Thursday, December 5, 2013

කරත්තය අස්සයාගෙන් ගිලිහීම

ප්‍රාථමික අධ්‍යාපනයක මූලික අරමුණ දරුවන් යම් සංස්කෘතියකට අවශෝෂණය කර එහි හැසිරීමට පුහුණුවක් ලබා දීමයි. සුද්දෝ තම යටත්විජිතවල කලේ ඒකනෙ.  ප්‍රාථමික අධ්‍යාපනයකට වඩා ඉහල අධ්‍යාපනයක් පරමාදර්ශීය ලෙස වැදගත් වන්නේ දැනුම සොයන නිර්මාණය කරන පිරිසකගේ අවශ්‍යතාවය සඳහායි. ඔවුන් තම දැනුම ඔස්සේ ඒ සංස්කෘතික සමාජයට මඟ පෙන්වනවා. පරමාදර්ශීය වශයෙන් ගත්කල ඔවුන් ඒ හරහා සමාජයේ පිදීමට ලක්වීම අතුරු ඵලයක් යැයි සැලකිය හැකියි. නමුත් අද වැඩිපුර බටහිර උසස් අධ්‍යාපනය පාවිච්චි වෙන්නේ බටහිර සමාජ ක්‍රමය තුල ඉහල යාම සඳහා පමණයි. බටහිර දැනුම සමාජයේ ඉහලට යෑමට පමණක් සුදුසුවීමෙන් පෙන්නුම් කරන්නේ බටහිර දැනුම ලබා ඇති පරාජයයි. සියවස් ගනණක් තිස්සේ බටහිර දැනුම නමැති අස්වයා බටහිර සමාජ ක්‍රමය නමැති කරත්තය කන්දක ඇද ගෙන මුදුනටම ඇවිත් දැන් පල්ලමට දුවමින් ඉන්නවා ඊලඟට කරත්තය අස්වයාගෙන් ගිලිහී අස්වයාත් පසුකරගෙන පහලට පෙරලෙනවා.

අද ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලවලත් ශාස්ත්‍රීය විශයන්වලට ඇත්තේ පෙර නොවූ තරම් අඩු ඉල්ලුමකි. ඒ වෙන කිසි හේතුවක් නිසා නොවේ ඒ උපාධි ලබා රැකියා ලබාගත නොහැකි නිසයි. ඉන් පිලිබිඹු වෙන්නේ බටහිර දැනුම විකාශණය වෙන ආකාරයත් බටහිර සමාජ ක්‍රමය (විශේෂයෙන්ම එහි ආර්ථිකය) විකාශණය වෙන ආකාරයත් අතර ඇති නොගැලපීම. කරත්තය අස්සයාගෙන් ගිලිහීම.


ලංකාවේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල උපාධියට තැනක් නැහැ වගේ පෙනෙන්නේ එහි උපාධි ලාභීන් අති බහුතරයක් විද්‍යා හා කලා විශයන් හදාරන නිසයි. ඇමෙරිකාවේ වගේම බටහිර සමාජ ක්‍රමයට බඩගාමින් යන අපේ රටේත් කලා උපාධි දාරීන්ටත් රස්සා නැහැ. මේක අපේ විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන්ගේ වත් එහි පරිපාලනයේවත් නොහැකියාවක් නොවේ. බටහිර දැනුමත් සමාජ ක්‍රමයත් අතර නොගැලපීම බටහිරුන්ට විසඳාගත නොහැකිනම් අපට ඒක කොහොමවත් විසඳන්ට බැහැ.  අවශ්‍යනම් අපට සියලු සිසුන්ට කලමණාකරණය, පරිගණක තාක්‍ෂණය වගේ ඉල්ලුමක් ඇති විශයන් විශ්ව විද්‍යාලවල උගන්වන්න පුලුවන්. සමහර ජාතිකවාදීන් ඉල්ලා සිටින්නේ මෙය විය හැකියි. නමුත් ඉන් ප්‍රශ්ණය විසඳෙන්නේ නැහැ. සිදුවෙන්නේ ප්‍රශ්ණය විශ්ව විද්‍යලයෙන් පිටත සමාජයට තල්ලු කිරීමක් විතරයි. බටහිර සමාජ ක්‍රමය දිගින් දිගටම පවත්වගත නොහැකිබව අපට කෙසේ වෙතත් බටහිරට අවබෝධ වෙනතුරු මේ ප්‍රශ්ණයට විසඳුමක් ලැබෙයි කියා සිතන්න අමාරුයි.


අපි කල යුත්තේ බටහිර උසස් අධ්‍යාපනයට යන ගමන යන්නට ඉඩ දී ප්‍රාථමික අධ්‍යාපනයට (පාසල් අධ්‍යාපනය) කෙසේ හෝ දේශීය බවක් අත් කරදීමයි. මුලින් කීවා මෙන් එහි මූලික අරමුණ විය යුත්තේ දරුවන්ට දේශීය සංස්කෘතික පුහුණවක් ලබාදී ඔවුන් එහි බැඳ තැබීමයි. පාසල් අධ්‍යාපනයට දේශීය බවක් ලබාදෙන්න නම් එහි ඉගැන්විය යුත්තේ කුමක්දැයි අපිට සිතා ගත හැකියි. මින් කියවෙන්නේ දේශීය උසස් අධ්‍යාපනයක් තිබිය යුතු නොවේ කියා නොවේ. නමුත් හරි හමන් උසස් අධ්‍යාපනයක් (විශ්ව විද්‍යාල මට්ටමේ) බිහි වෙන්නේ ශිෂ්‍යයන් නිසාවත් ඒ සඳහා ආයතනයක් ඇති නිසාවත් නෙවෙයි. ගුරුවරු නිසයි. ඒ සඳහා නව දේශීය දැනුම් නිර්මාණය කල හැකි ප්‍රාඥයින් අවශ්‍යයයි. මුනිදාස කුමාරතුංග හා නලින් ද සිල්වා මෑතකදී බිහිවුන ඊට සුදුසු පුද්ගලයින් දෙන්නෙක්. අද 86 වියට පා තබන අමරදේවයන්ද මුලදීම දේශීය සංගීත දැනුමක් නිර්මාණය කර ගන්ට යොමු කල හැකිවූයේ නම් ඔහු වටාද දේශීය උසස් අධ්‍යාපන ආයතනයක් බිහි කර ගන්නට හැකිවෙන්ට තිබුනා. නමුත් ඔහු භාරතීය සංගීතවේදයක් තෝරා ගත් නිසා අද ඔහු නැතුවද මෙරට උසස් අධ්‍යාපන ආයතනවල
සංගීතය ඉගැන්වීමට හැකිවී තිබෙනවා. අපිට තිබුනේ මොවුන් වටා දේශීය උසස් අධ්‍යාපන ආයතන ඇති කරගන්න. ඒක විශ්ව විද්‍යාලයක්ද විශ්ව විද්‍යාලයක එක් අශයක්ද නැත්නම් පිරිවෙනක් එහෙමත් නැත්නම් යම් රජයේ ආයතනයක්ද කියන එක නෙවෙයි වැදගත්. මින් එක් අයෙක් තවමත් ජීවතුන් අතර සිටින නිසා තවමත් අපි ප්‍රමාද නැහැ. මේ ආකාරයට තනා ගන්නා දේශීය උසස් අධ්‍යාපන ආයතන හරහා අනාගතයේ මෙවැනි උගතුන් සැලකිය යුතු පිරිසක් බිහිකර ගන්නට බලාපොරොත්තු විය හැකියි.

කෙසේ වෙතත් බටහිර උසස් අධ්‍යාපනය ඉතා වේදනාකාරී ලෙස පසුබෑමකට ලක්වෙන එක වලක්වන්න බැහැ. අපිට බැහැ. 

3 comments:

  1. නලීන්ද සිල්වා එක්කර ගත්තම නියමෙට තියෙයි. ඊට වඩා හොඳ නැතිද, සුවාසිලන්තේ රජ්ජුරුවෝ. කාළකන්නි දේශීය ක්‍රම නෙමෙයි, සුද්දගෙ ක්‍රමෙත් නෙමෙයි, අපි හොයලා බලන්න ඕන, ජපනා, චීනා මක්කද උගන්වන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. හොයන්න දෙක් නෑ සුද්දගෙ දේම ඊටත් වඩා බාල විදිහට තමයි කවුරුත් උගන්නන්නේ

      Delete
    2. ජපානය ආර්ථික වශයෙන් කොච්චර දියුනු වුනත් වැඩවසම් යුගයේ රටක්
      ජපනාගේ ක්‍රමයට වඩා සුද්දගෙ ක්‍රමය හොඳයි

      Delete