Friday, December 13, 2013

(අපි නොදන්න) විද්‍යාව

බටහිර විද්‍යාවේ කිසිම දේශපාලනයක් ආගමක් රටක් ජාතියක් සංස්කෘතියක් හෝ කිසි පෞද්ගලිකත්වයක් ගෑවිලාවත් නැතැයි පැවසේ. බටහිර විද්‍යාවේ දැනුම වාස්තවිකයි (objective) කියන්නෙ ඒ හින්දයි. මේ ඊනියා වාස්තවික බව නිසා යම් ප්‍රපඤ්චයක් ගැන බටහිර විද්‍යාවේ කියැවෙන කථාව ලෝකයේ ඕනෑම කෙනෙකුට පිළිගන්ට හැකි ඒ පිළිබඳ තිබිය හැකි එකම කථාව බවට පත්වෙනවා. බටහිර විද්‍යාව හැමෝටම සාධාරණයැයි කියන නිසා බටහිර විද්‍යාවේ අනුගාමිකයින්ට ලැබෙන්නේ අසමසම නමුත් මගේ මතයට අනුව අයුතු දේශපාලන බලයක්.

නමුත් පෘතග්ජන මිනිස්සු ගොතන කිසිම කථාවක වාස්තවික බවක් තිබිය නොහැකියි. මම එහෙම හිතන්නේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි අනාත්මයි කියල විශ්වාස කරන බෞද්ධයෙකු හැටියට. බටහිර විද්‍යාවෙත් වාස්තවික බවක් නැහැ. ඒක තේරුම් ගන්න සරලම විදිහ තමයි නලින් ද සිල්වා මහතා පෙන්වාදී ඇති පරිදි ඇපල් ගෙඩි බිමට වැටීම ගැන නිව්ටන් සහ අයින්ස්ටයින් කියල තියන කතන්දර අතර අහසට පොලොව මෙන් ඇති වෙනස අවබෝධ කර ගන්න එක. කෙටියෙන් කියනවා නම් නිව්ටන් කිව්වේ ඇපල් ගෙඩිය මත පොලොවෙන් යම් ආකර්ශනීය බලයක් යෙදෙනවා කියලයි. අපි සාමාන්‍යයෙන් ඉස්කෝලෙ ඉගෙන ගන්නේ මේ කථාවයි. නමුත් අයින්සටයින්ගේ කථාව නිව්ටන්ගේ කථාවෙන් සම්පූර්ණයෙන්ම වෙනස්. ඔහුගේ කථාවෙ පොලොවෙන් ඇපල් ගෙඩිය මත යෙදෙන ආකර්ශනීය බලයක් නැහැ. එකම ප්‍රපඤ්චය බටහිර විද්‍යාව තුලම එකිනෙකට හාත්පසින් වෙනස් කථා දෙකකින් විස්තර කිරීමට හැකිවීම තුලින් පෙනෙන්නේ බටහිර විද්‍යාවේ වාස්ථවික බවක් නැති බව නේද?


භෞතික විද්‍යාව තරමක් හදාරන්නේ නැතිව මේක තේරුම් ගන්න අපහසු වෙන්න පුලුවන් නමුත් මේක වෙන විදිහකටත් තේරුම් ගන්න පුලුවන්. අයෙක් වරක් මගෙන් අහනවා බටහිර රටක, බටහිර විද්‍යා දැනුමෙන් නිර්මාණය කරන එම්.ආර්.අයි යන්ත්‍රයකින් අනුරාධපුරයේ ජීවත්වෙන මිනිසෙකුගේ මොළයේ පිංතූරයක් අරගෙන ඔහුගේ යම් රෝගාබාධයක් නිර්ණය කර ගැනීමට හැකිනම් ඉන් කියවෙන්නේ බටහිර විද්‍යාව වාස්ථවික බව නෙවෙයිද කියා. වෙනත් වචනයකින් කියනවා නම් ඔහු කියන්නේ එම්.ආර්.අයි යන්ත්‍රය ආධාරයෙන් මොළයේ ආබාධ ගැන ගොතන කථා අනුරාධපුරයේ ජීවත්වෙන මිනිසෙකු සම්බන්ධයෙනුත් හරියනවා. එහෙම හරියන්ඩ නම් ඊට අනුබද්ධ දැනුමේ කිසි සංස්කෘතියක්, රටක්, ජාතියක් පෞද්ගලිකත්වයක් ගෑවිලාවත් නැති විය යුතුයි කියලයි. 


දැන් මේ යන්ත්‍රය ආධාරයෙන් ගොතන කථාව "හරියනවා" කියල අපි දැන ගන්නෙ කොහොමද? ඔය යන්ත්‍රය ක්‍රියා කරවන්ට ඕනෑම අයෙකුට බැහැනෙ, ඒකට යම් පුහුණවක් ලබා තියෙන්න ඕනෙ. ඊලඟට ඒකෙන් ලැබෙන මොළේ පිංතූරය විවරණය කරන්නත් යම් පුහුණවක් ලබා තියෙන්න ඕනෙ. ඒ විවරණයත් රෝගියාගේ අනිකුත් ආබාධත් එකතු කරල රෝගය ගැන කථාවක් ගොතන්නත් යම් පුහුණවක් ඕනෙ. ඒ විදිහට බැලුවහම මේ කථාව ගොතන්න විවිධ විශේෂඥ දැනුම ඇති කිහිප දෙනෙකුගේ සහය අවශ්‍යය වෙනවා. සාමාන්‍ය මිනිස්සු බහුතරයකට මේ විශේෂඥ දැනුම නැහැනෙ. ඒ නිසා අපි බොහොමයකට මේ කථාවේ ඇත්ත නැත්ත හොයන්න විදිහක් නැහැ. අපි කරන්නේ අර විශේෂඥයින් කෙරෙහි ඇති භක්තිය නිසා ඔවුන් කියනදේ විශ්වාස කරන එක නේද? එහෙම නම් එම්.ආර්.අයි යන්ත්‍රය ආධාරයෙන් මොළයේ ආබාධය ගැන ගොතන කථාව ඕනෑම කෙනෙකුට පිලිගත හැකි යැයි කියන්නේ මොන පදනමකින්ද? බොහෝ අයට තියෙන්නෙ ඒ පිළිබඳව විශ්වාසයක් පමණයි. බටහිර විද්‍යාව සහ එහි අනුගාමිකයින් පිළිබඳව පොදුවේ විශ්වාසයක් අප තුල ඇති කරන්නේ බටහිර සංස්කෘතියෙන් ආධිපත්‍යයෙනුයි. දැන් රෝගය ගැන කථාව හරි කියල අපි පිලිගන්නේ බටහිර සංස්කෘතික බලපෑම නිසා නම් රෝගය ගැන කථාවේ බටහිර සංස්කෘතිය නැතැයි කියන්න පුලුවන්ද? එහි බටහිර සංස්කෘතිය ඇත්නම් ඒ කථාව වාස්තවිකද?


මෙතෙන වෙන්නෙ මේකයි. මුලින්ම බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන් අපිට ඒ කථා පිලිගන්වන්ට සලස්සවනවා. ඊ ලඟට අපි ඒවා පිලිගන්න එක පෙන්නලා කියනවා ආං ඒ හින්දා ඒ කථා වාස්තවිකයි කියලා. මුලාවක් නෙ.


මේ රෝගියාගේ අසනීපය ගැන දේශීය නාඩි වෙදෙකුටත් කථාවක් ගොතන්න පුලුවන්. ඒ කථාවයි එම්.ආර්.අයි යන්ත්‍රය ආධාරයෙන් කියන කථාවයි සසඳන්න අවශ්‍යනම් අපි කල යුත්තේ රෝගියාගේ රෝග ලක්‍ෂණ සමඟ වඩාත් සංගතවෙන කථාව මොකක්ද කියල හොයන එකයි. ඊට වඩා කරන්න දෙයක් නැහැ. ඒ සඳහා නාඩි විද්‍යාව මෙන්ම බටහිර විද්‍යාව ගැනත් විශේෂඥ දැනුමක් අවශ්‍ය වෙනවා. ඊටත් වඩා අපිට වැදගත් වෙන්නෙ නාඩි විද්‍යාවට අනුව දෙන ප්‍රතිකාරද නැත්නම් එම්.ආර්.අයි යන්ත්‍රයේ කථාවට අනුව දෙන ප්‍රතිකාරද වඩා සුවයක් අත් කරදෙන්නේ කියන එකයි. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවනම් ප්‍රතිකාර දෙකක් සංසන්ඳනය කරන්නෙ ශායනික පරීක්‍ෂණයක් (
e.g. double blinded clinical trial) කරලයි. එවැනි පරීක්‍ෂණයක් නොකර වඩා හොඳ ප්‍රතිකාර ක්‍රමය මොකක්ද කියල නිගමනය කරන එක සීරියස් බටහිර විද්‍යාඥයෙකුට නම් වටින්නේ නැහැ.

බටහිර විද්‍යාවේ ඊනියා වාස්තවික (objective) බවක් නැති බව හොඳින්ම පෙනෙන්නේ එහි ක්‍රියාත්මක වෙන දේශපාලණය තුලයි. බටහිර විද්‍යාඥයින් ඉතා ඉහලින් සලකන නේචර් නම් සඟරාවේ පරීක්‍ෂණ නිබන්ධනයක් පලකරවා ගන්න එක ලෙහෙසි නෑ. එසේ කරන ඕනෑම චීන විද්‍යාඥයෙකුට චීන විද්‍යා ඇකඩමිය මඟින් ඩොලර් දස දහස් ගණනක් තෑගි ලැබෙන බව කියා තිබුණා. චීන රජය මේක කරන්නේ ආර්ථික හා දේශපාලන අරමුණකින්ද නැත්නම් හුදෙක් ලෝකයා වෙත දැනුම ලබාදීමේ සත්භාවයෙන්ද? මේ පරිසරය තුල චීන විද්‍යාඥයෝ ප්‍රකාශයට පත් කරන විද්‍යා දැනුමේ වාස්තවික බව සහතික කල හැකිද? මේක චීන විද්‍යාඥයින්ට පමණක් නෙවෙයි ලොව පුරා ඉන්න දහස් ගණනක් බටහිර විද්‍යාඥයින්ට අදාලයි. වෛද්‍ය විද්‍යාව පිළිබඳව මෙවර නොබෙල් ත්‍යාගය හිමිකරගත් විදුවතුන් අතරින් එක් අයෙකුවූ රැන්ඩි ෂෙකමන් මහතා තමන් මින් පසු නේචර් සඟරාවට තමන්ගේ නිබන්ධන යොමු කරන්නේ නැතැයි පවසා තිබුණා. නේචර් සඟරාව මෙන්ම අනිකුත් එවැනි සඟරා කතෘවරු ලිපි තෝරාගැනීමේදී අනුගමනය කරන වෙළඳමය ප්‍රතිපත්ති විද්‍යාවේ ස්වාධීනත්වයට හානි කර යැයි ඔහු පවසයි. මෙය බටහිර රටවල පර්යේෂණ කටයුතුවල නියැලී සිටින අය අතර ප්‍රසිද්ධ රහසක්. මොනවා කලත් බටහිර විද්‍යා දැනුම නිර්මාණය කිරීමේදී හා එය ඒත්තු ගැන්වීමේදී ක්‍රියාත්මක වෙන දේශපාලණයෙන් බටහිර විද්‍යාව නිදහස් කර ගන්ට බැහැ. කොටින්ම මිනිස් මනසින් නිර්මාණය කරන කිසිම දැනුමක වාස්තවික බවක් තිබිය නොහැකියි.


අපිට බටහිර විද්‍යාවේ වාස්තවික බවක් නැහැ කියල පෙන්වල දෙන්න අවශ්‍ය ඇයි? බටහිර විද්‍යාව උගන්වන එක නවත්තන්න නෙවෙයි. වෙන දේශීය විද්‍යාවක් ඊට වඩා උඩින් තියන්න
ත් දේශීය දැනුමක් වාස්තවික කරන්නවත් නෙවෙයි. (ඉස්කෝලෙ යන ළමයි නොමඟ හරින්නත් නෙවෙයි. ඇත්තටම ථේරවාදී බෞද්ධ රටක මිනිස් මනසින් නිර්මාණය කල දැනුමක් යථාර්තයක් ලෙස ඉගැන්වීම තමයි නොමඟ හැරීම) අපිට අවශ්‍ය බටහිර විද්‍යාවේ නැති වාස්තවික බවක් ඇතැයි පෙන්වා ඒ බොරුව මත පමණක් පදනම් වෙමින් දේශීය දැනුම යටපත් කිරීමට බටහිර විද්‍යාවේ අනුගාමිකයින් දරන උත්සාහය නිෂ්ඵල කිරීමටයි. බටහිර විද්‍යාවට (විද්‍යාඥයින්ට නොවේ) වැඩ බැරිනම් බොරු වාස්තවික බවක් පෙන්වා දේශීය දැනුම යටපත් කිරීමට ඉඩ දිය නොහැකිය. එහෙම කියන්න පැහැදිලි ප්‍රායෝගික හේතු තියෙනවා.

අද රට පුරා පැතිර යන වකුගඩු ආශ්‍රිත රෝගයට ප්‍රායෝගික පිළියමක් අවශ්‍යයි. අවසානයේ වැදගත් විය යුත්තේ දැන් සිටින රෝගීන් සුව කිරීමට හා ඉදිරියේදී රෝගීබව ඇති නොවීමට ගත හැකි නිවැරදි පිළියම මොකක්ද කියන එකයි. පසුගිය දිනක ලංකාවේ ප්‍රමුඛ විද්‍යාඥයින් පිරිසක් ජාතික විද්‍යා ඇකඩමිය විසින් සංවිධානය කරන ලද සමුළුවක මේ පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුනේ තවමත් බටහිර විද්‍යාවට මේ ප්‍රශ්ණය අඟෙන් අල්ලා ගන්නට නොහැකිවී ඇති නිසා බව පැහැදිලියි. නමුත් මෙරට දේශීය උගතුන්ට, වෙද මහත්වරුන්ට, සාමාන්‍ය ගැමියන්ට මේ ප්‍රශ්ණය පිළිබඳව බටහිර විද්‍යාවට නැති අවබෝධයක් තියෙනවා. පිරිසිදු ජලය ලබා ගන්න විදිහ, රසායනික පොහොර නැතිව ගොවිතැන කරන විදි විතරක් නෙවෙයි වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කරන විදිගැන පවා මේ අයට දැනුමක් තියෙනවා. කල් නොයවා මේ දැනුම සංවිධානාත්මකව ක්‍රියාවට නැංවීම සඳහා රජයේ අනුග්‍රහය ලැබිය යුතුයි. බටහිර විද්‍යාව තවමත් මේ ගැන සිතමින් ඉන්න අතරේ මේ දේශීය දැනුම ක්‍රියාවට නො
න්වා යටපත් කිරීමට තරම් සාධාරන හේතු තියෙනවාද? ඇත්නම් ඒ හේතු විද්‍යාත්මකද? විද්‍යාවේ නැති ඔබ්ජෙක්ටිව් බවක් නම් කියන්න එන්න එපා.

1 comment:

  1. මම මේ බ්ලොග් එක ගැන දැන ගත්තෙ ලගදි.ඒක නිසා මෙම ලිපි කියෙව්වෙ ඒව පල කර කලක් ගත වු පසුවය.
    විද්‍යාවේ ඊනියා වාස්තවිකත්වය ගැන ඉතා උග්‍ර භක්තියෙන් ඉන්නෙ ජීව විද්‍යාව,වෛද්‍ය විද්‍යාව වගෙ මිනිස්සුන්ට සමීප වඩා වියුක්ත නැති,සංයුක්ත දැනුම් හදාරපු උදවිය.කාලෝ ෆොන්සේකා මහතාත්,මේ දවස් වල නලින් මහතා සමගින් වාද කරන අශෝක අමරතුංග මහතාත් ඊට හොඳම උදාහරණ.
    ශෛල්‍ය වෛද්‍යවරයෙක් වන අමරතුංගයන් හට විද්‍යාව වාස්තවිකද යනුවෙන් ගැටලුවක් තිබීමත් ගැටලුවක්!!!මුඛ පිලිකාව්ක් ඉවත් කිරීමට කරන ශෛල්‍යකර්මයකදි බටහිර පරික්ෂණ අනුව තහවුරු වු සම්මත මත පිහිටා (උදා;අධෝහණුවට පැතිරුණු ශල්කමය සෛල පිලිකාවක්[squamous cell carcinoma]ඉවත් කිරීමදි කොතරම් අස්ති ප්‍රමාණයක් ඉවත් කර යුතුද යන්න ආදිය) රෝගීන්ට ප්‍රතිකාර කර අප්‍රමාණ අත්දැකීම් ඇති අමරතුංගයන්ට එසේ ගැටලුවක් ඇතිවීම එක් අතකින් පුදුමයක් නොවෙයි.එසේ තම ප්‍රතිකාර නිසා සුවය ලැබු රෝගීන් දැකීමෙන් බටහිර විද්‍යාව ගැන "ආකාරවතී ශ්‍රද්ධාවක්" ඔවුන් තුල ජනිත වීම නොවැළැක්විය හැකිය."කෙසේ හෝ විද්‍යාව වාස්තවිකයැයි පෙන්වමි" යැයි කරුනු ඉදිරිපත් කීරීම මෙවැනී සංවේදී කරුණු නිසා වන ආත්මීය අසරණකමක් ලෙස වටහා ගෙන අපගේ දයානුකම්පාව ඔවුන්ට හිමිවිය යුතුය.
    මෙහිදී මතු කර යුතු අනෙක් කරුණ නම් නලින් මහතාගේන් ඇරඹී මෙම විද්‍යාවේ දර්ශනය පිලිබද කතිකාව ජෛවීය විද්‍යා ක්ෂේත්‍රයන් දෙසට ප්‍රමාණවත් ලෙස යොමු නොවුණු බවයි.අමරතුංගයන් ගුරුත්වාකර්ෂණය හා සාපේක්ෂතාවාදය ගැන විහිලු විදුසරට සපයන්නේ එබැවිනි.

    ReplyDelete