Friday, January 17, 2014

ඔලුබක්කෝ

අපි කුඩා කාලයේ පාසලේදී ගණක (කැල්කියුලේටර) භාවිතා කිරීම තහනම් විය. එවකට තිබුනේ ඉතා සරල උපකරණ නමුත් ගණක භාවිතයෙන් මොළේ මොට්ට වෙනවා වැනි අදහසක් එකල ගුරුවරුන් හා දෙමව්පියන් අතර පැවතිනි. අත් අකුරු අවලස්සන වන නිසා බෝල් පොයින්ට් පෑන වෙනුවට තීන්ත පෑන නිර්දේශවූයේද මෙවැනි පසුබිමකය. අද නම් ගැජට්වලට දරුවන්ටත් කලින් ඇදී යන්නේ පියවරුන්ය. නමුත් මීට දශක තුන හතරකට කලින් අපේ සමාජය තාක්‍ෂණික මෙවලම් භාවිතය කෙරෙහි යම් අවස්ථිතියක් දක්වන ලදී.

තාක්‍ෂණික මෙවලම් භාවිතය හා මිනිස් මනසේ විකාශය අතර සම්බන්ධයක් තිබේද? බටහිර මානව විද්‍යාඥයින්ට අනුව මුල් මානවයින්ගේ සිට අද දක්වා මොළයේ පරිමාව ක්‍රමයෙන් වර්ධණය වෙමින් පැමිණ ඇතිමුත් යම් කිසි හේතුවක් නිසා පසුගිය වසර දස දහස තිස්සේ එහි පරිමාව ක්‍රමයෙන් ක්‍ෂය වෙමින් පවතී. කෘෂිකාර්මික සමාජවල අඩු පෝෂණ තත්ව ඊට හේතු ලෙස දැක්වේ. නමුත්, (මෙය තමා වැදගත්), පසුගිය වසර සියයේ පමණ සිට කාර්මීකරණයවූ සමාජවල මිනිසුන්ගේ මොළයේ පරිමාව නැවතත් වැඩි වෙමින් පවතී. සුලු මතබේද තිබුනත් බටහිර විද්‍යාඥයින් පොදුවේ පිලිගන්නා කාරණයක් නම් මොලේ ප්‍රමාණය වැඩිවීම බුද්ධිමත් බවේ සංකේතයක් බවය. විද්‍යා නවකථාවල පිටසක්වල ජීවීන් ඔලුබක්කන්සේ නිරූපනය කෙරෙන්නේ ඒ නිසා විය යුතුය. බටහිර මානව විද්‍යඥයින් මෙසේ නිගමණය කරන්නේ මොළයේ පරිමාව සහ ඊනියා බුද්ධි පරීක්‍ෂණ වල ප්‍රතිඵල සැසඳීමෙන් මිස බුද්ධිය පිළිබඳ යම් මූල ධර්මවූ ප්‍රවාදයක් හරහා නොවේ. මොළයේ නියුරෝන සංඛ්‍යාව හා බුද්ධි විභාගවල ප්‍රතිඵල වලින්ද එවැනි නිගමණවලට එළඹෙනමුත් එහිදීද කෙරෙන්නේ දත්ත සංසන්දනය කිරීමක් පමණි. දැන් අවශ්‍යනම් කෙනෙකුට ආත්මාර්ථකාමීත්වය හෝ තන්හාව හෝ මමත්වය හෝ මනින විභාගයක් කර එහි ප්‍රතිඵල සහ මොලයේ පරිමාව සංසන්දනය කලහොත් කුමන නිගමණයකට එළඹීමට හැකිවෙයිද? එහිදී කාර්මීකරණයවූ සමාජ ගැන කුමක් කිව හැකිවෙයිද? පැහැදිලිවම එවැනි පර්යේෂණ බටහිර විද්‍යාඥයින් අතින් සිදුනොවේ. මානව විද්‍යාව යනු බටහිරුන් ඊනියා මානවයින් දකින ආකාරය මිස අපි දකින ආකාරය නොවේ.

පෘතග්ජනයින්ට නොගැලී සිටීමට නොහැකිය නමුත් ඔවුන්ට සහජයෙන්ම තමන්ගේ මනස යම් යම් දෑහි ගැලී නොගැලී තබා ගැනීමට හැකියාවක් ඇතැයි මම විශ්වාස කරමි. එමෙන්ම බටහිර සංස්කෘතිය ඒ හැකියාව සාපේක්‍ෂ වශයෙන් මොට කරවතැයිද මම සිතමි. ගැලී නොගැලී සිටීම මනස ලිහිල්ව තබා ගැනීමක් ලෙස සැලකිය හැකිය. ඊට සාපේක්‍ෂව මනස යම් දෙයක ගැලීම මනස සිරවීමක් ලෙස දැකිය හැකිය. යම් දෙයක් පිළිබඳව තදබල තන්හාවක් ඇතිවීමෙදීත් යම් ගණිත ගැටලුවක් දෙස තියුණුව කල්පණා කිරීමේත් සිදුවෙන්නේ මනසේ සිරවීමක් නැත්නම් ගැලීමක් යැයි මම සිතමි. ඊට සාපේක්‍ෂව මනස ලිහිල්ව තබාගැනීම තුල නැත්නම් ගැලී නොගැලී පවත්වා ගැනීම තුල අයෙකුට මනසේ සංවේදී භාවය වැඩි කර ගත හැකි යයි මම සිතමි. උදාහරණයක් වශයෙන් ඉතා තියුණු කල්පණාවක සිටින අයෙකුට අවට පරිසරය පිළිබඳ සංවේදීබව අඩු බව අපි අත්දැකීමෙන් දනිමු. ගැලී සිටීමට ඇති හැකියාව වර්ධණය කර ගැනීමේදී ගැලී-නොගැලී සිටීමට ඇති හැකියාව මර්ධණය වේ යැයිද සිතිය හැකිය.  උදාහරණයක් වශයෙන් පිරිමින් බොහෝවිට විවිධ දේ ගැන එකවිට සංවේදී වීමට ශක්තියක් නැතිවුනද ගැහැණුන්ට විවිධ ක්‍රියාවන්හි එකවිට හිත යොමු කිරීමට හැකියාවක් ඇතැයි සැලකේ. අනිත් අතට තියුණුව කල්පනා කල යුතු වියුක්ත විශයන්ට ගැහැනුන්ට වඩා පිරිමින් දස්කම් දක්වති. ගැලීමට ඇති හැකියාව සහ ගැලී-නොගැලී සිටීමට ඇති හැකියාව අතර ප්‍රතිලෝම සම්බන්ධයක් ඇත.

බටහිර සංස්කෘතික අභාශයෙන් කෙරෙන්නේ ගැලී සිටීමට ඇති හැකියාව වර්ධණය කරමින් ගැලී-නොගැලී සිටීමට ඇති හැකියාව මර්ධණය කිරීමය. බටහිර සංස්කෘතිය තුල මමත්වය වර්ධණය වීම, භෞතික දේට ගැලීම, පුද්ගලයා සමාජයෙන් වෙන්වීම මෙන්ම වියුක්ත චින්තනයේ හා තාක්‍ෂණයේ වර්ධනයද මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය. මේ කරුණු ගැලීම නිසා ඇතිවෙන ප්‍රතිඵල මෙන්ම ගැලීමට හේතුවන බවද කිව යුතුය. සමහර තාක්‍ෂණික මෙවලම් නිසා මනසේ සංවේදීබව මොට කරතැයි සිතිය නොහැකිද?

අද බටහිර වෛද්‍ය විද්‍යාව මුලු මනින්ම පාහේ තාක්‍ෂණයට යටවී ඇත. මීට වසර පණහකට පමණ ඉහතදී බටහිර වෛද්‍යවරයෙකුට තාක්‍ෂණයේ පිහිටක් එතරම් නොමැතිව වුවද රෝගියෙකුගේ රෝග ලක්‍ෂණ හඳුනා ගැනීමට හැකියාවක් තිබුනිද මේ වනවිට බටහිර මූල ධර්ම විද්‍යාවන්ගේ (ගණිත, භෞතික) ආධිපත්‍ය නිසාම බටහිර වෛද්‍යවරුන්ට තාක්‍ෂණයේ සරණ යෑමට සිදුවී ඇත. එනම් තමන්ට රෝගියා පිළිබඳව හැඟෙන දේට වඩා රෝගියා පිළිබඳව තාක්‍ෂණිකව ලබා ගත් යම් තොරතුරක් ඉහලින් තැබීමට අද බටහිර වෛද්‍යවරුන්ටද සිදුවී ඇත. බටහිර තාක්‍ෂණය පමණක් නොවේ ප්‍රායෝගිකව රක්‍ෂණ නීති හා ඊනියා අචාර ධර්මද ඔවුන්ව එහි සිර කරවයි. මේ ආකාරයට ඉදිරියේදී බිහිවෙන බටහිර වෛද්‍යවරුන් හුදු තාක්‍ෂණවේදීන්වීම වැලකිය නොහැකිය. එහිදී ඔවුන්ට පෙර සිටි බටහිර වෛද්‍යවරුන්ට තිබුනු යම් සංවේදී බවක් නැත්නම් ඉවක් අහිමිවෙනු ඇත. ඉව නැතිවීම බුද්ධිය ක්‍ෂයවීමක් නොවේද?

පැහැදිලිවම බටහිර සංස්කෘතිය එය බුද්ධිය ක්‍ෂයවීමක් ලෙස නොසලකනු ඇත. ඔවුන්ගේ බුද්ධි පරීක්‍ෂණවලට ඒ බව හසු නොවෙනු ඇත. නමුත් රෝගියෙකුගේ රෝග ලක්‍ෂණ හඳුනා ගැනීමට යම් තරමක දියුණු මනසක් තිබිය යුතුය (උදාඃ නාඩි වෛද්‍ය විද්‍යාව). බටහිර තාක්‍ෂණයෙන් ඒ හැකියාව මොට කරවයි. බටහිර වෛද්‍යවරු ඉව නැති කරගනිමින් තාක්‍ෂණයට ගැලෙන අතර රෝගීහු බෙහෙත් වලට ගැලෙති. ඇමරිකාවේ කොන්දේ අමාරු කාරයන් බහුලය. වේදනාව ඉවසාගත නොහැකි සමහරු වේදනා නාශක බෙහෙත්වලටම ඇබ්බැහි වෙති. අවසාන ප්‍රතිකර්මය ශල්‍ය කර්මයය. එයද හරි නොගිය වෘතියෙන් වෛද්‍යවරයෙකුවූ කොන්දේ අමාරු කාරයෙකු ගුවන් විදුලි සාකච්ඡාවකදී පැවසුවේ තමන් ශල්‍ය කර්මයක් කල බවත් එහිදී වේදනාව තවත් වැඩි වුනු බවත් වේදනා නැති කිරීමට නම් දෙවෙනි ශල්‍ය කර්මයක්ද සිදු කල යුතු බව ඔහුගේ වෛද්‍යවරුන් පැවසූ බවය. ඒ නොතකා ඔහු සම්ප්‍රදායික (බටහිර) නොවෙන ප්‍රතිකර්ම සොයා ගොස් ඇත. එහිදී ඔහුට උපදෙස් ලැබී ඇත්තේ කොන්දේ වේදනාව පිළිබඳ තමන් සිත තුල පවතින දැඩි ගැලීම අත හරින ලෙසය. මාස දෙක තුනකින් ඔහුගේ වේදනාව තුරන්වී ඇත.

අපිට ඉවක් ඇත්තේ මනසින් ගැලී-නොගැලී සිටීමට හැකියාවක් ඇති නිසාය.  බටහිර සංස්කෘතිය අප තල්ලු කරන්නේ ඉව නැති කරගෙන ගැලී සිටීමටය. ගැලී සිටීමට දැඩි ශක්තියක් අවශ්‍යය. නිතර බර උසුලන ශක්තිමත් මිනිසුන්ගේ මාංශ පේශීන් ප්‍රමාණයෙන් විශාලය. නිතර ගැලී සිටින්නන්ගේ මොළයේ ප්‍රමාණය විශාලවීමද ඊට අනුරූපද? එසේනම් මොළයේ පරිමාව ගැලී සිටීමට ඇති හැකියාවේ මිම්මක් නේද? එසේනම් එය මනසේ දියුණු බවේ සාධාරණ මිම්මක් විය හැකිද?

4 comments:

  1. රෝගියකුගේ රෝගය හඳුනාගන්න සමහර වෛද්‍යවරු අසමත්වන බව සත්‍යය. නමුත්, වෛද්‍යවරයා මුදල්මත ගිජුව දෝලනය වෙනවානම් එය ඊට වඩා අභාග්‍යයකි.

    ReplyDelete
  2. ඔබගේ ලිපියේ සමස්තයට අදාළ නැතිවුනත් ඔබගේ ලිපියේ එක තැනක සඳහන් දෙයක් පිළිබඳ මටත් මෙවැනි අදහසක් වේ.

    කොහොමත් පිරිමියා ගැහැණියට සාපේක්ෂව වැඩිපුර කල්පනා කිරීමත් ගැහැණිය පිරිමියාට සාපේක්ෂව වැඩිපුර සංවේදී වීමත් ඔවුන් අතර දැකිය හැකි මූලික වෙනස්කමකි. එම වෙනසට මූලික හේතුව මනසේ ගැලී සිටීම හා ගැලී නොගැලී සිටීම වියහැක. පිරිමියා (මනසට ගන්නා අරමුණු, ආරම්මන ) වරකට එක අරමුණක් මත එල්බ ඒ තුළ ගැලෙයි. නැවත වෙනත් අරමුණකට මාරු වෙයි. නමුත් ගැහැණිය වරකට අරමුණු කිහිපයකට ගැලී නොගැලී සිටියි. ඇය අරමුණු කිහිපයක් මත රැඳෙන බැවින් පිරිමියා මෙන් වෙනත් අරමුණු සොය යෑමක් නොකරයි.මේ පිරිමියාගේ එකතැන නොසිටිමේ ගුණයත්, ගැහැණියගේ එක තැන සිටීමේ ගුණයත් ලෙස මා දකියි.මේ ගැන මා ලියු කෙටි ලිපියක්ද ඇත.http://891024magekathandara.blogspot.com/2013/12/blog-post_16.html

    ReplyDelete
  3. මාතෘකාවට කෙලින්ම අදාල නොවන අදහසක් ඉදිරිපත් කල යුතුයි
    බෝල්පොයින්ට් පෑනෙන් අකුරු කැතවෙනව කියන අදහස සිංහල බාශාවට අදාල දෙයක්ද කියල සැකයි මොකද ලතින් හා අරාබි හෝඩි හදලා තියෙන්නේ පිහාටු පෑනෙන් ලියන්න පුලුවන් විදියට ඒ හොඩිවල අකුරු බෝල්පොයින්ට් පෑනට අදාල නෑ
    නමුත් සිංහල වගේ පන්හි‍ෙඳෙන් ලියන්න සැකසුනු හෝඩියකට බෝපොයින්ට් පෑන පන්හිඳට විකල්පයක්

    ReplyDelete