Friday, January 24, 2014

වේදනාව සහ සංස්කෘතිය

මේ දිනවල ඇමරිකාවේ උතුරුකරයේ දරුණු සීත කාලගුණයක් පවතී. මෑත කාලයේදී ශීත සෘතුව මෙතරම් සීතලවූ බවක් මට මතක නැත. ඝර්ම කාලාපී රටවලින් මෙහි සංක්‍රමණයවූ මා වැන්නන්ට සීතල දරා ගැනීමට එතරම් පහසු නොවුනත් ඇංග්ලෝ සැකසන් හෝ ස්කැන්ඩිනේවියානු සම්භවයක් ඇති සුද්දන්ට එය කජ්ජක් නොවේ. දැනීමත් දරාගැනීමත් වෙන් කල හැකි යැයි මම නොසිතමි. සීතල දැනීමට හා දරාගැනීමට හැකිවීම පමණක් නොවේ පොදුවේ වේදනාව දැනීම/දරා ගැනීම ඒ ඒ මිනිසුන්ගේ සංස්කෘතියට අනුව වෙනස්වන බව මගේ හැඟීමය. වේදනාව හට ගැනනෙන්නේ මනසේය ඒ නිසා අවසානයේ වැදගත් වන්නේ මනස හා සංස්කෘතිය අතර ඇති සම්බන්ධයය.

සංස්කෘතියේ ආභාශයෙන් යමෙකුට සීතල යම් තරමකට දරා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය. සීතලට ගැලපෙන ආකාරයට හිස් වැසුම් කබා පාවහන් පාවිච්චි කිරීමට දැන ගැනීම සංස්කෘතික ආභාශයේ වැදගත් පැත්තකි. නමුත් සංස්කෘතියට අනුගත වීම තුලින් මනස සීතලට පුරුදු කිරීමක්ද සිදුවේ. ඝර්ම කාලාපී රටවලින් මෙහි සංක්‍රමණයවූ සමහරුන්, බොහෝවිට තරුණයින්, තමන්ට සුද්දන් තරමටම සීතල දරා ගැනීමට හැකියාවක් ඇතැයි පෙන්වීමට උත්සාහ කරනු දැක ගත හැකිය. මේ අය බොහෝවිට තමන් කලින් ජීවත්ව සිටි රටේදී තමන්ට ග්‍රීෂ්මය දරාගැනීමට ඇති හැකියාව පෙන්වන්නට උත්සාහ නොකෙරුවා විය හැකිය. මෙහිදී ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ මානසික හෝ ශරීරික ශක්තියක් විදහා පෑමට වඩා තමන් කෙතරම් සුදු සංස්කෘතියට අනුගත වී ඇත්දැයි පෙන්වීමට යැයි මම සිතමි. නමුත් චක්‍රීයව ඒ අනුගතවීම තුලින්ද ඔවුන් සීතල දරාගැනීමට තම මනස පුහුණු කරගනිතැයි සිතිය හැකිය. කෙසේ නමුත් කලක් සීතලේ ජීවත්වීමට පුරුදු වුනු අයෙකුට ග්‍රීෂ්මය දරා ගැනීමට ඇති හැකියාව ක්‍ෂයවෙන බව පුද්ගලිකව මගේද අත්දැකීමවේ. ඉන් පෙන්නුම් කෙරෙන්නේ වේදනාව දැනීම/දරාගැනීම සංස්කෘතියට සාපේක්‍ෂ බව පමණක් නොවේ සංස්කෘතිය සියලු වේදනාවලට එක සමානව බලපාන්නේද නැති බවය. පසුගිය දිනක සිනමා ශාලවක් තුලවූ සුලු ගැටුමක් නිසා ඉවසුම් නැතිව අයෙකු මරා දැමූ සුදු මිනිසාට සීතල ඉවසන්නට බැරියැයි සිතිය නොහැකිය.

කුඩා දරුවන් සම්බන්ධ කරගෙන කල එක්තරා පර්යේක්‍ෂණයක ප්‍රතිඵල තුලින් බටහිර විද්වතුන් නිගමණය කලේ කථාබස් කිරීමට හැකිවීමටත් පෙර සිටම වෙනස් සංස්කෘතිවල (දෙමව්පියන්ගේ) දරුවන් වේදනාවට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් ආකාරයට බවය. මෙහිදී දරුවන්ගේ ජාන ඔවුන්ගේ සංස්කෘතියට වඩා වැදගත්යැයි කෙනෙකුට කිව හැකි වුනද සමාන ජාන ඇති වැඩිහිටි නිවුන්නුන් යොදාගෙන කල පර්යේෂණයකදී හෙලිවී ඇත්තේ වෙනස් සංස්කෘතික අභාශ ලද නිවුන්නුන් වෙනස් ආකාරයට වේදනා අත්දකින බවය. 

සංස්කෘතිය වේදනාවට (දැනීමට/දරාගැනීමට) බලපාන ආකාරය ගැන ප්‍රවාදයක් බටහිර විදුවතුන්ට නැත. නමුත් අඩුතරමින් ඒ දෙක අතර සම්බන්ධයක් ඇතිබව ඔවුහු දනිති. මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගිනි පෑගීම ගැන කල පර්යේෂණය බටහිර සම්මතයට අනුව වුවද තුට්ටු දෙකේ පර්යේෂණයක් වෙන්නේ අනිත් අඩුපාඩු අතර බටහිර දැනුමේ ඇති වේදනාව සහ සංස්කෘතිය අතර ඇති සම්බන්ධයද ඔහු විසින් සැලකීමට නොගත් බැවිනි.

යම් වේදනාවක් නොදැනීමට නම් මනස ඉන් ගලවා ගත යුතුයැයි බුදු දහමට අනුව අපට සිතිය හැකිය. නමුත් පෘතග්ජන අපට මනස වේදනා ගෙනදෙන ධර්මයෙන් ගලවා ගැනීමට හැකියාවක් නැතිවීමට පුලුවන. එවිට වේදනාව අවම කර ගන්නේ කෙසේද? වඩා වැදගත් එවිට මනසේ පැවැත්ම කෙබඳුද? එහිදී මනස ගැලෙන්නේත් නැතිව නොගැලෙන්නේත් නැතිව පවතී යැයි මම අදහස් කරමි. උදාහරණයක් වශයෙන් අපේ අතක පයක තුවාලයක් ඇතැයි සිතන්න. අපි බොහෝවිට ඒ ගැන සිතමින් ඇලී ගැලී සිටින්නේ නැත. නමුත් තුවාලය කොහේ හෝ වැදුනොත් වේදනාකාරී වන බව අපි දනිමු. ඒ නිසා අපි නොසිතාම තුවාලය එහේ මෙහේ නොවැදී තබාගැනීමට වග බලාගන්නවා නේද? ඒ කියන්නේ තුවාලයක් ඇතිබව අපි අමතක කරනවාද නොවේ. එසේනම් ඉහත නොසිතා සිටීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? ඉන් අදහස් වන්නේ මනස ගැලී පවතිනවා වෙනුවට ගැලෙන්නේත් නැතිව නොගැලෙන්නේත් නැතිව පවත්වා ගැනීමයැයි මම අදහස් කරමි.

මේ අනුව අපට කිව හැක්කේ වේදනාව සංස්කෘතියට සාපේක්‍ෂ වන්නේ මනස යම් ධර්මයකින් ගලවා ගැනීමට හෝ ගැලෙන්නේත් නැතිව නොගැලෙන්නේත් නැතිව පවත්වා ගැනීමට සංස්කෘතියෙන් පුහුණුවක් ලබාදෙන නිසා බවය. එපමණක් නොවේ විවිධාකාර වේදනා කාරක ධර්මයන් හා සංස්කෘතිය අතර ඇති සම්බන්ධය ඒ ඒ සංස්කෘතියට අනුවද වෙනස්ය. නමුත් පොදුවේ ගත්කල මනස සියලු ධර්මයින්ගෙන් ගලවා ගැනීමට හෝ ගැලෙන්නේත් නැතිව නොගැලෙන්නේත් නැතිව පවත්වා ගැනීමට පුරුදු කරන සංස්කෘතියක් සියලු ආකාර වේදනාව දරාගැනීමට පුරුදු කරතැයි සිතිය හැකිය. එවැනි සංස්කෘතියක මිනිසුන් සීතල හෝ ග්‍රීෂ්මය පමණක් නොවේ අනුන්ගේ මතද එකසේ ඉවසීමට හැකියාවක් ලබා ගනිති. නමුත් පොදුවේ ගැලීමට පුරුදු කරන බටහිර සංස්කෘතියෙන් කෙරෙන්නේ මනසට විවිධාකාරයෙන් පැවතිය හැකි හැකියාව මොට කිරීමය. ඒ අනුව ඉවසීමේ හැකියාව නැති කිරීමය. සංස්කෘතික බලපෑම් නිසා මනස් වෙනස්වීමට එතරම් කල් ගත වෙන්නේ නැත. බටහිර සංස්කෘතික ආධිපත්‍යය පිලිගනිමින් අපි අපේ මනසේ තිබි දියුණු බවක් සීඝ්‍රයෙන් ඛාදනයවීමට ඉඩ හරිමින් සිටින්නෙමු.

2 comments:

  1. හන්දිපත් අමාරුවකට, කොන්දේ කැක්කුමකට දරුවෙකුට කියල වාත තෙල් ටිකක් ගාල අතගාගෙන 'දිරල පොළොවට පස්වෙන සරිරේනේ...ඉතින් මොකෝ!' කියල තමන්ගෙ කටයුතු කරගත්ත අපේ මිනිස්සු බටහිර සංස්කෘතික ප්‍රවාහය ඇතුලෙ අනාත වෙලා ලෝකයේ වැඩියෙන්ම Analgesics ගිලින රටවල් අතරට පත්වී තිබීමත් මේ සන්දර්භය ඇතුලෙම පැහැදිලි කරගන්න පුළුවන් නේද?

    ReplyDelete