Friday, January 31, 2014

Memories of Terror



First there were gunshots, then a loud thunder, then the walls caved in and she fell to the ground. 

When she regained consciousness there were scores of dead people around her, all were her friends, co-workers, some with whom she had been speaking just a minute ago. She was bleeding from cuts to her face and body, scars which would remain for the rest of her life to remind her of that fateful day. She heard people screaming, some in fear and some in pain. The air was filled with smoke. She walked aimlessly towards the light where she was picked up by those who came to help.  

When my mother told me, days later, how she survived the Central Bank bombing, I could still sense the terror in her voice.  Those emotional scars too stayed with her for the rest of her life. She believed that it was due to our “pin balaya” that she survived. I wasn’t sure if she meant it gifted her life or if it gifted us our mother, probably she meant both. 

I had long forgotten which day of the year it happened. But to this day I vividly remember the moment, where I was and what I was doing, when I heard the news. I was fortunate enough to hear the good and the bad news together, but my family members weren’t so fortunate. They had to frantically search for her in the hospital, in the morgue among the dead, in the fragmented body parts, and back in the hospital before they could find her alive. We were of course a lucky family that day. 

Those who survived such terrorist attacks are still with us today. Many who had lost their loved ones to terror are also alive. Therefore we could say that the nation’s memory of terror is still alive. But thirty years from today those who will have the the power to change things in Sri Lanka will not have a living memory of the Central Bank bombing or any other terrorist attack, they would only have read about it.  What do we, as the keepers of this live memory want our future generations to know about the terrorist attacks that happened in this country?

Personally I want them to know that no matter how brutal it had been and no matter what the western governments and the Tamils living abroad would say, terrorism we experienced was not the outcome of an ethnic conflict in this country, but a mechanization of a wish to divide and rule. Ordinary Sinhalas had no animosity against the Tamils, their religions or their way of life and that all we wanted was to live as one nation in an independent country. 

The survival of Lanka matha will depend on the “pin balaya” of its children. But Sinahalas and Tamils must not reduce the memories of the past to facts and candle light vigils as not even the dead will benefit from such activities. Instead we should make sure that future generations know why it happened because in thirty years time, if we are still fighting against UN resolutions, economic sanctions, drone attacks and what not, our sons and daughters need to know exactly why their wish to remain in an undivided country is justified.

Wednesday, January 29, 2014

කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබඳ විද්‍යාත්මක හෙලිදරව්ව

වෛද්‍ය චන්න ජයසුමණ සහ කැලිෆෝනියාවේ රාජ්‍ය චිශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලක ඇතුළු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් රසායනික පොහොර කිවුල් ජලය සහ වකුගඩු රෝගය අතර ඇති රේඛීය සම්බන්ධතාව බටහිර විද්‍යාත්මකව හෙලිදරව් කර ඇතිබව විදුසර සඟරාවේ පළවී ඇත.

http://www.vidusara.com/2014/01/29/feature1.html


වකුගඩු රෝගයට රසායනික පොහොර සහ කිවුල් ජලයේ ඇති සම්බන්ධය බටහිර රසායන විද්‍යාවට අනුව පැහැදිලි කිරීමට හැකිවීමෙන් නැගෙන එක් ප්‍රශ්ණයක් නම් නාථ දෙවියන් හට මේ කිසි පරීක්‍ෂණයක් නොකර ඒ බව පැවසීමට හැකිවූයේ කෙසේද යන්නය. ඒ සම්බන්ධතාව දැකගෙන ඇත්තේ සමස්ථය දැකිය හැකි දියුණුවූ මනසක් නාථ දෙවියන්ට තිබුනු බැවින් යැයි අපට සිතිය හැකිය. පැහැදිලිවම බටහිර විද්‍යාවට ඒ සම්බන්ධතාවය සොයාගත නොහැකිවිනි. ඉහත සඳහන් පරීක්‍ෂණවලින්ද සිදුකර ඇත්තේ ඒ සම්බන්ධතාව සොයා ගැනීම නොවෙන බව අප අමතක කල නොකල යුතුය. විශ්ලේශණයෙන් තොරව සමස්ථය දැකීමට බටහිර විද්‍යාවට ක්‍රමයක් නැත. බටහිර විද්‍යාව මෙහිදී කර තිබෙන්නේ නාථ දෙවියන්ගේ කථාව අත්වැලක් ලෙස ගෙන වකුගඩු රෝගය, රසායනික පොහොර සහ කිවුල් ජලය අතර බටහිර දැනුම තුල සංගත කථාවක් ගෙතීමය. නමුත් වකුගඩු රෝගය, රසායනික පොහොර සහ කිවුල් ජලය අතර සම්බන්ධයක් ඇති බව කලින් දැන නොසිටියා නම් බොහෝවිට බටහිර විද්‍යාවට මේ කථාව ගොතනු බැරිවනු ඇත.

සමස්ථය නොදැක විශ්ලේශණයෙන් පමණක් සම්බන්ධකම් ගොඩනඟද්දී (රේඛීය) එක් සම්බන්ධකමක් වෙන්කරගෙන එය මූලික යැයි හඳුනාගැනීමට විශ්ලේශණය තුලින්ම ඉඩක් නොලැබේ. ඒ සඳහා එක් එක් හේතු කාරක වෙන් කරගෙන ප්‍රායෝගිකව පරීක්‍ෂණ කරමින් යම් එක් හේතුවක් සංඛ්‍යානමය ක්‍රම භාවිතයෙන් මූලිකයැයි හඳුනාගැනීමට සිදුවේ. මෙහිදී නිගමණය කෙරෙන්නේ ඒ රේඛීය හේතු-ඵල සම්බන්ධය අනික්වාට වඩා වෙසසිවීමට යම් සම්භාවිතාවක් ඇති බවය. ජීවීන් පිළිබඳව ප්‍රායෝගිකව පරීක්‍ෂණ තවදුරටත් අවුල් සහගත වන්නේ වෙනස් හේතු සහ ඵල එකිනෙකින් සම්පූර්ණයෙන්ම ස්වාධීන කරගැනීමට ඇති නොහැකියාවය. බටහිර විද්‍යාඥයින්ම වකුගඩු ප්‍රශ්ණයට දී ඇති නොයෙකුත් හේතු මඟින් පෙනෙන්නේ එය නොවේද? යම් හෙයකින් අනිකුත් බටහිර විද්‍යාඥයන් ඉදිරිපත් කරන සියලු සාධක සැලකිල්ලට ගෙන පුලුල් පරීක්‍ෂණයක් මේ කණ්ඩායම විසින්ද කෙරුවේ නම් නිච්ඡියටම රෝගයට හේතුව මේ යැයි කීමට නොහැකිවීමට බොහෝවිට ඉඩ ඇත. එය මේ කණ්ඩායමේ අසමත් කමක් නොව බටහිර විද්‍යාවේ ඇති අසමත් කමය.

බටහිර සංස්කෘතිය තුල මේ ආකාරයට නොයෙකුත් ප්‍රවාද ඉදිරිපත්වී ඇතිවිට යම් එක් ප්‍රවාදයක් පිළිගැන්වීමට සලස්වන්නේ දේශපාලණ බලය යෙදීමෙනි. අවාසනාවකට ආසනික් පිළිබඳ බටහිර විද්‍යා ප්‍රවාදය ශ්‍රී ලාංකික උගතුන්ට පිලිගැන්වීමට දේශපාලණ බලය යෙදීමට අවශ්‍ය වී ඇත්තේ ඒ නිසයි. නමුත් බටහිර දැනුමින් හිස උදුම්මා ගත් අයට නාථ දෙවියන් පිලිගැන්වීමට වඩා දේශපාලණ බලය යොදා පිලිගැන්වීමට සැලස්වීම පහසුවනු ඇත. තමන් නූගතුන් යැයි සලකන උදවිය පාගාගෙන සිටියද බොහෝ උගත්තු බලයටද ධනයටද නැමෙති.

නොයෙකුත් බාධක මධ්‍යයේ මේ කාර්යය ඉදිරියටම ගෙන යන්නට වෛද්‍ය චන්න ජයසුමණ ඇතුළු පිරිසට ධෛර්ය හා ශක්තිය ලැබේවා යැයි අපි පතමු.

Monday, January 27, 2014

අඩුවෙන් කන බත් සහ බත් අඩුවෙන් කෑම

ජනගහණය වැඩිවන නිසා ආහාර හිඟයක් ඇතිවෙන බවද ඊට විසඳුමක් වශයෙන් නිශ්පාදනය වැඩි කර ගත යුතු බවද අද සාමාන්‍යයෙන් අවිවාදයෙන් පිලිගැනෙන කරුණකි. නමුත් මේ ප්‍රශ්ණ සහ විසඳුම් දෙකම අපි අවිවාදයෙන් පිලිගත යුතු නොවේ. අද ඇතැයි කියන ආහාර හිඟබව අතීතයට වඩා ජනගහණය වැඩිවීම නිසා පමණක් ඇතිවුනු ප්‍රශ්ණයක්ද නැත්නම් ආහාර බෙදාගැනීම තුල ඇති විශමතාව නිසා ඇතිවුන ප්‍රශ්ණයක්ද එසේත් නැත්නම් පරිභෝජනය හා නිශ්පාදන චක්‍රය එකිනෙක කැවීම (එකක් අනික නිසා වැඩි වීම) තුල ඇතිවුනු ප්‍රශ්ණයක්ද? මේ එක් එක් හේතුවලින් ප්‍රශ්ණයට ලැබෙන දායකත්වය කොපමණද? පාරම්පරික ගොවිතැන සහ වෙදකම ගැන කථාවෙන සන්දර්භය තුල මේ ගැන විමසුමට ලක්කල යුතුය.

මේ ගැන කීමට සාක්‍ෂි නැතත් අපි අතීතයේත් මෙතරම්ම බත් කෑවේ නැතැයි මට සිතේ. අද අපි වේලකට බෙදා ගන්නා තරම් බත් පතක් අපේ මුතුන් මිත්තන්ද ආහාරයට ගත්තේ නැතුවා විය හැකි නේද? බත් පමණක් නොවේ පොදුවේ අපි අද සියලු කෑම පමණට වඩා ආහාරයට ගන්නේයැයි මම සිතමි.  පොදුවේ වැඩියෙන් ආහාරයට ගැනීම දිව පිණවීමට ඇබ්බැහි වීම නිසා ඇතිවුනු පුරුද්දක් විය යුතුය. අද අපි සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා ප්‍රමාණයට වඩා අඩුවෙන් ආහාරයට ගෙන නිරෝගීව ජීවත්විය නොහැකිද? අද මෙන් දිව පිණවීමට ඇබ්බැහි නොවුනු අපේ මුතුන් මිත්තන් මීට වඩා අඩුවෙන් බත් ආහාරයට ගෙන නමුත් සුවයෙන් සිටියා විය නොහැකිද? එසේ වූයේ නම් ඔවුන්ට එදා ජනගහණය අනුපාතයට අනුව සාපේක්‍ෂ වශයෙන් අඩුවෙන් වී නිශ්පාදනය කර පිරිමසා ගැනීමට හැකිවන්නට ඇත.

කුස පිරීම සහ හිත පිරීම අතර සම්බන්ධයක් ඇති බව අපි අත්දැකීමෙන් දනිමු. සමහර කෑම මදක් කෑ පමණින්ම කුසද හිතද පිරෙනමුත් සමහර කෑම කොතෙක් කෑවත් නොකෑවා වැනි නේද? අද නිශ්පාදනය කෙරෙන සහල්වල ඇති යම්කිසි විශේෂත්වයක් නිසා ඉන් ලැබෙන බත් වැඩි වැඩියෙන් අනුභව කිරීමට අපේ මනස පෙළඹෙනවා විය හැකිද? වෙන ආකාරයකට පවසනවා නම් කෑවා කියා හිතට දැනෙන්නට නම් අද අපට ඇති බත් වැඩියෙන් කන්ට ඕනෑ වෙනවා විය හැකිද? මෙය සත්‍යයක්දැයි මම නොදනිමි නමුත් එය සොයා බැලිය හැකිය. එය සත්‍යයක් නම් නව තාක්‍ෂණික කෘෂිකර්මයෙන් කෙරෙන්නේ නිශ්පාදනය වැඩිකිරීම හරහා පරිභෝජනය වැඩි කිරීමකි. අද අපි කන බත්වල එවැනි ගතියක් ඇත්නම් මේ ගතිය ලැබෙන්නේ අද භාවිතා කරන වී මඟින්ද නැත්නම් සහල් නිශ්පාදන ක්‍රමවේදයෙන්ද නැත්නම් ඒ දෙකෙන්මදැයිද සොයා බැලිය හැකිය. අනිත් අතට අතීතයේ තිබූ වී වර්ග සහ සහල් නිශ්පාදනය කෙරුන විධියෙන් ලැබුනු බත්වල එවැනි දුර් ගුණයක් නොතිබුනා නම් එදා ඔවුන් ස්වභාවයෙන්ම අදට වඩා අඩුවෙන් බත් කෑවා විය හැකිද? වෙන ආකාරයකට පවසනවා නම් එදා තිබුනු සහල් වල බත් ඩිංඟක් කෑවිට කුස මෙන්ම හිතද පිරුණා විය නොහැකිද?

අඩුවෙන් බත් කනවිට අඩුවෙන් නිශ්පාදනය කල හැකිය. එසේනම් එදා සාම්ප්‍රදායික ක්‍රම අනුගමණය කරමින් කෘෂි රසායනික නොදා වැවූ වී වල ඵලදාව අඩුවීම ඔවුන්ට ප්‍රශ්ණයක් නොවුනා විය හැකියි නේද?

පමණට වඩා කෑම හොඳවිය නොහැකිය. නව තාක්‍ෂණික කෘෂිකර්මයෙන් ලැබෙන බත් ආහාරයට ගත යුතු ප්‍රමාණය වැඩිනම් එය සෞඛ්‍යයට හිතකර නොවේ. තාක්‍ෂණික කෘෂිකර්මයම විසකර බවද අපි දනිමු. ආහාරයට ගත යුතු ප්‍රමාණය වැඩිනම් ඵලදාව වැඩිවීමෙන් ඇති ලාභයද අඩුය. ඒ නිසා පාරම්පරික වී, ඵලදාව අඩුමුත් කෘෂිරසායන භාවිතා නොකරන ගොවිතැන සහ ඇති පමණට කෑමට පුරුදුවීමත් යන සමස්ථ ක්‍රියාවලිය ඊනියා ආහාර හිඟයට මෙන්ම ශරීර සුවතාවටද සුදුසු එක් පිළියමක් නොවේද?

Friday, January 24, 2014

වේදනාව සහ සංස්කෘතිය

මේ දිනවල ඇමරිකාවේ උතුරුකරයේ දරුණු සීත කාලගුණයක් පවතී. මෑත කාලයේදී ශීත සෘතුව මෙතරම් සීතලවූ බවක් මට මතක නැත. ඝර්ම කාලාපී රටවලින් මෙහි සංක්‍රමණයවූ මා වැන්නන්ට සීතල දරා ගැනීමට එතරම් පහසු නොවුනත් ඇංග්ලෝ සැකසන් හෝ ස්කැන්ඩිනේවියානු සම්භවයක් ඇති සුද්දන්ට එය කජ්ජක් නොවේ. දැනීමත් දරාගැනීමත් වෙන් කල හැකි යැයි මම නොසිතමි. සීතල දැනීමට හා දරාගැනීමට හැකිවීම පමණක් නොවේ පොදුවේ වේදනාව දැනීම/දරා ගැනීම ඒ ඒ මිනිසුන්ගේ සංස්කෘතියට අනුව වෙනස්වන බව මගේ හැඟීමය. වේදනාව හට ගැනනෙන්නේ මනසේය ඒ නිසා අවසානයේ වැදගත් වන්නේ මනස හා සංස්කෘතිය අතර ඇති සම්බන්ධයය.

සංස්කෘතියේ ආභාශයෙන් යමෙකුට සීතල යම් තරමකට දරා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය. සීතලට ගැලපෙන ආකාරයට හිස් වැසුම් කබා පාවහන් පාවිච්චි කිරීමට දැන ගැනීම සංස්කෘතික ආභාශයේ වැදගත් පැත්තකි. නමුත් සංස්කෘතියට අනුගත වීම තුලින් මනස සීතලට පුරුදු කිරීමක්ද සිදුවේ. ඝර්ම කාලාපී රටවලින් මෙහි සංක්‍රමණයවූ සමහරුන්, බොහෝවිට තරුණයින්, තමන්ට සුද්දන් තරමටම සීතල දරා ගැනීමට හැකියාවක් ඇතැයි පෙන්වීමට උත්සාහ කරනු දැක ගත හැකිය. මේ අය බොහෝවිට තමන් කලින් ජීවත්ව සිටි රටේදී තමන්ට ග්‍රීෂ්මය දරාගැනීමට ඇති හැකියාව පෙන්වන්නට උත්සාහ නොකෙරුවා විය හැකිය. මෙහිදී ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ මානසික හෝ ශරීරික ශක්තියක් විදහා පෑමට වඩා තමන් කෙතරම් සුදු සංස්කෘතියට අනුගත වී ඇත්දැයි පෙන්වීමට යැයි මම සිතමි. නමුත් චක්‍රීයව ඒ අනුගතවීම තුලින්ද ඔවුන් සීතල දරාගැනීමට තම මනස පුහුණු කරගනිතැයි සිතිය හැකිය. කෙසේ නමුත් කලක් සීතලේ ජීවත්වීමට පුරුදු වුනු අයෙකුට ග්‍රීෂ්මය දරා ගැනීමට ඇති හැකියාව ක්‍ෂයවෙන බව පුද්ගලිකව මගේද අත්දැකීමවේ. ඉන් පෙන්නුම් කෙරෙන්නේ වේදනාව දැනීම/දරාගැනීම සංස්කෘතියට සාපේක්‍ෂ බව පමණක් නොවේ සංස්කෘතිය සියලු වේදනාවලට එක සමානව බලපාන්නේද නැති බවය. පසුගිය දිනක සිනමා ශාලවක් තුලවූ සුලු ගැටුමක් නිසා ඉවසුම් නැතිව අයෙකු මරා දැමූ සුදු මිනිසාට සීතල ඉවසන්නට බැරියැයි සිතිය නොහැකිය.

කුඩා දරුවන් සම්බන්ධ කරගෙන කල එක්තරා පර්යේක්‍ෂණයක ප්‍රතිඵල තුලින් බටහිර විද්වතුන් නිගමණය කලේ කථාබස් කිරීමට හැකිවීමටත් පෙර සිටම වෙනස් සංස්කෘතිවල (දෙමව්පියන්ගේ) දරුවන් වේදනාවට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් ආකාරයට බවය. මෙහිදී දරුවන්ගේ ජාන ඔවුන්ගේ සංස්කෘතියට වඩා වැදගත්යැයි කෙනෙකුට කිව හැකි වුනද සමාන ජාන ඇති වැඩිහිටි නිවුන්නුන් යොදාගෙන කල පර්යේෂණයකදී හෙලිවී ඇත්තේ වෙනස් සංස්කෘතික අභාශ ලද නිවුන්නුන් වෙනස් ආකාරයට වේදනා අත්දකින බවය. 

සංස්කෘතිය වේදනාවට (දැනීමට/දරාගැනීමට) බලපාන ආකාරය ගැන ප්‍රවාදයක් බටහිර විදුවතුන්ට නැත. නමුත් අඩුතරමින් ඒ දෙක අතර සම්බන්ධයක් ඇතිබව ඔවුහු දනිති. මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගිනි පෑගීම ගැන කල පර්යේෂණය බටහිර සම්මතයට අනුව වුවද තුට්ටු දෙකේ පර්යේෂණයක් වෙන්නේ අනිත් අඩුපාඩු අතර බටහිර දැනුමේ ඇති වේදනාව සහ සංස්කෘතිය අතර ඇති සම්බන්ධයද ඔහු විසින් සැලකීමට නොගත් බැවිනි.

යම් වේදනාවක් නොදැනීමට නම් මනස ඉන් ගලවා ගත යුතුයැයි බුදු දහමට අනුව අපට සිතිය හැකිය. නමුත් පෘතග්ජන අපට මනස වේදනා ගෙනදෙන ධර්මයෙන් ගලවා ගැනීමට හැකියාවක් නැතිවීමට පුලුවන. එවිට වේදනාව අවම කර ගන්නේ කෙසේද? වඩා වැදගත් එවිට මනසේ පැවැත්ම කෙබඳුද? එහිදී මනස ගැලෙන්නේත් නැතිව නොගැලෙන්නේත් නැතිව පවතී යැයි මම අදහස් කරමි. උදාහරණයක් වශයෙන් අපේ අතක පයක තුවාලයක් ඇතැයි සිතන්න. අපි බොහෝවිට ඒ ගැන සිතමින් ඇලී ගැලී සිටින්නේ නැත. නමුත් තුවාලය කොහේ හෝ වැදුනොත් වේදනාකාරී වන බව අපි දනිමු. ඒ නිසා අපි නොසිතාම තුවාලය එහේ මෙහේ නොවැදී තබාගැනීමට වග බලාගන්නවා නේද? ඒ කියන්නේ තුවාලයක් ඇතිබව අපි අමතක කරනවාද නොවේ. එසේනම් ඉහත නොසිතා සිටීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? ඉන් අදහස් වන්නේ මනස ගැලී පවතිනවා වෙනුවට ගැලෙන්නේත් නැතිව නොගැලෙන්නේත් නැතිව පවත්වා ගැනීමයැයි මම අදහස් කරමි.

මේ අනුව අපට කිව හැක්කේ වේදනාව සංස්කෘතියට සාපේක්‍ෂ වන්නේ මනස යම් ධර්මයකින් ගලවා ගැනීමට හෝ ගැලෙන්නේත් නැතිව නොගැලෙන්නේත් නැතිව පවත්වා ගැනීමට සංස්කෘතියෙන් පුහුණුවක් ලබාදෙන නිසා බවය. එපමණක් නොවේ විවිධාකාර වේදනා කාරක ධර්මයන් හා සංස්කෘතිය අතර ඇති සම්බන්ධය ඒ ඒ සංස්කෘතියට අනුවද වෙනස්ය. නමුත් පොදුවේ ගත්කල මනස සියලු ධර්මයින්ගෙන් ගලවා ගැනීමට හෝ ගැලෙන්නේත් නැතිව නොගැලෙන්නේත් නැතිව පවත්වා ගැනීමට පුරුදු කරන සංස්කෘතියක් සියලු ආකාර වේදනාව දරාගැනීමට පුරුදු කරතැයි සිතිය හැකිය. එවැනි සංස්කෘතියක මිනිසුන් සීතල හෝ ග්‍රීෂ්මය පමණක් නොවේ අනුන්ගේ මතද එකසේ ඉවසීමට හැකියාවක් ලබා ගනිති. නමුත් පොදුවේ ගැලීමට පුරුදු කරන බටහිර සංස්කෘතියෙන් කෙරෙන්නේ මනසට විවිධාකාරයෙන් පැවතිය හැකි හැකියාව මොට කිරීමය. ඒ අනුව ඉවසීමේ හැකියාව නැති කිරීමය. සංස්කෘතික බලපෑම් නිසා මනස් වෙනස්වීමට එතරම් කල් ගත වෙන්නේ නැත. බටහිර සංස්කෘතික ආධිපත්‍යය පිලිගනිමින් අපි අපේ මනසේ තිබි දියුණු බවක් සීඝ්‍රයෙන් ඛාදනයවීමට ඉඩ හරිමින් සිටින්නෙමු.

Friday, January 17, 2014

ඔලුබක්කෝ

අපි කුඩා කාලයේ පාසලේදී ගණක (කැල්කියුලේටර) භාවිතා කිරීම තහනම් විය. එවකට තිබුනේ ඉතා සරල උපකරණ නමුත් ගණක භාවිතයෙන් මොළේ මොට්ට වෙනවා වැනි අදහසක් එකල ගුරුවරුන් හා දෙමව්පියන් අතර පැවතිනි. අත් අකුරු අවලස්සන වන නිසා බෝල් පොයින්ට් පෑන වෙනුවට තීන්ත පෑන නිර්දේශවූයේද මෙවැනි පසුබිමකය. අද නම් ගැජට්වලට දරුවන්ටත් කලින් ඇදී යන්නේ පියවරුන්ය. නමුත් මීට දශක තුන හතරකට කලින් අපේ සමාජය තාක්‍ෂණික මෙවලම් භාවිතය කෙරෙහි යම් අවස්ථිතියක් දක්වන ලදී.

තාක්‍ෂණික මෙවලම් භාවිතය හා මිනිස් මනසේ විකාශය අතර සම්බන්ධයක් තිබේද? බටහිර මානව විද්‍යාඥයින්ට අනුව මුල් මානවයින්ගේ සිට අද දක්වා මොළයේ පරිමාව ක්‍රමයෙන් වර්ධණය වෙමින් පැමිණ ඇතිමුත් යම් කිසි හේතුවක් නිසා පසුගිය වසර දස දහස තිස්සේ එහි පරිමාව ක්‍රමයෙන් ක්‍ෂය වෙමින් පවතී. කෘෂිකාර්මික සමාජවල අඩු පෝෂණ තත්ව ඊට හේතු ලෙස දැක්වේ. නමුත්, (මෙය තමා වැදගත්), පසුගිය වසර සියයේ පමණ සිට කාර්මීකරණයවූ සමාජවල මිනිසුන්ගේ මොළයේ පරිමාව නැවතත් වැඩි වෙමින් පවතී. සුලු මතබේද තිබුනත් බටහිර විද්‍යාඥයින් පොදුවේ පිලිගන්නා කාරණයක් නම් මොලේ ප්‍රමාණය වැඩිවීම බුද්ධිමත් බවේ සංකේතයක් බවය. විද්‍යා නවකථාවල පිටසක්වල ජීවීන් ඔලුබක්කන්සේ නිරූපනය කෙරෙන්නේ ඒ නිසා විය යුතුය. බටහිර මානව විද්‍යඥයින් මෙසේ නිගමණය කරන්නේ මොළයේ පරිමාව සහ ඊනියා බුද්ධි පරීක්‍ෂණ වල ප්‍රතිඵල සැසඳීමෙන් මිස බුද්ධිය පිළිබඳ යම් මූල ධර්මවූ ප්‍රවාදයක් හරහා නොවේ. මොළයේ නියුරෝන සංඛ්‍යාව හා බුද්ධි විභාගවල ප්‍රතිඵල වලින්ද එවැනි නිගමණවලට එළඹෙනමුත් එහිදීද කෙරෙන්නේ දත්ත සංසන්දනය කිරීමක් පමණි. දැන් අවශ්‍යනම් කෙනෙකුට ආත්මාර්ථකාමීත්වය හෝ තන්හාව හෝ මමත්වය හෝ මනින විභාගයක් කර එහි ප්‍රතිඵල සහ මොලයේ පරිමාව සංසන්දනය කලහොත් කුමන නිගමණයකට එළඹීමට හැකිවෙයිද? එහිදී කාර්මීකරණයවූ සමාජ ගැන කුමක් කිව හැකිවෙයිද? පැහැදිලිවම එවැනි පර්යේෂණ බටහිර විද්‍යාඥයින් අතින් සිදුනොවේ. මානව විද්‍යාව යනු බටහිරුන් ඊනියා මානවයින් දකින ආකාරය මිස අපි දකින ආකාරය නොවේ.

පෘතග්ජනයින්ට නොගැලී සිටීමට නොහැකිය නමුත් ඔවුන්ට සහජයෙන්ම තමන්ගේ මනස යම් යම් දෑහි ගැලී නොගැලී තබා ගැනීමට හැකියාවක් ඇතැයි මම විශ්වාස කරමි. එමෙන්ම බටහිර සංස්කෘතිය ඒ හැකියාව සාපේක්‍ෂ වශයෙන් මොට කරවතැයිද මම සිතමි. ගැලී නොගැලී සිටීම මනස ලිහිල්ව තබා ගැනීමක් ලෙස සැලකිය හැකිය. ඊට සාපේක්‍ෂව මනස යම් දෙයක ගැලීම මනස සිරවීමක් ලෙස දැකිය හැකිය. යම් දෙයක් පිළිබඳව තදබල තන්හාවක් ඇතිවීමෙදීත් යම් ගණිත ගැටලුවක් දෙස තියුණුව කල්පණා කිරීමේත් සිදුවෙන්නේ මනසේ සිරවීමක් නැත්නම් ගැලීමක් යැයි මම සිතමි. ඊට සාපේක්‍ෂව මනස ලිහිල්ව තබාගැනීම තුල නැත්නම් ගැලී නොගැලී පවත්වා ගැනීම තුල අයෙකුට මනසේ සංවේදී භාවය වැඩි කර ගත හැකි යයි මම සිතමි. උදාහරණයක් වශයෙන් ඉතා තියුණු කල්පණාවක සිටින අයෙකුට අවට පරිසරය පිළිබඳ සංවේදීබව අඩු බව අපි අත්දැකීමෙන් දනිමු. ගැලී සිටීමට ඇති හැකියාව වර්ධණය කර ගැනීමේදී ගැලී-නොගැලී සිටීමට ඇති හැකියාව මර්ධණය වේ යැයිද සිතිය හැකිය.  උදාහරණයක් වශයෙන් පිරිමින් බොහෝවිට විවිධ දේ ගැන එකවිට සංවේදී වීමට ශක්තියක් නැතිවුනද ගැහැණුන්ට විවිධ ක්‍රියාවන්හි එකවිට හිත යොමු කිරීමට හැකියාවක් ඇතැයි සැලකේ. අනිත් අතට තියුණුව කල්පනා කල යුතු වියුක්ත විශයන්ට ගැහැනුන්ට වඩා පිරිමින් දස්කම් දක්වති. ගැලීමට ඇති හැකියාව සහ ගැලී-නොගැලී සිටීමට ඇති හැකියාව අතර ප්‍රතිලෝම සම්බන්ධයක් ඇත.

බටහිර සංස්කෘතික අභාශයෙන් කෙරෙන්නේ ගැලී සිටීමට ඇති හැකියාව වර්ධණය කරමින් ගැලී-නොගැලී සිටීමට ඇති හැකියාව මර්ධණය කිරීමය. බටහිර සංස්කෘතිය තුල මමත්වය වර්ධණය වීම, භෞතික දේට ගැලීම, පුද්ගලයා සමාජයෙන් වෙන්වීම මෙන්ම වියුක්ත චින්තනයේ හා තාක්‍ෂණයේ වර්ධනයද මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය. මේ කරුණු ගැලීම නිසා ඇතිවෙන ප්‍රතිඵල මෙන්ම ගැලීමට හේතුවන බවද කිව යුතුය. සමහර තාක්‍ෂණික මෙවලම් නිසා මනසේ සංවේදීබව මොට කරතැයි සිතිය නොහැකිද?

අද බටහිර වෛද්‍ය විද්‍යාව මුලු මනින්ම පාහේ තාක්‍ෂණයට යටවී ඇත. මීට වසර පණහකට පමණ ඉහතදී බටහිර වෛද්‍යවරයෙකුට තාක්‍ෂණයේ පිහිටක් එතරම් නොමැතිව වුවද රෝගියෙකුගේ රෝග ලක්‍ෂණ හඳුනා ගැනීමට හැකියාවක් තිබුනිද මේ වනවිට බටහිර මූල ධර්ම විද්‍යාවන්ගේ (ගණිත, භෞතික) ආධිපත්‍ය නිසාම බටහිර වෛද්‍යවරුන්ට තාක්‍ෂණයේ සරණ යෑමට සිදුවී ඇත. එනම් තමන්ට රෝගියා පිළිබඳව හැඟෙන දේට වඩා රෝගියා පිළිබඳව තාක්‍ෂණිකව ලබා ගත් යම් තොරතුරක් ඉහලින් තැබීමට අද බටහිර වෛද්‍යවරුන්ටද සිදුවී ඇත. බටහිර තාක්‍ෂණය පමණක් නොවේ ප්‍රායෝගිකව රක්‍ෂණ නීති හා ඊනියා අචාර ධර්මද ඔවුන්ව එහි සිර කරවයි. මේ ආකාරයට ඉදිරියේදී බිහිවෙන බටහිර වෛද්‍යවරුන් හුදු තාක්‍ෂණවේදීන්වීම වැලකිය නොහැකිය. එහිදී ඔවුන්ට පෙර සිටි බටහිර වෛද්‍යවරුන්ට තිබුනු යම් සංවේදී බවක් නැත්නම් ඉවක් අහිමිවෙනු ඇත. ඉව නැතිවීම බුද්ධිය ක්‍ෂයවීමක් නොවේද?

පැහැදිලිවම බටහිර සංස්කෘතිය එය බුද්ධිය ක්‍ෂයවීමක් ලෙස නොසලකනු ඇත. ඔවුන්ගේ බුද්ධි පරීක්‍ෂණවලට ඒ බව හසු නොවෙනු ඇත. නමුත් රෝගියෙකුගේ රෝග ලක්‍ෂණ හඳුනා ගැනීමට යම් තරමක දියුණු මනසක් තිබිය යුතුය (උදාඃ නාඩි වෛද්‍ය විද්‍යාව). බටහිර තාක්‍ෂණයෙන් ඒ හැකියාව මොට කරවයි. බටහිර වෛද්‍යවරු ඉව නැති කරගනිමින් තාක්‍ෂණයට ගැලෙන අතර රෝගීහු බෙහෙත් වලට ගැලෙති. ඇමරිකාවේ කොන්දේ අමාරු කාරයන් බහුලය. වේදනාව ඉවසාගත නොහැකි සමහරු වේදනා නාශක බෙහෙත්වලටම ඇබ්බැහි වෙති. අවසාන ප්‍රතිකර්මය ශල්‍ය කර්මයය. එයද හරි නොගිය වෘතියෙන් වෛද්‍යවරයෙකුවූ කොන්දේ අමාරු කාරයෙකු ගුවන් විදුලි සාකච්ඡාවකදී පැවසුවේ තමන් ශල්‍ය කර්මයක් කල බවත් එහිදී වේදනාව තවත් වැඩි වුනු බවත් වේදනා නැති කිරීමට නම් දෙවෙනි ශල්‍ය කර්මයක්ද සිදු කල යුතු බව ඔහුගේ වෛද්‍යවරුන් පැවසූ බවය. ඒ නොතකා ඔහු සම්ප්‍රදායික (බටහිර) නොවෙන ප්‍රතිකර්ම සොයා ගොස් ඇත. එහිදී ඔහුට උපදෙස් ලැබී ඇත්තේ කොන්දේ වේදනාව පිළිබඳ තමන් සිත තුල පවතින දැඩි ගැලීම අත හරින ලෙසය. මාස දෙක තුනකින් ඔහුගේ වේදනාව තුරන්වී ඇත.

අපිට ඉවක් ඇත්තේ මනසින් ගැලී-නොගැලී සිටීමට හැකියාවක් ඇති නිසාය.  බටහිර සංස්කෘතිය අප තල්ලු කරන්නේ ඉව නැති කරගෙන ගැලී සිටීමටය. ගැලී සිටීමට දැඩි ශක්තියක් අවශ්‍යය. නිතර බර උසුලන ශක්තිමත් මිනිසුන්ගේ මාංශ පේශීන් ප්‍රමාණයෙන් විශාලය. නිතර ගැලී සිටින්නන්ගේ මොළයේ ප්‍රමාණය විශාලවීමද ඊට අනුරූපද? එසේනම් මොළයේ පරිමාව ගැලී සිටීමට ඇති හැකියාවේ මිම්මක් නේද? එසේනම් එය මනසේ දියුණු බවේ සාධාරණ මිම්මක් විය හැකිද?

Thursday, January 16, 2014

වාරණ නැතුව බැහැ

බීජ පනත, ආනයනික කිරි වල වස, රජරට වකුගඩු රෝගය, හෘද පිළිකා ආදී රොගීන් බහුලවීම මේ සියලු ප්‍රශ්ණ එකිනෙකින් වෙන්වුනු ප්‍රශ්ණ නෙවෙයි. උදාහරණයක් හැටියට ජලය මාර්ගයෙන් ශරීරගත වන නිසා වකුගඩු වලට මූලික වශයෙන් බලපෑවත් ආසනික් වැනි විශ ශරීරගතවීම නිසා අසාධ්‍ය වෙන්නේ වකුගඩු පමණක් විය හැකිද? මේ විශ වෙනත් ආකාරවලට ශරීර ගත විය හැකි නම් එවිට මුලු සිරුරටම බලපෑ නොහැකිද? වෙනත් විදිහට කියනවානම් මේ එක එක ප්‍රශ්ණ වෙන වෙනම නිශ්චිතවම විසඳන්න බැහැ. ඊට අනුරූප විසඳුම් යෙදිය නොයුතුයි කිනවා නොවේ නමුත් එහෙම විසඳන්න ගියාම වැඩිම වුනොත් පුලුවන් වෙන්නේ ප්‍රශ්ණ යම්තාක් දුරකට පාලනය කර ගැනීමට හැකියාවක් විතරයි.ප්‍රශ්ණ සම්පූර්ණයෙන්ම නිශ්චිතවම විසඳන්න නම් ප්‍රශ්ණ සමස්ථයක් ලෙසද දැක විසඳුම් සෙවිය යුතුයි.

සමස්ථයක් ලෙස ගත් විට මේවා අපි අනුකරණය කරන බටහිර ජීවන ක්‍රමය පිළිබඳ ප්‍රශ්ණයක්. ඉහත සියලු ප්‍රශ්ණ බටහිර සමාජ-ආර්ථික ක්‍රමයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ නැද්ද? ඒ නිසා මේ සියලු ප්‍රශ්ණ නිශ්චිතවම විසඳන්නනම් අපි අපේ වර්තමාන ජීවන ක්‍රමයම වෙනස් කර ගන්න අවශ්‍යයි. නමුත් ඒක තනි මිනිසුන්ට කරන්න ශක්තියක් නැහැ. ඒ සඳහා  අපි සම්මුතියෙන් පනවාගත් රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වෙන බටහිර සමාජ-ආර්ථික ගති වලට එරෙහි වාරණයක් අවශ්‍යයයි. එය සාමාන්‍ය මිනිසුන්ට දරාගත හැකි අන්දමේ මහා සම්මතයෙන් පණවාගත් වාරණයක් විය යුතුයි. සාමාන්‍ය මිනිසුන් කැමැත්ත ඇති නමුත් සමාජයේ රැල්ලට යාමට සිදුවීම නිසා අකමැත්තෙන් වුනත් පිලිපදින බටහිර සමාජ-ආර්ථික ගති අපිට කොතෙකුත් තියෙනවා නේද? ඒවා හඳුනාගෙන ඊට වාරණ පනවා ගැනීමට නොහැකිද? පාන් කිරි සීනි වැනි ආහාර අපි ආහාරයට ගන්නා තරමටම අවශ්‍යද? ඊනියා ජාත්‍යාන්තර පාසල්වල දරුවන් පුරුදූ කෙරන සංස්කෘතියට අපේ දෙමව්පියන් කැමතිද? රූපවාහිණියේ යන සියලු වැඩසටහන් අපි දරුවන්ට සුදුසුයි කියා සිතනවාද? එය බැලීම හෝ නොබැලීම පුද්ගලික අයිතියක් පිලිබඳ ප්‍රශ්ණයක් යැයි කීම ප්‍රෝඩවාක්. කැමති දෙයක් කෑමට පුද්ගල අයිතීන් තිබිලත් බටහිර රටවල ස්ථුලභාවය හා සබැඳි රෝග බහුල වීම වලකා ගන්නට හැකිවී නැහැ. සමාජයත් එක්ක එකට ජීවත්වෙන්ට හදන අප සමාජයේ බහුතරයකට තනි තනියෙන් තමන්ගේ ගමන යන්ට අවශ්‍යත් නැහැ හැකියාවකුත් නැහැ. පුද්ගල අයිතීන් වැදගත් වෙන්නේ තනි තනියෙන් ඉන්න සමාජයකට. පුද්ගල අයිතීන් දිනාගෙන සමාජයෙන් වෙන් වෙනවාට වඩා හොඳයි වාරණ පනවාගෙන හරි සමාජයත් එක්ක එකට ඉන්න එක. බටහිර සමාජයට වී ඇති දේ දැක්කම මටනම් එහෙමයි හිතෙන්නෙ.

අනුරාධපුර යුගයේ මහා විහාරිකයින් විසින් හෙළ අටුවා ගිනි තැබීම මම ප්‍රතිපත්තියක් වශයෙන් හෙලා දකිනවා. (ප්‍රතිපත්තියක් වශයෙන් මම අටුවා ගිනි තැබීම හෙලා දකින්නේ අද දැනුම නිර්මාණය කිරීමට ඇති විරෝධයද හෙලා දකින විදිහට. ) ඉන් හෙළයින්ගේ දැනුම් නිර්මාණයට තිතක් තැබුණා. නමුත් මහාවිහාරයේ දායකත්වයෙන් ඉන් පසුව අවුරුදු දහස් ගණනක් බුදු දහම රැකුන බව අපි දන්නවා. ඒ නිසා අද අපි එකඟවුනත් නොවුනත් එදා මහාවිහාරිකයින් කලේ එක්තරා ආකාරයක වාරණයක් පැනවීමයි. චීනුන් පහලොස්වන සියවසේදි චෙන් හී සෙනවියාගේ දේශාටන නවත්වල, ඔහුගේ ගමන් විස්තර, ඔහු භාවිතාකල නැව් හදපු තාක්‍ෂණය පිලිබඳ තොරතුරු සියල්ල ගිනි තබල චීන ඉතිහාස පොතෙන් මකා දැමීමෙන් කලේ වාරණයක්. එදා හිටපු කොණ්ඩෙ බැඳපු චීනුන්ට උවමණාවුනේ නැහැ ඊට සියවස් ගාණකට පස්සේ ඒ සඳහා තාක්‍ෂණය දියුනු කරගත් යුරෝපීයන් මෙන් මංකොල්ලකෑම මත පදනම්වුනු ආර්ථිකයක් හෝ රාජ්‍යයක් තනා ගන්න. වාරණයෙන් ඔවුන් කලේ මතු චීන පරම්පරාද ඒ මඟ නොඇර තබා ගැනීමට වග බලා ගැනීමයි. ඔවුන්ට එවැනි වාරණයක් පනවා ගැනීමට තරම් සංස්කෘතික ශක්තියක් තිබුණා. අපිට අද සමාජයක් වශයෙන් බටහිර සමාජ-ආර්ථික ක්‍රමයට එරෙහිව වාරණ පනවා ගන්ට තරම් ශක්තියක් තියෙනවාද?

Friday, January 10, 2014

ඉව සහ පැවැත්ම

බටහිර ජීව විද්‍යාඥයින් හා භෞතික විද්‍යාඥයින් බහුතරයක් විශ්වාස කරන්නේ මොළය සිතන බවය. එනම් මොළයේ ස්නායුවල ක්‍රියාකාරිත්වය පද්ධතියක් ලෙස අධ්‍යනය කිරීම තුලින් සිතීමේ ක්‍රියාවලිය තේරුම්ගත හැකි යැයි ඔවුහු විශ්වාස කරති. නමුත් දාර්ශණික නැඹුරුවක් ඇති ඉන් සුලු පිරිසක් මොළය සිතතැයි පිලිගැනීමට මැලි වෙති. ඔවුන්ට අනුව මනසත් භෞතික ශරීරයත් අතර සෘජු සම්බන්ධයක් නැත. ඔවුන්ට ඒ පිළිබඳ සාධාරණ සැකයක් ඇති කර ගැනීමට බටහිර විද්‍යාව තුලම සිදු කෙරී ඇති පරීක්‍ෂණ හේතුවී ඇත. උදාහරණයක් වශයෙන් යම් වස්තුවක් (දෘශ්‍ය උත්තේජකයක්) ඈතක සිට වඳුරකු වෙත ගෙන එන විට ඔහුගේ මොළයේ අක්‍ෂි ස්නායුවල ක්‍රියාකාරිත්වය විද්‍යුත් සංඥා ආධාරයෙන් මැන ගැනීමට හැකිය. දැන් මේ සතා අතක් දිගු කරගෙන සිටිය හොත් ඒ අත ඇති දිසාවට (නමුත් අතේ නොගැටී) අර කලින් කී වස්තුවම ගෙන ගියහොත් එවිට අක්‍ෂි ස්නායුවල ක්‍රියාකාරිත්වය ඊට සමාන්තර නමුත් අතට එල්ල නොවෙන දිසාවකට වස්තුව රැගෙන යන අවස්ථාවක අක්‍ෂි ස්නායුවල ක්‍රියාකාරිත්වයට වඩා වැඩි බව නිරීක්‍ෂණය කරන ලදී. බටහිර විද්‍යාඥයෝ එසේ නොකීවත් මෙහිදී වඳුරාගේ මනස ප්‍රතිචාර දක්වන්නේ හරියට උගේ අත අග ඇසක් තිබුනා ලෙසටය. මේ පරීක්‍ෂණයත් කෘතිම අතේ මායාව (Rubber Hand Illusion) නමින් හැඳින්වෙන පරික්‍ෂණ පෙලත් වෙනත් පරීක්‍ෂණ ප්‍රතිඵල වලිනුත් පෙනී ගොස් ඇත්තේ සිරුරට ආසන්නව නමුත් ඉන් බාහිරව ඇති යම් අවකාශයක් තුල (peripersonal space) සිදුවෙන ඉන්ද්‍රීය ගෝචර උත්තේජන වලට පවා සතුන් සංවේදී වන බවය. මා සිතන අන්දමට මේ පරීක්‍ෂණ වලින් කරුණු දෙකක් පෙන්නුම් කරයි. එකක් අප විසින් භෞතිකව වෙන් කර ගන්නා සිරුර “මම” යැයි හඳුන්වා ගැනීම නිවැරදි නොවෙන බවය. අනික මනස මොළයට බද්ධවී තිබේයැයි ගැනීම වැරදි බවය. දෙවැන්නෙන් පළමු වැන්නද ගම්‍ය වේ.

බුදු දහම තරම් මනස ගැන කථා කරන දහමක් හෝ ඊනියා විද්‍යාවක් තවත් නැති වුවද සිංහල බෞද්ධ සංස්කෘතිය තුල මනස සහ සිරුරේ සම්බන්ධකමට එතරම් වැදගත් කමක් දී ඇතැයි නො පෙනේ. කෙනෙකු හදවතෙන් ආදරය කරන අතර තව කෙනෙකු බොක්කෙන්ද ආදරය කරයි. නමුත් මිනිසුන්ට ඇතැයි සැලකිය හැකි ඉවක් ගැන කථා කරද්දී මනසේ පැවැත්ම ගැන කථා නොකර බැරිය. මිනිස් ඉව නොයෙක් ආකාරයෙන් තේරුම් ගත හැකිය. උදාහරණයක් වශයෙන් හඬන දරුවකුගේ දුක අම්මා කෙනෙකු දැන ගන්නේ කෙසේද? එහිදී වැදගත් වන්නේ හඬන දරුවාගේ රූපයත් හඬන ශබ්දයත් දරුවන්ගේ හැඬීම පිළිබඳ අම්මා විසින් කලින් දැන ගෙන සිටි යමක් හෝ පෙර අත්දැකීමක් පමණද? එය එලෙස නම් අපිට දරු දුක දැනෙන රොබෝ වරුන් සැදිය හැකි වනු ඇත. නමුත් එහි ඊට වඩා යමක් ඇතැයි මම සිතමි. ඒ අම්මාවරුන්ට ඇති ඉවය. එහිදී අම්මාගේ මනස හා දරුවාගේ මනස අතර සම්බන්ධයක් ඇතිවේ යැයි උපකල්පණය කල හැකිය. එසේ නම් ඒ සම්බන්ධය සිදුවිය හැක්කේ කුමණ ආකාරයකටද?

ඉන්ද්‍රීය ගෝචර යමක් පිළිබඳව මනස දැන ගන්නේ ඒ හා ගැටීමෙනි. උදාහරණයක් වශයෙන් බටහිර විද්‍යාවට අනුව මලකින් පරාවර්තනය වී එන ආලෝකය නෙත ගැටීම තුලින් ආරම්භවන ක්‍රියාවලියක් හරහා මනස මල ගැන සංකල්පයක් නිර්මාණය කර ගනී. දළ වශයෙන් ගත්විට මෙහිදී මලත් මනසත් එකක් නොව දෙකකි. එනම් මෙහිදී අපි මනස මලෙන් වෙන් කර ගෙන ඇත. ආලෝක තරංග අවශ්‍ය වන්නේ මේ දෙක සම්බන්ධ කර ගැනීමටය. තරංග වලට පැවැත්මක් ඇත්තේ කාලයේ හා අවකාශයේය. ඒ නිසා මනස හා මල කාලය හා අවකාශයෙන් වෙන් කෙරී ඇතැයි කිව හැකිය. එමෙන්ම මනස හා මල වෙන් කිරීම තුලින් කාලය හා අවකාශය නිර්මාණයවී ඇතැයිද චක්‍රීය වශයෙන් අපට කිව හැකිය. මනසින් වෙන් කෙරුනු දෙයක් ගැන මනස දැන ගැනීමේදී කාලය හා අවකාශය වැදගත් වෙන බව පැහැදිලිය. මේ මනස යමක් දැන ගන්නා එක් මානයකි. එය වෙන් කෙරුනු මානය ලෙස හඳුන්වමු.

ඊට ප්‍රතිවිරුද්ධ මානයක්ද තිබිය හැකිය. එහිදී මනස ඒ දැන ගන්නා දෙය හා සමපාත වේ යැයි එසේත් නැත්නම් මනසත් ඒ දෙයත් (මල කියමු, එවිට මලත් මනසත් වෙන් කෙරෙන්නේ නැත) එකම වේ යැයි සිතිය හැකිය. එය බැඳුනු මානය ලෙස හඳුන්වමු. වෙන් නොකිරීමේ හේතුවෙන් කාලය හා අවකාශයද නිර්මාණය වෙන්නේ නැත. ඒ නිසා බැඳුනු මානයෙන් මනස යමක් දැන ගන්නාවිට කාලය හෝ අවකාශය අදාල නොවේ. මරණාසන්න අත්දැකීම් ඇති අය පවසන ආකාරයට එහිදී ඔවුන්ට අවකාශයේ නොයෙක් තැන සැරි සරන්නට හැකි වී ඇති අතර කාලයේද  වර්තමානය මෙන්ම අතීතයද අත් දැකීමට හැකි වී ඇත. කාලය හා අවකාශය බල පැවැත් නොවුනු බැවින් මරණාසන්න මනසද ඒ අත්දැකීම් විඳ ගන්නට ඇත්තේ බැඳුනු මානයෙන් යැයි සිතිය හැකිය. මෙහිදී තව වැදගත් දෙයක් නම් මනස යම් දෙයක් සමඟ එක් වීමට නම් සිරුරෙන් යම් ප්‍රමාණයකට හෝ නිදහස් වීමට හැකි විය යුතු යැයි අපට සිතිය හැකිය. මරණාසන්න අත්දැකීමේදී මනස සිරුරෙන් එසේ වෙනවා යැයි සඳහන් වේ.

බොහෝ විට අපි මතකය ගැන සිතන්නේ පරිගණක දත්ත ගබඩාවක් ගැන සිතන ආකාරයටය. එනම් මතකය ඇවිස්සීම චිත්තයක ගබඩාවී ඇති යම් කරුණක් සෙවීමක් වැනි යැයි අපි සිතමු. එය එසේ නම් අපි චිත්තයෙන් චිත්තයට ඒ මතක ගබඩාව රැගෙන යා යුතුය. නමුත් මා සිතන අන්දමට අතීත ස්මරණය සිදුවෙන්නේ බැඳුනු මානයෙනි. එනම් අතීතයේ යම් සිදුවීමක් වර්තමාන මනස සමඟ සමපාත කරවීම තුලිනි. දැන් මෙහිදී වර්තමානය හා අතීතය යැයි බෙදීමක් කරන්නේ වර්තමාන මනසය. නමුත් බැඳුනු මානයෙන් යම් දෙයක් විමසීමේදී කාලයක් අවකාශයක් නැත. එනම් මතකය ඇවිස්සීමේදී මනස දකින්නේ අතීතයකින් වර්තමානයකින් හෝ අවකාශයකින් වෙන් නොවුනු දැනුම් ගොඩකි. මෙහිදීද බැඳුනු මානය අත් කර ගැනීමට නම් යම් ආකාරයකට මනස සිරුරෙන් මුදවා ගත යුතු යැයි සිතිය හැකිය. පෙර අත් බව ගැන කිව හැකි වන්නේ මෙසේ බැඳුනු මානය අත් කර ගැනීමට හැකි අයට විය හැකිය.

බැඳුනු මානයත් වෙන් කෙරුනු මානයත් මනස යම් යම් දේ දැන ගන්නා ආකාර දෙකකි (මෙය අනුමාන ප්‍රත්‍යක්‍ෂ අකාරයට කෙරෙන වර්ගීකරණයෙන් වෙනස් බව සැලකිය යුතුය). බැඳුනු මානයේදී මනසත් ඒ දෙයත් එකම වෙන අතර වෙන් කෙරුනු මානයේදී මනසත් ඒ දෙයත් වෙන්ව පවතී. මේ මාන එකිනෙකට ප්‍රතිවිරුද්ධ වියුක්ත අන්ත දෙකක් බව පැහැදිලිය. සතුන්ගේ මෙන්ම මිනිසුන්ගේද මනස පවතිනු ඇත්තේ මේ දෙකේම අතර මැදි අවස්ථාවක යැයි සිතිය හැකිය. එනම් බැඳී වෙන්වීය. බැඳී වෙන්ව පවතින නිසා අපිට මලක් අලෝක තරංග ආධාරයෙන්ද කෙනෙකුගේ දුක ඔහුගේ මනස සමඟ එක්වීම තුලින්ද දැක ගත හැකිය. අපිට ඉවක් ඇත්තේ මනසේ මේ ආකාර පැවැත්ම නිසාය. බටහිර විද්‍යා පරීක්‍ෂණවලින් පෙන්වා දෙන ආකාරයට සිරුරට ආසන්නව නමුත් ඉන් බාහිරව ඇති යම් අවකාශයක් තුල සිදුවෙන ඉන්ද්‍රීය ගෝචර උත්තේජන වලට අපි සංවේදී වන්නේ අපේ මනස මෙසේ බැඳී වෙන්වී පවතින නිසා යැයි කිව හැකිය.

බටහිරුන් ලෝකය දැන ගන්නේ වෙන් කිරීම තුලිනි. ඔවුන් පවතින්නේ ඔවුන් දැනගත් ආකාරයටය. ඒ නිසා මිනිසුන්ට බැඳුනු මානයෙන් දැකීමට ඇති හැකියාව නැත්නම් මිනිසුන්ගේ ඉව බටහිර සංස්කෘතිය විසින් බාල කරවයි. ශිෂ්‍යයෙකු ලෙස මා ඇමරිකාවට පැමිණි මුල් දිනවලදී එහි කලින් පැමිනි සිටි ශ්‍රී ලාංකික සිසුන් ගෙන් මට ලැබුනු අවවාදයක් නම් නුඹට වැඩ පුලුවන් බව නොපෙන්නුවොත් සුද්දන් නුඹට වැඩ බැරි යැයි සිතනු ඇති බවය. වෙනත් වචනයකින් කිවහොත් කෙනෙකුට වැඩ පුලුවන්ද බැරිද යන්න දැන ගැනීමට සුද්දන්ට ඉවක් නැත යන්නය. මෙහිදී බල පවත්නේ සංස්කෘතියේ වෙනස යැයි කීමට හැකි වුවද එය එසේ කියා ඉවත දැමිය නොහැක්කේ ඉව සංස්කෘතියේ ප්‍රතිඵලයක් බැවිනි. පෙනෙන්ට වැඩ කරන හැටි පුරුදු වන්නට මට වසර දහයකටත් වැඩි කාලයක් ගියේය. මගේ සමකාලීන ශ්‍රී ලාංකිකයින්ටද එසේ වන්නට ඇත. ඒ කාලය තුල මගේ යම් ඉවක් තිබිනි නම් එයද ඊට සමාන්තරව ක්‍ෂයවී යන්නට ඇති. නමුත් අද කාලේ තරණයින්ට වැඩ පුලුවන් බව පෙන්වන්නට ඊට වඩා හැකියාවක් ඇතැයි මම සිතමි. මන්ද එසේ පෙන්වීමට හැකිවීමම කුසලතාවක් වශයෙන් ගණන් ගැනෙන බැවිනි. අවාසනාවකට අපි සුද්දන්ගේ නොහැකියාව මකන්නට ගොස් අපි අපේ හැකියාවන් මොට කර ගනිමින් සිටින්නෙමු. ඉවක් ඇත්තේ දියුණු මනසකටය. බටහිර සංස්කෘතියට එක කල නොහැකි වුනත් ඉව නැති නොකර ගෙන ලෞකික දියුණුවක් ලබා ගත හැකි විය යුතුය.

Friday, January 3, 2014

බලු වෙන සමාජය 2

පුද්ගලයා සමාජයෙන් වෙන්කෙරීම හෝ නොකෙරීම හෝ ගැන කථා කරන විට පුද්ගල-සමාජ සම්බන්ධයටත් යටින් ඇති යම් මනසේ ස්වභාවයක් ඊට මුල් විය හැකි යැයි පසුගිය සතියේ මම යෝජනා කලෙමි. ඒ පිළිබඳව තවදුරටත් විමසමු. අද අපි බොහෝ දෙනෙක් දුරකථනයෙන්, අන්තර් ජාලයෙන් හෝ කෙටි ඉලෙක්ට්‍රොනික ලියැවිලි මඟින් අදහස් හුවමාරු කර ගැනීමට දනිමු. බටහිර විද්‍යාව කියා දෙන ආකාරයට මේ පණිවිඩ සම්ප්‍රේශණය වෙන්නේ විද්‍යුත් චුම්භක තරංග මඟින් නිසා මේ සම්බන්ධකම් තරංගාස්‍රයෙන් පවත්වන සම්බන්ධකම් ලෙස පොදුවේ හැඳින්විය හැකිය. මුහුණට මුහුණදී කෙරෙන සංවාදයකට සාපේක්‍ෂව තරංගාස්‍රයෙන් කෙරෙන සන්නිවේදන හරහා නොයෙකුත් විස්කම් කල හැකිය. පණිවිඩ ලබන්නාත් පණිවිඩ යවන්නාත් කාලයේත් අවකාශයෙත් එකම තැනක සිටීම අත්‍යාවශ්‍ය නැත.  අවශ්‍යනම් එක විට පුද්ගලයින් ලක්‍ෂසංඛ්‍යාත ගණනක් ඇමතිය හැකිය. ඒ එක් පුද්ගලයෙකුවත් පෞද්ගලිකව හඳුනාගෙන ඉඳීමටද අවශ්‍ය නැත. නමුත් තරංගාස්‍රයෙන් කෙරෙන සන්නිවේදනවල අඩුපාඩු ඇත. ඉලෙක්ට්‍රොනික ලියැවිලි වලින් බොහෝවිට තමන්ට කියන්ට අවශ්‍ය දෙය එලෙසම කියා ගන්ටවත් පණිවිඩය ලබන්නාට එය ඒ ආකාරයටම ඒත්තු ගන්ටවත් නොහැකිය. සමහරවිට අපි ඒ අඩුව පිරිමැහීමට ලියවිල්ල අවසානයේ සංකේතයක් දමන්නෙමු. නමුත් එයද ප්‍රමාණවත් නොවෙන අවස්ථා තිබිය හැකිය. අන්තර් ජාලයේ කෙරෙන සංවාද තුල නොයෙකුත් ගැටුම් හට ගැනීමට එයද හේතුවකි.

මුහුණට මුහුණදී කෙරෙන සංවාද ඊට වඩා වෙනස්ය. එහිදී සංවාදයේ යෙදෙන දෙදෙනාම එකම කාලයේත් එකම අවකාශයේත් සිටිති. කාලය හා පරිසරය එකමවීම තුලින් සංවාදයට බලපෑ හැකි බාහිර කරුණු සමානත්වයකට පත්කරනවා විය හැකිය. නමුත් ඊට වඩා වැදගත් ඔවුනොවුන්ට තම තමන්ගේ මුහුණේ අඟ පසඟේ ඉරියව් අත්දැකීමට හැකිවීමය. වචනයෙන් නොකියැවෙන දහසක් දේ එමඟින් කියැවෙන බව අපි දනිමු. ආදරවන්තයෝ එය හොඳින් දනිති. ඒවගේම එසේ වචනයෙන් නොකියවෙන දේ තේරුම් ගැනීමට අපට යම් හැකියාවක්ද ඇති බව මෙහිදී අපට වැදගත්ය. මේ අනුව බලන කල මුහුණට මුහුණදී කෙරෙන සංවාදවලට සාපේක්‍ෂව තරංගාස්‍රයෙන් කෙරෙන සන්නිවේදන ඉතා රළු ප්‍රාථමික තත්වයේ සන්නිවේදන ලෙස සැලකිය හැකිය.

දැන් මෙහෙම හිතමු. අනාගතයේ යම් අවස්ථාවකදී මිනිසා තරංගාස්‍රයෙන් කෙරෙන සන්නිවේදන වලට පමණක් සීමා වුනා යැයි සිතමු. එනම් මුහුණට මුහුණදී කෙරෙන සංවාදයකදී පවා ඔවුන්ට කථා කල හැකිවන්නේ ඉලෙක්ට්‍රොනික ලියැවිලි ලියැවෙන අකාරයට යැයි සිතමු. එමෙන්ම ඔවුන්ට මුහුණෙන් අඟපසඟින් අදහස් දැක්වීමට නොහැකි අතර එවැනි ඉරියව් අවබෝධ කරගැනීමටද හැකියාවක් නැතැයි සිතමු. එසේ වුවහොත් ඒ අනාගත මිනිසුන් අතර සිදුවෙන සන්නිවේදන කෙතරම් ප්‍රාථමික වෙයිද? අනාගතයේ මිනිසා එවැනි තත්වයකට පත්වුවහොත් ඒ මිනිසාට සාපේක්‍ෂව අද ජීවත්වන මිනිසාට යම් ආකාරයක දියුණු මනසක් ඇතැයි සැලකීම සාධාරණ නොවේද? මනසේ මේ හැකියාව අපි ඉවයැයි හඳුන්වමු. එසේනම් තරංගාස්‍රයෙන් පමණක් සම්බන්ධකම් පැවැත්වෙන ආන්තික සමාජයකට ඉවක් නැතැයි කිව හැකිය. එය එක් කොණකි. අනිත් කොණ කෙබඳු විය හැකිද?

මරණාසන්න අත්දැකීම යනු පුද්ගලයෙකු මරණයට පත්ව ඉතා සුලු කාලයකින් පසුව නැවත පණ ලැබීමය. බටහිර විද්‍යාවට අනුව එහිදී මොළයේ ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටවේ. මරණාසන්න අත්දැකීම් ලත් උදවිය පවසන ආකාරයට ඒ අත්දැකීම කාලයෙනුත් අවකාශයෙනුත් වෙන් කෙරී නැත. එනම් ඒ අවස්ථාවේදී ඔවුන්ට අතීතයේ මෙන්ම වර්තමානයේත් සැරි සැරීමට හැකිවී ඇති අතර අවකාශයේද නොයෙක් තැන් වල සිටීමට හැකිවී ඇත. සාමාන්‍ය ජීවිතයේදී අන්ධව සිටි අයට මරණාසන්න අවස්ථාවෙදී සියලු දේ “දැක” ගැනීමටද හැකිවී ඇත. දැන් මෙහිදී ඒ පුද්ගලයාගේ මනස යම් යම් දේ දැනගන්නවා ඇත්තේ කෙසේද? පැහැදිලිවම එහිදී තරංගාස්‍රයෙන් සිදුවෙන සංනිවේදනයක් ඇතැයි සිතිය නොහැකිය මන්ද කාලය හා අවකාශය යන සංකල්ප එහිදී මතු නොවෙන බැවිනි. ඒ නිසා එහි සිදුවන්නේ මනසේ සෘජු අත්දැකීමක් යැයි සිතිය හැකිය. දැන් අපි මෙහෙම සිතමු. මනසින් සෘජුව ගනුදෙනු කල හැකි මිනිස් (හෝ මිනිස් නොවෙන) සමාජයක් තිබිනැයි සිතමු. ඒ සමාජයට තිබිය හැකි ඉව කෙබඳු විය හැකිද? පැහැදිලිවම අර මුලින් කී තරංගාස්‍රයෙන් සම්බන්ධකම් පවත්වන සමාජයට සාපේක්‍ෂව මනසින් සෘජුවම සම්බන්ධකම් පවත්වන සමාජයේ ඉව ඇත්තේ අනිත් අන්තයේය.

කෙසේ වෙතත් මේ අන්ත දෙකම හුදු හිතලුය ඒ ගැන අපට වැඩි යමක් කිව නොහැකිය. නමුත් වර්තමාන ලාංකීය සමාජය මේ අන්ත දෙක අතර යම් තැනක පවතින්නේ යැයි සිතිය හැකිය. මා සිතන ආකාරයට බටහිර සමාජය තරංගාස්‍රයෙන් ගනුදෙනු කෙරනෙ අන්තයට අපට වඩා කිට්ටු වෙන් සිටී.  ඔවුන්ට ඇත්තේ අපට වඩා අඩු ඉවකි. අපිද කෙමෙන් ඒ අන්තය කරා එලඹෙමින් සිටින්නෙමු. තරංගාස්‍රයෙන් පමණක් ගනුදෙනු කරන ආන්තික සමාජයක මිනිසුන් ජීවත් වෙන්නේ තනි තනිවය, සමාජයෙන් වෙන්වීය. පුද්ගලයා සමාජයෙන් වෙන්වී සිටීම ඉව නැතිවීමට හේතුවක් මෙන්ම ඉව නැතිවීමේ ප්‍රතිඵලයක්ද වේ.

අපි දැන සිටියත් නැතත් අපට ඉවක් ඇත්තේ අපිට මනසින් යම් ප්‍රමාණයකට සෙසු ලෝකය සමඟ ගනුදෙනු කිරීමට හැකියාවක් තිබීම නිසාය. මුලින් සඳහන් කල අන්ත දෙක අතර යම් අවස්ථාවක අප පවතී යැයි ගැනීමෙන් ඒ බව ගම්‍යවේ.  ඉව නැතිවීම ප්‍රශණයකි. අපිට සාමූහිකව බාහිර ලෝකය සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධ කමක් පවත්වමින් ජීවත් විය හැක්කේ ඉවක් ඇති නිසාය. ඉවක් නැතිව තරංගාස්‍රයෙන් පමණක් ගනුදෙනු කරනවිට සාමූහික වැඩක් කර ගැනීමට අති විශාල පරිස්‍රමයක් දැරිය යුතුය. ඉලෙක්ට්‍රොනික ලියවිලි (text messages) වලින් පමණක් ගනුදෙනු කරන පිරිසක් සමඟ මළ ගෙදරක වැඩ කටයුතු කර ගන්ට ගියානම් කොහොමට තියේද? සුනාමියේදී අපේ මිනිසුන් කාගේවත් මෙහෙයවීමක් නැතිව අසරණයියන්ට සරණවන්ට ඉදිරිපත් වුනේ ඒ ඉව තිබුන නිසාවෙනි. ඇමෙරිකාවේ කැතරීනා සුලි සුලඟින් විපතට පත්වූවන්ට රජය මැදිහත්වී සරණ වෙන තෙක් එරට වැසියන්ට කල හැකි වැඩි යමක් නොතිබිනි. ඒ ඔවුන්ට ඉවක් නොතිබුනු නිසා විය හැකිය.  අතීතයේදී  අපිට අදටත් වඩා ඉවක් තිබිනිද? හෙළයින්ට බුදු දහම අවශෝෂණය කර ගැනීමට ඒ ඉව ඉවහල් විනිද?