Friday, February 21, 2014

උපාධිදාරීන් රකින සංස්කෘතිය

මා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලුවූ අවධියේ එහි විද්‍යා පීඨයේ වසරක් පසා පැවැත්වුනු නවකයින් පිලිගැනීමේ උත්සවය සුරා පැන් බාල් නැටුම් ඇසුරින් පැවැත්වුනු රාත්‍රී සංගීත සාදයක් විය. එක් වසරකදී මේ උත්සවයට දේශීය මුහුණු වරක් ලබාදිය යුතුයැයි එහි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් තීරණය කෙරිනි. උත්සවයෙන් සුරා පැන් ඉවත් කෙරුනු අතර රාත්‍රී භෝජන සංග්‍රහය ශාලාවක වෙනුවට එළිමහනේ පැවැත්වීමට යෙදිනි. ඊලඟට ප්‍රශ්ණය වූයේ විනෝදාස්වාදය සඳහා කුමක් කල යුතුද යන්නය. බොහෝ කල්පණා කලද අවස්ථාවට උචිත බාල් නැටීමට විකල්පයක්වූ නමුත් දේශීයත්වයක් ඇති ක්‍රියාකාරකමක් සිතා ගත නොහැකි විනි. අවසානයේ ගිණි කෙලි නැටුම් සංදර්ශණයක් පවත්වමු යැයි තීරණය වූයේ කුමක් හෝ කල යුතුවුනු බැවිනි. ගිණි කෙලි නැටුමට ශිල්පියා කැඳවාගෙන ඒමට භාරදී තිබුනේ මටත් මගේ මිතුරෙකුටත්ය. එදා ඒ ශිල්පියා කොළඹට නුදුරු ගමක තොවිලයක් කිරීමට යොදාගෙන තිබුනු බැවින් ඔහුගේ වැඩ අවසන් වන තෙක් තොවිලය නරඹා අවසන්වූ විගස අපි කපු මහත්තයාත් බෙර කරුත් කැටුව කොළඹ විශ්ව විද්‍යාලයට ගියෙමු. ගිණි කෙලි නැටුම ඉමහත් ප්‍රතිචාර මැද ජයට සිදු කෙරුනු මුත් ඔහුගේ හැසිරීම් විලාසයෙන් අපි දුටුවේ තොවිල්පලේ හුන් පෞඪ මිනිසා නොව බයාදු කුලියට නටන නැට්ටුවෙකි. ඔහුට වේදිකාවල සංදර්ශණය සඳහා කුලියට නටා පුරුද්දක් නොතිබුනු බව පෙනිනි. අප ඉදිරියේ නටන්නට සලස්සවා අපි ඔහුගේ ගරුත්වය කෙලෙසූ බව අපට එවෙලේ වැටහුනි.

තොවිල් පලේදී වැදගත් කමක් ලැබෙන්නේ කරන තොවිලයට හෝ ආතුරයාට මිස නරඹන්නන්ට නොවේ. තොවිල් පලේදී ලොක්කා කපු මහත්තයාය. කොළඹ විශ්ව විද්‍යාලයේදී ඔහුගේ ලෝකය කණපිට හරවා අපි ඔහුව සොක්කෙක් කෙරුවෙමු. අපි බටහිර සංස්කෘතියේ දේවස්ථානයක් තුල සිංහල සංස්කෘතිය බාල්දු කෙරුවෙමු. කණගාටුදායක එය වූයේ දේශීයත්වය අගය කිරීමට ගොස්වීමය. ඉන් පෙන්නුම් කෙරුනේ වෙන කිසිවක් නොව අපේ නොහැකියාවය.

අපට අපේ සංස්කෘතිය තුල නිර්මාණ කිරීමට නිපුණත්වයක් නැත. අපි දෙමව්පියන්ගෙනුත් සමාජ අශ්‍රයෙනුත් සංස්කෘතික අභාශය ලබන බව සැබෑය. නමුත් විධිමත් අධ්‍යාපනයෙන් ලබාදෙන සංස්කෘතික අභාෂය ඒ සියල්ල අභිබවා යයි. අවාසනාවකට දේශීය ශිල්පීය හෝ ශාස්ත්‍රීය පුහුණවක් ලබනු වෙනුවට බටහිර අධ්‍යාපනයක් ගිරවා දමන උපාධිදාරීන්ට දේශීය දැනුම සම්බන්ධයෙන් අත්වෙන්නේ සෘණ අගයකි. ඔවුන්ට කල හැක්කේ එක්කෝ සිංහල බෞද්ධ සංස්කෘතිකාංග ගෙඩි පිටින් බදා ගැනීමය එසේ නැත්නම් ඒවා බටහිර සංස්කෘතියට අවශෝෂණය කර දීමටය. මේ දෙකින්ම සිදුවන්නේ අවැඩකි.



තේ පානය මෙන්ම පීරිසි කෝප්පද අපට ඉංග්‍රීසීන්ගෙන් ලැබුණු දායාදය. අද කෙසේ වෙතත් කලකට ඉහතදී තේ බීමේ පිලිවෙත ඉංග්‍රීසීන්ට වැදගත් සංස්කෘතිකාංගයක් විය. නමුත් අපේ ගැමියෝ ඉංග්‍රීසීන්ගේ ගාම්භීරත්වය නොසලකා පීරිසිය තේ නිවීම සඳහා යොදාගනිමින් තේ බීම අපේ කරගත්හ. නමුත් අපි අද කරන්නේ තේ කෝප්පයේ අපේ සංස්කෘතික ලාංඡන ඇලවීමය. මෙයින් කෙරෙන්නේ ඉංග්‍රීසීන්ගේ තේ බොන සංස්කෘතියට තව මුක්කුවක් ගසා එය සවිමත් කිරීම මිස අපේ කමක් රැකීම නොවේ. ඊළාම් යුධය දිනීමෙන් පසු දෝරේ ගලා හැලුනු අදටත් හැලෙන ව්‍යාජ ජාතිකත්වයෙන් සම්පුර්ණයෙන්ම පාහේ කෙරන්නේ බටහිර සංස්කෘතියට සිංහල බෞද්ධකම අවශෝෂණය කර දීමය. එසේකරමින් අපි බටහිරත්වයේ ගාම්භීරකම ආරුඪ කර ගැනීමට ව්‍යවර්ත උත්සාහයක යෙදෙන්නෙමු. මේ කාර්යයට විශේෂ උවමණාවක් ඇත්තේ මෙරට උගත් මධ්‍යම පංතියටය. නමුත් දේශීය දැනුම උගත් ගැමියන්ට බටහිරුන්ගේ මොන කෙහෙම්මලක්වත් අවශ්‍ය නැත. ඔවුන්ට අපේ දේ රැක ගැනීමටත් අපේ නොවෙන දේ අපේ කර ගැනීමටත් ස්වාධීනත්වයකුත් හැකියාවකුත් ඇත. ඒ නිසා සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කැක්කුමක් ඇති බටහිර උගතුන් සංස්කෘතිය රැකීම සඳහා වැඩ කරද්දී තමන් කරන දේ පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ක්‍රියා කල යුතුවේ.


හෙළ ගොවිතැන රැකෙන්නේ ගොවිකම දන්නා ගොවිකම ජීවන ක්‍රමය කරගත් මිනිසුන් නිසාය. වෙදකමද එසේය. දේශීය කලා සහ අනිකුත් ශිල්ප ගැනද එය සත්‍යයකි. බුදු සසුණ රැකෙන්නේද උගත් භික්‍ෂූණ් වහන්සේලා නිසා මිස ගිහියන් නිසා නොවේ. ජීවත්වීම සඳහා බටහිර රැකියාවල් කරන නූගත් උපාධිදාරීන් මේ විවිධ ක්‍ෂේත්‍ර කළමණාකරණය කිරීමට යාම සුදුසු නොවේ. ඉන් නොසිතාම අවැඩක් වීමට බොහෝ ඉඩ කඩ ඇතැයි මම සිතමි.

විවිධ ක්‍ෂේත්‍රතුල දේශීය දැනුම උගත් වැඩිහිටි පරම්පරාවක් තවම අප අතර ජීවත් වෙති. වැඩක් ඇති වැඩක් කල හැක්කේ ඔවුන්ටය. තව වසර විස්සකින් තිහකින් ඒ පරම්පරාවත් ඒ දැනුමත් අපෙන් ගිලිහීමට පෙර ඔවුන්ට තම දැනුම ව්‍යාප්ත කිරීමටත් නව නිර්මාණ කිරීමටත් අවශ්‍යය ඉඩ කඩ සලසාදිය යුතුය. උදාහරණයක් වශයෙන් අද රජරට ප්‍රදේශවල වකුගඩු රෝගයෙන් මිදී පාරම්පරික ක්‍රමයට ගොවිතැන් කිරීමට උත්සාහ කරන ගොවිමහතුන්ට තමන්ගේ කාරිය කරගෙන යාමට දේශපාලන රැකවරණයක් අවශ්‍යය. ඔවුන්ට ඒ දේශපාලන ශක්තිය නැත. නමුත් ගොවීන්ට වෙදුන්ට භික්‍ෂූන්ට නැති යම් දේශපාලන හයියක් මෙරට බටහිර අධ්‍යාපනයේ ඉහලට ගිය අයට හිමිය. කැක්කුමක් ඇති උපාධිදාරීන් (අපේක්‍ෂකයින් නොවේ) කල යුත්තේ තමන් සතු දේශපාලන බලය දේශීය උගතුන්ගේ අවශ්‍යතාවයට අනුව මෙහෙයවීමය.

උපාධිදාරීන්ට කරනවා නම් ඊටත් වඩා වැදගත් වැඩක් ඇත. ඒ හැකිනම් අර අපේ ගැමියන් සුද්දාගේ තේ බීමේ චර්යාවට පයින් ගසා තේ නිවන්න පීරිසි යොදා ගත්තා සේ තම තමන් කුලියට වැඩ කරන වානිජ, මාධ්‍ය, අධ්‍යාපන, පරිගණක, තාක්‍ෂණික වැනි ක්‍ෂේත්‍රවලින් සුද්දා එලවීමය. නැත්නම් ඒ ඒ ක්‍ෂේත්‍රයේ බටහිර සංස්කෘතියට ඇති ආධිපත්‍යය බිඳ දැමීමය. සුද්දා එලවීම යනු තේ කෝපයේ සිංහල බෞද්ධ ලාංඡනයක් අලවා දෙපැත්තම බේර ගැනීම වැනි වැඩක් නොවේ. අප රටේ ඇති බටහිර ආයතන වලින් කෙරෙන වැඩ සහ වැඩ කරන ආකාරය අපේ කර ගැනීමය. අපේ කර ගන්ට බැරි නම් අඩුතරමින් එහි බටහිර සංස්කෘතියේ ආධිපත්‍යයවත් බිඳ දැමිය යුතුය. මේ රටේ සිංහල දෙමළ කථාකරන මිනිසුන්ට පාරිභෝගික භාණ්ඩ විකුණන ආයතනයක් තුල සම්පූර්ණයෙන් සිංහලෙන් හෝ එසේ නොහැකි තැනක දෙමළෙන් පමණක් වැඩ කටයුතු කිරීමට ක්‍රියාකල නොහැකිද? ඒ සඳහා ඒ ආයතනවල ඉහල තනතුරු දරන කැක්කුමක් ඇති උපාධිදාරීන්ට යමක් කල නොහැකිද?

බටහිර සංස්කෘතිය එහි උගතුන් ආරක්‍ෂා කරයි. උපාධිදාරීන්ට පැවැත්මක් ඇත්තේ මේ ආයතන වල ඇති බටහිර සංස්කෘතිය නිසා බව කිව යුතු නැත. නමුත් මේ ආයතනවලින් සුද්දා එලවිය හැක්කේද උපාධිදාරීන්ට මිස ගොවීන්ට වෙදුන්ට හෝ භික්‍ෂූන්ට නොවේ. උපාධිදාරීන් ඒ සඳහා ඉදිරිපත් වෙනවාද?

9 comments:

  1. උපාධි ගත්තට වැඩක් නෑ.. බටහිර චින්තනය ඔළුවේ නැත්නම්.. මෙහේ ඉන්නේ උපාධියක් තිබුනට, ගල් යුගේ වැද්දෝ.. උන් එක්ක කොහෙද දියුණුවක්.. උන් මේ සබ්ජෙක්ට් එකක් කට පාඩම් කල ගිරවු මිසක්.. බුද්ධිමතුන් නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ගල් වැද්දන්ටත් අන්ත එවුන් තමයි අන්තිමේට සුද්දට නයට කහින්න ඉදිරිපත් වෙන්නෙ

      Delete
    3. මට නම් ඒක ආඩම්බරයක්.. සුද්දා නැත්නම් ඔහෙත් නෑ මමත් නෑ.. දෙන්නම නිකන් ගමේ බයියලා දෙන්නෙක් විතරයි..

      Delete
    4. නයට කහින එකනම් මට අඩම්බරයක් නොවේ

      Delete
  2. බයිය කියන්නෙ බත් කන මිනිස්සුන්ට. බයියෙක් වීම මට ආඩම්බරයක්. සුද්දගෙ ඉඳුල් තලු මර මර කන ගමන් ඒ ගැන ආඩම්බරයි කියන එකාට කියන්නෙ මොකක්ද?

    ReplyDelete
  3. සුද්ද වගේ වීම එකක් සුද්ද කියනදේ කරනව කියන එක තව එකක්

    ReplyDelete
  4. "අපට අපේ සංස්කෘතිය තුල නිර්මාණ කිරීමට නිපුණත්වයක් නැත. අපි දෙමව්පියන්ගෙනුත් සමාජ අශ්‍රයෙනුත් සංස්කෘතික අභාශය ලබන බව සැබෑය. නමුත් විධිමත් අධ්‍යාපනයෙන් ලබාදෙන සංස්කෘතික අභාෂය ඒ සියල්ල අභිබවා යයි"
    නීරෝගී කෑම වේලක් කන්න නැතිව, නීරෝගී හුස්ම ටිකක් ගන්න නැතිව, නීරෝගී චර්‍යාවක් ඇති රක්සාවක් කරන්න නැතිව ලතැවෙන හැම මොහොතකම ඔබේ මේ වචන වල වලංගු භාවය ඒත්තු යනව.

    ReplyDelete