Friday, November 15, 2013

බෞද්ධයින්ට වෙන සමාජ අසාධාරණය

ලංකාවේ රඟදැක්වෙන සිංහල බෞද්ධ සංදර්ශණයක් ඇත. ඒ හරහා මෙරට සිංහල බෞද්ධ හෙජමොනියක් ඇතිබව ලෝකයාටත් අපටත් ඒත්තු ගැන්වෙයි. නමුත් සිංහල බෞද්ධයින්ට හෙජමොනියක් තබා නිදහසක්වත් නැත. එපමණක් නොවේ ඒ සංදර්ශණය තුලින් මෙරට බෞද්ධයින්ට සිදුවන සමාජ අසාධාරණය වසා දැමෙයි. 

පරමාදර්ශීය වශයෙන් සිංහල බෞද්ධයින්ට අවශ්‍ය ඉන්ද්‍රියන් තවමින් මමත්වය මර්ධනය කරගනිමින් (අපි මෙයට පොර නොවී සිටීම යැයි කියමු) සමාජයත් පරිසරයත් සමඟ එක්ව ජීවත්වීමටය. නමුත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල නිදහසක් ඇත්තේ ධනය රැස් කරන්නටය, ඉන්ද්‍රියන් පිනවීමටය, සමාජයෙන් පරිසරයෙන් වෙන් වන්නටය නැත්නම් පොර වෙන්ටය. බටහිර ආධිපත්‍යයට යටවුනු අප රටේ දේශපාලණය ආර්ථිකය හා සංස්කෘතිය තුල පවතින්ට පුලුවන් පොරවල් වලට පමණි. පොර නොවී සමාජයේ පවතින්නට නොහැකිවීම සිංහල බෞද්ධයින්ට වෙන සමාජ අසාධාරණයයි.

බෞද්ධයින්ට පමණක් නොවේ පිණක් දහමක් කරගෙන නිවී සැනසිල්ලේ ජීවත් වෙන්ට උත්සාහ කරන නැත්නම් පොර නොවී ජීවත් වෙන්ට උත්සාහ කරන මෙරට සියලු දෙනාගේම ජීවන ගමන අන් අයගේ ගමනට සාපේක්‍ෂව දුෂ්කරය, ඔවුන්ට තමන්ගේ මූලික ජීවන අවශ්‍යතා සපුරා ගන්නට අන් අයට වඩා දුක් විඳින්ට සිදුවේ, ඔවුන්ට සමාජයේ තැනක් හිමි වන්නේ නැත. සමාජ අසාධාරණය එයයි. මේ සමාජ අසාධාරණයෙන් ගැලවීම සඳහා බොහෝ දෙනෙක් කරන්නේ හැකි පමණින් පොරවල් වීමට උත්සාහ දැරීමය. පාසලේදීත් විශ්ව විද්‍යාලයේදීත් පොර වෙන හැටි කියාදෙයි. නගරයේ රැකියා කරන මධ්‍යම පංතික උගතුන් නම් පොරවෙන හැටි දනිති. නමුත් මේ බොහෝ දෙනාද පොරවල් වී සිටින්නේ එසේ වීමට ඇති ආසාව නිසාම නොවේ. එසේ නොවී ඔවුන්ට සමාජයේ පවතින්නට නොහැකි නිසාය. නමුත් පොරවීවත්  බොහෝ දෙනෙකුට සැනසුමක් නැත. මන්ද අපි බටහිර දේශපාලණය ආර්ථිකය හා සංස්කෘතිය අනුකරණය කලත් අපට එහි නිපුනත්වයක් නැති බැවිනි. ඒ අනුව බලනවිට අප රටේ පොරවල්ටද සිදුවෙන්නේ අසාධාරණයකි. නමුත් අපේ රටේ සාමාන්‍ය මිනිසුන් බහුතරයකට ඊටත් වඩා අසාධාරණයක් සිදුවේ. ඒ ඔවුන්ට පොරවීමට කොහෙත්ම උවමණාවක් නැති නිසාය. ඒ සඳහා ඔවුන්තුල අඟෙන්ම ඇත්තේ ප්‍රතිරෝධයකි. ඒ ඔවුන්ගේ ගතියය. ඔවුන් අතර සාමාන්‍ය සිංහලුන්ද දෙමළුන්ද මුස්ලිම් වරුන්ද කිතුනුවන්ද හිංදුවරුන් වෙති. ස්වභාවිකවම ඉන් බහුතරයක් සිංහල බෞද්ධයින්ය. මේ අහිංසක මිනිස්සු සමාජයේ අඩි පතුලටම වැටෙති. එය මෙරට සිදුවෙන බලවත්ම සමාජ අසාධාරණයයි.


මේ කියන සමාජ අසාධාරණය බටහිර උගතුන් පිලිගන්නා සමාජ අසාධාරණය නොවෙන බව අවධාරණය කල යුතුය. ධනවාදී ක්‍රමය තුල අසාධරණැයි සැලකෙන්නේ සැමටම එකසේ සම්පත් රැස්කිරීමට, ඉන්ද්‍රියන් පිනවීමට නැත්නම් හැමෝටම පොරවල් වීම සඳහා එක සමාන අවස්ථාවක් නොතිබීමය. සැමට ඒ සඳහා සමාන අවස්ථාවක් ලැබේනම් ඉන් සමාජ සාධාරණයක් ඉටුවේ යැයි බටහිරුන් සිතති. නමුත් පොරවී ජීවත් වන්ට අකමැති
සිංහල බෞද්ධයින්ට ධනවාදී සාධාරණයකින් සධාරණයක් ඉටුවේද? සිංහල බෞද්ධයින්ටද සමාජ විශමතා අවම කර ගැනීමට අවශ්‍යය. නමුත් ඔවුන්ට ධනය රැස්කිරීමට, ඉන්ද්‍රියන් පිනවීමට සමාන අවස්ථාවක් සලසාදී සමාජ විශමතා අවම කර ගැනීමට නම් තමනුත් පොරවල්වී එය කරගන්ට යැයි කීම බලවත් අසාධාරණයකි. එය ඔවුන්ගේ ගති පැවැත්මට හා සදාචාරයට විරුද්ධය. සිංහල බෞද්ධයින්ට සමාජ විශමතා අවම කර ගත යුත්තේ බුදු දහමට අනුව ඉන්ද්‍රියන් තවමින් මමත්වය පාලණය කර ගනිමින් ජීවත් වෙන ගමන්ය. සැප සම්පත් කෙරෙහි ආශාවන් අත්හල යුතු නමුත් තමන් අත්හල යුත්තේ කුමක්ද යන්න තීරණය කල යුත්තේ බෞද්ධයින් විසින් මිස යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් නොවේ. යමෙක් බුදු දහමට අනුකූලව ජීවත්වන විට ඒ නිසාම ඔහුගේ ජීවිතය එලෙස ජීවත් නොවෙන කෙනෙකුගේ ජීවිතයට වඩා දුෂ්කර වන්නේනම් එය අසාධාරණය. නිවී සැනසිල්ලේ ජීවත්වන අයෙකු ඒ නිසාම සමාජයේ පහලට තල්ලුවන්නේ නම් එය අසාධාරණය. බෞද්ධයින්ට මෙන්ම සෙසු ජනයාටත් පොරවල් නොවී පවතින්නට ඉඩක් මෙරට තිබිය යුතුය. නමුත් ඔවුන්ට ඒ නිදහස අද අප රටේ නැත.

සිංහල බෞද්ධයින්ට සමාජ අසාධාරණයක් සිදුවෙන්නේ ඔවුන් බලාපොරොත්තුවන නිදහස සාපේක්‍ෂ වශයෙන් මෙරට නැතිවීම නිසාය. සිංහල බෞද්ධයින් ගේ නිදහස වෙනකක් නොව නිදැල්ලේ ජීවත්වීමට ඇති නිදහසය. ඔවුන්ට ඒ නිදහස ලැබෙන්නේ ලෝකය සමඟ වෙන්නොවී අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇතිව ජීවත්වීම තුලය. සමාජයෙන් පරිසරයෙන් වෙන් නොවී ජීවත්වන්නට නම් හැකිතාක් ඉන්ද්‍රියන් තැවිය යුතුය මමත්වය මර්ධනය කර ගත යුතුය නැත්නම් පොර නොවී සිටිය යුතුය. සිංහල බෞද්ධයින්ගේ නිදහස නොලැබීම නිසා සිදුවෙන සමාජ අසාධාරණය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ බිහිවුනු ධනවාදී ක්‍රමයකින්වත් සමාජවාදී ක්‍රමයකින්වත් නිවැරදි කල නොහැකිය. එයට එකම විසඳුම යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යයෙන්ම නිදහස් වීමය.


අප රටේ සාමාන්‍ය ජනතාවට සමාජ සාධාරණයක් ඉටුවනු ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යයෙන් මිදී ඔවුන්ගේ සංස්කෘතියට අනුකූල දේශපාලණ ක්‍රමයක් හා ආර්ථික ක්‍රමයක් ඇතිවූදාට පමණි. එය කර ගත හැකිය. නමුත් ඊට කලින් අපි නරඹන්නේ සිංහල බෞද්ධ සංදර්ශණයක් බව සිංහල බෞද්ධයින් පමණක් නොව සිංහල බෞද්ධ විරෝධීන්ද තේරුම් ගත යුතුය.

2 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. ශ්‍රී ලාංකික සමාජය වන්දනා කිරීමටත් වන්දනා ලැබීමටත් බොහොම කැමැත්තේය. පොරවල් ඉහල පොරවල් වන්දනා කරති. වන්දනා කිරීමට හා ලැබීමට අකමැති පොරවල් වලට සමාජයේ ඉඩක් නැත. ඔවුන් බොහෝවිට උගතුන් බුද්ධිමතුන් වන අතර ඔවුන් අකමැත්තෙන් වුවද රට හැර යති.

    ReplyDelete