Friday, December 20, 2013

දෙමළ රාවණ

රටක ඉතිහාසය ඉතිහාසය සඳහා නොවේ. ඉතිහාසය ඊනියා උගත් විශේෂඥයින්ගේ බූදලයක්ද නොවේ. පැහැදිලිවම එහි දේශපාලණයක් ඇත. ඒ නිසා රටේ ඉතිහාසය ගැන විවාද ඇතිවීමට පාර්ලිමේන්තුව සුදුසු තැනකි. රටක ඉතිහාසය යනු වැඩිහිටියන් විසින් තම දරු මුණුබුරන්ට ඔවුන්ගේ අනාගතය හැඩ ගැස්සවීමේ අරමුණින් ඔවුන්ගේ මුතුන් මිත්තන් ගැන කියා දෙන කථාන්දරයයි. මේ කථාවලින් සිදුවිය යුත්තේ අතීතය ගැන දකිමින් අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඇති කරවීමය. නමුත් අපි කුඩා කල මහෞෂධ පඬිතුමා වෙනුවට ඉගෙන ගත්තේ මෝඩයෙකු සහ විහිලු ගෝල පිරිසක් ගැනය. එය ඉබේට සිදුවූවක් නොව සුද්දන් බටහිර අධ්‍යාපනය ඔස්සේ අපට කල විහිලුවකි. එය නිවැරදි කරන්නට නම් අපි සුද්දාගෙන් ගැලවී, එනම් බටහිර තක්සේරුවට යට නොවී, අපේ ඉතිහාස කථා ගොඩනඟා ගත යුතුය. අපි ඒ කථාවට මහාවංශය අවශෝෂණය කර ගතු යුතුය. මහාවංශය අපේ නොවේ නම් වෙන කවුරුන්ගේද? නමුත් අද අපි ගොතන වංශ කථාවෙන් මහාවංශය නොකියන නමුත් අද ඇසෙන ප්‍රශ්ණ වලට සංගත පිළිතුරක් සැපයිය යුතුය.

විජයගේ සත්‍ය කථාව කුමක්ද? ඔහු සහ ඔහුගේ පිරිස මෙරටට පැමිණීමට පෙර මෙහි සිටි වැසියන්ගේ කථාව කුමක්ද? ගෞතම බුදුන් වහන්සේගේ කථාව කුමක්ද? ගෞතම බුදුන් හා මෙරට වැසියන් අතර සම්බන්ධය කුමක් විනිද? උන්වහන්සේ මහියංගනයට වැඩම කලේ යකුන් එලවන්ටද? මනු මහසෙන් රාවණ වැනි මහාවංශයට පෙර විසූ රජවරුන්ගේ කථා මොනවාද? ඉංදියාවේ සිටියැයි සැලකෙන අසෝක රජු කවුරුද? මෙරට බුදු දහම මුල් බැස ගත්තේ මන්ද? එය මහායානයක් නොවී ථෙරවාදයක් වුනේ මන්ද? මහාවිහාරයේ හෙළ අටුවා ගිනි තැබුනේ මන්ද? එයට ඉඩ ලැබුනේ ඇයි? එළාර කව්ද? සීගිරිය කාගේද? හෙළ සංගීතය නර්තනය කෙබඳුවීද? හෙළ ගොවිතැනට වෙදකමට හා වාරි කර්මාන්තයට පදනම් වුනු දැනුම් නිර්මාණය වුනේ කෙසේද? අනුරාධපුර යුගයෙන් පසු සිංහලුන් පරිහාණියට පත්වූයේ ඇයි? මේ යම් යම් ප්‍රශ්ණවලට දැනටමත් පිළිතුරු නැතුවා නොවේ නමුත් අපි මේ සියලු ප්‍රශ්ණ නිරවුල් කරගත හැකි යම් පොදු කථාවක් එනම් හෙළ වංශකථාවක් ගොතා ගත යුතුවෙමු. එහිදී වැදගත් වනුයේ ඒ ඒ ප්‍රශ්ණ වලට දෙන පිළිතුරු අතර සංගත බවක් තිබිය යුතුවීමය.

එවැනි සම්මතයෙන් පිළිගැනුනු වංශකථාවක් අපට තිබිනි නම් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී දෙමළ සංධානයේ මන්ත්‍රීවරුන් විසින් විවාදයට ලක් කලාක් මෙන් රාවණ රජු දෙමළද නැත්නම් සිංහලදැයි ආරවුලක් ඇති නොවෙන්නට ඉඩ තිබිනි. කෙසේ වෙතත් දෙමළ දේශපාලඥයින් දකුණු ඉංදියාවේ විසු කිසියම් රජ කෙනෙකු නොව සිංහලුන් උරුමකම් කියන මෙරට විසූ රජ කෙනෙකු තමන්ගේ යැයි කීම සතුටට කරුණකි. මන්ද අපි බලාපොරොත්තුවෙන ආකාරයට එක්වුනු ජාතියක තිබිය හැක්කේ එක් සම්මත ඉතිහාස කථාවක් පමණක් බැවිනි. එහිදී දෙමළ ජනයාගේ මුතුන් මිත්නන් සිංහලුන්ගේද මුතුන් මිත්තන් විය යුතුය. ඒ නිසා දෙමළ නායකයින් රාවණ රජුට හිමි කම් කීම හොඳ මුල් පියවරක් යැයි මම සිතමි.

කෙසේ වෙතත් අද සිටින දෙමළ නායකයින්ගේ අරමුණ එක්වීම නොව නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවලට තනි අයිතිය කීමය. ඔවුන්ට රාවණ රජු දෙමළ කර ගැනීමට අවශ්‍ය ඒ නිසා බව පැහැදිලිය. නමුත් දෙමළ නායකයින් රාවණ රජුට ආධ්‍යාත්මිකව බැඳ තබා ඔවුන්ගේ නිජ බිම් දේශපාලනය පරාජය කිරීමට උත්සාහ කිරීම රාවණ රජුට ඔවුන්ගේ ඇති බැඳීම කඩා ඒ තුලින්  නිජ බිම් දේශපාලනය පරාජය කිරීමට උත්සාහ කිරීමට වඩා සුදුසුයැයි මම සිතමි. එවැනි දේශපාලන ඉන්ජිනේරු ව්‍යාපෘතියක් එක ජාතියක්, එක රටක්, ප්‍රභල ඒකීය රාජ්‍යයක් ගොඩනැඟීමට උදව්වනු ඇත.

රාවණ රජුගේ ජාතිය පිළිබඳ අසන ප්‍රශ්ණයේදී අපට වැදගත් වන්නේ ලංදේසීන් විසින් මෙරටට ගෙන්වාගත් ගොවි කම්කරුවන්ට රාවණ රජුගේ පරපුරට ලේ නෑකමක් ඇත්ද යන්න නොවේ. නැත්නම් එවකට උතුරේ සිටි පසුව දෙමළ ජාතියට අවශෝෂණය වූ සිංහල ජනයාට එවැනි ලේ නෑකමක් ඇත්ද යන්න නොවේ. එමෙන්ම අද වෙසෙන සිංහලයැයි කියා ගන්නා මිනිසුන්ට රාවණ රජුට ඇති ලේ නෑකමද නොවේ. ඉතිහාස කථාවක මුතුන්මිත්තන් හා වර්තමානයේ වෙසෙන්නන් අතර එවැනි ජෛවීය සම්බන්ධකමක් තිබීම වැදගත් නොවේ. අපට වැදගත් වන්නේ රාවණ රජුගේ කාලයේ සිට නොකැඩී ගලාගෙන ආ සංස්කෘතිය හඳුනාගැනීමය. ඒ සංස්කෘතික ලක්‍ෂණ අතර සිංහල මෙන්ම දෙමළ සංස්කෘතික ලක්‍ෂණද තිබෙන්නට බොහෝ ඉඩ කඩ ඇත. අප කල යුත්තේ හෙළ වංශයක් ගොඩනැඟීම තුලින් මේ ලක්‍ෂණ සහිත රාවණ රජු කෙනෙකු නිර්මාණය කර ගැනීමකි. ඒ තුලින් ඒකීය රටක් සඳහා පියවර තැබීමය. ඒ රාවණ රජු විසින් මෙරට දෙමළ ජනයා ඊළාම් දෙමළුන් නොව, ලාංකික දෙමළුත් නොව, දෙමළ ලාංකිකයින් බවට පත් කරනු ඇත. ඒ රාවණ රජුගේ බසින් බිඳ එන බසින් ජාතික ගීය ගයන්නට ලංකිකයින්ට ගැටළුවක් නොවනු ඇත. වාල්මිකීගේ රාවණ නොව අපේ රාවණ රජු කෙරෙහි දෙමළ නායකයින් ආධ්‍යාතමිකව බැඳ තබා ගැනීම ඒ සඳහා අත්‍යාවශ්‍යය.

3 comments:

  1. සිංහළයන් අදහන දෙවියන් කිසිවෙක් විදේශිය හෝ හින්දු නොවනේයැයි යන සත්‍යය අද වැසී ගොස් ඇත.ඒ දෙවිවරුන්ව හින්දූන්ද ඇදහීමේ වරදක් නැත. නමුත් සංස්කෘතික ඝාතනය ඔස්සේ සිදුව ඇත්තේ, ඔවුන්ගේ හින්දු දෙවියන් සිංහළයන් විසින් පැහැරගෙන අදහන මට්ටමට කථාන්දරය මුලුමනින්ම විකෘති කිරීමය.කොටින්ම ඔවුන් සිංහළ දෙවිවරු කීම විහිලුවක් වන තරමට විකෘතිය උඩුදුවා ඇත.සැබෑ සත්‍යයට අනුව මේ දෙවිවරුන්ගේ අයිතිය සිංහළයන්ට හිමිකර දී (අඩුම වශයෙන් කතරමග මහාසෙන් දෙවියන්වවත්) අනතුරුව ද්‍රවිඩයන් ඔවුන්ව අදහනේ නම් , එය සුද්දන් ඉල්ලන ඊනියා Reconciliation ඉක්මවූ සංස්කෘතියේ සැබැ සංහිදියාව වන්නේය, එය අපේම එකකි.(මෙය අනෙක් අතට කලනොහැකිදැයි යමෙක් තර්ක කරනු ඇත, එයින් මතුවන්නේ ඊනියා උරුමයක උවමනාව වන දෙමළ නිජබිම් වාදයයි ). නමුත් මේ සංහිදියාව රාවන රජු හරහා කල හැකිද?. මන්ද පෙනීයන පරිදි ද්‍රවිඩ නායකයන්ට ඇත්තේ රාවන රජු තමන්ගේ කර ගැනීම හරහා මේ බිමේ රජෙකු හා වූ ආධ්යා්ත්මික බැදීම පෙන්වීම නොව, කුමකින් හෝ ඉටුකර ගැනීමට තතනන නිජ්බිම් වාදයේ උවමනාවයි. නමුත් අපහසු උවද දේශපාලන ඉන්ජිනේරු ව්‍යාපෘතියක් ඔස්සේ ඔවුන් දිනාගැනීම හෝ මෙල්ල කරගත හැකිනම් එය ඉතා අගනා වැඩකි ).

    ReplyDelete
  2. හොඳ අදහසක්. මෙරට දෙමල ජනයා ගැමුණු රජ්ජුරුවන්ව තමන්ගේ රජ කෙනෙකු ලෙස අද හෙට පිලිගනීවි යැයි සිතිමට අපහසුය. නමුත් දෙමල ජාතිවාදී දේශපාලකයන් තම වාසිය උදෙසා රාවණ රජුව යොදගන්නේ නම් එම උත්සහය අපට අවශ්‍ය ආකාරයට නමා ගත හැකි නම් එය මෙරට දෙමල ජනයා ලාංකික දෙමල ජනතාවක් බවට පත්කර ගනීමේ මුල්ගලක් විය හැක.නමුත් ප්‍රශ්නය වනුයේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිභාව ඇති සිංහල කතාකරුවෙකු සිටීද යන්නය.

    ReplyDelete
  3. මම හිතන්නෙ නෑ දෙමෙල්ලු රාවනා කතාව වැඩිය ඇදල ගනියි කියල
    මොකද දෙමෙල්ලුන්ට ඊලාම් වැඩවලදී හින්දු ආගම පාවිච්චි කරන්න බෑ
    පුලුවන්නම් එයාල ඒක නොකර ඉන්නෙත් නෑ
    ඒකට හේතුව බුදු හාමුදුරුවෝ අයිති සිංහලයන්ට විතරක් වුනාට
    ගන දෙවියෝ අයිති දෙමලුන්ට විතරක් නොවීමයි

    ReplyDelete