Tuesday, March 25, 2014

ගැලීලියෝ සහ නාථ

එක්තරා ලෝකයක අමුතුම සත්වයින් වර්ගයක් විසූහ. ඔවුන්ට අත් පා කන් නාසාදිය තිබුනේ නැත. අපිට මෙන් ඔවුන්ට යම් දෙයක් ඇසින් දැක හෝ අත පත ගා හෝ දැන ගත හැකි නොවිනි. ඔවුන්ට කල හැකි එකම නිරීක්‍ෂණය වුනේ බර මිනීම පමණි. යමක් තව එකකට සාපේක්‍ෂව බරින් අඩු හෝ වැඩිදැයි ඔවුන්ට කිව හැකිය. මේ ලොව සැම නිවසකම කිසි යම් අවශ්‍යතාවක් සඳහා වතුර කළයක් විය. එක්තරා අවධියක මේ වතුර කළ සම්බන්ධයෙන් එලොව වැසියන්ට බරපතල ප්‍රශ්ණයක් පැන නැගිනි. ඒ නම් වතුර පාවිච්චි නොකරන විටත් ඒ සමහර කළ වල බර ක්‍රම ක්‍රමයෙන් අඩුවීමය. එසේ බර අඩු වෙන්නේ ඇයිදැයි එලොව වැසියන්ට සිතා ගත නොහැකි විනි. ඒ නිසා ඔවුහු දුකට පත්වී සිටියහ.

නාථ යනු අත් පා කන් නාසාදිය ඇති අපි වැනි මනුස්සයෙකි. වරක් නාථ ඉහත කී ලෝකයේ සැරි සරමින් සිටින විට එහි වැසියෝ ඔහු වෙත පැමිණ ඔවුන්ගේ කළ ප්‍රශ්ණය ගැන කියා සිටියහ. නාථ ඔවුන්ගේ කළ පිරික්සා බලන විට ඔහුට පැහැදිලිවම පෙනුනේ ඒ සමහර කළ වල සිදුරු තිබුනු බවය. ඒ සිදුරු වලින් වතුර කාන්දුවීම නිසා එහි බර අඩුවෙන බව නාථට සක් සුදක් සේ පෙනිනි. නමුත් කළ ලොවෙහි (අපි එලෙස හඳුන්වමු) වැසියන්ට ඇස් නැති නිසා කළ වල ඇති සිදුරු නොපෙනිනි. ඒ තියා සිදුරු යනු මොනවාදැයිවත් ඔවුහු දැන නොසිටියහ. සිදුරු ඔවුන්ට ප්‍රත්‍යක්‍ෂ නොවෙන සංකල්පයක් විය. නමුත් නාථට නම් කළයක් අතට ගත් විට එහි සිදුරක් ඇත්දැයි හෝ නැත්දැයි කිව හැකි විනි. බර අඩු වීමේ ප්‍රශ්ණයට හේතුව කළ වල සිදුරු තිබීම බව ඔහුට ප්‍රත්‍යක්‍ෂ විය. කළ සපයන කුඹලා මාරු කර මින් ඉදිරියට වෙන කුඹලෙක් ගෙන් කළ ලබා ගන්නා ලෙස එලොව වැසියන්ට උපදෙස් දී නාථ එලොවින් නික්ම ගියේය.

නාථගේ කියුම් කළ ලොවෙහි බරපතල දේශපාලන සංවාදයකට තුඩු දුනි. පිරිසක් මේ කුඹලා අපට එපා යැයි කී අතර තව පිරිසක් අපෙ කුඹලා අපට හොඳා යැයි පැවසූහ. මේ අතර කළ ප්‍රශ්ණය විසඳීම සඳහා කළ ලොවේ නොයෙකුත් විද්වතුන් ඉදිරිපත් වූහ. ඒ අතරින් ගැලීලියෝ කැපී පෙනිනි. නාථට අනුව යමින් කළ වල බර අඩුවෙන්නේ එහි සිදුරු නිසා බව කී ඔහු ඒ බව පෙන්වීම සඳහා සූක්‍ෂම පරීක්‍ෂණයක් ඉදිරිපත් කලේය. කළයක සිදුරක් ඇත් නම් එය තිබිය යුත්තේ යම් උසකින්ය. එසේ නම් සිදුර මට්ටමට එන එතෙක් ජලය කාන්දු වී ඉන්පසු කාන්දුවීම නැවතිය යුතුය. ඒ අනුව කළයේ බර ද (ඔවුන්ට නිරික්‍ෂණය කල හැක්කේ බර වෙනස්වීම පමණි) ක්‍රමයෙන් වෙනස්වී ජල මට්ටම සිදුරේ මට්ටමට සම වු පසු බර වෙනස්වීම නැවතිය යුතු යැයි ඔහු කීවේය. එසේ පවසා මහා සභාවක් ඉදිරියේ ඔහු කලින් දැන සිටි බර අඩුවෙන කළයක් ගෙන ජලය පුරවා විටින් විට එහි බර මනිමින් යම් අවස්ථාවක බර අඩුවීම නවතින බව පෙන්වා දුන්නේය. ඒ නිසා කළයේ සිදුරක් ඇතැයි ඔප්පු වෙන බව ප්‍රකාශ කලේය.

නමුත් ගැලීලියෝගේ පරීක්‍ෂණයේ ප්‍රතිඵල කළ ලොවේ සමහර විද්වතුන් පිළිගැනීමට අකැමති වූහ (මේ සමහරු කුඹලාගෙන් කළ ආනයනය කල ව්‍යාපාරිකයෝ වුහ). ඔවුන් පැවැසුයේ එක් කළයක් යොදා කල පරීක්‍ෂණයකින් කිසිවක් කිව නොහැකි බවත් සිදුරු කථාව පිළිගැනීමට නම් කළ රාශියක් යොදා ගෙන විවිධ තත්ව යටතේ පරීක්‍ෂණය කල යුතු බවත්ය. ඉක්බිතිව ඒ සඳහා විද්වත් කමිටුවක් පත් කෙරුනු අතර වසර පහක කාලයක් තිස්සේ කළ ලෝකය පුරා ගැලීලියෝ හඳුන්වාදුන් පරීක්‍ෂණය විවිධ කළ යොදා ගෙන සිදු කෙරිනි. නමුත් අවසානයේ ඒ පරීක්‍ෂණ ප්‍රතිඵල වලින් කළ වල සිදුරු ඇත්දැයි නිශ්චිතවම කීමට විද්වතුන්ට නොහැකිවිනි. කළ වල බර අඩුවෙන්නේ මන්දැයි නිශ්චිතවම කිව නොහැකිවූ බැවින් පෙර කුඹලාම තබා ගැනීමට තීරණය විනි. අවසානයේ කළ ලොවේ ප්‍රශ්ණය නොවිසඳිනි.

කළ ලොවේ විද්වතුන් නොදැන ගත්තද ගැලීලියෝගේ පරීක්‍ෂණය අසමත්වීමට නොයෙකුත් හේතු තිබිනි. සියලු කළ එකම වර්ගයේ නොවිනි. සමහර කළ ඉතා බර ඒවා විය. එහි සිදුරු තිබුනද ජලය කාන්දු වීම නිසා බරෙහි ඇතිවෙන වෙනස නොගිනිය හැකි තරම් විනි. කළ ලෝකයේ වැස්සන්ට නිරීක්‍ෂණ කල හැකිවූයේ බරෙහි වෙනස පමණක් බැවින් සමහර පරීක්‍ෂකයින්ට බර අධික කළ වලවූ සිදුරු ගැලීලියෝගේ පරීක්‍ෂණයට හසු නොවිනි. සමහරුන්ට හසු විනි. සමහර අවස්ථාවලදී පරීක්‍ෂණය ආරම්භයේදී කළ වලට ජලය පිරවීමේදී සිදුර ඉක්මවා ජලය පුරවා නොතිබිනි. සමහර අවස්ථාවලදී විද්වතුන් නොදැනුවත්ව කළ වල ජලය වෙනත් ආකාර වලට ඉවත් කෙරී තිබිනි.(උදා: ජලය වාශ්ප වීම, කපුටන් ජලය බීම) මේ සැම විචල්‍යයක් ගැනම ඔවුන් දැන සිටියේද නැත. ඒ නිසා පරීක්‍ෂණයේ තත්ව පාලනයක් නොවිනි. මේ ආකාරයෙන් මහා පරිමාණයෙන් කල පරීක්‍ෂනයේ ප්‍රතිඵල අවිනිශ්චිත බව වැඩිවිනි.

කළ ලොවේ වැසියන් බර අඩුවීම අවබෝධ කර ගත්තේ සිදුරු ප්‍රවාදය ඔස්සේය. සිදුරු ඔවුන් දැක තිබුනේ නැත. එය ඔවුන්ට ප්‍රත්‍යක්‍ෂ නොවන වියුක්ත සංකල්පයකි. ඒ ප්‍රවාදය ඔස්සේ කෙරුන පරීක්‍ෂණය අසාර්ථක වුයේ බර අඩුවීම පිළිබඳ සමස්ථ කථාවම දැක ගැනීමට ඔවුන්ට නාථට මෙන් ඇස් නොතිබුනු බැවිනි.  නාථට බැලූ බැල්මට පෙනුන දේ කළ ලොවේ වැසියන්ට නොපෙනිනි. ගැලීලියෝගේ අදහස නිවැරදි වුනද ඔහුගේ පරීක්‍ෂණවලට කළ ප්‍රශ්ණය නිවැරදිව හසු නොවිනි.

14 comments:

  1. බොහොම තාර්කික කතන්දරයක්.

    ReplyDelete
  2. හරිම වටින තාර්කික අදහසක්

    ReplyDelete
  3. මාරයි! නිර්මාණශීලියි... මොන සිංහලෙන් තේරුම් කලත් හිතා ගන්න බැරි අයට පොඩි උපකාරයක් වෙන්න පුළුවන්!

    ReplyDelete
  4. මෙහි එන පරිදි අවසානයේදී ගැලීලියෝ අදහස් කළ දෙය සහ නාථගේ ප්‍රත්‍යක්ෂය යන දෙකම එකක් නොවේද ?
    තවද ඔබ ගැලීලියෝගේ වියුක්ත සංකල්පයෙන් හැරුණු විට කළ වල බර අඩුවීම එලොව වැසියන්ට ත්රුම් ගැනීමට විකල්පයක් ඉදිරිපත් කරන්නේද ? නෙත්හොත් එය ඔවුන් තේරුම් ගැනීම අනවශ්‍යද ? නාථගේ පැහදිලි කිරීම පිළිගැනීම පමණක් ප්‍රමාණවත්ද ?

    ReplyDelete
  5. ඔබ ගැලීලියෝ පරිදි වියුක්ත කතාවකින් හැරෙන්නට එලොව වැසියන්ට සිද්ධිය තේරුම් ගැනීමට විකල්පයක් ඉදිරිපත් කරන්නේද? එසේත් නැතිනම් ඔව්න් එය තේරුම් ගැනීම අනවශ්‍යද ? නාථගේ කීම පිළිගැනීම පමණක් ප්‍රමාණවත්ද? එමෙන්ම අවසානයේදී ගැලිලියෝ ගේ වියුක්ත කතාව යනු නාථගේ ප්‍රත්යක්ෂයම නේද?

    ReplyDelete
    Replies
    1. වැදගත් ප්‍රශ්ණයක්. පරීක්‍ෂණය ගැලීලියෝගේ නිර්මාණයක් වුනත් ඔහු සිදුරු සහ ඒ තුලින් ජලය ගලායෑම ගැන ඉගෙන ගන්නේ නාථගෙන් කියලා හිතන්න අපිට සිද්ධවෙනවා. එහෙම නැතුව ඔහුට ඒ ගැන දැන ගන්න විදිහක් නැහැ. එලොව අනිත් අයටත් ඒ ගැන දැන ගන්න විදිහක් නැහැ. ඔවුන්ට නාථ ගේ කීම පිළිගැනීම හැර වෙන කරන්න දෙයක් නැහැ. ඉන්ද්‍රීය ගෝචර ප්‍රත්‍යක්‍ෂයට සීමා ඇත.

      Delete
    2. කල ලොව වැසියන් ගණිතය පිලිබඳ දැනුමක් ගොඩ නගාගෙන තිබුනානම් (මූලිකව බර එකතු කරනවා විට වැඩි වන බවත් අඩු කල විට අඩුවන බවත් ඔවුන් දන්නවා). එයින් බර පිලිබඳ මිනුම නොයෙක් සාධක මත විචලනය වන බවත් ඔවුන්ට ව්‍යුත්පන්න කර ගත හැකිව තිබුනා.

      ගණිතය ඉන්ද්‍රිය ග්රෝචර නොවන ප්‍රත්‍යක්ෂයක් ලෙස ගත හැකිද ? (ගණිතයේ මූලික සිද්ධාන්ත ඉන්ද්‍රිය ගෝචර නමුත් එයින් අපට ඉන්ද්‍රිය ගෝචර නොවන කල්පිත ව්‍යුත්පන්න කල හැකි නිසා.)

      ආලෝකයේ වේගයෙන් යන විට කාලය (ගතවන කාල වෙනස) ශුන්‍ය වන බව ඉන්ද්‍රිය ගෝචර නොවන නමුත් අපට බැහැර කිරීම නොකළ යුතුයි කියල මට හිතෙනවා.

      Delete
  6. සරල පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. යම් කිසිවක් ස්ව බුද්ධියෙන් අවබෝධ කිරීම නැතහොත් බුද්ධ අවබෝධය ඔබ ප්‍රතික්ෂේප කරනවද? එතරම් දුරට නොගියත් ස්වාවබෝධය ගැන මොකද කියන්නේ ?. මොකද නාථ කියන සංකල්පයේදී බාහිර උපකාර බලා සිටීමක් ගැන පමණයි හැඟී යන්නේ?

    ReplyDelete
    Replies
    1. බුද්ධ අවබෝධය කෙසේ වෙතත් ගැලීලියෝට සිදුරු ඇතිබව තේරුම්ගැනීමට ප්‍රමාණවත් පරීක්ෂණ ක්‍රමවේදයක් නාථ විසින් ප්‍රදානය කර ඇත. ඒ ක්‍රමවේදය කොතරම් සරලද යත් කුඩා ළදරුවකුටත් නිරුත්සාහයෙන්ම දැනෙන තරම්ය.(වප් මගුලකදි වුවත්) ඒ සරල බව නිසාම ගැලීලියෝ ඇතුලු පඩි කැළ එය අවිස්වාසයටත් සමච්චලයටත් ලක් කළ බැවින්, සෙසු පුහුදනෝද අනාථයෝම විය.

      Delete
  7. //විද්වතුන් ඉදිරිපත් වූහ .සමහර විද්වතුන් පිළිගැනීමට අකැමති වූහ// විද්වත්හු විය යුතුය.

    //වෙන කුඹලෙක් ගෙන් කළ ලබා ගන්නා ලෙස එලොව වැසියන්ට උපදෙස් දී නාථ එලොවින් නික්ම ගියේය.// කුඹලෙකු ගෙන් විය යුතුයි.

    ReplyDelete