Thursday, January 16, 2014

වාරණ නැතුව බැහැ

බීජ පනත, ආනයනික කිරි වල වස, රජරට වකුගඩු රෝගය, හෘද පිළිකා ආදී රොගීන් බහුලවීම මේ සියලු ප්‍රශ්ණ එකිනෙකින් වෙන්වුනු ප්‍රශ්ණ නෙවෙයි. උදාහරණයක් හැටියට ජලය මාර්ගයෙන් ශරීරගත වන නිසා වකුගඩු වලට මූලික වශයෙන් බලපෑවත් ආසනික් වැනි විශ ශරීරගතවීම නිසා අසාධ්‍ය වෙන්නේ වකුගඩු පමණක් විය හැකිද? මේ විශ වෙනත් ආකාරවලට ශරීර ගත විය හැකි නම් එවිට මුලු සිරුරටම බලපෑ නොහැකිද? වෙනත් විදිහට කියනවානම් මේ එක එක ප්‍රශ්ණ වෙන වෙනම නිශ්චිතවම විසඳන්න බැහැ. ඊට අනුරූප විසඳුම් යෙදිය නොයුතුයි කිනවා නොවේ නමුත් එහෙම විසඳන්න ගියාම වැඩිම වුනොත් පුලුවන් වෙන්නේ ප්‍රශ්ණ යම්තාක් දුරකට පාලනය කර ගැනීමට හැකියාවක් විතරයි.ප්‍රශ්ණ සම්පූර්ණයෙන්ම නිශ්චිතවම විසඳන්න නම් ප්‍රශ්ණ සමස්ථයක් ලෙසද දැක විසඳුම් සෙවිය යුතුයි.

සමස්ථයක් ලෙස ගත් විට මේවා අපි අනුකරණය කරන බටහිර ජීවන ක්‍රමය පිළිබඳ ප්‍රශ්ණයක්. ඉහත සියලු ප්‍රශ්ණ බටහිර සමාජ-ආර්ථික ක්‍රමයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ නැද්ද? ඒ නිසා මේ සියලු ප්‍රශ්ණ නිශ්චිතවම විසඳන්නනම් අපි අපේ වර්තමාන ජීවන ක්‍රමයම වෙනස් කර ගන්න අවශ්‍යයි. නමුත් ඒක තනි මිනිසුන්ට කරන්න ශක්තියක් නැහැ. ඒ සඳහා  අපි සම්මුතියෙන් පනවාගත් රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වෙන බටහිර සමාජ-ආර්ථික ගති වලට එරෙහි වාරණයක් අවශ්‍යයයි. එය සාමාන්‍ය මිනිසුන්ට දරාගත හැකි අන්දමේ මහා සම්මතයෙන් පණවාගත් වාරණයක් විය යුතුයි. සාමාන්‍ය මිනිසුන් කැමැත්ත ඇති නමුත් සමාජයේ රැල්ලට යාමට සිදුවීම නිසා අකමැත්තෙන් වුනත් පිලිපදින බටහිර සමාජ-ආර්ථික ගති අපිට කොතෙකුත් තියෙනවා නේද? ඒවා හඳුනාගෙන ඊට වාරණ පනවා ගැනීමට නොහැකිද? පාන් කිරි සීනි වැනි ආහාර අපි ආහාරයට ගන්නා තරමටම අවශ්‍යද? ඊනියා ජාත්‍යාන්තර පාසල්වල දරුවන් පුරුදූ කෙරන සංස්කෘතියට අපේ දෙමව්පියන් කැමතිද? රූපවාහිණියේ යන සියලු වැඩසටහන් අපි දරුවන්ට සුදුසුයි කියා සිතනවාද? එය බැලීම හෝ නොබැලීම පුද්ගලික අයිතියක් පිලිබඳ ප්‍රශ්ණයක් යැයි කීම ප්‍රෝඩවාක්. කැමති දෙයක් කෑමට පුද්ගල අයිතීන් තිබිලත් බටහිර රටවල ස්ථුලභාවය හා සබැඳි රෝග බහුල වීම වලකා ගන්නට හැකිවී නැහැ. සමාජයත් එක්ක එකට ජීවත්වෙන්ට හදන අප සමාජයේ බහුතරයකට තනි තනියෙන් තමන්ගේ ගමන යන්ට අවශ්‍යත් නැහැ හැකියාවකුත් නැහැ. පුද්ගල අයිතීන් වැදගත් වෙන්නේ තනි තනියෙන් ඉන්න සමාජයකට. පුද්ගල අයිතීන් දිනාගෙන සමාජයෙන් වෙන් වෙනවාට වඩා හොඳයි වාරණ පනවාගෙන හරි සමාජයත් එක්ක එකට ඉන්න එක. බටහිර සමාජයට වී ඇති දේ දැක්කම මටනම් එහෙමයි හිතෙන්නෙ.

අනුරාධපුර යුගයේ මහා විහාරිකයින් විසින් හෙළ අටුවා ගිනි තැබීම මම ප්‍රතිපත්තියක් වශයෙන් හෙලා දකිනවා. (ප්‍රතිපත්තියක් වශයෙන් මම අටුවා ගිනි තැබීම හෙලා දකින්නේ අද දැනුම නිර්මාණය කිරීමට ඇති විරෝධයද හෙලා දකින විදිහට. ) ඉන් හෙළයින්ගේ දැනුම් නිර්මාණයට තිතක් තැබුණා. නමුත් මහාවිහාරයේ දායකත්වයෙන් ඉන් පසුව අවුරුදු දහස් ගණනක් බුදු දහම රැකුන බව අපි දන්නවා. ඒ නිසා අද අපි එකඟවුනත් නොවුනත් එදා මහාවිහාරිකයින් කලේ එක්තරා ආකාරයක වාරණයක් පැනවීමයි. චීනුන් පහලොස්වන සියවසේදි චෙන් හී සෙනවියාගේ දේශාටන නවත්වල, ඔහුගේ ගමන් විස්තර, ඔහු භාවිතාකල නැව් හදපු තාක්‍ෂණය පිලිබඳ තොරතුරු සියල්ල ගිනි තබල චීන ඉතිහාස පොතෙන් මකා දැමීමෙන් කලේ වාරණයක්. එදා හිටපු කොණ්ඩෙ බැඳපු චීනුන්ට උවමණාවුනේ නැහැ ඊට සියවස් ගාණකට පස්සේ ඒ සඳහා තාක්‍ෂණය දියුනු කරගත් යුරෝපීයන් මෙන් මංකොල්ලකෑම මත පදනම්වුනු ආර්ථිකයක් හෝ රාජ්‍යයක් තනා ගන්න. වාරණයෙන් ඔවුන් කලේ මතු චීන පරම්පරාද ඒ මඟ නොඇර තබා ගැනීමට වග බලා ගැනීමයි. ඔවුන්ට එවැනි වාරණයක් පනවා ගැනීමට තරම් සංස්කෘතික ශක්තියක් තිබුණා. අපිට අද සමාජයක් වශයෙන් බටහිර සමාජ-ආර්ථික ක්‍රමයට එරෙහිව වාරණ පනවා ගන්ට තරම් ශක්තියක් තියෙනවාද?

No comments:

Post a Comment