Friday, February 21, 2014

උපාධිදාරීන් රකින සංස්කෘතිය

මා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලුවූ අවධියේ එහි විද්‍යා පීඨයේ වසරක් පසා පැවැත්වුනු නවකයින් පිලිගැනීමේ උත්සවය සුරා පැන් බාල් නැටුම් ඇසුරින් පැවැත්වුනු රාත්‍රී සංගීත සාදයක් විය. එක් වසරකදී මේ උත්සවයට දේශීය මුහුණු වරක් ලබාදිය යුතුයැයි එහි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් තීරණය කෙරිනි. උත්සවයෙන් සුරා පැන් ඉවත් කෙරුනු අතර රාත්‍රී භෝජන සංග්‍රහය ශාලාවක වෙනුවට එළිමහනේ පැවැත්වීමට යෙදිනි. ඊලඟට ප්‍රශ්ණය වූයේ විනෝදාස්වාදය සඳහා කුමක් කල යුතුද යන්නය. බොහෝ කල්පණා කලද අවස්ථාවට උචිත බාල් නැටීමට විකල්පයක්වූ නමුත් දේශීයත්වයක් ඇති ක්‍රියාකාරකමක් සිතා ගත නොහැකි විනි. අවසානයේ ගිණි කෙලි නැටුම් සංදර්ශණයක් පවත්වමු යැයි තීරණය වූයේ කුමක් හෝ කල යුතුවුනු බැවිනි. ගිණි කෙලි නැටුමට ශිල්පියා කැඳවාගෙන ඒමට භාරදී තිබුනේ මටත් මගේ මිතුරෙකුටත්ය. එදා ඒ ශිල්පියා කොළඹට නුදුරු ගමක තොවිලයක් කිරීමට යොදාගෙන තිබුනු බැවින් ඔහුගේ වැඩ අවසන් වන තෙක් තොවිලය නරඹා අවසන්වූ විගස අපි කපු මහත්තයාත් බෙර කරුත් කැටුව කොළඹ විශ්ව විද්‍යාලයට ගියෙමු. ගිණි කෙලි නැටුම ඉමහත් ප්‍රතිචාර මැද ජයට සිදු කෙරුනු මුත් ඔහුගේ හැසිරීම් විලාසයෙන් අපි දුටුවේ තොවිල්පලේ හුන් පෞඪ මිනිසා නොව බයාදු කුලියට නටන නැට්ටුවෙකි. ඔහුට වේදිකාවල සංදර්ශණය සඳහා කුලියට නටා පුරුද්දක් නොතිබුනු බව පෙනිනි. අප ඉදිරියේ නටන්නට සලස්සවා අපි ඔහුගේ ගරුත්වය කෙලෙසූ බව අපට එවෙලේ වැටහුනි.

තොවිල් පලේදී වැදගත් කමක් ලැබෙන්නේ කරන තොවිලයට හෝ ආතුරයාට මිස නරඹන්නන්ට නොවේ. තොවිල් පලේදී ලොක්කා කපු මහත්තයාය. කොළඹ විශ්ව විද්‍යාලයේදී ඔහුගේ ලෝකය කණපිට හරවා අපි ඔහුව සොක්කෙක් කෙරුවෙමු. අපි බටහිර සංස්කෘතියේ දේවස්ථානයක් තුල සිංහල සංස්කෘතිය බාල්දු කෙරුවෙමු. කණගාටුදායක එය වූයේ දේශීයත්වය අගය කිරීමට ගොස්වීමය. ඉන් පෙන්නුම් කෙරුනේ වෙන කිසිවක් නොව අපේ නොහැකියාවය.

අපට අපේ සංස්කෘතිය තුල නිර්මාණ කිරීමට නිපුණත්වයක් නැත. අපි දෙමව්පියන්ගෙනුත් සමාජ අශ්‍රයෙනුත් සංස්කෘතික අභාශය ලබන බව සැබෑය. නමුත් විධිමත් අධ්‍යාපනයෙන් ලබාදෙන සංස්කෘතික අභාෂය ඒ සියල්ල අභිබවා යයි. අවාසනාවකට දේශීය ශිල්පීය හෝ ශාස්ත්‍රීය පුහුණවක් ලබනු වෙනුවට බටහිර අධ්‍යාපනයක් ගිරවා දමන උපාධිදාරීන්ට දේශීය දැනුම සම්බන්ධයෙන් අත්වෙන්නේ සෘණ අගයකි. ඔවුන්ට කල හැක්කේ එක්කෝ සිංහල බෞද්ධ සංස්කෘතිකාංග ගෙඩි පිටින් බදා ගැනීමය එසේ නැත්නම් ඒවා බටහිර සංස්කෘතියට අවශෝෂණය කර දීමටය. මේ දෙකින්ම සිදුවන්නේ අවැඩකි.



තේ පානය මෙන්ම පීරිසි කෝප්පද අපට ඉංග්‍රීසීන්ගෙන් ලැබුණු දායාදය. අද කෙසේ වෙතත් කලකට ඉහතදී තේ බීමේ පිලිවෙත ඉංග්‍රීසීන්ට වැදගත් සංස්කෘතිකාංගයක් විය. නමුත් අපේ ගැමියෝ ඉංග්‍රීසීන්ගේ ගාම්භීරත්වය නොසලකා පීරිසිය තේ නිවීම සඳහා යොදාගනිමින් තේ බීම අපේ කරගත්හ. නමුත් අපි අද කරන්නේ තේ කෝප්පයේ අපේ සංස්කෘතික ලාංඡන ඇලවීමය. මෙයින් කෙරෙන්නේ ඉංග්‍රීසීන්ගේ තේ බොන සංස්කෘතියට තව මුක්කුවක් ගසා එය සවිමත් කිරීම මිස අපේ කමක් රැකීම නොවේ. ඊළාම් යුධය දිනීමෙන් පසු දෝරේ ගලා හැලුනු අදටත් හැලෙන ව්‍යාජ ජාතිකත්වයෙන් සම්පුර්ණයෙන්ම පාහේ කෙරන්නේ බටහිර සංස්කෘතියට සිංහල බෞද්ධකම අවශෝෂණය කර දීමය. එසේකරමින් අපි බටහිරත්වයේ ගාම්භීරකම ආරුඪ කර ගැනීමට ව්‍යවර්ත උත්සාහයක යෙදෙන්නෙමු. මේ කාර්යයට විශේෂ උවමණාවක් ඇත්තේ මෙරට උගත් මධ්‍යම පංතියටය. නමුත් දේශීය දැනුම උගත් ගැමියන්ට බටහිරුන්ගේ මොන කෙහෙම්මලක්වත් අවශ්‍ය නැත. ඔවුන්ට අපේ දේ රැක ගැනීමටත් අපේ නොවෙන දේ අපේ කර ගැනීමටත් ස්වාධීනත්වයකුත් හැකියාවකුත් ඇත. ඒ නිසා සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කැක්කුමක් ඇති බටහිර උගතුන් සංස්කෘතිය රැකීම සඳහා වැඩ කරද්දී තමන් කරන දේ පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ක්‍රියා කල යුතුවේ.

Friday, February 14, 2014

ඇමරිකන් බිය

ඇමරිකානුවෝ බියෙන් පසුවෙති. ඔවුන් පමණක් නොවේ මුලු මහත් බටහිර සමාජයම පසුවන්නේ බියකිනි. පොදුවේ බටහිරුන්ටද ඇත්තේ ඇමරිකන් බියය. රතන සූත්‍රයට අනුව බුදුන් දවස විශාලා නුවර වැසියන්ට තිබුනේද බියකි. එදා ඒ නුවර දුර්භික්‍ෂයක් තිබුනත් නුවරුන් පීඩාවට පත් කලේ දුර්භික්‍ෂයට වඩා ඒ පිළිබඳ බිය යැයි සිතිය හැකිය. රතන සූත්‍රය දේශණා කලේ ඒ බිය නැති කිරීමටය. මීට සමාන නොවුනත් බටහිරුන්ටද ඇත්තේ මේ ආරේ බියකි. අඩු තරමින් විශාලා නුවර වැසියන්ට තිබුනු රෝග, දුර්භික්‍ෂ හා අමුනුස්ස බිය තියුණු මුත් තාවකාලික (acute) එකක් විය. ඇමරිකන් බිය නිදන්ගත (chronic) බියකි. එය බටහිර සංස්කෘතියේම කිඳා බැස ඇත.

ඇමරිකන් බියට හේතුව වෙනකක් නොව පොදුවේ ඒ සමාජය තුල ඇති බදා ගැනීමේ ගතියය. බදා ගන්නේ වෙන් කර ගන්ටය. වෙන් කර ගන්නේ බදා ගන්ටය. වෙන් කර ගත් දෑ අහිමි වේ යැයි බියක් හට ගන්නා අතර වෙන් නොකර ගත් දෑ හිමි වේ යැයි බියක් හට ගනී. වෙන් කෙරීම හා බදා ගැනීම නිසා හටගන්නා හිමිවේය හෝ අහිමිවේය හෝ යන බිය ඇමරිකන් බියය.


බටහිර රටවල ලෞකික සැප පහසුකම් කෙතෙකුත් තිබුනද බොහෝ දෙනා නොකියන කථාව නම් ඒ සැප පහසුකම් නැතුව එහි ජීවත්වීම අති දුෂ්කර බවය. වෙනත් ආකාරයකට කියන්නේ නම් එහි ජීවන ක්‍රමය සැකසී ඇත්තේ ඒ රටවල ඇති සැප පහසුකම් නැතිව ජීවත් වීම දුෂ්කර වෙන අන්දමටය. උදාහරණයක් වශයෙන් ඇමෙරිකාවේ නගර කිහිපයක හැර සෙසු ප්‍රදේශවල වෙසෙන මිනිසුන්ට යන්ට එන්ට පුද්ගලික වාහනයක් නැතිව බැරිය. මේවා අපි සාමාන්‍යයෙන් සම්පත් යැයි සලකන නිසා ඒවා හිමිවීමම ධනාත්මක ලෙස ගැනුනද ඇත්තෙන්ම මෙහි සිදුවන්නේ මේ ලෞකික සම්පත් නැතිවිට ඇතිවන සෘන බව තුලණය කිරීමය. 


Friday, February 7, 2014

සාපේක්‍ෂ බල

බටහිර භෞතික විද්‍යාවේ කථා කරන බල විශාලත්වයක් සහ දිශාවක් ඇති දෛශික මඟින් නිරූපනයවේ. ඒ දෛශික ක්‍රියා කරන්නේ ලක්‍ෂ මතය. බටහිර භෞතික විද්‍යාවේ බල තුලණය වීම යැයි සලකන්නේ බල ශුන්‍යවීමය. ලක්‍ෂයක් මත ක්‍රියා කරන සියලුම බල වල දෛශික එකතුව ශුන්‍යවේ නම් එවිට ඒ ලක්‍ෂය මත කිසිම බලයක් ක්‍රියා කලේ නැතුවා හා සමානයැයි සැලකේ. නමුත් ලක්‍ෂයක් යැයි කිව හැකි දෙයක් නැත. ලක්‍ෂය යන්න මනසටවත් ඉන්ද්‍රීයයන්ටවත් ගෝචර නොවන වියුක්ත සංකල්පයකි. නැත්නම් පට්ටපල් බොරුවකි. ඇත්තේ මනසට හෝ ඉන්ද්‍රීයන්ට ගෝචර වන වස්තු මිස ලක්‍ෂ නොවේ. බල ක්‍රියා කරන්නේ වස්තු මතය. ලක්‍ෂය යන සංකල්පය පට්ටපල් බොරුවක් නම් බටහිර භෞතික විද්‍යාව හඳුන්වාදෙන බල, එනම් නිව්ටන්ගේ බල එහි කියැවෙන ආකාරයට ශුන්‍ය වන්නේ කෙසේද? බටහිර භෞතික විද්‍යාවේ එන දෛශික මඟින් නිරූපනය කෙරෙන බල ශුන්‍ය කල හැක්කේ සියලු බල එක් ලක්‍ෂයක් මත ක්‍රියා කිරීමට සැලස්සවීමෙනි. ලක්‍ෂයක් කියා දෙයක් නැති බැවින් බටහිර භෞතික විද්‍යාවේ කථා කරන බල ශුන්‍ය කල නොහැකි විය යුතුය. බල ශුන්‍ය කල නොහැකි නම් බටහිර විද්‍යාවේ බල තුලණයවීම යන්නෙන් තේරුම් ගන්නා දෙයද වැරදි විය යුතුය.

අපි දන්නා බල එනම් යමක් තල්ලු කරද්දී හෝ අදිද්දී හෝ යෙදෙන භෞතික බල පමණක් නොවේ දේශපාලණ මෙන්ම ආධ්‍යාත්මික බලද ශුන්‍ය කිරීම කෙසේ වෙතත් තුලණය කල හැකි බව අත්දැකීමෙන් දනිමු. පැහැදිලිවම අපි අත්දැකීමෙන් දන්නා බල වස්තු මත ක්‍රියාකරන ආකාරයත් බටහිර භෞතික විද්‍යාවේ ඒ දේ ගැන ඉගැන්වෙන ආකාරයේත් නොගැලපීමක් ඇත. වරද ඇත්තේ අපේ අත්දැකීමේ නොව බටහිර භෞතික විද්‍යාවේ බල හා තුලණය පිළිබඳ සංකල්ප තුලය.

ඕනෑම වස්තුවක් මත එක සමාන බල ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාකරන විට පවා, එනම් මුලු බලය “ශුන්‍ය” වන විට පවා, වස්තුවේ සුලු හෝ වෙනසක් ඇතිවෙනබව අපි අත්දැකීමෙන් දනිමු. උදාහරණයක් වශයෙන් දං ගෙඩියක් ඇඟිලි දෙකෙන් තද කරද්දී එහි හැඩය වෙනස් වන බව අපි දනිමු. එනම් වස්තු මත ක්‍රියාකරන බල දෛශිකව ශුන්‍යවනවිට පවා වස්තුවේ යම් වෙනසක් සිදුවේ. ඒ නිසා වස්තුවල සිදුවෙන මේ වෙනස නොසලකා වස්තු ලක්‍ෂ යැයි සලකමින් බල තුලණයක් ගැන කථා කිරීම උගුරට හොරා බේත් කෑමට තැනීමකි.

බල ක්‍රියා කරන්නේ ලක්‍ෂ නොවන වස්තු මත යැයි සලකනවිට බල වලට වස්තු දක්වන ප්‍රතික්‍රියා නොසලකා සිටිය නොහැකිය. මේ ප්‍රතික්‍රියා අභ්‍යන්තර බල ලෙස යැයි අපට හඳුනාගත හැකිය. ලක්‍ෂ වලට නැතිවුවද වස්තුවලට අභ්‍යන්තර බල ඇත. දැන් අපිට බාහිර හා අභ්‍යන්තර බල යැයි බල වර්ග දෙකක් ලැබේ. තුලණය ගැන කථා කිරීමේදී අප විසින් සැලකිය යුත්තේ බාහිර සහ අභ්‍යන්තර බලය. බාහිර හා අභ්‍යන්තර බල බටහිර භෞතික විද්‍යාවේ දැක්වෙන ආකාරයට ශුන්‍ය කල හැකිද? එසේ ශුන්‍ය වන්නේ එක සමාන විශාලත්වයකින් යුතු බාහිර හා අභ්‍යන්තර බල ප්‍රතිවිරුද්ධ අතට එක ලක්‍ෂයක් මත ක්‍රියා කරවීමෙන්ද? ලක්‍ෂ යන සංකල්පය පාවිච්චි කලහොත් අපි මුලින් සිටි අවුලටම නැවතත් පත් වෙන්නෙමු. ඒ නිසා බල ලක්‍ෂ මත ක්‍රියා කරන්නේය යන අදහස අපි මුලු මනින්ම ප්‍රතික්‍ෂේප කරමු. දැන් අපට අවශ්‍යය බාහිර හා අභ්‍යන්තර බල තුලණයවීම තේරුම් ගැනීමටය.

මෙහිදී අපි මෙසේ කියමු. වස්තුවකට සාපේක්‍ෂව එසේ නැතිනම් වස්තුවේ රාමුවේ සිට සලකන විට වස්තුවට බලපාන සියලු බල අභ්‍යන්තර බලවේ. අපි එසේ සලකන්නේ බුදුන් වහන්සේ දේශණා කර ඇති පරිදි ලෝකයම පැනවෙන්නේ තමා තුලය යන අදහස මුල් කර ගෙනය. ඒ අනුව අභ්‍යන්තර බල මෙන්ම බාහිර බලද පැනවෙන්නේ වස්තුව තුලය එනම් බල දෙකම අභ්‍යන්තර බලය. බුදුන් වහන්සේගේ දේශණාව අදාල වන්නේ මනසක් ඇති සත්වයන්ට පමණක් වුවද බල ක්‍රියාකිරීම සම්බන්ධයෙන් පමණක් අපි එය වස්තු වලටද සත්‍යයැයි ගනිමු.