Saturday, December 27, 2014

යහපාලන කථාව සෙප්පඩ විජ්ජාවකි

ඡන්ද ගුංඩු යනු දේශපාලකයින් විසින් ඡන්ද කාලයට දෙන බොරු පොරොන්දුය. නමුත් විපක්‍ෂය කථා කරන යහපාලනය සාමාන්‍ය ඡන්ද ගුංඩුවලටත් එහා යන භයානක කථාවකි. මෙහිදී මහින්ද රාජපක්‍ෂ මහතා ඇත්තටම යහපාලනයක් ගෙන ගියේද නැද්දවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට යහපාලනයක් ඇති කල හැකිද නැද්ද යන්න තබා උවමණාවක් තියේද යන්නවත් විපක්‍ෂයේ යහපාලන කථාවට අදාල නොවේ. යහපාලන කථාව නිර්මාණය කර ඇත්තේ සිංහළුන්ගේ ඇස් වලට වැලි ගසා ඔවුන්ගේ ඡන්දය හොරා කෑමටය. එසේ සොරාගෙන සිංහළුන්ගේ ඡන්දය ඔවුන්ගේම ස්වාධිපත්‍යයට එරෙහිවන ලෙස හැසිරවීමටය. එනම් රටේ ෙසෙවරීය කෙලසීමටය.  යහපාලන කථාව සෙප්පඩ විජ්ජාවකි. වාසනාවකට බහුතරයක් සිංහළුන් එය අවබෝධ කරගෙන සිටිති.

ඊනියා යහපාලනයක් ගැන කථා කරන්නට යෙදුනේ අද ඊයේ නොවේ. මෛත්‍රීපාල සිරිසේන මහතා එහි නිර්මාතෘවරයාද නොවේ. රාජපක්‍ෂ ආණ්ඩුව දුෂිත එකක් බව කාලයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය කරගෙන පැමිණෙන කථාවකි. රාජපක්‍ෂ ආණ්ඩුවේ දුෂිතබව ගැන කථා කිරීමේදී දූෂිත මොන ආණ්ඩුවට සාපේක්‍ෂවද යන්න උපක්‍රමශීලීව අමතක කෙරෙයි. දෙවසරකට පමණ පෙර මේ ලිපි පෙල ආරම්භයේදීම දූෂිත ආණ්ඩු ගැන ලියමින් මා විසින්ද ඒ බව පෙන්වාදී ඇත. නිරපේක්‍ෂව ගත්විට ඕනෑම ආණ්ඩුවක් දූෂිත බැවින් හා ආණ්ඩු දූෂිත නොවීම හොඳ බැවින් යහපාලන කථාවට සමාජයේ යම්කිසි වෙලඳපොලක් ඇත. විශේෂයෙන්ම නගරබදව ජීවත්වෙන අඩු සහ මැදි ආදයම් ලබන පවුල් වලට යහපාලන කථාවට අස්ථානගත ආකර්ශණයක් ඇත. ඔවුන්ගේ ජීවන අපේක්‍ෂාවන් සහ එය සාක්ෂාත් කර ගැනීමට ඔවුන්ට ඇති හැකියාවන් අතර සමබරතාවක් නැත. ඒ නිසා ඔවුන් බහුතරයකට ජීවන බර තදින්ම දැනෙන බව රහසක් නොවේ. ඔවුන්ගේ අපේක්‍ෂා භංගත්වයට හේතුව රජයේ දුෂිත බවයැයි පෙන්වා දුනහොත් ඉන් යම් පිරිසක් එය විශ්වාස කරනු ඇත. අද විපක්‍ෂය උත්සාහ කරන්නේ එය කරන්නටය.

මිනිසුන්ගේ අපේක්‍ෂා භංගත්වයට හේතුව රටේ සංස්කෘතියට නොගැලපෙන ධනපතිවාදී ආර්ථික ක්‍රමය මිස වෙනකක් නොවේ. රනිල් මෛත්‍රී චන්ද්‍රිකා රජයක් යටතේ මිනිසුන්ගේ අපේක්‍ෂා භංගත්වය වැඩිවනවා මිස අඩුවන්නේ නැත. රටට සරිලන ආර්ථික රටාවක් ගොඩනඟාගැනීමට නොහැකිවීම පිළිබඳව රජයද වගකිය යුතුය. පවතින ක්‍රමය නිවැරදි කිරීමට රජය ඉදිරියේදී කටයුතු කල යුතුය. නමුත් යහපාලන කථාවට එතරම් ගැම්මක් නැත. ඒ චෝදනා මහින්ද රාජපක්‍ෂ මහතාට එල්ලවන්නේ වක්‍රා කාරවය. නමුත් අසූව දශකයේ ගාමිණී දිසානායක මහතා මහවැලි ව්‍යාපාරයෙන් ගසා කෑවා යැයි චෝදනා එල්ලවූයේ සෘජුවමය. එක්තරා ජත්‍යාන්තර සඟරාවක් මගින් වරක් ඔහු ආසියාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස නම් කෙරිනි. නමුත් ඔහු ජනාධිපති අපේක්‍ෂකයෙකු වීමට පෙර ඝාතනය නොවූයේ නම් මෙරටුන් ඔහු ජනාධිපති කරලීමට බොහෝ ඉඩ කඩ තිබිනි. අද විපක්‍ෂ ගෙනෙන යහපාලන කථාවට ගම්මුන් අතර ගැම්මක් නැත උතුරේ දෙමළ ජනතාවටද එය ආකාර්ශණයක් වේ යැයි සිතිය නොහැකිය. නොබෝ දිනකින් එය පෙන්නුම් කරනු ඇති.

කලක සිට සූක්‍ෂම ලෙස මේ යහපාලන කථාව මාර්කට් කරන්නේ බටහිර තානාපතිවරුන්, විදේශ රාජ්‍යයන්ගෙන් යැපෙන සංවිධාන, බටහිර උගතුන් ඇතුළු සුපුරුදු නඩය විසිනිි. එහි ආකර්ශණය කෙතරම් ප්‍රබල වූයේද යත් මෑතක් වනතුරු ඇතැම් ජාතිකවාදීන් පවා ඊට ග්‍රහනයවී සිටියහ. රජය තුල ඇමතිකම් දැරූ විමල් වීරවංශ සහ චම්ිපික රණවක පවා යහපාලන කථාවට මාර්කට් එකක් ඇතැයි උපකල්පණය කරමින් රජයෙන් වෙන්වන්නට තැත් කලහ. නමුත් අද වෙනවිට ඒ ඒ අය තම තමන්ට ස්වාභාවිකවූ හෝ වාසිදායකවූ පිල්තුල ස්ථානගතවී සිටිති. පුද්ගලිකව නින්දා අපහාස විඳමින් ජාතික තලයේදී යහපාලන කථාව මුල සිටම ප්‍රතික්‍ෂේප කලේ නලින් ද සිල්වා මහතා පමණි.

බටහිර සංස්කෘතියට අවශ්‍යවී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නායකයෙකු නෙරපීමටය. එසේ නෙරපා හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරලීමටය. කාලයෙන් කාලයට විවිධ පුද්ගලයින් හා සංවිධාන බටහිර සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටිති. මේ අවස්ථාවේ බටහිර සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින්නේ චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ඇතුළු මෛත්‍රීපාල සිරිසේන පිලය. මෛත්‍රීපාල සිරිසේන මහතාට ගැමියෙකු වීම තුලින් ඉන් මිදීමට හැකිවී නැත. බටහිර සංස්කෘතිය විසින් යහපාලන කථාව ගොතන්නේ සිංහලයින් ඊට ආකර්ශණය කරගෙන ඒ හරහා බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නායකයෙකු පලවා හැරීමටය. බටහිරුන්ට යහපාලනයක් අවශ්‍ය නැත. සැකයක් ඇත්නම් ගඩාපි ඝාතනයෙන් පසු ලිබියාවට වූදේ සොයා දැනගත හැකිය. මීට වසර දෙසීයකට පමණ පෙර සිංහලේ අවසන් රජු සිංහළුන් විසින්ම පාවා දුන්නේද මෙවැනිම සෙප්පඩ විජ්ජාවක් නිසාය. අදටත් අපි රාජසිංහ රජු දූෂිතයෙකු ලෙස සලකන්නේ එදා රැවටුණු රැවටිල්ලේ තරම නිසා විය යුතුය.

සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නායකයෙකු නෙරපීමත් සිංහළුන්ගේ ස්වාධිපත්‍ය නැති කිරීමත් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමත් යන සියළු කරුණු එකිනෙකින් වෙන් කල නොහැකි සංසිද්ධීන්ය. මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කර විධායක ජනාධිපති ධූරය අහෝසි කර ඒ හරහා උතුරු පළාත් සභාවට අසමමිතික ලෙස රාජ්‍ය බලය ලබාදීම සිංහළුන්ගේ ස්වාධිපත්‍ය නැති කරන උපක්‍රමය විය හැකිය. නමුත් එය එක් උපක්‍රමයක් සහ අද භාවිතා කෙරෙන උපක්‍රමය පමණි. බටහිර සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය තම පැවැත්මට තර්ජනයක් ලෙස සලකනතාක් කල් විවිධ පුද්ගලයින් විසින් විවිධ උපක්‍රම භාවිතයෙන් සිංහළුන්ගේ ස්වාධිපත්‍ය නැති කිරීමට උත්සාහ දැරෙනු ඇත. මෙවැනි උපක්‍රම කල් තියාම හඳුනා ගෙන පෙර සිටම ඊට මුහුණදීමට සූදානම්වීමට අපි දැන්වත් ක්‍රියා කල යුතු වෙමු.

Tuesday, December 16, 2014

නොනිමි සටන

බරාක් ඔබාමා පළමු වරට බලයට පැමිණියේ ඇමෙරිකානුවන් තුල ඉරාක යුද්ධයට තිබුනු විරෝධයක් මතිනි. එකල ශ්‍රී ලාංකිකයින් අතරද ඇමෙරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීම ගැන බලවත් විරෝධයක් තිබුනි. නමුත් එහිදී සාමාන්‍ය ඇමෙරිකානුවන් තුල පැවති යුධ විරෝධයටත් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයින් තුල පැවති විරෝධයටත් පදනම එක නොවේ.

ඇමෙරිකානුවන්ගේ යුධ විරෝධයට මුල් වූයේ අද බටහිරුන් විසින් අපට කියාදෙන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයවත් මානව හිමිකම්වත් නොවේ. මූලික වශයෙන් ඇමෙරිකානුවන්ට ප්‍රශ්ණයක් වූයේ යුද්ධය නිසා බලාපොරොත්තු වූවාට වඩා සෙබළු සංඛ්‍යාවක් ජීවතක්‍ෂයට පත්වීම, යුද්ධය දිගින් දිගට ඇදී යාම, ඇමෙරිකාවට හිතැති ස්ථාවර ආණ්ඩුවක් ඉරාකය තුල පිහිටුවීමට නොහැකිවීම වැනි කරුණුය. යුද්ධය නිසා ඉරාක සිවිල් වැසියන් ඝාතනයවීම ඇමෙරිකානු මාධ්‍ය මඟින් වසන් කෙරිනි. ඒ නිසා යම් සුළුතරයකට එය වැදගත් වුනද සාමාන්‍ය ඇමෙරිකානුවන් තුලවූ යුධ විරෝධයට ඉරාක සිවිල් වැසියන් ඝාතනය වීම පදනම් නොවිනි. යුධ විරෝධයට මොන කරුණ පදනම්වුවද එක් වැදගත් කරුණක් සාමාන්‍ය ඇමෙරිකානුවන්ට වැදගත් නොවිනි. එනම් ඇමෙරිකාව විසින් ඉරාකයේ ෙසේවරීය භාවය කෙලසූ බවය. මා දන්නා තරමින් බොහෝ බටහිර නොවන රටවල මෙන් ශ්‍රී ලාංකිකයින්ටද ප්‍රශ්ණයක් වූයේ ෙසේවරීය රටක්වූ ඉරාකයට පහරදීමට බ්‍රිතාන්‍යය හා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට ඇති අයිතිය කුමක්ද යන්නය. නමුත් යුද්ධය මෙහෙයවූ බුෂ් මහතාට පමණක් නොවේ සාමාන්‍ය ඇමෙරිකානුවන්ටවත් ඉරාකයේ ෙසේවරීය භාවය පිළිබඳ ගැටළුවක් නොතිබිනි.

බටහිර සමාජයේ උවමණා එපාකම් වලට අනුව අන් රටවලට මැදිහත්වීමට ඔවුන්ට හැකියාවක් තිබිය යුතු යැයි සිතන්නේ බටහිර දේශපාලන නායකයින් පමණක් නොවේ සාමාන්‍ය ඇමෙරිකානුවෝද එසේ කල්පණා කරති. මගේ අත්දැකීමට අනුව නම් එය ඔවුන්ට ඔවුන්ගේ සංස්කෘතියෙන් දායාද වන ආකල්පයකි. ඇමෙරිකාවේ හා අනිකුත් බටහිර රටවල විදේශ ප්‍රතිපත්ති ගලා එන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ මේ ආකල්ප තුලිනි. ඔවුන් බටහිර නොවන රටවල් සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය ඔවුන්ගේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවෙන්නේ ඒ නිසාවෙනි.

උදාහරණයක් වශයෙන් යුගෝස්ලාවියාව දෙකඩ කිරීමට පිඹුරුපත් සකස්වුනේ ක්ලින්ටන් මහතාගේ ප්‍රධානත්වයෙනි. නමුත් බුෂ් මහතාට විරුද්ධව ඔහු ඔබාමාට උදව් කලේ ඉරාක යුධයට විරෝධය පාමිනි. යුධ විරෝධීයැයි කියාගත් ඔබාමා රෙජිමය බුෂ් මහතාටත් එහා ගොස් ලිබියාවේත් සිරියාවේත් සුඩානයේත් ෙසේවරීය භාවය කෙලසීමට සෘජුවම දායකවෙයි. ඇමෙරිකානු අධිපතිවාදය බුෂ් මහතාගේ රිපබ්ලිකන් (දකුණේ) පක්‍ෂ දේශපාලනයටත් ඔබාමාගේ ඩිමොක්‍රැටික් (වමේ) පක්‍ෂ දේශපාලනයටත් පොදු සාධකයකි. ඒ නිසා එය එරට පක්‍ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය මූල ධර්මවූ දේශපාලන දෘශ්ඨියක් බව පැහැදිලිය. ඒ නිසා එහි පදනම එරට සංස්කෘතිය නොවේ යැයි කිව හැකිද?

බටහිර ආධිපත්‍යය බටහිර සංස්කෘතියෙන්ම ගලා එන්නක් බැවින් එය මෙහෙයවන අදිසි හස්තය බටහිර සංස්කෘතිය මිස එහි රාජ්‍ය නායකයින්වත් බටහිර තනාපතිවරුන්වත් ඊනියා රාජ්‍ය නොවන සංවිධානවත් එසේත් නැත්නම් හඳුනානොගත් යම් කුමන්ත්‍රනකරුවන් පිරිසක්වත් නොවේ. මෙකී නොකී සියළු ආයතන හා පුද්ගලයින් විවිධ අවස්ථාවල බටහිර සංස්කෘතියේ අධිපතිවාදී අවශ්‍යතා සඳහා පෙනී සිටින මුත් ඒ සියළු ක්‍රියාකාරකම් සියළු අවස්ථාවලදී මෙහෙයවන කිසියම් කේන්ද්‍රයක් භෞතික වශයෙන් පවතින්නේ නැත. ඒ තැන හිමි වෙන්නේ බටහිර සංස්කෘතියටය. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට පෙරත් ඉන් පසුවත් ඉදිරියටත් බටහිරුන් විසින් ශ්‍රී ලාංකිකයින්, විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ගේ පරමාධිපත්‍යයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග තේරුම් ගත හැක්කේ මේ ආකාරයටය.

එදා ප්‍රභාකරන් බේරා ගැනීමට බටහිරුන් විසින් මෙරටට නෞකාවක් එවීමට ගත් උත්සාහයත් මෙදා රනිල් මෛත්‍රී සහ රාජිත යන තිදෙනා නොයෙක් තුටු පඬුරු දී ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට කැඳවා ගැනීමත් එකම සැලසුමකට අයත් විය හැකිය. එසේ නොවීමටද ඉඩ ඇත. නමුත් මේ ක්‍රියා දෙකම බටහිරුන් විසින් අප රටේ ෙසේවරීභාවයට එරෙහිවීමට කරන සැලසුම් ලෙස සැලකීමට අපහසු නැත. නමුත් ඒ ක්‍රියා මෙහෙයවන කුමන්ත්‍රණ කරුවෙකු නොදකින නිසා ඒ ක්‍රියා අතර සම්බන්ධ කමක් අපි දකින්නේ නැත. අප වරදවා ගන්නේ එතනය. සම්බන්ධ කමක් නොදකින විට ඒවා අහඹු සිදුවීම් වෙයි. අහම්බෙන් වෙන දෑ ගැන කල්තියා සූදානම් වෙන්නේ නැත. එසේ කල නොහැකිය. අපි ජාතියක් වශයෙන් බටහිර ආධිපත්‍ය ඉදිරියේ ඉතිහාසය පුරාම (මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේදී හැර) ක්‍රියාකර ඇත්තේ පෙර සූදානමක් නැතිවය, එන එන හැටියටය. එය වෙනස් කර ගත යුතුය.

බටහිර අධිපතිවාදය හමුවේ අපට අපේ ෙසේවරීභාවය රැක ගත හැක්කේ විවිධ බටහිර බලපෑම් අතර සම්බන්ධයක් දැකීම තුලිනි. ඒ සම්බන්ධකම ගොඩනැඟිය හැක්කේ ඊනියා කුමන්ත්‍රණ කරුවන් සොයා ගැනීමෙන් නොව බටහිර සමාජයේ උවමණා එපාකම් වලට අනුව අන් රටවලට මැදිහත්වීමට ඔවුන්ට හැකියාවක් තිබිය යුතුය යන ආකල්පය බටහිර සංස්කෘතිය විසින් බටහිර සාමාන්‍ය ජනයාට දායාද කරන බව අප විසින් අවබෝධ කරගැනීමෙනි.

Friday, November 14, 2014

පේටන්ට් බලපත්‍ර, සායනික පරීක්‍ෂණ සහ සිංහල වෙදකම

සමාජයක් වශයෙන් අද අපි උත්සාහ කරන්නේ බටහිර ජීවන ක්‍රමයට සරිලන පරිදි සිංහල වෙදකම සකස් කර ගැනීමටය. බෙහෙත් ගුලි රූපාන්තරණය වී පෙති බවට පත් වෙන්නේ ඒ උවමණාව මතය. සිංහල වෙදකමේ ඖෂධ සම්බන්ධයෙන් බුද්ධිමය දේපල සහ සායනික පරීක්‍ෂණ වැනිදෑ ගැන සාකච්ඡා වෙන්නේද ඒ උවමණාව මතය. සිංහල වෙදකම කාලයට ඔබින පරිදි වෙනස් කර ගත යුතුය. නමුත් අපි බටහිර සංස්කෘතිය අනුකරනය කිරීම එසේම කරගෙන යමින් සිංහල වෙදකම වෙනස් කිරීමට උත්සාහ කලහොත් සිංහල වෙදකමින් සිංහලකම ලොප්වනු ඇත.

පේටන්ට් බලපත්‍ර සහ සායනික පරීක්‍ෂණ මඟින් යම් කාර්යභාරයක් බටහිර වෛද්‍ය විද්‍යාවට ඉටුවේ. ඊට සමාන්තර කාර්යභාරයක් සිංහල වෙදකමටද ඉටුවිය යුතුය. අපි කල්පණා කල යුත්තේ සිංහල වෙදකමින් සිංහලකම ලොප් වීමට ඉඩ නොදී ඒ කාර්යභාරය ඉටු කරගන්නා අන්දම මිස පේටන්ට් බලපත්‍ර සහ සායනික පරීක්‍ෂණ තුල සිංහල වෙදකම බහාලීම නොවේ.


ව්‍යාපාරික ආයතන ඔවුන් නිර්මාණය කරන දැනුම් වලට පේටන්ට් බලපත්‍ර ලබා ගන්නේ තම තරඟකරුවන් ඒ දැනුම පාවිච්චි කර මුදල් ඉපයීම වැලකීම සඳහාය. සාමාන්‍යයෙන් ඖෂධයකට ලබාදෙන පේටන්ට් බලපත්‍රයක් වලංගු වන්නේ යම් නියත කාලයකට පමණි. ඒ කාලය තුල ඒ දැනුම පදනම් කරගෙන වෙන ආයතනයකට ඖෂධ නිශ්පාදනය කල නොහැකිය. ඒ අනුව පේටන්ට් බලපත්‍රය වලංගු කාලය තුල තරඟයකින් තොරව උපරිම ලාභයක් ඉපයීමට ඖෂධ සමාගම් වලට ඉඩ සැලසේ.


පේටන්ට් බලපත්‍ර හරහා යම් දැනුමක් සුරැකේ යැයි සාමාන්‍යයෙන් ආකල්පයක් තිබුනද ප්‍රායෝගික වශයෙන් සිදුවෙන්නේත් එහි මූලික අරමුණත් එය නොවේ. පේටන්ට් බලපත්‍රයෙන් කෙරෙන්නේ දැනුමක් වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමය. පේටන්ට් බලපත්‍ර හරහා යම් පුද්ගලයෙකුට හෝ යම් ආයතනයකට මුදල් ඉපයීමට අවස්ථාවක් ලැබේ. පේටන්ට් බලපත්‍ර ක්‍රමයක් නොතිබුනේ නම් හා ඒ දැනුම නොමසුරුව බෙදා හැරීයේ නම් බොහෝ ආයතන වලට ඒ ඖෂධය නිශ්පාදනය කිරීමට ඉඩ සැලසෙන අතර ඒ හරහා අඩු මිලකට ඒ ඖෂධය ලබා ගැනීමට මහජනතාවට හැකි වෙනු ඇත. එසේ නම් පේටන්ට් බලපත්‍ර මඟින් පොදුවේ සමාජයට ඉටු වෙන සේවය කුමක්ද යන්න සාධාරන ප්‍රශ්ණයකි. බටහිර සංස්කෘතිය ඊට දෙන පිළිතුර නම්  සමාගම් වලට ලාභ ඉපයීමට අවස්ථාවක් ලබා දුන්විට සමාජයට සේවයක් සලසමින් ඔවුන් නව ඖෂධ නිර්මාණය කිරීමට ප්‍රාග්ධනය යොදවන බවය. ලාභ ලැබිය නොහැකි නම් සමාගම් නව ඖෂධ සොයා ගැනීමට උනන්දුවන්නේ කුමටදැයි තව දුරටත් අපෙන් ඇසෙයි. පේටන්ට් බලපත්‍ර සාධාරනය කෙරෙන්නේ මේ සංදර්භය තුලය.


ඒ සංදර්භය තුල වෙනත් දෑද සාධාරනය කල හැකිය. උදාහරණයක් වශයෙන් වැඩි දෙනෙකුට නොවැලඳෙන ඉතා දුර්ලභ ඝනයේ රෝග වලට ඖෂධ සෙවීම එතරම් ලාභදායි නොවෙන බැවින් සමාගම් ඊට උනන්දුවක් නොදැක්වීම සාධාරනය. විශාල ජනගහණයකට යම් රෝගයක් වැලඳුනද ඔවුන්ට ඖෂධ මිලදී ගැනීමට වත්කමක් නැත්නම් ඒ රෝගයට ඖෂධ සෙවීමට සමාගම් උනන්දුවක් නොදැක්වීමද මේ සංදර්භය තුල සාධාරනය. එසේ නමුත් මේ කරුණු පොදුවේ සමාජය අළලා සාධාරන නොවන බව කිව යුතු නැත.


පැහැදිලිවම සිංහල වෙදකමේ සාර ධර්මත් ඖෂධ වලට පේටන්ට් බලපත්‍ර ලබාදීමේ පසුබිමෙහි ඇති සාර ධර්මත් අහස පොළොව මෙන් දුරස්ය. දරුණු ආර්ථික හා සංස්කෘතික පීඩා මැද වුවද තවමත් බහුතරයක් සිංහල වෙදුන් මුදල් පසුපස හඹා නොයති අඩු තරමින් එසේ නොවිය යුතුය යන මතය දරති. එපමණක් නොවේ බටහිර වෛද්‍ය විද්‍යාවේ පේටන්ට් බලපත්‍රයක් ලැබෙන්නේ යම් රෝගයක් සඳහා යම් ඖෂධයකටය (එනම් යම් රසායණික අණුවකටය). නමුත් සිංහල වෙදකමේ එකම රෝගයට වුවද විවිධ වෛද්‍යවරු බෙහෙත් නියම කරන්නේ ඒ ඒ පළාතට අනුව සුළු වෙනසකම් ඇතිවය. මෙවැනි වතාවරණයක යම් ඖෂධයකට පේටන්ට් බලපත්‍රයක් දීම තේරුමක් නැති දෙයකි. ඇත්තෙන්ම සිංහල වෙදකමේ බුද්ධිමය දේපල ඇත්නම් ඒ වෙදවරුන් මිස ඖෂධ නොවේ. මේ ආකාරයට ආකල්පීය වශයෙන්ද සංකල්පීය වශයෙන්ද පේටන්ට් බලපත්‍ර ලබාදීම සිංහල වෙදකමට ගැලපෙන්නේ නැත.


අපට අවශ්‍ය කුමක්ද? අපට අවශ්‍ය සිංහල වෛද්‍ය විද්‍යාවේ දැනුමත් එහි වෛද්‍යවරුනුත් රැක ගනිමින් පොදු සමාජයේ සුව පිණිස ඒ දැනුම යොදවා ගැනීමටය. දැනුම ආරක්‍ෂා කල යුතු ආකාර දෙකකි. එකක් එය විකෘති නොකෙරීමට වග බලා ගත යුතුය.  අනික ඒ දැණුම පොදු දේපලක් ලෙස ආරක්‍ෂා කල යුතුය.


අද රෝග කාරක හඳුනාගැනීමේ සිට රෝග ලක්‍ෂණ හඳුනාගැනීම දක්වා බොහෝ බටහිර වෛද්‍ය ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා පරිගණක භාවිතා කල හැකිය. එසේ කල හැකිව ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යා දැනුම සම්පූර්ණයෙන්ම පාහේ සුත්‍රගත කල හැකි බැවිනි. අත් ගුණයක් වැනි යමක් එහි තිබුණිනම් මේ වනවිට බටහිර තාක්‍ෂණය මඟිනුත් ව්‍යවහාරික ගණිතය සහ භෞතික විද්‍යාව මඟිනුත් එය බොහෝ දුරට උදුරා ගැනෙමින් පවතියි. සූත්‍රගත කල හැකි නිසා බටහිර වෛද්‍ය විද්‍යා දැනුම එය භාවිතා කරන්නන් අතින් විකෘතිවීමට ඇති ඉඩ කඩ අවමය. ඒ නිසා බටහිර වෛද්‍ය විද්‍යා දැනුම විකෘතිවීමට නොදී ආරක්‍ෂා කර ගැනීමක් ගැන ප්‍රශ්ණයක් මතු නොවේ.


සිංහල වෙදකමේ දැනුම එසේ නොවේ. බටහිර විද්‍යාවට සාපේක්‍ෂව අධ්‍යාත්මිකව ප්‍රත්‍යක්‍ෂ කල යුතු යම් දැනුමක් සිංහල වෙදකමේ ඇත. එය සූත්‍රගත කල නොහැකිය. සූත්‍රගත නොවුනු ප්‍රත්‍යක්‍ෂ දැනුමක් ලබා ගත හැක්කේද යම් ආධ්‍යාත්මික පුහුණුවක් ඇති සුවිශේෂ පුද්ගලයින්ට පමණය. එසේ නොවෙන පුද්ගලයින් අත ඒ දැනුම විකෘති වීමට හැකිය. ඒ නිසා දැනුම ආරක්‍ෂා කරගැනීම පිළිබඳව බටහිර වෛද්‍ය විද්‍යාවට නැති ප්‍රශ්ණයක් සිංහල වෙදකමට ඇත. සිංහල වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට රහස් ලෙස රැක ගත්තේ එය විකෘති නොවී තබා ගැනීමට විය හැකිය. (ගුරු මුෂ්ඨි තබා ගැනීම දැනුම ආරක්‍ෂා කර ගැනීමට නොව විනාශ කර ගැනීමට හේතුවක් බව මෙහිදී සඳහන් කල යුතුය. සුදුසු අයට පමණක් දැනුම ලබා දීම මිස ගුරු මුෂ්ඨි තබා ගැනීමක් සිංහල වෙද සම්ප්‍රදායේ තිබුනැයි සිතිය නොහැකිය. ගුත්තිල පඬිතුමා ආදර්ශ කොටගෙන ජාතක පොතේ කියා දෙන්නේද අචාරීභාග නොමැතිව දැනුම බෙදා දෙන ලෙසටය.) කෙසේ වෙතත් දැනුම ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධයෙන් බටහිර විද්‍යාවට නැති ප්‍රශ්ණයක් සිංහල වෙදකමට ඇත.


දැනුම විකෘති නොවී ආරක්‍ෂා කර ගන්නා අතරම එය පොදු සමාජයේ යහපත සඳහා එනම් සිංහල වෙදුන් වැඩි කර ගැනීම සඳහා සිංහල වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමක් සිදුවිය යුතුය. එය සමාජ අවශ්‍යතාවකි. මෙහිදී සිංහල වෛද්‍ය සභාවකට වැදගත් කාර්ය භාරයක් කල හැකිය. සිංහල වෙද දැනුම ලබා දිය යුතු ආකාරය එය ලැබීමට සුදුසු පුද්ගලයින් තෝරා ගන්නා නිර්ණායක නිගමනය කල යුත්තේ සිංහල වෛද්‍ය සභාවකි. ඒ නිර්ණායකයන් බටහිර වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා බලපාන නිර්ණායකයන් නොවෙතැයි සිතිය හැකිය. සිංහල වෙද දැනුම විකෘති නොවී ආරක්‍ෂා කර ගත හැක්කේ සිංහල වෛද්‍ය සභාවක අධික්‍ෂණය යටතේ අධ්‍යාපනය ලබා දීමෙනි. ඒ ප්‍රශ්ණයට විසඳුම පේටන්ට් බලපත්‍ර නිකුත් කිරීම නොවේ.


පේටන්ට් බලපත්‍ර මඟින් මවාපාන නමුත් ඇත්තෙන්ම ඉන් සිදුනොවෙන අනිත් කාර්ය නම් දැනුම පොදු දේපලක් ලෙස ආරක්‍ෂාවීමය. කලින්ද සඳහන් කල පරිදි පේටන්ට් බලපත්‍රයෙන් කෙරෙන්නේ දැනුමක් වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමය. එහිදී ආරක්‍ෂාවක් ලැබෙන්නේ පුද්ගලික දේපලකටය. අපි කවුරුත් පාහේ පාවිච්චි කරන වෙනිවැල් ගැට සම්බන්ධයෙන් අප අතර ඇති දැනුම පොදු දැනුමකි. නමුත් අවශ්‍යනම් යම් සමාගමකට එහි ඇති සාරයක් පෙරා ඖෂධයක් තනා එයට පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමට නීතියෙන් අවසරයක් ඇත. නමුත් වෙනිවැල් ගැට උණ සෙම්ප්‍රතික්‍ෂාවට සුදුසු බව සොයා ගත්තේ ඒ සමාගම නොවේ. එය සාම්ප්‍රදායික පොදු දැනුමකි. සමාගම කලේ එය හොරා කෑමකිි. දැන් ඒ දැනුම පුද්ගලික දේපලක් කිරීමට ඉඩ දීම සාධාරනද?


පේටන්ට් බලපත්‍ර මඟින් කෙරෙන්නේ පොදු දේපල පාවා දීමය. මා දන්නා පරිදි පොදු දේපල ආරක්‍ෂා කිරීමට රටේ තබා ලෝකයේද නීති නැත. එය එසේ වී ඇත්තේ විශේෂයෙන්ම බටහිරුන්ට එවැනි නීති අවශ්‍ය නැති නිසාය. එය වෙනස් කර ගත යුතුය. අපි සිංහල වෙදකමේ මෙන්ම ගොවිකමේද ඇති දැනුම් පොදු දැනුම් ලෙස ආරක්‍ෂා කර ගැනීමට නීති රීති නිර්මාණය කර ගත යුතුය. දකුණු ඇමෙරිකාවේ, අප්‍රිකාවේ සහ අනිකුත් ආසියාතික රටවල තවමත් ඉතිරීවී ඇති දේශීය දැනුම් පුද්ගලික දේපලවීමට ඉඩ නොදී රැක ගැනීම සඳහා එවැනි නීතිවල අවශ්‍යතාව පිලිබඳව ජාත්‍යන්තර තලයේද අවබෝධයක් ඇති කල යුතුය.


පේටන්ට් බලපත්‍ර මෙන්ම සායනික පරීක්‍ෂණද සිංහල වෙදකමෙහි යොදා ගැනීමේදී අපි විමසිලිමත් විය යුතු වෙමු.


රෝගයකට සම්බන්ධ යම් ජීව රසායනික ක්‍රියාවලියක් වෙනස් කිරීමට යම් රසායනික අණුවකට හැකිද යන්න උරගා බැලෙන්නේ බටහිර ජීව විද්‍යාවේ කෙරෙන මූල ධර්ම පරීක්‍ෂණ වලදීය. මේ පරීක්‍ෂණ කෙරෙන්නේ පරීක්‍ෂණාගාර වල බොහෝවිට සතුන්ද යොදවාගෙනය. සායනික පරීක්‍ෂණ මඟින් කෙරෙන්නේ කලින් හඳුනාගත් රසායනික අණුව මිනිස් භාවිතයේදී බලාපොරොත්තුවෙන ප්‍රතිථලය ලැබේද යන්නය. සායනික පරීක්‍ෂණ මුළු මනින්ම පාහේ කෙරෙන්නේ ඖෂධ වලට පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමේ සංදර්භය තුලය.


බටහිර වෛද්‍ය විද්‍යාවට රෝගියාත් රෝගයත් රෝග කාරකත් ඒ නිසා ඖෂධයත් වියුක්ත සංකල්පය. ඖෂධය ගැලපෙන්නේ යම් රෝගයක් ඇති ඕනෑම මිනිසෙකුට මිස වෛද්‍යවරයා ඉදිරියේ සිටින මිනිසාට නොවේ. මේ සංදර්භය තුල රෝගියා ඖෂධයෙන් වෙන් කෙරෙයි. ඖෂධ නිර්මාණය වන්නේද වෛද්‍යවරයාගෙන් ස්වාධීනවය ඒනිසා වෛද්‍යවරයාද ඖෂධයෙන් වෙන් කෙරෙයි. ඖෂධය නීතිගත කිරීමෙන් අනතුරුව ඖෂධ සමාගමද ඒ ඖෂධය පිළිබඳ දරන වගකීමෙන් නිදහස් වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රෝගීයාත්, ඖෂධයත්, වෛද්‍යවරයාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැතිවෙයි. අවසානයේ සායනික පරීක්‍ෂණ වලින් ලැබෙන සංඛ්‍යානමය දත්ත රැසක් මැද රෝගියා අතරමං වෙයි.


උදාහරණයක් වශයෙන් බොහෝවිට අපි මිලදී ගන්නා ඖෂධ සමඟ පත්‍රිකාවක් ලැබෙයි. එහි සායනික පරික්‍ෂණ මඟින් සොයා ගන්නා ලද ඖෂධයේ ධනාත්මක හා සෘණාත්මක ගුණ ලැයිස්තුවක් ඇත. ඒ ලැයිස්තුව එහි ඇත්තේ එසේ තිබිය යුතුයැයි නීතියෙන් කියන නිසාය. වෛද්‍යවරයාද දන්නේ ඒ ලැයිස්තුවමය. නමුත් මේ ලැයිස්තුව කිරා මැන ගෙන මට අදාල වන්නේ කෙසේද යන්න කියා දීම ඖෂධ සමාගම් වල වගකීම නොවේ. එය කල නොහැකි දෙයකි. සමහර විට සායනික පරීක්‍ෂණ වලින් සමත් වන ඖෂධ පවා කාලයකට පසු දරුණු අතුරු ආබාධ ගෙනදෙන බව හෝ රෝගයට ප්‍රතිකර්මයක් නොවෙන බව හෝ සොයා ගැනෙයි. එවැනි අවස්ථා වලදී රෝගීන්ට කල හැක්කේ ඖෂධ සමාගමට නඩු පැවරීමය. එවිට රෝගීන්ට යම් වන්දියක් ගෙවෙයි. ඒ වන්දියද අවසානයේ ගෙවන්නේ රක්‍ෂණ සමාගමකි. එහිදීද රෝගීන් ගැන ඇත්තටම වග කියන කෙනෙක් නැත.


බටහිර වෛද්‍ය විද්‍යාවේ සායනික පරීක්‍ෂණ තුලින් බටහිර වෙදකමට යම් කාර්යක් ඉටුවේ. එය නම් යම් රෝගයක් ඇති ඕනෑම කෙනෙකුට යම් ඖෂධයක් ප්‍රතිකර්මයක් වේද යන්න අනුමාන කිරීමට අවශ්‍ය දත්ත සැපයීමය. ප්‍රායෝගිකව, ඖෂධ සමාගම් මේ දත්ත තම ඖෂධයට පේටන්ට් පත්‍ර ලබා ගැනීම සඳහා භාවිතා කරයි. මේ ක්‍රියාවලිය තුලින් රෝගීන්ගේ සුව සෙත අරභයා යම් ආරක්‍ෂක දැලක් නිර්මාණය වේ යැයි උපකල්පනය කෙරුනද ඇත්තෙන්ම වෛද්‍යවරයාවත් ඖෂධ සමාගමවත් ඒ වගකීම දරන්නේ නැත. ඊට හේතුව වෛද්‍යවරයාත් ඖෂධයත් රෝගියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධ කමක් නැතිවීමය. බටහිර වෛද්‍ය විද්‍යාවේ සායනික පරික්‍ෂණ නිර්මාණයවී ඇත්තේ එසේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇතැයි හෝ තිබිය යුතුයැයි සලකා නොවේ.


රෝගියෙකුට වැදගත් යම් ඖෂධයකින් තමන්ට ඇති රෝගය සුව වෙන බව පමණක් නොවේ වෛද්‍යවරයා ඒ පිළිබඳව වගකියනවාද යන්නද ඔහුට වැදගත්ය. ඒ සඳහා වෛද්‍යවරයාත් ඖෂධයත් රෝගියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධ කමක් තිබිය යුතුය. සාපේක්‍ෂ වශයෙන් සිංහල වෙදකම තුල ඒ සම්බන්ධකම ඇත. එක් පසකින් ඖෂධ නිශ්පාදනය කරන්නේද වෛද්‍යවරයාය අනිත් පසින් එම වෛද්‍යවරයාට ඒ ඖෂධය ගැන පරම්පරාවෙන් ලැබෙන අත්දැකීම් ඉතිහාසයක් ඇත. ඒ නිසා ඔහු තමන් නියම කරන ඖෂධයෙන් බැහැරවූවෙක් නොවේ ඒ නිසා ඔහුට ඒ ගැන බටහිර වෛද්‍යවරයෙකුට වඩා වගකීමක් ගත හැකිය.


මේ සංදර්භය තුල සිංහල වෙදකමේ සායනික පරීක්‍ෂණ වලින් ඇසෙන ප්‍රශ්ණය බටහිර වෛද්‍ය විද්‍යාවේ සායනික පරීක්‍ෂණ වලින් ඇසෙන ප්‍රශ්ණයට වඩා වෙනස් විය යුතුය. බටහිර වෛද්‍ය විද්‍යාවේ සායනික පරීක්‍ෂණ වලින් ඇසෙන්නේ යම් ඖෂධයක් පිළිබඳවය. සිංහල වෙදකමේ සායනික පරීක්‍ෂණ වලින් ඇසිය යුත්තේ ඖෂධය සහ එය නියම කරන වෛද්‍යවරයා යන දෙදෙනාම පිළිබඳය. එසේත් නැත්නම් අහවල් වෙද මහතාට අහවල් රෝගය සුව කල හැකිද යන්නය. එකම රෝගයට වුවද විවිධ වෛද්‍යවරු ලබා දෙන ප්‍රතිකාර අතර විවිධත්වයක් තිබිය හැකි බැවින් (උදාහරණයක් වශයෙන් වකුගඩු රෝගයට ප්‍රතිකාර කරන විවිධ වෙද මහත්වරු සිටිති) ඖෂධ වලට පමණක් පරීක්‍ෂණ ලඝු කිරීමෙහි අරුතක් නැත. ඒ අනුව සිංහල වෙදකමේ සායනික පරීක්‍ෂණ නිර්මාණය කල යුත්තේ වෛද්‍යවරයාත් ඖෂධයත් රෝගියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇතැයි හා එසේ තිබිය යුතුයැයි සලකා ගෙනය.


රෝගීන් සුව කිරීම ඔවුන්ට සත්කාර කිරීම පොදු සමාජයේ වගකීමකි නමුත් බටහිර සංස්කෘතිය තුල එය පුද්ගලික එනම් රෝගියාගේම වගකීමක් ලෙසට ලඝුවෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ අංගෝපාංග සකස් වෙමින් පවතින්නේ රෝගීන් බලා කියා ගැනීමේ පොදු වගකීමෙන් මිදෙන ආකාරයටය. අපි සිංහල වෙදකමද ඒ ආකාරයට සකස් කලොත් සිංහල වෙදකමින් සිංහලකම හැලෙනු ඇත.

Tuesday, November 4, 2014

අධ්‍යාපන කඩ

පෞද්ගලික උපකාරක පංතියේ සිට විශ්ව විද්‍යාල දක්වා ඇති අධ්‍යාපනය බෙදා හරින සියළු රජයේ සහ පුද්ගලික ආයතන අධ්‍යාපන කඩ ලෙස හැඳින්වීම වැරදි නොවේ. මේ ආයතන මඟින් සිදුවෙන්නේ අධ්‍යාපනය විකිනීම නොව වෙන යමක් යැයි සැලකීම බටහිරුන් කියන්නාක් මෙන් කාමරයේ සිටින තඩි ගෝරිල්ලා නොදැක්කා මෙන් සිටීමට තැත් කිරීමකි. රජයේ අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාමටද පොදුවේ මහජනයා විසින් ගෙවන බැවින් ඒවා කඩ නොවේ යැයි කිසිවෙකුට කිව නොහැකිය. නමුත් අධ්‍යාපනය සඳහා මුදල් අය කෙරීම ඒවා කඩ බවට පත් කෙරෙන එක සාධකයක් පමණි.

මුදලින් පමණක් නොවේ සිසුන් ඉගෙන ගැනීම කෙරෙහි දක්වන ආකල්ප වලින්ද ගෙවීම් කරන බව පෙනේ. සිසුන් ගෙවන්නේ පංති යාමෙනි, අභ්‍යාස කිරීමෙනි, අවසානයේ විභාග වලට පෙනී සිටීමෙනි. මේ කැප කිරීම් වලට අධ්‍යාපන සහතිකයක් හිමි විය යුතු යැයි ඔවුහු කල්පනා කරති. ඒ අතින් බලන විට අධ්‍යාපන ආයතන ආකල්පීය අතින්ද කඩමය. විවිධ කඩ අතරින් සුපිරම කඩය විශ්ව විද්‍යාලයය.


මූලික වශයෙන් අධ්‍යාපන ආයතන කඩ බවට පත්වී ඇත්තේ අධ්‍යාපනය අධ්‍යාපනය නිසාම බිහිවී ඇති සමාජ හිනිමඟක් නැගීම සඳහා භාවිතා වෙන නිසාය. ඇති හැකි අය විවිධ ආකාරයේ වැඩි ගෙවීම් කර ඒ සමාජ හිනිමඟේ ඉහලට නගිති. සමහරවිට ඒ ගෙවීම් කෙරෙන්නේ මුදලිනි සමහරවිට ඒ ගෙවීම් කෙරෙන්නේ සිසුන්ගේ පංති යාමට, විභාග සමත්වීමට ඇති කැප වීම තුලිනි. මොන ගෙවීම කරන්නේත් අවසානයේ සහතිකයක් ලබා අධ්‍යාපනය නිසාම බිහිවී ඇති සමාජ හිනිමඟේ ඉහලට යෑමටය. මේ ආකාරයට අධ්‍යාපනය ලැබීම තුලින් යමක් ලැබෙන්නේ පුද්ගලයාට මිස සමාජයට නොවේ. මේ යාන්ත්‍රනය තුල අධ්‍යාපන ආයතන කඩ නොවේ නම් හැඳින්විය හැක්කේ වෙන මොනවා ලෙසද?


අධ්‍යාපන ආයතන කඩ ලෙස ක්‍රියා කිරීමත් අධ්‍යාපනය විසින් සමාජ විශමතාවක් පවත්වාගෙන යාමත් අතර ඇත්තේ චක්‍රීය සම්බන්ධයකි. මේ විශම චක්‍රය කඩා බිඳ දැමිය හැකි මූලික ක්‍රමය මා මීට කලින් ලිපි වලින් යෝජන කල පරිදි අධ්‍යාපන ක්‍රමයත් රැකියා සැපයීමත් අදට වඩා ප්‍රජාතන්ත්‍රවාදී කිරීමය. වෙනත් විධිද සොයා ගත යුතුය. ඒ සියලු විධි මූලික වශයෙන් ක්‍රියාත්මක කල යුත්තේ අධ්‍යාපන කඩ අතරින් සුපිරිම කඩය වන විශ්ව විද්‍යාලයේ කඩ ගතිය නැති කිරීමටය.


පසුගිය වසර විසි පහ පමණ කාලය සැලකීමේදී විශ්ව විද්‍යාල එන්න එන්නම කඩ බවට පත්වී ඇති බව පැහැදිලිය. ඊට සමගාමීව සමාජ හිනිමඟේ නැගීමට ඇති තරඟයද උග්‍රවී ඇත. මේ සාධක අතර සෘජු සම්බන්ධයක් ඇති බව පැහැදිලි විය යුතුය. නමුත් විශ්ව විද්‍යාල කඩ වීමට විශ්ව විද්‍යාලමද හේතුවකි. 


ලංකාවේ විශ්ව විද්‍යාල තුල ඇති සංස්කෘතිය මුලු මනින්ම පාහේ රටේ පොදු සංස්කෘතියෙන් වෙන්වූවකි. එය එසේ වූයේ ඇයි දැයි මම නොදනිමි. සමහර විට පටන් ගැන්මේ සිටම ඉංග්‍රීසීන්ගේ අරමුණ විශ්ව විද්‍යාල සිසුන් රටේ සංස්කෘතියෙන් මුදවා ගැනීම විය හැකිය. මෑතක් වනුරුම එහි බහුතරයක් ගුරුවරුන් රටේ සංස්කෘතියේ නොවීමද ඊට හේතුවක් වන්නට ඇත, පටන් ගැන්මේ සිට අද දක්වාම එහි කෙරෙන වාමාංශික දේශපාලනයද ඊට හේතුවක් වන්නට ඇත, ගුරුවරුන් හා සිසුන් අතර සාමාන්‍යයෙන් සමාජයේ වැඩිහිටියන් හා තරුණයින් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධය නැතිවීමද හේතුවක් විය හැකිය. මොන හේතු නිසා හෝ අද විශ්ව විද්‍යාල තුල ඇත්තේ රටේ සංස්කෘතියම නොවේ. ඒ නිසා එහි පැමිණෙන සිසුන් වසර හතරක පමණ කාලයකට තාවකාලිකව සමාජයෙන් වෙන්ව සිට ඉන් නික්මවූ පසුව නැවතත් සමාජයට අනුගත වෙන බව පෙනේ. ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් තුල මේ රූපාන්තරණය පැහැදිලිය.


විශ්ව විද්‍යාල රටේ පොදු සංස්කෘතියෙන් ඈත්වී තිබීම වක්‍රාකාරව ඒ වා කඩ බවට පත්වීමට බලපායි. සමාජයෙන් ඈත් වුූවිට විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන්  සමාජයට ඇති ප්‍රයෝජනය ගැන විශ්ව විද්‍යාල වලට අමතක කර දැමිය හැකිය. සමාජයට වෙන සෙත අමතක කර දැමූ විට වැදගත් වන්නේ සිසුන්ට පුද්ගලිකව ඇති සෙත පමණය. පුද්ගලිකව ඇති සෙත නම් ගෙවීමට සරිලන සහතිකයකි රස්සාවකි සමාජයේ ඉහල හිනි පෙත්තකි. ඒ නිසා විශ්ව විද්‍යාලවල කඩ ගතිය අඩු කර ගැනීමට නම් ඒ වා සාපේක්‍ෂ වශයෙන් මීට වඩා රටේ පොදු සංස්කෘතිය හා අනුගත විය යුතු යැයි මම සිතමි.


විශ්ව විද්‍යාල තුල බුද්ධිමය සංවාදයක් ඇති නොවීමද ඒ වා කඩ බවට පත්වීමට එක් හේතුවකි. එහි පැමිණෙන සිසුන්ට බුද්ධිමය සංවාදයක් කිරීමට අවශ්‍යතාවක් නැතැයි කිව නොහැකිය. එහි සිටින ගුරුවරුන්ටද බුද්ධිමය සංවාදයක් කිරීමට අවශ්‍යතාවක් නැතැයි කිව නොහැකිය. නමුත් එය සිදු නොවේ. එයටද එක් මූලික හේතුවක් ලෙස මා දකින්නේ විශ්ව විද්‍යාල සංස්කෘතියෙන් පොදු සමාජයෙන් වෙන්ව සිටීමය. අහසේ කෙරෙන සංවාද පැල ගන්නේ නැත. ඒ වා තාවකාලිකය. බුද්ධිමය සංවාදයකට පදනමක් තිබිය යුතුය. ඒ පදනම වැටෙන්නේ විශ්ව විද්‍යාල සංස්කෘතියෙන් පොදු සමාජය හා බද්ධව සිටීමෙනි.


මීට වසර විසි පහක පමණ කලකට ඉහතදී ජාතික චින්තනය නමින් බුද්ධිමය සංවාදයක් විශ්ව විද්‍යාල තුල ඇරඹිනි. ඒ සංවාදය රටේ සංස්කෘතියෙන් පොදු සමාජයෙන් වෙන්වූවක් නොව ඒ හා බද්ධ වූවක් විනි. ඒ නිසා අද චේගුවේරා අනුකාරකයින් තුල පෙනෙන පුද්ගලිකත්වයක් ඒ සංවාදය තුල නොතිබිනි.  ඒ බුද්ධිමය සංවාදයේ විවිධ පක්‍ෂ විපක්‍ෂ මතදාරීන්ට ඒ මතවාද විශ්ව විද්‍යාලයෙන් පිට වූ පසුද සමාජයට රැගෙන යාමට හැකිවුනේ ඒ සංවාදය රටේ පොදු සංස්කෘතිය හා බද්ධ වී තිබුනු නිසාවෙනි. ඒ සංවාදය විශ්ව විද්‍යාල ක්‍ෂේත්‍රයේ පවතින තාක් කල් විශ්ව විද්‍යාලවල කඩ ගතිය යම් දුරකට දුරු කෙරවීමට හැකි විනි. අදද අප කල යුත්තේ විශ්ව විද්‍යාල තුල සංස්කෘතිය හැකි තරම් රටේ සංස්කෘතියට අනුගත කිරීමය.

Friday, October 31, 2014

පාසල් යන්නේ කුමටද?

අප රටේ පාසල් හා විශ්ව විද්‍යාල මඟින් මූලික වශයෙන් කෙරෙන්නේ යම් විධිමත් ක්‍රමයකට අනුව සමාජය තුල දැනුම බෙදා හැරීමය. දැනුම බෙදා හැරීම තුලින් පොදුවේ සමාජයට කිසියම් සෙතක් වේයැයි අපි සිතන්නෙමු. නමුත් එසේ සෙතක් සලසන්නට නම් මේ ආයතන බෙදාහරින දැනුම් කෙබඳු විය යුතුද ඒ ඒ දැනුම් බෙදා හැරිය යුත්තේ කා අතරද ඒ ඒ දැනුම් බෙදා හරින විධික්‍රමය කුමක්ද වැනි ප්‍රශ්ණවලට පිළිතුරු අපි දැන ගෙන සිටිය යුතුය. නමුත් අපි කවදාවත් මේ ප්‍රශ්ණ අපෙන් විමසාවත් නැත. ඇත්තෙන්ම මෙරට දරුවන් පාසල් හා විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබිය යුත්තේ කුමක් අරභයාද?

සමහර දැනුම් පොදුවේ ගත්විට පතවතින්නේම දැනුම සඳහාය. සමහර දැනුම් ලෞකික ජීවිතය සුඛිත මුදිත කිරීමෙහි යොදා ගත හැකි දැනුම්ය. සමහර දැනුම් වැදගත් වන්නේ සමාජයක් යම් සදාචාරයක බැඳ තබා ගැනීමටය. අධ්‍යාපන ක්‍රමයකින් බලාපොරොත්තුව විය යුත්තේ මේ විවිධ වර්ගයේ දැනුම් සමාජයට උපරිම ලෙස වැඩදායක වන පරිදි ඒ ඒ දැනුමට සරිලන ක්‍රමයකට අනුව සුදුසු පුද්ගලයින් අතර බෙදා හැරීමය.


නමුත් අද අප රටේ පවතින අධ්‍යාපන ක්‍රමය ඉංග්‍රීසීන් විසින් ඇති කලේ මේ කිසිවක් සලකා බලා නොවේ. ඉංග්‍රීසීන්ට අවශ්‍ය වූයේ පාසල් හා විශ්ව විද්‍යාල හරහා ඉංග්‍රීසි සමාජයට ගැලපෙන උගතුන් පිරිසක් මෙරට ඇති කිරීමටය. නිදහසින් පසුද අප කලේ ඒ අධ්‍යාපන ක්‍රමයම කිසිදු වෙනසක් නැතිව තව දුරටත් රට පුරා ව්‍යාප්ත කිරීම පමණි. මේතාක් කල් එහි වෙනසක් සිදු කෙරුනේ නම් ඒ විශයමාලාවේ සහ විභාග ක්‍රමයේ යම් වෙනස් කිරීම් පමණි. නමුත් මේ කිසි වෙනසක් මෙරට සමාජයේ යහපත උදෙසා දැනුම බෙදා හැරිය යුත්තේ කෙසේද යන්න සලකා බලා කල වෙනස්කම් බව නොපෙනේ. අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම්ද මෙරට අනිකුත් ක්‍ෂේත්‍රවල සිදුකෙරෙන වෙනස්කම් මෙන් සුද්දා දැක්කොත් මොනව හිතාවිදැයි හීන මානයෙන් බටහිරුන්ගේ ඇගයීමට ලක්වෙනු පිණිස සිදුකෙරෙන ඒවාය.


විද්‍යා උපාධිය සමත්වීමට නම් අවකලණ සමීකරණ විසඳීමට දැන ගෙන සිටිය යුතුය. නමුත් මා හොඳින් දන්නා පරිදි විද්‍යා උපාධිදාරීන් අති බහුතරයකට මේ දැනුමෙන් ඇති එකම ප්‍රයෝජනය උපාධිය ලබා ගැනීම පමණි. ඒ දැනුමින් ප්‍රයෝජනයක් ඇත්නම් ඒ ඇත්තේ ආචාර්ය උපාධිය හදාරන අතලොස්සකට පමණි. උපාධිය සඳහා අවකලණ සමීකරණ විසඳීමට නම් උසස් පෙළට අවකලණය හදාරා තිබිය යුතුය. නමුත් උසස් පෙළට අවකලණය හැදෑරූ අයෙක් උසස් පෙළින් පසුව අධ්‍යාපනය නවතන්නේ නම් ඔහුටවත් ඔහුගෙන් සමාජයටවත් ඔහු දන්නා අවකලණය පිළිබඳ දැනුමෙන් සෙතක් වන්නේ නැත. සිදු වන්නේ ඉතා සුළු පිරිසකට පමණක් ප්‍රයෝජනයට ගත හැකි දැනුමක් බහුතරයක් විසින් විවිධ මට්ටම් වල විභාග සමත්වීමට පමණක් යොදා ගැනීමය. මෙය ප්‍රශ්ණයක් නොවේද? අවශ්‍ය කෙනෙකුට අචාර්ය උපාධියක් දක්වා ඕනෑම දැනුමක් ලබා ගැනීම සඳහා අයිතියක් මෙන්ම පහසුකමක්ද තිබිය යුතු බව අවිවාදයෙන් පිලිගනිමි. නමුත් සුළු පිරිසකට පමණක් ප්‍රයෝජනයට ගත හැකි දැනුමක් විශාල පිරිසක් අතර බෙදා හැරීමටත් ඔවුන් විසින් එය ලබා ගැනීමටත් කාලය ශ්‍රමය සහ ධනය යෙදවීම රටේ යහපත සඳහා කෙරන කාර්යක්‍ෂම ආයෝජනයක් විය නොහැකිය.


දළ වශයෙන් සැලකූ විට දැනුම සඳහාම පවතින බොහෝ දැනුම් පද්ධති (විශේෂයෙන්ම කලා හා විද්‍යා විශයන්) සම්බන්ධයෙන් මේ කථාව සත්‍යය යැයි මම සිතමි. බොහෝ කලා හා විද්‍යා උපාධිදාරීන් ලබන අධ්‍යාපනයත් ඔවුන් කරන රැකියාත් අතර පැහැදිලි ගැලපීමක් නැති බව රහසක් නොවේ. ඒ නිසා දැනුම සඳහාම පවතින දැනුම් බෙදා හැරිය යුත්තේ කෙසේද කා අතරද මොන ක්‍රමයටද යන්න ගැන අපි විසින් විමසා බැලිය යුතුය. එවැනි ප්‍රතිපත්තිමය විමසුමක් මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ කෙරී නැත.


දැනුම සඳහාම පවතින දැනුම් වලට සාපේක්‍ෂව ලෞකික සුඛවිහරණය සඳහාවූ දැනුම් (උදාඃ තාක්‍ෂණය, වෙදකම, ගොවිකම) වඩාත් පළුුල් ලෙස සමාජය තුල බෙදා හැරිය යුතුයැයි සිතිය හැකිය. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමය තුල එවැනි ප්‍රවණාතාවක් නැත. එය ප්‍රශ්ණයකි. බොහෝවිට ඉන්ජීනේරු විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව හදාරන්නට ලැබෙන්නේ තෝරා ගත් සුලු පිරිසකට පමණි. එසේ සීමා කිරීම එහි උගතුන්ගේ උන්නතියට හේතු විය හැකි වුවද පොදු සමාජයට ඉන් යහපතක් වේ යැයි සිතිය නොහැකිය. 


රටක සදාචාරය යනු දැනුම් පද්ධතියකි. සමාජයක් එක්ව ජීවත්වීමට නම් ඒ දැනුම පොදුවේ සැමට තිබිය යුතු අතර එය ක්‍රියාවේ යෙදවීමට පුරුද්දක් එහි මිනිසුන්ට තිබිය යුතුය. මේ දැනුම් පද්ධතිය බෙදා හැරීම පාසල් හා විශ්ව විද්‍යාලවල වගකීම විය යුතුය. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමය තුල අපේ සදාචාරාත්මක දැනුම් පද්ධතිය කියා නොදෙයි. එය ප්‍රශ්ණයකි.


දැනුම බෙදා හැරීම තුලින් උපරිම වශයෙන් සමාජයට සෙතක් සලසා ගන්නට නම් විවිධ දැනුම් ඒ ඒ දැනුමට සරිලන ක්‍රමයකට අනුව සුදුසු පුද්ගලයින් අතර බෙදා හරින්නේ කෙසේද යන්න විමසිය යුතුය. දැනුමට බය පක්‍ෂපාත විය යුතු නැත. දැනුමට දේවත්වයෙන් සැලකිය යුතු නොවේ. මිනිසුන් දැනුම් නිර්මාණය කරන්නේ අවිද්‍යාව නිසාය.  

Monday, October 27, 2014

අධ්‍යාපනය සහ රැකියාව

මීට වසර පණහකට හැටකට ඉහතදී වසර දහයක පමණ පාසල් අධ්‍යාපනයක් ලද අයෙකුට ආණ්ඩුවේ ලිපිකරු සේවයේ රැකියාවක් ලබා ඒ වරමින් එකල සමාජයේ මධ්‍යම පංතියට උසස්වීමක් ලබා ගැනීමට හැකිවිනි. නමුත් අද විශ්ව විද්‍යාල උපාධියක් ලබාවත් ඊනියා මධ්‍යම පංතියේ පා පුවරුවටවත් පය ගසා ගැනීමට නොහැකි අය සිටිති. ඊට හේතු බොහොමයක් තිබිය හැකිය. නමුත් මේ නොහැකියාවට හේතුව විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ යම් අඩුවක් යැයි පැවසීම නොමඟ යැවීමකි.

අද සමාජ හිනිමඟේ ඉහල යාමට ඇති තරඟය එදාට වඩා උග්‍රය. මීට වසර පණහකට හැටකට ඉහත ජීවත්වුනු බහුතරයක් ගැමියන්ට අපට මෙහෙම හොඳා යැයි සිතමින් උගතුන් විසින් පවත්වාගෙන ගිය සමාජ-හිනිමඟ ප්‍රතික්‍ෂේප කරන්නට තරම් ශක්තියක් තිබුනද අද ඒ ශක්තිය කාහටවත් නැත. අද මුළු රටම උත්සාහ කරන්නේ ඒ හිනිමඟේ ඉහලට යන්නටය. ඒ ගැන තනි පුද්ගලයින් මත වරදක් පැවරිය නොහැකිය. උගතුන්ගේ හිනිමඟෙහි දිගද ආනතියද එන්න එන්නම වැඩිවෙයි. අද රස්සාවක් සොයා ගැනීම සඳහා සමත් විය යුතු විභාග ගණන හැදෑරිය යුතු පාඨමාලා ගණන එදාට වඩා වැඩිය. හිනිමඟේ ආනතිය වැඩි නිසා පහල සිටිනවුන්ට දැනෙන ආතතියද වැඩිය. මේ ප්‍රශ්ණය විශ්ව විද්‍යාලවල කෙරෙන වෙනස්කම් තුලින් විසඳිය නොහැකිය. එය විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අවුලක් ලෙස සලකා ඊට විසඳුම් සෙවීම විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලබන සියයට අනූවකටත් වඩා වැඩි බහුතරයක් ශිෂ්‍යයන්ගේ සහ ඔවුන්ගේ දෙමව්පියන්ගේ ප්‍රශ්ණ අමතක කිරීමකිි.


ඔවුන් පිලිගැනීමට අකමැති වුනද අද රටේ සමාජ හිනිමඟ පවත්වාගෙන යන්නේ උසස් අධ්‍යාපනයක් ලද උගතුන් විසිනි. ඔවුන් සමහරක් සිතන පරිදි බටහිර අධ්‍යාපනය මඟින් ඇති කෙරෙන සමාජ විශමතාව අද නැති කලහොත් හෙට ඊට විකල්පයක් වශයෙන් කුලවාදයක් බිහිවේ යැයි පැවසීම තාර්කික නොවේ. සමාජයක් පවත්වාගෙන යෑමට ස්වභාවයෙන්ම එහි උස් පහත් බවක් තිබිය යුතුය යන්නද පිලිගත නොහැකිය. සමාජය විසින් උසස් යයි සැලකෙන පිරිසක් රටක සිටිය යුතු බව සත්‍යය. නමුත් ඔවුන් උගතුන් මෙන්ම ගුණවතුන්ද විය යුතුය. බටහිර ලිබරල් අධ්‍යාපන ක්‍රමය ගුණවත් මිනිසුන් බිහි කිරීම එහි වගකීම ලෙස සලකන්නේ නැත. නමුත් ගුණවත් මිනිසුන් බිහි කිරීම දෙමව්පියන්ගේ හෝ පංසලේ හෝ පල්ලියේ හෝ කෝවිලේ හෝ කාරියක් පමණක් නොව අධ්‍යාපන ක්‍රමයේම වගකීම විය යුතුය. එවැනි අධ්‍යාපන ක්‍රමයකින් බිහිවෙන නැණ ගුණවත් මිනිස්සු සමාජ හිනිමඟක් පවත්වාගෙන යාමට උනන්දු නොවෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. සමාජ විශමතාවට තුඩු නොදෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනඟා ගැනීම අපේ දීර්ඝ කාලීන අරමුණ විය යුතුය.


කෙටි කාලීනව අපට කල හැක්කේ සමාජ-හිනිමඟේ ඉහල යෑමට ඇති තරඟය සාධාරන තරඟයක් බවට පත් කෙරීමය. එය දෙආකාරයකින් සිදු කල යුතුය. එක් ආකාරයක් නම් අධ්‍යාපන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී කෙරීමය අනික රැකියාවලට බඳවා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී කෙරීමය.


අධ්‍යාපන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී කෙරීම යනු රටේ වැඩිපුර ඉල්ලුමක් ඇති, එනම් සමාජයේ ඉහලට යා හැකි යැයි සැලකෙන රැකියා දිනා ගත හැකි අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීමට සැමට සමාන අවස්ථාවක් ලබා දීමය. එය කල හැකි එක් ආකාරයක් නම් රජයේ සහ සාධාරන මුදලක් අය කරන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන බහුල කිරීමය. අනිත් ආකාරය කැමති විශයකින් ඉහල අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇති බාධක අවම කිරීමය. උදාහරණයක් වශයෙන් බොහෝ විශයන් ඉහලට හැදෑරීමට ගණිතයෙහි සමත්කම එතරම් වැදගත් නොවේ. එබැවින් සාමාන්‍ය පෙළ ගණිතය අසමත්වීම ඉන් ඉහලට අධ්‍යාපනයක් ලැබීම වැලැක්වීමට සාධාරන හේතුවක් නොවේ. උසස් පෙළ මට්ටමේදීම සිසුන් ඒ ඒ විශයධාරා තුලට කොටු කෙරීමද සාධාරන නොවේ. උසස් පෙළට පමණක් නොව විශ්ව විද්‍යාල මට්ටමේ මුල් දෙවසර පමණ දක්වා සිසුන්ට විවිධ විශයධාරා තෝරා ගැනීමට නිදහසක් දිය යුතුය.


රැකියාවලට බඳවා ගැනීමද මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුය. අද බහුතරයක් උපාධිදාරීන් සොයන්නේ විවිධ ක්‍ෂේත්‍රවල කලමණාකාර රස්සාය. එවැනි රස්සාවලට බඳවා ගැනීමේදී බලන්නේ ඔවුන්ගේ සොෆ්ට් ස්කිල්ස්ය. මේ සොෆ්ට් ස්කිල්ස් මොනවාත් නොව බටහිර සංස්කෘතිය අනුකරණය කිරීමට දක්වන සමත්කම්ය. ගැමි පරිසරයක වැඩුනු දෙමව්පියන්ගේ දරුවන්ට මේ සොෆ්ට් ස්කිල්ස් පිහිටන්නේ අඩුවෙන්ය. විශ්ව විද්‍යාලයේ කලා විශයන් හදාරන බහුතරයක් ගැමි දමව්පියන්ගේ දරුවෝය. සාපේක්‍ෂ වශයෙන් ඔවුන් රැකියා ලබා ගැනීමේදී අඩු සමත් දක්වන්නේ ඔවුන්ගේ සංස්කෘතිය නිසා මිස උපාධියට හදාරන විශය දැනුමේ අඩුවක් නිසා නොවේ. අපි කල යුත්තේ මේ දරුවන්ගේ මුදු ගති මකා ඔවුන්ට සොෆ්ට් ස්කිල්ස් පෙවීම නොවේ. සොෆ්ට් ස්කිල්ස් නැති ඉංග්‍රීසි භාශාව චතුර ලෙස කථා කල නොහැකි ප්රසන්ටේශන් කල නොහැකි ලංකාවේ උපාධි දාරීන්ට බටහිර රටක අචාර්ය උපාධියක් ලබා ගැනීමට හැකිනම් ඊනියා සොෆ්ට් ස්කිල්ස් ඔය කියන තරම් වැදගත් විය නොහැකිය.


බටහිර සංස්කෘතියේ සොෆ්ට් ස්කිල්ස් නැතිව ලංකාවේ කල නොහැකි කලමණාකාර රස්සාවක් තිබිය නොහැකිය. මේ ආයතන සේවය කරන්නේ ලංකාවේ මිනිසුන්ටය, ගණුදෙනු කරන්නේ ලංකාවේ මිනිසුන් සමඟය භාණ්ඩ අලෙවි කරන්නේ ලංකාවේ මිනිසුන්ටය. ඒ නිසා කළමණාකාර රස්සා වලට බඳවා ගත යුත්තේ ලංකාවේ සංස්කෘතියට අනුකුල නායකත්ව හැකියාවක් ඇතිවුන්ය. අතීතයේ නම් බෞද්ධ භික්‍ෂූන් විසින් ලබාදුන් නායකත්ව පුහුණුව කළමණාකරුවන් කෙසේ වෙතත් රජ වරු බිහි කිරීමට පවා ප්‍රමාණවත් විය. සිදුවිය යුත්තේ උපාධි දාරීන්ට ඊනියා සොෆ්ට් ස්කිල්ස් පෙවීම නොව රැකියා අයතන තුල පරිපාලන සංස්කෘතිය රටේ සංස්කෘතියට ගැලපෙන පරිදි යාවත් කාලීන වීමය.


සමාජ විශමතාව නිසා ඇති කෙරෙන පීඩනය මර්ධනය කර ගැනීමට නම් අධ්‍යාපන ක්‍රමයත් රැකියාවලට බඳවා ගැනීමත් මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී කර ගත යුතුය.

Friday, October 17, 2014

බටහිර අධ්‍යාපනය සමාජ විශමතාවට හේතුවකි

සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ අධ්‍යාපනය හරහා සමාජයේ උස් පහත් බේද සමනය වන බවය. නමුත් මේ කථාව සම්පූර්ණයෙන් නිවැරදි නොවේ. අපි ඒ බව තේරුම් නොගන්නා එක හේතුවක් නම් ඉංග්‍රීසීන් විසින් පාසල් හා විශ්ව විද්‍යාල මෙරට පිහිටවූදා පටන් ඒවායේ ඉගෙනගත් පිරිසකට සමාජයේ ඉහලට යන්නට හැකිවුනු බව අප දැක ඇති බැවිනි. නමුත් බටහිර අධ්‍යාපනය නිසා සමාජ විශමතාවක් ඇති නොවේ යැයි ඉන් කියවෙන්නේ නැත. අනිත් හේතුව අපි කවදත් කොතැනත් තිබුනේ එකම දැනුම් පද්ධතිය යැයි සිතීමට පුරුදුවී සිටීමය. ඒ නිසා සිංහල බෞද්ධ අධ්‍යාපනයත් බටහිර අධ්‍යාපනයත් අතර වෙනසක් ඇති බව අප අතින් ගිලිහෙයි.

මෙරට පැවති පිරිවෙන් අධ්‍යාපනය සැලකුවහොත් අතීතයේ පවා ඉන් සමාජ විශමතාවන්ට සැලකිය යුතු බලපෑමක් ඇති කලැයි සිතිය නොහැකිය. පිරිවෙන් අධ්‍යාපනයේ කෙරෙන්නේ ශාස්ත්‍රීය අධ්‍යයනයකි එහි ශිල්ප හෝ ජීවනෝපායන් පිළිබඳ ඉගැන්වීමක් නොකෙරිනි. ඒ නිසා ලෞකික සැප සම්පත් සහ අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවක් පිරිවෙන් අධ්‍යාපනය හරහා ගොඩනැඟුනේ නැත. සමාජයේ උසස් තැන ලැබුනේ විඤ්ඤූන්ටය උගත්කම ඊට අනිවාර්ය සාධකයක් වුනද ප්‍රමාණවත් නොවිනි. පිරිවෙන්හි උගත් භික්‍ෂූන් වහන්සේට සමාජයේ ඉහලම තැන ලැබුණු බැවින් ඊට පිටින් ගොස් උගත්කම මත පදනම්ව සමාජ ධුරාවලියක් තනා ගැනීමට ගිහියන්ට ඉඩක් නොලැබිනි. ඒ නිසා සිංහල බෞද්ධ අධ්‍යාපනය ගිහි සමාජයේ විශමතාවන්ට සැලකිය යුතු බලපෑමක් ඇති කලැයි කිව නොහැකිය. ඒ මඟින් සමාජ ධූරා වලියක් නිර්මාණය වුනේද නැත. සිංහල බෞද්ධ අධ්‍යාපනයක් ලැබූ පමණින් කෙනෙකු සමාජයේ ඉහලට ගියේද නැත.

නමුත් බටහිර අධ්‍යාපනය සමාජ විශමතාවන්ට සෘජු බලපෑමක් ඇති කරයි. අවශ්‍යනම් කෙනෙකුට බටහිර අධ්‍යාපනය ලබා කුලය, ආර්ථික තත්වය, දේශපාලන ශක්තිය වැනි සාධක වලින් නිර්මාණය කෙරෙන සමාජ විශමතා අභිබවා සමාජයේ ඉහලට යා හැකිය. නමුත් එසේ කරන්නට ඉඩ සලසා බටහිර අධ්‍යාපනය නිකන් සිටින්නේ නැත. තෝරා ගත් තනි පුද්ගලයින්ට සමාජයේ ඉහල යන්නට ඉඩ සලසන අතරම බටහිර අධ්‍යාපනයද ඊට ආවේනිකවූ ධූරාවලියක් සමාජ ගත කරයි. එහි උගත්තු ඒ ධූරාවලිය පවත්වාගෙන යයි.

ඒ ධූරාවලියට අනුව සමාන්‍ය පෙළ අසමත්, සමාජය සමාන්‍ය පෙළ සමත්, උසස් පෙළ සමත්, විශ්ව විද්‍යාල උපාධිය හිමි ආදී වශයෙන් සමාජය වර්ග කෙරෙයි. පුද්ගලයෙකුට ලෞකික සැප සම්පත් මෙන්ම සමාජයේ පිළිගැනීමද අඩු වැඩි වශයෙන් හිමිවෙන්නේ ඒ වර්ග කිරීමට අනුවය. ඒ අනුව කලින් නොතිබුනු සමාජ විශමතාවක් බටහිර අධ්‍යාපනය හරහා නිර්මාණය කෙරෙයි. යම් පුද්ගලයෙකුට අධ්‍යාපනයක් ලබා සමාජයේ ඉහලට යන්නට ලැබීම ඒ පුද්ගලයාට සාපේක්‍ෂව යහපත් දෙයක් වුනද සමස්ථ සමාජය සැලකුවිට සමාජ විශමතා ඇති කරන නිර්ණායකයක් සමාජගතවීම කිසිසේත් යහපත් නැත. මා දකින ආකාරයට අද අප සමාජයේ උස් පහත් බේදය ඇති කරන ප්‍රධානම සාධකය බටහිර අධ්‍යාපනයයි. ඒ වර්ග කෙරීම අභිබවා යන්නට සමාජය පිළිගත් විකල්ප සමාජ-හිණි මඟක් නැති බැවින් එහි දරුණුකම තවත් වැඩිය.

බටහිර අධ්‍යාපනය නිර්මාණය කරන සමාජ ධූරාවලිය පවත්වාගෙන යන්නේ එහි උගතුන් විසින්ය. බලාපොරොත්තුවිය යුතු අයුරින්ම අද ඒ උගතුන් බහුතරයක් සිංහල බෞද්ධයෝ වෙති. බටහිර අධ්‍යාපනය ලබා සමාජයේ  ඉහලට යන සියළු දෙනාම පාහේ තමන් අත් කරගත් තරාතිරම රැක ගනුවස් බටහිර අධ්‍යාපනයේ ධූරාවලියට ගරු කරති, ඒ සඳහා පෙනී සිටිති, සටන් කරති, ඒ ධූරා වලියට පිටින් සමාජයේ ඉහලට ඒම ඊරිසියා සහගතව වලක්වති. රැකියා වලට බඳවා ගැනීමේදී උසස්වීම ලබා දීමේදී පමණක් නොවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලවල පවා බටහිර අධ්‍යාපනයේ ධූරාවලිය රැක ගැනීමට උගතුන් ගන්නා උත්සාහයන් පිළිබිඹු වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදීව සමාජ ධූරාවලියක් පවත්වාගෙන යාමට නොහැකිය. බටහිර උගත්තු බටහිර අධ්‍යාපනයෙන් නිර්මාණය කෙරෙන සමාජ-ධූරාවලිය පවත්වාගන්නේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙසටය. එහි මූලික උපක්‍රමය සැමට එක සමාන උසස් අධ්‍යාපනයක් ලැබීමට ඇති පුද්ගලික අයිතිය ඇහිරීමය නැත්නම් අධ්‍යාපන ක්‍රමය තුලද විශමතාවක් ඇති කෙරීමය. යම් පාඨමාලාවක් හැදෑරීමට ඕනෑම කෙනෙකුට ඇති අයිතිය විවිධ හේතු දක්වා සීමා කල හැකිය නැත්නම් ප්‍රමිතියට ලක් කර හෝ නොකර හෝ එකම පාඨමාලාව උගන්වන වෙනස් ආයතන අතර උස් පහත් බේදයක් ඇති කල හැකිය. එපමණක් නොවේ, බොහෝවිට විභාග සමත්වීම සඳහා අවශ්‍ය දැනුමත් රැකියාව කරගෙන යාමට අවශ්‍ය දැනුමත් අතර ගැලපීමක් නැත. ඒ නිසා සමහරවිට නියමිත විශයන් හැර වෙනත් විශයයන් හැදෑරූ අයටත් අදාල විභාග අසමත් අයටත් අවශ්‍යනම් කෙටි පුහුණුවකින් පසුව යම් රැකියාවක් කරගෙන යාමට අවස්ථාවක් සලසා දීමට පුළුවන. නමුත් උගතුන් බොහෝවිට මෙවැනි දේට හරස් කපති. 

මතුපිටින් මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා සාධාරනය කෙරුනද එහි මූලික අරමුණ පොදු සමාජයේ යහපතට වඩා බටහිර අධ්‍යාපනයේ සමාජ-ධූරාවලිය රැක ගැනීමය. නිලධාරීවාදය ලෙස හැඳින්වෙන්නේද පොදුවේ එම ධූරාවලිය රැක ගැනීම සඳහා කෙරෙන කුහක කම්ය. අද අප රටේ බටහිර අධ්‍යාපනයක් නොලබන කෙනෙකු නැත. ඒ නිසා මේ සමාජ විශමතාව ඇතිකරන්නේද ඉන් පීඩාවිඳින්නේද අපමය.

බටහිර අධ්‍යාපනය නිසා බටහිර රටවලද සමාජ විශමතාවක් ඇති කෙරෙයි. නමුත් ඔවුහු එය අපට වඩා හොඳින් කළමණාකරනය කර ගනිති. ඔවුන්ට එසේ එය කරගත හැකිවී ඇත්තේ බටහිර සංස්කෘතිය පුද්ගලික අයිතීන් වැදගත් කොට සලකන නිසාය. ඒ නිසා බටහිර රටවල අධ්‍යාපන පද්ධති අපේ පද්ධතියට වඩා ප්‍රජාතන්ත්‍රවාදීය.

අප රටේ පවතින අධ්‍යාපන අර්බුද වලට මූලික හේතුව අධ්‍යාපන පද්ධතිය ප්‍රජාතන්ත්‍රවාදී බවෙන් හීනවීමය. අධ්‍යාපන පද්ධතිය ප්‍රජාතන්ත්‍රවාදී කරගැනීමට නොහැකි වී ඇත්තේ අපි බටහිර අධ්‍යාපනයක් ලබා ගත්තද බටහිර සංස්කෘතියට අනුගතවීමට නොහැකිවී ඇති නිසා විය යුතුය. අපි බටහිර සංස්කෘතියට අනුගත විය යුතු නොවේ නමුත් කෙටි කාලීන වශයෙන් හෝ අධ්‍යාපන පද්ධතිය මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී කරගත හැකිනම් අපට අධ්‍යාපනය නිසා ඇති කෙරෙන සමාජ පීඩනය හීන කර ගැනීමට හැකි වෙනු ඇත. එසේ ප්‍රජාතන්ත්‍රවාදී කරගැනීම තුලින් රටේ අධ්‍යාපන පද්ධතිය සමාජය වර්ග කිරීම සඳහා පවතින්නක් නොව දැනුම ලබා ගැනීම හා දැනුම නිර්මාණය කිරීම සඳහා පවතින්නක් බවට පෙරලා ගත හැකිය.

Friday, October 10, 2014

ජාතියක මතක : සිංහළුන් වඳ වී යයිද?

කාලයේ දිගින් දිගට යමක් පවතින්ට නම් අතීතය පිළිබඳ මතකයක් තිබිය යුතුය. මතකයක් නැත්නම් අපට හමුවන්නේ කාලය නමැති රේඛාවේ තැන තැන ඇති එකට හා නොවූ ලක්‍ෂ සමූහයක් පමණි. ඒ ලක්‍ෂ එකතු කර ජාතියකට ගලා යෑමක් ලබා දෙන්නේ ජාතියට ඇති මතකයයි. ඉර හඳ පවතින තුරුම සිංහල ජාතිය පවතින්නට නම් අපි ආරක්‍ෂා කරගත යුත්තේ සිංහල ජාතිය සතු මතකය.

ජාතියක මතක නොයෙක් ස්වරූපයෙන් තිබිය හැකිය. තමන් එම ජාතියට අයිති යැයි හඳුනාගන්නා පිරිසක් පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ඒම ඕනෑම ජාතියක පැවැත්මට අනිවාර්ය සාධකයක් බවකිව යුතු නැත. ජාතිය ඒ අකාරයට ජෛවීයව ගලා යන්නේ ජාතියේ ජෛවීය මතකය නිසා යැයි කිව හැකිය. බටහිර ජීව විද්‍යාවට අනුව සතුන්ගේ ජෛවීය මතකය ජානය. නමුත් ගැහැණියක හා පිරිමියකුගේ එක්වීමත් ඉන් ඇතිවෙන දරුවන්ට ජාන සම්ප්‍රේශණය වීමත් සලකා පමණක් ජාතියක් ජෛවීයව පවත්වාගෙන යන ආකාරය තේරුම්ගත නොහැකිය. ජාතියක ජෛවීය පැවැත්මට එහි සංස්කෘතිය ගැහැණුන්, විශේෂයෙන් මව්වරුන් පිළිබඳව දරන ආකල්ප වැදගත්ය. විවාහය හා දරුවන් හදා වඩා ගැනීම වැනි දේ පිළිබඳව දරන ආකල්ප වැදගත්ය. එහි මිනිසුන්ගේ ජීවන ක්‍රමය, කන බොන දෑ, මෙන්ම ඔවුන්ගේ කර්ම ශක්තිද වැදගත්ය.  සිංහල ජාතියේ ජෛවීය මතකය වන්නේ තම වර්ගයා බෝ කිරීම පිළිබඳව සිංහළුන්ට අනන්‍යවූ ඓතිහාසික සමාජීය අත්දැකීම් වලින් උරා ගත් සාරයකි. පරපුරෙන් පරපුරට සිංහල ජාතිය ගෙන යන්නේ ඒ ජෛවීය මතකයයි.

ජාතියක් පවතින්නට නම් එහි අනන්‍යතාව රැකිය යුතුය. ජාතියකට අනන්‍යතාව ලබාදෙන්නේ එහි සංස්කෘතියයි. සංස්කෘතිය වෙනස් නොවන දෙයක් නොවේ නමුත් එහි ගලා යෑමක් තිබිය යුතුය. සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ගලා යන්න නම් ජාතියකට සංස්කෘතික මතකයක්  (ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ වචනයෙන් ජීවමාන ඉතිහාසයක්) තිබිය යුතුය.

සංස්කෘතික මතකය යනු ඉතිහාසය පුරා වර්ධනය කරමින්, රැක ගනිමින් ගෙන ආ යම් යම් සක්‍රීය සංස්කෘතික ලක්‍ෂණය. උදාහරණයක් වශයෙන් සිංහලයාගේ බත් කෑම සංස්කෘතික මතකයක් ලෙස සැලකිය හැකිය. අපි වී ගොවිතැනේ සිට බත් කෑම දක්වා පිළිපදින සිරිත් විරිත් භාවිතා කරන විදික්‍රම ආදී බොහොමයක් අපට ලැබෙන්නේ අපේ දෙමව්පියන්ගෙන් බව සෑබෑය. නමුත් ඒ සියලු දෑ අපේ දෙමව්පියන්ගේ නිර්මාණ නොවේ. ඉතිහාසය පුරා සිංහළුන් විසින් බත් කෑමේ සංස්කෘතියට එකතු කරන ලද දේය. ඒ නිසා බත් කෑමෙහි ඓතිහාසික ක්‍රියාවලියක එකතුවක් නැත්නම් මතකයක් ගැබ්වී ඇත. සිංහල භාෂාවද එවැනි සංස්කෘතික මතකයකි. ජාතියේ අනන්‍යතාව ගලා යාමට නම් ජාතියකට එවැනි සංස්කෘතික මතක තිබිය යුතුය. ජාතියක් ඉතිහාසය දැන සිටි පමණින් සංස්කෘතික මතක පිහිටන්නේ නැත. උදාහරණයක් වශයෙන් ඊජිප්තු ජාතිකයින්ට පේරෝවරුන් දක්වා දිවෙන ඉතිහාසයක් තිබුනද අද වෙසෙන ඊජිප්තු ජාතිකයින්ට ඒ පිළිබඳ සංස්කෘතික මතක නැත. සංස්කෘතික මතක නැතිව සංස්කෘතියේත් ඒ නිසා ජාතියේවත් ගලා යෑමක් පවත්වාගත නොහැකිය.

ජෛවීය මතකයටත් සංස්කෘතික මතකයටත් අමතරව සිංහළුන්ට වැදගත් වන තවත් මතකයක් ඇත.  එය සංසාරික මතකය ලෙස හැඳින්විය හැකිය.

පෘතග්ජනයින් වශයෙන් අපි පුණර්භවය විශ්වාස කරන්නෙමු. ආත්මයෙන් ආත්මයට මැරි මැරී ඉපදෙන බව බුදු දහමින් අපට ලැබුනක් නොව ඉන් පෙර සිටම අප තුල පැවැති විශ්වාසයකි. ආත්මයෙන් ආත්මයට මිනිස් බව ලබා හෝ නොලබා හෝ සිංහල ජාතියටම බැඳී ඉපදීම ජාතියේ සංසාරික ගලා යෑමක් ලෙස හැඳින්විය හැකිය. (ආත්මයෙන් ආත්මයට යන සංසාරික ගලා යෑමත් පරම්පරාවෙන් පරම්පරාවට යන ජෛවීය ගලා යෑමත් එක මත එක සමපාත වන ගලා යෑම් නොවේ. ඒ සමාන්තර තල දෙක අතර සම්බන්ධයක් ඇතිවේ යැයි සැලකිය හැක්කේ මිනිස් උපතකදී පමණි). සංසාරික වශයෙන් ගලා යන්නේ සංසාරික මතකයක් නිසා යැයි කිව හැකිය. සිංහළුන්ගේ දේව ඇදැහිලි තුල ජාතියේ සංසාරික මතකයක් ගැබ්වී ඇත.

අතීතයේ සිටම සිංහලයෝ දෙවියන් සහ දේවතාවන් වන්දනා කරති. දෙවි දේවතාවන්ට ඇතැම් විට ගම් කොටු වශයෙන් හැඳින්වෙන නියමිත බල ප්‍රදේශ තිබිනි. ඒ නිසා සිංහල දෙවිවරු වියුක්ත සංකල්ප නොව යම් ප්‍රදේශයක ජීවත්වුනු මිනිසුන් හා යම් බැඳීමක් ඇති කරගත් අයවුහ. බොහෝවිට දේවත්වයට පත් වන්නේ මියගිය ප්‍රභුවරයෙකි. ඒ නිසා දෙවි දේවතාවන් සහ මිනිසුන් අතර ඇති බැඳීම තවත් ඇඟට දැනුනැයි කිව හැකිය. යම් කාලවලදී රජවරුන් බෝසතුන් ලෙස හැඳින්වුනද ඒ බෝසතුන්ද නැවත දෙවිවරුන් බවට පත් කර ගැනීමෙන් පෙනී යන්නේ විවිධ සංස්කෘතික බලපෑම් මත වුවද දේච ඇදහිල්ල ගිලිහෙන්නට නොදී රැක ගැනීමට සිංහළුන් තුලවූ බලවත් කැමැත්තය. ඊට කෘතගුණ සලකමින් තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ බැල්ම සිංහළුන්ට ලැබුනි.

කාලයෙන් කාලයට එකම දෙව් අසුනේ වැඩ සිටින්නේ එකම ආත්මය නොවේ යැයි පැවසේ. එය එසේ වීම තාර්කිකය. ඒ අනුව මනුස්ස නොවන ප්‍රාණීන්ද සිංහල ජාතියත් සමඟ සංසාරිකව බැඳී සිටින්නේ යැයි සිතිය හැකිය. දෙවිවරුන් පමණක්ද? ජාතියක් ජාතියක් පාසා මේ රටේම ඉපදෙන්නට පතන මිනිසුන්ද සිටිති. ඒ නිසා අපට ජාතියේ ජෛවීය ගලා යාමට සමාන්තරව සංසාරික ගලා යෑමක් ගැනද සිතිය හැකිය. සංසාරික ගලා යෑමට හේතුවන්නේ සංසාරික මතකයයි. සිංහළුන්ගේ දේව ඇදහිල්ල තුල සිංහල ජාතියේ සංසාරික මතකයක් සංකේතවත් වේ.

අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක මත රඳා පවතින ජෛවීය ගලායාමත් සංසාරික ගලායාමත් සංස්කෘතික ගලායාමත් සිංහල ජාතියේ පැවැත්ම ලෙස හැඳින්විය හැකිය. ඒ ගලා යාම් වලට පදනම් වන්නේ ජාතියේ මතකය. සිංහල ජාතියේ පැවැත්මට සෘජු බලපෑමක් කරනුයේ යම් සුළු ජනවර්ගයක ජනගහණ වර්ධනයක් නොව සිංහළුන් අතින් ජාතියේ මතක ගිලිහීමය. මතක අළුත් කර නොගත්තොත් යම් දිනක සිංහල ජාතියද වඳවීම වැලැක්විය නොහැකිය.

Tuesday, October 7, 2014

සිල්ලර වෙදකම

හැටේ දශකයේ ගාල්ල පැත්තේ ග්‍රාමීය රෝහලක කලක් සේවය කර දැන් විශ්‍රාම ගොස් සිටින බටහිර වෛද්‍යවරයෙකු වරක් මා සමඟ පැවසූයේ ඒ සමයේ එම රෝහලේ තිබුනේ ඖෂධ වර්ග දෙකක් පමණක් බවත් ඔහුට කල හැකිවූයේ එක් රෝගීන් ඝනයකට එක් ඖෂධයකුත් තවත් රෝගීන් ඝනයකට අනිත්  ඖෂධය දීමත් බවය. ඒ රෝග දෙකටම අයත් නොවුනු රෝගීන්ට කුමණ ඖෂධය දුන්නාදැයි මට අසාගන්නට බැරිවිනි. කෙසේ නමුත් එම රෝහලින් ඵලදායී සේවාවක් ඉටුවුනායැයි කිව නොහැකිය. එසේ වුනද ඒ ගමේ රෝගීන් ඒ රෝහලට ඇදී ආහ.

නිසැකයෙන්ම  එම බටහිර රෝහලෙන් කෙරුනු වෙදකමට වඩා වැඩි යමක් රෝගීන් වෙනුවෙන් කරන්නට එදා ගාල්ල ප්‍රදේශයේ සිටි දේශීය වෛද්‍යවරුන්ට පුළුවන් කමක් තියෙන්නට ඇති. එසේ තිබියදීත් දේශීය වෙදකම ගැන ගැමියන්ගේ තිබුණු විශ්වාසය ඉතා පහසුවෙන් සාධාරන හේතුවක් නොමැතිව බිඳ දමන්නට බටහිර වෛද්‍ය විද්‍යාවට හැකිවුනේ ඊට තිබුණු දේශපාලන ආධිපත්‍යය නිසා විය යුතුය.


එදාට සාපේක්‍ෂව අද වෙනවිට බටහිර වෛද්‍ය විද්‍යාව මෙරට තුල අත්පත් කරගෙන ඇති දේශපාලන බලය අතිමහත්ය.  අද බොහෝවිට රෝගීන් දේශීය වෛද්‍යවරු සොයා යන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් යම් ලෙඩක් සුව නොවෙන බව පෙනී යන විට පමණි. නමුත් මිනිසුන්, විශේෂයෙන්ම බටහිර සංස්කෘතියේ නොවෙන මිනිසුන්, ඒ කෙරෙහි තබන විශ්වාසයට බටහිර වෙදකමට සාධාරනයක් ඉටු කල හැකිද?


මා කථා කරන්නේ බටහිර වෛද්‍ය විද්‍යා දැනුමට යම් යම් රෝග සුව කිරීමට ඇති හැකියාව හෝ නොහැකියාව හෝ ගැන නොවේ. ඒ බව වැදගත්ය. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව සායනයේදී රෝගයත් රෝගීයාත් පිළිබඳ පිළිපදින ආචාර් ධර්ම හා ප්‍රතිපත්තිද වැදගත් කොට සැලකිය යුතුය (මේවා බටහිර දැනුමෙන් ස්වායත්ත යැයි ඉන් ඇඟවෙන්නේ නැත). වෛද්‍ය විද්‍යාවේ දැනුමටත් වඩා මේ ආචාර් ධර්ම හා ප්‍රතිපත්ති බටහිර සංස්කෘතිය සමඟ සමීපව සිටමින් සංස්කෘතිය වෙනස්වීමත් සමඟ වෙනස් වේ. ඒ නිසා සංස්කෘතියෙන් බටහිර නොවන මිනිසුන් බලාපොරොත්තු වෙන අන්දමේ සේවයක් බටහිර වෙදකමට ඉටු කල හැකිදැයි යන්න ප්‍රශ්ණයකි.


බටහිර වෛද්‍ය විද්‍යාව බටහිර භෞතික විද්‍යාව අනුගමනය කරමින් වියුක්ත මිනිසෙකු දකියි. ඒ වියුක්ත මිනිසාගේ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනෙන්නේ සංඝටක වලට බෙදා ගෙනය. ඒ අනුව මිනිසාගේ ක්‍රියාකාරිත්වය සංඝටක වල ක්‍රියාකාරකම්හි එකතුවක් ලෙස දකියි. එපමණක් නොවේ ඒ දකින මිනිසා සමාජයෙන්ද වෙන් කෙරේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ ආචාර් ධර්ම හා ප්‍රතිපත්ති වලට මේ විවිධ වෙන් කෙරීම් සෘජුවම බලපායි.


උදාහරණයක් වශයෙන් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව කෙනෙකුගේ මරණය සිදුවන්නේ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අත්හිට වුනු විටය. එය සම්මුතියක් මිස යම් මූල ධර්මයකින් පැන නඟින දැනුමක් නොවේ. මරණය එසේ වෙන් කර හඳුනාගත් කල බටහිර වෙදකමට අවසාන වශයෙන් වැදගත් වන්නේ මොනයම් ක්‍රමයකින් හෝ මොළයේ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමය. ඒ නිසා එහි සායනයේ ආචාර් ධර්ම හා ප්‍රතිපත්ති හැඩ ගැහෙන්නේ ඒ සඳහාය. නමුත් කෙනෙකුගේ නිරෝගී සම්පත මොළයේ ක්‍රියාකාරිත්වයට ලඝු කල හැකිනොවේ. කෙනෙකුගේ නිරෝගී සම්පත ඒ පුද්ගලයාට පමණක් අදාල ඔහුට පමණක් අයිති ප්‍රශ්ණයකුද නොවේ. නමුත් බටහිර වෙදකමේ අචාර ධර්මවලට ඒ සංකීර්ණකම් දරා ගත නොහැකිය.


සිරුරේ ක්‍රියාකාරිත්වය සංඝටක වලට වෙන් කෙරීම නිසා ඒ ඒ සංඝටක වල රෝගාබාධ පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති බටහිර වෛද්‍යවරු වෙති. නමුත් බොහෝවිට විවිධ විශේෂඥයින් දෙන උපදෙස් ගොනු කරගැනීමට තරම් සාමාන්‍ය මිනිසුන්ට හැකියාවක් නැත. රෝගීන්ට අවශ්‍ය තමන්ට ඇති සියලු ආබාධ ගැන සොයාබලා කටයුතු කරන විශේෂයෙන්ම ඒ ගැන වගකීම ගත හැකි යම් වෛද්‍ය වරයෙකි. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ අචාර ධර්ම සහ ප්‍රතිපත්ති වැදගත්කමක් දෙන්නේ විශේෂඥ දැනුමට මිස සමස්ථ දැනුමට නොවේ.
අනුව අවසානයේ රෝගියා තමාගේම වෛද්‍යවරයාද වන්නට සිදුවේ.

බටහිර වෛද්‍ය ප්‍රතිකර්ම වලින් බොහෝවිට රෝග නිට්ඨාවටම සුව වේ යැයි සැලකෙන්නේ නැත. එහි කෙරෙන්නේ රෝග තත්ව කළමණාකරනයකි. ඒ නිසා එකම ආබාධය වුවද විවිධ තත්ව යටතේ විවිධ ආකාරවලට කළමණාකරගැනීමට පුළුවන. යම් ප්‍රතිකර්මයකින් යම් රෝගයක් නිට්ඨාවටම සුවවේ නම් කල යුත්තේ ඒ ප්‍රතිකර්මය බවට විවාදයක් නැත. නමුත් රෝගය විවිධ ආකාරවලට කළමණාකර ගැනීමට හැකිවන විට පිලිපැදිය යුත්තේ ඉන් කුමණ ආකාරයද යන්න ප්‍රශ්ණයක් බවට පත්වේ. බටහිර අචාර ධර්මවලට අනුව ඒ තෝරා ගැනීම කල යුත්තේ රෝගියා මිස වෛද්‍යවරයා නොවේ. බටහිර සංස්කෘතියට එය ප්‍රශ්ණයක් නොවන්නේ එහි මිනිසුන් සමාජයෙන් ස්වායත්තව වැඩ කරන බැවිනි. නමුත් වෛද්‍යවරයාත් රෝගියාත් ඔහුගේ නෑ හිත මිතුරනුත් බැඳුනු සමාජයකට ඒ ආචාර ධර්ම ගැලපෙන්නේ නැත.


බටහිර වෙදකමේ අචාර ධර්ම හා ප්‍රතිපත්ති සිංහල බෞද්ධ සංස්කෘතිය හා සමපාත නොවෙන බව පැහැදිලිය. බටහිර සංස්කෘතියත් සමඟ වෙනස් වෙමින් පැමිණ අද වෙන විට බටහිර වෙදකම කඩේ සබන් විකුණනවා හා සමාන සිල්ලර වෙළඳාමක් බවට පත්වී ඇත.  රෝගීන්
එහි සබන් තෝරන පාරිභෝගිකයින් මෙනි. මෙරට බටහිර වෛද්‍යවරුන් කෙතරම් සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව හැඩ ගැහුනද ඔවුන්ට බටහිර වෙදකමේ ආචාර ධර්ම වලින් සම්පුර්ණයෙන්ම ගැලවිය නොහැක්කේ ඒවා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ස්වායත්ත නොවන නිසාය. අපිද බටහිර සංස්කෘතියට අනුව හැඩ නොගැසුනොත්  බටහිර වෙදකම මෙහි පවත්වාගත හැකිවන්නේ දේශපාලන බලයෙන් පමණි.

Friday, October 3, 2014

විරාතු හිමි සහ අපි

බුරුමය, ලාඕසය, කාම්බෝජය සහ තායිලන්තය යන රටවල අති බහුතරයක් ජනතාව ථෙරවාදී බෞද්ධයෝ වෙති. වියට්නාමයේද මුලින් මහායාන බුදු දහම මුල් බැස තිබුනද විසිවන ශත වර්ශයේ සිට ථෙරවාදී බුදු දහමේ පුණුරුදයක් දකින්නට ඇත. මේ රටවල ජනගහණ එකතුව මිලියන 230 කට වැඩිය. මේ බෞද්ධයින් අතීතයේ සිය වස් ගණනාවක් තිස්සේ නොකඩවා අප සමඟ සම්බන්ධව සිටියත් අද අපි ඔවුන් ගැන දන්නේ බීබීසිය හෝ වෙනයම් බටහිර මාධ්‍යයක්  අපට කියා දෙන දේ මිස අපේ ඇසින් දැක ගන්නා දෙයක් නොවීම අභාග්‍යයකි.

මේ හැම රටක්ම දහඅට සහ දහනව වන සියවස් තුල බටහිර (ලංදේසි, ප්‍රංශ, ඉංග්‍රීසි) අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහනයට හසුවී තිබී අප මෙන් සීමා සහිත නිදහස ලැබුවෝ වෙති. අද බටහිරුන් මෙන්ම ආසියාතික දැවැන්තයෝද නැවතත් ඔවුන්ගේ සම්පත් සූරා කෑමට බැල්ම හෙලති.


ඓතිහාසිකව මේ රටවල අධිරාජ්‍ය විරෝධී සටන් නොමඟ ගියේ බුදු දහමට නොගැලපෙන සමාජවාදයක් කර පින්නා ගැනීමට යෑමෙනි. ඒ නිසා මේ කිසි රටක කල් පවතින ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟුනේ නැත. නමුත් අද වනවිට බුරුම බෞද්ධයින් විසින් ජාතික ව්‍යාපාරයක් ගෙඩනඟමින් සිටිති. විරාතු හිමියන් නියෝජනය කරන්නේ ඒ දණගාන අවදියේ පවතින බුරුමයේ ජාතික ව්‍යාපාරයයි. විරාතු හිමියන්ගේ ව්‍යාපාරය බටහිරුන්ගේ ආදරයට පාත්‍රවූ බුරුම විපක්‍ෂය නොවේ. අපි ථෙරවාදී බෞද්ධයින් වශයෙන් විරාතු හිමියන්ගේ බුරුමය සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගත යුතුවෙමු.


බුරුමය සමඟ පමණක් නොවේ ලාඕසය, කාම්බෝජය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් සමඟද අදට වඩා කිට්ටු මිතු දම් ඇති කර ගත යුතුවෙමු. ඒ සඳහා අපි විකල්ප මාධ්‍ය ජාලයක් නිර්මාණය කර ගත යුතු වෙමු. මේ රටවල මිනිසුන් ඉංදියානුවන්ටත් වඩා, විශේෂයෙන්ම උතුරු ඉංදියානුවන්ට වඩා සංස්කෘතියෙන් අපට ලඟය. ඒ බව බටහිර රටවල ඇති අපේ පංසල් වලට කිට්ටුවෙන ඒ වැසියන්ගෙන් පෙනේ. අපි ඔවුන් සමඟ සම්බන්ධකම් තර කර ගත යුත්තේ අපේ සහ ඔවුන්ගේ සදාචාරයට අනුවය. එදා අනගාරික ධර්මපාලතුමා හෙන්රි ඔල්කට් මහතාට රැවටී ඉංදියාවට නොගොස් බුරුමයට ගියේ නම් අද වෙන විට අපි බුරුමය සමඟ මීට වඩා හොඳ සම්බන්ධ කමක් ඇති කර ගන්නට ඉඩ තිබිනි. කෙසේ වෙතත් බොදු බල සේනාව විසින් විරාතු හිමියන් මෙහි වඩැම්මවීම බුරුමය සමඟ ඓතිහාසික සම්බන්ධකම් අළුත් කර ගැනීමට මුල පිරීමක් කර ගත යුතුය. එවැනි සම්බන්ධකම් තනාපති සම්බන්ධකම් වලට වඩා වටී. කොක්ටේල් ඩිනර් පාටි තුලින් කෙරෙන තනාපති සේවය අවශ්‍යමනම් එය බටහිර රටවලට පමණක් සීමා කිරීම සුදුසුය.


බුරුම ජාතික ව්‍යාපාරයට වඩා සිංහළුන්ගේ ජාතික ව්‍යාපාරය මුහුකුරා ගොස් තිබුනද 2009 පසු අපි නැවතත් මං මුලාවී සිටින්නෙමු. එල්ටීටී ත්‍රස්තවාදය පැරදවීමෙන් පසු ගත යුතු මඟ පිළිබඳව නිසි අවබෝධයක් හෝ සම්මුතියක් අපට තිබුනේ නැත. 2009 දී රජයට කරන්නට තිබුනේ 13 වෙනි සංශෝධනය කුණු කූඩයට දමා රටේ ඉතිහාසයට සහ සංස්කෘතියට ගැලපෙන විමධ්‍යගත දේශපාලන ව්‍යුහයක් නිර්මාණය කර එය පදනම් කරගෙන ප්‍රබල ඒකීය රාජ්‍යයක් ගොඩනඟා ගැනීම සඳහා අත්තිවාරම් දැමීමය. අදටත් අප විසින් කල යුතු මූලික කාර්යය එයය. නමුත් මේ වෙනවිට අපි තවත් ප්‍රශ්ණ ඇති කරගෙන සිටින්නෙමු. වසර තිහක් තිස්සේ නිදා සිටි යම් දුෂ්ඨ බලවේගයක් හදිසියේ නැගිටවිත් රටම වෙලා ගත්තා සේ 2009 න් පසු අපි සදාචාරාත්මකව වේගයෙන් පරිහාණියට පත් වෙමින් සිටින්නෙමු. මේ වැටීම 77දී වැටුන වැටීමටත් වැඩි යැයි මම සිතමි. අචාර ධර්ම පිරිහීම නිසා රට තුල සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණයක් නිර්මාණයවී ඇත. ඉදිරියේදී ඒකීය රාජ්‍යයට ඇති තර්ජන ජය ගත යුත්තේ ඒ සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණද විසඳා ගනිමින්ය.


මේ ජාතික ප්‍රශ්නවලට පිළිතුර තෙවෙනි දේශපාලන බලවේගයක් තැනීම නොවේ. මෙරට සාමාන්‍ය මිනිස්සු ජාතික වුවද තුන්වෙනි බලවේගයකට මෙරට පාර්ලිමේන්තු බලය ලබා දෙන්නේ නැත. එහෙව් එකේ තමන් මූලික කරගෙන දේශපාලන බලයක් ගොඩනැඟීමට උත්සාහ කරන්නේ නම් බොදු බල සේනාව ඉන් කරන්නේ ජාතික ව්‍යාපාරය අඩපන කිරීමකි. අනගාරික ධර්මපාල තුමා සිංහළුන් මත තම මතවාදය වපුරවමින් සුද්දන්ට පහර දුන්නා මිස තමන් වෙත දේශපාලන බලයක් රැස් කර ගැනීමට උත්සාහ නොකලේය. රටේ දැවෙන ප්‍රශ්ණ සඳහා විසඳුම් සමාජ සම්මත කරගන්නට හැකි වෙනවිට නිරායාසයෙන්ම එය ක්‍රියාත්මක කල හැකි ජාතික නායකයින් කල එලි බසිනු ඇත. තවමත් අපි තරම් සංකර නොවුනු බුරුම ජාතිකයින්ගෙන් අපට ඒ සඳහා පාඩම් ලබා ගත හැකිය.


ජාතික බලවේග අද කල යුත්තේ විකල්ප දේශපාලන කේන්ද්‍ර නිර්මාණය කිරීම නොව පිරිහෙමින් පවතින සංස්කෘතිය ගොඩ ගැනීමට මඟක් සෙවීමය, ඒ හරහා ඉන්ද්‍රිය තවමින් ආර්ථික වර්ධනයක් ඇති කරගන්නා ආකාරය සෙවීමය, වෙන් වෙමින් යන සුළු ජාතීන් හා අන්‍යාගමිකයින් නැවත ජාතියට එක් කරන මඟක් සෙවීමය. කුරාණයේ ඇති නැති දේ මුස්ලිම් සංස්කෘතියට අදාල ප්‍රශ්ණ මිස සිංහල බෞද්ධයින්ගේ ප්‍රශ්ණයක් නොවේ. යාපනයේ ජනතාවට බෙදුම්වාදී දේශපාලනයට විකල්පයක් ලබා දෙන තාක් කල් රටේ ඒකීය බවට තර්ජයක් ඇත. ඒ දෙමළ ජනයා ජාතියට එක් කර ගැනීමද ජාතික ව්‍යාපාරයේ වගකීමය. අද මැදිවිය පසු කරමින් සිටින ජාතිකවාදී දේශපාලන නායකයින් ඒ සඳහා ඉදිරිපත් වෙයිද? අනුවණකමට හෝ තම සිරුරට ගිණි තබා ගෙන දිවි පුදමින් රටට ඇති ආදරය ප්‍රකාශ කරන ඔවුන්ගේ වයෝවෘද පියවරු ඉල්ලා සිටින්නේ තමන් නොව රට පෙරට තබනු කියා විය යුතුය.

Tuesday, September 30, 2014

අපිට හඳට යන්න බැරිද?

මංගලයාන් නමින් හැඳින්වුනු අභ්‍යවකාශ යානයක් අඟහරු ලොවේ කක්‍ෂය වෙත යැවීමට පසුගිය දිනක ඉංදියානු ඉන්ජිනේරුවෝ සමත් වුහ. මීට පෙරාතුව ඊට සමත්වී තිබුනේ රුසියාවත් යුරෝපීය රටවල්වල එකතුවකුත් ඇමෙරිකාවත් පමණි. අනෙක් රටවලට සාපේක්‍ෂව ඉංදියාව ඒ සඳහා දරා ඇති වියදම කුඩා වීමද වැදගත් කොට සැලකිය යුතුය. කෙසේ වෙතත් තමන්ගේ තාක්‍ෂණික හපන් කම් ගැන ඉංදියානුවන්ට ආඩම්බරවිය හැකිය. ඉංදියාවට හැකිවුනත් අපට මෙවන්දේ කල හැකිද?

ක්‍රිකට් ක්‍රීඩාවේදී ඉංදියාව හා කරට කර සිටින්නට හැකි වුනත් අපි අභ්‍යවකාශ තාක්‍ෂණයෙන් සිටින්නේ ඉංදියාවට බොහෝ පිටු පසින්ය. එපමණක් නොවේ අනිකුත් උසස් යැයි සැලකිය හැකි තාක්‍ෂණ අංශ රාශියකින් අපි සිටින්නේ ඉංදියාවට පසු පසින්ය. පරිගණක තාක්‍ෂණයේ මෙන් නොව අභ්‍යවකාශ තාක්‍ෂණයේ නිර්මාණ සඳහා අධික මිනිස් ශ්‍රමයක්, කාලයක් සහ ධනයක් වැය කල යුතුය. ඒ නිසා එහි කටයුතු සඳහා රජයේ අනුග්‍රහය අනිවාර්යයෙන්ම හිමි විය යුතුය. කිසියම් තාක්‍ෂණයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයක මැදිහත් වීමෙන් පෙන්නුම් කරන්නේ ඒ තාක්‍ෂණය එරට දේශපාලන ආර්ථික හා සංස්කෘතික ආකල්ප හා කෙතරම් සමපාත වේද යන්නය. වඩාත් වැදගත් වන්නේ සංස්කෘතික සංරචකයයි. ඒ නිසා අභ්‍යවකාශ තාක්‍ෂණයේදී ඉංදියාව හා ශ්‍රී ලංකාව අතර ඇති විශාල පරතරයට දෙරට අතර ඇති යම් සංස්කෘතික වෙනසක්ද බලපාන බව කිව හැකිය. මතුපිටින් බැලූ විට ඉංදියාව හා ශ්‍රී ලංකාව අතර එතරම් විශාල සංස්කෘතික වෙනසක් නැත, එසේ නම් මෙහිදී අදාල වෙන සංස්කෘතික වෙනස කුමක්ද?


අභ්‍යවකාශ තාක්‍ෂණය යනු වාස්ථවිකවූ දැනුම් පද්ධතියක් නොව මුලු මනින්ම පාහේ බටහිර සංස්කෘතියේ නිර්මාණය වූවකි. මීට වසර හාර පන්සියයකට කලින් කොණ්ඩෙ බැඳපු චීනුන්ද අහසේ ඉහලට යන රොකට්ටු යැවීමට දැන ගෙන සිටින්නට ඇතැයි සිතිය හැකි වුනත් මංගලයාන් යානයට පාදක වුනේ චීනුන්ගෙන් ගලා ආ තාක්‍ෂණයක් නොව බටහිරුන්ගෙන් ගලා ආ තාක්‍ෂණයකි. අභ්‍යවකාශ තාක්‍ෂණය පමණක් නොව අද ලොවේ වැදගත් යැයි සැලකෙන සියලු දැනුම් ගලා එන්නේ බටහිර සංස්කෘතියෙනි. මෙතෙක් කල් නොකඩවා පවත්වාගෙන ආ ලොව පැරණිම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන්නේ එකලොස්වන සහ දොලොස්වන සියවස් වල බටහිර යුරෝපයේ ආරම්භ කෙරුනු විශ්ව විද්‍යාලයි. ආසියාවේ සහ අප්‍රිකාවේ අදටත් පවතින පැරණිතම විශ්ව විද්‍යාල දහනවවෙනි සහ විසිවෙනි සියවස් වල බටහිරුන් විසින්ම ඇති කල ඒවාය. ඒ අනුව දැනුම ගලා එන්නේ කොහෙන්ද යන්න පැහැදිලිය.


දැනුම ගලා එන්නේ බටහිරෙන් නම් බටහිර නොවන රටවල් සිය තාක්‍ෂණික දැනුමෙහි පෙන්වන විශමතාවට පදනම විය හැක්කේ බටහිර දැනුම අවශෝෂණය කර ගැනීමට ඒ ඒ සංස්කෘති දක්වන සමත්කම වියයුතුය. ඒ අනුව අපිට නිගමනය කල හැක්කේ ඉංදියාවත් ශ්‍රී ලාංකාවත් අභ්‍යවකාශ තාක්‍ෂණයෙන් දක්වන වෙනසට එක් ප්‍රධාන හේතුවක් අපි බටහිර දැනුම අවශෝෂණය කර ගැනීමට ඉංදියාව තරම් සමත් නොවීම බවය. දෙරට අතර ඇති මාතෘකාවට අදාල සංස්කෘතික වෙනස එයයි. පරිගණක තාක්‍ෂනය වැනි සාපේක්‍ෂ වශයෙන් සංකීර්ණ නොවුනු දැනුම් පද්ධතියක් සම්බන්ධයෙන් ඒ වෙනස නොපෙනුනත් අභ්‍යවකාශ තාක්‍ෂණය වැනි සංකීර්ණ දැනුම් පද්ධතියක් සම්බන්ධයෙන් ඒ සංස්කෘතික වෙනස කදිමට පෙන්නුම් කෙරෙයි.


නමුත් ඉංදියාව තුලද විවිධ පළාත් බටහිර දැනුම අවශෝෂණය කර ගැනීමට දක්වන්නේ එක සමාන සමත්කමක් නොවේ. ඉංදියාවේ විශිෂ්ඨ යැයි සැලකෙන විශ්ව විද්‍යාල රැසක් පිහිටා ඇත්තේ උතුරු සහ බටහිර ඉංදියාවේය. ඊට සාපේක්‍ෂව දකුණු සහ නැගෙනහිර පළාත් සිටින්නේ පසු පසිනි. ඉංදියාවේ ප්‍රධාන කාර්මික ප්‍රදේශ පිහිටා ඇත්තේද උතුරේ සහ බටහිරය. මෙදා මෝඩි මහතාට වැඩි ඡන්දයක් ලැබුනේද ඒ පළාත්වලිනි. ඉංදු ආර්ය ලෙස සැලකෙන භාෂාවන් ව්‍යාප්තවී ඇත්තේද උතුරු සහ බටහිර ඉංදියාවේය. පැහැදිලිවම ඉංදියාවේ උතුරු සහ බටහිර ප්‍රදේශත් දකුණු සහ නැගෙනහිර ප්‍රදේශත් අතර සංස්කෘතික වෙනසක් ඇත. බටහිර දැනුම අවශෝෂණය කර ගැනීමේදී ඉංදියාව තුල මූලිකත්වය ගන්නේ එහි උතුරු සහ බටහිර ප්‍රාන්ත වල සංස්කෘතිය. මේ සන්දර්භය තුල සංස්කෘතිකව අප අයිති වන්නේ ඉංදියාවේ දකුණු සහ නැගෙනහිර පළාත් අයිති කුලකයටය.


යම්කිසි සංස්කෘතික වෙනසක් නිසා බටහිර සහ උතුරු ඉංදියාවට තරම් අපට බටහිර දැනුම අවශෝෂණය කර ගැනීමට හැකියාවක් නැත. ඉංදියාවේ අභ්‍යවකාශ තාක්‍ෂණයේ පියා ලෙස සැලකෙන ආචාර්ය වික්‍රම් සරබායි පැවත එන්නේ බටහිර ඉංදියාවේ ගුජරාට ප්‍රාන්තයෙනි. ඔහු එංගලන්තයේ අචාර්ය උපාධිය ලබා ඉංදියාවට පැමිණ වයස අවුරුදු තිහ ලබන්නටත් ප්‍රථමයෙන් ජාතික තලයේ පර්යේශණාගාර රැසක් ආරම්භ කිරීමට පුරෝගාමීවිය. ඔහුට බටහිර දැනුම හොඳින් පිහිටුවා පමණක් නොවේ ඉන් වැඩක් ගැනීමට හැකියාවක් සහ දැක්මක්ද තිබිනි. මේ පන්නයේ බටහිර උගතුන් ලංකාවේ දුලබය. සමහර රට හැරදා යන ශ්‍රී ලාංකික උගතුන් ලංකාවේ වැඩ කිරීමට බලධාරීන් (මෙහිදී ලංකාව ඉංදියාවෙන් වෙනස් යැයි කිව නොහැකිය) ඉඩ නොදේ යැයි කං කෙඳිරි ගෑවද  ඔවුන් බහුතරයක් පිටරට ගොස් කරන වැදගත් වැඩක්ද නැත. වැඩිම වුනොත් ඔවුන් කරන්නේ තමන්ට වැඩක් කර ගැනීමය.


ප්‍රශ්ණය අපේ උගතුන්ගේ නොවේ ප්‍රශ්ණය සිංහල බෞද්ධ සංස්කෘතියට බටහිර දැනුම අවශෝෂණය කර ගැනීමට නොහැකිවීමය. ඒ නිසා බොහෝ බටහිර තාක්‍ෂණ අපට ග්‍රහණය කර ගැනීමට හැකිවනුයේ එය පාරිභෝගික මට්ටමට සරලවූ පසුවය. සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට රැකෙනතාක් කල් එය නොවෙනස් වෙනු ඇත. මේ බව අවබෝධ කර නොගෙන උද්දච්ඡව කටයුතු කිරීමෙන් සිදුවෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය තවත් පරිහාණියට පත්වීම පමණි.


මේ පසුබිම යටතේ අපි උත්සාහ ගත යුත්තේ බටහිර තාක්‍ෂණයට අනුගත වන පරිදි අපේ සංස්කෘතිය වෙනස් කිරීමට නොව අපට ගැලපෙන පරිදි බටහිර තාක්‍ෂණ තෝරා බේරා ගැනීමටය. බටහිර තාක්‍ෂණය පිළිබඳව ඉංදියාවේත් අපේත් ආකල්පීයමය වෙනස විය යුත්තේ එයයි. අපි බටහිර තාක්‍ෂණයෙන් පිට ගොස් අපට අනන්‍යවූ දේශීය තාක්‍ෂණයක් ගොඩනඟන්නේ නම් ඒ තාක්‍ෂණයත් සමඟම සංස්කෘතියද වෙනස් කර ගත්තාට කමක් නැත.

Friday, September 26, 2014

වාස් පියනම අපේ කෙරීම සහ අපේ කර ගැනීම

ලංකාවේ එක්තරා පේණ කියන තැනත්තියකට පත්තිණි මෑණියන්ගේ මෙන්ම සාන්ත අන්තෝනි තුමා ගේද අනුග්‍රහය ලැබෙන බව කියවේ. මේ දෙපල අතර කිසි සම්බන්ධයක් ඇතැයි සිතිය නොහැකි වුනද වෙරළබඩ තිබුනු සමහර පත්තිනි දේවාල එකල පෘතුගීසීන් විසින් කතෝලික පල්ලි බවට පත් කිරීම හා එය ගැලපේ.

කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයට වැඳුම් පිදුම් කරන්නේ කතෝලිකයින් පමණක් නොවේ. බෞද්ධයෝත් හිංදුවරුත් එහි යති එති. ඉන් පැහැදිලි වන්නේ සාන්ත අන්තෝනි තුමා අපේ කරගත් ආකාරයය. පෘතුගීසීන් විසින් බලෙන් පැටවුනද කතෝලික ආගම සිය සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට තරම් ශක්තියක් සිංහළුන්ට තිබිනි. අද අපට බටහිරෙන් එන සහ බලෙන් දෙන බොහෝ දේ අපේ කර ගැනීමට තරම් ශක්තියක් නැතිවීම කණගාටුවට කරුණකි.

සංස්කෘතියක් පරිහාණියට පත් වෙන්නේ එය තමන්ට රිසි පරිදි වෙනස් කර ගැනීමට හැකියාවක් එහි මිනිසුන්ට නැති වෙන විටය. අද අපි දෙන දේ ගෙඩිය පිටින් භාර ගන්නෙමු. ඉංග්‍රීසීන්ගෙන් ඊනියා නිදහසක් ලැබීමෙන් පසු මෙරට විදේශ ප්‍රතිපත්තියක් කියා යමක් තිබුනේ නම් එය එංගලන්තයේ හෝ ඇමෙරිකාවේ හෝ විදේශ ප්‍රතිපත්තිවලට නැමෙන ඔවුන්ට තේරුම්ගත හැකි ඔවුන්ගේ ආකෘතියට ගැලපෙන එකක් විය. මෙතෙක් කල් අපේ තනාපති ක්‍රමය ගෙඩිය පිටින් ගත් දෙයක්විය. නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා තනාපති ක්‍රමය අපේ එකක් බවට පත් කරමින් සිටියි. අපේ රටට රටේ ආර්ථික හා යුදමය ශක්තියට එහා යන දේශපාලනික පිළිගැනීමක් සහ අනන්‍යතාවක් ජාත්‍යාන්තරව අත් කරදීමට ඒ මහතාට හැකිවී ඇත. එසේ හැකිවී ඇත්තේ මෙතෙක් කල් අපි අනුගමනය කල බටහිරෙන් ලබා ගත් තනාපති ක්‍රමයට අනුව නොව එය අපේ කර ගැනීම තුලය. මේ තත්වය ජාතික ව්‍යාපාරය විසින් නිර්මාණය කරගත් දෙයක් නොව මහින්ද රාජපක්‍ෂ මහතා විසින්ම නිර්මාණය කරන ලද්දක් වීමද විශේෂයකි.

ශාන්ත අන්තෝනිතුමා ඉපැදුනේ දොලොස් වන ශත වර්ෂයේ පෘතුගාලයේය. මිය ගියේ ඉතාලියේය. එතුමා ලංකාවට පැමිණ නැත. ජුසේ වාස් නමින් සිංහලට හරවා ගත් ජොස්ප් වාස් පියතුමා නායක් පවුලකට දාව ඉපිදුනේ ඉංදියාවේ ගෝවේ ප්‍රාන්තයේය. එතුමා වයස අවුරුදු තිස් හයක් වනතෙක් කතෝලික පූජකවරයෙකු වශයෙන් සේවය කලේ ඉංදියාවේය. දාහත්වන සිය වසේ අග භාගයේ ලංදේසීන් විසින් ලාංකික කතෝලිකයින්ට කරන හිරි හැර දකින එතුමා වයස අවුරුදු තිස් හයේදී ලංකාවට රහසේ පැමිනෙයි. එතැන් සිට කන්ද උඩ රට දෙවන විමලධර්මසූරිය සහ වීර නරේන්ද්‍රසිංහ යන සිංහල රජවරුන්ගේ අනුග්‍රහය ලබමින් 1711දී මිය යන තෙක් වසර විසි පහක් මෙරට කතෝලිකයින් වෙනුවෙන් මහනුවර වාසය කරමින් කැපවී කටයුතු කලේය.

ජුසේ වාස් පියතුමාගේ උසස් චරියාව අගයමින් වතිකානු පල්ලිය විසින් ලබන වසරේදී එතුමා සාන්තුවරයෙක් බවට නම් කෙරීමට නියමිතය. එහි වැදගත් කම නම් එතුමා ලංකාවේ ප්‍රථම සාන්තුවරයා වීමය. ඉංදියානු සම්භවයක් තිබුනද එතුමා ලංකාවේ සාන්තුවරයෙකු ලෙස හැඳින්වීම තුලින් වතිකානුව විසින් එතුමා අපේ බවට පත් කෙරෙයි. නමුත් වතිකානුව විසින් එතුමා අපේ කෙරීමට පෙර මෙරට සිංහල බෞද්ධ රජවරු විසින් එතුමා අපේ කරගත් බව අමතක නොකල යුතුය.

අද වනවිට බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් බටහිර කතෝලික සංස්කෘතියට බරපතල තර්ජනයක් ඇත. එය විශේෂයෙන්ම එලි දැක්වෙන්නේ ලිංගිකත්වය පිළිබඳ ඒ සංස්කෘති දෙක අතර ඇති ගැටුම තුලිනි. පැහැදිලිවම මේ සංස්කෘතික ගැටුමෙන් දිනන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියය. ඒ නිසා එහි උවමණා එපාකම් වලට අනුව පාප් වහන්සේ ඇතුළු වතිකානු පල්ලිය මෙහෙය වීමට හැකියාවක් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට ලැබී ඇත. ඒ හරහා සිංහල බෞද්ධ සංස්කෘතිය මැඩලීමට වතිකානුව යොදා ගැනීමටද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට හැකියාවක් ඇත. එසේ යොදා ගැනෙන්නේ නම් ඒගැන මුලින්ම සංවේදී විය හැක්කේ සිංහල කතෝලිකයින්ටය. එවැනි ක්‍රියාන්විතයකදී සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්‍ෂා කරදීම සිංහල කතෝලිකයින්ගේ වගකීම හා යුතුකම වනු ඇත. කතෝලිකයින් පෙලූ ලංදේසීන්ට එරෙහිව ජුසේ වාස් පියතුමාට අනුග්‍රහය දක්වමින් සිංහල බෞද්ධ රජවරුන් තමන්ගේ යුතුකම් කොටස ඉටුකර ඇත.

Monday, September 22, 2014

ඌවේ ඡන්ද ප්‍රතිඵලය සහ ජාතික ප්‍රශ්ණය

ඌවේ  පළාත් සභා මැතිවරණ ඡන්ද ප්‍රතිඵල වලින් සතුටට පත්විය හැක්කේ හරීන් ප්‍රනාන්දු මහතාට පමණි. මාධ්‍ය මගින් සුපිරි තරුවක් බවට පත් කෙරුණු ඒ මහතා බලාපොරොත්තුවිය හැකි අයුරින්ම වැඩිම මනාප ඡන්ද ගණනක් හිමි කර ගත්තේය. ඒ මහතාට පුද්ගලිකව මිස පොදුවේ කිසිම දේශපාලන පක්‍ෂයකට ප්‍රතිඵල පිළිබඳව සතුටුවිය නොහැකිය. එජාපය ඡන්ද සුනාමියක් බලාපොරෙත්තු වුනද සියයට පණහක්වත් ලැබුනේ නැත. කෙසේ නමුත් හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණේ සහය නැතිවද රජයට ඌව පළාත් සභාව දිනාගත හැකිවිය. නමුත් රජයට බලාපොරොත්තුවූ තරම් වැඩි ඡන්ද ප්‍රමාණයක් නොලැබිනි.

ඡන්ද ප්‍රතිඵල තුලින් පෙනී යන්නේ රටේ ෙසේවරීය භාවය වෙනුවට සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණයක් ජාතික ප්‍රශ්ණය බවට පත්වෙමින් ඇති බවය. රටේ ෙසේවරීය භාවය මෙරට සාමාන්‍ය ජනතාවට වැදගත් නැතැයි ඉන් කියවෙන්නේ නැත. රටේ ෙසේවරීය භාවය තරම් වැදගත් යමක් රටක ජනතාවට තිබිය නොහැකිය. නමුත් එය ජාතික ප්‍රශ්ණ ලැයිස්තුවෙන් පහතට වැටෙන්නේ රටේ ෙසේවරීය භාවය සුරැකෙන බව සාමාන්‍ය ජනතාව විශ්වාස කරන බැවිනි. විදේශීය සහ දේශීය බලවේග විසින් ගෙනයන රාජ්‍ය විරෝධී ව්‍යාපාරය දෙස බලන විට ඒ විශ්වාසයට එතරම් පදනමක් නැතැයි කිව හැකි වුනද වත්මන් රජය රටේ ෙසේවරීය භාවය සම්බන්ධයෙන් සිය වගකීම ඉටු කරනු ඇතැයි සාමාන්‍ය මිනිස්සු විශ්වාස කරති. රජයට ඒ ගැන සතුටුවිය හැකිය. එජාපයට තවමත් සියයට පනහක් ඡන්දය නොදෙන්නේ බලය ලැබුනොත් එජාපය විසින් රටේ ෙසේවරීය භාවය පාවා දෙන බවද මිනිස්සු විශ්වාස කරන බැවිනි.

ඌවේ ජනතාව ඉස්මතු කර පෙන්වා දෙන මෙරට සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණය තව දුරටත් නොසලකා සිටිය නොහැකිය. එය ඌවේ ජනතාවට වැඩියෙන්ම දැනේනම් එයද අහම්බයෙන් සිදුවූවක් නොවේ. ඉංග්‍රීසීහු වෙල්ලස්සේ ජනතාවගෙන් කෲර ලෙස පලිගත්හ. ඉන් ආර්ථික සාමාජීය හා දේශපාලනිකව පසු බෑමකට ලක්වු ඔවුන් පරම්පරා ගණනකින් ස්වභාවයෙන්ම යලි නැගිටී යැයි සිතිය නොහැකිය. ඇමෙරිකාවේ කළු ජාතිකයින් වහල් බවින් නිදහස් වී වසර 150 ක් ගෙවුනද, ඔවුන්ගේ ජීවන තත්වය නඟා සිටුවීම සඳහා විශේෂ අන පනත් ක්‍රියාත්මක වුනද ඔවුන් තවමත් සිටින්නේ ඇමෙරිකානු සමාජයේ අඩි පතුලේය තවත් බොහෝ කලක් ඔවුන්ට හිමි වනු ඇත්තේද එතැනය. ඇමෙරිකානු කළු ජාතිකයින්ගේ ඉතිහාසය වෙල්ලස්සේ ජනතාවගේ ඉතිහාසයට සමාන නොවුනද ඓතිහාසික අසාධාරනකම් ලෙහෙසියෙන් කණපිට පෙරලිය නොහැකි බව පැහැදිලිය.

කෙසේ වෙතත් ඌවේ ජනතාව පෙන්වාදෙන සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණය ඔවුන්ට පමණක් බලපාන ප්‍රශ්ණයක් නොවේ. එය මුළු රටටම විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ට බලපාන ප්‍රශ්ණයකි. මෙරට බහුතරයකට ජීවන වියදම දරා ගත නොහැකිය. නමුත් අධික සැප සම්පත් විඳින විශාල නමුත් සුළුතරයක් මෙරට ජීවත්වෙති. සාමාන්‍ය මිනිසුන්ට තමන්ගේ නොහැකියාව ගැන දුකක් ඇති අතර අර සුළු පිරිසට ඇති හැකියාව ගැනද තරහක් ඇත. රටේ සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණය නිවැරදිව තේරුම් ගැනීමට නම් මේ ආකල්ප දෙකම වැදගත් කොට සැලකිය යුතුය. තවමත් සාමාන්‍ය මිනිසුන් බලාපොරොත්තු වන්නේ උපරිමයෙන් ඉන්ද්‍රිය පිනවා තෘප්තියක් ලැබීමට නොව ඉන්ද්‍රිය තවන ගමන් තෘප්තිමත් වීමටය. නමුත් මුළු සමාජයම ඒ සම්මුතියේ නොසිට තනි පුද්ගලයින්ට එය ඉටු කර ගත නොහැකිය. ඒ නිසා මුළු සමාජයමද ඒ අනුව හැඩ ගැසෙතැයි සාමාන්‍ය මිනිස්සු බලාපොරොත්තු වෙති. නමුත් අද රට යන්නේ ඒ අතට නොවේ. සාමාන්‍ය මිනිසුන්ගේ දුකටත් තරහටත් හේතුව එයයි.

මේ සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණය හුදු ආර්ථික ප්‍රශ්ණයක් පමණක් දකින ධනාවාදයෙන් හෝ මාකස්වාදයෙන් හෝ වෙනයම් බටහිර ආර්ථික දැනුමකින් හෝ විසඳිය නොහැකිය. ධනවාදයට අනුව ලෝකයේ කවදත් කොතැනත් සිටින්නේ එකම ආකාරයේ දුප්පතුන්ය. මාකස්වාදයට අනුව ලෝකයේ කවදත් කොතැනත් සිටින්නේ එකම ආකාරයේ පීඩිතයින්ය. නමුත් ආර්ථික ප්‍රශ්ණ සංස්කෘතියෙන් වෙන්කර සැලකීම නිවැරදි නොවේ.

කෙසේ වෙතත් බටහිර කිසිම ආර්ථික ක්‍රමයක සිිංහල බෞද්ධයින්ගේ ප්‍රශ්ණ වලට පිළිතුරු නැත. බටහිර ආර්ථික දැනුමේ ඇත්තේ බාහිර බල පමණි. සිංහල බෞද්ධයින්ගේ ආර්ථික දැනුමෙහි අභ්‍යන්තර බලද ඇත. ඒ අනුව ආර්ථික වර්ධනයේ සීමාවන් නිර්ණය විය යුත්තේ බාහිර බලපෑම් වලට අමතරව අභ්‍යන්තරයෙන් ඇති කරගන්නා ස්වයං වාරණ වලද ප්‍රතිඵලයක් ලෙසිනි. මේ බව නොසලකා හරිනතාක් කල් මෙරට සාමාන්‍ය මිනිසුන්ගේ දුකත් තරහත් නොසන්සිඳෙනු ඇත.

අවසානයේ සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණද විසඳෙන්නේ දේශපාලනයෙනි. ඒ නිසා ප්‍රශ්ණය ජාතික ප්‍රශ්ණයක් ලෙස හඳුනාගන්නේ කවුද ඊට පිළිතුරු දිය හැක්කේ කාටද යන්න ජනතාව විසින් ජන මත විචාරණ වලදී තීරණය කරනු ඇත. අවාසනාවකට ජනතාවට දේශපාලනය කිරීමට සිදුව ඇත්තේ අසමත් අකාර්යක්‍ෂම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ව්‍යුහය තුලය. ඒතුල එකල මහා සම්මතවාදයට අනුව ක්‍රියාත්මක වුනු ගම් සභා තුල තිබිනැයි සිතිය හැකි පාලක-පාලිත ගතිකයක් නැත. ඒ නිසා පාර්ලිමේන්තු ක්‍රමයක් තුල ජනතාවට කලහැක්කේ ගතිකව ආණ්ඩුවක ප්‍රතිපත්ති වෙනස් කරවීමට උත්සාහ කිරීමට වඩා ආණ්ඩුවක් බලයේ තබා ගැනීමට හෝ බලයෙන් පහ කිරීමට ඡන්දය පාවිච්චි කිරීමය. මේ තත්වය යටතේ සාමාන්‍ය මිනිසුන් තම ආර්ථික ප්‍රශ්ණ විසඳීම සඳහා සම්ප්‍රදායිකව තෝරා ගන්නේ එජාපයයි. මෙහිදී ජානිපෙයටවත් හෙල උරුමයටවත් සැලකීමක් නොලැබෙන බවද ඒ පක්‍ෂ තේරුම් ගන්නේ නම් හොඳය. නමුත් බටහිර ගැති එජාපයට සිංහළුන්ගේ සංස්කෘතික-ආර්ථික ප්‍රශ්ණයට පිළිතුරක් නැත. එපමණක් නොවේ එජාපය ඉන් එහාට ගොස් රටේ ෙසේවරීය භාවයද පාවා දෙනු ඇත.  

Friday, September 19, 2014

ඇමෙරිකාවේ සංස්කෘතිය

සංස්කෘතියක් වෙනස් නොවී රැකගත නොහැකිය. රැකෙන්නේ වෙනස්වීම තුලිනි. නමුත් ඕනෑම සංස්කෘතියක මිනිසුන්ට තමන්ගේ සංස්කෘතිය තමන්ට අවැසි ආකාරයට වෙනස් කර ගැනීමට හැකියාවක් තිබිය යුතුය. සංස්කෘතික පරිහාණියක් ලෙස හැඳින්විය හැක්කේ සංස්කෘතියේ වෙනස්වීම නොව එය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට එහි මිනිසුන්ට ඇති හැකියාව නැතිවීයාමය. යටත් විජිත සමයේ සිටම සිංහල බෞද්ධ සංස්කෘතිය පරිහාණියට ලක්වෙමින් පවතී. පෘතුගීසීන් එලවා ලංදේසීන් කැඳවා ගැනීම ඉඟුරු දී මිරිස් ගැනීමක් විය හැක්කේ ලංදේසීන් පෘතුගීසීන් තරම් කෲර නොවුනද ලංදේසි පාලණ සමයේ සිංහළුන්ට තමන්ගේ සංස්කෘතිය පාලණය කර ගැනීමට ඇති හැකියාව තවත් ක්‍ෂය වී ගිය නිසා විය හැකිය. මෑත ඉතිහාසය දෙස බැලුවොත් හැත්තෑ හතෙන් පසුව සිංහල බෞද්ධ සංස්කෘතිය පරිහාණී වන වේගයේ ක්‍ෂණික වැඩි වීමක් සිදුවිය. දෙදහස් නවයේදී ඒ වේගය තවත් වැඩි විනි. 

රටේ ඉතිහාසය හා සසඳනවිට මේ ගෙවී ගිය කාලය නොගිනිය හැකි තරම්ය. නමුත් ඒ කෙටි කාලය ඇතුලත සිංහල බෞද්ධ සංස්කෘතිය රිසි පරිදි හසුරවා ගැනීමට අපට ඇති ශක්තිය අප අතින් මුලු මනින්ම ගිලිහී ගොස් ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි අද අනුන් විසින් මෙහෙයවනු ලබන සංස්කෘතික ප්‍රවාහයක පරඬැල් සේ පාවෙමින් සිටින්නෙමු.

අද ලොව බලවත්ම සංස්කෘතිය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියයි. එහිද බලවත්ම වාහකය එහි අනු සංස්කෘතියක්වන ඇමෙරිකානු සංස්කෘතියයි. අද වෙනවිට සිංහල බෞද්ධ සංස්කෘතියට වැඩිම බලපෑමක් එල්ල වන්නේ ඇමෙරිකානු සංස්කෘතියෙනි. ඒ නිසා ඇමෙරිකානු සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව හඳුනාගැනීම අපට වැදගත්ය. නමුත් ඇමෙරිකානු තාක්‍ෂණය සිනමාව, සංගීතය වැනි ජනප්‍රිය අංග වලින් මෙපිට ඇමෙරිකානු සංස්කෘතියක් ගැන අවබෝධයක් අපට තියේද?

මම වසර විස්සක් පමණ කාලයක් එහි සිසුවෙකුව, වෘතිකයෙකුව සැමියෙකුව සහ පියෙකුව ජීවත් වෙමින් ඇමෙරිකානු සංස්කෘතිය අත්දුටුවෙමි. විවිධ අයගේ අත්දැකීම් එකිනෙකට වෙනස් විය හැකි බැවින් ඇමෙරිකානු සංස්කෘතිය ගැන මා ගොතන කථාවේද යම් ගත යුත්තක් ඇතැයි සිතමි. එය කිසි සේත්ම වාස්තවික අර්ථයෙන් කියවෙන කථාවක් නොවේ. මා දකින ඇමෙරිකානු සංස්කෘතිය මා දායාද ලද සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂය. මට සිංහල බෞද්ධ සංස්කෘතියක් යන්තමින් හෝ විඳින්නට හැකිවුනේ කුරුණෑගල ඉඳුල්ගොඩ කන්දේ සිට කොළඹට සංක්‍රමණය වුනු මගේ දෙමවිපියන්ගේ ඇඟේ එය තිබුනු බැවිනි. ඔවුන් තුල එය නොමැකී ඉතිරි වුනේ ඔවුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නොලද නිසා විය යුතුය. නමුත් සිංහල බෞද්ධ සංස්කෘතියක් මගේ ඇඟේ ඇතැයි මම නොසිතමි. එය එසේ වෙතත් මට ඒ මත පිහිටා කථා ගෙතීමට හැකිය. එහිදී මා සුසමාදර්ශයක් කරගන්නේ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයයි.

කථාව කෙටියෙන් ගොනු කරන්නේ නම් එය මෙසේයි. ඇමෙරිකාවේ සමාජ-ආර්ථික හා දේශපාලන හැඩය ගලා එන්නේ් එහි ප්‍රධාන සංස්කෘතික ලක්‍ෂණ දෙකකිනි. එකක් පුද්ගලිකත්වය උසස් කොට සැලකීමය අනික එහි සංස්කෘතිය පීචංවීමය. මේ කථාවේ ගත හැකි දෙයක් ඇත්නම් ඒ එපමණය.

ඇමෙරිකාව තුලත් පොදුවේ බටහිර සමාජය තුලත් පුද්ගලයා සමාජයෙන් වෙන්කෙරෙන්නේ පුද්ගලයාට සමාජයෙන් තොර පැවැත්මක් ඇත යන මූලධර්මයේ පිහිටා ගෙනය. එය යෙහෝවා දෙවියන් මත ඔවුන් තුල ඇති විශ්වාසය මතින් ගලා එන්නකි. ස්වාධීන පැවැත්මක් ඇතැයි සිතුවද මිනිසුන්ට සමාජයක ජීවත්වීමට අවශ්‍යය. ඇමෙරිකාව යනු එසේ වෙන් කරන ලද මිනිසුන්ගේ සමූහයකි නැත්නම් තනි-මිනිස් රංචුවකි. 

ඇමෙරිකාව තුල පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීම කුඩා කල සිටම කෙරෙන්නෙකි. කුඩා කාලයේදීම ඔවුන් මව් තුරුලෙන් ඈත් කෙරෙයි. තමන්ගේ වැඩ පමණක් නොවේ තමන්ගේ හැඟීම්ද තමන්ට සීමා කර ගැනීමට සහ තමන් විසින් කලමණාකරණය කරගැනීමට පුරුදු කෙරෙයි. පුද්ගලික අවකාශයක් යැයි යමක් අර්ථ දක්වා අනෙකා ගේ ඒ අවකාශය ආක්‍රමණය නොකල යුතුයැයි ළදරු පාසලේදීම ඔවුන්ට උපදෙස් ලැබේ. මේ පහුණු කෙරීම් දරුවන්ගේ මනසට ගන්නේ කෙසේ දැයි වැඩිහිටියෙකු වශයෙන් මට සිතා ගැනීමට නොහැකිය. නමුත් දරුවන්ගේ හැසිරීම තුල එය මනාවට පැහැදිලිය. සමූහයක් ලෙස එකතු වෙන අවස්ථාවලදී පවා වයස අවුරුදු පහක් හයක් පමණවූ දරුවන් බොහෝවිට තෝරා ගන්නේ එකට සෙල්ලම් කිරීමට වඩා තනියෙන් විනෝද වීමටය. සාමාන්‍ය වචනයෙන් කිවහොත් එකට සෙට් නොවී තනියෙන් ආතල් ගැනීමටය. මෙය මට මතක මගේ කුඩා කාලයට හාත්පසින් වෙනස්වූ හැසිරීමකි.  එය වෙන් කිරීමේ ප්‍රතිඵලයක් යැයි මම සිතමි.

පුද්ගලයා සමාජයෙන් වෙන්කෙරීමට විශේෂයෙන්ම බලපාන්නේ අධ්‍යාපනයයි. ඇමෙරිකාවේ වැඩිදුර අධ්‍යාපනය ලැබූවන් තුල ඒ ගතිය අන් අයට වඩා වැඩියෙන් ඇත. දෙදහස් එකේ සැප්තැමබර් මාසයේ ත්‍රස්තවාදීන් විසින් නිව්යෝක් නගරයට පහර එල්ල කරන අවස්ථාවේදී මා සිටියේ එවකට මා සේවය කල විශ්ව විද්‍යාලයේ මගේ අංශයේ විද්වතුන් තිහක් හතලිහක් පමණ සහභාගීවූ එකමුතුවකය. කාලාන්තරයක් තිස්සේ එකට වැඩ කර සිටි මොවුහු එකිනෙකා හොඳින් දැන හැඳිනගෙන සිටියහ. ත්‍රස්ත ප්‍රහාරය රූපවාහිනියෙන් දුටු සැනින් බලාපොරොත්තු විය හැකි අයුරින්ම ඔවුහු මහත් සේ කම්පාවට පත්වූහ. නමුත් ඒ අවස්ථාවේදී මේ විද්වතුන්ගේ ක්‍ෂණික ප්‍රතිචාරය වුයේ එකිනෙකාගෙන් හුදෙකලාවීමට ක්‍රියා කිරීමය. ලංකාවේ නම් බෝම්බයක් ගැන අසන්නට ලැබුනවිට බස් නැවතුම් පොලක සිටින නන්නාඳුනන අය පවා ගොනුවී ඒ ගැන කථාබස් කරන්නට ගනිති. නමුත් මේ ඇමෙරිකානු උගතුන්ගේ ක්‍ෂණික ප්‍රතිචාරය වුයේ එකිනෙකාගෙන් ඈත්වීමය. මේ හැසිරීමේ පැහැදිලි වෙනසක් ඇත. ඊට මතුපිටින් ඇති හේතු ලෙස තමන්ගේ හැඟීම් අනුන්ට කරදරයක් වීමට ඉඩ නොතැබීම, අනුන්ගේ පුද්ගලික අවකාශය ආක්‍රමණය වේ යැයි යන බිය, තමන්ගේ හැඟීම් අනාවරණයවීමෙන් තමන් දුර්වලයෙකු යැයි පෙනීමට ඇති බිය ආදිය දැක්විය හැකිය. නමුත් මේ සියල්ලටම පදනම ඇමෙරිකානු සංස්කෘතිය තුල පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීම යැයි මම සිතමි.

පැහැදිලිවම එදා නිව්යෝක් නගරයේ සාමාන්‍ය මිනිසුන්ගේ හැසිරීමෙහි මීට වඩා සාමුහිකත්වයක් දකින්නට ලැබිනි. නමුත් සම්පුර්ණයෙන්ම උගතුන්ගෙන් සැදි ඉහත සඳහන් රංචුව තුල ඉස්මතුවූයේ පුද්ගලිකත්වයය. වෙනසට හේතුව බටහිර අධ්‍යාපනයේ බලපෑම යැයි සිතිය හැකිය. බටහිර විද්‍යාවේ යම් පද්ධතියක් පිළිබඳව හදාරන්නේ එය සංඝටක වලට වෙන් කරගෙනය. බටහිර විද්‍යාව ප්‍රගුණ කල මිනිසුන්ට මේ වෙන්කිරීමේ හැකියාව හොඳින් පිහිටා ඇත. ඔවුන් අන් අයට වඩා සුපැහැදිලිව තමන්ව සමාජයෙන් වෙන් කරගන්නේ ඒ අනුව විය හැකිය. සමාජයෙන් වෙන්වුනු පුද්ගලයින්ට සාපේක්‍ෂව එසේ නොවුනු මිනිස්සු අන් අයගේ හැඟීම් වලට අවංකවම සංවේදී වෙති. මිනිස් ගති යැයි සාමාන්‍යයෙන් අපි හඳුන්වන මේ සාමාජීය ලක්‍ෂණ උගතුන් යැයි සැලකෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ මිනිසුන්ට වඩා නුගතුන් යැයි සැලකෙන මිසිසිපි ප්‍රාන්තයේ මිනිසුන් අතර තිබෙන බව මගේ අත්දැකීමයි. නමුත් පොදුවේ සැලකුවිට ඇමෙරිකාවේ නුගතුන් යැයි සැලකිය හැකි මිනිස්සු පවා ජීවත් වන්නේ සාමාන්‍ය සිංහළුන්ට වඩා සමාජයෙන් වෙන්වීය.

වෙන් කෙරුනු මිනිස්සුද විවිධ අවශ්‍යතාවන් උදෙසා රංචු ගැසෙති. ඔවුන්තුල රංචුවට ඇති බැඳීමට පදනම තමන්ගේ පුද්ගලික පැවැත්මය. ඒ නිසා ඔවුහු සාමූහිකත්වයට වඩා පුද්ගලිකත්වය උසස් කොට සලකති. ඇමෙරිකානුවන් ගිනි අවි භාවිතය පිළිබඳ දරන ආකල්ප ඊට උදාහරණයකි.

ගිනි අවි වලින් පාසල් තුල සිදුකෙරෙන සමූහ ඝාතන පිළිබඳව ඇමෙරිකාවේ සුලබව අසන්නට ලැබේ. මිය යන්නේත් ගිනි තබන්නේත් බොහෝවිට දරුවන්ම වෙන බැවින් මෙවැනි සිද්ධි මුලු සමාජයම කම්පාවට පත් කෙරෙයි. ඒ හැම අවස්ථාවකම ගිනි අවි භාවිතය පිළිබඳ නව නීති රීති ගෙන ඒමට පාලකයින් උත්සාහ දැරුවද ඇමෙරිකානු සමාජයෙන් ඊට දැඩි ප්‍රතිරෝධයක් එල්ල වෙයි. අවසානයේ මූණ ඉච්චාවට යම් සුලු නීතිමය වෙනසක් කෙරෙන නමුත් වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ පාසල් වල ආරක්‍ෂාව ගිනි අවි අධාරයෙන්ම තවත් තර කර ගැනීමටය.

ඇමෙරිකානුවන්ට පුද්ගලිකව ගිනි අවි දැරීමට අයිතියක් ඇත. ඒ අයිතිය සුරැකීම සඳහා දේශපාලන බලයක් හිමිි සංවිධානද ඇත. ඊට ගිනි අවි නිශ්පාදන සමාගම්ද අනුග්‍රහය ලැබෙන බව කිව යුතු නැත. නමුත් ගිනි අවි අයිති වුනත් නැතත් ඒ සංවිධාන වල සාමාජිකත්වයක් තිබුනත් නැතත් බහුතරයක් සාමාන්‍ය ඇමෙරිකානුවන් තමන්ට ගිනි අවි දැරීමට අයිතියක් තිබිය යුතුය යන ස්ථාවරයේ සිටිති. මට අවබෝධවී ඇති ආකාරයට ඊට පදනම ආණ්ඩුව යම් දිනෙක තමන්ගේ අයිතීන් පැහැර ගැනීමට පැමිණියහොත් ඊට විරුද්ධවීමට තමන්ට හැකියාවක් තිබිය යුතුය යන ආකල්පයයි.  එය ඓතිහාසිකව ඔවුන්ගේ සංස්කෘතියෙන්  ගලා එන්නකි. මෙහිදී තමන්ගේ අයිතීන් යනු වෙන කිසිවක් නොව තමන්ගේ පුද්ගලික අයිතීන්ය. එනම් තමන්ගේ දේපල වැනි දේය. ඒ අතින් ගත් කල අපේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණයින් ආණ්ඩුවට විරුද්ධව අවි ගත්තේ ඔවුන්ගේ පුද්ගලික අයිතීන් රැකීමට නොවේ ඔවුන් විශ්වාස කරන ලද යම් පොදු සමාජ අසාධාරණයක් වෙනුවෙනි. නමුත් ඇමෙරිකානුවෝ ගිනි අවි දැරීමේ අයිතිය සුරකින්නේ කවදා හෝ ආණ්ඩුවට විරුද්ධව යම් පොදු අරමුණක් සඳහා කැරලි ගැසීමට නොව ආණ්ඩුවට එරෙහිව තම පුද්ගලික අයිතීන් රැක ගැනීම සඳහාය. මේ වෙනසේ වැදගත්කම කියා නිම කල නොහැකිය. සිංහලයෝත් ඇමෙරිකානුවෝත් සංස්කෘතියෙන් කෙතරම් ඈත් දැයි ඉන් පිළිඹිබු වෙයි. 

ඇමෙරිකානුවන් පුද්ගලික අයිතීන් උතුම් කොට සලකති.  ආණ්ඩුවේ දූෂණ වලටත් වඩා ආණ්ඩුව පුද්ගලික අයිතීන් උදුරා ගැනීම සඳහා ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව ඔවුහු ලතවෙති. අද ඇමෙරිකාවේ ආරක්‍ෂාව සඳහා එහි වැසියන්ගේ පුද්ගලික අයිතීන් සීමා කරන්නට සිදුවී ඇති බැවින් වෙනදාටත් වඩා පොදු-පුද්ගලික අයිතීන් අතර ගැටුම උත්සන්න වී ඇත. පොදුවේ ඇමෙරිකානුවෝ ආණ්ඩුව දෙස (වපර ඇසින්) බලන්නේ තමන්ගේ පුද්ගලික අයිතීන් පැහැර ගැනීමට පැමිණෙන පොදු සමාජයේ ඒජන්තවරයා ලෙසය. මේ නුරුස්සන ගතිය ආණ්ඩුවට ආදායම් බදු ගෙවන්නට යාමේදී මනාව පිළිබිඹු වෙයි. පොදුවේ ඇමෙරිකානුවන් ආණ්ඩුවට බදු ගෙවීමට අකමැතිය. එය තමන්ට දරන්ට සිදුවෙන වියදමද ඉක්මවා යන අකමැත්තකි. තමන් උපයන දේ පොදු සමාජය වෙනුවෙන් වැය කල යුත්තේ කුමටදැයි ඔවුහු කල්පණා කරති. එසේ කරන්නේ නම් එයද තමන්ගේ පුද්ගලික කැමැත්ත මත සිදුවිය යුතුයැයි ඔවුහු සිතති. මෙහිදී ඇමෙරිකානුවෝ දරන්නේ තම අසල්වාසීන් වන කැණේඩියානුවන්ටත් පොදුවේ යුරෝපීයන්ටත් වඩා වෙනස් ආකල්පයක් බව වැදගත්ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අන් බටහිර රටවල බදු බරට සාපේක්‍ෂව ඇමෙරිකාවේ බදු බර ඉතා අඩුය. ඉන් පෙන්නුම් කෙරන්නේ ඇමෙරිකානුවන්  සාමුහිකත්වයට කෙතරම් අඩු සැලකීමක් දක්වනවාද යන්නය.

පුද්ගලයා සමාජයෙන් වෙන්කෙරීම සහ පුද්ගලිකත්වයට උසස් තැනක් ලබාදීම ඇමෙරිකානු සංස්කෘතිය තුල කිඳා බැස ඇති එහි වැදගත් ලක්‍ෂණයකි. විසි වසරක් එහි දිවි ගෙවුවද ඒ ගතිය ඒ ආකාරයෙන්ම අවබෝධ කර ගැනීමට මට නොහැකිවී ඇතැයි මට සිතේ. මා ඒ කෙරෙහි දක්වන ප්‍රතිරෝධයද ඊට හේතුවක් විය හැකිය. නමුත් ඇමෙරිකාවේ සංස්කෘතිය ප්‍රබුද්ධ නොවන බව අවබෝධ කරගැනීමට එතරම් අපහසු නැත. නිවැරදිව ගතහොත් එහි සංස්කෘතික ලක්‍ෂණය ලෙස හැඳින්විය යුත්තේ ප්‍රබුද්ධ නොවන බව නොව සංස්කෘතිය ප්‍රබුද්ධ නොකෙරීමට සංස්කෘතියෙන් තිබෙන බලපෑමය නැත්නම් සිතා මතාම ප්‍රබුද්ධ නොකර තබාගැනීමට දැරෙන උත්සාහයය.

මේ ගතිය ඔවුන්ට ලැබෙන්නේ එහි මුල් යුරෝපීය පදිංචි කරුවන් යුරෝපීය සරණාගතයින් වූ නිසා විය හැකිය. එදා යුරෝපයේ පැවති සංස්කෘතියට අනුව ඔවුන් ප්‍රබුද්ධයෝ නොවූහ. එදා මෙදා තුර යුරෝපයෙන් ඇමෙරිකාවට සංක්‍රමණයවූ බහුතරයක් ප්‍රබුද්ධ නොව පීචං සංස්කෘතිය නියෝජනය කලෝ වූහ. නමුත් ඇමෙරිකානු සංස්කෘතිය පීචං වන්නේ එහි මිනිසුන් බහුතරයකට පීචං සම්භවයක් ඇති නිසාම නොවේ. වඩා වැදගත් වන්නේ සංස්කෘතිය පීචංව තබා ගැනීමට සංස්කෘතිය තුලින්ම එන බලපෑමය. එවැනි බලපෑමක් නොතිබුනි නම් කාලයේ අවෑමෙන් ඇමෙරිකාවේ ප්‍රබුද්ධ සංස්කෘතියක් බිහි වෙන්නට ඉඩ තිබුනි. නමුත් එය එසේ වී නැත. ඒ නිසා සංස්කෘතිය ප්‍රබුද්ධ නොකෙරීමට ඇමෙරිකානු සංස්කෘතියෙන් තිබෙන බලපෑම වැදගත් කොට සැලකිය යුතුය. එහි ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපයෙන් එහි සංක්‍රමණයවූ රජ පවුල්වල උදවිය පවා ඇමෙරිකාවේ පීචං සංස්කෘතිය කැමැත්තෙන්ම වැලඳ ගත්හ.

ඇමෙරිකානුවෝ යුරෝපීයයන්ගේ, විශේෂයෙන්ම ඉංගී්‍රසින්ගේ ප්‍රබුද්ධ දේ පීචං කර තම සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට දක්‍ෂයෝ වෙති. ඉංග්‍රීසීන්ගේ මුල්ම යටත් විජිතය වුනද ක්‍රිකට් ක්‍රීඩාව ඇමෙරිකාව තුල පැල පදියම් වුනේ නැත. ඒ වෙනුවට ඇමෙරිකානුවන් තෝරා ගත්තේ ඉංග්‍රීසි සම්භවයක් ඇතැයි සිතිය හැකි (ඇමෙරිකානුවෝ ඒ බව ප්‍රතික්‍ෂේප කරති) බේස් බෝල් ක්‍රීඩාවය. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයකුත් ඇමෙරිකාවේ ඕනෑම නගරයක පැවැත්වෙන ඕනෑම මට්ටමේ බේස් බෝල් තරඟයකත් අතර පැහැදිලිව ප්‍රබුද්ධ-පීචං ගති නිරූපණය වේ. බේස් බෝල් පේ්‍රක්‍ෂකයෝ හැසිරීමෙන් සහ අඳුමෙන් පැලඳුමෙන් සරලය අවිධිමත්ය පීචංය ලෝඩ්ස් පිටියේ ක්‍රිකට් ප්‍රේක්‍ෂකයෝ හැසිරීමෙන් ගාම්භීරය සංකීර්ණය ප්‍රබුද්ධය. (එසේ වුනද අද 20-20 ක්‍රිකට් තරඟ විනිවිද ගොස් ඇත්තේ ඉංග්‍රීසීන්ගේ ප්‍රබුද්ධ ක්‍රිකට් සංස්කෘතිය නොව ඇමෙරිකානුවන්ගේ පීචං බේස් බෝල් සංස්කෘතියය)

ඉංග්‍රීසීන්ගේ ප්‍රබුද්ධවූ තේ බීමේ සංස්කෘතිය ගැන කිසිම තැකීමක් නොකරන ඇමෙරිකානුවෝ සිසිල් කල තේ බෝතල් කර පානය කරති. ඔවුහු යුරෝපීයයන්ගේ වයින් බීමේ සංස්කෘතිය පීචං කරමින් ප්ලාස්ටික් කොප්පවලද වයින් බොති. යුරෝපයේ රජ පවුල් සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර ගැන තැකීමක් නොකරති. වරක් ඔබාමා ඉංග්‍රීසි රැජින හමුවේ පිචං ලෙස හැසිරුනු බව කියවේ. නමුත් ඒ ගැන ඇමෙරිකානුවෝ ඔබාමාට දොස් නොකියති. ශ්‍රී ලංකාවේද ඉතා ගාම්භීර ලෙස පැවැත්වෙන උපාධි ප්‍රධානෝත්සව වලට සමහර ඇමෙරිකානු උපාධි දාරීන් කොට කලිසම් හැඳගෙන සෙරප්පු දාගෙන යාම ලොකු අවුලක් නොවේ.

ඇමෙරිකානු සංස්කෘතිය ප්‍රබුද්ධ නොකර තබා ගැනීමට එම සංස්කෘතියෙන් විශාල බලපෑමක් ඇත. එහි ප්‍රබුද්ධ යැයි සැලකෙන යුරෝපයෙන් සහ එංගලන්තයෙන් ආනයනය කරන ලද සංස්කෘතියක් නැතිවා නොවේ නමුත් ඊට සමාජීය වශයෙන් වැදගත් කමක් හෝ දේශපාලන බලයක් නැත. ඇමෙරිකානු සංස්කෘතිය සහමුලින්ම පීචංය. යම් හෙයකින් එහි බලවත් ප්‍රබුද්ධ සංස්කෘතියක් තිබුනේ නම් ප්‍රබුද්ධයේ සිට පීචමය දක්වා විවිධ සංස්කෘතික ස්ථර බිහිවීමට ඉඩ තිබුනි. නමුත් එය එසේ වි නැත.

ඇමෙරිකානු සංස්කෘතිය සහමුලින් පීචං වීමෙන් ඉටුවෙන වැදගත්ම කාරිය නම් ඇමෙරිකානු සමාජය සංස්කෘතියෙන් සමජාතීය වීමය. උගතුන් විසින් ඇමෙරිකාවේ බහු සංස්කෘති ලෙස වරදවා හඳුන්වාදෙන්නේ එහි විවිධ මෝස්තර වලට අනුව ජීවත්වන මිනිස්සු රංචු පිළිබඳවය. පුද්ගලිකව විවිධ මෝසතරවලට දිවි ගෙවුවත් ඔවුන් අයිති එකම සංස්කෘතියටය. ඇමෙරිකානු සංස්කෘතිය සමජාතීයව තබා ගැනීමට එම සංස්කෘතියෙන් විශාල බලපෑමක් එල්ලවේ. ඒ අනුව බලන කල ඇමෙරිකානු සංස්කෘතිය පීචංවීමත් එය සමජාතීය වීමත් අතර ඇත්තේ චක්‍රීය සම්බන්ධයකි.

ඇමෙරිකානු සංස්කෘතියේ ප්‍රධාන ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකි එහි පීචං බවත් පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීමත් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයටත් ධනවාදී ආර්ථික ක්‍රමයටත් සෘජුවම බලපායි.

ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ ඡන්දයෙනි. එහිදී එක් මිනිසෙකුට එක් ඡන්දයක් හිමි වෙන අතර සියලු ඡන්දවලට ඇත්තේ එකම වටිනාකමකි. පොදු සමාජයේ කැමැත්ත තීරණය වෙන්නේ ඒ තනි කැමතිවල නැත්නම් ඡන්දවල එකතුවෙනි. පොදු කැමැත්ත තනි කැමතිවල එකතුවක් ලෙස සැලකීමට නම් වැදගත් උපකල්පනයක් කල යුතුය. එනම් ඒ ඒ ඡන්ද එකිනෙකින් ස්වායත්ත බවය. එක් ඡන්දයකට අනිත් ඡන්දවලින් බලපෑමක් ඇතිවේනම් පොදු සමාජයේ කැමැත්තත් තනි මිනිසුන්ගේ කැමැත්තත් අතර සම්බන්ධය බලාපොරොත්තු වෙන ආකාරයේ රෙඛීය සම්බන්ධයක් නොවිය හැකිය. ඒ නිසා ඡන්දෙන් පොදු සමාජයේ කැමැත්ත තීරණය කරන්නට නම් ඡන්ද දායකයින් එකිනෙකාගේ ස්වායත්ත විය යුතුය නැතිනම් වෙන්වී සිටිය යුතුය. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට පුද්ගලයා සමාජයෙන් වෙන්කෙරීම වැදගත්ය. නමුත් එය මූලික අවශ්‍යතාවක් පමණි. වෙන් කෙරුනු පුද්ගලයින් විවිධ දේශපාලන මත දැරුවොත් කුමක් සිදුවේද? පොදු කැමැත්ත තීරණය වෙන්නේ තනි කැමතිවල එකතුවෙන් බැවින් එහිදී පොදු කැමැත්ත වනුයේ බහුතරයේ කැමැත්ත මිස වෙකක් නොවේ. එහිදී සුළුතරයට සමාජ අසාධාරණයක් වීම වැලකිය නොහැකිය. ඊට විසඳුමක් ප්‍රජාතන්ත්‍රවාදයට නැත. ඇමෙරිකානු සංස්කෘතිය ඊට දෙන පිළිතුර නම් සමාජය සංස්කෘතික වශයෙන් සමජාතීය කෙරීමය. එය සිදුවෙන්නේ සංස්කෘතිය පීචං කෙරීම තුලය. සංස්කෘතියෙන් සමජාතීයවූ සමාජයක දේශපාලන වෙනස් කම් ඇත්තේ මතු පිටිනි. දේශපාලනයෙන් සමජාතීය වූවිට බහුතරයේ කැමැත්ත පිළිගැනීම ප්‍රශ්ණයක් නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදයෙන් සාධාරනයක් ඉටු කල හැක්කේ ඡන්ද එකිනෙකින් ස්වායත්ත වනවිට හා දේශපාලනීය වශයෙන් සමජාතීය වූ විටය. මේ ලක්‍ෂණ නොමැති සමාජයක ප්‍රජාතන්ත්‍රවාදයෙන් සාධාරනයක් ඉටු කල නොහැකිය. අඩු තරමින් එසේ කල නොහැකිබව ෙසෙද්ධාන්තිකව පිළිගත යුතුය. ඇමෙරිකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ (අඩු පාඩු ඇතිව හෝ) එහි සංස්කෘතිය විසින් ඊට ඔබින වටපිටාව සකසා දී ඇති නිසා පමණය. එනම් පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීම සහ සංස්කෘතිය පිචං කෙරීම තුලින්ය.

ඇමෙරිකානු ආර්ථික රටාවට ඔබින පරිසරය නිර්මාණය කරදී ඇත්තේද එහි සංස්කෘතිය විසිනි. එහි ආර්ථික රටාව ධනවාදීය. ඒ බව සෙසු බටහිර රටවල් වලට වඩා උග්‍රය. එහි තනි පුද්ගලයින්ට මෙන්ම ආයතනවලටද ධනය රැස් කිරීමට ඇති නීතිමය බාධක අවමය. සංස්කෘතික වශයෙන්ද ඊට ඇත්තේ ධනාත්මක බලපෑමක් මිස සෘණාත්මක බලපෑමක් නොවේ. ලංකාවේ මෙන් නොව ආත්මාර්ථකාමීව සැප සම්පත් ගොඩ ගසන පුද්ගලයින් පිළිබඳව ඇමෙරිකානුවන් වපර ඇසින් බලන්නේ නැත. ඔවුන්ට එහි අවුලක් නැත. ඊට හේතුව කෙතරම් ධනය රැස් කලද ඔවුන් පොදුවේ සංස්කෘතියෙන් පීචං වන බැවිනි. සංස්කෘතියෙන් පීචංව සිටින බැවින් කෙනෙකුගේ පොහොසත් බවින් තව කෙනෙකුට බලපෑමක් නැත. ඇමෙරිකානුවන්ට ඒ ඒ අයගේ දුප්පත් පොහොසත් බව ඒ ඒ අයගේ පුද්ගලිකත්වයක් ලෙස සැලකීමට බාධාවක් නැත.

ඇමරිකානු සංස්කෘතියේ ප්‍රධාන ලක්‍ෂණ ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට සහ ධනවාදයට පරිසරය සකස් කරන බව පැහැදිලිය. එනම් ඇමෙරිකානු සංස්කෘතියෙන් තොරව ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට සහ ධනවාදයට පැවැත්මක් නැත.

නමුත් පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීම පුද්ගලයා සමාජයට බැඳ තැබීම හා සසඳන විට එක් අන්තයකි. පිචං බව ප්‍රබුද්ධ බව හා සසඳන විට එක අන්තයකි. එබැවින් ඇමෙරිකානු සංස්කෘතියේ ලක්‍ෂණ සීමාන්තික ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකිය. සීමාන්තික ලක්‍ෂණ වල ස්ථාවර බව අවමය. මා සිතන ආකාරයට අද ඇමෙරිකානු සමාජය එළඹ ඇත්තේ එහි සංස්කෘතියේ සීමාන්තික අවධියකටය. ඉදිරි වසර පනහ හැට තුල ඇමෙරිකානු සංස්කෘතිය මේ එක් එක් ලක්‍ෂණයේ අනිත් අන්තය කරා ගමන් අරඹනු ඇතැයි මම විශ්වාස කරමි. ඒ අනුව ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයත් ධනවාදයත් ඉදිරියේදී ඔවුන් විසින් වෙනස් කර ගනු ඇත. සිංහළුන් ඇමෙරිකානු සංස්කෘතිය පසු පස යෑම අර්ථ විරහිතය.

Thursday, September 11, 2014

මසුරං කාලය

සාමාන්‍යයෙන් කෙනෙකු කථා කරනවිට ඔහු කියන්නේ කුමක්ද යැයි අප අවබෝධ කරගන්නේ ඔහුගේ කථාව තරමක් දුරට ඇසීමෙන් පසුවය මන්ද බටහිර ගණිතයේ හැරුණු විට අනිත් සියලු කථාවල යම් පරස්පර ඇති බැවිනි. මේක මෙහෙම තමා නමුත් මෙහෙමත් දෙයක් ඇතැයි කියමින් ඊට පරස්පර විරෝධී දෙයක්ද අපි බොහෝවිට අපේ කථාවට එකතු කරන්නෙමු. පරස්පර ඉවත දැමිය නොහැකිය. ඒනිසා වාක්‍යයක් දෙකක් අසා අපිට යමෙකු කියන දෙය ගැන නිසි අවබෝධයක් ලබා ගත නොහැකිය. නමුත් අද රූපවාහිනී ප්‍රවෘත්ති විකාශන වල කිසිම ඉවක් බවක් නැතිව වොයිස් කට් කෙරෙයි. කථිකයාට තබා අඩුම තරමින් සංස්කාරකයාටවත් අඟවන්නට අවශ්‍ය දේ මේ වාක්‍ය ඛංඩ වලින් නරඹන්නන්ට අවබෝධ වනවාදැයි සැක සහිතය. නමුත් කරන්නට දෙයක් නැත රූපවාහිනී කාලය මසුරං හා සමානය.

කාලය මසුරං හා සමානය යන කියමන සිංහල සංස්කෘතියේ නිර්මාණයකට වඩා Time is money යන ඉංග්‍රීසි පදයේ සෘජු සිංහල පරිවර්තනයක් යැයි හැඟේ. මෙහි කාලය යැයි හැඳින්වුනද එහි කියවෙන්නේ කාල අන්තරයක් ගැනය. මසුරං හා සමාන කෙරෙන්නේ යම් අවස්ථා දෙකක් අතර තිබිය හැකි කාල අන්තරයකි. මේ කියමනේ සඳහන් වන්නේ වටිනා නිසා ඒ කාල අන්තරයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බවයි.

සාමාන්‍යයෙන් කාලයෙන් ප්‍රයෝජන ගන්නටනම් කුමක් හෝ ක්‍රියාකාරකමක යෙදිය යුතුය. සියලු මිනිස් ක්‍රියාකාරකම් අවසානයේ මනස විසින් මෙහෙයවනු ලබන බැවින් මේ කියමන වචනාර්ථයෙන්ම සැලකුවහොත් අප කල යුත්තේ දී ඇති යම් කාල අන්තරයක් තුල හැකි තරම් මනස ක්‍රියාකරවීමය. නමුත් පෘතග්ජන අපි මනස දිව වීමෙන් බොහෝවිට කරන්නේ අකුසල් රැස් කිරීමය. රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීමෙන් අකුසල් රැස් වෙන්නේ නැතැයි කිව හැකිද?

කාලය මසුරං හා සමානයැයි සැලකුවත් නැතත් බටහිර සංස්කෘතියේ බලපෑම නිසා අද අපි කෙටි කාලයක් තුල උපරිම වශයෙන් මනසට නොයෙක් දේ ඇතුලු කර ගනිමින් වින්දනයක් ලැබීමට ඇබ්බැහිවී සිටින්නෙමු. මේ ඇබ්බැහිවීමට විද්‍යුත් මාධ්‍ය විශේෂයෙන්ම අන්තර් ජාලය විශාල බලපෑමක් ඇති කරයි. මේ නිසා ඉදිරි කාලයේදී වොයිස් කට් මෙන් කථා කිරීමටත් ඒවා තේරුම් ගැනීමටත් හැකිවන පරිදි මිනිසා පරිණාමය නොවුනොතින්ය පුදුමය. පසුගිය දිනක අසන්නට ලැබුනේ එක්තරා කැනේඩියානු ගුවන් විදුලි මධ්‍යස්ථානයක් මඟින් එහි ප්‍රචාරය කරන ගීත විනාඩි දෙකකට සංස්කරණය කරන්නට යන බවය. බොහෝ අසන්නන් ඊට වඩා වැඩි කාලයක් ගීතයකට අවධානය යොමු කිරීමට කැමති නැතිලු. ගී තැටි මෙන් නොව ගීත වාදනය සඳහා අද අපි භාවිතා කරන ජංගම පරිගණක මෙවලම්ද එක් ගීතයකින් තව ගීතයකට මාරුවීම පහසු කරවයි. මේ ලිපියද තව ටිකකින් නිම කිරීමට සිදුවී ඇත්තේ අන්තර් ජාලයේ සැරිසරන සිංහල පාඨකයින්ට කියවන්ට කාලය නැති බැවිනි.

නමුත් ඇත්තටම ප්‍රශ්ණය කාලය නැතිකමට වඩා කෙටි කාලයක් තුල වෙනස් දේ රාශියක් කිරීමට අප තුල ඇති කෑදරකමය. යම් යම් දේවල් කරන්නට මුලික වන්නේ මනසය. වෙනස් දේ කිරීම යනු මනසින් නව දැනුම් නිර්මාණය කිරීමය. මනස ස්වභාවයෙන්ම එකින් පසු එක දැනුම් නිර්මාණය කරයි. බටහිර සංස්කෘතියෙන් විශේෂයෙන්ම එහි තාක්‍ෂණයෙන් කෙරෙන්නේ කෙටි කාලයක් තුල වැඩි දැනුම් ප්‍රමාණයක් එකින් පසු එක නිර්මාණය කිරීමට අපේ මනස පුරුදු කිරීමය. 

නිවන යනු දැනුම නිර්මාණය නොකිරීම ලෙස සැලකුවහොත් වොයිස් කට් මාධ්‍ය සංස්කෘතියෙන් පෙන්නුම් කරන්නේ අපි නිවනින් කෙතරම් ඈතට ගොස් සිටීද යන්න නොවේද?

අපි කාලය පිලිබඳව වාස්තවික අර්ථයෙන් කථා කලද ඇත්තටම කාල අන්තරයක් යනු මනසට දැනෙන දෙයක් නොවේ. අපි එය මනසින් නිර්මාණය කරගන්නෙමු. කාලය සෙමින් ගෙවෙයි හෝ ඉක්මණින් ගෙවේ යැයි අපට දැනෙන්නේ මනසින් කෙරෙන නිර්මාණයට අනුවය. අපි මනසින් දැනුම් රාශියක් නිර්මාණය කරන්නට යෙදුනොත් එහිදී කාලය පිළිබඳව මනසට හැඟෙන ආකාරයත් දැනුම් ඊට වඩා අඩු ප්‍රමාණයක් නිර්මාණය කරන්නට යෙදුනොත් එහිදී කාලය පිළිබඳව මනසට දැනෙන ආකාරයත් අතර වෙනසක් තිබිය හැකිය. පැහැදිලිවම මනසින් නිර්මාණය කරන්නට යෙදෙන දැනුම් ප්‍රමාණය වැඩි වන්නට වැඩි වන්නට කාලය (මනසට අනුව) ඉක්මණින් ගෙවේ යැයි සිතිය හැකිය. වැඩි වැඩියෙන් දැනුම් නිර්මාණය කිරීම කෙලෙස් රැස් කිරීමක් නම් කෙලෙස් රැස් කරද්දී කාලය (මනසට අනුව) ඉක්මණින් ගෙවේ යැයි කිවහොත් එය නිවැරදිද?

මෙහිදී මට මතක් වන්නේ එක්තරා බටහිර භෞතික විද්‍යා සංකල්පයක් පැහැදිලි කිරීමට ඉදිරිපත් කෙරෙන කෙටි ප්‍රදර්ශණයකි. කැරකැවෙන පුටුවක් මත කෙනෙකු හිඳවා පුටුව කරකවයි. මුලින් ඔහුට අත් දෙක දිග හැර සිටීමට අණ කෙරෙයි. පසුව අත දෙක පපුව මතට හකුලා ගැනීමට අණ කෙරෙයි. මෙහිදී අත් දෙක දිගු හැර සිටියදී සෙමින් කරකැවුනු පුද්ගලයා අත් හකුලා ගන්නවාත් සමඟම ස්වභාවයෙන්ම වේගයෙන් කරකැවෙන්නට ගනී. දැනුම පොදි ගැසීමේදීත් කාලය ඉක්මනින් ගත වෙන්නේ මේ ආකාරයටමද? බටහිර තාක්‍ෂණය ආධාරයෙන් උපරිම වශයෙන් මනසට නොයෙක් දේ ඇතුලු කර ගනිමින් වින්දනයක් ලැබීමට ඇබ්බැහිවී අපටත් කරකැවිල්ල හැදෙයිද?

Monday, September 8, 2014

පීචං සහ ප්‍රබුද්ධ

කලකට ඉහත රජයේ ශෝක දිනවලදී ගුවන් විදුලිය ඔස්සේ දවස පුරා වාදනය වුනේ උතුරු ඉංදීය ශාස්ත්‍රීය සංගීතයයි. පොදුවේ සිංහළුන්ට ඒ වාදන තුල එක්තරා දුක් බර ගතියක් දැනෙන බැවින් එය අවස්ථාවට උචිත යැයි සැලකෙන්නට ඇති. දුක් බර ගතියක් නොවුනත් බොහෝ ශ්‍රී ලාංකිකයින්ට අඩු තරමින් එහි නිදිමත ගතියක් හෝ දැනෙන බව රහසක් නොවේ. නමුත් එය සිංහළුන්ට දැනෙන ආකාරයක් මිස උතුරු ඉංදියානුවන් ඒ ගැන එසේ සිතතැයි සිතිය නොහැකිය. රස විඳීම සංස්කෘතියට සාපේක්‍ෂ නැතැයි කිව හැකිද? කෙසේ නමුත් ඊනියා නිදහසින් පසු අධ්‍යාපන ක්‍රමය හරහා ප්‍රබුද්ධ බවක් අත්කර දුන්නේ පොදුවේ සිංහළුන් දුක්බර යැයි සලකන මේ උතුරු ඉංදීය ශාස්ත්‍රීය සංගීතයටය.  එකල ඒ සංගීතය ප්‍රබුද්ධ කරවීමට වැඩිපුරම දායක වුනේ එහි ශිල්පීන්ටත් වඩා බටහිර අධ්‍යාපනයෙන් හිස උදුම්මාගත් නමුත් හීන මානයෙන් පෙළුණ විශ්ව විද්‍යාල උපාධිදාරීන්ය. ප්‍රතිභාපූර්ණ සංගීතඥයෙකුවූ පණ්ඩිත් අමරදේව මහතා ඉටු කලේ මේ උගතුන්ගේ සංගීත හීන මානය සංහිඳවීම යැයි කිව හැකිය.

නමුත් රටේ බහුතරයකට නිදිමත සංගීතය නිදිමත සංගීතයක් හැටියට දකින්නට අධ්‍යාපනයෙන් ලබාදුන් කුහක කමක් නොතිබිනි. ඔවුන් ස්වභාවයෙන්ම තෝරාගත් සංගීතය නියෝජනය කලේ එච් ආර් ජෝතිපාල මහතා වැන්නවුන්ය. සාපේක්‍ෂ වශයෙන් ජෝතිපාල මහතාගේ සිංදුවල නිදිමත ගතියක් නොතිබිනි. ගයන ගමන් නටන ගතිය සිංහළුන්ට අකැප නොවේ. නමුත් එකල උගතුන් විසින් ජෝතිපාල මහතා නියෝජනය කල සංගීත රුචිකත්වය පීචං ලෙස හැඳින්වූහ. පීචං සංගීතය ප්‍රබුද්ධ සංගීතයට ප්‍රතිපක්‍ෂය. නමුත් පීචං බව හෝ ප්‍රබුද්ධ බව හෝ හුදෙක් සංගීත ආරක් පිළිබඳ වර්ග කිරීමකට වඩා සංගීත රුචිකත්වයක් පිළිබඳ වර්ග කිරීමක් විය. වැදගත් වන්නේ රුචිකත්වයට පදනම් වෙන සංස්කෘතිකමය වෙනසය. ඒ වෙනස අතීතයේ මෙරට යක්‍ෂ ගොත්‍රිකයින් සහ බමුණන් අතරවූ සංස්කෘතික වෙනස හා සමාන්තර යැයි සිතිය හැකිය.

පීචං-ප්‍රබුද්ධ සංස්කෘති වෙනස දේශපාලනයේද ඇත. පොදුවේ ගත්විට ඊනියා නිදහස ලැබුණු අවධියේ මෙරට දේශපාලනය ප්‍රබුද්ධ විය. ඩී.  එස් සේනානයක මහතා එය පීචං කිරීමට යම් දායකත්වයක් ලබා දුන්නැයි සිතිය හැකි වුනද කැපී පෙනන ලෙස එය ඉටු කලේ ජේ ආර් ජයවර්ධන මහතාය. ඒ මහතා සංස්කෘතියෙන් එංගලන්තයට වඩා ඇමෙරිකාවට ගැතිවීම ඊට හේතුවක් විය හැකිය. ආර් ප්‍රේමදාස මහතා පීචං සංස්කෘතිය නියෝජනය කලද ඒ මහතා මෙරට දේශපාලන සංස්කෘතියේ එතරම් වෙනසක් කලේ යැයි කිව නොහැකිය. චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රනිල් වික්‍රමසිංහ යන දෙපලම දේශපාලනය නැවතත් ප්‍රබුද්ධ කිරීමට උත්සාහ ගත්තද එය සාර්ථක නොවිනි. ඊට ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැක්කේ ප්‍රාදේශීය සහ පළාත් සභාවල දේශපාලනය පීචං වී ඇති බැවිනි.

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉටු කල වැදගත්ම සංස්කෘතික කාර්ය භාරය නම් මෙරට දේශපාලනයේ මුලත් මැදත් අගත් පීචං සංස්කෘතියට අවශෝෂණය කර දීමය. බමුණන් කෙතරම් ක්‍රමණ්ත්‍රනය කලද මෙරට දේශපාලනය යලි ප්‍රබුද්ධ කරවීමට බහුතරයක් සිංහළුන් ඉඩ දේ යැයි සිතිය නොහැකිය. යන යකා යන්නේ කොරහත් බිඳගෙනය.

පීචං සංස්කෘතිය විසින් මෙරට රාජ්‍ය පරිපාලනය අත් පත් කරගෙන සිටියද ප්‍රබුද්ධ සංස්කෘතියට, එනම් බමුණන්ට, අධ්‍යාපනය හරහා ලැබෙන විශාල දේශපාලන බලයක් තවමත් ඇත. ඒ නිසා පීචං-ප්‍රබුද්ධ සංස්කෘතික අරගලය තව කාලයක් තිස්සේ කෙරෙනු ඇත. එහිදී ජාතික ව්‍යාපාරය පෙනී සිටිය යූත්තේ පීචං සංස්කෘතිය වෙනුවෙනි. බමුණන් පලවා හැර අවැසි බටහිර සංස්කෘතිකාංග හැකි පරිදි අවශෝෂණය කර ගනිමින් පීචං සංස්කෘතියට දේශපාලන බලය හිමි කරදීම ජාතික ව්‍යාපාරයේ කාර්ය භාරයයි.

ලංකාවේ ඒ සංස්කෘති හා සමාන නොවුනද පීචං සහ ප්‍රබුද්ධ සංස්කෘති ඇමෙරිකාවේද දකින්නට ඇත. ඇමෙරිකාව ප්‍රබුද්ධ යැයි සලකන්නේ යුරෝපීය විශේෂයෙන්ම ඉංග්‍රීසි සංස්කෘතියෙන් ලබාගත් ශාස්ත්‍රීය සංගීතය, සාහිත්‍යය (උදා: ශේක්ස්පියර්) , කෑම බීම (උදා: වයින්) ආදියය. නමුත් ඇමෙරිකාවේ ප්‍රබුද්ධ සංස්කෘතිය පීචංය(අවැදගත් යන අර්ථයෙන්). එනම් ලංකාව හා සසඳනවිට ඇමෙරිකානු ප්‍රබුද්ධ සංස්කෘතියට සැලකිය යුතු දේශපාලන බලයක් නැත. ඇමෙරිකානු රාජ්‍ය ගොඩනැඟුවේ යුරෝපීය සරණාගතයින්වීම ඊට හේතුවක් විය හැකිය. 

ඇමෙරිකානුවෝ ලංකාවේ උගතුන් තරම් ඉංග්‍රීසි රජ පවුලට භය පක්‍ෂපාතකම් දක්වන්නේ නැත. කළු ජාතිකයින්ගේ නිර්මාණයක් වන ජෑස් සංගීතයට එරට පිලිගැනීමක් ඇත්තේ පීචං සංස්කෘතිය විසින් ප්‍රබුද්ධ සංස්කෘතිය දේශපාලනිකව පරාජය කිරීමට හැකිවීම නිසාය. ප්‍රබුද්ධයෙකු වූ ඔබාමාට පළමු ජනාධිපතිවරණ සටනේ මැද හරියේදී පමණ පීචමෙකු වන්නට සිදුවූයේ එසේ නොවී දිනිය නොහැකි බව අවබෝධවුනු නිසාය.

අද ලෝකය ඇමෙරිකානු සංස්කෘතිය ලෙස හඳුනා ගන්නේ එහි පීචං සංස්කෘතියයි. බමුණු කුලය සතේකට ගණන් නොගැනීම එහි ලක්‍ෂණයකි. කෙසේ වෙතත් ඇමෙරිකාවට එහි පීචං සංස්කෘතිය අන් සංස්කෘතීන් මත පැටවීමට හැකිවීමෙන් එක හොඳක් සිදුවී ඇත. එනම් ඒ හරහා ලංකාවේ පීචං සංස්කෘතියටද යම් ශක්තියක් ලැබීමය. ඊනියා නිදහස ලැබූ අවධියේ සිට මෙරට බලවත්ව තිබුනු ප්‍රබුද්ධ සංස්කෘතියට යම් තරමකට පහර ගැසීමට ලංකාවේ පීචං සංස්කෘතියට හැකීවී ඇත්තේ ඒ නිසා යැයි මම සිතමි. නමුත් වරදද එය ඇමෙරිකානු පීචං සංස්කෘතියේ පිහිටෙන් සිදුවීමය.