Friday, February 14, 2014

ඇමරිකන් බිය

ඇමරිකානුවෝ බියෙන් පසුවෙති. ඔවුන් පමණක් නොවේ මුලු මහත් බටහිර සමාජයම පසුවන්නේ බියකිනි. පොදුවේ බටහිරුන්ටද ඇත්තේ ඇමරිකන් බියය. රතන සූත්‍රයට අනුව බුදුන් දවස විශාලා නුවර වැසියන්ට තිබුනේද බියකි. එදා ඒ නුවර දුර්භික්‍ෂයක් තිබුනත් නුවරුන් පීඩාවට පත් කලේ දුර්භික්‍ෂයට වඩා ඒ පිළිබඳ බිය යැයි සිතිය හැකිය. රතන සූත්‍රය දේශණා කලේ ඒ බිය නැති කිරීමටය. මීට සමාන නොවුනත් බටහිරුන්ටද ඇත්තේ මේ ආරේ බියකි. අඩු තරමින් විශාලා නුවර වැසියන්ට තිබුනු රෝග, දුර්භික්‍ෂ හා අමුනුස්ස බිය තියුණු මුත් තාවකාලික (acute) එකක් විය. ඇමරිකන් බිය නිදන්ගත (chronic) බියකි. එය බටහිර සංස්කෘතියේම කිඳා බැස ඇත.

ඇමරිකන් බියට හේතුව වෙනකක් නොව පොදුවේ ඒ සමාජය තුල ඇති බදා ගැනීමේ ගතියය. බදා ගන්නේ වෙන් කර ගන්ටය. වෙන් කර ගන්නේ බදා ගන්ටය. වෙන් කර ගත් දෑ අහිමි වේ යැයි බියක් හට ගන්නා අතර වෙන් නොකර ගත් දෑ හිමි වේ යැයි බියක් හට ගනී. වෙන් කෙරීම හා බදා ගැනීම නිසා හටගන්නා හිමිවේය හෝ අහිමිවේය හෝ යන බිය ඇමරිකන් බියය.


බටහිර රටවල ලෞකික සැප පහසුකම් කෙතෙකුත් තිබුනද බොහෝ දෙනා නොකියන කථාව නම් ඒ සැප පහසුකම් නැතුව එහි ජීවත්වීම අති දුෂ්කර බවය. වෙනත් ආකාරයකට කියන්නේ නම් එහි ජීවන ක්‍රමය සැකසී ඇත්තේ ඒ රටවල ඇති සැප පහසුකම් නැතිව ජීවත් වීම දුෂ්කර වෙන අන්දමටය. උදාහරණයක් වශයෙන් ඇමෙරිකාවේ නගර කිහිපයක හැර සෙසු ප්‍රදේශවල වෙසෙන මිනිසුන්ට යන්ට එන්ට පුද්ගලික වාහනයක් නැතිව බැරිය. මේවා අපි සාමාන්‍යයෙන් සම්පත් යැයි සලකන නිසා ඒවා හිමිවීමම ධනාත්මක ලෙස ගැනුනද ඇත්තෙන්ම මෙහි සිදුවන්නේ මේ ලෞකික සම්පත් නැතිවිට ඇතිවන සෘන බව තුලණය කිරීමය. 



හිමි දේ අහිමි කර ගැනීමට මෙන්ම අහිමි දේ හිමි කර ගැනීමටද ඇමෙරිකානුවෝ බිය වෙති. දුක් රෝග වේදනා ආදියට ඇමෙරිකානුවෝ බියක් දක්වති. ඔවුහු ලෙඩ හැදේ යැයි බියෙන් ලෙඩ නොවී සිටීම සඳහා නොයෙකුත් ප්‍රතිකාර ගනිති. වේදනා නොවිඳ සිටීමට නිර්වින්දක ඖෂධ භාවිතා කරති. සුලු සමාජීය විශමතා මානසික රෝග ලෙස සලකාගෙන ඉන් ගැලවෙන්නට යැයි කියා බෙහෙත් ගනිති. සමහර දෙමව්පියෝ දරුවන්ට කුඩා කාලයේදීම මානසික රෝගවලට දෙන බෙහෙත් ලබා දෙන්නේ තම දරුවන් සමාජයේ අසම්මත දරුවන්වේ යැයි බියෙනි. ඇමෙරිකානුවෝ දුක් රෝග වේදනා ආදියෙන් මිදී සිටීමට අධික වෙහෙසක් ගනිති. එය අසාර්ථක වූවිට විඳන විඳවීමද ඉහලය.


හිමි කර ගැනීම තුලින් ඇති කර ගන්නා ධනාත්මක බව වැඩි වන විට එය අහිමි කර ගැනීමෙන් ඇතිවිය හැකි සෘණාත්මක බවද වැඩිය. අනිත් අතට යමක් නැති කර ගැනීම තුලින් ඇති කර ගන්නා ධනාත්මක බව වැඩි වන විට එය ඇතිවීමෙන් ඇතිවිය හැකි සෘණාත්මක බවද වැඩිය. ඒ අනුව ඇමරිකන් බිය යනු සෘණ වීමට ඇති බිය ලෙස හැඳින්විය හැකිය. සෘණ වීමට ඇති බිය නිසා ඔවුහු ධන බව වැඩි කර ගනිති. නමුත් ධන හා සෘණ බව අගයෙන් වැඩි වන විට ඊට අනුරූපව බිය වැඩි වන බැවින් ධනෙන් සෘණ තුලණය කල හැකි වුවද බිය නැති කල නොහැකිය. බිය සාපේක්‍ෂ වශයෙන් අවම කර ගන්නට නම් සෘණ මෙන්ම ධන බවද අඩු කර ගත යුතුය. එනම් ඇලී ගැලී නොසිටිය යුතුය.


දැන් දැන් සිංහලුන්ටද ඇමෙරිකානු බිය ඇත. ඒ ඔවුන්ද බටහිර සංස්කෘතිය අනුකරණය කරමින් බදා ගන්නා ගතියට පුරුදු වෙමින් සිටින හෙයිනි. අපේ වැඩිහිටියන්ට මෙන් නොව අපට අද නැතිවෙන්ට බොහෝ දේවල් ඇත. ඉතින් බිය නොවී සිටිය හැකිද? නැති වෙන්නට යනවිට අපි කරන්නේ තව තවත් බදා ගැනීමය. ඒ නිසා චක්‍රීයව තව තවත් බිය වැඩි කරවයි. බදා ගන්නා ගතියට පුරුදු වෙනවිට ගැලී නොගැලී සිටීමට හෝ ගැලෙන්නෙත් නැතිව නොගැලෙන්නෙත් නැතිව සිටීමට ඇති හැකියාව දුර්වල වේ. මා කලින් සඳහන් කල ටැන්සානියානු හස්ඩක් ගෝත්‍රිකයින්ට ඇමෙරිකානු බියක් නැත. ඔවුහු තම සතු දේ නොපැකිලිව අන් සතු කරති. හස්ඩක් වරුන්ට සාපේක්‍ෂව අද අපි සිටින්නේ පහත තැනකය. බටහිරුන් සිටින්නේ ඊටත් චඩා පහත තැනකය.


බටහිරුන් ධන බව වැඩි කර ගන්නේ ලෝකය තමන්ට රිසි පරිදි සකස් කර ගනිමිනි. ලෝකය තමන්ට රිසි අකාරය හැඩ නොගැසී තිබීම බටහිරුන්ට ඇමරිකන් බිය ගෙනදෙන්නකි. ඔවුන් හැකිතාක් දුරට තම රටවල සංස්කෘතිය සමජාතීය කරන්නට උත්සාහ කරන්නේ එබැවිනි. තම රටවල පමණක් නොවේ අන් රටවල්ද ඔවුන්ට ආකාරයට හැඩ ගසා ගැනීමට ඔවුන් උත්සාහ කරන්නේ ඒ නිසාය. ලෝකය පාලණය කල හැකි යැයි ඔවුහු සිතති. එක්සත් ජාතීන්ගේ සමුළුව හරහා ඔවුන් සංස්කෘතියෙන් බටහිර නොවන රටවල් වලට බලපෑම් කරන්නේ ඇමරිකන් බිය නැති කර ගැනීමටය. ජිනීවාහිදී ලංකාවට විරුද්ධව චෝදනා ගෙන එන්නේ ඔවුන්ගේ ඇමරිකන් බිය නිසාය.


ඇමරිකාවේ රාජ්‍ය දේපාරතමේන්තුවේ වැඩ ගැන සාමාන්‍ය ඇමරිකානුවන්ට එතරම් උනන්දුවක් නැත. ඒ ඔවුන්ගේ දේශපාලන විඥ්ඥානය මොට කර ඇති බැවිනි. රාජ්‍ය දේපාරතමේන්තුවෙන් පත්වී එන තානාපතිවරුන් හා අනෙක් නිළධාරීන් ක්‍රියාවට නංවන්නේ රජයේ ප්‍රතිපත්තිය. ඔවුන් සමහරවිට එකිනෙකා පරයමින් අපට කස පහර දෙන්නට උත්සාහ කරන්නේ ඔවුනොවුන් අතර ඇති වෘතීයමය තරඟය නිසාද වෙන්නට පුලුවන. තමන් තදින් පහර නොගැසුවොත් කසය වෙනකෙකුට දෙනු ඇතැයි ඔවුහු බිය වෙති. එතනද ඇත්තේ ඇමරිකන් බියමය. කෙසේ නමුත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ ගැන සාමාන්‍ය ඇමරිකානුවන් දැන ගත්තත් නොදැනගත්තත් ඒ වැඩ සාමාන්‍ය ජනතාව අනුමත කරන බව ඇමරිකානු රජය දනී. ඇමරිකානුවන්ට සමාජයක් වශයෙනුත් පුද්ගලිකවත් ඇමරිකන් බිය ඇත. ජිනීවාහිදී ලංකාවට විරුද්ධව චෝදනා ගෙන එන්නේ බටහිර සංස්කෘතියේ ඇති මේ නිදන්ගත බිය නිසාය.


ඇමරිකන් බිය පිරිත් කියා සමණය කල හැකිදැයි සැකය. බිය වැඩිවෙන්නේ තදින් බදා ගෙන සිටින නිසා බව බටහිරුන් තේරුම් නොගනිති. නමුත් බටහිර නොවන අන් බොහෝ සංස්කෘතිවල ජනයාට ඒ ගැන යම් අවබෝධයක් ඇත. යම් හෙයකින් බටහිර රජයන් අපට ආර්ථික සම්බාධක පැණවුවහොත් ඒ සම්බාධක වලට බිය නොවී සිටීමට මේ අවබෝධයද වැදගත් වනු ඇත.

1 comment:

  1. ඇමරිකන් බිය මෙන්ම, රුසියාවට රුසියානු බියක්,භාරතයට භාරත බියක්, දැනට ලොව තිබෙන රටවල් 193 ටම ඉහත පැහැදිලි කරණ "නිදන්ගත බිය" ඇත. එය විවිධ ආගමික, සංස්කෘතික, ජාතී හෝ කුමන පිරිසකට පවා ඇත.. මේ බිය යනු සංසාරය තුලින්ම ඇති "සියලු සත්වයන්ට" පොදු නිදන් ගත බියකි... එක් එක් පිරිස් සසර හෝ පුනර්භවය පිලිබඳ ඇති හැඟීම අනුව මේ බිය අඩු වැඩි වෙයි...

    භාරතීයන්ට සාපේක්ෂව බටහිරයන්ට මේ බිය වැඩි එනිසාය. සර්වබලධාරි දෙවියන් විසින් ලබාදුන් එකම ජීවිතයට, මලවුන් විශ්වාසයෙන් වඳින භාරත හින්දුන්ට වඩා බටහිරයන් බියවේ. මන්ද දෙවියන් ලබාදී ඇති එකම ජීවිතයේ උපරිම සැප විඳීමක් කරගෙන ස්වර්ගයට යෑමට ඔවුන්ට බටහිර සංස්කෘතිය උගන්වා ඇති බැවිනි. අද neo-classical economic ලෙස බාවිතාකරන invisible market power යනු මේ chronic බිය මූල්‍යලාභ මුල්කර මෙහෙයවීමයි..

    මෙහිදී තවමත් අනෙක් "සියලු සත්ව" කොටස් වලට සාපේක්ෂව මේ බිය සිංහළ සංස්කෘතියේ අවමය...!! (අප බටහිරයන්ට එරෙහිවෙන්නට මෙතරම් දඟලන්නේ ඒනිසාය). ටැන්සානියානු හස්ඩක් ගෝත්‍රිකයින්ට ද වඩා අඩුය.. ආර්යයන්ගේ, එනම් සැබෑ සිංහළයන්ගේ මේ බිය නැත්තටම නැත.. (මේ ආර්යයන් ධර්මාවබෝධය කල සිංහළයන් මිස බටහිර ජර්මානුවන් නිර්මානයකල ප්‍රොපගැන්ඩා ආර්ය ප්‍රවාදය නොවේ)

    ගැමුණු කුමාරයා සිවුවනක් පිරිස සමග යුද්ධයට යාම විමසන්න...!!

    සසරේ බැඳීම පිළිබඳව සංස්කෘතියෙන්ම උගන්වන එකම කොටස ලෙස සිංහළයා පිළිබඳ වාදයක් නැත. අමෙරිකන් බිය සසර පිළිබඳ ඇති නොවැටහීමයි.. එනම් සංසාර ගමනට බිය නැති කමයි...//තදින් බදා ගෙන// සිටින්නේ එනිසාය..

    එදා දිගාමඩුල්ලේ විසාලා මහ නුවර තිබූ බියද සුද්දන් කී ලෙස යක්කු එලවන්නට සිදුකරත් ඇත්තෙන්ම සිදුවූයේ අමෙරිකන් බිය ට වඩා සසර බිය නැතිකිරීම මහඟු බව පෙන්වීමටය.. රතන සුත්‍රය ද දේශනා කලේ එනිසාය.

    ආර්යයන්ට මේ කිසිදු බියක් නැත.. ජනප්‍රිය සිංහළ යා බිය වෙද්දී
    ඔවුන් ඉදිරියේ සසර බිය ද තුරන් කරමින් සැබෑ සිංහළයා සැමදා ජීවත් වෙයි.. සසර බියද නැතිකරගනී.. එයට සැබෑ සිංහළ සංස්කෘතියෙන් ලැබෙන දායාදය අපමණය..

    නමුත් සසර බිය ඇති පිරිස් වල එකතුවෙන් එය නැතිකරීමට තම බඹයක් පමණ සිරුරෙන්ම උදාහරණ ගනිමින් ගොඩනැගූ සිංහළ සංස්කෘතිය එදා ද, අදද විවිධ හැල හැප්පීම් වලට ලක් වෙමින් පවතී. එය සසර බව ආර්යයෝ තේරුම්ගනී. කාලය මිත්‍යාවක් බවද ඔවුනට ප්‍රත්‍යක්ෂ වේ. බටහිර බලපෑම් උපරිම කාලය වන මේ සියවස් කීපයේ ආර්ය හෙළ සංස්කෘතිය විශාල දෙදරීමකට ලක් වී ඇත. ඒ බටහිරයන් බිහිකල Trojan කලු සුද්දන් අද ජනප්‍රිය සිංහළ නමට මුවාවී ආර්යයන්ට ගරහන බැවිනි..

    දෙමලුන් රටේ පදිංචි වීමට, පිටස්තරයන් සමග එක්ව වාසය කරන්ට.බියක් නොතිබුනේ එලෙසය. අද වැනි මරක්කල බිය, බටහිර බිය ඔවුනට නොතිබුනි..

    අන්‍ය ජාතීන්ද සංස්කෘතියට අවශෝෂණය වුනේ හෙළ සිරිත් වැළඳගත්තේ එහි ආර්ය ලක්ෂණ නිසාය....!!

    සියලු සම්භාදක ලෝක බැංකු එකසත් ජාතී ප්‍රතිපත්ති වේවා ඊලාම් වේවා සියල්ලට මුහුණ දීමට මේ අවබෝධය වැදගත්ය. නමුත් එය නිවැරදිව මෙහෙයවීමේ හැකි ආර්යයන් අද හිඟය. වෛදිකයන් ජයිනයන් බමුණන් හෝ විද්‍යාඥයන්, වික්ටෝරියානු දේශපාලකයන් හෝ ආර්ථික විශ්ලේශක යන් නොවේ..

    අපට උවමනා ආර්යයන්ය..!!

    ReplyDelete