Friday, December 27, 2013

බලු වෙන සමාජය

ඇමෙරිකාවට පැමිණි මුල් දිනවලදී මා මවිතයට පත් කල කරුණු දෙකක් විය. එකක් එහි භූමියේ විශාලත්වයය. රටේ දිග පළල ගැන මා කලින් දැන සිටියත් ඇසින් නොදැක එවැනි විශාල භූමියක් ගැන හිතා ගැනීමට මට නොහැකිවිනි. දෙවෙනි කරුණ වූයේ ඇමෙරිකානුවන් කෙතරම් සමාජයෙන් චෙන්වී සිටීද යන්නය. රටේ විවිධ ප්‍රදේශවල ජීවත්වීමට ලැබීමත් සමඟ කාලයාගේ ඇවෑමෙන් භූමියේ විශාලත්වය මා තව දුරටත් මවිත නොකරන සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති මුත් දෙවෙනි කරුණ පිලිබඳ මම අදටත් විටින් විට මවිත වෙමි. මේ සමාජය අත්නොදැක සිටියානම් වෙන්වී ජීවත්වීමේ ස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගැනීමට මට නොහැකිවනු ඇත. පැහැදිලිවම බටහිර සමාජයේ පුද්ගලයා වෙන් කෙරීම පිලිබඳව මා අනුමාන කලදෙයයි මා එය අත්දකින අයුරයි අතර වෙනසක් ඇත. මා මවිත කරවන්නේ ඒ වෙනසයි.

සමාජයෙන් වෙන්වීම යනු හුදෙකලාවීමම නොවේ.  එකමුතු බවක් නැතිවීමද නොචේ. එය ආත්මාර්ථකාමයද නොවේ. ආත්මාභිමානයද නොවේ. මේ එකකුදු නොවුනද වෙන්වීම තුල මේ දෑ නැතුවාද නොවේ. වෙන්වීම තුල සමාජය හා පුද්ගලයා අතර සම්බන්ධයට වඩා යමක් ඇතැයි මම සිතමි.

ලංකාවේ කුඩා දරුවෙකුට තමා ගැන විස්තරයක් කීමට කිවහොත් පැකිලෙමන් බොහෝවිට තමන්ගේ දෙමව්පියන් යහළුවන් තමන් ජීවත්වෙන ගම ආදිය ගැන කථාවක කියනු ඇති නමුත් ඇමෙරිකාවේ දරුවකු කිසිදු පැකිලීමකින් තොරව කරන තමාගැන විස්තරයේ වැඩි අවධානයක් දෙනු ඇත්තේ තමන් කුමන ආකාරයේ පුද්ගයෙක්ද, තමන් කැමති අකමැති දෑ මොනවාද යන්නටය. මේ වෙනස තුල මම බටහිර සමාජයේ පුද්ගලයා වෙන් කෙරීම දකිමි.

ලංකාවේ ක්‍රීඩාගාරයක ක්‍රිකට් තරඟයක් නැරඹන රසිකයෝ ක්‍රීඩා තරඟය රස විඳින අතරම නටමින් ගයමින් ඔවුනොවුන්ගේ සංගමයද විඳිති. නමුත් ලංකාවට සාපේක්‍ෂව ඇමෙරිකාවේ එවැනි අවස්ථාවක සාමාන්‍යයෙන් සිදුවන්නේ ඒ ඒ පුද්ගලයා තරඟය නරඹමින් පුද්ගලික වින්දනයක් ලැබීමය. පිරිසක් සමඟ සිටියත් එහි ඇත්තේ පුද්ගලික අත්දැකීමකි. ඇමෙරිකාවේ වැඩිහිටියන් එකතුවෙන තැන පමණක් නොවේ කුඩා දරුවන්ගේ උපන්දින සාදවල පවා වැඩිමනත් සිදුවන්නේ ඒ ඒ දරුවා තම තමන්ගේ පුද්ගලික වින්දනයක් ලැබීමය. මේ වෙනස තුල මම බටහිර සමාජයේ පුද්ගලයා වෙන් කෙරීම දකිමි. මා සිතන අන්දමට අද අප රටේ ජීවත්වෙන ඉහලම ඝනයේ ලිබරල්වාදීන්ටවත් ඇමෙරිකානුවන් තරම් වෙන්වී පවතින්නට හැකියාවක් නැත. ඒ වෙන කිසි හේතුවක් නිසා නොවේ ඔවුන් වෙලා සිටින සිංහල බෞද්ධ සංස්කෘතිය ඔවුන්ට වෙන් වෙන්නට ඉඩ නොදෙන නිසයි.

කෙසේ වෙතත් පුද්ගලයා සමාජයෙන් වෙන්වීම බටහිර සංස්කෘතිය තුල පැවැත්ම පිළිබඳ දරන ආකල්ප වල ප්‍රතිඵලයක් යැයි මම සිතමි. සාමාන්‍යයෙන් බටහිර සංස්කෘතියේ “මම” පවතින්නේ සෙසු ලෝකයෙන් ස්වායත්තවය. බටහිර නොවන සමාජතුල “මම” පවතින්නේ මම නොවන අන් සියලු දෑ සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇතිවය.

ටැන්සානියාවේ හස්ඩා ගෝත්‍රිකයින් ඔවුන් සතු දෑ අන් සතු කිරීමට ඇති කැමත්ත අකමැත්ත විමසීම සඳහා මෑතකදී ඇමරිකානු සමාජ විද්‍යාඥයින් පිරිසක් විසින් පර්යේෂණයක් සිදුකෙරිනි. එහි නිරීක්‍ෂණය වූයේ ධනවාදී ආර්ථිකය සමඟ යම් තරමක් ගනුදෙනු පැවැත්වූ හස්ඩා වරුන් තමන්සතු දේ පිළිබඳ දැඩි ඇල්මක් දැක්වූමුත් දඩයමින් දිවි ගෙවූ සෙසු හස්ඩාවරුන් එසේ නොවුනු බවය. ඔවුන් තමන් සතුදේ අන්සතු කිරීමට බෙදා ගැනීමට හෝ හුවමාරු කර ගැනීමට අර තරම් අකමැත්තක් නොදැක්වූහ. දැන් මේ කථාව ඊනියා පර්යේෂණයක් නොකර වුවද මේ ලිපිය කියවන ඔබට අනුමාන කර ගැනීමට හැකිවේයැයි මම සිතමි. කෙසේ වෙතත් බලාපොරොත්තු විය හැකි පරිදි ඇමරිකානු සමාජ විද්‍යාඥයින් නිගමණය කලේ දඩයමින් දිවි ගෙවූ හස්ඩා වරුන්ට ස්වභාවයෙන්ම සම්පත් හිඟ බැවින් බෙදා හදාගෙන ජීවත්වන්ට සමාජයෙන් ඔවුන් පොලඹවන බවත් එසේ නැති විට ඔවුන්ට සමාජයෙන්ම දඬුවම් ලැබිය හැකි බවත් ඒ නිසා ඔවුන් තමන් සතු දේ පිළිබඳ ලිහිල් ආකල්ප දරනවා විය හැකි බවත්ය. ඔවුන්ගේ ඊනියා පර්යේෂණයෙන් මේ බව “ඔප්පු” නොවේ. මෙය හුදු උපකල්පණයක් පමණි. කෙසේ වෙතත් ඒ උපකල්පණය මම පිලි නොගනිමි. මගේ උපකල්පණය නම් මේ මිනිසුන් තමන් සතු දේට එතරම් බැඳීමක් නොදක්වන්නේ ඔවුන් සෙසු ලෝකයත් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධවී පවතින නිසාය. ඇමෙරිකානුවන්ගේ පැවැත්ම එසේ නොවේ. ඔවුන්ගේ පැවැත්ම සෙසු ලෝකයෙන් ස්වායත්තය. සමාජයෙන් වෙන්වීමට භෞතික දේට ඇලීමට ඇමෙරිකානුවන් හුරු වන්නේ ඒ පැවැත්ම නිසාය.

ලෝකයත් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් පවතින්නට යම් ආකාරයක දියුනු මනසක් තිබිය යුතුයැයි මම සිතමි. ඒ අනුව දඩයමින් දිවි ගෙවන හස්ඩාවරුන්ට අනිත් හස්ඩාවරුන්ට වඩා යම් ආකාරයක දියුනු මනසක් ඇතැයි කිව හැකිය. හෙළයින්ටද ඒ දියුනු මනස තිබෙන්නට ඇති. අද වන විට සිංහලුන්ගේ ඒ මනස පිරිහී ඇති මුත් අපි තවමත් බටහිරුන් තරමට පහලට වැටී නැත.

වෘකයින්ට ඉතා සංකීර්ණ සමාජ රටාවක් ඇතැයි කියැවේ. උන් ජීවත් වන්නේ කන්ඩායමක් වශයෙනි. දඩයම් කිරීම, පැටවුන් බලා කියා ගැනීම, සතුරු උවදුරුවලට මුහුණ දීම, තම වැයික්කිය ආරක්‍ෂා කර ගැනීම වැනි සංකීර්ණ ක්‍රියා උන් කණ්ඩායමක් වශයෙන් ඉටු කර ගනිති. නමුත් වෘකයින්ගෙන් පැවත ඒ යැයි සැලකෙන දඩාවතේ යන බල්ලන් ගැවසෙන්නේ තනියෙනි. ඔවුන් එකතු වුනත් එසේ වෙන්නේ බොහෝවිට බැල්ලියක් පසුපස යාම සඳහා පමණි.  සංකීර්ණ සමාජයක් පවත්වාගෙන යාමට වෘකයින්ට තිබූ යම් දියුණු මනසක් බල්ලන්ගෙන් ගිලිහී ඇතැයි කිව හැකිද? ලෝකය සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධ කමක් පවත්වාගෙන යාමට අපට පෙර තිබූ යම් හැකියාවක් අපෙන් ගිලිහී ඇත්තේ මේ ආකාරයටම නොවේද? ජංගම දුරකථනවලට අන්තර් ජාලයට මිනිස් සම්බන්ධතා සුලු කර දමමින් අපි තවත් බලු වෙමින් සිටින්නෙමුද?

4 comments:

  1. අපේ රටේ බටහිර පන්නයේ සම්මුඛ පර්‍රික්ෂන වලද, ඒවාට පුරුදු කරන විවිධ වැඩසටහන් වලද තමන් ගැන පැහැදිලි කරන්න කියන ප්‍රශ්නයට පුරුදු කරන්නේ තමන් අන් අය සමඟ දක්වන බැඳීම පැහැදිලි කරනවාට වඩා ඔබ කියූ පරිදි බටහිරයන් තමන් ගැන ප්‍රකාශ කරන ආකාරයයි. සම්මුඛ පරීක්ෂණ මෙහෙයවන පුද්ගලයන්ද බලාපොරොත්තුවන්නේ එවැනි පිළිතුරක්මයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තද? මොනව කරන්නද ඉතින් බටහිර ක්‍රමයේ රස්සා කරන්න නම් ඉතින් එහෙම වෙන්න ඕනෙනෙ?

      Delete
  2. බොහොම හොඳ ලිපියක්. බොහොම ස්තුතියි

    ReplyDelete
  3. හොඳ නිරීක්ෂණයක්.. බොහෝ අයට මේ වෙනස පැහැදිළි නෑ. ඔබ මෙය අත්දැකීමෙන්ම පැහැදිළිව ඉදිරිපත් කරලා තියෙනවා.

    ReplyDelete