2014

සිංහල මුස්ලිම් සහජීවනය

මුස්ලිම්වරුන් සහජයෙන්ම අන් කිසි ජාතියක් සමඟ සහජීවනයෙන් ජීවත්වීමට අකමැති යැයි සමහරු සිතති. මේ ආකල්පය පදනම් කරගෙන මුස්ලිම් ප්‍රශ්ණයට දිය හැකි පිළිතුර කුමක්ද?

එක්කෝ මුස්ලිම්වරුන්ට රටෙන් කොටසක් දී සිංහළුන් ඔවුන්ගෙන් වෙන්විය යුතුය. එක්කෝ ඔවුන් වෙන රටකට පන්නා දැමිය යුතුය. උගත් බෞද්ධ පිංවතුන් යෝජනා කරන්නේ ඉහත කුමණ විසඳුමද? සිංහල මුස්ලිම් සහජීවනයක් නොපතන මුස්ලිම්වරුද වෙත්. ඔවුන් සිංහළුන් සම්බන්ධයෙන් දරන අවිචාරවත් ආකල්පද මේ හා සමානය. මේ මුස්ලිම්වරුන්ද යෝජනා කරන්නේත් ඉහත විසඳුම් නම් ඔවුන්ටද දෙයියන්ගේ පිහිටය.

මේ තරුණයෝ එතැනින් නොනැවතී තවත් ආකල්ප ඊට එකතු කර ගනිති. තම ජාතිය ආගම බේරා ගැනීම සඳහා සුදුසුකමක් ඇත්තේ තමන්ට යැයි සිතා ඔවුහු ඒ සඳහා තමන්වම පත් කරගනිති. තමන් උගතුන්ය බුද්ධිමතුන්ය යැයි සිතන නිසා ඔවුහු හුදී ජනයා තමන් දරන මතය අනුමත කරයිද නොකරයිද යන්න ගැන විචාරවත් නොවෙති. එතැනිනුත් නොනැවතී ඊලඟට ඔවුහු සමාජ දේශපාලන ප්‍රශ්ණ ඉක්මණින්ම විසඳිය යුතුයැයිද එසේ විසඳිය හැකියැයිද කල්පණා කරති. මීට වසර විසි පහක පමණ කෙටි කලකට ඉහතදී ජනතා විමුක්ති පෙරමුණ වටා එකතුවුනු තරුණයින්ද මෙවැනි ආකල්ප දැරූහ. එය කෙලවර වුනේ කෙසේදැයි දැන් අපි දනිමු.

මෙරට විවිධ ජනවර්ගවලට සහජීවනයෙන් ජීවත්විය හැකිය. එයට අපේ ඉතිහාසය සාක්‍ෂි දරයි. නමුත් සහජීවනයක් ඇතිවන්නේ සියලු ජන-ආගම් වර්ග යම් එක් පවතින විදිහකට අනුගතවීම තුලිනි. මෙය අප රටට විශේෂත්වයක් නොවේ. අරාබි රටවලට යන විදේශිකයෝත් යුරෝපීය රටකට යන විදේශිකයෝත් ඒ ඒ රටවල මිනිසුන් සමඟ එකට ජීවත්වන්නේ ඒ ඒ රටවල පවතින විදිහට අනුගතවීම තුලිනි. මීට වසර විස්සකට තිහකට ඉහතදී මෙරට සියලු ජන-ආගම් වර්ග අදට වඩා එකිනෙකා අතර සුහදත්වයෙන් ජීවත්වූයේ ඔවුන් අදට වඩා මෙරට පවතින විදිහට ගරු කරමින් ඊට අනුගතව ජීවත්වූ බැවිනි. නමුත් පසුගිය වසර විස්ස තිහ ඇතුලත සිදුවුනු සමාජ විපර්යාසය නිසා ඒ පවතින විදිහ පිළිබඳ අවබෝධය අපෙන් ගිලිහී ඇත. ඒ සමාජ විපර්යාසය හුදෙක් මුස්ලිම් අන්තවාදීන් විසින් ඇති කල එකක් නොව බටහිර සංස්කෘතියේ බලපෑමද ඊට හේතුවිනි.

Friday, April 25, 2014

මහා පරිමාණ අධ්‍යාපනය සහ ජාතියක බුද්ධිමත්බව

කුඩා කාලයේ කෙනෙකු අපෙන් පාසල් යන්නේ කුමටදැයි විමසුවේ නම් දිය යුතු නියම පිළිතුර වූයේ දැනුම ලබා උගතෙකු වීමට බවය. නොදිය යුතු පිළිතුර වූයේ හොඳ පඩියක් ලැබෙන රස්සාවක් ලබා ගැනීමට බවය. ඒ එකල පාසලටත් ගුරුවරුන්ටත් පාසලේ ඉගෙනගත් දෑටත් යම් ගරුත්වයක් තිබුනු නිසාවෙනි. නමුත් එකලත් මෙකලත් ඒ ප්‍රශ්ණයට දියයුතු නිවැරදි පිළිතුර පාසල් යන්නේ හොඳ පඩියක් ලැබෙන රස්සාවක් ලබා ඒ හරහා සමාජයේ ඉහලට යෑමට බවය. අද පාසල්, ගුරුවරුන් මෙන්ම විභාග සහතික පවා මිලයට ගත හැකි නිසා අධ්‍යාපනය ලැබීමේ මූලික අරමුණ මේ බව පාසල් යන කුඩා දරුවන් කෙසේ වෙතත් දෙමව්පියන් නම් හංගන්නට උත්සාහ කරන්නේ නැතැයි මම සිතමි. එහි වරදක් කිව නොහැකිය.

අද අපි අනුගමණය කරන බටහිර ජීවන ක්‍රමය තුල අධ්‍යාපනය රස්සාවටත් රස්සාව සමාජ තත්වයටත් සමානුපාතිකය. මීට වසර පණහකට හැටකට ඉහතදී වසර දහයක පමණ පාසල් අධ්‍යාපනයෙන් ලබාගත් සමාජ තත්වය ලබාගැනීමට අද මූලික පාසල් අධ්‍යාපනයෙන් පසුවද වසර දෙක තුනක, නැත්තම් මුලු එකතුවෙන් වසර පහලොවක පමණ අධ්‍යාපනයක් අවශ්‍යය. ඊට හේතුව එදාට වඩා අද වැඩි පිරිසක් විධිමත් අධ්‍යාපනය ලබන නිසාත් ඔවුන් අතර තරඟයක් ඇති නිසාත්ය.

මහා පරිමාණ අධ්‍යාපනය බටහිර නූතනත්වයට අවේනික වුවකි. මින් පෙර පැවති කිසිම දැනුම් පද්ධතියක් තුල මෙතරම් අධ්‍යාපනලාභීන් ගණනක් විසින් මෙතරම් කාලයක් අධ්‍යාපනය සඳහා වැය කරන්නට යෙදුනාදැයි සැක සහිතය. කෙසේ නමුත් බටහිර ජීවන ක්‍රමය තුල රටක අධ්‍යාපනලාභීන්ගේ ගණන හා ඔවුන් අධ්‍යාපනයට වැය කරන කාලය වැඩිවීමට සාපේක්‍ෂව එහි මධ්‍යම පංතියේ වර්ධනයක් සිදුවේ යැයි සිතිය හැකිය. මධ්‍යම පංතිය වර්ධනය වීම සමාජය ආර්ථික වශයෙන් සමජාතීය කෙරීමක් ලෙස හැඳින්විය හැකිය. නමුත් මහා පරිමාණ අධ්‍යාපනයෙන් සමාජයක් සමජාතීය වන්නේ ආර්ථික වශයෙන් පමණක් නොවේ.

Friday, April 18, 2014

දළ ජාතික බුද්ධිමත්බව

බුද්ධිමත් බව සංස්කෘතියට සාපේක්‍ෂය. බුද්ධිමතුන් ලෙස හැඳින්විය හැක්කේ රටක සංස්කෘතිය තුල දැනුම නිර්මාණ කිරීමට හැකි පුද්ගලයින්ටය. නමුත් රටක බුද්ධිමත්බව ලෙස මම හඳුනාගන්නේ එහි සංස්කෘතිය තුල පොදු සමාජයක් වශයෙන් එරට මිනිසුන්ට නිර්මාණශීලීවීමට ඇති හැකියාවය. මේ අර්ථයෙන් රටක මිනිසුන්ගේ පොදු බුද්ධිමත්බව එරට දළ ජාතික බුද්ධිමත්බව ලෙස හැඳින්විය හැකිය. එය මැණීමට ක්‍රමයක් ඇත්දැයි මම නොදනිමි. අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇති විභාග ප්‍රතිඵල වලින් නම් රටේ බුද්ධිමත්බව තියා තනි පුද්ගලයින්ගේ බුද්ධිමත්බවවත් මැන ගත නොහැකි බව මම තරයේ විශ්වාස කරමි. විභාග ප්‍රතිඵල තුලින් යම් සාමාන්‍ය අගයක් ගණනය කලහොත් ඉන් පෙන්නුම් කරන්නේ පුද්ගලයින්ට විභාග පාස්වීමට ඇති හැකියාව පමණය.

නමුත් රටක ජීවත්වීමෙන් ලබන අත්දැකීම තුලින් එරටේ දළ ජාතික බුද්ධිමත්බව පිළිබඳව සාපේක්‍ෂ වශයෙන් යම් අවබෝධයක් ලබා ගත හැකිය. මට හැඟෙන අයුරින් නම් ජනගහණ අනුපාතයට අනුව සැලකුවොත් ඇමෙරිකාවේ බුද්ධිමතුන් ගණන ලංකාවේ බුද්ධිමතුන්ගේ ගණනට වඩා වැඩිය නමුත් එහි දළ ජාතික බුද්ධිමත්බව ලංකාවේ දළ ජාතික බුද්ධිමත්බවට වඩා අඩුය.

අපේ සමාජය තුල කෙරෙන බුද්ධිමය සංවාදයක් ගත්විට ඊට සහභාගිවෙන සම තත්වයේලා සැලකිය හැකි බුද්ධිමතුන් ගණන ඇමෙරිකාවේ එවැනි බුද්ධිමය සංවාදයකදී සහභාගීවෙන එරට බුද්ධිමතුන් ගණනට වඩා ජනගහණ අනුපාතයට අනුව සැලකුවද අඩු යැයි මම සිතමි. ඉන් පෙන්නුම් කෙරෙන්නේ අපි බුද්ධිමතුන් ගණනින් ලබා ඇති දුප්පත් කමය. එය අවාසනාවන්ත තත්වයකි. නමුත් රටක දළ ජාතික බුද්ධිමත්බව එහි බුද්ධිමතුන්ගේ ගණනට වඩා වැදගත්ය. බුද්ධිමතුන්ගේ ගණන වැඩිවූ පමණින්ම දළ ජාතික බුද්ධිමත්බව වැඩි නොවේ.

පෘතුවියේ සිට වෙන ග්‍රහ ලෝකයකට යානාවක් යැවීමට උසස් නිර්මාණශීලීත්වයක් තිබිය යුතුය. නමුත් එය ඉහල බුද්ධියක් ඇති ඉතා සුලු පිරිසකගේ දායකත්වයෙන් ඉෂ්ඨකට ගත හැකිය. සාමාන්‍යයෙන් මෙවැනි ව්‍යාපෘතියක් සඳහා අචාර්ය උපාදිධාරීන් සිය ගණනක් සහභාගී වුනද ඔවුන් බොහොමයකගේ නිර්මාණශීලී දායකත්වය නිවසක් ගොඩනැඟීමේදී ලොකු බාස් උන්නැහේට අත් උදව්කාරයින්ගෙන් ලබෙන දායකත්වය හා සමාන කල හැකිය. ඒ නිසා සමාජය කෙරෙහි විශාල බලපෑමක් ඇතිකලද තාක්‍ෂණික විද්‍යා මෙන්ම සමාජ හා දේශපාලන ක්‍ෂේත්‍ර තුල බොහෝ උසස් නිර්මාණවල සැබෑ කතුවරුන් වන්නේ ඉතා සුලු බුද්ධිමතුන් පිරිසක් පමණි. ඒ නිසා බුද්ධිමතුන්ගේ ගණනින් රටේ දළ ජාතික බුද්ධිමත්බව ගැන අනාවැකි කීමට නොහැකිය.

Monday, April 14, 2014

සිංහල බෞද්ධයාගේ පැවැත්ම



බටහිර අධ්‍යාපනයේ ඉහලට ගිය බොහෝ සිංහල බෞද්ධයින්ට තමන්ගේ සිංහලකම සහ බෞද්ධකම පිළිබඳව විචිකිච්ඡාවක් ඇත. නමුත් මේ සියලු දෙනාම එක ගොඩට දැමිය හැකි නොවේ. ඉන් සමහරක් සිංහලකමින් වියෝවුනු ඊනියා පිරිසිදු බුදු දහමක් ගැන කථා කරති. සමහරු සාම්ප්‍රදායික පංසල්වලින් ඈත්වී නිවන් මඟ සෙයමින් ඒ මේ අත යති. තවත් සමහරක් මහා වංශයට පහර දෙති. සමහරු ඉතිහාසය පිළිබඳ අතිශෝක්තියෙන් කථා කරති. තවත් අය සියලු ආගම් එකයැයි පවසන අතර සමහරු ආගම්වාදී වෙමින් අන්‍යාගමිකයින්ට පහර දෙති. මොවුන් සියල්ලෝම පොදුවේ බටහිර සංස්කෘතියේ ග්‍රහණයට හසුවුනු අය ලෙස හැඳින්විය හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුහු එක්කෝ සිංහලකම හෝ බෞද්ධකම හෝ නැත්තම් ඒ දෙකම හෝ පිටු දකිති එසේ නැත්නම් එය තදින් බදා ගනිති. මේ අන්ත දෙකෙන් එකකට තල්ලුවී යනවුන් අතර ජාතිකවාදීන්ද වේ. මේ ජාතිකවාදීන්ගේ අනන්‍යතා අවුල කෙතරම් ඔඩුදුවා ඇත්දැයිද කිවහොත් ඔවුන් සමහර දෙනෙක් දරන මතවාද සිංහල බෞද්ධ විරෝධීන්ද දරන බව ඔවුන්ට නොපෙනේ. නමුත් බටහිර සංස්කෘතියේ, විශේෂයෙන්ම එහි උසස් අධ්‍යාපනයේ අභාශය නොලත් ගැමි වැඩිහිටි පරම්පරාවට මේ කිසි අවුලක් නැත. අවාසනාවකට ඔවුන්ගේ පිල අඩුවෙමින් පවතින අතර අනුකාරක උගතුන්ගේ පිල වැඩිවෙමින් පවතී.
 
ජාතිකවාදී වුනත් නොවුනත් සිංහල බෞද්ධ උගතුන්ට තමන්ගේ අනන්‍යතාව පිළිබඳව ඇති අවුල හුදෙක් පුද්ගලික ප්‍රශ්ණයක් යැයි සලකා ඉවත දැමීමට නොහැකිය. මන්ද රටේ ආර්ථික හා දේශපාලන බලය හොබවන්නේද මේ ඊනියා උගතුන් බැවිනි. සමාජයක් වශයෙන් මේ උගතුන්ට දැනෙන විචිකිච්ඡාව අනාගතයේදී රාජ්‍යයේ අස්ථාවර බවට පරිවර්තනය වීමට බොහෝ ඉඩ කඩ ඇත. 

කෙසේ වෙතත් සිංහල බෞද්ධ උගතුන්ට ඇති අවුල රෝගයක ලක්‍ෂණයක් පමණ යැයි මම සිතමි. රෝගය පැවැත්ම පිළිබඳ ඔවුන්ට ඇති ගැටළුවය. පැවැත්ම තරම් මූලධර්මවූ ප්‍රශ්ණයක් මිනිසුන්ට තවත් නැත. ඊට ඒබ්‍රාහමණික ආගම්හි ලැබෙන පිළිතුර මැව්ම්කාර දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලදුව පවතී යන්නය. ඒ නිසා ඒබ්‍රාහමණිකයෝ පවතින දෑ තමන්ගෙන් නිරපේක්‍ෂව (ස්වාධීනව) පවතින ලෙස දකිති. ද්‍රව්‍යවාදීන්ට හා සමහර නිරාගමිකයින්ට අනුව පැවැත්ම හුදෙක් ද්‍රව්‍යයන්ට ඌනනය කල හැකිය. ඒ නිසා ඔවුන්ට ඇත්තේ ද්‍රව්‍යයන්ට සාපේක්‍ෂ පැවැත්මකි. විඥ්ඥාණ වාදීන්ට අනුව මනසට නිරපේක්‍ෂ පැවැත්මක් ඇත. ඔවුන්ගේ ලෝකය මනසේ නිර්මාණයකි. හිංදු ආගමට අනුව පවතින්නේ බ්‍රහ්මණ් පමණය. හිංදුවරුන් උත්සාහ කරන්නේ තමන් නිරපේක්‍ෂව පවතී යැයි සිතන මුලාවෙන් මිදී බ්‍රහ්මණ් සමඟ එක් වීමටය නැත්නම් බ්‍රහ්මණ් බවට පත්වීමටය. පැවැත්ම පිළිබඳව ප්‍රශ්ණයට බුදුන් වහන්සේ දුන් පිළිතුර අනිත්‍යය දුකය ආනාත්මය යන්නය. බෞද්ධයින් උත්සාහ කරන්නේ පැවැත්ම මායාවක් ලෙස අවබෝධ කරගෙන ඒ මායාවෙන් මිදෙන්නටය. 

මිනිසුන් සමූහයක් ලෙස ගොනු වීමේදී මූලික වශයෙන් බලපාන්නේ ඒ ඒ ජන කොටස් තම පැවැත්ම සම්බන්ධයෙන් දරන විශ්වාසය යැයි සිතිය හැකිය. ඒ අනුව යම් ජන කොටසක් සතු පැවැත්ම පිළිබඳ ආවේනික දැනුම් පද්ධතියත් ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවත් අතර සෘජු සම්බන්ධයක් ඇතැයි සැලකිය හැකිය. පැවැත්ම ගැන එකම විශ්වාසයක් ඇතිව සංස්කෘතියෙන් වෙනස්වීම, උදාහරණයක් වශයෙන් ඒබ්‍රාහමණික ආගම් යුදෙවි, ක්‍රිස්තියානි ඉස්ලාම් ආදී වශයෙන් වෙන්වීම, ඒ ඒ චින්තනයට අනුව සිදුවෙන ද්වීතීයික බෙදීමක් ලෙස සැලකිය හැකිය. 

Thursday, April 10, 2014

සරල ක්‍රිකට් සහ ශාස්ත්‍රීය ක්‍රිකට්

එතරම් වාහන ගියේ නැති බැවින් කුඩා කාලේ අපිට ගෙදර ඉස්සරහ පාරේ ක්‍රිකට් ගැසීම ප්‍රශ්ණයක් නොවිනි. වාහනයක් එනු දුරතියා දුටුවිට විකට්ටුවට තිබි ලෑලි කෑල්ල අයින් කර ගැනීම පමණි අපිට කරන්නට තිබුනේ. අහල පහල ගෙවල් වලට පංදුව ගිය විට තාප්පය හෝ වැට උඩින් පැන එය ඇහිඳගෙන ඒම කාටවත් ප්‍රශ්ණයක් නොවිනි. එකල පාසල් ඇරී ඉර බසිනතුරු පාරේ ක්‍රිකට් ගැසූ බොහෝ දෙනෙකු පාසලේ ක්‍රිකට් ගැසීමට සුදුසුකමක් නොතිබුනු අය විය. පාරේ තොටේ ගැසූ ක්‍රිකට් සරලය. පංදු යවන විදි පංදුවට පහර දෙන විදි පිති විකට්ටු පමණක් නොවේ එහි නීති පවා අපි හදා ගත් දේ විනි.

සරල ක්‍රිකට් තවමත් රටේ ඇත. නමුත් සරල ක්‍රිකට් වලට පදනම්වුනු සමාජ හා සංස්කෘතික වටපිටාව අපෙන් ගිලිහෙමින් පවතී. වාහන වැඩි නිසා පාරේ ක්‍රිකට් ගැසීමට නොහැකිය. දෙපැත්තේ ගෙවල්වල තාප්ප උස වැඩිය. එක්කෝ නිවස ඉදිරියේ පාරේ ක්‍රිකට් ගසනවාට මිනිස්සු කැමති නැත. ළමයින්ට ක්‍රිකට් ගැසීමට වෙලාවක්ද නැත. පාසල් ඇරී ගෙදර ආවිට ඔවුන්ට කරන්ට ගෙදර වැඩ ඇත නැත්නම් අමතර පංතියාමට උවමණාය. නමුත් අවශ්‍ය නම් ළමයින්ට පාසලේ ක්‍රිකට් පුහුණුවිය හැකිය. පුහුණුවීමත්
ක්‍රිකට් ගැසීමත් දෙකක් බව කිව යුතු නැත. එදාට වඩා අද පාසල්වල ක්‍රිකට් සරුය. පිළිගැනීමද එදාට වඩා අද වැඩිය. පහසුකම් වැඩිය. පුහුණු කරුවෝද  සිටිති. පාරේ ක්‍රිකට් වලට මෙන් නොව පාසල් ක්‍රිකට් වලට ව්‍යුහයක් ඇත. විධි ක්‍රමයක් ඇත. එය ශාස්ත්‍රීයය. 

අප සමාජය තුල සරල ක්‍රිකට් පරදවා ශාස්ත්‍රීය ක්‍රිකට් ජය ගන්නේ අපි වඩ වඩාත් බටහිර සංස්කෘතියට අනුගතවීමත් සමගය. ක්‍රිකට් පමණක් නොවේ අනිත් ක්‍රීඩා වලටත් කලා වැඩටත් පාසලෙන් පිට සරල ආකාරයට සම්බන්ධ වීමට ළමයින්ට තිබුනු අවස්ථා අවම කරමින් අද ඒ ක්‍රියාකාරකම් අතිරේක වැඩ ලෙස පාසලට අවශෝෂනය වී ඇත. ඉන් වෙන්නේ ගමේ ගොඩේදී මේ ක්‍රියාකාරකම්වල නිතැතින්ම තිබුනු සරල බව වියැකී ශාස්ත්‍රීයබවක් ඊට ආදේශවීමය. එවැනි ශාස්ත්‍රීය පහුණුවක් ලැබීම පුද්ගලිකව ළමයෙකුගේ උන්නතියට හේතුවෙනවා විය හැකිය. එවැනි ශාස්ත්‍රීය පුහුණවක් ලැබූ අයෙකුට ඒ ක්‍ෂේත්‍රයේ ඉහලට යෑමට හැකි ආකාරයට විදි ක්‍රම සැකසී ඇති නිසා උන්නතිය ස්වභාවිකව ඇතිවන්නක් යැයිද කිව නොහැකිය. නමුත් පොදුවේ ගත්විට පාසල් ළමයින්ගේ ක්‍රීඩා හා කලා වැඩ ශාස්ත්‍රීය කර නොගෙන පාසලෙන් පිට සරලව තබා ගැනීමට හැකි නම් පොදු සමාජයට වඩා හොඳයැයි මම සිතමි.


සරල ක්‍රිකට්හි වැදගත් කමක් ඇත. සරල ක්‍රිකට් නිර්මාණශීලත්වයට තෝතැන්නකි. ශාස්ත්‍රීය ක්‍රිකට්හි ඇති දෘඪ බව එහි නැත. බටහිර විද්‍යාව ශාස්ත්‍රීයය. ඒ නිසා එය දෘඪය. එහි සුසමාදර්ශීය වෙනසක් වන්නේ වසර සියයකට දෙසීයකට පමන සැරයකටය. එසේ වෙනවිටද එය සිදුවෙන්නේ එතෙක් කල් එහි තිබුනු ශාස්ත්‍රීය දැනුම පදනම් කොට ගෙන නොවේ. ඊට පිටින් ගොස්ය. ක්‍රීඩාවටත් කලාවටත් එය සත්‍යනොවේ යැයි කිව හැකිද? ක්‍රිකට් ක්‍රීඩාවේද සුසමාදර්ශීය වෙනස් කල හැක්කේ ශාස්ත්‍රීය ක්‍රිකට් වලට නොව සරල ක්‍රිකට් වලටය. වඩා වැදගත් ලෙසට සුසමාදර්ශීය වෙනසක් කලවිට ක්‍රිකට් වලින් ජය ගනී. අනූහයෙත් මෙදා පාරත් අපි ජය ගත්තේ මෙසේ ක්‍රිකට් ක්‍රීඩාවේම වෙනසක් කරමිනි. ඒ අවස්ථා දෙකේදීම ඒ වෙනසට පාදක වුනේ අපේ සරල ක්‍රිකට්ය. ඒ අවස්ථා දෙක අතර තුලදී අපට ජය ගන්නට නොහැකිවූ එක් හේතුවක්ද අපි ශාස්ත්‍රීය ක්‍රිකට්වල එල්බගෙන සිටීමය. මා ක්‍රිකට් ගසා නැතිනිසා මේ කථාව සම්පුර්ණ බොරුවක් විය හැකිය. නමුත් එසේ නොවැතැයි මම හඟිමි.


Wednesday, April 9, 2014

අද-ලොව සහ හෙට-ලොව

අද-ලොව සහ හෙට-ලොව යැයි ලෝක දෙකකි. මේ දෙලොවම බොහෝ දුරට එක සමානය. දෙලොවටම ඇත්තේ එකම ඉතිහාසයකි. එකම වෙනස හෙට-ලොව වැසියන් ජීවත්වන්නේ අද-ලොව වැසියන්ට වසර පණහක් පමණ ඉදිරියෙනි. නමුත් අද-ලොව වැසියෝත් හෙට-ලොව වැසියෝත් එකිනෙකා මුණ ගැසී නැත. මුණ ගැසෙන්නට හැකියාවක්ද නැත. මේ වෙනතෙක් තවත් එවැනි ලොවක් ඇත්දැයි වත් දෙලොවම වැසියන් දැන සිටියේද නැත.

මෑතකදී අද-ලොවේ විද්‍යාඥයින් පිරිසක් විසින් විශිෂ්ට උපකරණයක් නිර්මාණය කරන්නට යෙදිනි. ඒ උපකරණයෙන් අද-ලොවේ ඕනෑම වැසියෙකු සතුටින් සිටිනවාද නැද්ද යන්න නිර්ණය කිරීමට හැකිය. උපකරණය කුටියක් වැනිය. ඒ තුලට යමෙක් ඇතුල්වූ පසු එහි යන්ත්‍ර ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවී පුද්ගලයා පිළිබඳ නොයෙකුත් මිනුම් ලබාගෙන තත්පර කිහිපයකින් පසු ඒ පුද්ගලයා ඉන්නේ සතුටින්ද නැද්ද යැයි වාර්තාවක් නිකුත් කරයි. උපකරණය හැඳින්වුනේ සතුට v.1 යනුවෙනි. සතුට v.1 හි නිරවද්‍යතාව පිළිබඳ අද-ලොවපුරා පිළිගැනීමක් ලැබුනු අතර ඒ හේතුවෙන් ඒ විද්‍යාඥයින්ට නොයෙකුත් තෑගි බෝග, සම්මාන, නම්බු නාමද හිමිවිනි.

ඉන්පසු මේ උපකරණය යොදාගෙන අද-ලොව පුරා එහි වැසියන්ගේ සතුටුබව පිළිබඳව සමීක්‍ෂණයක් සිදුකෙරිනි. එහි ප්‍රතිඵල වලින් පෙන්නුම් කෙරුනේ, ඔවුන් සැක කල පරිදිම, අද-ලොව බහුතරයක් වැසියන් ජීවත්වන්නේ අසතුටින් බවය. සමීක්‍ෂණයෙන් දැනගත් අනිකුත් කරුණුද අනුව අද-ලොව වැසියන් අසතුටින් සිටින්නේ මන්දැයි අනුමාණ කිරීමට ඒ විද්‍යාඥයින්ට හැකිවිනි. ඒ අනුව වසර පණහක් තුලදී අද-ලොව සියලු වැසියන් සතුටුබවට පත්කිරීම සඳහා මහා පරිමාණ සමාජ-දේශපාලන වැඩ පිළිවෙලක් සකස් කෙරින. පුළුල් සාකච්ඡා වකින් අනතුරුව මේ පනස් වස් සංවර්ධන සැලස්ම පිළිබඳව පොදු එකඟතාවකට පැමිණීමට අද-ලොව විද්වතුන්ට හැකිවිනි.

නාථ යනු අපේ ලොවේ ජීවත්වෙන අපි වැනි මනුස්සයෙකි. නාථ අද-ලොවට සම්ප්‍රාප්ත වුනේ මේ පනස් වස් සංවර්ධන සැලස්මට එ ලොව ජන මාධ්‍යවලින් මහා ප්‍රචාරයක් දෙමින් සිටින අතරතුරය. පනස් වස් සංවර්ධන සැලස්මේ තිබුනේ අද-ලොව වැසියන් විසින් ඉදිරියේදී අත් කරගත යුතු සම්පත් සහ ආශාවන් ගැනය. අත් හැරිය යුතු දෙයක් ගැන එහි සඳහනක්වත් නොවිනි. ආශාවන් වෙනස් වෙනවිට සතුටේ පදනමද වෙනස් වන බැවින් අද දකින ආශාවන් සඵල කරගැනීමට ක්‍රියා කිරීම තුලින් අනාගතයේ සතුටක් අත් කර ගත නොහැකි බව නාථට සක්සුදක් සේ වැටහිනිි. පනස් වස් සංවර්ධන සැලස්ම අසමත් වන බව නාථ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය. නාථගේ ප්‍රකාශය මහා ආන්දෝලනයකට තුඩු දිනි. අද-ලොව විද්වත්හු නාථට එරෙහිවූහ.

අද-ලොව වැසියන්ට නොහැකිවුනද නාථට ඕනෑම ලොවක සංචාරය කල හැකිය. ඔහු හෙට-ලොව ගැනද දැන සිටියේය. අද-ලොවේ පනස් වස් සංවර්ධන සැලස්ම දුටු නාථට මතක්වූයේ හෙට-ලොවේ වැසියන් නම් එහි සඳහන් සියලු සම්පත් සහ ආශාවන් අත් කරගෙන තිබෙන බවය. (අද-ලොව සහ හෙට-ලොව අතර වසර පනහක් වෙනසක් ඇත). නාථ මේ බව අද-ලොව විද්වතුන්ට දැන්වා සිටියේය. පස්වණක් පිනාගිය අද-ලොව විද්වතුන් සතුට v.1 උපකරණයක් නාථට දී හෙට-ලොවට ගොස් එහි වැසියන්ගේ සතුට පිළිබඳව සමීක්‍ෂණයක් කර එහි ප්‍රතිඵල ඔවුන්ට දන්වා සිටින මෙන් ඉල්ලා සිටියහ. අනුමාණයක් නැතිව හෙට-ලොව වැසියෝ බහුතරයක් සතුටින් සිටිනබව ඉන් පෙන්වාදෙනු ඇතැයි ඔවුහු සිතූහ.

ඉල්ලීම පරිදි නාථ සතුට v.1 ද රැගෙන හෙට-ලොවට ගියේය. නමුත් ඒ යනවිට බලාපොරොත්තුවිය යුතු පරිදිම හෙට-ලොව වැසියන්ට ඒ වනවිටද සතුට මණින උපකරණයක් තිබිනි. එය සතුට v.5 නම් විනි. කලකට ඉහතදී හෙට-ලොව වැසියන් සතුට v.5 පාවිච්චි කරමින් හෙට-ලොව පුරා සමීක්‍ෂණයක් කර තිබිනි. එහි ප්‍රතිපල වලට අනුව හෙට-ලොව වැසියෝද බහුතරයක් සිටියේ අසතුටිනි. කෙසේ නමුත් නාථ එහි ගෙනා සතුට v.1 යොදා ගෙන නැවත ඒ සමීක්‍ෂණය කිරීමට හෙට-ලොවෙහි විද්වතුන් එකඟ විය. මාස කීපයකින් එහි ප්‍රතිඵල නිකුත් විනි. පුදුමයකි! සතුට v.1 ට අනුව නම් හෙට-ලොව වැසියෝ බහුතරයක් සිටියේ සතුටිනි.

Wednesday, April 2, 2014

මිනිසුන්ට දැනෙන සංවර්ධනය

පෘතග්ජන අපි බොහෝවිට තැවෙන්නේ ලතවෙන්නේ අනුන්ගේ ඇති හැකි කම අපට නැතැයි සිතන නිසා මිස අපේවූ යම් නැති බැරි කමක් නිසා නොවේ.  නැති බැරි කම සාපේක්‍ෂය. අපව දුකට පත් කරන්නේ අනුන්ට සාපේක්‍ෂව අපට නැතිවෙන විටය නැත්තම් අනුන්ට සාපේක්‍ෂව අපට බැරි වෙනවිටය. ඒ මිස දුක නැති කරන යම් වාස්තවිකවූ ඇති හැකි මට්ටමක් සොයා ගත් කෙනෙකු නැත. පොදුවේ නැති බැරි නිසා ඇතිවෙන දුක සමනය කිරීමට නම් කාරණා දෙකක් ඉටු විය යුතුය. එකක් නම් මුලු සමාජය පුරා මිනිසුන්ගේ ඇති හැකිකම හැකිතාක් දුරට සමජාතීය කර ගත යුතුය. ඒ වගේම වැදගත් ලෙසට සමාජයක් වශයෙන් තමන්ට ඇති ඇති හැකිකමින් සෑහීමට පත්වීමට අප පුරුදු විය යුතුය. සෑහීමට පත්වීමට පුරුදු නොවෙන සමාජයක විශමතා අවම කල නොහැකිය. එමෙන්ම විශමතා වැඩි සමාජයක් තුල මිනිස්සු සෑහීමට පත් නොවෙති. සමාජ විශමතා අවම කිරීමත් සෑහීමට පත්වීමත් චක්‍රීය වශයෙන් එකිනෙකට බලපායි. එක් කරුණක් අනික නැතිව ඉටු කර ගත නොහැකිය.

රටක් සංවර්ධනය කිරීම යනු නැති බැරි කම නිසා මිනිසුන්ට ඇතිවෙන දුක සමනය කිරීම විය යුතුය. එසේ නොවන සංවර්ධනයක් කුමටද? එසේ නම් සංවර්ධනය කිරීම යනු සමාජ විශමතා අවම කිරීමත් මිනිසුන්ට සෑහීමට පත්වීමට පුරුදු කිරීමත් එසේ සෑහීමට පත්වීමට වීමට ඇති බාධා ඉවත් කිරීමත් විය යුතුය. ඒ නිසා සංවර්ධනය යනු හුදෙක් ආර්ථික ක්‍රියාවලියක් පමණක් නොව සමාජ දේශපාලන හා ආර්ථික ක්‍රියාවලියකි. ඒ ක්‍රියාවලිය තුලින් අප බලාපොරොත්තු විය යුත්තේ විශමතා අඩුවීම සහ සෑහීමට පත්වීම යන චක්‍රය පවත්වාගෙන යාමය.

නමුත් අද ආර්ථික විශේෂඥයින් උපදෙස් දෙන්නේ මේ දේ කරන්නට නොවේ. ඔවුන් වැඩ කරන්නේ ඔවුන් මැන ගන්නා යම් ඊනියා ආර්ථික දර්ශකයක් ඉහල හෝ පහල දමා ගැනීමටය. නැති බැරි කම නිසා මිනිසුන්ට දැනෙන දුකත් මේ දර්ශකත් අතර ඇත්තේ අහසට පොලව මෙන් නොගැලපීමක් බව නොපිලිගන්නා කෙනෙක් වෙත් නම් ඔහු හෝ ඇය ආර්ථික විශේෂඥයෙකුම විය යුතුය. නමුත් මේ ආණ්ඩුවත් ලොකේ අන් රටවල ආණ්ඩු මෙන්ම ආර්ථික විශේෂඥයින් පසු පස යන්නේ අන්ඳයින්ටත් අන්ත විදිහටය. ජනතාව ඇසුරු කරන දේශපාලකයෝද තමන්ට ඉවෙන් දැනෙන දේ නොතකා ආර්ථික විශේෂඥයින්ට ඇහුන්කම් දීමට යෑම අභාග්‍යයකි. අඩු තරමින් ඇමරිකානු ආර්ථික විශේෂඥයකෙුවූද කලක් එරට මහ බැංකුවේ අධිපතිවූද ඇලන් ග්‍රීන්ස්පෑන් නම් තමන්ගේ නොදන්නාකම සමහර අවස්ථාවලදී හෝ පිළිගෙන ඇත. ඔහු දෙදහස් පහ හය වසර තුලදී ඇමෙරිකානු ආර්ථිකයේ කඩා වැටීම ගැන ඇමරිකානු කොන්ග්‍රසයට කට උත්තර දෙමින් පැවසුවේ ලෝක ආර්ථිකය පිළිබඳව තමන්ට නිවැරදි අවබෝධයක් නොතිබුනු බවය. හාස්‍ය ජනක වුවද තවත් වරක ඔහු මෙසේද පවසා ඇති බව කිව යුත්තේ අපටද මේ බව වැදගත් විය හැකි බැවිනි “Since becoming a central banker, I have learned to mumble with great incoherence. If I seem unduly clear to you, you must have misunderstood what I said" (මම මහ බැංකුවේ වැඩ කරන්ට ගත්තාට පසු කිසිවෙකුට නොතේරෙන ලෙස මුමුණන්ට පුරුදු වුනෙමි. ඔබට මා කියන දේ තේරෙනවා යැයි සිතෙනවා නම් ඔබ මා වැරදි ලෙස වටහාගෙන යුතුය.)

මට වැටෙහෙන ආකාරයට නම් ආර්ථික විශේෂඥයින් මේ දර්ශක සමඟ කරන සෙල්ලමෙන් කෙරෙන්නේ මා පෙර සඳහන් කල විශමතා අඩුවීම සහ සෑහීමට පත්වීම යන චක්‍රය අනිත් අතට කැරකවීමය.  එනම් සෑහීමට පත්නොකරමින් විශමතා වැඩි කරවීමය. නමුත් චක්‍රය ඒ අතට කරකැවීමෙන් සිදුවෙන්නේ මිනිසුන්ට නැති බැරි නිසා ඇති වෙන දුක වැඩි වීමය. මීට දශක තුන හතරකට පෙර නොතිබුනු ඊනියා ආර්ථික සංවර්ධනයක් තිබියදීත් මිනිසුන්ගේ අසහනකාරී බව අඩු නොවී තිබීම වෙන ආකාරයකට තේරුම් ගත හැකිද?

පැහැදිලිවම අද අප සමාජයේ නැති බැරි උදවියත් ඇති හැකි උදවියත් අතර පරතරය පෙරට වඩා දුරස්ය. සමාජ විශමතාව ඉහලය. ඊට සාපේක්‍ෂව සෑහීමට පත්වීමට ඇති හැකියාවද අපෙන් ගිලිහී ගොස්ය. අපේ රටේ පමණක් නොවේ ඊනියා දියුණු රටවල පවා ඇති නැති පරතරය වැඩිවෙමින් පවතී. බටහිර සමාජවලට මේ පරතරය තවමත් දරාගත හැක්කේ එහි මිනිසුන් සමාජයෙන් වෙන්වී ජීවත් වෙන නිසාවෙනි. ඔවුන්ට අනුන්ගේ ඇති හැකි කම අපට තරම් රිදවන්නේ නැත්තේ ඔවුන් හුදෙකලාව ජීවත් වන නිසාය. නමුත් එහිද සීමාවක් ඇත. මේ ලඟදී ඇමෙරිකාවේ නගර පුරා තරුණයින් උද්ඝෝශණ පැවැත්වූයේ එරට තුල ඒ සීමාව ඉක්මවා යමින් පවතින බව හඟවමිනි. ඉදිරියේදී බටහිර රටවලද චීනයේද ආර්ථික ඒ පිළිවෙලට කඩා වැටෙනු ඇත. කඩා වැටෙන්නේ බොහෝ දෙනා සිතන පරිදි සම්පත් හිඟවීම නිසා නොව (උදා: තෙල්) ඇති නැති පරතරය වැඩි වීමත් සෑහීමකට පත් නොවීමත් නිසාය. බටහිර ආර්ථික විද්‍යාවට ඊට පිළිතුරක් නැත. දැනට සියවස් දෙකක පමණ තිස්සේ බටහිරුන් අනුගමනය කරන ධනවාදී අර්ථික ක්‍රමය (මොන නමින් හැඳින්වුවද මූල ධර්ම වශයෙන් එය වෙනස්වී නැත) ප්‍රශ්ණය උග්‍ර කිරීමක් මිස එය විසඳීමක් නොවේ.

ධනවාදීන්ට මෙන්ම රතු පාට මෙන්ම රෝස පාට සමාජවාදීන්ටද නැති බැරිකම නිසා ඇතිවෙන දුක නැති කරන්නේ කෙලෙසද යැයි දැනුමක් නැත. නමුත් ඊනියා සමාජවාදීන් තමන්ට එය කල හැකි යැයි බොරුවට පෙන්වනු ඇත. එසේ පෙන්වා ඉදිරයේදී ජනතාවගේ ඡන්ද දිනීමට හෝ ආණ්ඩුව බලෙන් පහ කිරීමට ක්‍රියා කරුනු ඇත. බටහිරුන්ගේ සහය ඔවුන්ට ලැබෙනු ඇත.

ඉදිරියේත් මේ ආණ්ඩුව ඡන්ද දිනීමට නම් මිනිසුන්ට දැනෙන සංවර්ධනයක් කල යුතුය. එසේ කරන්නට නම් ප්‍රථමයෙන් සංවර්ධනය යනු කුමක්දැයි අවබෝධ කර ගත යුතුය. සංවර්ධනය කිරීම යනු සමාජ විශමතා අවම කිරීමත් මිනිසුන්ට සෑහීමට පත්වීමට පුරුදු කිරීමත් එසේ සෑහීමට පත්වීමට වීමට ඇති බාධා ඉවත් කිරීමත් යන සමස්ථ ක්‍රියාවලියමය.