Friday, January 3, 2014

බලු වෙන සමාජය 2

පුද්ගලයා සමාජයෙන් වෙන්කෙරීම හෝ නොකෙරීම හෝ ගැන කථා කරන විට පුද්ගල-සමාජ සම්බන්ධයටත් යටින් ඇති යම් මනසේ ස්වභාවයක් ඊට මුල් විය හැකි යැයි පසුගිය සතියේ මම යෝජනා කලෙමි. ඒ පිළිබඳව තවදුරටත් විමසමු. අද අපි බොහෝ දෙනෙක් දුරකථනයෙන්, අන්තර් ජාලයෙන් හෝ කෙටි ඉලෙක්ට්‍රොනික ලියැවිලි මඟින් අදහස් හුවමාරු කර ගැනීමට දනිමු. බටහිර විද්‍යාව කියා දෙන ආකාරයට මේ පණිවිඩ සම්ප්‍රේශණය වෙන්නේ විද්‍යුත් චුම්භක තරංග මඟින් නිසා මේ සම්බන්ධකම් තරංගාස්‍රයෙන් පවත්වන සම්බන්ධකම් ලෙස පොදුවේ හැඳින්විය හැකිය. මුහුණට මුහුණදී කෙරෙන සංවාදයකට සාපේක්‍ෂව තරංගාස්‍රයෙන් කෙරෙන සන්නිවේදන හරහා නොයෙකුත් විස්කම් කල හැකිය. පණිවිඩ ලබන්නාත් පණිවිඩ යවන්නාත් කාලයේත් අවකාශයෙත් එකම තැනක සිටීම අත්‍යාවශ්‍ය නැත.  අවශ්‍යනම් එක විට පුද්ගලයින් ලක්‍ෂසංඛ්‍යාත ගණනක් ඇමතිය හැකිය. ඒ එක් පුද්ගලයෙකුවත් පෞද්ගලිකව හඳුනාගෙන ඉඳීමටද අවශ්‍ය නැත. නමුත් තරංගාස්‍රයෙන් කෙරෙන සන්නිවේදනවල අඩුපාඩු ඇත. ඉලෙක්ට්‍රොනික ලියැවිලි වලින් බොහෝවිට තමන්ට කියන්ට අවශ්‍ය දෙය එලෙසම කියා ගන්ටවත් පණිවිඩය ලබන්නාට එය ඒ ආකාරයටම ඒත්තු ගන්ටවත් නොහැකිය. සමහරවිට අපි ඒ අඩුව පිරිමැහීමට ලියවිල්ල අවසානයේ සංකේතයක් දමන්නෙමු. නමුත් එයද ප්‍රමාණවත් නොවෙන අවස්ථා තිබිය හැකිය. අන්තර් ජාලයේ කෙරෙන සංවාද තුල නොයෙකුත් ගැටුම් හට ගැනීමට එයද හේතුවකි.

මුහුණට මුහුණදී කෙරෙන සංවාද ඊට වඩා වෙනස්ය. එහිදී සංවාදයේ යෙදෙන දෙදෙනාම එකම කාලයේත් එකම අවකාශයේත් සිටිති. කාලය හා පරිසරය එකමවීම තුලින් සංවාදයට බලපෑ හැකි බාහිර කරුණු සමානත්වයකට පත්කරනවා විය හැකිය. නමුත් ඊට වඩා වැදගත් ඔවුනොවුන්ට තම තමන්ගේ මුහුණේ අඟ පසඟේ ඉරියව් අත්දැකීමට හැකිවීමය. වචනයෙන් නොකියැවෙන දහසක් දේ එමඟින් කියැවෙන බව අපි දනිමු. ආදරවන්තයෝ එය හොඳින් දනිති. ඒවගේම එසේ වචනයෙන් නොකියවෙන දේ තේරුම් ගැනීමට අපට යම් හැකියාවක්ද ඇති බව මෙහිදී අපට වැදගත්ය. මේ අනුව බලන කල මුහුණට මුහුණදී කෙරෙන සංවාදවලට සාපේක්‍ෂව තරංගාස්‍රයෙන් කෙරෙන සන්නිවේදන ඉතා රළු ප්‍රාථමික තත්වයේ සන්නිවේදන ලෙස සැලකිය හැකිය.

දැන් මෙහෙම හිතමු. අනාගතයේ යම් අවස්ථාවකදී මිනිසා තරංගාස්‍රයෙන් කෙරෙන සන්නිවේදන වලට පමණක් සීමා වුනා යැයි සිතමු. එනම් මුහුණට මුහුණදී කෙරෙන සංවාදයකදී පවා ඔවුන්ට කථා කල හැකිවන්නේ ඉලෙක්ට්‍රොනික ලියැවිලි ලියැවෙන අකාරයට යැයි සිතමු. එමෙන්ම ඔවුන්ට මුහුණෙන් අඟපසඟින් අදහස් දැක්වීමට නොහැකි අතර එවැනි ඉරියව් අවබෝධ කරගැනීමටද හැකියාවක් නැතැයි සිතමු. එසේ වුවහොත් ඒ අනාගත මිනිසුන් අතර සිදුවෙන සන්නිවේදන කෙතරම් ප්‍රාථමික වෙයිද? අනාගතයේ මිනිසා එවැනි තත්වයකට පත්වුවහොත් ඒ මිනිසාට සාපේක්‍ෂව අද ජීවත්වන මිනිසාට යම් ආකාරයක දියුණු මනසක් ඇතැයි සැලකීම සාධාරණ නොවේද? මනසේ මේ හැකියාව අපි ඉවයැයි හඳුන්වමු. එසේනම් තරංගාස්‍රයෙන් පමණක් සම්බන්ධකම් පැවැත්වෙන ආන්තික සමාජයකට ඉවක් නැතැයි කිව හැකිය. එය එක් කොණකි. අනිත් කොණ කෙබඳු විය හැකිද?

මරණාසන්න අත්දැකීම යනු පුද්ගලයෙකු මරණයට පත්ව ඉතා සුලු කාලයකින් පසුව නැවත පණ ලැබීමය. බටහිර විද්‍යාවට අනුව එහිදී මොළයේ ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටවේ. මරණාසන්න අත්දැකීම් ලත් උදවිය පවසන ආකාරයට ඒ අත්දැකීම කාලයෙනුත් අවකාශයෙනුත් වෙන් කෙරී නැත. එනම් ඒ අවස්ථාවේදී ඔවුන්ට අතීතයේ මෙන්ම වර්තමානයේත් සැරි සැරීමට හැකිවී ඇති අතර අවකාශයේද නොයෙක් තැන් වල සිටීමට හැකිවී ඇත. සාමාන්‍ය ජීවිතයේදී අන්ධව සිටි අයට මරණාසන්න අවස්ථාවෙදී සියලු දේ “දැක” ගැනීමටද හැකිවී ඇත. දැන් මෙහිදී ඒ පුද්ගලයාගේ මනස යම් යම් දේ දැනගන්නවා ඇත්තේ කෙසේද? පැහැදිලිවම එහිදී තරංගාස්‍රයෙන් සිදුවෙන සංනිවේදනයක් ඇතැයි සිතිය නොහැකිය මන්ද කාලය හා අවකාශය යන සංකල්ප එහිදී මතු නොවෙන බැවිනි. ඒ නිසා එහි සිදුවන්නේ මනසේ සෘජු අත්දැකීමක් යැයි සිතිය හැකිය. දැන් අපි මෙහෙම සිතමු. මනසින් සෘජුව ගනුදෙනු කල හැකි මිනිස් (හෝ මිනිස් නොවෙන) සමාජයක් තිබිනැයි සිතමු. ඒ සමාජයට තිබිය හැකි ඉව කෙබඳු විය හැකිද? පැහැදිලිවම අර මුලින් කී තරංගාස්‍රයෙන් සම්බන්ධකම් පවත්වන සමාජයට සාපේක්‍ෂව මනසින් සෘජුවම සම්බන්ධකම් පවත්වන සමාජයේ ඉව ඇත්තේ අනිත් අන්තයේය.

කෙසේ වෙතත් මේ අන්ත දෙකම හුදු හිතලුය ඒ ගැන අපට වැඩි යමක් කිව නොහැකිය. නමුත් වර්තමාන ලාංකීය සමාජය මේ අන්ත දෙක අතර යම් තැනක පවතින්නේ යැයි සිතිය හැකිය. මා සිතන ආකාරයට බටහිර සමාජය තරංගාස්‍රයෙන් ගනුදෙනු කෙරනෙ අන්තයට අපට වඩා කිට්ටු වෙන් සිටී.  ඔවුන්ට ඇත්තේ අපට වඩා අඩු ඉවකි. අපිද කෙමෙන් ඒ අන්තය කරා එලඹෙමින් සිටින්නෙමු. තරංගාස්‍රයෙන් පමණක් ගනුදෙනු කරන ආන්තික සමාජයක මිනිසුන් ජීවත් වෙන්නේ තනි තනිවය, සමාජයෙන් වෙන්වීය. පුද්ගලයා සමාජයෙන් වෙන්වී සිටීම ඉව නැතිවීමට හේතුවක් මෙන්ම ඉව නැතිවීමේ ප්‍රතිඵලයක්ද වේ.

අපි දැන සිටියත් නැතත් අපට ඉවක් ඇත්තේ අපිට මනසින් යම් ප්‍රමාණයකට සෙසු ලෝකය සමඟ ගනුදෙනු කිරීමට හැකියාවක් තිබීම නිසාය. මුලින් සඳහන් කල අන්ත දෙක අතර යම් අවස්ථාවක අප පවතී යැයි ගැනීමෙන් ඒ බව ගම්‍යවේ.  ඉව නැතිවීම ප්‍රශණයකි. අපිට සාමූහිකව බාහිර ලෝකය සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධ කමක් පවත්වමින් ජීවත් විය හැක්කේ ඉවක් ඇති නිසාය. ඉවක් නැතිව තරංගාස්‍රයෙන් පමණක් ගනුදෙනු කරනවිට සාමූහික වැඩක් කර ගැනීමට අති විශාල පරිස්‍රමයක් දැරිය යුතුය. ඉලෙක්ට්‍රොනික ලියවිලි (text messages) වලින් පමණක් ගනුදෙනු කරන පිරිසක් සමඟ මළ ගෙදරක වැඩ කටයුතු කර ගන්ට ගියානම් කොහොමට තියේද? සුනාමියේදී අපේ මිනිසුන් කාගේවත් මෙහෙයවීමක් නැතිව අසරණයියන්ට සරණවන්ට ඉදිරිපත් වුනේ ඒ ඉව තිබුන නිසාවෙනි. ඇමෙරිකාවේ කැතරීනා සුලි සුලඟින් විපතට පත්වූවන්ට රජය මැදිහත්වී සරණ වෙන තෙක් එරට වැසියන්ට කල හැකි වැඩි යමක් නොතිබිනි. ඒ ඔවුන්ට ඉවක් නොතිබුනු නිසා විය හැකිය.  අතීතයේදී  අපිට අදටත් වඩා ඉවක් තිබිනිද? හෙළයින්ට බුදු දහම අවශෝෂණය කර ගැනීමට ඒ ඉව ඉවහල් විනිද?


1 comment:

  1. ඔබ පෙන්වා දෙන මේ කාරණය අගය කරමි. මානව සම්බන්දතා යනු මොනවාදැයි නොදන්නා සමාජයක් බවට අප පෙරළෙමින් සිටින්නෙමු. උපන්දිනයකට ඊමේල් එකක් ෆේස් බුක් පෝස්ට් එකකින් පමණක් සෑහීමකට පත්වන සමාජයක්. තමන්ට ඇති දේ උළුප්පා පෙන්වන්න උත්සුක වෙන අය පමණක්ම දකිමින් සිටින්නෙමු. සන්නිවේදනයේ දියුණුව මානව සම්බන්දතා වල වර්ධනයක් ඇති නොකරන්නේ එහෙයිනි

    ReplyDelete