Thursday, March 6, 2014

වක්කඩේ හකුරු හැංගීම

කිතුල් ගසෙන් ලබා ගන්නා පැණි හකුරු හා වෙනත් ආහාර වර්ග වල ඇති ගුණාත්මක භාවය පිළිබඳව දිවයින පුවත් පතේ පලවුනු ලිපියක් කියවූ මට කලකට ඉහතදී අපෙන් වෙන්වී ගිය අපේ ආච්චි අම්මා මතක් විනි. ඇයට යමක් කමක් කර ගන්නට හයි හත්තිය තිබුනු අවධියේදී පාවිච්චිය සඳහා හකුරු ඈ විසින් තම නිවසේම නිශ්පාදනය කර ගත් බව මට මතකය. නමුත් හකුරු ගැන අපේ ආච්චි අම්මාට තිබූ පාරම්පරික දැනුම අද අපට නැත. අද අපට හකුරේ ගුණ ගැන කියාදෙන්නේ බටහිර විද්‍යාඥයින් විසිනි. ඒ දැනුම ගෙතී ඇත්තේ අපේ ආච්චි අම්මා දැන නොසිටි කොලොස්ටරෝල් ප්‍රති-ඔක්සිකාරක වැනි බටහිර විද්‍යාවේ එන සංකල්ප යොදා ගෙනය. එහි වරදක්ද කිව නොහැක්කේ බටහිර සංස්කෘතික අභාෂය ලත් කොයි කාටත් මේ සංකල්ප වලින් යමක් තේරෙන බැවිනි. ඒ අනුව යමින් කවුරු කවුරුත් තේ බොන්ඩ සීනි වෙනුවට හකුරු පාවිච්චි කරන්නේ නම් හොඳය.

නමුත් අපි ජාතියක් වශයෙන් කිතුල් ගසේ දැනුම යොදා ගන්නේ කෙසේද?

අපි කල යුත්තේ කිතුල් පැණි පාවිච්චි කර කොලොස්ටරෝල් නසන පෙත්තක් නිශ්පාදන කිරීමද? එසේත් නැත්නම් ප්‍රති-ඔක්සිකාරක පෙත්තක් නිපදවීමද? මහා පරිමාණ කිතුල් පැණි/හකුරු නිශ්පාදනය සඳහා මහා පරිමාණ කිතුල් වගා ව්‍යාපෘති ඇරඹීමද? වඩා කාර්යක්‍ෂම ලෙසට කිතුල් මල් මැදීම සඳහා නව තාක්‍ෂණික ක්‍රම නිර්මාණය කර ගැනීමද? අඩු කාලයකින් වැඩි ඵලදාවක් ගෙදෙන නව කිතුල් වර්ග නිර්මාණය කිරීමද? මේ දේවල් කල යුතුයැයි දැනටමත් අපේ විද්‍යාඥයින් ආර්ථික විශේෂඥයින් බටහිර වෛද්‍යවරුන් නොකියනවා නම්ය පුදුමය. නමුත් මගේ කල්පණාවට අනුව නම් අප ගත යුත්තේ මීට හාත්පසින්ම විරුද්ධ මඟකි.


මහා පරිමාණයෙන් හකුරු නිශ්පාදනය කිරීමට ගැනීමෙන් රැකියා අවස්ථා බිහිවේයැයි සිතමු. හකුරු අපනයනයෙන් විදේශ විනිමය ලැබේ යැයි සිතමු. මේ සියලු දේ කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බටහිර ජීවන ක්‍රමය මේ රට තුල තවත් කිඳා බස්ස වමින් ඒ ආර්ථික ක්‍රමය තුල ඊනියා සංවර්ධණයක් ලබන්නටය. එසේ කලහොත් කිතුල් ගසේ ගුණෙන් පලක් තියේද? හෘද රෝග දියවැඩියාව පිලිකාව වැනි රෝග මෙරට බහුල කරන්නේත් මේ ජීවන ක්‍රමයම නොවේද? පරිසරය විනාශ කරන්නේත් මිනිසුන් අමනුස්සයින් කරන්නේත් ඒ ජීවන ක්‍රමයම නොවේද? අප කල යුත්තේ බටහිර ජීවන ක්‍රමය නිසා සිදු කෙරෙන විනාසයට දේශීය දැනුමින් තවත් රුකුලක් දීමද?

අපි අපේ කිතුල් ගසේ දැනුම බටහිර ජීවන ක්‍රමය තුල කිඳා බැස්සීමට ගිය හොත් ඒ දැනුමට සිදුවන්නේ වක්කඩේ හැංගූ හකුරු බෑයට සිදුවූ දෙයමය. අප කල යුත්තේ දේශීය දැනුම අපේ මුතුන් මිත්තන් අවබෝධ කරගත් ආකාරයට අවබෝධ කරගැනීමට උත්සාහ කරමින් ඒ දැනුමට ගැලපෙන ජීවන ක්‍රමයක් අනාගතයේදී නිර්මාණය කර ගැනීමට උත්සාහ කිරීමය. එහිදී පැරැණ්නන් දියවැඩියාවෙන් මිදී සිටියේ ඔවුන් තම ජීවන ක්‍රමයෙන්ම සෞඛ්‍ය සම්පන්නවූ නිසා මිස කිතුල් හකුරුවල ඇති යම් ගුණයක් නිසා පමණක් නොවන බව සැලකිල්ලට ගත යුතුය.  අපිට අතීතයට යා නොහැක නමුත් අද පවතින බටහිර ජීවන ක්‍රමය දේශීය දැනුමෙන් උපරිම ඵල නෙලිය හැකි ඊට යාදෙන ජීවන ක්‍රමයක් බවට පෙරළා ගැනීමට අපට හැකිය.

අපි කිතුල් ගසේ දැනුම යොදා ගත යුත්තේ කිතුල් කර්මාන්ත කරුවන්ට ගරුත්වයක් හිමි වෙන ආකාරයටය. ගොවියා නූගතෙකු ලෙස සලකන රටක ගොවියෙකුට රජකම් කල නොහැකිය. පොදුවේ දේශීය කර්මාන්ත කරුවන්ගේත් ගොවියන්ගේත් වෙදුන්ගේත් ගරුත්වය රැකෙන්නේ ඔවුන්ගේ බුද්ධිය හා ඔවුන් සතු දැනුම උසස් කොට සැලකෙන විටය. නමුත් අද ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින සමහර බටහිර ගැති මහාචාර්ය වරුන් පොර වෙන්ට උත්සාහ කරන්නේම දේශීය දැනුම බාල්දු කිරීම තුලිනි. කරුමෙක මහත!

කිතුල් පැණි හා හකුරු ඖෂධයක් ලෙස භාවිතා කල අපේ මුතුන් මිත්තෝ එහි ගුණාත්මක බවදැන ගෙන සිටි බවට සැකයක් නැත. බටහිර විද්‍යාව ඒ සම්බන්ධයෙන් දන්නේ කුමක්ද? බටහිර විද්‍යාවට යම් යම් රෝගාබාධ ඇතිවෙන හැටි, ඊට අදාල රෝග කාරක සහ ප්‍රති කාරක පිලිබඳ ඊට අවේනික ප්‍රවාද ඇත. නමුත් කිතුල් පැණි ගැන හෝඩුවාවක් බටහිර විද්‍යාවට ලැබෙන්නේ ඒ පිළිබඳ අපේ දැනුම නිසාය. බටහිර විද්‍යාව කරන්නේ කිතුල් පැණි ගැන අපෙන් ලබාගත් හෝඩුවාව මත බටහිර විද්‍යාව දන්නා ප්‍රති කාරක කිතුල් පැණිවලද ඇත්දැයි පරීක්‍ෂණ කර සොයා බැලීමය. එසේ සොයා බැලූවිට ප්‍රතිකාරකයක් ලෙස හඳුනා ගන්නා යම් සංඝටකයක් කිතුල් පැණිවලද ඇතැයි හෙලි වේ. දැන් බටහිර විද්‍යාවට වැදගත් වන්නේ කිතුල් පැණි වල ඇති ඔවුන් හඳුනාගන්නා මේ සංඝටකය නැත්තම් අණුවය. බටහිර විද්‍යාඥයින් කරන්නේ කිතුල් පැණි වලින් ඒ සංඝටකය වෙන් කර ගෙන බටහිර විද්‍යා දැනුමට අනුව එය යොදා ගැනීමය.

පැහැදිලිවම කිතුල් පැණි සම්බන්ධයෙන් දේශීය විද්‍යාව සතු දැනුමත් ඒ පිලිබඳව බටහිර විද්‍යාව සතු දැනුමත් එකම නොවේ. දේශීය විද්‍යාවට කිතුල් පැණිත් රෝගාබාදත් කිතුල් පැණි නිශ්පාදනයත් යා කෙරෙන සමස්ථ දැනුමක් ඇත. කිතුල් පැණි සම්බන්ධයෙන් බටහිර විද්‍යාවට ඇත්තේ එහි ඇති යම් සංඝටකයක් නැත්තම් අණුවක් පිළිබඳ දැනුමක් පමණි. නමුත් බටහිර සංස්කෘතියට ඇති දේශපාලන බලය හේතුවෙන් පොර වෙන්නේ බටහිර විද්‍යාව සොයාගත් අණුව මිස කිතුල් ගසේ සමස්ථ දේශීය දැනුම් පද්ධතිය නොවේ. කිතුල් පැණි පිළිබඳ දැනුම බටහිර විද්‍යාවට අවශෝෂණය වීමට ඉඩ හැරිය හොත් යම් අණුවක් පිළිබඳව කථාවක් පමණක් අපට ඉතිරිවී කිතුල් ගසේ සමස්ථ දේශීය දැනුම බටහිර සංස්කෘතිය තුල දියවී යනු ඇත.

රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන්ද මේ කාරණය වැදගත්ය. වකුගඩු රෝගයට හේතුවෙන වස විස නැතිව ගොවිතැන් කිරීමට හැකි දැනුමක් රජරට පාරම්පරික ගොවියන් සතුය. නාථ දෙවියන් සංකේතවත් කලේ ඒ දැනුමය. ඒ දැනුමට මෙරට යම් ගරුත්වයක් අත්වුනේ ආචාර්ය නලින් ද සිල්වා මහතා ඊනියා උගතුන්ගෙන් තමන්ට පුද්ගලිකව එල්ලවුනු නින්දා අපහාස මධ්‍යයේ තමන් ගැන නොසිතා ඒ දැනුම ඔසවා තැබීමට ක්‍රියා කල නිසාය. නමුත් අද වනවිට ඒ සම්බන්ධයෙන් වැදගත් තැනක් ලැබෙන්නේ කෘෂි රසායණිකවල ඇතැයි සැලකෙන ග්ලයිෆොසේට් නම් අණුව වටා ගෙතුනු බටහිර දැනුමටය. ග්ලයිෆොසේට් කථාව හුදෙක් උපන්‍යාසයක් පමණක් වුවද කැලණිය විශ්ව විද්‍යාල කණ්ඩායම විසින් මුලදී ඉදිරිපත් කල ආසනික් පරීක්‍ෂණයට වඩා එය බටහිර උගතුන්ගේ ගෞරවයට පාත්‍රවී ඇත්තේ වෙන කිසි හේතුවක් නිසා නොව එහි නාථ දෙවියන් නැති නිසාය. පැහැදිලිවම බටහිර සංස්කෘතිය විසින් ආසනික් සම්බන්ධ දැනුම ගිල ගනිමින් පවතී. ග්ලයිෆොසේට් හොඳ නැතැයි කීමට බටහිර විද්‍යාඥයින්ට අපහසුවක් නැත. එය ඔවුන්ගේ දැනුමකි. නමුත් එසේ කරන්නේ ඔවුන් අපේ දේශීය ගොවි දැනුම උසස් යැයි සිතන නිසා නොවේ. වස විසෙන් තොර ගොවිතැන පිළිබඳව අප සතු දේශීය දැනුම දේශපාලණික වශයෙන් ශක්තිමත් නොකලොත් බටහිර විද්‍යාඥයින් විසින් අපට නුදුරු දිනයකදී ග්ලයිෆොසේට් නැති රසායණික පොහොර කවනු ඇත.

අප සතු දේශීය දැනුම අපි කන බොන හිතන පතන ජීවත් වෙන ආකාරයට යාදෙන දැනුමකි. බටහිර විද්‍යාවට ඒ සමස්ථ දැනුම අවශෝෂණය කර ගැනීමට හැකියාවක් නැත, කල හැක්කේ එහි යම් සංඝටකයක් හඳුනාගැනීමට පමණි. අපි දේශීය උගතුන් පාගා දමා ඔවුන්ගේ දැනුම බාල්දු කර බටහිර විද්‍යාව හඳුනාගන්නා යම් දැනුම් කෑල්ලක් ඔසවා තබන්නට තැනුවොත් වක්කඩේ හැංගූ හකුරු බෑයට වුනා සේ අපට අපේ දැනුම අහිමි වනු ඇත.

5 comments:

  1. හොඳ උත්සාහයක්.නමුත් මෙතන පොඩි ගැටළුවක් තියෙනවා.දේශීය වෛද්‍ය ක්‍රමය ලංකාවේ සෑහෙන කාලෙක ඉඳන් තිබුනනේ.එතකොට අපි අද දියවැඩියාව කියන රෝගය දේශීය වෛද්‍ය විද්‍යාව තුළ මධුමේහය කියලා තියෙනවා.එහෙමනම් කොහොමද අපි කියන්නේ පැ‍රැන්නන්ට දියවැඩියාව තිබුනේ නෑ කියලා?
    අනික ලංකාවේ අපි ආදී ජීවන ක්‍රමය තුළ නීරෝගී ශක්තිය විඳලා තිබුනා නම් ඇයි ඒ අතීතයේ හිටපු මිනිසුන්ගේ ආයු අපේක්ෂාව අඩු?දැන් ඉන්න අයගේ වැඩි වෙමින් යන්නේ?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රශ්ණයට උත්තර දෙන්න තරම් දැනුමක් මා සතු නැහැ. දියවැඩියාව මේතරම්ම එකලත් අපේ මිනිසුන් අතර පැතිර ගොස් සතිබුනාදැයි ඔබ සිතනවාද? මීට වසර තිහකට විතර උඩින් නම් අියවැඩියාව හෘද රෝග පිළිකා අපේ රටේ මේ තරම් ප්‍රශ්ණයක් නොවුන බව මගේ අත්දැකීමයි.

      Delete
  2. බොහෝ කලකට පෙර මා දන්නා ආයුර්වේද කොමසාරිස් වරයෙක් පස්පංගුව පෙත්තක් ලෙසට නිපදවූවා. ඔහු කියූ හැටියට පස්පංගුව තම්බා බොන ගුණය එයින් ලැබී නෑ. එයට හේතුව ලෙස එවකට ඔහු කියා සිටියේ 'බෙහෙතක් පත්තියම් වීමට, බෙහෙත ගන්නා ආකාරයෙන් සරීරය සැකසෙන විදි වෙනස් නිසා බලාපොරොත්තු වූ ගුණය නොලැබී යන්නට වුණා විය හැකි' කියාය
    ගැටලුවක් අරුත් ගන්වන විදිහෙන් විසඳුමත්, විසඳුම් මාර්ගයත් වෙනස් වෙන්නට ඕනෑ තරම් ඉඩ තියේ නේද?. 'අනියත' දහමක් ගුරු කොට ගත් අප අන් සියලු ක්‍රියාකාරකම් හැසිරවූයේ ඒ පසුබිමෙහි තබාගෙන යැයි කියාද සිතේ.
    නිරවුල්ව ඔබේ සිතැඟි / දැක්ම සටහන් කලාට බොහෝ තුති.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මා මෙහි නොලියූ මීට අදාල වැදගත් කරුණක් තමයි ඔබ පෙන්වා දෙන්නේ. පස් පංගු පෙති අහන්නේ නැත්නම් කිතුල් පැණි පෙරා ලබා ගන්නා එක් අණුවකින් පැණිවල ගුණ ලබා ගත හැකි යැයි සිතන්න බැහැ. ඔබ කියන ආකාරයටම රෝගියාගේ ජීවන ක්‍රමයයි රෝග ප්‍රතිකාරයි ගැලපෙන්න ඕනෙ.

      Delete
  3. ඔබේ සටහන් පෙළ එකින් එක ඉතාම සැනසිල්ලේ කියවිය යුතුව ඇත. තරමක් කලබලකාරී බවකින් සිටින හෙයින් ඒ සදහා කාලය සොයමින් සිටින්නෙමි. එභතුමා කරන්නේ ඉතාම වටිනා මෙහෙවරකි.

    ReplyDelete