Friday, February 7, 2014

සාපේක්‍ෂ බල

බටහිර භෞතික විද්‍යාවේ කථා කරන බල විශාලත්වයක් සහ දිශාවක් ඇති දෛශික මඟින් නිරූපනයවේ. ඒ දෛශික ක්‍රියා කරන්නේ ලක්‍ෂ මතය. බටහිර භෞතික විද්‍යාවේ බල තුලණය වීම යැයි සලකන්නේ බල ශුන්‍යවීමය. ලක්‍ෂයක් මත ක්‍රියා කරන සියලුම බල වල දෛශික එකතුව ශුන්‍යවේ නම් එවිට ඒ ලක්‍ෂය මත කිසිම බලයක් ක්‍රියා කලේ නැතුවා හා සමානයැයි සැලකේ. නමුත් ලක්‍ෂයක් යැයි කිව හැකි දෙයක් නැත. ලක්‍ෂය යන්න මනසටවත් ඉන්ද්‍රීයයන්ටවත් ගෝචර නොවන වියුක්ත සංකල්පයකි. නැත්නම් පට්ටපල් බොරුවකි. ඇත්තේ මනසට හෝ ඉන්ද්‍රීයන්ට ගෝචර වන වස්තු මිස ලක්‍ෂ නොවේ. බල ක්‍රියා කරන්නේ වස්තු මතය. ලක්‍ෂය යන සංකල්පය පට්ටපල් බොරුවක් නම් බටහිර භෞතික විද්‍යාව හඳුන්වාදෙන බල, එනම් නිව්ටන්ගේ බල එහි කියැවෙන ආකාරයට ශුන්‍ය වන්නේ කෙසේද? බටහිර භෞතික විද්‍යාවේ එන දෛශික මඟින් නිරූපනය කෙරෙන බල ශුන්‍ය කල හැක්කේ සියලු බල එක් ලක්‍ෂයක් මත ක්‍රියා කිරීමට සැලස්සවීමෙනි. ලක්‍ෂයක් කියා දෙයක් නැති බැවින් බටහිර භෞතික විද්‍යාවේ කථා කරන බල ශුන්‍ය කල නොහැකි විය යුතුය. බල ශුන්‍ය කල නොහැකි නම් බටහිර විද්‍යාවේ බල තුලණයවීම යන්නෙන් තේරුම් ගන්නා දෙයද වැරදි විය යුතුය.

අපි දන්නා බල එනම් යමක් තල්ලු කරද්දී හෝ අදිද්දී හෝ යෙදෙන භෞතික බල පමණක් නොවේ දේශපාලණ මෙන්ම ආධ්‍යාත්මික බලද ශුන්‍ය කිරීම කෙසේ වෙතත් තුලණය කල හැකි බව අත්දැකීමෙන් දනිමු. පැහැදිලිවම අපි අත්දැකීමෙන් දන්නා බල වස්තු මත ක්‍රියාකරන ආකාරයත් බටහිර භෞතික විද්‍යාවේ ඒ දේ ගැන ඉගැන්වෙන ආකාරයේත් නොගැලපීමක් ඇත. වරද ඇත්තේ අපේ අත්දැකීමේ නොව බටහිර භෞතික විද්‍යාවේ බල හා තුලණය පිළිබඳ සංකල්ප තුලය.

ඕනෑම වස්තුවක් මත එක සමාන බල ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාකරන විට පවා, එනම් මුලු බලය “ශුන්‍ය” වන විට පවා, වස්තුවේ සුලු හෝ වෙනසක් ඇතිවෙනබව අපි අත්දැකීමෙන් දනිමු. උදාහරණයක් වශයෙන් දං ගෙඩියක් ඇඟිලි දෙකෙන් තද කරද්දී එහි හැඩය වෙනස් වන බව අපි දනිමු. එනම් වස්තු මත ක්‍රියාකරන බල දෛශිකව ශුන්‍යවනවිට පවා වස්තුවේ යම් වෙනසක් සිදුවේ. ඒ නිසා වස්තුවල සිදුවෙන මේ වෙනස නොසලකා වස්තු ලක්‍ෂ යැයි සලකමින් බල තුලණයක් ගැන කථා කිරීම උගුරට හොරා බේත් කෑමට තැනීමකි.

බල ක්‍රියා කරන්නේ ලක්‍ෂ නොවන වස්තු මත යැයි සලකනවිට බල වලට වස්තු දක්වන ප්‍රතික්‍රියා නොසලකා සිටිය නොහැකිය. මේ ප්‍රතික්‍රියා අභ්‍යන්තර බල ලෙස යැයි අපට හඳුනාගත හැකිය. ලක්‍ෂ වලට නැතිවුවද වස්තුවලට අභ්‍යන්තර බල ඇත. දැන් අපිට බාහිර හා අභ්‍යන්තර බල යැයි බල වර්ග දෙකක් ලැබේ. තුලණය ගැන කථා කිරීමේදී අප විසින් සැලකිය යුත්තේ බාහිර සහ අභ්‍යන්තර බලය. බාහිර හා අභ්‍යන්තර බල බටහිර භෞතික විද්‍යාවේ දැක්වෙන ආකාරයට ශුන්‍ය කල හැකිද? එසේ ශුන්‍ය වන්නේ එක සමාන විශාලත්වයකින් යුතු බාහිර හා අභ්‍යන්තර බල ප්‍රතිවිරුද්ධ අතට එක ලක්‍ෂයක් මත ක්‍රියා කරවීමෙන්ද? ලක්‍ෂ යන සංකල්පය පාවිච්චි කලහොත් අපි මුලින් සිටි අවුලටම නැවතත් පත් වෙන්නෙමු. ඒ නිසා බල ලක්‍ෂ මත ක්‍රියා කරන්නේය යන අදහස අපි මුලු මනින්ම ප්‍රතික්‍ෂේප කරමු. දැන් අපට අවශ්‍යය බාහිර හා අභ්‍යන්තර බල තුලණයවීම තේරුම් ගැනීමටය.

මෙහිදී අපි මෙසේ කියමු. වස්තුවකට සාපේක්‍ෂව එසේ නැතිනම් වස්තුවේ රාමුවේ සිට සලකන විට වස්තුවට බලපාන සියලු බල අභ්‍යන්තර බලවේ. අපි එසේ සලකන්නේ බුදුන් වහන්සේ දේශණා කර ඇති පරිදි ලෝකයම පැනවෙන්නේ තමා තුලය යන අදහස මුල් කර ගෙනය. ඒ අනුව අභ්‍යන්තර බල මෙන්ම බාහිර බලද පැනවෙන්නේ වස්තුව තුලය එනම් බල දෙකම අභ්‍යන්තර බලය. බුදුන් වහන්සේගේ දේශණාව අදාල වන්නේ මනසක් ඇති සත්වයන්ට පමණක් වුවද බල ක්‍රියාකිරීම සම්බන්ධයෙන් පමණක් අපි එය වස්තු වලටද සත්‍යයැයි ගනිමු.



අවශ්‍යයනම් අපිට වස්තුවට වැදගත් වන්නේ එයට යොදන ඊනියා වාස්තවික බලයක් නොව එයට දැනෙන සාපේක්‍ෂ බලය යැයිද ඒ නිසා එය අභ්‍යන්තර බලයක් ලෙස සැලකේ යැයිද සිතිය හැකිය. මෙයද මනස් ඇති සතුන්ට සාධාරණ සංකල්පයකි. මනසක් ඇති සතුන්ට සත්‍යවූ දෙයක් මනසක් නැති වස්තුවකට සත්‍යවන්නේ කෙසේද යැයි සාධාරණ සැකයක් යමෙකුට ඇතිවිය හැකිය. නමුත් මනස් නැති වස්තු මෙන්ම මනස් ඇති සතුන්ද පැවැත්මෙන් අනාත්මීය වේ. මේ පොදුබව නිසා සත්තු සහ වස්තු එකිනෙකින් කොපමණ ඈත් වුවද ඒ දෙක අතර වෙනස සන්තතික වෙනසක් මිස අසන්තතික වෙනසක් විය නොහැකිය යැයි සිතිය හැකිය. ඒ පදනමින්ද සතුන්ට මෙන්ම වස්තුවටද බලපාන සියලු බල අභ්‍යන්තර බලවේ යන උපකල්පණය සාධාරණය කල හැකිය.

වස්තුවට “දැනෙන” බලය සහ වස්තුව ඊට දක්වන ප්‍රතික්‍රියාව පහසුව තකා අපි බල සහ ප්‍රතිබල ලෙස වෙන් වෙන්ව හඳුන්වාගමු. බල ප්‍රතිබල දෙකම අභ්‍යන්තර බලය. එය එසේයැයි ගත්විට ඉන් ගලා එන තව අදහස් ඇත.

වාස්තවිකවූ බාහිර බල ගැන සලකන විට බාහිර බල නිසා අභ්‍යන්තර බල ඇතිවේ යැයි සිතිය හැකි නමුදු බල ප්‍රතිබල යන දෙකම අභ්‍යන්තර නම් ඉන් එකක් මූලික හේතුවක් ලෙස සැලකීම සාධාරණ නැත. ඒ නිසා බල ප්‍රතිබල ගැන අපට කිව හැක්කේ එක බලයක් ඇතිවිට අනිත් බලය ඇති බවත් එකක් නැතිවිට අනික නැති බවත්ය. එනම් බල හා ප්‍රතිබල අතර ඇත්තේ චක්‍රීය බවකි නැත්නම් සාපේක්‍ෂ බවකි. බල හා ප්‍රතිබල එකිනෙකට සාපේක්‍ෂය. ඒ අනුව වස්තුවේ රාමුවේ සිට බලනවිට වස්තුව මත ක්‍රියාත්මකවන සියලු බල එකිනෙකට සාපේක්‍ෂ බල යැයි කිව හැකිය.

සාපේක්‍ෂවූ බැවින් බල ඇති සැමවිටම ප්‍රතිබලද තිබිය යුතුය. ඒ නිසා බටහිර භෞතික විද්‍යාවේ එන නිව්ටන්ගේ බල මෙන් බලයෙන් ප්‍රතිබලය සුලුවී යන්නේ නැත. සුලු වෙන්නේ නැත්තේ බල එකතු (හෝ අඩු) නොවන බැවිනි. නිව්ටන්ගේ බල එකතු කල හැක්කේ ඒ බල දෛශික බැවිනි. මින් ගම්‍ය වෙන්නේ බල සහ ප්‍රතිබල දෛශික මඟින් නිරූපණය කල නොහැකි බවය. සාපේක්‍ෂ බල නිව්ටන්ගේ බල වලින් වෙනස් කරන ප්‍රධාන ලක්‍ෂණය සාපේක්‍ෂ බල දෛශික නොවීමය. දෛශික නොවන බැවින් ඒ වා බලපවත්වන්නේ ලක්‍ෂ මතද යන පැනයද මතු නොවේ. දෛශික මෙන්ම ලක්‍ෂය යන සංකල්පයද සාපේක්‍ෂ බලවලට අදාල නොවේ.

වස්තුවට බලපාන බල ගැන අපි කථා කරන්නේ බල මඟින් වස්තුවේ යම් වෙනසක් සිදුවෙන බැවිනි. අපි බල තුලණය ගැන යම් අදහසක් ඇති කරගන්නේද වස්තුවේ ඇතිවෙන මේ වෙනස දිහා බලාගෙනය. ඒ නිසා බල තුලණය තේරුම් ගැනීමට නම් බල සහ ප්‍රතිබල මඟින් වස්තුවේ ඇතිකරන වෙනස අප විසින් තේරුම් ගත යුතුය. මෙහිදී අපි වස්තුවේ වෙනස වෙනුවට (වස්තුවේ) යම් ගුණයක වෙනස සලකමු. විවිධ බල වර්ග තිබිය හැක. ඒ ඒ බල බලාපාන්නේ ඒ ඒ ගුණවලටය. ඒ නිසා අපිට වැදගත් වන්නේ ඒ ඒ බල වලට අනුරූප වස්තුවේ ගුණය. උදාහරණයක් වශයෙන් පඨවි, ආපෝ, තේජෝ වැනි ගුණද ගම්‍යතාව වැනි බටහිර විද්‍යාවේ එන සංකල්පද ගුණ ලෙස සැලකිය හැකිය. අවශ්‍යනම් එතැනිනුත් එහා ගොස් මනස් ඇති සතුන්ගේ ගුණද ඔවුන්ට බලපාන බල ගැනද මෙහි යොදා ගත හැකිය. කෙසේ වෙතත් අපිට වැදගත් වන්නේ බල සහ ප්‍රතිබල නිසා ගුණ වෙනස් වන්නේ කෙලෙසද යන්නය.

බලය අඩු හෝ වැඩි වීමට අනුරූපව ගුණ වෙනස්වේ. බලය අඩුවෙන විට ගුණයේ යම් වෙනසක් සිදුවේද බලය වැඩි වෙනවිට ඊට ප්‍රතිවිරුද්ධ වෙනසක් අති කෙරේ. මෙහිදී ගුණ වෙනස්විය හැක්කේ එක මානයක පමණි. නමුත් අපිට බල සහ ප්‍රතිබල යැයි එකිනෙකට සාපේක්‍ෂ බල යුගලයක් ඇත. ඒ නිසා බල-ගුණ සම්බන්ධය මෙන්ම ප්‍රතිබල-ගුණ සම්බන්ධයද සැලකීමට ගැනීමට සිදුවේ. එවිට ගුණ වෙනස්විය හැකි එකිනෙකින් ස්වාධීනවූ මාන දෙකක් ලැබේ. මේ නිසා ගුණ වැඩි වෙද්දී බල (හා ප්‍රතිබල) ඊට සමගාමීව හෝ ප්‍රතිගාමීව පැවතිය හැකි අතර ගුණ අඩු වෙද්දී බල (හා ප්‍රතිබල) ඊට සමගාමීව හෝ ප්‍රතිගාමීව පැවතිිය හැකිය. උදාහරණයක් වශයෙන් බල විසින් ගුණ වැඩි කිරීමට ක්‍රියා කරද්දී ප්‍රතිබල ඊට විරුද්ධවිය හැකිය. එමෙන්ම ප්‍රතිබල විසින් ගුණ අඩු කිරීමට ක්‍රියා කරද්දී බල ඊට විරුද්ධවිය හැකිය. අප මෙහිදී තේරුම් ගත යුත්තේ මේ කථා දෙකම එකම කාසියේ දෙපැත්තක් නොව එකිනෙකට වෙනස් කථා දෙකක් බවය. එකම කාසියේ දෙපැත්තක් බඳු වෙන්නේ ගුණ වෙනස්වීමට එක මානයක් පමණක් තිබුනිනම්ය. නමුත් ඉහත පෙන්වාදී ඇති ආකාරයට සාපේක්‍ෂ බල සම්බන්ධයෙන් වස්තුවක ගුණ මාන දෙකක වෙනස්වීමට හැක.

දැන් අපට බල තුලණය ගැන කථා කල හැකිය. බල තුලණයේදී වැදගත් වන්නේ බල සහ ප්‍රතිබලය. බල තුලණය විය හැකි ආකාර දෙකකි.

A) බල (F) විසින් ගුණ (G) වැඩි කිරීමට ක්‍රියා කරද්දී ප්‍රතිබල (~F) ඊට සමාන විරුද්ධත්වයක් දැක්වුවහොත් බල තුලණයක් ඇතිවිය හැකිය (මෙහි බල වෙනුවට ප්‍රතිබලද ප්‍රතිබල වෙනුවට බලද යෙදිය හැකිබව සලකන්න).

B) එමෙන්ම F විසින් G අඩු කිරීමට ක්‍රියා කරද්දී ~F ඊට සමාන විරුද්ධත්වයක් දැක්වුවහොත්ද බල තුලණයක් ඇතිවිය හැකිය (මෙහිද බල වෙනුවට ප්‍රතිබලද ප්‍රතිබල වෙනුවට බලද යෙදිය හැකිබව සලකන්න).

පළමු ආකාරයේ (A) එක් සීමාන්තික අවස්ථාවකදී වස්තුවට ඒ අදාල ගුණය අතිශයෙන් වැඩිව පැවතිය හැකි අතර අනිත් සීමාන්තික අවස්ථාවේදී වස්තුවට ඒ අදාල ගුණය ඇතුවා නැතුවා විය හැකිය.

දෙවෙනි ආකාරයේ (B) එක් සීමාන්තික අවස්ථාවකදී වස්තුවට ඒ අදාල ගුණය අතිශයෙන් අඩුව පැවතිය හැකි අතර අනිත් සීමාන්තික අවස්ථාවේදී වස්තුවට ඒ අදාල ගුණය ඇත්තේද නැත නැත්තේද නැත විය හැකිය.

ඉහත ප්‍රස්තාරයේ දැක්වෙන පරිදි G ඇත නැත යන අන්ත දෙක හරි මැද අසන්තතික බවක් ඇත. ඊට හේතුව බල (F)  නැති වන විට ප්‍රතිබල(~F) ද නැති බැවිනි. අන්ත දෙකෙහි සිට ඒ අවස්ථාවට සීමාන්තිකව ලඟාවන විට චතුස්කෝටිකයේ ඉතිරි අවස්ථා ලැබේ.

අප මෙහි පෙන්වා දුන්නේ ඉන්ද්‍රිය ගෝචර වස්තුවක රාමුව තුල සලකනවිට ඒ මත ක්‍රියාකරන සියලු බල එකිනෙකට සාපේක්‍ෂ බවත් සාපේක්‍ෂ බල දෛශික නොවෙන බවත් සාපේක්‍ෂ බල තුලණය වීමේදී සීමාන්තික අවස්ථා හතරක් ලැබෙන බවත්ය. මේ කථාවේ බල ශුන්‍යවීමක් නැත්නම් සුලුවීමක් නැත. බල ඇතිවිට ප්‍රතිබල ඇත. බල නැතිවිට ප්‍රතිබල නැත. තුලණය සිදු වන්නේ එකිකෙනකට ප්‍රතිවිරුද්ද බල පවතිද්දීමය. මෙහි කියැවෙන තුලණය චීනුන්ගේ යිං යැං සංකල්පයේත් ආයුර්වේදයේත් හෙළ වෙදකමේත් ඇත. හෙළ ගොවිතැනේද ඇතැයි සිතිය හැකිය. මේ සංකල්ප හෙළයින්ට අමුතු දේ නොවේ. නිව්ටන්ගේ බල තුලණය වීමට නම් ඒවා ශුන්‍ය විය යුතුය. නමුත් ඉන්ද්‍රිය ගෝචර වස්තු ලක්‍ෂ නොවන නිසා වස්තු මත ක්‍රියා කරන බල බටහිර විද්‍යාවේ කියන ආකාරයට ශුන්‍ය කල නොහැකිය. නිව්ටන්ගේ බල තුලණය පට්ට පල් බොරුවකි.

No comments:

Post a Comment