Friday, January 10, 2014

ඉව සහ පැවැත්ම

බටහිර ජීව විද්‍යාඥයින් හා භෞතික විද්‍යාඥයින් බහුතරයක් විශ්වාස කරන්නේ මොළය සිතන බවය. එනම් මොළයේ ස්නායුවල ක්‍රියාකාරිත්වය පද්ධතියක් ලෙස අධ්‍යනය කිරීම තුලින් සිතීමේ ක්‍රියාවලිය තේරුම්ගත හැකි යැයි ඔවුහු විශ්වාස කරති. නමුත් දාර්ශණික නැඹුරුවක් ඇති ඉන් සුලු පිරිසක් මොළය සිතතැයි පිලිගැනීමට මැලි වෙති. ඔවුන්ට අනුව මනසත් භෞතික ශරීරයත් අතර සෘජු සම්බන්ධයක් නැත. ඔවුන්ට ඒ පිළිබඳ සාධාරණ සැකයක් ඇති කර ගැනීමට බටහිර විද්‍යාව තුලම සිදු කෙරී ඇති පරීක්‍ෂණ හේතුවී ඇත. උදාහරණයක් වශයෙන් යම් වස්තුවක් (දෘශ්‍ය උත්තේජකයක්) ඈතක සිට වඳුරකු වෙත ගෙන එන විට ඔහුගේ මොළයේ අක්‍ෂි ස්නායුවල ක්‍රියාකාරිත්වය විද්‍යුත් සංඥා ආධාරයෙන් මැන ගැනීමට හැකිය. දැන් මේ සතා අතක් දිගු කරගෙන සිටිය හොත් ඒ අත ඇති දිසාවට (නමුත් අතේ නොගැටී) අර කලින් කී වස්තුවම ගෙන ගියහොත් එවිට අක්‍ෂි ස්නායුවල ක්‍රියාකාරිත්වය ඊට සමාන්තර නමුත් අතට එල්ල නොවෙන දිසාවකට වස්තුව රැගෙන යන අවස්ථාවක අක්‍ෂි ස්නායුවල ක්‍රියාකාරිත්වයට වඩා වැඩි බව නිරීක්‍ෂණය කරන ලදී. බටහිර විද්‍යාඥයෝ එසේ නොකීවත් මෙහිදී වඳුරාගේ මනස ප්‍රතිචාර දක්වන්නේ හරියට උගේ අත අග ඇසක් තිබුනා ලෙසටය. මේ පරීක්‍ෂණයත් කෘතිම අතේ මායාව (Rubber Hand Illusion) නමින් හැඳින්වෙන පරික්‍ෂණ පෙලත් වෙනත් පරීක්‍ෂණ ප්‍රතිඵල වලිනුත් පෙනී ගොස් ඇත්තේ සිරුරට ආසන්නව නමුත් ඉන් බාහිරව ඇති යම් අවකාශයක් තුල (peripersonal space) සිදුවෙන ඉන්ද්‍රීය ගෝචර උත්තේජන වලට පවා සතුන් සංවේදී වන බවය. මා සිතන අන්දමට මේ පරීක්‍ෂණ වලින් කරුණු දෙකක් පෙන්නුම් කරයි. එකක් අප විසින් භෞතිකව වෙන් කර ගන්නා සිරුර “මම” යැයි හඳුන්වා ගැනීම නිවැරදි නොවෙන බවය. අනික මනස මොළයට බද්ධවී තිබේයැයි ගැනීම වැරදි බවය. දෙවැන්නෙන් පළමු වැන්නද ගම්‍ය වේ.

බුදු දහම තරම් මනස ගැන කථා කරන දහමක් හෝ ඊනියා විද්‍යාවක් තවත් නැති වුවද සිංහල බෞද්ධ සංස්කෘතිය තුල මනස සහ සිරුරේ සම්බන්ධකමට එතරම් වැදගත් කමක් දී ඇතැයි නො පෙනේ. කෙනෙකු හදවතෙන් ආදරය කරන අතර තව කෙනෙකු බොක්කෙන්ද ආදරය කරයි. නමුත් මිනිසුන්ට ඇතැයි සැලකිය හැකි ඉවක් ගැන කථා කරද්දී මනසේ පැවැත්ම ගැන කථා නොකර බැරිය. මිනිස් ඉව නොයෙක් ආකාරයෙන් තේරුම් ගත හැකිය. උදාහරණයක් වශයෙන් හඬන දරුවකුගේ දුක අම්මා කෙනෙකු දැන ගන්නේ කෙසේද? එහිදී වැදගත් වන්නේ හඬන දරුවාගේ රූපයත් හඬන ශබ්දයත් දරුවන්ගේ හැඬීම පිළිබඳ අම්මා විසින් කලින් දැන ගෙන සිටි යමක් හෝ පෙර අත්දැකීමක් පමණද? එය එලෙස නම් අපිට දරු දුක දැනෙන රොබෝ වරුන් සැදිය හැකි වනු ඇත. නමුත් එහි ඊට වඩා යමක් ඇතැයි මම සිතමි. ඒ අම්මාවරුන්ට ඇති ඉවය. එහිදී අම්මාගේ මනස හා දරුවාගේ මනස අතර සම්බන්ධයක් ඇතිවේ යැයි උපකල්පණය කල හැකිය. එසේ නම් ඒ සම්බන්ධය සිදුවිය හැක්කේ කුමණ ආකාරයකටද?

ඉන්ද්‍රීය ගෝචර යමක් පිළිබඳව මනස දැන ගන්නේ ඒ හා ගැටීමෙනි. උදාහරණයක් වශයෙන් බටහිර විද්‍යාවට අනුව මලකින් පරාවර්තනය වී එන ආලෝකය නෙත ගැටීම තුලින් ආරම්භවන ක්‍රියාවලියක් හරහා මනස මල ගැන සංකල්පයක් නිර්මාණය කර ගනී. දළ වශයෙන් ගත්විට මෙහිදී මලත් මනසත් එකක් නොව දෙකකි. එනම් මෙහිදී අපි මනස මලෙන් වෙන් කර ගෙන ඇත. ආලෝක තරංග අවශ්‍ය වන්නේ මේ දෙක සම්බන්ධ කර ගැනීමටය. තරංග වලට පැවැත්මක් ඇත්තේ කාලයේ හා අවකාශයේය. ඒ නිසා මනස හා මල කාලය හා අවකාශයෙන් වෙන් කෙරී ඇතැයි කිව හැකිය. එමෙන්ම මනස හා මල වෙන් කිරීම තුලින් කාලය හා අවකාශය නිර්මාණයවී ඇතැයිද චක්‍රීය වශයෙන් අපට කිව හැකිය. මනසින් වෙන් කෙරුනු දෙයක් ගැන මනස දැන ගැනීමේදී කාලය හා අවකාශය වැදගත් වෙන බව පැහැදිලිය. මේ මනස යමක් දැන ගන්නා එක් මානයකි. එය වෙන් කෙරුනු මානය ලෙස හඳුන්වමු.

ඊට ප්‍රතිවිරුද්ධ මානයක්ද තිබිය හැකිය. එහිදී මනස ඒ දැන ගන්නා දෙය හා සමපාත වේ යැයි එසේත් නැත්නම් මනසත් ඒ දෙයත් (මල කියමු, එවිට මලත් මනසත් වෙන් කෙරෙන්නේ නැත) එකම වේ යැයි සිතිය හැකිය. එය බැඳුනු මානය ලෙස හඳුන්වමු. වෙන් නොකිරීමේ හේතුවෙන් කාලය හා අවකාශයද නිර්මාණය වෙන්නේ නැත. ඒ නිසා බැඳුනු මානයෙන් මනස යමක් දැන ගන්නාවිට කාලය හෝ අවකාශය අදාල නොවේ. මරණාසන්න අත්දැකීම් ඇති අය පවසන ආකාරයට එහිදී ඔවුන්ට අවකාශයේ නොයෙක් තැන සැරි සරන්නට හැකි වී ඇති අතර කාලයේද  වර්තමානය මෙන්ම අතීතයද අත් දැකීමට හැකි වී ඇත. කාලය හා අවකාශය බල පැවැත් නොවුනු බැවින් මරණාසන්න මනසද ඒ අත්දැකීම් විඳ ගන්නට ඇත්තේ බැඳුනු මානයෙන් යැයි සිතිය හැකිය. මෙහිදී තව වැදගත් දෙයක් නම් මනස යම් දෙයක් සමඟ එක් වීමට නම් සිරුරෙන් යම් ප්‍රමාණයකට හෝ නිදහස් වීමට හැකි විය යුතු යැයි අපට සිතිය හැකිය. මරණාසන්න අත්දැකීමේදී මනස සිරුරෙන් එසේ වෙනවා යැයි සඳහන් වේ.

බොහෝ විට අපි මතකය ගැන සිතන්නේ පරිගණක දත්ත ගබඩාවක් ගැන සිතන ආකාරයටය. එනම් මතකය ඇවිස්සීම චිත්තයක ගබඩාවී ඇති යම් කරුණක් සෙවීමක් වැනි යැයි අපි සිතමු. එය එසේ නම් අපි චිත්තයෙන් චිත්තයට ඒ මතක ගබඩාව රැගෙන යා යුතුය. නමුත් මා සිතන අන්දමට අතීත ස්මරණය සිදුවෙන්නේ බැඳුනු මානයෙනි. එනම් අතීතයේ යම් සිදුවීමක් වර්තමාන මනස සමඟ සමපාත කරවීම තුලිනි. දැන් මෙහිදී වර්තමානය හා අතීතය යැයි බෙදීමක් කරන්නේ වර්තමාන මනසය. නමුත් බැඳුනු මානයෙන් යම් දෙයක් විමසීමේදී කාලයක් අවකාශයක් නැත. එනම් මතකය ඇවිස්සීමේදී මනස දකින්නේ අතීතයකින් වර්තමානයකින් හෝ අවකාශයකින් වෙන් නොවුනු දැනුම් ගොඩකි. මෙහිදීද බැඳුනු මානය අත් කර ගැනීමට නම් යම් ආකාරයකට මනස සිරුරෙන් මුදවා ගත යුතු යැයි සිතිය හැකිය. පෙර අත් බව ගැන කිව හැකි වන්නේ මෙසේ බැඳුනු මානය අත් කර ගැනීමට හැකි අයට විය හැකිය.

බැඳුනු මානයත් වෙන් කෙරුනු මානයත් මනස යම් යම් දේ දැන ගන්නා ආකාර දෙකකි (මෙය අනුමාන ප්‍රත්‍යක්‍ෂ අකාරයට කෙරෙන වර්ගීකරණයෙන් වෙනස් බව සැලකිය යුතුය). බැඳුනු මානයේදී මනසත් ඒ දෙයත් එකම වෙන අතර වෙන් කෙරුනු මානයේදී මනසත් ඒ දෙයත් වෙන්ව පවතී. මේ මාන එකිනෙකට ප්‍රතිවිරුද්ධ වියුක්ත අන්ත දෙකක් බව පැහැදිලිය. සතුන්ගේ මෙන්ම මිනිසුන්ගේද මනස පවතිනු ඇත්තේ මේ දෙකේම අතර මැදි අවස්ථාවක යැයි සිතිය හැකිය. එනම් බැඳී වෙන්වීය. බැඳී වෙන්ව පවතින නිසා අපිට මලක් අලෝක තරංග ආධාරයෙන්ද කෙනෙකුගේ දුක ඔහුගේ මනස සමඟ එක්වීම තුලින්ද දැක ගත හැකිය. අපිට ඉවක් ඇත්තේ මනසේ මේ ආකාර පැවැත්ම නිසාය. බටහිර විද්‍යා පරීක්‍ෂණවලින් පෙන්වා දෙන ආකාරයට සිරුරට ආසන්නව නමුත් ඉන් බාහිරව ඇති යම් අවකාශයක් තුල සිදුවෙන ඉන්ද්‍රීය ගෝචර උත්තේජන වලට අපි සංවේදී වන්නේ අපේ මනස මෙසේ බැඳී වෙන්වී පවතින නිසා යැයි කිව හැකිය.

බටහිරුන් ලෝකය දැන ගන්නේ වෙන් කිරීම තුලිනි. ඔවුන් පවතින්නේ ඔවුන් දැනගත් ආකාරයටය. ඒ නිසා මිනිසුන්ට බැඳුනු මානයෙන් දැකීමට ඇති හැකියාව නැත්නම් මිනිසුන්ගේ ඉව බටහිර සංස්කෘතිය විසින් බාල කරවයි. ශිෂ්‍යයෙකු ලෙස මා ඇමරිකාවට පැමිණි මුල් දිනවලදී එහි කලින් පැමිනි සිටි ශ්‍රී ලාංකික සිසුන් ගෙන් මට ලැබුනු අවවාදයක් නම් නුඹට වැඩ පුලුවන් බව නොපෙන්නුවොත් සුද්දන් නුඹට වැඩ බැරි යැයි සිතනු ඇති බවය. වෙනත් වචනයකින් කිවහොත් කෙනෙකුට වැඩ පුලුවන්ද බැරිද යන්න දැන ගැනීමට සුද්දන්ට ඉවක් නැත යන්නය. මෙහිදී බල පවත්නේ සංස්කෘතියේ වෙනස යැයි කීමට හැකි වුවද එය එසේ කියා ඉවත දැමිය නොහැක්කේ ඉව සංස්කෘතියේ ප්‍රතිඵලයක් බැවිනි. පෙනෙන්ට වැඩ කරන හැටි පුරුදු වන්නට මට වසර දහයකටත් වැඩි කාලයක් ගියේය. මගේ සමකාලීන ශ්‍රී ලාංකිකයින්ටද එසේ වන්නට ඇත. ඒ කාලය තුල මගේ යම් ඉවක් තිබිනි නම් එයද ඊට සමාන්තරව ක්‍ෂයවී යන්නට ඇති. නමුත් අද කාලේ තරණයින්ට වැඩ පුලුවන් බව පෙන්වන්නට ඊට වඩා හැකියාවක් ඇතැයි මම සිතමි. මන්ද එසේ පෙන්වීමට හැකිවීමම කුසලතාවක් වශයෙන් ගණන් ගැනෙන බැවිනි. අවාසනාවකට අපි සුද්දන්ගේ නොහැකියාව මකන්නට ගොස් අපි අපේ හැකියාවන් මොට කර ගනිමින් සිටින්නෙමු. ඉවක් ඇත්තේ දියුණු මනසකටය. බටහිර සංස්කෘතියට එක කල නොහැකි වුනත් ඉව නැති නොකර ගෙන ලෞකික දියුණුවක් ලබා ගත හැකි විය යුතුය.

No comments:

Post a Comment