Monday, December 30, 2013

මුස්ලිම් ප්‍රශ්ණයට දේශපාලනික පිළිතුරක් අවශ්‍යයි

දෙමළ ප්‍රශ්ණය මූලික වශයෙන් බෙදුම් වාදය හරහා කෙරුන දේශපාලන ආක්‍රමණයක්. ඒ නිසා එය අවබෝධ කරගැනීමට අපහසු වුනේ නැහැ. නමුත් මුස්ලිම් ප්‍රශ්ණය මූලික වශයෙන් සංස්කෘතික හා සමාජීය ආක්‍රමණයක් (හලාල්, ඉඩම් අත් කර ගැනීම, සංවිධාණාත්මක ජනගහණ ව්‍යාප්තිය ආදී වශයෙන්). නමුත් බොහෝ දෙනා තේරුම් නොගත්තත් මුස්ලිම් ප්‍රශ්ණයේත් අභ්‍යන්තර හා බාහිර බල හරහා රාජ්‍ය අස්ථාවර කරමින් රටේ ෙසේවරීය භාවයට හානිකරන දේශපාලනයක් තියෙනවා.

දේශපාලණ ආක්‍රමණ හරහා රටක සංස්කෘතික සමාජීය හා ආර්ථික වෙනස්කම් කරන්න බලයක් ලැබෙනවා. ඒ නිසා දේශපාලණ ආක්‍රමණ අන් කවර ආක්‍රමණයටත් වඩා බරපතලයි. ඒ නිසා දේශපාලන විසඳුම් තමයි රටේ ප්‍රශ්ණවලට දිය හැකි බරපතලම විසඳුම වෙන්නේ. නැත්නම් අන්තිම තුරුම්පුව වෙන්නේ. දේශපාලනිකව දෙන විසඳුම් තුලින් සංස්කෘතික හා සමාජීය ආක්‍රමණ වලටත් යම් තරමකට පිලිතුරක් ලැබෙනවා. ඒ නිසා මම හිතන්නේ මුස්ලිම් ප්‍රශ්ණය විසඳන සුදුසුම විදිහ ඊට දේශපාලන විසඳුමක් දීමයි. ඒ දේශපාලන විසඳුම තමයි මුස්ලිම් ජනයා ජාතියට එකතු කරගෙන ඒකීය රාජ්‍යය ගොඩනැඟීම. දැන් බොහෝ දෙනා කියාවි මුස්ලිම් මිනිස්සු තමන්ගේ ආගමට ඇති ලැදියාව අත්හැරලා ජාතිකත්වයක් ඇති කරගන්නේ නැත කියලා (උදාඃ පකිස්ථානය දිනනවිට රතිඤ්ඤා පත්තු කිරීම). නමුත් මුස්ලිම්වරුන් ජාතියට එකතුවිය යුත්තේ මුස්ලිම් බව අත හරමින් නොවේ.

සුලු ජාතීන් සිංහල ජාතියට එකතු කරගැනීම සඳහා වූ රාජ්‍ය අනුග්‍රහය ලැබුනු  දේශපාලන ව්‍යාපාරයක් ඉංග්‍රීසින්ගෙන් ඊනියා නිදහස ලැබුණදා ඉඳලා මෙරට තිබිලා නැහැ. ඒ සඳහා උත්සාහයක් වත් ඒ ගැන කතිකාවක්වත් තිබිලා නැහැ. ඒ නිසා එය කල නොහැකියි කියන්නට සාධාරන හේතුවක් නැහැ. අල්ලපු රටවල් මුස්ලිම් රටවල් වෙද්දී 14% පමණවූ ඉන්දියාවේ මුස්ලිම් වරුන්ව යම් ජාතිකත්වයක තබාගැනීමට එහි හිංදුතාව සමත්වෙලා තිබීම නොසලකා හැරිය නොහැකියි. සුලු ජාතීන් ජාතියට එකතු කිරීම සඳහාවූ ජාතික දේශපාලන ව්‍යාපාරයකට සිංහලුන් විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් අත ගැසිය යුතුයි. නමුත් මෙවැනි දේශපාලණ ව්‍යාපාරයක ප්‍රතිඵල ලබන්න අවුරුදු විස්සක් තිහක් යයි. ඒ අතරතුර අපිට කරන්න තියෙන්නෙ රටේ නීතිය ක්‍රියාත්මක කරන එක. ඊයේ පෙරේදා මුස්ලිම් පල්ලි වලට ගහපු අනිත් මුස්ලිම් කල්ලි වහාම නීතියට හසු කල යුතුයි. පාරම්පරික මුස්ලිම් පල්ලිවල අනන්‍යතාව රකින්න සිංහල බෞද්ධ සංවිධාන පෙනී සිටීම දේශපාලනික අයෝජනයක් නොවෙයිද?

මේ හැර මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණවලට දිය හැකි විශේෂ විසඳුමක් තියෙනවාද? උදාහරණයක් වශයෙන් මුස්ලිම් මිනිස්සු ළමයි වැඩියෙන් හදන එකට සිංහලුන් කල යුතු දෙයක් තියෙනවද?

ඒ වගේම වැදගත් මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට වෙන හානියත් බටහිර සංස්කෘතියෙන් ඊට වෙන හානියත් සංසන්ධනාත්මකව අවබෝධ කර ගැනීම. මොකද සිංහල බෞද්ධයින්ට නිදහසක් ලැබෙන්නේ මේ දෙකෙන්ම මුලු මනින්ම නිදහස් වුනොත් පමණයි. හලාල් නම් නොකා ඉන්න පුලුවන් (තවමත්) නමුත් අපිට මේ කරන බටහිර රස්සාවලින් ගැලවෙන්න පුලුවන්ද? බටහිර අධ්‍යාපනය එපා කියලා විභාග වලට මුහුණ නොදී සිටිය හැකි ජගතෙක් ඉන්නවද? අඩු තරමින් කරන රස්සාව හෝ ලබන බටහිර අධ්‍යාපනය ඒ ඒ තැන්වල විවේචනය කරන්න තරම්වත් කෙනෙකුට ශක්තියක් තියෙනවද? මට නම් නැහැ. මුස්ලිම් ආක්‍රමණ ගැන කෙඳිරිගාන අපි කරවටක් බටහිර සංස්කෘතියේ ගිලිලා නේද ඉන්නෙ? අද මුස්ලිම් වරුන්ට ගහන්න ඉදිරිපත්වෙන සමහර සයිබර් වීරයන්ටත් පෞර්ෂයක්  එන්නේ සුද්දත් මුස්ලිම් කාරයට ගහන නිසා නේද? අපි කරන්නේ බටහිර සංස්කෘතිය අනුකරණය කිරීම නිසා අපි ලත් වරප්‍රසාද ආරක්‍ෂා කරගනිමින් අපව අපහසුතාවයට පත් කරන සමාජීය ප්‍රශ්ණ ගැන කෙඳිරී ගෑමයි. අපි හලාල් කන්න ඕනෙ නෑ නමුත් අපි එරිලා ඉන්න සමස්ථ මඩ ගොහොරුව ගැන හරි අවබෝධයක් ලබා ගනිමු. නැත්නම් මේ වලෙන් ගොඩ එන්න ගන්නා ක්‍රියාමාර්ගයම අපි ඒ වල තුලට තව තවත් හිර කරාවි.

Friday, December 27, 2013

බලු වෙන සමාජය

ඇමෙරිකාවට පැමිණි මුල් දිනවලදී මා මවිතයට පත් කල කරුණු දෙකක් විය. එකක් එහි භූමියේ විශාලත්වයය. රටේ දිග පළල ගැන මා කලින් දැන සිටියත් ඇසින් නොදැක එවැනි විශාල භූමියක් ගැන හිතා ගැනීමට මට නොහැකිවිනි. දෙවෙනි කරුණ වූයේ ඇමෙරිකානුවන් කෙතරම් සමාජයෙන් චෙන්වී සිටීද යන්නය. රටේ විවිධ ප්‍රදේශවල ජීවත්වීමට ලැබීමත් සමඟ කාලයාගේ ඇවෑමෙන් භූමියේ විශාලත්වය මා තව දුරටත් මවිත නොකරන සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති මුත් දෙවෙනි කරුණ පිලිබඳ මම අදටත් විටින් විට මවිත වෙමි. මේ සමාජය අත්නොදැක සිටියානම් වෙන්වී ජීවත්වීමේ ස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගැනීමට මට නොහැකිවනු ඇත. පැහැදිලිවම බටහිර සමාජයේ පුද්ගලයා වෙන් කෙරීම පිලිබඳව මා අනුමාන කලදෙයයි මා එය අත්දකින අයුරයි අතර වෙනසක් ඇත. මා මවිත කරවන්නේ ඒ වෙනසයි.

සමාජයෙන් වෙන්වීම යනු හුදෙකලාවීමම නොවේ.  එකමුතු බවක් නැතිවීමද නොචේ. එය ආත්මාර්ථකාමයද නොවේ. ආත්මාභිමානයද නොවේ. මේ එකකුදු නොවුනද වෙන්වීම තුල මේ දෑ නැතුවාද නොවේ. වෙන්වීම තුල සමාජය හා පුද්ගලයා අතර සම්බන්ධයට වඩා යමක් ඇතැයි මම සිතමි.

ලංකාවේ කුඩා දරුවෙකුට තමා ගැන විස්තරයක් කීමට කිවහොත් පැකිලෙමන් බොහෝවිට තමන්ගේ දෙමව්පියන් යහළුවන් තමන් ජීවත්වෙන ගම ආදිය ගැන කථාවක කියනු ඇති නමුත් ඇමෙරිකාවේ දරුවකු කිසිදු පැකිලීමකින් තොරව කරන තමාගැන විස්තරයේ වැඩි අවධානයක් දෙනු ඇත්තේ තමන් කුමන ආකාරයේ පුද්ගයෙක්ද, තමන් කැමති අකමැති දෑ මොනවාද යන්නටය. මේ වෙනස තුල මම බටහිර සමාජයේ පුද්ගලයා වෙන් කෙරීම දකිමි.

ලංකාවේ ක්‍රීඩාගාරයක ක්‍රිකට් තරඟයක් නැරඹන රසිකයෝ ක්‍රීඩා තරඟය රස විඳින අතරම නටමින් ගයමින් ඔවුනොවුන්ගේ සංගමයද විඳිති. නමුත් ලංකාවට සාපේක්‍ෂව ඇමෙරිකාවේ එවැනි අවස්ථාවක සාමාන්‍යයෙන් සිදුවන්නේ ඒ ඒ පුද්ගලයා තරඟය නරඹමින් පුද්ගලික වින්දනයක් ලැබීමය. පිරිසක් සමඟ සිටියත් එහි ඇත්තේ පුද්ගලික අත්දැකීමකි. ඇමෙරිකාවේ වැඩිහිටියන් එකතුවෙන තැන පමණක් නොවේ කුඩා දරුවන්ගේ උපන්දින සාදවල පවා වැඩිමනත් සිදුවන්නේ ඒ ඒ දරුවා තම තමන්ගේ පුද්ගලික වින්දනයක් ලැබීමය. මේ වෙනස තුල මම බටහිර සමාජයේ පුද්ගලයා වෙන් කෙරීම දකිමි. මා සිතන අන්දමට අද අප රටේ ජීවත්වෙන ඉහලම ඝනයේ ලිබරල්වාදීන්ටවත් ඇමෙරිකානුවන් තරම් වෙන්වී පවතින්නට හැකියාවක් නැත. ඒ වෙන කිසි හේතුවක් නිසා නොවේ ඔවුන් වෙලා සිටින සිංහල බෞද්ධ සංස්කෘතිය ඔවුන්ට වෙන් වෙන්නට ඉඩ නොදෙන නිසයි.

කෙසේ වෙතත් පුද්ගලයා සමාජයෙන් වෙන්වීම බටහිර සංස්කෘතිය තුල පැවැත්ම පිළිබඳ දරන ආකල්ප වල ප්‍රතිඵලයක් යැයි මම සිතමි. සාමාන්‍යයෙන් බටහිර සංස්කෘතියේ “මම” පවතින්නේ සෙසු ලෝකයෙන් ස්වායත්තවය. බටහිර නොවන සමාජතුල “මම” පවතින්නේ මම නොවන අන් සියලු දෑ සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇතිවය.

ටැන්සානියාවේ හස්ඩා ගෝත්‍රිකයින් ඔවුන් සතු දෑ අන් සතු කිරීමට ඇති කැමත්ත අකමැත්ත විමසීම සඳහා මෑතකදී ඇමරිකානු සමාජ විද්‍යාඥයින් පිරිසක් විසින් පර්යේෂණයක් සිදුකෙරිනි. එහි නිරීක්‍ෂණය වූයේ ධනවාදී ආර්ථිකය සමඟ යම් තරමක් ගනුදෙනු පැවැත්වූ හස්ඩා වරුන් තමන්සතු දේ පිළිබඳ දැඩි ඇල්මක් දැක්වූමුත් දඩයමින් දිවි ගෙවූ සෙසු හස්ඩාවරුන් එසේ නොවුනු බවය. ඔවුන් තමන් සතුදේ අන්සතු කිරීමට බෙදා ගැනීමට හෝ හුවමාරු කර ගැනීමට අර තරම් අකමැත්තක් නොදැක්වූහ. දැන් මේ කථාව ඊනියා පර්යේෂණයක් නොකර වුවද මේ ලිපිය කියවන ඔබට අනුමාන කර ගැනීමට හැකිවේයැයි මම සිතමි. කෙසේ වෙතත් බලාපොරොත්තු විය හැකි පරිදි ඇමරිකානු සමාජ විද්‍යාඥයින් නිගමණය කලේ දඩයමින් දිවි ගෙවූ හස්ඩා වරුන්ට ස්වභාවයෙන්ම සම්පත් හිඟ බැවින් බෙදා හදාගෙන ජීවත්වන්ට සමාජයෙන් ඔවුන් පොලඹවන බවත් එසේ නැති විට ඔවුන්ට සමාජයෙන්ම දඬුවම් ලැබිය හැකි බවත් ඒ නිසා ඔවුන් තමන් සතු දේ පිළිබඳ ලිහිල් ආකල්ප දරනවා විය හැකි බවත්ය. ඔවුන්ගේ ඊනියා පර්යේෂණයෙන් මේ බව “ඔප්පු” නොවේ. මෙය හුදු උපකල්පණයක් පමණි. කෙසේ වෙතත් ඒ උපකල්පණය මම පිලි නොගනිමි. මගේ උපකල්පණය නම් මේ මිනිසුන් තමන් සතු දේට එතරම් බැඳීමක් නොදක්වන්නේ ඔවුන් සෙසු ලෝකයත් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධවී පවතින නිසාය. ඇමෙරිකානුවන්ගේ පැවැත්ම එසේ නොවේ. ඔවුන්ගේ පැවැත්ම සෙසු ලෝකයෙන් ස්වායත්තය. සමාජයෙන් වෙන්වීමට භෞතික දේට ඇලීමට ඇමෙරිකානුවන් හුරු වන්නේ ඒ පැවැත්ම නිසාය.

ලෝකයත් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් පවතින්නට යම් ආකාරයක දියුනු මනසක් තිබිය යුතුයැයි මම සිතමි. ඒ අනුව දඩයමින් දිවි ගෙවන හස්ඩාවරුන්ට අනිත් හස්ඩාවරුන්ට වඩා යම් ආකාරයක දියුනු මනසක් ඇතැයි කිව හැකිය. හෙළයින්ටද ඒ දියුනු මනස තිබෙන්නට ඇති. අද වන විට සිංහලුන්ගේ ඒ මනස පිරිහී ඇති මුත් අපි තවමත් බටහිරුන් තරමට පහලට වැටී නැත.

වෘකයින්ට ඉතා සංකීර්ණ සමාජ රටාවක් ඇතැයි කියැවේ. උන් ජීවත් වන්නේ කන්ඩායමක් වශයෙනි. දඩයම් කිරීම, පැටවුන් බලා කියා ගැනීම, සතුරු උවදුරුවලට මුහුණ දීම, තම වැයික්කිය ආරක්‍ෂා කර ගැනීම වැනි සංකීර්ණ ක්‍රියා උන් කණ්ඩායමක් වශයෙන් ඉටු කර ගනිති. නමුත් වෘකයින්ගෙන් පැවත ඒ යැයි සැලකෙන දඩාවතේ යන බල්ලන් ගැවසෙන්නේ තනියෙනි. ඔවුන් එකතු වුනත් එසේ වෙන්නේ බොහෝවිට බැල්ලියක් පසුපස යාම සඳහා පමණි.  සංකීර්ණ සමාජයක් පවත්වාගෙන යාමට වෘකයින්ට තිබූ යම් දියුණු මනසක් බල්ලන්ගෙන් ගිලිහී ඇතැයි කිව හැකිද? ලෝකය සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධ කමක් පවත්වාගෙන යාමට අපට පෙර තිබූ යම් හැකියාවක් අපෙන් ගිලිහී ඇත්තේ මේ ආකාරයටම නොවේද? ජංගම දුරකථනවලට අන්තර් ජාලයට මිනිස් සම්බන්ධතා සුලු කර දමමින් අපි තවත් බලු වෙමින් සිටින්නෙමුද?

Friday, December 20, 2013

දෙමළ රාවණ

රටක ඉතිහාසය ඉතිහාසය සඳහා නොවේ. ඉතිහාසය ඊනියා උගත් විශේෂඥයින්ගේ බූදලයක්ද නොවේ. පැහැදිලිවම එහි දේශපාලණයක් ඇත. ඒ නිසා රටේ ඉතිහාසය ගැන විවාද ඇතිවීමට පාර්ලිමේන්තුව සුදුසු තැනකි. රටක ඉතිහාසය යනු වැඩිහිටියන් විසින් තම දරු මුණුබුරන්ට ඔවුන්ගේ අනාගතය හැඩ ගැස්සවීමේ අරමුණින් ඔවුන්ගේ මුතුන් මිත්තන් ගැන කියා දෙන කථාන්දරයයි. මේ කථාවලින් සිදුවිය යුත්තේ අතීතය ගැන දකිමින් අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඇති කරවීමය. නමුත් අපි කුඩා කල මහෞෂධ පඬිතුමා වෙනුවට ඉගෙන ගත්තේ මෝඩයෙකු සහ විහිලු ගෝල පිරිසක් ගැනය. එය ඉබේට සිදුවූවක් නොව සුද්දන් බටහිර අධ්‍යාපනය ඔස්සේ අපට කල විහිලුවකි. එය නිවැරදි කරන්නට නම් අපි සුද්දාගෙන් ගැලවී, එනම් බටහිර තක්සේරුවට යට නොවී, අපේ ඉතිහාස කථා ගොඩනඟා ගත යුතුය. අපි ඒ කථාවට මහාවංශය අවශෝෂණය කර ගතු යුතුය. මහාවංශය අපේ නොවේ නම් වෙන කවුරුන්ගේද? නමුත් අද අපි ගොතන වංශ කථාවෙන් මහාවංශය නොකියන නමුත් අද ඇසෙන ප්‍රශ්ණ වලට සංගත පිළිතුරක් සැපයිය යුතුය.

විජයගේ සත්‍ය කථාව කුමක්ද? ඔහු සහ ඔහුගේ පිරිස මෙරටට පැමිණීමට පෙර මෙහි සිටි වැසියන්ගේ කථාව කුමක්ද? ගෞතම බුදුන් වහන්සේගේ කථාව කුමක්ද? ගෞතම බුදුන් හා මෙරට වැසියන් අතර සම්බන්ධය කුමක් විනිද? උන්වහන්සේ මහියංගනයට වැඩම කලේ යකුන් එලවන්ටද? මනු මහසෙන් රාවණ වැනි මහාවංශයට පෙර විසූ රජවරුන්ගේ කථා මොනවාද? ඉංදියාවේ සිටියැයි සැලකෙන අසෝක රජු කවුරුද? මෙරට බුදු දහම මුල් බැස ගත්තේ මන්ද? එය මහායානයක් නොවී ථෙරවාදයක් වුනේ මන්ද? මහාවිහාරයේ හෙළ අටුවා ගිනි තැබුනේ මන්ද? එයට ඉඩ ලැබුනේ ඇයි? එළාර කව්ද? සීගිරිය කාගේද? හෙළ සංගීතය නර්තනය කෙබඳුවීද? හෙළ ගොවිතැනට වෙදකමට හා වාරි කර්මාන්තයට පදනම් වුනු දැනුම් නිර්මාණය වුනේ කෙසේද? අනුරාධපුර යුගයෙන් පසු සිංහලුන් පරිහාණියට පත්වූයේ ඇයි? මේ යම් යම් ප්‍රශ්ණවලට දැනටමත් පිළිතුරු නැතුවා නොවේ නමුත් අපි මේ සියලු ප්‍රශ්ණ නිරවුල් කරගත හැකි යම් පොදු කථාවක් එනම් හෙළ වංශකථාවක් ගොතා ගත යුතුවෙමු. එහිදී වැදගත් වනුයේ ඒ ඒ ප්‍රශ්ණ වලට දෙන පිළිතුරු අතර සංගත බවක් තිබිය යුතුවීමය.

එවැනි සම්මතයෙන් පිළිගැනුනු වංශකථාවක් අපට තිබිනි නම් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී දෙමළ සංධානයේ මන්ත්‍රීවරුන් විසින් විවාදයට ලක් කලාක් මෙන් රාවණ රජු දෙමළද නැත්නම් සිංහලදැයි ආරවුලක් ඇති නොවෙන්නට ඉඩ තිබිනි. කෙසේ වෙතත් දෙමළ දේශපාලඥයින් දකුණු ඉංදියාවේ විසු කිසියම් රජ කෙනෙකු නොව සිංහලුන් උරුමකම් කියන මෙරට විසූ රජ කෙනෙකු තමන්ගේ යැයි කීම සතුටට කරුණකි. මන්ද අපි බලාපොරොත්තුවෙන ආකාරයට එක්වුනු ජාතියක තිබිය හැක්කේ එක් සම්මත ඉතිහාස කථාවක් පමණක් බැවිනි. එහිදී දෙමළ ජනයාගේ මුතුන් මිත්නන් සිංහලුන්ගේද මුතුන් මිත්තන් විය යුතුය. ඒ නිසා දෙමළ නායකයින් රාවණ රජුට හිමි කම් කීම හොඳ මුල් පියවරක් යැයි මම සිතමි.

කෙසේ වෙතත් අද සිටින දෙමළ නායකයින්ගේ අරමුණ එක්වීම නොව නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවලට තනි අයිතිය කීමය. ඔවුන්ට රාවණ රජු දෙමළ කර ගැනීමට අවශ්‍ය ඒ නිසා බව පැහැදිලිය. නමුත් දෙමළ නායකයින් රාවණ රජුට ආධ්‍යාත්මිකව බැඳ තබා ඔවුන්ගේ නිජ බිම් දේශපාලනය පරාජය කිරීමට උත්සාහ කිරීම රාවණ රජුට ඔවුන්ගේ ඇති බැඳීම කඩා ඒ තුලින්  නිජ බිම් දේශපාලනය පරාජය කිරීමට උත්සාහ කිරීමට වඩා සුදුසුයැයි මම සිතමි. එවැනි දේශපාලන ඉන්ජිනේරු ව්‍යාපෘතියක් එක ජාතියක්, එක රටක්, ප්‍රභල ඒකීය රාජ්‍යයක් ගොඩනැඟීමට උදව්වනු ඇත.

රාවණ රජුගේ ජාතිය පිළිබඳ අසන ප්‍රශ්ණයේදී අපට වැදගත් වන්නේ ලංදේසීන් විසින් මෙරටට ගෙන්වාගත් ගොවි කම්කරුවන්ට රාවණ රජුගේ පරපුරට ලේ නෑකමක් ඇත්ද යන්න නොවේ. නැත්නම් එවකට උතුරේ සිටි පසුව දෙමළ ජාතියට අවශෝෂණය වූ සිංහල ජනයාට එවැනි ලේ නෑකමක් ඇත්ද යන්න නොවේ. එමෙන්ම අද වෙසෙන සිංහලයැයි කියා ගන්නා මිනිසුන්ට රාවණ රජුට ඇති ලේ නෑකමද නොවේ. ඉතිහාස කථාවක මුතුන්මිත්තන් හා වර්තමානයේ වෙසෙන්නන් අතර එවැනි ජෛවීය සම්බන්ධකමක් තිබීම වැදගත් නොවේ. අපට වැදගත් වන්නේ රාවණ රජුගේ කාලයේ සිට නොකැඩී ගලාගෙන ආ සංස්කෘතිය හඳුනාගැනීමය. ඒ සංස්කෘතික ලක්‍ෂණ අතර සිංහල මෙන්ම දෙමළ සංස්කෘතික ලක්‍ෂණද තිබෙන්නට බොහෝ ඉඩ කඩ ඇත. අප කල යුත්තේ හෙළ වංශයක් ගොඩනැඟීම තුලින් මේ ලක්‍ෂණ සහිත රාවණ රජු කෙනෙකු නිර්මාණය කර ගැනීමකි. ඒ තුලින් ඒකීය රටක් සඳහා පියවර තැබීමය. ඒ රාවණ රජු විසින් මෙරට දෙමළ ජනයා ඊළාම් දෙමළුන් නොව, ලාංකික දෙමළුත් නොව, දෙමළ ලාංකිකයින් බවට පත් කරනු ඇත. ඒ රාවණ රජුගේ බසින් බිඳ එන බසින් ජාතික ගීය ගයන්නට ලංකිකයින්ට ගැටළුවක් නොවනු ඇත. වාල්මිකීගේ රාවණ නොව අපේ රාවණ රජු කෙරෙහි දෙමළ නායකයින් ආධ්‍යාතමිකව බැඳ තබා ගැනීම ඒ සඳහා අත්‍යාවශ්‍යය.

Monday, December 16, 2013

Politics of war crime allegations




TNA’s inspired call to investigate so called crimes committed by the Sri Lankan armed forces in the last phase of the humanitarian operation seems like an afterthought. After all, these crimes, supposed to have taken place four years ago and the TNA, a party that should have had intimate knowledge of such crimes, kept quiet about it all this time. A month ago TNA did not have any qualms about taking oath before the chief perpetrator of these so called crimes.  So, one can only guess that the timing and the purpose of their agitations corresponds with the UN Human rights council meeting to be held in March next year, and is in support of a would be UN resolution against Sri Lanka sponsored by a “friendly” country. Of course TNA has everything to gain from such agitation. But the fact that this was not a major concern for the TNA for all these years concedes that the politics behind war crime allegations is not the politics that governs TNA, although they may be compatible. 

The politics that govern TNA is the same that governed all Tamil leaders from Chelvanayagam to Prbhakaran. Their goal is to carve out ethnic Tamils from the population and come to power on the strength of their isolation and keep it that way. This kind of politics is purely local and is affected by non-Tamil politics only when the pre-imposed isolation is threatened. So, alleged war crimes should not be one of their main concerns as long as the TNA is allowed to keep their slice of the cake. 

The politics of war crimes is not local. Its players are the western governments. Their ultimate goal is to keep the politics of both Sinhalas and Tamils as well as that of the Muslims permanently enslaved to the west. In order to achieve their end, Sinhalas, Tamils and Muslims in Sri Lanka must be kept as segregated as possible, as it has been done throughout the colonial period. Mahinda Rajapaksa looks like a leader who might keep the communal politics from falling apart and this is against their management plan. This is why the western governments want to dethrone the Rajapaksas, hence the war crime allegations. But war crime allegations are not just there to oust the Rajapaksas. It is also propaganda that can be dragged on for years, causing future generations of Tamils to believe that they have been wronged by the Sinhalas and making sure that Sinhalas and Tamils stay permanently segregated in this country. Despite calls for reconciliation by western governments, war crime allegations are specifically designed to achieve the opposite.

So, the reason that the TNA was slow to act on the war crime issue is only because they have not been told about the global management plan; for obvious reasons. That does not mean that the politics of war crimes are incompatible with that of the TNA. However, it is hard to imagine that ordinary Tamils envision their leaders being managed by foreign hands forever.

As far as Sinhalas are concerned their main goal should be to defeat the management plan of the western governments while dealing with the politics of the TNA. In this case, wining doesn’t mean just wining the vote on a UN resolution in Sri Lanka’s favor or protecting war heroes from being prosecuted for crimes they did not commit. In the long run, winning means safe guarding the sovereignty of the country from foreign interventions. If segregation is their modus operandi then the way to defeat it is to integrate.

As the guardians of the nation, Sinhala Buddhists must take the leadership in integrating the nation. In doing so, they must let go of communal politics though it may seem like letting the guard down. Throughout the independence struggle Sinhala Buddhists lost their lives, properties and their leaders like no other community in the country. Today they have lost their way of life. To add to injury they are being accused of dominating other communities. Sinhala Buddhists did not create segregation in Sri Lanka. Therefore it is ironic that they are being asked to lead the politics of integration. But they must; if they want to resurrect the Sinhala Buddhist way of life.

It is mothers who keep families together when all odds are against it. Perhaps it may be time to bring out the mother nature of the Sinhala Buddhist culture. Politics of national integration is the counter politics of war crime allegations.

Friday, December 13, 2013

(අපි නොදන්න) විද්‍යාව

බටහිර විද්‍යාවේ කිසිම දේශපාලනයක් ආගමක් රටක් ජාතියක් සංස්කෘතියක් හෝ කිසි පෞද්ගලිකත්වයක් ගෑවිලාවත් නැතැයි පැවසේ. බටහිර විද්‍යාවේ දැනුම වාස්තවිකයි (objective) කියන්නෙ ඒ හින්දයි. මේ ඊනියා වාස්තවික බව නිසා යම් ප්‍රපඤ්චයක් ගැන බටහිර විද්‍යාවේ කියැවෙන කථාව ලෝකයේ ඕනෑම කෙනෙකුට පිළිගන්ට හැකි ඒ පිළිබඳ තිබිය හැකි එකම කථාව බවට පත්වෙනවා. බටහිර විද්‍යාව හැමෝටම සාධාරණයැයි කියන නිසා බටහිර විද්‍යාවේ අනුගාමිකයින්ට ලැබෙන්නේ අසමසම නමුත් මගේ මතයට අනුව අයුතු දේශපාලන බලයක්.

නමුත් පෘතග්ජන මිනිස්සු ගොතන කිසිම කථාවක වාස්තවික බවක් තිබිය නොහැකියි. මම එහෙම හිතන්නේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි අනාත්මයි කියල විශ්වාස කරන බෞද්ධයෙකු හැටියට. බටහිර විද්‍යාවෙත් වාස්තවික බවක් නැහැ. ඒක තේරුම් ගන්න සරලම විදිහ තමයි නලින් ද සිල්වා මහතා පෙන්වාදී ඇති පරිදි ඇපල් ගෙඩි බිමට වැටීම ගැන නිව්ටන් සහ අයින්ස්ටයින් කියල තියන කතන්දර අතර අහසට පොලොව මෙන් ඇති වෙනස අවබෝධ කර ගන්න එක. කෙටියෙන් කියනවා නම් නිව්ටන් කිව්වේ ඇපල් ගෙඩිය මත පොලොවෙන් යම් ආකර්ශනීය බලයක් යෙදෙනවා කියලයි. අපි සාමාන්‍යයෙන් ඉස්කෝලෙ ඉගෙන ගන්නේ මේ කථාවයි. නමුත් අයින්සටයින්ගේ කථාව නිව්ටන්ගේ කථාවෙන් සම්පූර්ණයෙන්ම වෙනස්. ඔහුගේ කථාවෙ පොලොවෙන් ඇපල් ගෙඩිය මත යෙදෙන ආකර්ශනීය බලයක් නැහැ. එකම ප්‍රපඤ්චය බටහිර විද්‍යාව තුලම එකිනෙකට හාත්පසින් වෙනස් කථා දෙකකින් විස්තර කිරීමට හැකිවීම තුලින් පෙනෙන්නේ බටහිර විද්‍යාවේ වාස්ථවික බවක් නැති බව නේද?


භෞතික විද්‍යාව තරමක් හදාරන්නේ නැතිව මේක තේරුම් ගන්න අපහසු වෙන්න පුලුවන් නමුත් මේක වෙන විදිහකටත් තේරුම් ගන්න පුලුවන්. අයෙක් වරක් මගෙන් අහනවා බටහිර රටක, බටහිර විද්‍යා දැනුමෙන් නිර්මාණය කරන එම්.ආර්.අයි යන්ත්‍රයකින් අනුරාධපුරයේ ජීවත්වෙන මිනිසෙකුගේ මොළයේ පිංතූරයක් අරගෙන ඔහුගේ යම් රෝගාබාධයක් නිර්ණය කර ගැනීමට හැකිනම් ඉන් කියවෙන්නේ බටහිර විද්‍යාව වාස්ථවික බව නෙවෙයිද කියා. වෙනත් වචනයකින් කියනවා නම් ඔහු කියන්නේ එම්.ආර්.අයි යන්ත්‍රය ආධාරයෙන් මොළයේ ආබාධ ගැන ගොතන කථා අනුරාධපුරයේ ජීවත්වෙන මිනිසෙකු සම්බන්ධයෙනුත් හරියනවා. එහෙම හරියන්ඩ නම් ඊට අනුබද්ධ දැනුමේ කිසි සංස්කෘතියක්, රටක්, ජාතියක් පෞද්ගලිකත්වයක් ගෑවිලාවත් නැති විය යුතුයි කියලයි. 


දැන් මේ යන්ත්‍රය ආධාරයෙන් ගොතන කථාව "හරියනවා" කියල අපි දැන ගන්නෙ කොහොමද? ඔය යන්ත්‍රය ක්‍රියා කරවන්ට ඕනෑම අයෙකුට බැහැනෙ, ඒකට යම් පුහුණවක් ලබා තියෙන්න ඕනෙ. ඊලඟට ඒකෙන් ලැබෙන මොළේ පිංතූරය විවරණය කරන්නත් යම් පුහුණවක් ලබා තියෙන්න ඕනෙ. ඒ විවරණයත් රෝගියාගේ අනිකුත් ආබාධත් එකතු කරල රෝගය ගැන කථාවක් ගොතන්නත් යම් පුහුණවක් ඕනෙ. ඒ විදිහට බැලුවහම මේ කථාව ගොතන්න විවිධ විශේෂඥ දැනුම ඇති කිහිප දෙනෙකුගේ සහය අවශ්‍යය වෙනවා. සාමාන්‍ය මිනිස්සු බහුතරයකට මේ විශේෂඥ දැනුම නැහැනෙ. ඒ නිසා අපි බොහොමයකට මේ කථාවේ ඇත්ත නැත්ත හොයන්න විදිහක් නැහැ. අපි කරන්නේ අර විශේෂඥයින් කෙරෙහි ඇති භක්තිය නිසා ඔවුන් කියනදේ විශ්වාස කරන එක නේද? එහෙම නම් එම්.ආර්.අයි යන්ත්‍රය ආධාරයෙන් මොළයේ ආබාධය ගැන ගොතන කථාව ඕනෑම කෙනෙකුට පිලිගත හැකි යැයි කියන්නේ මොන පදනමකින්ද? බොහෝ අයට තියෙන්නෙ ඒ පිළිබඳව විශ්වාසයක් පමණයි. බටහිර විද්‍යාව සහ එහි අනුගාමිකයින් පිළිබඳව පොදුවේ විශ්වාසයක් අප තුල ඇති කරන්නේ බටහිර සංස්කෘතියෙන් ආධිපත්‍යයෙනුයි. දැන් රෝගය ගැන කථාව හරි කියල අපි පිලිගන්නේ බටහිර සංස්කෘතික බලපෑම නිසා නම් රෝගය ගැන කථාවේ බටහිර සංස්කෘතිය නැතැයි කියන්න පුලුවන්ද? එහි බටහිර සංස්කෘතිය ඇත්නම් ඒ කථාව වාස්තවිකද?


මෙතෙන වෙන්නෙ මේකයි. මුලින්ම බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන් අපිට ඒ කථා පිලිගන්වන්ට සලස්සවනවා. ඊ ලඟට අපි ඒවා පිලිගන්න එක පෙන්නලා කියනවා ආං ඒ හින්දා ඒ කථා වාස්තවිකයි කියලා. මුලාවක් නෙ.


මේ රෝගියාගේ අසනීපය ගැන දේශීය නාඩි වෙදෙකුටත් කථාවක් ගොතන්න පුලුවන්. ඒ කථාවයි එම්.ආර්.අයි යන්ත්‍රය ආධාරයෙන් කියන කථාවයි සසඳන්න අවශ්‍යනම් අපි කල යුත්තේ රෝගියාගේ රෝග ලක්‍ෂණ සමඟ වඩාත් සංගතවෙන කථාව මොකක්ද කියල හොයන එකයි. ඊට වඩා කරන්න දෙයක් නැහැ. ඒ සඳහා නාඩි විද්‍යාව මෙන්ම බටහිර විද්‍යාව ගැනත් විශේෂඥ දැනුමක් අවශ්‍ය වෙනවා. ඊටත් වඩා අපිට වැදගත් වෙන්නෙ නාඩි විද්‍යාවට අනුව දෙන ප්‍රතිකාරද නැත්නම් එම්.ආර්.අයි යන්ත්‍රයේ කථාවට අනුව දෙන ප්‍රතිකාරද වඩා සුවයක් අත් කරදෙන්නේ කියන එකයි. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවනම් ප්‍රතිකාර දෙකක් සංසන්ඳනය කරන්නෙ ශායනික පරීක්‍ෂණයක් (
e.g. double blinded clinical trial) කරලයි. එවැනි පරීක්‍ෂණයක් නොකර වඩා හොඳ ප්‍රතිකාර ක්‍රමය මොකක්ද කියල නිගමනය කරන එක සීරියස් බටහිර විද්‍යාඥයෙකුට නම් වටින්නේ නැහැ.

බටහිර විද්‍යාවේ ඊනියා වාස්තවික (objective) බවක් නැති බව හොඳින්ම පෙනෙන්නේ එහි ක්‍රියාත්මක වෙන දේශපාලණය තුලයි. බටහිර විද්‍යාඥයින් ඉතා ඉහලින් සලකන නේචර් නම් සඟරාවේ පරීක්‍ෂණ නිබන්ධනයක් පලකරවා ගන්න එක ලෙහෙසි නෑ. එසේ කරන ඕනෑම චීන විද්‍යාඥයෙකුට චීන විද්‍යා ඇකඩමිය මඟින් ඩොලර් දස දහස් ගණනක් තෑගි ලැබෙන බව කියා තිබුණා. චීන රජය මේක කරන්නේ ආර්ථික හා දේශපාලන අරමුණකින්ද නැත්නම් හුදෙක් ලෝකයා වෙත දැනුම ලබාදීමේ සත්භාවයෙන්ද? මේ පරිසරය තුල චීන විද්‍යාඥයෝ ප්‍රකාශයට පත් කරන විද්‍යා දැනුමේ වාස්තවික බව සහතික කල හැකිද? මේක චීන විද්‍යාඥයින්ට පමණක් නෙවෙයි ලොව පුරා ඉන්න දහස් ගණනක් බටහිර විද්‍යාඥයින්ට අදාලයි. වෛද්‍ය විද්‍යාව පිළිබඳව මෙවර නොබෙල් ත්‍යාගය හිමිකරගත් විදුවතුන් අතරින් එක් අයෙකුවූ රැන්ඩි ෂෙකමන් මහතා තමන් මින් පසු නේචර් සඟරාවට තමන්ගේ නිබන්ධන යොමු කරන්නේ නැතැයි පවසා තිබුණා. නේචර් සඟරාව මෙන්ම අනිකුත් එවැනි සඟරා කතෘවරු ලිපි තෝරාගැනීමේදී අනුගමනය කරන වෙළඳමය ප්‍රතිපත්ති විද්‍යාවේ ස්වාධීනත්වයට හානි කර යැයි ඔහු පවසයි. මෙය බටහිර රටවල පර්යේෂණ කටයුතුවල නියැලී සිටින අය අතර ප්‍රසිද්ධ රහසක්. මොනවා කලත් බටහිර විද්‍යා දැනුම නිර්මාණය කිරීමේදී හා එය ඒත්තු ගැන්වීමේදී ක්‍රියාත්මක වෙන දේශපාලණයෙන් බටහිර විද්‍යාව නිදහස් කර ගන්ට බැහැ. කොටින්ම මිනිස් මනසින් නිර්මාණය කරන කිසිම දැනුමක වාස්තවික බවක් තිබිය නොහැකියි.


අපිට බටහිර විද්‍යාවේ වාස්තවික බවක් නැහැ කියල පෙන්වල දෙන්න අවශ්‍ය ඇයි? බටහිර විද්‍යාව උගන්වන එක නවත්තන්න නෙවෙයි. වෙන දේශීය විද්‍යාවක් ඊට වඩා උඩින් තියන්න
ත් දේශීය දැනුමක් වාස්තවික කරන්නවත් නෙවෙයි. (ඉස්කෝලෙ යන ළමයි නොමඟ හරින්නත් නෙවෙයි. ඇත්තටම ථේරවාදී බෞද්ධ රටක මිනිස් මනසින් නිර්මාණය කල දැනුමක් යථාර්තයක් ලෙස ඉගැන්වීම තමයි නොමඟ හැරීම) අපිට අවශ්‍ය බටහිර විද්‍යාවේ නැති වාස්තවික බවක් ඇතැයි පෙන්වා ඒ බොරුව මත පමණක් පදනම් වෙමින් දේශීය දැනුම යටපත් කිරීමට බටහිර විද්‍යාවේ අනුගාමිකයින් දරන උත්සාහය නිෂ්ඵල කිරීමටයි. බටහිර විද්‍යාවට (විද්‍යාඥයින්ට නොවේ) වැඩ බැරිනම් බොරු වාස්තවික බවක් පෙන්වා දේශීය දැනුම යටපත් කිරීමට ඉඩ දිය නොහැකිය. එහෙම කියන්න පැහැදිලි ප්‍රායෝගික හේතු තියෙනවා.

අද රට පුරා පැතිර යන වකුගඩු ආශ්‍රිත රෝගයට ප්‍රායෝගික පිළියමක් අවශ්‍යයි. අවසානයේ වැදගත් විය යුත්තේ දැන් සිටින රෝගීන් සුව කිරීමට හා ඉදිරියේදී රෝගීබව ඇති නොවීමට ගත හැකි නිවැරදි පිළියම මොකක්ද කියන එකයි. පසුගිය දිනක ලංකාවේ ප්‍රමුඛ විද්‍යාඥයින් පිරිසක් ජාතික විද්‍යා ඇකඩමිය විසින් සංවිධානය කරන ලද සමුළුවක මේ පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුනේ තවමත් බටහිර විද්‍යාවට මේ ප්‍රශ්ණය අඟෙන් අල්ලා ගන්නට නොහැකිවී ඇති නිසා බව පැහැදිලියි. නමුත් මෙරට දේශීය උගතුන්ට, වෙද මහත්වරුන්ට, සාමාන්‍ය ගැමියන්ට මේ ප්‍රශ්ණය පිළිබඳව බටහිර විද්‍යාවට නැති අවබෝධයක් තියෙනවා. පිරිසිදු ජලය ලබා ගන්න විදිහ, රසායනික පොහොර නැතිව ගොවිතැන කරන විදි විතරක් නෙවෙයි වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කරන විදිගැන පවා මේ අයට දැනුමක් තියෙනවා. කල් නොයවා මේ දැනුම සංවිධානාත්මකව ක්‍රියාවට නැංවීම සඳහා රජයේ අනුග්‍රහය ලැබිය යුතුයි. බටහිර විද්‍යාව තවමත් මේ ගැන සිතමින් ඉන්න අතරේ මේ දේශීය දැනුම ක්‍රියාවට නො
න්වා යටපත් කිරීමට තරම් සාධාරන හේතු තියෙනවාද? ඇත්නම් ඒ හේතු විද්‍යාත්මකද? විද්‍යාවේ නැති ඔබ්ජෙක්ටිව් බවක් නම් කියන්න එන්න එපා.

Friday, December 6, 2013

රට ජිනීවාහි බැඳ තැබීම

ඉංග්‍රීසි යටත් විජිත සමයේ රාජ ද්‍රෝහීන් ලෙස සලකා මෙරටින් පිටුවහල් කල සිංහල විරුවන් සිහි කිරීමක් පසුගිය දිනෙක රජයේ අනුග්‍රහයෙන් සිදුවිනි. අප එය අගය කල යුතුය. ඇත්තෙන්ම පෙබරවාරියේ යෙදෙන නිදහස් දිනයේදී ඊනියා නිදහසක් සමරනවා වෙනුවට අපි තවම නිදහස් නැතැයි සලකා ඒ දිනය මෙරට සියලු නිදහස් සටන් වලදී මිය ගිය හා තවමත් ජීවතුන් අතර සිටින විරුවන් සැමරීමට යොදා ගත හැකිනම් බටහිර ආධිපත්‍යයෙන් නිදහස් වීම සඳහා සිංහලුන් උනන්දු කරවීමට එය පිටුවහලක් වෙනු ඇත. මෙරට පිදුම් ලැබිය යුත්තේ කව්ද ගැරහුම් ලැබිය යුත්තේ කව්ද යන්න තීරණය කල යුත්තේ කැමරන්ලා නොව අපිය. කැමරන්ලා තනන්නේ අප මත වරද පටවා සදාකාලිකව අප ජිනීවා නුවරට බැඳ තැබීමටය. අපි ඒ බැමි ලිහා ගත යුතු අතර මාර්තු මාසයෙන් මාර්තු මාසයට රටේ දේශපාලණ පැවැත්ම ගැන සිතන රටාවෙන් බැහැරවී වසර පනහක් හැටක් ඉදිරියට සිතිය යුතුය.

බටහිරුන් මුලින්ම කම්පා වූයේ ප්‍රභාකරන් ඇතුළු පිරිස ඝාතනය කිරීමටය නමුත් ඇමරිකානු ජනාධිපතිවරයාට ඔහුගේ හමුදාව බින් ලාඩන් ඝාතනය කරනු ලොවටම පෙන්වන්නට අවශ්‍යවූ නිසාවෙන් සහ ෆොන්සේකා මහතා ලවා එය කර ගත නොහැකිවූ නිසා ප්‍රභාකරන් ඝාතනය කිරීම ගැන බටහිරුන්ට තිබූ විරෝධය තවදුරටත් ගෙනයාමට නොහැකිවිනි.  හතලිස් දහසේ කථාවට වැදගත් බවක් ලැබුනේ ඉන් පසුවය. මිනිසුන් හතලිස් දහස් ගණනක් ඊළාම් යුධය අවසානයේ ඝාතනය නොවුනු බව බටහිර රහස් ඔත්තු සේවයන් නොදන්නවා විය නොහැකියි. මහ පොළවේ අඩියක් අඩියක් පාසා සිදුවෙන දේ චන්ද්‍රිකා මාර්ගයෙන් දැක ගත හැකි යුගයක, කොටි ත්‍රස්තවාදීන්ගේ නැව් පිළිබඳ ඔත්තු ආරක්‍ෂක අමාත්‍යංශයට සපයාදී ඇති විටෙක ඔවුන් ඒ බව නොදැන ගැනීමට හේතුවක් නැත. බ්‍රිතාන්‍යය ඇතුලු සියලු බටහිර රටවල් ඒ බව දැන ගත යුතුය. බටහිර ජඩ මාධ්‍යවල බොරු නිර්මාණය කෙරන්නේ ඔවුන්ට හතලිස් දහසේ කථාව තහවුරු කල නොහැකි බව ඔවුන් දන්නා නිසයි. තව තව පරීක්‍ෂණ කල යුතුයැයි ඔවුන් කියන්නේ ඊනියා පරීක්‍ෂණ හරහාවත් බොරු සාක්‍ෂි නිර්මාණය කර ගැනීම සඳහායි. අපි මේ පරීක්‍ෂණ වලට එකඟ විය යුතු නැත. සිය බිරියට පහර දෙතැයි කැමරන්ට චෝදනාවක් එල්ලවුවහොත්  කැමරන් ඒ සඳහා ස්වාධීන පරීක්‍ෂණයක් කරනමෙන් ඉල්ලා සිටියිද නැත්නම් හැකිනම් එය ඔප්පු කරන්න යැයි කියයිද?


අපි කල යුත්තේ මේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් බටහිර රජයන් පෙන්වන මඟ ගැනීම නොව, ඔවුන් කරන්නේ මුලාවක් බව ලොවටම ඒත්තු ගැන්වීමය. ඒ අතර අපි ජීනීවාහි සිදුවන ක්‍රියාදාමයන්ට කොටු නොවී අපේ අනාගතය ගැන සිතිය යුතුය. දේශපාලන වෙනස්වීම් සිදු වන්නේ සෙමිනි එහි ඵල අත් විඳිය හැකි වන්නේ ඊටත් බොහෝ කලකට පසුවය. ඇමරිකාවේ වහල්භාවය අහෝසි කර අදට වසර 148ක් වෙතත් තවමත් එහි බහුතරයක් කලු ජාතිකයින් ජීවත් වන්නේ සමාජ පතුලේය. නිදහස ලැබී බොහෝ කලක් යන තුරු කළු ජාතිකයින්ට උකස් ණය ලබාදීමට එරට බැංකු මැලි වුනි. ඒ නිසා ඔවුන් බොහොමයකට පරම්පරාගත ඉඩම් හිමි කමක් නැත. අද ඔවුන් බොහොමයක් දුප්පත්ය, අඩු අධ්‍යාපනයක් ලබති, ජනගහන අනුපාතයට බෙහෙවින් වැඩියෙන් බන්ධනාගාරගත වෙති. ඒ ඔවුන්ටවූ සාමාජීය අසාධාරණකම් කනපිට පෙරලීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙද්දීය. ඉංග්‍රීසීහු වෙල්ලස්සේ ජනතාව ඝාතනය කර ඔවුන්ගේ භව බෝග විනාශ කලහ. ඉඩම් පනත් (1840 සහ 1897) මඟින් ඉඩම් කොල්ලකෑහ. ඉන් සිංහල බෞද්ධයින් ලත් පසුබෑම නිවැරදි වෙන්නට කෙතරම් කලක් යැයිදැයි සිතා ගත හැකිද?


ඒ නිසා සිංහල බෞද්ධයින්ට සාධාරණයක් ඉටුවෙන ඔවුන්ට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් තව වසර පණහකින්වත් ලංකාව තුල ඇති කර ගන්නටනම් ඒ සඳහා අද ගත යුතු දේශපාලන පියවර අද ගත යුතුය. ඒ පියවර ජිනීවා සම්බන්ධයෙන් ගන්නා පියවරට වඩා වෙනස්ය. එය උගත් පාඩම් කොමිසම් වාර්තාවේද නැතැයි මට හොඳට විශ්වාසය.  ඒ පියවර කුමක්දැයි බටහිර උගතුන්ගෙන් අසා දැන ගත නොහැකිය. නමුත් ඒ පියවර කුමක් වුනත් එහි ප්‍රතිඵල අද ජීවත්වන බොහෝ දෙනෙකුට අත් විඳින්නට නොහැකි වනු ඇත. අපි ඒ පියවර ගත යුත්තේ අනාගතයේ බිහිවෙන දරුවන් උදෙසාය.


අපට දේශපාලන නිදහසක් අත් වෙන්නට නම් රාජ්‍යය ප්‍රභල විය යුතුය. එහි ඒකීය බව තහවුරු විය යුතුය. දෙමළ හා මුස්ලිම් ජනයා තම තමන්ගේ අයිතිවාසිකම් සඳහා ජන වාර්ගික පදනම මත දේශපාලණයේ නියැලෙනතාක් කල් රටේ ඒකීය භාවයට තර්ජනයක් ඇත. රටේ සතුරෝ එය සිංහල බෞද්ධයින් මර්ධනය කිරීමට පාවිච්චි කරනු ඇත. පසුගිය වසර තිහ තුල උගත් පාඩමක් ඇත්නම් එය මෙය නොවේද? ජන වාර්ගික පදනම මත කෙරෙන දේශපාලනය අඩපන කර දැමීමට නම් ඇල්ලිය යුතු දේශපාලන නිලයක් වේ. එය නම් දෙමළ හා මුස්ලිම් ජනයා ශ්‍රී ලාංකික ජාතියට එකතු කිරීමය. තව වසර පණහකින්වත් එහි ප්‍රතිඵල දැක ගන්නට නම් ජාතිය එකතු කිරීමේ මුල් දේශපාලණ පියවර අපි අද ගත යුතුය. මාර්තු මාසයෙන් මාර්තු මාසයට ජිනීවා නුවර සිදුවන දෙයට ප්‍රතික්‍රියා කිරීම ප්‍රමාණවත් නැත.

Thursday, December 5, 2013

කරත්තය අස්සයාගෙන් ගිලිහීම

ප්‍රාථමික අධ්‍යාපනයක මූලික අරමුණ දරුවන් යම් සංස්කෘතියකට අවශෝෂණය කර එහි හැසිරීමට පුහුණුවක් ලබා දීමයි. සුද්දෝ තම යටත්විජිතවල කලේ ඒකනෙ.  ප්‍රාථමික අධ්‍යාපනයකට වඩා ඉහල අධ්‍යාපනයක් පරමාදර්ශීය ලෙස වැදගත් වන්නේ දැනුම සොයන නිර්මාණය කරන පිරිසකගේ අවශ්‍යතාවය සඳහායි. ඔවුන් තම දැනුම ඔස්සේ ඒ සංස්කෘතික සමාජයට මඟ පෙන්වනවා. පරමාදර්ශීය වශයෙන් ගත්කල ඔවුන් ඒ හරහා සමාජයේ පිදීමට ලක්වීම අතුරු ඵලයක් යැයි සැලකිය හැකියි. නමුත් අද වැඩිපුර බටහිර උසස් අධ්‍යාපනය පාවිච්චි වෙන්නේ බටහිර සමාජ ක්‍රමය තුල ඉහල යාම සඳහා පමණයි. බටහිර දැනුම සමාජයේ ඉහලට යෑමට පමණක් සුදුසුවීමෙන් පෙන්නුම් කරන්නේ බටහිර දැනුම ලබා ඇති පරාජයයි. සියවස් ගනණක් තිස්සේ බටහිර දැනුම නමැති අස්වයා බටහිර සමාජ ක්‍රමය නමැති කරත්තය කන්දක ඇද ගෙන මුදුනටම ඇවිත් දැන් පල්ලමට දුවමින් ඉන්නවා ඊලඟට කරත්තය අස්වයාගෙන් ගිලිහී අස්වයාත් පසුකරගෙන පහලට පෙරලෙනවා.

අද ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලවලත් ශාස්ත්‍රීය විශයන්වලට ඇත්තේ පෙර නොවූ තරම් අඩු ඉල්ලුමකි. ඒ වෙන කිසි හේතුවක් නිසා නොවේ ඒ උපාධි ලබා රැකියා ලබාගත නොහැකි නිසයි. ඉන් පිලිබිඹු වෙන්නේ බටහිර දැනුම විකාශණය වෙන ආකාරයත් බටහිර සමාජ ක්‍රමය (විශේෂයෙන්ම එහි ආර්ථිකය) විකාශණය වෙන ආකාරයත් අතර ඇති නොගැලපීම. කරත්තය අස්සයාගෙන් ගිලිහීම.


ලංකාවේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල උපාධියට තැනක් නැහැ වගේ පෙනෙන්නේ එහි උපාධි ලාභීන් අති බහුතරයක් විද්‍යා හා කලා විශයන් හදාරන නිසයි. ඇමෙරිකාවේ වගේම බටහිර සමාජ ක්‍රමයට බඩගාමින් යන අපේ රටේත් කලා උපාධි දාරීන්ටත් රස්සා නැහැ. මේක අපේ විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන්ගේ වත් එහි පරිපාලනයේවත් නොහැකියාවක් නොවේ. බටහිර දැනුමත් සමාජ ක්‍රමයත් අතර නොගැලපීම බටහිරුන්ට විසඳාගත නොහැකිනම් අපට ඒක කොහොමවත් විසඳන්ට බැහැ.  අවශ්‍යනම් අපට සියලු සිසුන්ට කලමණාකරණය, පරිගණක තාක්‍ෂණය වගේ ඉල්ලුමක් ඇති විශයන් විශ්ව විද්‍යාලවල උගන්වන්න පුලුවන්. සමහර ජාතිකවාදීන් ඉල්ලා සිටින්නේ මෙය විය හැකියි. නමුත් ඉන් ප්‍රශ්ණය විසඳෙන්නේ නැහැ. සිදුවෙන්නේ ප්‍රශ්ණය විශ්ව විද්‍යලයෙන් පිටත සමාජයට තල්ලු කිරීමක් විතරයි. බටහිර සමාජ ක්‍රමය දිගින් දිගටම පවත්වගත නොහැකිබව අපට කෙසේ වෙතත් බටහිරට අවබෝධ වෙනතුරු මේ ප්‍රශ්ණයට විසඳුමක් ලැබෙයි කියා සිතන්න අමාරුයි.


අපි කල යුත්තේ බටහිර උසස් අධ්‍යාපනයට යන ගමන යන්නට ඉඩ දී ප්‍රාථමික අධ්‍යාපනයට (පාසල් අධ්‍යාපනය) කෙසේ හෝ දේශීය බවක් අත් කරදීමයි. මුලින් කීවා මෙන් එහි මූලික අරමුණ විය යුත්තේ දරුවන්ට දේශීය සංස්කෘතික පුහුණවක් ලබාදී ඔවුන් එහි බැඳ තැබීමයි. පාසල් අධ්‍යාපනයට දේශීය බවක් ලබාදෙන්න නම් එහි ඉගැන්විය යුත්තේ කුමක්දැයි අපිට සිතා ගත හැකියි. මින් කියවෙන්නේ දේශීය උසස් අධ්‍යාපනයක් තිබිය යුතු නොවේ කියා නොවේ. නමුත් හරි හමන් උසස් අධ්‍යාපනයක් (විශ්ව විද්‍යාල මට්ටමේ) බිහි වෙන්නේ ශිෂ්‍යයන් නිසාවත් ඒ සඳහා ආයතනයක් ඇති නිසාවත් නෙවෙයි. ගුරුවරු නිසයි. ඒ සඳහා නව දේශීය දැනුම් නිර්මාණය කල හැකි ප්‍රාඥයින් අවශ්‍යයයි. මුනිදාස කුමාරතුංග හා නලින් ද සිල්වා මෑතකදී බිහිවුන ඊට සුදුසු පුද්ගලයින් දෙන්නෙක්. අද 86 වියට පා තබන අමරදේවයන්ද මුලදීම දේශීය සංගීත දැනුමක් නිර්මාණය කර ගන්ට යොමු කල හැකිවූයේ නම් ඔහු වටාද දේශීය උසස් අධ්‍යාපන ආයතනයක් බිහි කර ගන්නට හැකිවෙන්ට තිබුනා. නමුත් ඔහු භාරතීය සංගීතවේදයක් තෝරා ගත් නිසා අද ඔහු නැතුවද මෙරට උසස් අධ්‍යාපන ආයතනවල
සංගීතය ඉගැන්වීමට හැකිවී තිබෙනවා. අපිට තිබුනේ මොවුන් වටා දේශීය උසස් අධ්‍යාපන ආයතන ඇති කරගන්න. ඒක විශ්ව විද්‍යාලයක්ද විශ්ව විද්‍යාලයක එක් අශයක්ද නැත්නම් පිරිවෙනක් එහෙමත් නැත්නම් යම් රජයේ ආයතනයක්ද කියන එක නෙවෙයි වැදගත්. මින් එක් අයෙක් තවමත් ජීවතුන් අතර සිටින නිසා තවමත් අපි ප්‍රමාද නැහැ. මේ ආකාරයට තනා ගන්නා දේශීය උසස් අධ්‍යාපන ආයතන හරහා අනාගතයේ මෙවැනි උගතුන් සැලකිය යුතු පිරිසක් බිහිකර ගන්නට බලාපොරොත්තු විය හැකියි.

කෙසේ වෙතත් බටහිර උසස් අධ්‍යාපනය ඉතා වේදනාකාරී ලෙස පසුබෑමකට ලක්වෙන එක වලක්වන්න බැහැ. අපිට බැහැ.