Friday, December 6, 2013

රට ජිනීවාහි බැඳ තැබීම

ඉංග්‍රීසි යටත් විජිත සමයේ රාජ ද්‍රෝහීන් ලෙස සලකා මෙරටින් පිටුවහල් කල සිංහල විරුවන් සිහි කිරීමක් පසුගිය දිනෙක රජයේ අනුග්‍රහයෙන් සිදුවිනි. අප එය අගය කල යුතුය. ඇත්තෙන්ම පෙබරවාරියේ යෙදෙන නිදහස් දිනයේදී ඊනියා නිදහසක් සමරනවා වෙනුවට අපි තවම නිදහස් නැතැයි සලකා ඒ දිනය මෙරට සියලු නිදහස් සටන් වලදී මිය ගිය හා තවමත් ජීවතුන් අතර සිටින විරුවන් සැමරීමට යොදා ගත හැකිනම් බටහිර ආධිපත්‍යයෙන් නිදහස් වීම සඳහා සිංහලුන් උනන්දු කරවීමට එය පිටුවහලක් වෙනු ඇත. මෙරට පිදුම් ලැබිය යුත්තේ කව්ද ගැරහුම් ලැබිය යුත්තේ කව්ද යන්න තීරණය කල යුත්තේ කැමරන්ලා නොව අපිය. කැමරන්ලා තනන්නේ අප මත වරද පටවා සදාකාලිකව අප ජිනීවා නුවරට බැඳ තැබීමටය. අපි ඒ බැමි ලිහා ගත යුතු අතර මාර්තු මාසයෙන් මාර්තු මාසයට රටේ දේශපාලණ පැවැත්ම ගැන සිතන රටාවෙන් බැහැරවී වසර පනහක් හැටක් ඉදිරියට සිතිය යුතුය.

බටහිරුන් මුලින්ම කම්පා වූයේ ප්‍රභාකරන් ඇතුළු පිරිස ඝාතනය කිරීමටය නමුත් ඇමරිකානු ජනාධිපතිවරයාට ඔහුගේ හමුදාව බින් ලාඩන් ඝාතනය කරනු ලොවටම පෙන්වන්නට අවශ්‍යවූ නිසාවෙන් සහ ෆොන්සේකා මහතා ලවා එය කර ගත නොහැකිවූ නිසා ප්‍රභාකරන් ඝාතනය කිරීම ගැන බටහිරුන්ට තිබූ විරෝධය තවදුරටත් ගෙනයාමට නොහැකිවිනි.  හතලිස් දහසේ කථාවට වැදගත් බවක් ලැබුනේ ඉන් පසුවය. මිනිසුන් හතලිස් දහස් ගණනක් ඊළාම් යුධය අවසානයේ ඝාතනය නොවුනු බව බටහිර රහස් ඔත්තු සේවයන් නොදන්නවා විය නොහැකියි. මහ පොළවේ අඩියක් අඩියක් පාසා සිදුවෙන දේ චන්ද්‍රිකා මාර්ගයෙන් දැක ගත හැකි යුගයක, කොටි ත්‍රස්තවාදීන්ගේ නැව් පිළිබඳ ඔත්තු ආරක්‍ෂක අමාත්‍යංශයට සපයාදී ඇති විටෙක ඔවුන් ඒ බව නොදැන ගැනීමට හේතුවක් නැත. බ්‍රිතාන්‍යය ඇතුලු සියලු බටහිර රටවල් ඒ බව දැන ගත යුතුය. බටහිර ජඩ මාධ්‍යවල බොරු නිර්මාණය කෙරන්නේ ඔවුන්ට හතලිස් දහසේ කථාව තහවුරු කල නොහැකි බව ඔවුන් දන්නා නිසයි. තව තව පරීක්‍ෂණ කල යුතුයැයි ඔවුන් කියන්නේ ඊනියා පරීක්‍ෂණ හරහාවත් බොරු සාක්‍ෂි නිර්මාණය කර ගැනීම සඳහායි. අපි මේ පරීක්‍ෂණ වලට එකඟ විය යුතු නැත. සිය බිරියට පහර දෙතැයි කැමරන්ට චෝදනාවක් එල්ලවුවහොත්  කැමරන් ඒ සඳහා ස්වාධීන පරීක්‍ෂණයක් කරනමෙන් ඉල්ලා සිටියිද නැත්නම් හැකිනම් එය ඔප්පු කරන්න යැයි කියයිද?


අපි කල යුත්තේ මේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් බටහිර රජයන් පෙන්වන මඟ ගැනීම නොව, ඔවුන් කරන්නේ මුලාවක් බව ලොවටම ඒත්තු ගැන්වීමය. ඒ අතර අපි ජීනීවාහි සිදුවන ක්‍රියාදාමයන්ට කොටු නොවී අපේ අනාගතය ගැන සිතිය යුතුය. දේශපාලන වෙනස්වීම් සිදු වන්නේ සෙමිනි එහි ඵල අත් විඳිය හැකි වන්නේ ඊටත් බොහෝ කලකට පසුවය. ඇමරිකාවේ වහල්භාවය අහෝසි කර අදට වසර 148ක් වෙතත් තවමත් එහි බහුතරයක් කලු ජාතිකයින් ජීවත් වන්නේ සමාජ පතුලේය. නිදහස ලැබී බොහෝ කලක් යන තුරු කළු ජාතිකයින්ට උකස් ණය ලබාදීමට එරට බැංකු මැලි වුනි. ඒ නිසා ඔවුන් බොහොමයකට පරම්පරාගත ඉඩම් හිමි කමක් නැත. අද ඔවුන් බොහොමයක් දුප්පත්ය, අඩු අධ්‍යාපනයක් ලබති, ජනගහන අනුපාතයට බෙහෙවින් වැඩියෙන් බන්ධනාගාරගත වෙති. ඒ ඔවුන්ටවූ සාමාජීය අසාධාරණකම් කනපිට පෙරලීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙද්දීය. ඉංග්‍රීසීහු වෙල්ලස්සේ ජනතාව ඝාතනය කර ඔවුන්ගේ භව බෝග විනාශ කලහ. ඉඩම් පනත් (1840 සහ 1897) මඟින් ඉඩම් කොල්ලකෑහ. ඉන් සිංහල බෞද්ධයින් ලත් පසුබෑම නිවැරදි වෙන්නට කෙතරම් කලක් යැයිදැයි සිතා ගත හැකිද?


ඒ නිසා සිංහල බෞද්ධයින්ට සාධාරණයක් ඉටුවෙන ඔවුන්ට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් තව වසර පණහකින්වත් ලංකාව තුල ඇති කර ගන්නටනම් ඒ සඳහා අද ගත යුතු දේශපාලන පියවර අද ගත යුතුය. ඒ පියවර ජිනීවා සම්බන්ධයෙන් ගන්නා පියවරට වඩා වෙනස්ය. එය උගත් පාඩම් කොමිසම් වාර්තාවේද නැතැයි මට හොඳට විශ්වාසය.  ඒ පියවර කුමක්දැයි බටහිර උගතුන්ගෙන් අසා දැන ගත නොහැකිය. නමුත් ඒ පියවර කුමක් වුනත් එහි ප්‍රතිඵල අද ජීවත්වන බොහෝ දෙනෙකුට අත් විඳින්නට නොහැකි වනු ඇත. අපි ඒ පියවර ගත යුත්තේ අනාගතයේ බිහිවෙන දරුවන් උදෙසාය.


අපට දේශපාලන නිදහසක් අත් වෙන්නට නම් රාජ්‍යය ප්‍රභල විය යුතුය. එහි ඒකීය බව තහවුරු විය යුතුය. දෙමළ හා මුස්ලිම් ජනයා තම තමන්ගේ අයිතිවාසිකම් සඳහා ජන වාර්ගික පදනම මත දේශපාලණයේ නියැලෙනතාක් කල් රටේ ඒකීය භාවයට තර්ජනයක් ඇත. රටේ සතුරෝ එය සිංහල බෞද්ධයින් මර්ධනය කිරීමට පාවිච්චි කරනු ඇත. පසුගිය වසර තිහ තුල උගත් පාඩමක් ඇත්නම් එය මෙය නොවේද? ජන වාර්ගික පදනම මත කෙරෙන දේශපාලනය අඩපන කර දැමීමට නම් ඇල්ලිය යුතු දේශපාලන නිලයක් වේ. එය නම් දෙමළ හා මුස්ලිම් ජනයා ශ්‍රී ලාංකික ජාතියට එකතු කිරීමය. තව වසර පණහකින්වත් එහි ප්‍රතිඵල දැක ගන්නට නම් ජාතිය එකතු කිරීමේ මුල් දේශපාලණ පියවර අපි අද ගත යුතුය. මාර්තු මාසයෙන් මාර්තු මාසයට ජිනීවා නුවර සිදුවන දෙයට ප්‍රතික්‍රියා කිරීම ප්‍රමාණවත් නැත.

1 comment:

  1. අපේ රට ජිනීවා වලට යවාගන්ට ඕනෙ අයට පාර කපා දෙන්නේ අපේ දේශපාලඥයන්මයි. බලයට මුදලට වහ වැටී චැනල් 4 නාලිකා වලට රූප දෙන්නේ කවුද? තොරතුරු දෙන්නේ කවුද...සාමාන්‍ය ජනතාවද? කොහෙත්ම නැත. මාර්තුමාසය ගෙවා ඊළඟ මාර්තුමාසයේදී ආයෙමත් පොල්ලක් වැටෙන කං බලාගෙන ඉන්නේද දේශපාල්ඥයන්මය. ඒ තවත් චන්දෙකින දිනන්ට. මේ චක්‍රය හැමදාම කැරකෙන්නේ ඒනිසයි.

    ReplyDelete